Hot!

මම ගමේ බයියෙක්‌ කියන්න එයාට හොඳ කොන්දක්‌ තිබුණා

උපුටා ගැනීම දිවයින

අතිශය සෞන්දර්යවාදියෙකු පිළිබඳව අදහස්‌ දැක්‌වීම හෝ සටහනක්‌ තැබීම හිතනවාට වඩා අපහසු කටයුත්තකි. ඔහු පිළිබඳව පැවසීමට බොහෝ දේ තිබුණත් ඒවා හැසිරවිය යුත්තේ ඉතා ප්‍රවේසමිනි. එහි කිසියම් හෝ අතපසුවීමක්‌ තිබෙන්නට බැරිය...· නමුත් මෙවැනි පුංචි සටහනකට එවැනි ජීවිතයක්‌ ලඝූකොට දැක්‌වීමේදී අතපසුවීම්ද විය හැකිය. ඇතැම් විට ඔහු මුළු ජීවිත කාලයක්‌ පුරා ගොඩ නගා ගත් දේ එක්‌ පුංචි අතපසුවීමකින් පවා වෙනස්‌විය හැකිය. එබැවින් ඔහු පිළිබඳව අප මේ සටහන තබන්නේ ඉතා ප්‍රවේසමිනි.

රන්බණ්‌ඩා සෙනෙවිරත්න! ප්‍රවීන ගීත රචකයෙකු වූ ඔහු වෘත්තියෙන් අධිනීතිඥ වරයෙකි. "අලිතාලියා" ගුවන් කොල්ලය නිසා වරදකරුවූ සේපාල ඒකනායක වෙනුවෙන්ද "ව්‍යාජ කූපොන්" පොත් නඩුවේ ඔසී අබේගුණසේකර ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන්ද පෙනී සිටියේය. ඒ ඔහුගේ නීති වෘත්තියේදී ප්‍රසිද්ධියට පත් ඇතැම් නඩු විභාගයන්ය. එසේම මෙරට මානව හිමිකම් නඩු මුලින්ම ඇරඹූ කිහිප දෙනාගෙන් කෙනෙකි.

නමුත් නඩු අහපු හෝ නඩු විසඳපු රන් බණ්‌ඩාට වඩා අප ආදරය කළේ ගීත ලියපු රන්බණ්‌ඩාටය. ඔහු ගීත ගොඩක්‌ ලියූ පදරචකයකු නොවේ. නමුත් ඔහු අපට ඉතිරිකර ගිය ඒ ගීත කිහිපය තුළ සිතන්නට බොහෝ දේ ඉතිරි කර තිබේ. දවසක්‌ පැල නැතිහේනේ, ළඳුනේ, උලලේනෝ, සුමනෝ වැනි ගීත නැවත බිහිවේ යෑයි සිතීම අපහසුය.

මිහින්තලේ මරදන්කල්ල ඔහු උපන් ගමයි. මරදන්කල්ලේ සිට කොළඹ නීති විද්‍යාලයටද එතැනින් කොළඹ ඉහළ සමාජයේ ආශ්‍රයටද වැටුණු ඔහු "මම ගමේ බයියෙක්‌" යෑයි කීමට කිසිවිටෙකත් පසුබට වූයේ නැත. අද කාලේ ගැමිකම මාර්කට්‌ කරනා මෝස්‌තර බයියන්ට කොළඹ ඇවිත් කෙලින් හිටගන්නා විදිහ පෙන්නුවේද රන්බණ්‌ඩාය. මිහින්තලේ මරදන්කල්ලේ වන්නිහාමි වෙල් විදානේට තිබුණේ ඉතා බරසාර පවුලකි. ඔහුට දූ දරුවන් දාහතර දෙනෙක්‌ සිටියාය. ඒ ගැහැනු දරුවන් හත්දෙනෙක්‌ හා පිරිමි දරුවන් හත්දෙනෙක්‌ ලෙසිනි. රන්බණ්‌ඩා තම මව ගැන මෙන්ම අප්පච්චී ගැනද කතාකළේ ඉතා ගෞරව බහුමානයෙනි. ඔහු කියනා පරිදි වන්නිහාමිද නීතියට අකුරට වැඩකළ හොස්‌ස ළඟින් මැස්‌සෙකුටවත් යානොහැකි තරමේ පුද්ගලයෙකි.

