Hot!

නොවැම්බර් 10: තවත් එක් කළු සඳුදාවකි

| නිලන්ත ඉලංගමුව

අසාධාරණ සමාජයක ධනවත්වීම හෝ ගෞරවාධරයට පාත්‍රවීම නින්දාවකි
- කොන්ෆියුසියස් ( ද අනලේක්ට්ස්)
 


ඔවුන්ට  අවශ්‍ය තීරණය මේ වන විට ගෙන අවසානය. තම අභිමතයට අනුව සෙල්ලම් කිරීම ඉවසිය නොහැකි ඇතැම් නීතීඥවරුන් සිදුකිරීමට ගිය මැදිහත් වීම් පවා අහක දැමුවේ, අදාළ තීරණය සඳහා අතිරේක සටහන් තම හිසරදයට හේතුවන හෙයිනි. වත්මන් පාලනය තම පෞද්ගලික අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම  සඳහා භාවිතා කරනවුන් සිදුකරන්නේ අන්ධ වී සිටින “දේශහිතෛශීන්” තව දුරටත් අන්ධ කිරීම පමණක් නොවේ. මුළු රටම අඝාධයේ හෙළීමය. මෙහි වන්දිය ගෙවීම සඳහා කෙතරම් කාලයක් ගත වන්නේද? ඒ සඳහා දේශපාලන ඥානයක් රට තුළ බිහි වන්නේ කවදාද; යන්න යළි යළිත් සිතා බැලිය යුතු කාරණයකි.

මේ සියල්ල මිනිසුන්ගේ තීරණයන්ය. මේ ආකාරයෙන් සිදුවන පළමු රට මෙන්ම අවසාන රට අපගේ මාතෘභූමිය නොවේ. මෙවැනි දෑ ඉතිහාසයේ ඕනෑ තරම් සිදු විය. කුරිරු පාලයක්යින් මෙන්ම, මෝඩ සහ කෛරාටක පාලකයින් සේම; තම පෞද්ගලික අරමුණු ඉටුකරගැනීම සඳහා පවතින තත්වය භාවිතා කළ නිළධාරීන්ගෙන්ද අඩුවක් නොතිබුණි. එසේම ජනතාව තලා පෙලා දමා රටක නිදහස අහිමිකරමින් කිසිවෙකුට මෙල්ල කළ නොහැකි බලයක්, නීතියෙන් මෙන්ම මහජනතාවගේ මුදල් මංකොල්ල කෑමෙන් තනා ගත් බලවත් නායකයින් පවා අවසානයේ කණගාටුදායක ලෙස අවසන් ගමන් ගියහ.

කිසිවෙකුට පරාජය කිරීමට නොහැකි යැයි සිතු හිට්ලර් මෙන්ම මුසෝලිනී අවසන් ගමන් ගිය හැටි ඉතිහාසය දන්නේය. එසේම දේශපාලනික වශයෙන් සාර්ථක චරිතයක් ලෙස ලෝකයට මවා පෙන්වූ ජෝෂෆ් ස්ටාලීන් මරා දමනු ලැබුවේ ඔහුගේමැ සමීපතමයා විසිනි. ජනතාවගෙන් සහ ලෝකයෙන් සඟවන දෙය තම සගයින්ට සැඟවිය නොහැකි අතර අවසානයේ කිසිවෙකු හෝ සත්‍ය තේරුම් ගන්නේය. එම සත්‍ය තේරුම්ගත්තා වූ අයවලුන් අනාගත පරම්පරාව වෙනුවෙන් සහ රටේ සැබෑ නිදහස වෙනුවෙන් තම දිවි හිමියෙන් කටයුතු කරන්නේය. දුෂිතයෙකුට දිරිදීම වූකලී තම ආත්ම ගරුත්වය පිළිබඳ වූ කාරණයකි.  

සෝවියට් රුසියාවේ සාගතයෙන් මිනිසුන් මියැදෙන විට තම අභිමානය පෙන්වීම සඳහා රටේ ධාන්‍ය පිටරට යැවූ ස්ටාලීන් සෑමවිටම තම අභිමානය ගැන සිතුවා පමණක් නොව කිසිවෙකු විශ්වාස නොකළේය. එසේම ලෙනින් විසින් දේශපාලන විවේචකයින් අල්ලාගැනීම, විභාගකිරීම සහ යුක්තිය පසිඳලීම ( යුක්තිය පසිඳලීම වූ කලී වෙඩිතබා මරා දැමීම හෝ ගුලක් නමින් හැඳින්වූ කඳවුරු වෙත ගාල්කොට වහල් සේවයේ යෙදවීමය ) සඳහා කොන්දේසී විරහිත බලයක් ලබා දී තිබු චෙකා නමැති ආයතනය, ස්ටාලීන් යටත් තවදුරටත් සංවිධානාත්මක විය.  ඔහු රටේ වැසියන් මෙන්ම තම පක්ෂයට සම්බන්ධ වී සිටි අයවලුන්ද ක්‍රමිකව මරා දැමීය.

