Hot!

රනිල්ට පුලුවන් ද?

| සුනන්ද දේශප්‍රිය

ලබන වසර මුලදී ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවට කැරෙන ඉඟි දිනක් පාසා වැඩිවෙයි. ආන්ඩු පක්ෂයේ අවිවාදිත ජනාධිපති අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ ය. කොතරම් නීති තර්ක ගෙන ආවද අවසානයේ ආන්ඩු බලය ඇතිව ජනාධිපතිවරණයට එලඹෙනු ඇත්තේ මහින්ද රාජපක්ෂම ය. 


රාජපක්ෂ ජනාධිපතිවරණයට  එළඹෙන්නට පිට පොට ගසන්නේ කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් ඉතිරි කරමින් නොවේ. ඔහුගේ දේශපාලනයේ මූලෝපාය මර්දනය යි. උතුරුකරයේ දෙමළ ජනයා දිනා ගැනීමේ අරමුනින් එහි සංචාරයක යෙදෙන අතරතුර ම රාජපක්ෂ උතුර සහ නැගෙනහිර විදේශික සංචාරකයින්ට තහනම් කලාපයක් බවට නොනිල වශයෙන් පත් කළේ ය. දැන් ප්‍රකාශයට පත් කර ඇති පරිදි ආරක්ෂක අමාත්‍යාංශයේ අවසර නැතිව උතුරට සහ නැගෙනහිරට විදෙස් සංචාරකයිනට යෑමට නොහැකි ය. එහි සමාජ ආර්ථික එලවිපාක යාල් දේවී දුම්රිය යාපනයට ගමන් කරවීමට වඩා බලගතු වනු ඇත. එය රාජපක්ෂගේ ජන්ද ව්‍යාපෘතියට හානිකර වනු ඇති බව නිසැක ය. එනමුත් ඔහුගේ මර්දනකාරී දේශපාලන මූලෝපාය ජන්ද ව්‍යාපෘතියට ඉහළින් ඇති එකකි.

ඒ උතුරේ ය. පසුගිය 14 දා කොළඹ පැවැති ජනමාධ්‍ය උළෙලක් මර්දනය කිරීම පිනිස රාජපක්ෂගේ යුද යාන්ත්‍රණය වික්ටර් අයිවන් ඇතුළු ජනමාධ්‍යවේදීන් විශාල පිරිසකට මරණ තර්ජන එල්ල කළහ. බීබීසී සිංහල සේවය වාර්තා කළ පරිදි ‘වික්ටර් අයිවන් සහ අමල් ජයසිංහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජානකී හෝටලයේ පැවැත්වීමට නියමිතව තිබුණ ගවේෂණාත්මක මාධ්‍යවේදය පිළිබඳ පුහුණු වැඩසටහනට සහභාගිවීමට නියමිතව සිටි මාධ්‍යවේදීන්ට සහ එහි සංවිධායකයන්ට අඟහරුවාදා සවස සිට දුරකථනයෙන් මරණ තර්ජන එල්ල වූ අතර, ඇතැම් සංවිධායකයන්ගේ අඹු දරුවන්ට පවා මරණ තර්ජන එල්ල කොට තිබුණි.."මට කතාකරල කිව්වා සහභාගි වුනොත් අඬු කඩලා මරල එල්ලනවා කියලා.," යනුවෙන් වැඩසටහනට සහභාගි වූ වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ජනූර් කිචිලාන් කියා සිටියේය. ’  අවසානයේ දී උළෙල පැවැත්වීමට නියමිත වූ හෝටලයට තර්ජනය කරන ලදුව රහසිගත ස්ථානයක එය පැවැත්වීමට සිදු විය.

ජන්ද ව්‍යාපෘතිය පරයා යන මෙම මර්දන ව්‍යාපෘතිය කොතරම් ව්‍යාප්තද යත් කොළඹ කිසිදු සිංහල හෝ ඉංග්‍රිසි පුවත්පතක් මෙම සිදුවීම එසැන පුවතක් ලෙස වාර්තා කළේ නැත.

එළඹෙන ජනාධිපතිවරණය කිසිසේත්ම සාධාරණ එකක් නොවනු ඇතැයි දේශපාලන රචිකාවක වන දරීශා බැසිටියන් ලියුවේ ද පසුගිය සතියේ ය. එය ප්‍රචන්ඩ සහ අශෝභන එකක් වනු ඇති බවත් ජනාධිපති රාජපක්ෂ රාජ්‍ය යාන්ත්‍රණය ද එහි අසීමිත ධන සම මානව සම්පත් ද ඒ සඳහා යෙදවෙනු ඇති බවත් ඇය සඳහන් කළා ය. ජනාධිපතිවරණය පිළිබඳව කැරෙන විවිධ දේශපාලන විශ්ලේශණයන්හි දක්නට ඇති මහා පොදු සාධක ගණනාවක්  තිබේ.