"අපේ අප්පචච්චි මහ හැඩිදැඩි මනුස්‌සයෙක්‌. දුවන මීහරකකුගේ වලිගෙන් අල්ලලා බිමදාන්න තරම් ඔහු ශක්‌තිමත්. අප්පච්චි තමයි ගමේ නායකයා. අපේ ගමේ වෙදා, ගුරුවරයා, පාසල, පන්සල මෙහෙයවපු කෙනා. මේ සියල්ල කළේ අපේ අප්පච්චී" යෑයි තම පියා පිළිබඳව මහත් ආඩම්බරයෙන් කතාකරයි.

ඔහුගේ ළමාවිය හෝ තරුණ වියද එතරම් සැපපහසුවට ගෙවා දැමූවක්‌ නොවීය. මැටි ගහපු පොල් අතු සෙවිලිකළ ගෙයක ඔවුන් සියලුදෙනාම සතුටින් ජීවත්වී තිබේ. කුඩා කල සිටම ඉගෙනුමට සමත්කම් පෑ රන්බණ්‌ඩාගේ අනාගතය කවදා හෝ සමාජයේ උසස්‌ තැනක තිබෙනු දැක්‌ම වන්නිහාමිගේ සිහිනයක්‌ විය. හැමදාම පන්තියේ පළමු වැනියා වන රන්බණ්‌ඩා දෙවෙනියා වී ගෙදර පැමිණි විටෙක ගුටිකන්නේ පියාගේ එම සිහිනය නිසාය. කුඩා කල උපන්ගමේ පාසලින් අධ්‍යාපනය හදාරන ඔහු පහේ පන්තියේදී හිමිවන ශිෂ්‍යත්වයෙන් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වෙයි. එම පාසලේ හයවන වසරින් ඉහළට සෑම විෂයයක්‌ම ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම ඔහුගේ දැනුම වර්ධනයට තවත් ඉනිමගක්‌ විය. පාසල් අධ්‍යාපනයෙන් පසුව රක්‍ෂණ නිලධාරියෙක්‌ ලෙස සේවයට බැඳෙන රන්බණ්‌ඩාට කොළඹ නීතිවිද්‍යාලයේ දොර විවර වන්නේ නොසිතූ මොහොතකය. ඒ කාලේ හැටියට උතුරු මැද පළාතෙන් නීතිවිද්‍යාලයට ශිෂ්‍යයෙක්‌ පැමිණෙන්නේ බොහෝ කලාතුරකිනි. නීතිවිද්‍යාලයට ඇතුළු වී දෙවෙනි වසරේදීම ඔහු ශිෂ්‍ය සභාවේ සභාපතිකමට ඡන්දය ඉල්ලයි. කොළඹ පැලැන්තිය පමණක්‌ නොව ගම්වලින් පැමිණි බොහෝ බයියන්ද ඔහුට විරුද්ධව වැඩකළත් ප්‍රථම වතාවට කොළඹ ඉහළ පාසල් වලට පිටින් ගමේ බයියෙක්‌ නීතිවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සභාපති වෙයි. හැත්තෑ එකේ කැරැල්ල සමයේ ඔහුව ඝාතනය නොකිරීමට එකම හේතුව වන්නේද ඔහු ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා වීමය. මේ වනවිට ඔහු කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේද සාමාජිකයෙකි. හැත්තෑ එකේ කැරැල්ලේ වේදනාව නීතිවිද්‍යාලයේ බොහෝ දෙනෙකුට නොදැනුනි. මන්ද ඔවුන්ගේ කවුරුවත් ඊට සම්බන්ධ නොවූ නිසාය. ඒත් ඒ වනවිටත් රන්බණ්‌ඩාගේ සහෝදරයන්ද, ගමේ ඔහුගේ යහළුවන්ද කැරැල්ලේ ක්‍රියාකාරී සාමාජිකයන් වී තිබුණි.

