Hot!

“වයලීනයේ හඬ”: ජීවිතය හා කලාව අතර සබඳතාව පිලිබඳ සෞන්දර්යාත්මක විවරනයක්

වසන්ත රූපසිංහ විසිනි

“වයලීනයේ හඬ”
අධ්‍යක්ෂනය: සන්තුෂ ලියනගේ
තිර රචනය : නිලංක දහනායක
පසුබිම් සංගීතය: අසෝක ජයවර්ධන


ජාතික රූපවාහිනිය ඔස්සේ පසුගිය අගෝස්තු 1 දා සිට සෑම සිකුරාදාවකම විකාශය වූ සන්තුෂ ලියනගේ විසින් අධ්‍යක්‍ෂිත “භාව තීර්ථ” ටෙලි චිත‍්‍රපට මාලාව පවත්නා ඒකාකාරී, නීරස හා කලා විහීන ටෙලි නාට්‍ය වලට වෙනස් අයුරකින්, නැවුම් හා යථාර්ථවාදී ලෙස ජීවිතය විවරනය කිරීමට දැරූ ප‍්‍රශංසනීය වෑයමකි. ඒ අතරින් පසුගිය 17දා විකාශය කල “වයලීනයේ හඬ” කතා මාලාවේ අනෙකුත් කතා අතරින් වඩාත් ඉහලට එසැවුනු කෘතියකි.

“වයලීනයේ හඬ” කතාව ගොඩ නැගෙන්නේ, තරුනයන් දෙදෙනෙකු, තරුනියක හා වයලීනයක් වටා ය. මධ්‍යම පාන්තික පවුලක එකම දියනිය වන නඳුනි සිය පියාගේ බලකිරීම මත වැඩි මනාපයකින් තොරව වයලීන විභාගයට පෙනී සිටීමට සූදානම් වෙමින් සිටී. එහෙත් තමා වඩාත් කැමැති කවි ලිවීමට බැව් පියාව කෝප ගන්වමින් ඇය කියයි. මෙකී ව්‍යාකූල මනසින් යුතුවූ ඇය දිනෙක වයලීන පන්තියට යමින් සිටියදී තරුනයින් දෙදෙනෙකු ගමන් කරන පාපැදියක ගැටීමට ගොස් යන්තමින් බේරෙන අතර ඔවුන් එකිනෙකා හඳුනාගනී. මෙම තරුනයින් දෙදෙනා නම් එකම බෝඩින් කාමරයක නතරව සිටිමින් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සංගීතය හදාරන රජීව් හා ඔහුගේ දෙමල ජාතික මිතුරා වන රඝු ය.

පසුදා නඳුනි සිය වයලීනය අලුත්වැඩියා කරවා ගැනීමට රජීව් සහ රඝු සේවය කරන සංගීත භාන්ඩ අලුත්වැඩියා කරන ආතනයට ගොඩ වෙයි. පලමු දිනයේදී ම, සම්භාව්‍ය සංගීතය පිලිබඳ රජීව්ගේ ඥානය හා ජීවිතය හා කලාව අතර අභේද්‍ය සම්බන්ධය පිලිබඳ ඔහු පලකරන අදහස්වලින් තරුනිය වශීකෘත වන අතර ඇය ක‍්‍රමයෙන් වයලීන වාදනය වෙත ලොබ බැඳ ගනී. රජීව් සහ නඳුනි අතර සබඳතාව එකිනෙකාට හොර රහසේ ගොඩ නැගෙන ආදරයක් බවට පසුව වර්ධනය වේ.

