Hot!

මාධ්‍ය නිදහසේ ආර්. කේ. ඩබ්ලිව්. වාර්තාවෙන් ජනාධිපතිවරණයට

| සුනන්ද දේශප්‍රිය

ශ්‍රී ලංකාවෙහි ප්‍රම්‍රඛ පෙ‍ළේ නීතිවේදියකුව සිට ආර්.කේ.ඩබ්ලිව්. ගුණසේකර මහතා පසුගිය බදාදා සිය අවසන් ගමන ගියේ ය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් ප්‍රසිද්ධ කරන ලද  ඒ  මහතා පිළිබඳ ගුණ කථනයකින් කියැවුනු පරිදි ගුණසේකර මහතා ශ්‍රී ලංකාවෙහි මාධ්‍ය නිදහස පරිපූර්ණ කිරීම පිණිස විවිධ තලයන්හි ක්‍රියාකාරී වූ යහපත් මිනිසෙකි.

ආර්.කේ.ඩබ්ලිව්. ගුණසේකර කමිටු වාර්තාව නමින්  ශ්‍රී ලංකාවේ දේහපාලන ශබ්ද කෝෂයේ සදහන් වන ජනමාධ්‍ය නීති ප්‍රතිසංස්කරන පිළිබඳ වාර්තාව (1996) එම මැය යටතෙහි අද දක්වාම දක්නට ලැබෙන වැදගත්ම වාර්තාව ය.

1994 බලයට පත් චන්ද්‍රිකා කුමාරතුංග ආන්ඩුවේ එක් ප්‍රථම කාර්යයක් වූයේ ජනමාධ්‍ය නිදහස පරිපූර්ණ ලෙස තහවුරැ කරනු පිණිස ක්ෂේත්‍රයන් හතරක් ගවේෂණය කොට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටු හතරක් පත් කිරිම ය.

මෙම කමිටු හතර විසින් නිර්දේශ සහිතව ඉදිරිපත් කරන ලද වාර්තා, චන්ද්‍රිකා කුමාරතුංග ආන්ඩුව, රනිල් විකුමසිංහ ආන්ඩුව සහ මහින් ද රාජපක්ෂ ආන්ඩුව යන 1996 සිට පැවැති සියළු ආන්ඩු විසින් ක්‍රියාවට නොනැංවූවා පමණක් නොව නිල වශයෙන් ප්‍රසිද්ධියට හෝ පත් කරන ලද්දේ නැත.

කමිටු හතරෙහි ප්‍රධානතම ක්ෂේත්‍රය වූ ජනමාධ්‍ය නිදහසට බලපාන නීති ප්‍රතිසංස්කරනය සඳහා වූ කමිටුවෙහි ප්‍රධානත්වය දරන ලද්දේ ආර්.කේ. ඩබ්ලිව්. ගුණසේකර මහතා ය.  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මානව හිමිකම් ලේඛිකාවක සහ නීතිවේදිනියක වන කිෂාලි පින්තෝ ජයවර්ධන එකී වාර්තාව හදුන්වන ලද්දේ ‘ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය මාධ්‍ය ප්‍රතිසංස්කරණ මූලිකත්වයන්හි ආරම්භය‘ ලෙස ය. තවදුරටත් ‘ මෙම විස්තරාත්මක වාර්තාව ජනමාධ්‍යට අදාළ සෑම ක්ෂේත්‍රයක්ම වාගේ පරීක්ෂා කොට නිර්දේශ සමුදායක්ම ඉදිරිපත් කළේ ය‘ යැයි ඇය සඳහන් කරයි.

එම වාර්තාවෙහි එන සමහර විට වැදගත්ම නිගමනය නම් ශ්‍රී ලංකාවෙහි ව්‍යවස්ථාවෙහි මාධ්‍ය නිදහස සුරැකීම පිණිස ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති බව ය. ශ්‍රී ලංකා ව්‍යවස්ථවෙහි ජනමාධ්‍ය නිදහසට අදාළ 18 සහ 19 වන වගන්ති එක්සත් ජාතීන්ගේ සංවිධනයේ සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබද ප්‍රඥප්තියට අනනකූලව යළි සකස් විය යුතු යැයි ආර.කේ.ඩබ්ලිව්. කමිටු වාර්තාව නිර්දේශ කළේ ය.