"කැරැල්ලෙන් ඔහුගේ පවුලේ දෙදෙනෙක්‌ වෙඩිතබා ඝාතනය කළේය. ඒ අතර සිටි පොඩි සෙනෙවි නම් ප්‍රසිද්ධ කැරලි සාමාජිකයා ඔහුගේ සහෝදරයෙක්‌ විය. ඊට අමතරව ඔහුගේ පවුලේ පස්‌දෙනෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණි. ඔහුගේ මෙම වේදනාව පිට කෙරුනේ "උලලේනෝ" නැමැති ඔහු අතින් ලියෑවුණු අතිවිශිෂ්ට ගීතය හරහාය. කැරැල්ලේ වේදනාව මම හොඳට අත්වින්දා. උලලේනෝ ගීතය ලියුවේ මේ වේදනාවෙන්. ඒ විතරක්‌ නෙමෙයි මගේ හැම ගීතයක්‌ම ලිව්වේ ඒවායින් කැසට්‌ ගහන්න නෙමෙයි. ඒ ඒ අවධිවලදී මගේ හිතේ ඇතිවුණු හැඟීම් පළකරන මාර්ගයක්‌ විදිහටයි. පසු කලෙක තම ගී රචනා පිළිබඳව ඔහු එසේ පවසා තිබුණා.

කවියට ගීයට ඔහු තුළ තිබුණු හැකියාව හෝ ආශාව කිසිවකු විසින් බලෙන් ඔබ්බෙනු ලැබූවක්‌වත් පසුකලෙක ඇතිවූ ආශාවක්‌වත් නොවීය. එකල ගැමියනගේ ජීවිතේ බොහෝ දේ විසඳුනේ කවියෙනි.

"අපේ ගම්වල දවස ගෙවුනේ කවියෙන්මයි. අපේ අප්පච්චි ලෙඩ තීන්දු කළේ, බෙහෙත් නියම කළේ කවියෙනි. මහ පාන්දර කරුවලේ හුළුඅතු බැඳගෙන හැතැප්ම ගණන් ඉස්‌කෝලෙට පිටත්වුණේ කවි කිය කියා. අප්පච්චිලගේ හේනේ කුඹුරේ වැඩ වලට ගියත් ඇහෙන්නේ කවි. රිලව්, ගිරව් එළවන්නෙත් කවියෙන්. ඒ වගේ අපේ හැමදේම වුණේ කවියෙන්" යෑයි වරෙක ඔහු පුවත්පතකට පවසා තිබුණි. ඔහුගේ බොහෝ කවි රචනා ලියෑවුණේ ඔහු එවකට බොරැල්ලේ වයි.එම්.බී. ඒ. ශාලාවේ කාමරයක නැවතී සිටින කාලයේදීය. දෛවය විසින් බොහෝ දේ සිදුකරන්නේ නොසිතූ නොසිතූ ලෙසටය.

උතුරු මැද පළාතෙන් නීතිය හැදැරීමට පැමිණි රන්බණ්‌ඩාත් දකුණු පළාතෙන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධිය ලබාගැනීමට පැමිණි ගුණදාස කපුගේත් හමුවන්නේ මෙහිදීය. පසුකලෙක ඔවුන් අතර යම් යම් ප්‍රතිපත්තිමය තීරණ මත අමනාප කම් ඇතිවුවද මේ සම්මිශ්‍රණයේ මිහිර විඳීමට එය බාධාවක්‌ නොවේ.

මෙතෙක්‌ කලක්‌ තමන්ගේ හිතට ආ අදහස්‌ පිටකිරීමේ මාධ්‍යයක්‌ ලෙස කවි ලියූ රන් බණ්‌ඩාගේ කවි ඔහු සමඟ එකට වයි. එම්. බී. ඒ. ශාලාවේ නැවතී සිටි ගුවන් විදුලි ශිල්පී ඩී. ඇස්‌. දයාරත්නට හමුවන්නේ අහම්බයෙනි. ඒවා ගීත බවට පත්කරන තුරු දයාරත්නගෙන් රන්බණ්‌ඩාට ගැලවීමක්‌ නොවීය. නමුත් එවකට සිටි ඇතැමෙක්‌ ලවා මේ ගී ගායනා කරවූවද රන්බණ්‌ඩාගේ සිතට එය හරිගියේ නැත. මෙසේ තමන්ගේ නිර්මාණ වලට හොඳ හඬක්‌ සොයමින් සිටිනා විට ඔහු අසල කාමරයකින් පසුකලෙක ඉතාමත් ජනප්‍රිය වූ "මාරියාවේ" ගීතය කිසිවකු විසින් මුමුණනවා ඇසෙන්නට විය. ඔහු මෙතෙක්‌ කලක්‌ සෙවූ කටහඬ මෙය නොවේ දැයි ඔහුට සිතුණි. ඔහු ඩී. එස්‌. දයානන්ද සමඟ ගොස්‌ ගුණදාස කපුගේව හඳුනාගන්නේ එලෙසිනි. ඉන් පසුව ඔහු කපුගේට පළමුවෙන් දෙනු ලබන්නේ උලලේනෝ ගීතයයි. එය කියවා බලන කපුගේ රන්බණ්‌ඩාගෙන් අසන්නේ "මේකේ කියල තියෙන්නේ උලලේනෙක්‌ ගැන වෙන්න බැහැ. ඊට වඩා බරපතල දෙයක්‌ මෙතන තියෙනවා ඒ මොකක්‌ද?" යනුවෙනි. කපුගේ පෙරලා තමන්ගෙන් එසේ ඇසීම තමන්ට දරාගැනීමට තරම් අපහසු සතුටක්‌ ගෙනා බව රන්බණ්‌ඩා පවසයි. ඇත්තටම මට දරාගන්න බැරි සතුටක්‌ ඇතිවුණා. ගුණදාසට හොඳ හඬක්‌ විතරක්‌ නෙමෙයි හොඳ මොළයකුත් තිබුණා. ඔහු ගී ගැයුවේ එහි තේරුමත් හිතේ තියාගෙන. එදා ඉඳන් මම ගී ලියුවා. අපි එකතුවෙලා තනු දැම්මා කපුගේ ගී ගැයුවා.

