Hot!

18 වන ව්‍යවස්ථා සංශෝධනය හා ව්‍යාජ වාද‐විවාද

| පානිනී විජේසිරිවර්දන විසිනි

ජනාධිපති මහින්ද රාජපක්ෂ ලබන ජනවාරියේදී හදිසි ජනාධිපතිවරනයක් කැඳවීමට යන බව සහ එයට ඔහු ඉදිරිපත්වන බව ප‍්‍රසිද්ධියට පත්වීමත් සමග, 18 වන ව්‍යවස්ථා සංශෝධනය, ධනපති දේශපාලන පක්ෂවල සහ මාධ්‍යයන්හි ප‍්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. ආඥාදායක පාලනයක් සඳහා යන ගමනේ සන්ධිස්ථානයක් ලෙස 2010 දී සම්මත කරගත් මෙම සංශෝධනය යටතේ, කම්කරු පන්තියටත් තම දේශපාලන විරුද්ධවාදීන්ටත් එරෙහි රුදුරු ප‍්‍රහාරයන් දියත් කිරීම සඳහා අවශ්‍ය බලතල රාජපක්ෂ විසින් සංකේන්ද්‍රනය කර ගන්නා ලදී.

රාජපක්ෂ විසින් හදිසි ජනාධිපතිවරනයක් කැඳවා ඇත්තේ තම ආඥාදායක පාලනය වඩාත් තහවුරු කර ගනිමින් ඔහු විසින් ගනන් බලන 2022 දක්වා වූ ධුර කාලය තුල ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ විධිවිධාන කි‍්‍රයාත්මක කරමින් කම්කරු‐පීඩිත මහජනතාවට එරෙහි සමාජ ප‍්‍රතිවිප්ලවයක් දියත් කිරීමටයි.

මහජනතාවට හොර රහසේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස පාර්ලිමේන්තුව හරහා හදිසියේ සම්මත කරගත් 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් රාජපක්ෂට ජනාධිපතිධුරය ඉසිලිය හැකි කාලය සීමා රහිත කෙරුනි. 1978 දී එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව විසින් සම්මත කරගත් ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කෙරුනු විධායක ජනාධිපති ක‍්‍රමය යටතේ පැවරුනු අතිමහත් බලතලවලට අමතරව අධිකරනය, පොලීසිය, මැතිවරන කොමිසම සහ මධ්‍යම බැංකුව මත සැලකියයුතු අධිකාරයක් ද නව සංශෝධනයෙන් ජනාධිපතිට පැවරින.

තුනී ස්ථරයක් මත වඩවඩාත් බලය සහ ධනය සංකේන්ද්‍රනය කර ගැනීමටත් කම්කරු‐පීඩිත මහජනතාවට එල්ල කෙරන ප‍්‍රහාරය තීව‍්‍ර කිරීමටත් මෙම නව බලතල රාජපක්ෂ විසින් යහමින් යොදා ගන්නා ලදී. සංශෝධනයේ ප‍්‍රතිගාමී අරමුන කම්කරු‐පීඩිත මහජනතාව අතර වඩාත් විශදවත්ම, එහි නපුර සහ යහපත ගැන ධනපති පාලක ප‍්‍රභූවේම විවිධ කන්ඩායම් අතර වසර හතරකට පසු කෙරෙන වාද‐විවාදවල සැබෑ අරමුන, රාජපක්ෂගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පියවරයන් හේතුවෙන් රාජපක්ෂ ආන්ඩුවටත් සමස්ත ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයටත් එරෙහිව මහජනතාව අතර වැඩෙන බලගතු විරෝධය අවමංගත කිරීමයි.

ඉහත මූලික උත්සුකය ප‍්‍රකාශයට පත්වන කතුවැකියක් පසුගිය ඔක්තෝබර් 26 සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පලවිය. “18 වන ව්‍යවස්ථා සංශෝධනය මත කෙරෙන විවාදය‐ සිවු වරක් ප‍්‍රමාද වැඩියි” යන ප‍්‍රස්තූතය යටතේ පලවූ එම කතුවැකිය සංශෝධනය සම්බන්ධයෙන් තම පුවත්පත පූර්වයෙන් කල අනතුරු ඇඟවීම් මෙසේ ගෙනහැර දක්වයි: “ප‍්‍රතිතුලනයේ සහ බලය වෙන් කිරීමේ මූල ධර්මයන් ඉවතට විසි කෙරෙන බවට සහ නව දේශපාලන සංස්කෘතියක් ආයතනගත කෙරෙන බවට අපි අනතුරු ඇඟවූයෙමු. අපි මෙසේ ලීවෙමු....‘අරමුනු යහපත් විය හැක. නමුදු, යහපත් අරමුනු සමග බැඳී අපායට යන මංපෙත් ද විවර විය හැකි බවට පැරනි කියමනක් තිබේ.’ අර්ථය ඉතා පැහැදිලියි.”“සිවු වසරක් ගතවූ තැන අරමුනු කවරේද යන්න පැහැදිලි” යැයි කතුවැකිය තවදුරටත් පවසයි.

