Hot!

රාජපක්ෂ ආන්ඩුවේ අය-වැයෙන් පොලිස් රාජ්‍ය සැලසුම් කිරීමට මුල් තැන

| සමන් ගුනදාස විසිනි

පසුගිය සැප්තැම්බර් 26 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල විසර්ජන පනත් කෙටුම්පතට අනුව මහින්ද රාජපක්ෂ ආන්ඩුව පාබල, නාවික, ගුවන්, සිවිල් ආරක්ෂක හමුදා හා පොලිසිය සඳහා රුපියල් බිලියන 290ක් වෙන් කර ඇත. පසුගිය වසරට වඩා සියයට 7ක, එනම් රුපියල් බිලියන 19ක වැඩි වීමක් වන මෙය දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය පැවති 2009 වසරේ ආරක්ෂක අංශ සඳහා වෙන් කල මුදලට වඩා රුපියල් බිලියන 90කින් වැඩිය. එය 2015 හි ඇස්තමේන්තුගත සමස්ත වියදමෙන් සියයට 16කි.

උතුරු නැගෙනහිර ප‍්‍රදේශ වල මිලිටරි වාඩිලා ගැනීම දිගටම පවත්වා ගෙන යන අතරතුරම රටෙහි දිස්ත‍්‍රික්ක 25 තුලම හමුදා සීරුවෙන් තබමින් ආන්ඩුවේ කප්පාදු වැඩ පිලිවෙලට එරෙහිව අරගලයට පිවිසෙන කම්කරුවන්, ගොවීන් හා සිසුන් ඇතුලු පීඩිත ජනයා මැඞීම සඳහා පොලිස් රාජ්‍යයක්් තහවුරු කිරීමේ සැලසුම්, ආරක්ෂක අංශ සඳහා මෙලෙස පිම්මේ ඉහල නංවන මුදල් වෙන්කිරීම් වලින් ඇඟවුම් කෙරෙයි.

මෑතදී වැඩ වර්ජිත සෞඛ්‍ය සේවකයන්ට එරෙහිව මිලිටරිය යෙදවීම, පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂනයේ නියැලුනු රතුපස්වල ජනයාට මිලිටරිය යොදවා පහර දී තිදෙනෙකු ඝාතනය කිරීම, පරිසර දූෂනයට එරෙහිව උද්ඝෝෂනය කල තුන්නාන ප‍්‍රදේශවාසීන්ට පොලීසිය යොදවා අමානුෂික ලෙස පහර දීම, නාගරික පෙදෙස්වල ඉඩම් මහා ව්‍යාපාරයන්ට විකිනීම සඳහා ඒවායේ නිවැසියන් මිලිටරිය යොදවා පලවා හැරීම හා ශිෂ්‍ය උද්ඝෝෂනයන්ට නිරතුරුව එල්ල කරන පොලිස් ප‍්‍රහාරයන් මගින් ආන්ඩුවේ මෙම පොලිස් රාජ්‍ය සැලසුම් ඉස්මතු වී ඇත.

මෙම අය‐වැය විසර්ජන පනත කලින් ඉදිරිපත් කර ඇත්තේ මසකට කලින් ඔක්තෝබර් අයවැය ඉදිරිපත් කිරීම සඳහා ය. ඊට හේතුව, ලබන ජනවාරියේ ජනාධිපති වරනයක් හා ඒ ආසන්නයේ මහ මැතිවරනයක් පවත්වා ආන්ඩුවේ අත් ශක්තිමත් කර ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉලක්ක කර ගෙන සිටීම යි. බොහෝ විට ඇස්බැන්දුම් අයවැයක් ඉදිරිපත් කර ඡන්දය ගසා කා ඡන්ද වලින් පසුව ඉදිරි බරපතල ප‍්‍රහාරයන් කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවන තත්වයන්ට හා සමාජ කොන්දේසිවලට එල්ල කිරීමට ආන්ඩුව ගනන් බලන බව පෙනේ. මෑතක දී විදුලි බිල, ගෑස් හා තෙල් මිල සොච්චමකින් අඩු කර ඇත්තේ ද ඒ අනුවය.

කෙසේ නමුත් ඉදිරිපත්කොට ඇති විසර්ජන පනතෙන් පවා එල්ල කිරීමට සූදානම් වන ප‍්‍රහාරයේ පරිමාව පිලිබඳ පෙර ඇඟවුම් සම්පාදනය කෙරේ. ආරක්ෂාව සඳහා ආන්ඩුව වෙන්කර ඇති රුපියල් බිලියන 290 සමග සසඳන විට රටෙහි ජනයාගේ සෞඛ්‍ය හා රටෙහි ශිෂ්‍ය ප‍්‍රජාවේ අධ්‍යාපනය සඳහා ආන්ඩුව ඇස්තමේන්තු කරන්නේ පිලිවෙලින් රුපියල් බිලියන 139ක් හා 88ක් පමනි. සෞඛ්‍යය සහ අධ්‍යාපනය සඳහා යථා වශයෙන් වියදම් කෙරෙන්නේ අය‐වැයෙන් සංඛ්‍යාත්මකව වෙන් කෙරෙන මුදලට වඩා අඩු අගයක් බව පසුගිය වසර කීපය තුල ආන්ඩුවේ සංඛ්‍යා ලේඛන මගින්ම සනාථවේ.