තොරතුරු නිදහසේ අයිතිය ද ව්‍යවස්ථාවෙන්ම සහතික විය යුතු බව එම නිර්දේශයෙන්ම කියැවිණ. මාධ්‍ය වාර්තාකරණයට බලපාන පාර්ලිමේන්තු වරප්‍රසාද අහෝසි කිරීම, අධිකරණ අපහාසය නිර්වචනය කැරෙන පනතක් ගෙන ඒම. මාධ්‍ය නිදහසට බලපානා රාජ්‍ය රහස් පනත වැනි නීති අහෝසි කිරීම, අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ ඇති සාපරාධී අපහාස නීතිය අහෝසි කිරීම යනාදී දුර දිග යන නිර්දේශ ගණනාවක් ම එම වාර්තාවෙහි අඩංගු විය.

එතෙක් මෙතෙක් බලයේ සිටි-නොසිටි බොහෝ බලවේග සහ පුද්ගලයින් එක්වී ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට සැරසෙන මෙවැනි මොහොතක දී ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නීති  ප්‍රතිසංස්කරණ පිළිබඳ ආර්.කේ. ඩබ්ලිව්. ගුණසේකර කමිටු වාර්තාවෙහි අලු බසාගසා දමා එළිපහළියට ගැනීමට නියමිත වේලාව දැන් පැමිණ තිබේ.
ඒ ඇයි?
අද තරම්  මාධ්‍ය නිදහස ඛාදනය වූ යුගයක් නිදහස් ලංකාවෙහි තිබී නැති නිසා ය. මාධ්‍ය නිදහසේ වටිනාකම අද කවරදාටත් වඩා ඇඟට දැනෙන නිසා ය. මාධ්‍ය නිදහසින් තොරව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පරිවර්ථනයකට ඉඩක් නැති නිසා ය.  මාධ්‍ය නිදහස යනු සමාජයක ප්‍රජාතන්ත්‍රවාදී දේහපාලන අවකාශයේ බැරෝ මීටරය යි.
රාජපක්ෂ පාලනයේ එක් ප්‍රධානතම මර්දනකාරි දැති රෝදයක් වන්නේ ජනමාධ්‍ය පාලනය සඳහා වූ විස්තිර්ණ මූලෝපාය යි. එම දැති රෝදය නතර වුව හොත් සමස්ත මර්දනකාරී පාලනයම නතර වන තරමට මෙම මූලෝපාය රාජපක්ෂවරැන්ට තීරණාත්මක ය. එය නිතිය ද අවනීතියද මැර බලයද මුල්‍ය බලයද ඕපා-දූප ද පච කන්දරාද යනාදී වූ විවිධ උපාංග එකී දැති රෝදයේ  මුවහත් දැති බවට පත් කර තිබේ.

රාජපක්ෂ පාලනය පෙරළා දැමිම සඳහා බලවේග රාශිභූත වෙමින් පවත්නා  මහඟු ඉතිහාසීය මොහොතක් දැන් අප හමුවෙහි දිග හැරෙමින් තිබේ. මෙම මොහොත අල්ලා ගැනීම දේශපාලන පක්ෂවලට පමණක් අදාළ කාරණයක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් සමාජය ද සිය තීරණාත්මක ඉල්ලීම් දවසේ දේශපාලන න්‍යාය පත්‍රය කරා රැගෙන ආ යුතු ය‍
මාධ්‍ය නිදහස සිවිල් සමාජය විසින් අද ජනාධිපතිවරණ  දේශපලන සාච්ජාව තුළට ගෙන ආ යුතු තිරණාත්මක දේශපාලන සටන්පාඨ වලින් එකකි.

1994 ජනාධිපතිවරණ දේශපාලන සාකච්ජාව තුළ මාධ්‍ය නිදහස පිළිබඳ කාරණය කේන්ද්‍රීය ස්ථානයක් කරා ගෙ ඒමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු සිවිල් සමාජ සංවිධාන සමත් විය.මාධ්‍ය නිදහස පිහිටුවීම උදෙසා වූ කමිටු නිර්දේශ ලබා ගැනුනේ එහි ප්‍රතිපලයක් ලෙස ය.

චන්ද්‍රිකා කුමාරතුංග ආන්ඩුව, පසුව අතහැර දමන ලද නමුත්, සිය ආරම්භක වසරයන්හි දී මාධ්‍ය නිදහස තහවුරු කිරීමට සැලසුම් කළේ  මහජන සේවා  දාෂ්ඨි කෝණයකිනි.

ඊට පටහැනිව 2002 දී බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ ආන්ඩුව  මාධ්‍ය නිදහස දෙස බැලුවේ ලිබරල්වාදී   කෝණයකිනි. ජනමාධ්‍ය ක්ෂේත්‍රය සහමුලින්ම පුද්ගලික පරිමන්ඩලයට අයත් විය යුතු යැයි එනම් කිසිදු ලෙසකින් රාජය මැදිහත් වීමක් අවශ්‍ය නැතැයි යනුවෙනි.