සංශෝධනයෙහි සැබෑ අරමුනු වසන් කරමින් ඒවා “යහපත්” විය හැකියැයි සිවු වසරකට පෙර ලියූ සන්ඩේ ටයිම්ස් දැන් අරමුනු “පැහැදිලි” යැයි පවසන නමුදු එය පැහැදිලි නොකරන්නේමත්, නැතහොත් වසන් කරන්නේමත් සංශෝධනයට පිටුපසින් පැවති, දැන් ඉතා විශදව පෙනෙන ප‍්‍රතිගාමී අරමුනුය.

18 වන සංශෝධනයෙහි සැබෑ අරමුනු කවරේද යන්න 2010 දී පැහැදිලි කලේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සහ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි. “ශී‍්‍ර ලංකාවේ ව්‍යවස්ථා වෙනස්කම් ආඥාදායක පාලනයක් තහවුරු කරයි” යන උද්ධෘතය යටතේ සසප ප‍්‍රධාන ලේකම් විජේ ඩයස් විසින් ලියා 2010 සැප්තැම්බර් 21 ලෝසවෙඅ හි පල කල ඉදිරි දර්ශනාත්මක ලිපියේ මෙසේ සඳහන් වෙයි: “මේ මස මුල දී ශී‍්‍ර ලංකාවේ පාර්ලිමේන්තුව හරහා තල්ලු කරගත් ව්‍යවස්ථා වෙනස්කම් ගෝලීය මූල්‍ය ප‍්‍රාග්ධනය විසින් ඉල්ලා සිටිනු ලබන කප්පාදු න්‍යාය පත‍්‍රය පැටවීමේ දී කි‍්‍රයාවට දමනු ලබන විධික‍්‍රම පිලිබඳව දිවයිනේ ද ජාත්‍යන්තරව ද කම්කරුවන් වෙත කෙරෙන අනතුරු ඇඟවීමකි.

සැප්තැම්බර් 8 දා සම්මත කරගත් 18 වන සංශෝධනය ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ප‍්‍රධානත්වය දරනු ලබන පූර්න පරිමාන පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ තවත් එක් පියවරකි.” සමාජ ආතතීන් තියුනු වෙද්දී පාර්ලිමේන්තු විධික‍්‍රම හරහා ගැඹුරු ලෙස මහජන අප‍්‍රසාදයට ලක්වන පිලිවෙත් කි‍්‍රයාවට දැමීම පාලක පන්තියට වඩ වඩා අපහසු වනු ඇති අතර එම තතු තුල ආඥාදායක සහ පාර්ලිමේන්තුවට පරිබාහිර පාලන ක‍්‍රමවලට හැරෙනු ඇති බවද එම ලිපියෙන් තව දුරටත් පෙන්වා දුනි.

යුද්ධයේ නය බරින් මිරිකී සිටින සහ ගෝලීය මූල්‍ය අර්බුදයෙන් දැඩි ප‍්‍රහාරයට ලක්වී සිටින ශී‍්‍ර ලංකාවේ තන්ත‍්‍රය ලොව පුරා අනෙකුත් ආන්ඩු මෙන් උග‍්‍ර කප්පාදු පියවර පැටවීමේ පීඩනයට මුහුන දී සිටින බවද ජීවන කොන්දේසි පිරිහීමට එරෙහිව වැඩකරන ජනයා අතර අනිවාර්යයෙන් ම පුපුරා යාමට නියමිත විරුද්ධත්වයට සූදානම් වීම සඳහා රාජපක්ෂ සිය බල ග‍්‍රහනය ශක්තිමත් කරගනිමින් සිටින බවද එහි සඳහන් කෙරින.

“ස්ථාවර” සහ “ශක්තිමත්” ආන්ඩු සඳහා වන ඉල්ලීම් ශී‍්‍ර ලංකාවට පමනක් සීමා වී නොමැති බවත් ආන්ඩුවල පිලිවෙත් මගින් නිෂ්පාදිත සමාජ අර්බුදයට එරෙහිව වැඩෙන මහජන අතෘප්තියට සහ විරුද්ධත්වයට ආන්ඩු මුහුන දෙන තතු තුල දේශපාලන අස්ථාවරභාවය නීතිය බවට පත්වෙමින් තිබෙන බවත් ලිපියෙන් පෙන්වා දුනි.

සිවු වසරකට පසු ඉතා බලගතුව තහවුරුවී ඇත්තේ සසප කල මේ අනතුරු ඇඟවීමයි. තම ප‍්‍රජාතන්තී‍්‍රය හා සමාජ අයිතීන්ට නොනවත්වා එල්ල වන ප‍්‍රහාර හමුවේ අරගලයට අවතීර්න වන කම්කරුවන්, ගොවීන්, ධීවරයන්, සිසුන් හා අවශේෂ පීඩිතයන් රුදුරු ලෙස මර්දනය කිරීම සඳහා “18” න් තහවුරු කෙරුනු බලතල රාජපක්ෂ විසින් යහමින් යොදා ගනිමින් පවතී.