කපුගේ සමඟ එකතුවීමෙන් පසු රන් බණ්‌ඩා සෙනෙවිරත්න නම් ගී පද රචකයා සොයා පද රචනා ලබාගැනීමට බොහෝ පිරිසක්‌ පැමිණෙන්නට වූහ. නමුත් ඒ සියලු දෙනාටම පාහේ සිදුවූයේ ඒ අදහස අත්හැරීමටය. මන්ද ඔහුගෙන් පද රචනයක්‌ ලබාගැනීම සිතූ තරම් ලෙහෙසිපහසු කටයුත්තක්‌ නොවූ බැවිනි. ඔහු ඉල්ලන ඕන කෙනෙකුට ගීත ලියන්න කැමැති වුණේද නැත. ඉඳහිට හෝ එසේ ගීතයක්‌ ලබාදීමට ඔහු කැමැති වූවත් ඒ සඳහා නීති මාලාවකට යටත්ව කටයුතු කිරීමට අදාළ ගායකයාට හෝ ගායිකාවට සිදුවිය. එනම් එම ගීත පටිගත කිරීමට ප්‍රථම ඔහු ඉදිරිපිට දීම තනුවක්‌ දමා ගැයිය යුතුය. එය ලිවීමේදී ඔහුගේ හිතේ වූ අදහස කියෑවෙන පරිදි එය ගායනා විය යුතුය. කට හඬ හෝ සංගීතය ඊට ගැලපිය යුතුය..· මේ නිසා බොහෝ ගායක ගායිකාවෝ රන්බනAඩාගෙන් ගීත ලබාගැනීමට පැමිණීමේ අදහස අත්හැර දැමුවාය. ඔහු මෙතරම් අඩු ගීත ප්‍රමාණයක්‌ රචනාකර තිබීමට හේතුවද මෙයම වන්නට පුළුවන. ජීවිතයේ සියල්ල නැතිවී කොළඹ අතරමං වෙච්ච මිනිසෙක්‌ ගැන කියෑවෙන දවසක්‌ පැල නැතිහේනේ ගීතය මෙන්ම නොසිතූ මොහොතක ජීවිතයෙන් සමුගත් තමන් බොහෝ සේ ආදරය කළ තම නෑනන්ඩිය ගේ වියෝව පිළිබඳව ලියෑවුණු "සුමනෝ" ගීතයද රන්බණ්‌ඩාගේ සැබෑම ජීවන අත්දැකීම් විය. ඔහු විසින් රචිත "හිතේ දුකට කියන කවි" නම් කෘතියේ මේ සියල්ල ඇතුලත්වී තිබේ.