ආර්.කේ.ඩබ්ලිව්. කමිටු වාර්තාවෙහි එන  නිර්දේශයන් අතර තවත් වැදගත් නිර්දේශයක් නම් ස්වාධීන විකාශණ අධිකාරියක් පිහිටුවිය යුතුය යන්නයි. රාජ්‍ය පාලිත විද්‍යුත් මාධ්‍ය එය යටතට ගැනිය යුතුව තිබුණි. එපමනක් නොව අද දේශපාලන ජාවාරමක් බවට පත්ව ඇති රෑපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා ලබා දීම ද එම අධිකාරිය යටතට ගැනිය යුතුව තිබුණි.

අද මෙරට රාජ්‍ය මාධ්‍ය යනු කිසිදු නීතියක් රීතියක් බියක් චකිතයක් නැතිව රාජපක්ෂවරැන්ට බැල මෙහෙකරකමේ යන දේශපාලන හොරණැ කන්ඩායමකි. විශේෂයෙයන්ම මැතිවරණ සමයන්හිදී මෙම රාජ්‍ය පාලිත ජනමාධ්‍ය පාලක පක්ෂයේ ඍජු උපාංග බවට පත් වෙයි. ඒවා රාජ්‍ය සම්පත් ලෙස සළකා මැතිවරණ සමයන්හිදී සිය පාලනය යටතට ගැනීමට විවිධ මැතිවරණ කොමසාරිස්වරුන් විසින් දරන ලද ප්‍රයත්න එම ආයතන කරවූ වන්දිභට්ට පිරිස් විසින් තුට්ටුවකටවත් නොසළකන ලද බව අපි දනිමු.

අද ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සහ සමාජ වගකීම සම්බන්දයෙන් ඇති එක් තීරනාත්මක ප්‍රශ්ණයක් නම් රාජ්‍ය පාලිත ජනමාධ්‍ය ස්වාධීන සහ ආචාර ධාර්මික ආයතන බවට පත් කිරීම යි.  සමහර විට  මෙරට ආචාර ධාර්මික සහ ජනමාධ්‍යවේදී නිදහස තහවුරු කිරීම පිනිස දැරෙන ව්‍යයාමයන්හි යතුර වනු ඇත්තේ රාජ්‍ය පාලිත ජනමාධ්‍ය ස්වාධීන සහ වෘත්තිමය බවට ගෙන ඒමය.

17 වන සංසෝධනය පිළිබඳ මූලික සාකච්ජා අවස්ථාවෙහි ස්වාධීන මාධ්‍ය කොමිසමක් ඊට ඇතුළත්ව තිබූ නමුත් අවසානය වන විට එය අතුරුදහන් වී තිබුණි. රාජ්‍ය ජනමාධ්‍ය සම්බන්ධයෙන් ආර්.කේ.ඩබලිව්. කමිටු වාර්තාවෙහි සදහන් වන ස්වාධීන විකාශන අධිකාරියක් පිහිටවීම රාජපක්ෂ විරෝධී පොදු අපේක්ෂක වැඩ සටහන තුළට ගෙන යාම අද වැදගත් විය හැකි ය.

පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමෙන් පසු පිහිටුවෙන සංක්‍රාන්ති ආන්ඩුව විසින් ඊළඟ මහා මැතිවරණයට පෙර සියළ දේශපාලන ධරාවන්ට සමාන ඉඩ ප්‍රස්තා සැලසීම පිනිස ඉටු කළ යුතු ප්‍රතිසංස්කරනයන්  අතර රාජ්‍ය මාධ්‍ය ප්‍රතිසංස්කරණය ඇතුළු මාධ්‍ය ප්‍රතිසංස්කරණ ගනනාවක් ද තිබිය හැකි ය.

දේශපාලන කැළඹිලී කාලයන්හිදී මහා ජනයා වේගයෙන් දේශපාලන අදහස් උරා ගනී. ඒ අර්ථයෙන් විප්ලවකාරී දින දහයක් සාමන්‍ය වසර දහයක දේ ජනයාට ඒත්තු ගන්වන්නේ යැයි රුසියානු විප්ලවයේ නායක ලෙනින් කීවේ ය. අප විපල්වයක් අභියස නැතත් මහා දේශපාලන කැලඹීමක අභියස සිටිමු. සියළු නිදහස්හි පදනම  වන මාධ්‍ය නිදහස පිළිබඳ ගැඹුරු සංවාදයක් සමාජගත කිරීමට මේ තරම් යෝග්‍ය කාලයක් නැත.
ආර්.කේ.ඩබ්ලිව්. කමිටු වාර්තාව ඒ සඳහා  අපූරු ආරම්භයක් බවට පත් කර ගත හැකි ය.

වැඩට බහිමු.