දිනක් රජීව් හමුවීමට පැමිනෙන ඇය මැසිවිලි කියන්නේ, වයලිනයේ හඬ වෙනස් වීමට පටන් ගෙන ඇති බව යි. රජීව් එය සුසර කිරීමට කොතෙක් වෑයම් කල ද අසාර්ථක වන අතර එකම විසඳුම වන්නේ වයලීනය විකිනූ පුද්ගලයා සොයා ගෙන එහි හඬ පෙරදී ද මේ අයුරින් වෙනස්වී ඇතිද යන්න සොයාගැනීම යැයි පවසයි. ඔහු සිය දෙමල මිතුරා සහ නඳුනි ද කැටුව වයලීනයේ අයිතිකරු සොයා යන ගමන අතිශය ප‍්‍රකම්පනකාරී සිදුවීම්වලින් පිරී පවතින අතර 1983 දී දෙමල ජනයා ඉලක්ක කොට දියත්කල ලේවැකි විලෝපනය, 1988-89 සමයේ දකුනේ ධනපති පාලකයන් කැරලිකාරී ගම්බද තරුනයින් බුරුතු පිටින් සමූලඝාතනය කිරීම සහ ලේවැකි වර්ගවාදී යුද්ධය යන පසුගිය දශක හතරක කාලය තුල ලාංකීය සමාජ ජීවිතය අලලා ගත් ඛේදජනය සිදුවීම් යලි සිහිපත් කරමින් චිත‍්‍රපටය අවසානය තෙක් දිග හැරෙයි.

මෙහිදී වයලීනයෙන් සමස්ත කලාව ද, එහි හඬ වෙනස්වීම මගින් නිශ්චිත යුගයන්හිදී කලාවේ ඇතිවන නිශේධනීය වෙනස්වීම් ද සංකේතවත් කෙරී ඇත. වයලීනය “විකිනීම” යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ, මර්දනකාරී සහ අර්බුදග‍්‍රස්ත කාල පරිච්ඡේදයන්හි කලාව අත්හැර දැමීම හෝ දුෂ්පරිහරනයේ යෙදවීම බැව් වයලීනයේ පෙරහිමිකරුවන් එය විකුනා දැමීමට තමාට බලපෑ හේතු ගෙනහැර පෑමේදී ප‍්‍රකාශයට පත්වේ. රජීව්, නඳුනි සහ රඝු ඇතුලත් නව පරම්පරාව වයලීනයේ පෙර හිමිකරුවන් නැතහොත් අතීත කලාකරුවන් සොයා යන්නේ කලාව එලෙස විකුනා දැමුනේ ඇයි ද යන තීරනාත්මක ප‍්‍රශ්නයට පිලිතුරු සොයා ගැනීමට ය.

වයලීනයේ හිමිකරු සොයා යන ඔවුන්ට පලමුව මුන ගැසෙන්නේ නඳුනිට පෙර අවසන් හිමිකරුව සිටි රෝහන නම් තරුනයෙකි. දැන් සංගීත පටිගත කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන රෝහන තමන් කලෙකට පෙර විකුනූ වයලීනය දැක මවිත වෙයි. ඒ පිලිබඳ හැඟීම්බර මතකය අවදි කරන ඔහු: “යුද්ධෙ දරුනුවට යන කාලේ මම මේක වික්කා. ඇයි. මිනිස්සුන්ට ඕන වුනේ ගොඩක් ෆන් (විනෝදකාමී) දේවල්. මේවා ප්ලේ කලාට මිනිස්සුන්ට අහන්න ඕන වුනේ නෑ. මට දැනුනා මේ වයලින් එකේ හඬ වෙනස් වෙනවා. මේකෙන් ආවෙ හරිම දුක්බර හඬක්. සමහරු කීවා මම කියන්නේ මනස්ගාත කියලා. අන්තිමේදී මම මේක වික්කා.”

කලාවට එල්ලවන අතිමහත් පීඩනය හමුවේ කලාවම නගන විලාපයක් ලෙස මෙම “දුක්බර හඬ” ලියනගේ විසින් සෞන්දර්යාත්මකව චිත‍්‍රනය කොට ඇත. ස්වාධීනව නැගී සිටිමින් විකසිත වීමට කලාවට ඇති නිසග අවශ්‍යතාවට එරෙහිව, එක් අතකින් වර්ගවාදී යුද්ධය මධ්‍යයේ පාලක පන්තිය විසින් කලාවට පැනවූ වාරන සහ සීමාවන් ද අනෙක් අතින් සමස්ත කලා ක්‍ෂේත‍්‍රයම ලාභ ලබන කර්මාන්තයන් බවට පත් කෙරෙන නව ආර්ථික ප‍්‍රවනතාවන් මගින් එල්ල කෙරෙන පීඩනයන් හමුවේ තමා වැනි කලාකරුවන්ට සත් කලාව අත්හැර දැමීමට සිදුවූ බැව් රෝහනගේ අදහස් හරහා ප‍්‍රක්ෂේපනය වෙයි.