ඔහු ජීවිතයේ සුන්දරත්වය දුටු මිනිසෙක්‌ මෙන්ම ජීවිතයේ සෘජු තීරණ ගත් දැඩි විනයක්‌ සහිතව දිවි ගෙවූවෙක්‌ද වෙයි. ඇතැම් විට තම වෘත්තීය ගෞරවය ආරක්‍ෂා කර ගැනීමත් තම පියාගෙන් ලැබුණු ආභාෂයත් ඊට හේතුවන්නට ඇත. එවන් අදහස්‌ ඇති ස්‌වාමි පුරුෂයෙක්‌ හා දිවි ගෙවීම බිරිඳකගේ හිසමත මහත් බරක්‌ ඔසවා තැබීමකි. නමුත් අවශ්‍ය වන්නේ අවබෝධය පමණකි. රන් බණ්‌ඩා සෙනෙවිරත්න නම් සොඳුරු මිනිසා සමඟ, සියල්ලට පෙර විනය ජීවිතයේ පළමු තැන කරගත් ස්‌වාමියා සමඟ ඔහු මියෙන තුරාවම ජීවිතයේ සෙවණැල්ල සේ ළඟින් සිටි ඔහුගේ ප්‍රිය බිරිඳ ගයා නන්දනී සෙනෙවිරත්නගෙන් අප ඔහු පිළිබඳව විමසුවාය.

මට මහත්තයව මුණගැසුනේ එයා නීතිවිද්‍යාලයේ ඉන්න කාලයේදී. මගේ සහෝදරයෙක්‌ගේ මාර්ගයෙන්. පස්‌සෙ අපි කසාද බැන්දා. අපිට ඉන්නේ දුවයි පුතයි. පුතා ඉසුරු ආමන්ත සෙනෙවිරත්න. දුව හෂිණි සෙනෙවිරත්න.

ඔහු මොනවගේ ගතිගුණ තිබුණු කෙනෙක්‌ද?

ගෙදරත් හරියට උසාවිය වගේ තමයි. එයා කියන විදිහට හැමදේම වෙන්න ඕන. කිසිම දේකට අපි මහත්තයත් එක්‌ක හරි වැරැද්ද තකා කරන්න ගියේ නැහැ. එයා හරි ප්‍රතිපත්ති ගරුකයි. ඒවගේම නීතියට, වෙලාවට, වැඩ කෙරෙන්න ඕන. අපිට වුණත් එහෙමයි. මටයි දරුවෝ දෙන්නටයි හරිම ආදරෙයි. මොන තරම් වැඩ තිබුණත් සතියට එක දවසක්‌ අපි වෙනුවෙන් වෙන් කරල තියා ගන්නවා. එදාට වෙන මොනවත් කරන්නේ නැහැ. අපිත් එක්‌ක සතුටින් ඉන්නවා. ඒවගේම වැඩකරන වෙලාවට අනිත් ඒව ගැන හිතන්නේ නැහැ. එයා මගෙන් ගොඩක්‌ දේවල් බලාපොරොත්තු වුණා. මම රැකියාවක්‌ කරනවට එයා කැමති වුණේ නැහැ. එයා උදේට යනකොට ටයිඑක, කෝට්‌එක, සපත්තු දෙක දීල ඒ වැඩටික පිළිවෙලට කරන්න ඕන. කවුරු හරි වරදක්‌ කළොත් ඒක එයාට දරාගන්න බැහැ. නීතිය අකුරටම ක්‍රියාත්මක කළා. මට මතකයි එක සැරයක්‌ ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේ එයාගේ කාර්එක නතර කරන්න දුන්නේ නැහැ කියලා පාලක සභාවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේම නඩුවක්‌ දැම්මා.

දරුවන්ට නීති දාල තිබුණාද?

එයා ජීවත්වුණු විදිහට දරුවන්ට එහෙම නිදහසක්‌දීල තිබුණද කියල පුදුමත් හිතෙනවා. ඒ ගැන හිතාගන්නත් බැහැ. ඔවුන්ට කිසිම නීතියක්‌ දාල තිබුණෙ නැහැ. ඒ දෙන්නත් කවදාවත් වරදක්‌ කරලා නැහැ. ඒ තරම් දරුවන්ට ආදරෙයි.

රෑට නිදාගන්න ගියහම ඒ දෙන්නව ඇඳ උඩට අරගෙන නින්දයනකම්ම කතන්දර කියලා දෙනවා. කවදාවත් ඉගෙනීමේ දේකටවත් ළමයින්ට පීඩනයක්‌ දීලා නැහැ.

ඔහුට ඉක්‌මනට කේන්ති යනවද?

