Hot!

පොදු අපේක්ෂයා කරළියට දැමීමේ අවාසිය

| නිලන්ත ඉලංගමුව

කාලය, හේතු වලට වඩා මාරුකිරීම් තනයි 
- තෝමස් පේන් ( කොමන් සෙන්ස් )

විපක්ෂයේ පොදු අපේක්ෂයා සම්බන්ධයෙන් විශේෂ එකඟතාවයක් මේ වන විට දක්නට ලැබීම  සුවිශේෂී කාරණයකි. පොදු සංධානය සඳහා තවත් දේශපාලන පක්ෂ ඉදිරියේදී එකතු වනු ඇති අතර සංධානය වඩාත් සුපරික්ෂාකාරීව ගමන් කළ යුතුව ඇත. එසේම දෙමළ සංධානය ඇතුළු දෙමළ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් මීට සක්‍රීයව ඇතුලත් කළ යුතුව ඇත.

කෙසේ වෙතත් පොදු ආපෙක්ෂකයා කවුරුන්ද යන්න කීමට කලබල විය යුතු නැත. එය පළමුව ප්‍රකාශ කළ යුතු දෙයක් නොවන අතර හැකිතාක් දුරට එනම් හැකි උපරිමයෙන් පොදු අපේක්ෂකයා සමබන්ධයෙන් වන කතාබහ කුතුහලයක් බවට පත් කිරීම වැදගත් වේ. එවිට රාජපක්ෂ ජනාධිපතිවරයා එකිනෙකාට සුභපතා දුරකථන ඇමතුම් දෙනු ඇත.

පොදු අපේක්‍ෂකයා ප්‍රකාශ කිරීම, ජනාධිපති මහින්ද  රාජපක්ෂ මැතිවරණය නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මැතිවරණ ලේකම් කාර්යාලයට දැනුම් දෙන තෙක් රැක ගත යුතු මූලික කාරණයකි. එතෙක් කළ යුතු කටයුතු රාශියක් තිබේ. එහිදී වඩාත් වැදගත්වන්නේ පොදු අපේක්ෂකයා වෙනුවෙන් වන පොදු වැඩපිළිවෙලක් සහ පොදු රීතී රාමුවකි. එකිනෙකාගේ ඇති පෞද්ගලික එදිරිවාදිකම් සහ මානසික බිඳ වැටීම් මෙහිදී කාරණයක් කර ගැනීම් වූ කලී පැවතිය යුතු මූලික ශක්තිය හීන කර ගැනීමකි. ජනරාල් ෆොන්සේකාගේ වියෝව සාධාරණය. නමුත් එය අවස්ථානූකූලව යටපත් කරගත යුතු එකක් වේ. මන්ද  රටේ පවතින දේශපාලන ව්‍යාකූලත්වය හමුවේ තම දේශපාලන ආධුනිකත්වය, පෙන්වීමෙන් වාසී හිමිවන්නේ රාජපක්ෂ පරිපාලනයට වේ.

පොදු අපේක්ෂයා සම්බන්ධයෙන් වන මුලික විවේචනය වූ කලී, මෙය කොළඹ සිවිල් සමාජයේ නිර්මාණයක් බවයි. මෙය තවදුරටත් විග්‍රහ කරමින් එක්තරා දේශපාලන විචාරකයෙකු, පොදු අපේක්ෂකයා තෝරාගත යුතු ආකාරය පවා විග්‍රහ කළේය. හාස්‍යජනක මෙන්ම ඛේදනීය ස්වභාවයක් ගන්නා, දේශපාලන විචාර යැයි නම් කරනු ලැබූ රචනාවල් වල අඩුවක් නැත. රටේ පවතින සැබෑ ප්‍රශ්නය වෙනුවට වෙනත් දෑ ආදේශ කරමින් තම විනෝදය ලබා ගැනීම බොහෝ දෙනෙකුගේ ආශාව බවට පත් වී ඇත.

එසේම රටේ “ කලාකරුවන්” යැයි නම් කළ පිරිසක් අදාළ පොදු අපේක්ෂකයාට තම විරෝධය පළ කළහ. අදාළ “කලාකරුවන්” සම්බන්ධයෙන් මුලික වගුවක් ඔවුනොවුන්ටම සකස් කරගත හැකිය. එම වගුවට දැමිය යුත්තේ, තම නම, රාජපක්ෂ ජනාධිපතිවරයා නිසා තමන්ට හෝ තමන්ගේ දරුවන්ට අත් වූ වාසිය මෙන්ම එම වාසිය රටේ වාසියක් බවට පත් වේ හෝ නොවේය යන්න පිළිබඳව තමන්ට ඇති ස්වයං විවේචනය ආදී වශයෙන් සටහන් කර තීරු තුනක වගුවක් සකස් කර ගැනීමෙන් තමන්ගේ අවලස්සන තමන්ටම බලාගත හැකිය.