කලාවට එල්ල කෙරෙන පීඩනය හමුවේ රෝහන අනුගමනය කරන්නේ එයට එරෙහි අරගලය පසෙක ලා එයට අනුගත වීමයි. එය තියුනු ලෙස ප‍්‍රකාශයට පත් වන්නේ, දැන් රෝහන ශබ්ධාගාරයක් බවට පරිවර්තනය කර තිබෙන ස්ථානයේ කලින් පැවැති “රෙවලූෂනරි මියුසික් ඇකඩමි” ගැන රජීව් ඔහුගෙන් ප‍්‍රශ්න කරන අවස්ථාවේදී ය. තරුනයින් වෙත හිස් බැල්මක් හෙලන රෝහනගේ කෙටි පිලිතුර වන්නේ, “වැඩක් නෑ!” යන්න යි.

රෝහනට වයලීනය විකුනා ඇත්තේ 80ගනන් අගභාගයේ ඇඹිලිපිටිය විදුහලක සේවය කරමින් සිටි සිරිවර්ධන නම් සංගීත ගුරුවරයෙකු විසිනි. වයලීනය යලි දැක ක්ෂනිකව කම්පනය වන ගුරුවරයා අසන්නේ, “ඇයි ආයෙත් හඬ වෙනස් වෙන්න පටන් අරන් ද?” යනුවෙනි. රජීව් වැනි තරුනයින්ට තමන් එකල උගන්වමින් සිටි බවත් දිනක් උදෑසන ඔහුගේ පන්තියේ සිසුන්ගෙන් භාගයක්ම දකින්නට නොසිටි බවත් සිරිවර්ධන පවසන්නේ අතිශය හැඟීම්බර ආකාරයෙනි.

ඔහු මෙහිදී සඳහන් කරන්නේ, දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂ ආන්ඩු සමයේදී ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ සිදුකල කුප‍්‍රකට ශිෂ්‍ය ඝාතන පිලිබඳව යි. සිදුවීමෙන් පසුව “මේ වයලින් එකෙන් පිටවෙච්ච හඬ හරියට මගෙ ලමයි විලාප දෙනවා වගේ” යැයි ගුරුවරයා පවසයි. එයින් ගැලවීම සඳහා වයලීනය විකුනා දැමූ බව පවසන සිරිවර්ධන “ඒ හෘද සාක්ෂිය ආයෙත් මාව හොයාගෙන එනවා” කම්පාවට පත් වෙයි. සිරිවර්ධනගේ ප‍්‍රතිචාරය රෝහනගේ ප‍්‍රතිචාරයට නොදෙවෙනි එකක් බව මෙයින් පෙනී යයි.

අවසානයේ ඔවුනට වයලීනයේ මුල් හිමිකරු යාපනය ප‍්‍රදේශයේ පදිංචිව සිටි දෙමල ජාතික තරුනියක බව දැනගැනීමට ලැබේ. අධ්‍යක්ෂවරයා මෙම සිදුවීම යුද්ධය පිලිබඳ සෘජු හා ප‍්‍රබල විවේචනයක් එල්ල කිරීමට යොදා ගෙන ඇත. 1980 දී එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවේ වර්ගවාදී මැර නඩ විසින් යාපනය පුස්තකාලය ගිනිතබමින් දියත් කල බිහිසුනු සිදුවීම්වලින් අනතුරුව කොලඹ පැමිනි තරුනිය පසුව බිහිසුනු කලු ජූලියට අසුව යන්තමින් පන බේරා ගත් පවුලක සාමාජිකාවකි.

එම නිවසේ මෙහෙකරුවෙකු ලෙස සේවය කල මැදිවියේ දෙමල පුරුෂයෙකු කලු ජූලියේ බිහිසුනු අත් දැකීම් මෙසේ විස්තර කරයි.

“ගිනි තියන්න පටන් ගත්තා මහත්තයා... මරන්නත් හැදුවා. ගෙවල් ගානේ එලවඑලවා මැරුවා. හරියට වල්පැලෑටි ගලවනවා වගේ මහත්තයෝ. අපිව බලාගන්න දෙයියෙක්වත් හිටියෙ නෑ. ඇයි එහෙම කලේ? පවුල් පිටින් රට ගියා. හිස් අතින් ගියේ. එතකොට පුංචි නෝනා මේ වයලින් එක මට දීලා ගියා මතක් වෙන්න.,” වයසක මිනිසා තරුනයින්ට ඇඬූ කඳුලෙන් විස්තර කරයි. මෙම මිනිසා පසුව මෙම වයලීනය විකුනා දමා ඇත.