ව්‍යාජ වම්මුන්, මධ්‍යම පන්තික බුද්ධිමතුන් ඇතුලු විවිධ කල්ලි කන්ඩායම්, 18 වන සංශෝධනය ඇතුලු රාජපක්ෂ ආන්ඩුවේ මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පියවරයන් ධනේශ්වර ක‍්‍රමය තුලම ආපසු හැරවිය හැකිය යන මිථ්‍යාව කම්කරු පන්තිය තුල වපුරද්දී, මෙම පියවරයන් රාජපක්ෂගේ පුද්ගලික නපුරකින් පැන නොනගින්නක් බවද ඒවා සමාජ පිපිරීමකට මුහුන දී සිටින ධනපති ක‍්‍රමයේ අර්බුදයේ ප‍්‍රකාශනයක් බවද පැහැදිලි කලේ සසප පමනකි. මෙම ආඥාදායක සැලසුම් වලට එරෙහි අරගලය ධනපති ක‍්‍රමය පෙරලා දැමීමේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල සමග අත්‍යන්තයෙන් බැඳී පවතින බව සසප නිරතුරුව පැහැදිලි කලේය.

ධනේශ්වර සංස්ථාපිතයේම පක්ෂයක් බවට පරිවර්තනය වී ඇති ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) රාජපක්ෂ තෙවන වරට ඉදිරිපත්වීම “නීති විරෝධී” බව පවසමින් ව්‍යාජ උද්ඝෝෂනයක් අරඹා ඇත්තේ කම්කරු පන්තිය ඉහත කි‍්‍රයා මාර්ගයෙන් ඉවතට හැරවීමටයි. රාජපක්ෂගේ ඉදිරිපත් වීමට එරෙහිව ජවිපෙ විසින් අධිකරනය ඉදිරියේ ගොනු කෙරෙන නඩුවක විනිශ්චයාසනයේ හිඳගනු ඇත්තේ අගවිනිසුරු මොහාන් පීරිස්ය. රාජපක්ෂ තන්ත‍්‍රයේ අවශ්‍යතාවන්ට බාධකයක් ලෙස සැලකූ හිටපු අගවිනිසුරු ශිරානි බන්ඩාරනායක නිලයෙන් පහ කිරීමෙන් අනතුරුව එම නිලයට පත් කර ගත් රාජපක්ෂගේ කිට්ටුවන්තයා වන පීරිස් ගේ තීන්දුව කුමක් ද යන්න පැහැදිලිය.

2005 දී රාජපක්ෂ බලයට ගෙන ඒමටත් ආඥාදායක බලතල තහවුරු කර ගැනීම සඳහා ප‍්‍රධාන මාධ්‍යය කරගත් වර්ගවාදී යුද්ධයටත් පූර්න සහයෝගය දුන් ජවිපෙ, 2010 දී මෙම සංශෝධනය ගෙනඑන අවස්ථාවේදී ද එහි සැබෑ අන්තරායන් කම්කරු පන්තියට වසන් කල අතර ඔවුනගේ විරෝධය බෙලහීන වීදි විරෝධතා කීපයකට සීමා කලේය.

මේ අතර, ව්‍යාජ වාම පක්ෂයන් වන එක්සත් සමාජවාදී පක්ෂය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලු තවත් සංවිධාන කීපයක් “18” හි අඩංගු බලතල සහිත සමස්ත විධායක ජනාධිපති ක‍්‍රමයම අහෝසි කිරීමට කටයුතු කරන “වමේ පොදු අපේක්ෂකයෙකුට” තම සහාය දෙන බව පවසමින් උද්ඝෝෂනයක නිරතවෙයි. ව්‍යාජ වාම නව සම සමාජ පක්ෂයේ නායක වික‍්‍රමබාහු කරුනාරත්න එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක රනිල් වික‍්‍රමසිංහට සහාය දෙන බව පවසන අතර එම පක්ෂයේම තවත් කොටසක් “වමේ පොදු අපේක්ෂකයාට” තම සහාය දෙන බව පවසයි.

මේ කිසිවකින් වැඩෙන ආඥාදායකත්වයට අභියෝග නොකෙරෙන අතර ඒවාය් අරමුන රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය වීම වලකා කම්කරු පන්තිය සහ අනෙකුත් පීඩිත මහජනතාව ධනේශ්වර පද්ධතියටම බැඳ තැබීමයි. මෙම සියලුම පක්ෂ හා සංවිධාන වලින්ද ඒවයේ වැඩපිලිවෙලවල් වලින්ද කම්කරු පන්තිය බිඳී වෙන්වී ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල මත පාදක වූ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කර ගත යුතුය. සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගත හැක්කේ, අවශේෂ පීඩිතයන් රැලි කර ගනිමින් කම්කරු‐ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් වදින, එවන් කම්කරු පන්තික ව්‍යාපාරයක් හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස තෝරා පත් කෙරෙන ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් මගින් පමනි.