නමුත් රටේ බහුතරයක් වූ සාමාන්‍ය ජනතාව රටේ සිදුවන අපරාධ සම්බන්ධයෙන් ස්ටාලීන්ට ඇඟිල්ල දිගුකළේ නැත. බොහෝ දෙනෙකු සිතුවේ හෙතම නොදැන අදාළ අපරාධ සිදුවන බවය. ඔහු තම ප්‍රතිරූපය තනාගෙන තිබුණේ එලෙසය. නමුත් සත්‍ය ඊට හාත්පසින්ම වෙනස් විය. ඔහු මියගිය පසු සොයාගත් වාර්තාවලට අනුව එක් දිනකදී ස්ටාලීන්, මරණ වරෙන්තු 3182ක් අත්සන් කළේය. එම සියල්ලම එදින රාත්‍රියේම මරා දැමූහ. ඔහු අදාළ මරණ වරෙන්තු අත්සන් කිරීමෙන් පසු චිත්‍රපටයක් නැරඹීමට ගියේය.

දුෂ්ඨ පාලකයෙකු තම ප්‍රචාරණ ව්‍යාපෘතිය මඟින් තමන්ගේ කුරුරු යතාර්ථය වසා දැමීම බොහෝ විට සිදුවන කාරණය වේ. එය ඒ ආකාරයෙන්ම වත්මන් රාජපක්ෂ පාලනය යටතේ සිදුවෙමින් තිබේ. මිනිසුන් වීදියක් වීදියක් දිගේ නොමරණ බව සත්‍යය. නමුත් රටේ නීතිය සහ රාජ්‍ය පරිපාලනය තව දුරටත් ව්‍යාකූල කොට එය එක් වරිගයක පෞද්ගලික ආශාවන් මත තීරණය වන භාණ්ඩයක් බවට පත් කොට ඇත. රටකට හිමි ස්වාධීන බලය මේ ආකාරයෙන් අත්තනෝමතිකව යොදමින් අවලස්සන දේශපාලනයක් ගොඩනැගීම මිනිසුන් මරා දැමීමට වඩා බරපතළය. 

බිහි වූ සියලුම පාලකයින් තමන්ගේ පෞද්ගලික අරමුණු ඉටුකරගැනීමට වෙනුවෙන් පෙර වැරදි මෙවලමක් කරගත්තා මිස, එම කිසිවක් නිවැරදි මාවතට ගෙන ඒමට උත්සහ නොකළේය. ඒ වෙනුවෙට පෙර වැරදි තව දුරටත් සංකීර්ණ කොට ඒවා ව්‍යාකූල කරනු ලැබීය. රටක අගවිනිසුරුවරියක් තමන්ට අවශ්‍ය තීරණය නොගන්න විට ධූරයෙන් පන්නා දමා තමාට අවශ්‍ය හෙන්චයියෙකු පත් කරගෙන තමන්ට අවශ්‍ය සියලුම අවශ්‍යතාවයක් ඉටුකර ගැනීමට හැකිවීමෙන්, රටේ පවතින විකෘතිය තේරුම් ගත හැකිය.

ඇලෙක්සැන්ඩර් සොල්ස්ශේනේස්ටීන් තම ගුලක් ආකිපෙලාගෝ කෘතියෙහි පෙන්වාදෙන වැදගත් කාරණයක් තිබේ. ඒ වූ කලී, “අශිෂ්ඨකම ගැන නිහඩ වෙමින්, එය අපේ පතුලෙහි යටකරමින් අපේ විරෝධය මතුපිටට ඒමට  ඉඩ නොදීම මඟින් සිදුකරන්නේ ඊට රුකුල් දීමක් සහ එමඟින් එය අනාගතයේදී හතු පිපෙන්නා සේ වැඩෙන්නේය. අපි ඊට එරෙහිව දඬුවම් නොදීමෙන් සහ දෝෂාරෝපණය  නොකිරීමෙන් සිදුකරන්නේ යුක්ති ධර්මයේ මුලික පදනම ගලවා දැමීමය”.

එළඹෙන නොවැම්බර් 10 වනදා එනම් මේ සඳුදා දිනයේදී රටේ උත්තරීතර අධිකරණයෙන් අපේ ජාතියේ යුක්තිධර්මයට සිදු වී ඇත්තේ කුමක්ද යන්න යළිත් මුළු ලෝකයටම ප්‍රදර්ශනය වනු ඇත. එය, රටේ මිනිසුන්ගේ අත්මගරුත්වය පිළිබඳ වැදගත් පාඩමක් වනු ඇත.

ලංකාවේ අතිශය වැදගත් තීරණ බොහොමයක් ගැනීම සිදු වූයේ  දේශපාලන එදිරිවාදිකම් පිරිමසා ගැනීම සඳහා හැකි ඉක්මනින්ය. ලංකාවේ බොහොමයක් නීතී හඳුන්වා දෙනු ලැබුවේද එලෙසය. පාලකයා සැබවින්ම පාලනය කරන්නේ රට නොව, ඔවුහු පාලනය කරවා ගන්නේ ඔවුන්ය. ඔවුන්ගේ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා රටේ ඕනෑම දෙයක් වෙනස් කිරීම සඳහා කිසිඳු මැළිකමක් නොදක්වයි. එවැනි තත්වයකට රට ඇද දැමීම සඳහා පාලකයා වටා සිටින නිලධාරී පන්තියටද කිසිඳු හිරිකිතක් නැත. 

එළඹෙන කළු සඳුදාගෙන් පසු එන මළ අඟහරුවාදා දිනයේදී රටේ වේදනාව මෙරට යුක්තිය සහ සැබෑ නිදහස වෙනුවෙන් සටන් කොට පොළවට දිරාපත් වූ අයවලුන්ගේ මළ කඳන් වලින් නික්මූ උදාර වූ ප්‍රාණයට හෝ දැනෙත්වා.