දෙමල ජනයාට එරෙහිව දකුනේ පාලකයන්ගේ වර්ගවාදී පිලිවෙත් හා එහි අවසන් ප‍්‍රතිඵලයවූ ලේවැකි යුද්ධයේ ගොරතර විපාක ගැන, විශේෂයෙන් දෙමල තරුනයින් එය අත්දුටු ආකාරය ගැන, සාකච්ඡා කිරීමට රඝුගේ චරිතය යොදා ගෙන තිබේ. උතුරේ පාසැල් ගුරුවරියක වූ රඝුගේ මව ඔහු ඉදිරිපිටම මැරී වැටී ඇත්තේ (හමුදා වෙඩි පහරකින් හෝ ගුවන් ප‍්‍රහාරයකින් විය හැක) රඝු කුඩා කාලයේදීම ය. රඝූගේ නිවස තිබුන තැනවත් සොයා ගැනීමට නැත. දෙමල ඉතිහාස පොත් සොයා පරන පොත්හල්වලට යන ඔහුට දැන ගැනීමට ලැබෙන්නේ එවැනි ඉතිහාස පොත් නැති බව යි. දෙමල ජනයාගේ සැබෑ ඉතිහාසය අකාමකා දමා ඇති බව ලියනගේ තම නිර්මානය තුලින් ප‍්‍රබලව දනවයි.

ලියනගේ හුදෙක් එකී අතීත සිදුවීම් ගෙන එනවා පමනක් නොව තමා මුහුන දී සිටින ගොරතර තත්වයෙන් ගොඩ ඒම උදෙසා මිනිසුන් තුල පවතින අභිලාෂයන්, බලාපොරොත්තු සහ අධිෂ්ඨානය ද පෙන්නුම් කරයි. වයලීනයේ ඉතිහාසය සොයා සිදුකරන ඒ ගමනේදී රජීව් සහ නඳුනි අතර අර්ථ සම්බන්ධ ගැඹුරු පේ‍්‍රමයකට පදනම දැමෙන අතර අනෙක් අතට රජීව් සහ රඝු අතර මිත‍්‍රත්වය බලගතු අයුරින් වර්ධනය වේ.

සැබෑ ඉතිහාසය, විශේෂයෙන්ම කලාවේ සැබෑ ඉතිහාසය සොයා යන ගමන තුල, මනුෂ්‍ය වර්ගයාගේ උත්කෘෂ්ඨ ජයග‍්‍රහනයක් වන කලාව රැක ගැනීම සහ එය වර්ධනය කිරීමට නව පරම්පරාවේ කොටස් තුල වර්ධනය වන උත්තරීතර අභිලාෂය සෞන්දර්යාත්මකව ප‍්‍රකාශ කිරීමට ලියනගේ සමත් වෙයි. ඒ සමගම ශ්‍රේෂ්ඨ අරමුනු සඳහා මිනිසුන් යෙදෙන අරගලයේදී එකිනෙකා අතර වැඩෙන අන්‍යොන්‍ය සබඳතාවන්හි මානුෂීය චමත්කාරය ද ඔහු ප්‍රෙක්ෂකයාට ගැඹුරින් දනවයි.

ඒ සමගම, සංගීතය තුලට පැටවෙන කෘතිම තත්කාර්යවාදී පරමාදර්ශයන් මෙහිදී ප‍්‍රතික්ෂේප කෙරෙයි. සංගීතයේ අර්ථය පිලිබඳවත් ආදරයේ ස්වරූපය පිලිබඳවත් මෙහිදී ගොඩනැගෙන්නේ මානුෂීය මිනිස් සම්බන්ධතා මත පදනම් වූ සබඳතාවයකි. වයලීනයේ හඬ සම්බන්ධයෙන් කතා කරමින්, “අතීත මිනිසුන්ගේ වේදනාව... එයට ඇහෙන්න ඉඩ දෙන්න” යනුවෙන් රජීව් පවසයි. ඔවුන් දෙදෙනා අතර ආදරය ගොඩනැගෙන්නේ සමාජ සවිඤ්ඤානකත්වයේ වර්ධනය සමග බැඳෙමිනි.