මීට අමතරව 2015 සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප‍්‍රතිපාදන 2014ට වඩා බිලියන දෙකකින් කපා හැර බිලියන 42 කර ඇත. ඉන් හැඟවෙන්නේ පොහොර සහනාධාරය වැනි දැනට පවතින ගොවි සහනාධාරයන් කප්පාදු කිරීම සඳහා ආන්ඩුව පියවර ගනිමින් සිටින බවයි.

මෙම වසරේ පැවති සියයට 7.3 වර්ධන රේට්ටුව ලබන වසරේදී සියයට 8.2 ක් දක්වා වර්ධනය කිරීමට ආන්ඩුව ඇස්තමේන්තු කර ඇත. වර්ධන රේට්ටුව පිලිබඳව ආන්ඩුව කෙතරම් කයිවාරු ගැසුවත් මෙම වර්ධනය පාදක වී ඇත්තේ නිෂ්පාදනය මත නොව පොදු කාර්ය ව්‍යුහය ගොඩ නැගීම සඳහා වන ඉහල පොලී නය, නගර-අලංකරන ව්‍යාපෘති හා අනෙකුත් සුපිරි වියදම් හා සේවාවන්ගෙනි. මේවා එල්ලවී ඇත්තේ මහ ජන සුභ සිද්ධියට නොව මහා ව්‍යාපාරික ආයෝජනයන් හා ඉහල වියදම් මට්ටමේ සංචාරකයන් ආකර්ෂනය කිරීමට ය.

2015 වසර සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල වන රුපියල් බිලියන 1,812 මෙම වසර සඳහා වෙන් කල මුදලට වඩා සියයට 13 ක වැඩිවීමකි. අය වැය හිඟය පියවීම සඳහා මෙම වසර තුලදී අවකාශ ලබාදී තිබුනේ රුපියල් ටි‍්‍රලියන 1.1ක් නය ගැනීම සඳහා වන අතර 2015 සඳහා එම ප‍්‍රමානය රුපියල් ටි‍්‍රලියන 1.34ක් දක්වා ඉහල දමා ඇත.

කාර්මික රටවල සිට නොදියුනු රටවල් දක්වා පැතිර යමින් පවතින, අධික ලෙස නය ඉහල යාමෙන් ඇතිවන ආර්ථික අර්බුදය මෙරට ද අතිශය තියුනු ලෙස වෙලා ගෙන තිබේ. රටෙහි විශාලතම වියදම වන්නේ නය වාරික හා පොලී ගෙවීම වුවද එය වෙනම මූල්‍ය නීතියකට අනුව සිදු කෙරෙන බැවින් විසර්ජන පනතින් එම සංඛ්‍යාවන් ඉවත් කර ඇත. රටෙහි සමස්ත නය ප‍්‍රමානය රුපියල් ටි‍්‍රලියන 7.18 ඉක්මවන අතර ඉන් සියයට 44 ක්ම ඉහල පොලී අනුපාත සහිත විදේශ නය වේ. මෙම පිම්මේ ඉහල යන නය ප‍්‍රමානය පිලිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන්ම ගෝලීය වර්ගීකරන ඒජන්සි අනතුරු අඟවා තිබේ.

රටෙහි ගෙවුම් ශේෂය ප‍්‍රධාන වශයෙන්ම රඳා පවතින්නේ නය හා විදේශගත කම්කරුවන් විසින් එවනු ලබන මුදල් වලිනි. මෙම කම්කරුවන් විශාල වශයෙන් සංකේන්ද්‍රනය වී සිටින්නේ අර්බුදග‍්‍රස්ත මැද පෙරදිග කලාපය තුලය. විදේශ මුදල් ලැබෙන අනෙක් මූලාශ‍්‍රය වන්නේ ආර්ථික අර්බුදයෙන් දරුනු ලෙස බැට කන ඇමරිකාවට හා යුරෝපයට කරනු ලබන අපනයනයන්ගෙන් ලැබෙන ආදායම ය. ජාමූඅ මෑතදී පිට කල “වර්ල්ඩ් ඉකොනොමික් අවුට්ලුක්” වාර්ෂික අධ්‍යන වාර්තාව මගින් ඉඟි කර ඇත්තේ ඇමරිකාව හා යුරෝපය ප‍්‍රධාන කර ගත් ගෝලීය ආර්ථික පද්ධතියේ අර්බුදය තව තවත් උග‍්‍ර වන බවයි. මෙම තත්වය ලංකාවේ අපනයන සඳහා අහිතකර ලෙස බලපානු ඇත.