ඔව්. එයා කියන දේ නොවුනොත් කේන්ති යනවා. එයා දෙයක්‌ කිව්වොත් ඒක තමයි හරි. ඉන් එහා මුකුත් නැහැ. සමහර වෙලාවට එයාගෙ යාළුවෝ එහෙම ආවහම මගෙන් විහිළුවට අහනව කොහොමද මෙයත් එක්‌ක ජීවත් වෙන්නේ කියලා.

සාමාන්‍ය ජීවිතයේදී ඔහු මොනවගේ කෙනෙක්‌ද?

ගොඩක්‌ විනෝදෙටත් බරයි. නිතරම පාර්ටි වලට යනවා. ඒ යනකොට අපිවත් එක්‌ක යනවා. මම හරි ආසයි එහෙම ගිය වෙලාවට එයාගේ කතා අහන් ඉන්න. ඒව හරි රසවත් විදිහට කියනවා. අපේ ගෙදරත් ඒ කාලේ නිතරම පාර්ටි තියෙනවා. උඩවලව වගේ පැතිවලට ටි්‍රප් යන්නත් හරි ආසයි. කලාකරුවෝ, එයාගෙ යාළුවෝ එහෙම නිතරම ගෙදර එනවා.

සමාජය ගැන මොනවගේ ආකල්පයක්‌ද තිබුණේ?

නිතරම කාටහරි එයාගෙන් උදව්වක්‌ අවශ්‍ය නම් ඒක කරල දෙනවා. පාරේ යනකොට කවුරුහරි මනුස්‌සයෙක්‌ වාහනයක්‌ කැඩිල හිටියත් මෙයා බැහැල ගිහින් එයාට උදව් කරනවා. වාහන තල්ලු කරනවා. කවදාවත් එයාගේ තත්ත්වය ගැන හිතුවේ නැහැ. නීතිය ඉගෙන ගන්න ළමයින්ට කෑම, බීම, නවාතැන් දීල මේ ගෙදර තියාගෙන නොමිලේ උගන්වනවා. එහෙම හදපු ගෝලයෝ දාහක්‌ විතර ඉන්නවා ඇති. ඒවගේම තමයි කාඅතින්වත් වරදක්‌ වෙන්න බැහැ. සොරි, තෑන්කියු කියන වචන දෙක නිතරම බලාපොරොත්තු වුණා. කවුරුහරි හොඳ දෙයක්‌ කරල තියෙනව දැක්‌කොත් කතා කරල ඒකට ස්‌තුති කරනවා. වෙලාවට වැඩනොකරන අයට සමාවක්‌ නැහැ. එයා නිතරම පන්සල් ගිය කෙනෙක්‌ නෙමෙයි. නමුත් වැරදි වැඩ කළේ නැහැ. උදේ පාන්දර නැගිටිනවා. දත් මැදලා පිරිසිදු වෙලා. ලස්‌සනට ඔළුව පීරලා තමයි වැඩ පටන් ගන්නේ. හැම වැඩක්‌ම හරි පිළිවෙලට කරනවා.

ජීවිතේ ගැන තිබුණේ මොනවගේ හැඟීමක්‌ද?

ජීවිතේ ගැන ගොඩක්‌ ආසාවල් තිබුණේ නැහැ. කෑමෙන් බීමෙන් පරිස්‌සම් වුණේම නැහැ. ෆ්‍රිඡ් එක පුරවල කෑම ජාති දාගෙන එයාම තමයි කෑවේ. ගමේ කෑමවලට හරි ආසයි. එයා ගම ගැන ලොකු ආඩම්බරයකින් කතාකළා. ගමේ බයියෙක්‌ කිව්වේ ආඩම්බරෙන්. වාමාංශික දේශපාලන අදහස්‌ තමයි හැමදාමත් හිතේ තිබුණේ. නමුත් එක්‌ අවස්‌ථාවක ඔවුන්ම මහත්තයාව ඝාතනය කරන්න හැදුවා. කිසිම දේකට බයක්‌ තිබුණ කෙනෙක්‌ නෙමෙයි. ඒ හැරුණහම ජීවිතේ හැමදෙයක්‌ම කළේ ඉතාමත් තෘප්තිමත්ව. මම උඩරට විදිහට ඔසරිය අඳිනවට ගොඩක්‌ ආසයි. නිතරම කිව්වේ මේ මොන දේ කළත් වෙලාව ආවහම "බුග්" ගාල යන්න වෙනවා කියලයි.

රංග විදානේ