ඉතිහාසය දැන ගැනීමෙන් පසු, වයලීනයේ හඬ නැවතත් යථා තත්වයට පත්ව තිබේ. චිත‍්‍රපටයේ අවසන් භාගයේදී නඳුනිගේ වයලීන වාදනය අසන අත්විඳින නඳුනිගේ පියා සහ මව අතර ඇතිවන සාකච්ඡාවේදී මව මෙසේ පවසයි: “පරන කුනු ගොඩවල් ගස්මුල්වලට පොහොර වෙන්නෙ නිකම්ම නොවෙයි. අලුතින් දලුදාලා මල් හටගන්නා වසන්තය වෙනුවෙන්. දැන් ඒකට කාලය හරි. වයලින් එක හරියට එයාගෙ ඇඟේ කොටසක් වගේ. දැන් එයාට ප්ලේ කරන එක නතර කරන්න බෑ.” යහපත් ලොවක් තැනීම උදෙසා අනාගත පරම්පරාවන් අතීතයේ පාඩම් ජීර්නය කරගනු ඇතයි යන සාධනීය සංකල්පය මෙයින් ගෙන එයි.

කෙසේ නමුත්, වයලීනයේ හඬ යලි ප‍්‍රකෘතිමත් කර ගැනීම සඳහා, නැතහොත් කලාව රැක ගැනීම සඳහා, නඳුනි අතීතයෙන් උගත් පාඩම කුමක්දැයි අපැහැදිලි ය. ඉතිහාසය කරා යන ගමනේදී ඇයට හමු වන්නේ කලාවට වින කටින කාල වකවානුවල කලාව විකුනා දැමූ පුද්ගලයන් ය. එම වකවානුවල කලාව නොවිකුනා එය රැක ගනිමින් අභීතව නිර්මානකරනයේ යෙදීගත් කලාකරුවන් මෙම තරුන තරුනියන්ට හමු නොවේ. රෝහන හා සිරිවර්ධන මෙන් සෑම කලාකරුවෙක්ම එම අසීරු කාලයන්හි දී කලාව විකුනා දැමුවේ නැත. ආන්ඩුවල වාරනයට ද මිලිටරියේ සහ වර්ගවාදීන්ගේ මරන තර්ජනවලට ද මුහුන දෙමින්, ප‍්‍රසන්න විතානගේ සහ අශෝක හඳගම වැනි ඇතැම් බැරෑරුම් කලාකරුවෝ යුද්ධය පිලිබඳව විවේචනාත්මක ආකාරයෙන් නිර්මානකරනයේ නියැලුනෝ ය. එම කලාකරුවන් පේ‍්‍රරනය වූයේ කිනම් ඉදිරි දර්ශනයන්ගෙන් ද යන්න ඉදිරිපත් කිරීමට ලියනගේ අපොහොසත් වන බැවින් නඳුනි ඇතුලු නව පරම්පරාව කලාව රැක ගනුවස් අතීතයෙන් ලබාගත් ඥානය ගුඪ දෙයක් බවට පත් වෙයි.
රජීව් සහ රඝු