අනෙක් අතට ආන්ඩුව මූල්‍ය අරමුදලේ නියෝගයන්ට අවනතව ලබන වසරේ අය වැය පරතරය සියයට 4.4 දක්වා පහත හෙලීමට බලාපොරොත්තු වෙයි. එම නියෝගයන්ට අනුව 2016 වසරේදී අය වැය පරතරය 3.8 දක්වා පහල දැමිය යුතුවේ.

ආරක්ෂක වියදම් ඉහල නංවන අතර තුර අය වැය පරතරය පහත හෙලීම යනු වැඩ කරන ජනයා මත තව තවත් බර පැටවීමය. ඉතිරිව ඇති යම් සහනාධාර වේද ඒවා කප්පාදු කිරීමත් රාජ්‍ය අංශයේ වැටුප් තව දුරටත් කැටිකර තබා ගැනීමත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා අය කරන බදු මුදල් තව තවත් ඉහල දමා ආන්ඩුවේ ආදායම ඉහල දමා ගැනීමත් මීට අයත්ය.

රාජපක්ෂ ආන්ඩුවේ තවත් එල්ලයක් වී ඇත්තේ රාජ්‍ය අංශයේ හා පුද්ගලික අංශයේ සේවකයන් සඳහා වන විශ‍්‍රාම දීමනා කපා හැරීමයි. රාජ්‍ය සේවකයන්ගේ විශ‍්‍රාම පාරිතෝෂිකය බැංකු නය මුදලක් බවට පත් කර එම මුදල ගෙවීම රජයේ වියදම් වලින් කපා හැරීම මෑතදී එල්ල කෙරුනු එවන් ප‍්‍රහාරයකි.

ආන්ඩුව දැන් උත්සාහ දරමින් සිටින්නේ පුද්ගලික අංශයේ හා රාජ්‍ය සංස්ථා ආදියේ සේවකයන්ගේ විශ‍්‍රාම අර්ථසාධක අරමුදල් විශ‍්‍රාම අරමුදලක් බවට පරිවර්තනය කොට මාසික දිමනාවක් ලබා දීමෙන් එක්වර මුලු මුදල ලබා දීම අත්හිටුවීමට ය. මෙමගින් මෙම සේවකයන්ගේ අර්ථසාධක මුදල් තමන්ට රිසිසේ පරිහරනය කිරීමට ආන්ඩුවට අවකාශ ලැබෙනු ඇත.

පසුගිය සන්ඩේ ටයිම්ස් පුවත් පතේ වාර්තාවකට අනුව ආන්ඩුව ආනයනික භාන්ඩ ගනනාවක් සඳහා සියයට 10 සිට 25 දක්වා බදු ඉහල දැමීමට ක‍්‍රියාත්මක වෙමින් සිටියි. ආනයනික මධ්‍යසාර හා දුම්කොල මීට අයත්ය. මෝටර් වාහන සඳහා වන ආදායම් බලපත‍්‍ර, සුපිරි වෙලද සැල්, සාප්පු සංකීර්න, හෝටල් හා ආපන ශාලා සඳහා ජාතිය ගොඩ නැංවීමේ බද්ද ඉහල දැමීමට නියමිතය. දේශිය නිෂ්පාදකයන් ආරක්ෂා කිරිම නමැති වහන්තරාව යොදා ගනිමින් ආනයනික සම්, ප්ලාස්ටික්, ලෝහ, වානේ භාන්ඩ, ලී බඩු, බෙහෙත් ද්‍රව්‍ය, බිස්කට්, චොක්ලට් හා පැනිරස, රෙදිපිලි ආදිය සඳහා බදු වැඩි කිරීමට නියමිත ය.

රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රධාන ආදායම වන්නේ වැඩ කරන ජනයාගේ එදිනෙදා අවශ්‍ය භාන්ඩ හා සේවා මත වක‍්‍ර බදු පැනවීමයි. ආනයනය කෙරෙන ලොකු ලූනු හා අර්තාපල් මිල මසකට පමන පෙර ඉහල දැම්මේ ගොවීන්ට සෙත සලසන බවට ප්‍රෝඩාවක් කරමිනි.

කම්කරුවන්ගේ ජීවන කොන්දේසිවලට ආන්ඩුව අතොරක් නැතිව ප‍්‍රහාර එල්ල කරන්නේ ලෝක ධනවාදයේ අර්බුදය තුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝග කර ඇති කොන්දේසි කි‍්‍රයාවට දමමිනි. එහෙත් වෘත්තීය සමිති ආන්ඩුවෙන් සහන ඉල්ලීමේ ව්‍යාපාරයක් තුල කම්කරුවන් කොටුකර තම අයිතීන් සඳහා ඔවුන් අරගලවලට ඒම වැලැක්වීමේ දැනුවත් කි‍්‍රයාවල නිරතව සිටියි.