සැබවින්ම රටේ දේශපාලනයේ, කාබනික හෝ අකාබනික නියෝජිතයා නම් කරමින් රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටීමට වඩා වැදගත් වන්නේ රටේ පවතින ව්‍යවස්ථාමය ගැටලුව විසඳා ගැනීම සඳහා කැපවීමය. මෙය සෝභිත හිමි වඩාත් වැදගත් ආකාරයෙන් අවධාරණය කළෝය. උන්වහන්සේ තමන්ගේ යෝජනා පිළිගන්න යැයි පළමුව කියා සිටියේ, ජනාධිපති රාජපක්ෂටය. නමුත් ඔහු එය පිළිගැනීමට අකමැති නිසා පොදු ආපෙක්ෂකයෙකු අවශ්‍ය වේ.

ඒ වෙනුවට රටේ ජනතාවට, ජනාධිපති ධූරය සම්බන්ධයෙන් ගැටලුවක් නැත, ගැටලුව ඇත්තේ එය භාවිතාකරන ආකාරය අනුවය, යැයි කියමින් මෝඩ විවේචන සිදු කිරීම අප්‍රසන්නය. මන්ද මෙම ක්‍රමය තනා ඇත්තේ නීතිය අතට ගෙන පාලනය කිරීමටය. ඊට පත්වන ඕනෑම අයෙකු පෙර සිටි කෙනාට වඩා වැඩියෙන් යමක් කර ගැනීම මිස එහි ඇති අසාදාරණය තේරුම්ගෙන කටයුතු කරන්නේ නැත. මෙය වෙනස් විය යුතු මුලික කාරණයක් වන අතර විධායකය සතු බලතල නැතිවීමෙන් රට අරාජික වේ යැයි සිතීම විහිළුවක් පමණක් නොව එය රටේ ස්වෛරීත්වය සම්බන්ධයෙන් සිදුකරන බරපතළ අපරාධයකි. වරද නිවැරදි කිරීම වෙනුවට වරදට සිල් සමාදම් වීමට ඉගැන්වීම වූ කලී මනුෂ්‍යත්වය මුලාවේ හෙලීමකි.

රටේ බොහොමයක් ගැටලුව වල මූල ධාතුව වන්නේ මෙයයි. මෙය විසඳීමෙන් තොරව ජාතික, කලාපීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් රට කෙරෙහි සැබෑ ගරුත්වයක් නිර්මාණය කළ නොහැකිය. මෙම මුලික ගැටලුව ගැන කතා නොකර එය හිතා මතාම අමතක කරමින්, වෙනත් ගැටලු ගැන කතාකිරීම සැබවින්ම ඛේදනීය වේ.

සැබවින්ම රටේ ජනතාවගෙන් බහුතරයකට මෙම තත්වය තේරුම් ගත නොහැකිය. එය දේශපාලන මාතෘකාවක් බවට පත් කළ යුත්තේ සහ ඒ වෙනුවෙන් ගැඹුරු සංවාදයක් ඇති කළ යුත්තේ මෙහි නීරස අවබෝධ වන අයවලුන් විසිනි. එය ඉතාම සුළු පිරිසකි. රටක සැබෑ ගැටලු අවබෝධ කර ගත හැක්කේ ඒ සඳහා වරප්‍රසාද ලත් අයවලුන්ටය. එම වරප්‍රසාද ලැබීම පිටුපස සුවිශාල වගකීමක් තිබේ.

නමුත්, තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් ඉටුවීම රටේ අවශ්‍යතාවයන් ඉටුවීම යැයි සිතා කටයුතු කරණ කුහක මානසිකත්වය හමුවේ බොහොමයක් “දේශහිතෛශීන්” අමතක කර දමන කාරණයක් තිබේ. ඒ වූකලී මෙම මර්ධනය වාසී ලබාගත්වුන් වෙතද දිනෙක ලඟා වන බවය. සැබෑ පාලනයක් වූ කලී රටේ දුප්පත් සහ පොහොසත් පරතරය අඩුකරන්නක් වුවද සැබෑ මර්දනයක් ඉලක්ක කරන්නේ එම පරතරය වැඩි කිරීම සඳහාය. අපි ජාතියක් ලෙස උණු දියෙහි නටන කකුළුවන්ගේ තත්වයට පත් වන්නේද එසේ නොවේනම් සැබෑ සාධාරණ සමාජයක වෙසෙන ගරුත්වයක් ඇති ජාතියක් බවට පත්වන්නේද යන්න, තීරණය කිරීම සහ ඒ වෙනුවෙන් වූ දේශපාලන ඥානය රට පුරා විසුරුවා හැරීම තීරණාත්මක එකකි. පොදු අපේක්ෂයා හමුවේ ඇති සැබෑ අභියෝගය කියවෙන්නේද මේ හා සමානය.