කෙසේ නමුත්, අවසානයේ දී මෙම චිත‍්‍රපටිය තුලින් ප‍්‍රක්ෂේපනය කෙරෙන්නේ වත්මන් සමාජ අර්බුදය තුල කලාවට මානුෂීය භූමිකාවක් පවතින්නේ ය යන්නයි. එය පිලිබිඹු කරන්නේ උග‍්‍රවන්නාවූ සමාජ ම්ලේච්ඡත්වයට එරෙහිව ජාත්‍යන්තර පරිමානව තරුනයන් තුල වර්ධනය වන සවිඤ්ඤානකත්වයකි. සැමවිටම තම ගමන් බෑගය තුල පොත් රුවා ගන්නා රඝුට ඒ පිලිබඳ නෝක්කාඩු කියමින් කාමරයේ ඔහු කැමති තැනක පොත් තබා ගන්නා ලෙස රජීව් කරන සඳහන “මිනිසෙකුට තමන් කැමති ඕනෑම තැනක ජීවත්වීමට අයිතියක් ඇතැ යි” යන මූලික ප‍්‍රජාතාන්ති‍්‍රක මූලධර්මය පිලිබිඹු කරයි. දෙමල ජනයා පමනක් නොව දැන් රටේ සුලුතර මුස්ලිම් ජනයා ද කොන්කර තැබීමට මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ පිටුබලය ලබන සුලුතරයක් සිංහල වර්ගවාදීන් වෙත අතුල් පහරක් එල්ල කල ප‍්‍රබල අවස්ථාවකි, මෙය. රජීව්ගේ ඒ ප‍්‍රකාශයෙන් ආවේශය ලබන රඝු කාමරයේ එක් ස්ථානයක පොත් රාක්කයක් සාදා එය විවෘත කිරීමට සිය මිතුරාට ආරාධනා කරන අවස්ථාව ද අතිශයින් ප‍්‍රබල අවස්ථාවකි. විෂකුරු වර්ගවාදය කීතු කරමින් අනාගතය පිලිබඳ බලාපොරොත්තු රඳවමින් රජීව් පවසන්නේ “අපි මෙය තව පුරවමු” යන්නයි.

අවසන් දර්ශනයේදී රජීව් නඳුනිට පවසන්නේ වයලීනයේ හඬ යලි වතාවක් වෙනස් විය හැකි බව යි, එහෙත් තරුනිය පවසන්නේ එය “කෙසේ හෝ නොවෙනස්ව පවත්වා ගනිමු” යන්න යි.

සත් කලාව ද ඇතුලු යහපත් ලෝකයක් උදෙසා තරුන ජනයාගේ මේ අදිටන හුදෙක් පුද්ගලවාදී වෙර වීර්යයෙන් පවත්වා ගත නොහැක. අද දින මානව වර්ගයා ගමන් කරමින් සිටින්නේ තම ඉතිහාසයේ වඩාත්ම අර්බුද ග‍්‍රස්ත යුගය තුලිනි. ලෝක යුද්ධ දෙකක් පැන නැංවීමට තුඩු දුන් ධනේශ්වර පද්ධතියේ අභ්‍යන්තර පරස්පර විරෝධයන් අන්කවරදාකවත් නොවූ පරිමානයට තීව‍්‍ර කෙරී ඇති අතර, ධනපති ක‍්‍රමය විසින් තුන්වන ලෝක යුද්ධයක අද්දරටම මනුෂ්‍ය වර්ගයා රැගෙනවිත් පවතී. පෙර ලෝක යුද්ධ කාල පරිච්ඡේදයන්හි කලාවේ ස්වාධීනත්වයට එල්ලවූ ප‍්‍රහාරයන් පරයා යන බරපතල ප‍්‍රහාරයන් අද දින කලාව ඇතුලු සමස්ත මානව සංස්කෘතියට එල්ල වී ඇති අතර න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට නියමිත තුන්වන ලෝක යුද්ධයකට සමස්ත මනුෂ්‍ය ශිෂ්ඨාචාරයම විනාශ කිරීමේ විභවය ඇත.

මෙම ව්‍යසනයෙන් ගැලවී ගත හැකි වන්නේ එය පැන නංවන ධනේශ්වර පද්ධතිය ලෝක පරිමානව පෙරලා දමීමෙනි. එය සාක්ෂාත් කල හැක්කේ ධනවාදය විප්ලවවාදී ලෙස පෙරලා දැමීමේ ශක්‍යතාව සහිත එකම පන්තිය වන කම්කරු පන්තිය ජාත්‍යන්තර සමාජවාදය මත ලෝක පරිමානව බලමුලු ගැන්වීමෙනි. මෙම ඉදිරි දර්ශනය මත සටන් වැදීමෙන් තොරව නඳුනි ඇතුලු නව පරම්පරාවට වයලිනයේ හඬ නොවෙනස්ව තබා ගැනීමට, නැතහොත් කලාවට එල්ල වන පීඩනය අභිබවමින් එය ස්වාධීනව පවත්වා ගත නොහැක.

“විප්ලවය සඳහා ‐ කලාවේ නිදහස.

“කලාවේ පරිපූර්න විමුක්තිය සඳහා‐ විප්ලවය!”