ඒ මෙසේ ය: රාජපක්ෂ විරෝධී ජනාධිපතිවරණ සටනක නිහඩ නමුත් තිරණාත්මක සාධකය වනු ඇත්තේ සුලුතර ප්‍රජාවන්ගේ ජන්ද යයි. පශ්චාත් යුද්ධ මර්දනකාරී රාජපක්ෂ පාලනය දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් සහමුලින්ම වාගේ දුරස් කර ගෙන ඇත. එබැබින් සිංහල ජන්දදායකයින් සියයට 60කට වඩා දිනා ගත නොහැකි නම් රාජපක්ෂවරැන් පරදිනු ඇත. නමුත්  සම්ප්‍රදායික ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නායකත්වය සිය ඥාති ඝනයාට පැවරීම සහ සම්පත් මංකොල්ලය විසින් සිය පක්ෂය තුළම විරෝධයක් නිර්මානය කර ගෙන තිබේ. එබැවින් එන්න එන්නමදුෂ්කර වන ජනාධිපති සටනින් ජය ගැනීම පිනිස තමන් සතු සියළු තුරුම්පු රාජපක්ෂවරැන් විසින් පාවිච්චි කරනවා ඇත. මෙම ජනාධිපතිවරණය රාජපක්ෂවරුනට තිරණාත්මක ය. ඉන් පරාජයවීම රාජපක්ෂවරැන්ට සිතිය නොහැකි සමාජ දේශපාලන ව්‍යසනයකි.  එවැනි සටනකින් විපක්ෂයට ජය ගත හැක්කේ එකම එක කොන්දේසියක් උඩ පමනි. එනම් එක්සත් ජනාධිපතිවරණ දේශපාලන ව්‍යාපාරයකි.
දැන් අප හමුවේ ඇති ප්‍රශ්ණය නම් එවැනි එක්සත් විපාක්ෂික ජනාධිපතිවරණ ව්‍යාපාරයක් එලඹෙන සති කිහිපය තුළ ගොඩ නැගිය හැකිද යන්නත් එවැන්නක සංකේතය ලෙස පොදු ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ හැකි ද යන්නත් ය.

ඊට පිළිතුර ලෙස රනිල් වික්‍රමසිංහ කිසිදු පුළුල් සාකච්ජාවකින් තොරව තමාම එම විපාක්ෂික අපේක්ෂකයා ලෙස නම් කර ගෙන තිබේ. එපමනක් නොව ඔහු තවමත් කතා කරන්නේ පොදු විපක්ෂයේ ආන්ඩුවක් ගැන නොවේ. පසුගිය 14 දා ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබූ පරිදි රනිල් වික්‍රමසිංහ කියා සිටින්නේ බලයට පත්වන එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව විසින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු ඇති බව ය. තව ද එක්සත් ජාතික පක්ෂයේ නායකයින් අපට කියන්නේ පොදු අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන බවයි. එක්සත් ජාතික පක්ෂ නිල වෙබ් අඩවිය තර්ක කරන්නේ එක්සත් ජාතික පක්ෂයට තනිව ජනාධිපතිවරණය ජය ගත හැකි බවට ය. වැට පනිනින්නත් පෙර කෙසෙල් කැන කා හමාර ය!

පුද්ගලයකු වශයෙන් කුමණ යහපත් ගුණාංග තිබුණ ද රනිල් විකුමසිංහ මහා ජනයා දිරි ගැන්විය හැකි දේශපාලනඥයකු නොවේ. ඔහු ජනතාවාදී දේශපාලනඤයකු නොව තාක්ෂනිකවාදී දේශපාලනඥයෙකි. එසේ නමුත් දැන් මර්දනකාරී රාජපක්ෂ පාලනයට එරෙහිව හනි හනිකට එළඹෙනු ඇති ජනාධිපතිවරනයේ දී  විපක්ෂයේ ප්‍රබලතම අපේක්ෂකයා වනු ඇත්තේ රනිල් වික්‍රමසිංහ බව සහතික ය‍.

පෙනෙන්නට ඇති පරිදි ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන්ගේ ඉරණම එළඹෙන ජනාධිපතිවරණයෙහි දී තීන්දු වන්නට යන්නේ රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය කොතරම් නිහතමානී ලෙස අනෙක් විපාක්ෂික බලවේග සමඟ කටයුතු කරන්නේ ද යන්න  මත ය‍.

ඇත්ත වශයෙන්ම නම් රාජපක්ෂවරැන්ගේ පරාජයට මඟ කපා ගෙන ඇත්තේ ඔවුන්ම විසිනි. රාජපක්ෂවරැන්ගේ මර්දනකාරී සහ දූෂිත දේශපාලනය සුලුතර ප්‍රජාවන් පමණක් නොව ශ්‍රීලනිපය තුළ ද සිංහල ප්‍රජාව තුළ ද මහත් අප්‍රසාදයකට පාර කපා තිබේ. 

අත ළඟ පෙනෙන ජයග්‍රහණය යථාර්තයක් බවට පත්කිරීමට  නම් රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රථමයෙන්ම ස්වකීය කී  මං  පොර වීමේ අහංකාර දේශපාලනය පරාජය කළ යුතු ය. සංඛ්‍යාලේඛන විජ්ජා හෝ නූල් සූත්තර මගින් හෝ දේශපාලන සටන් දිනිය නොහැකි ය. මැතිවරණ අරගල භුමිය මහා ජනයා ය. මහා ජනයා කරා ගමන් කැරෙන දැවැන්ත ඒකාබද්ධ මැතිවරණ ව්‍යාපාරයකින් තොරව රජපක්ෂ මර්දනය පැරදවිය නොහැකි ය.
ජනාධිපතිවරණයක් පෙනෙන්නටවත් නොතිබුණු   වසර දෙකක පමණ කාලයක සිට ජනාධිපතිවරණයේ පොදු විපාක්ෂික සටන්පාඨය ගොඩ නැගුවේ මාදුළුවාවේ සොභිත හිමි ප්‍රම්‍රඛ සිවිල් ක්‍රියාකාරින් පිරිසක් විසිනි. එනම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. එකළ රනිල් වික්‍රමසිංහ සිටියේ දේශපාලන අඩ නින්දේ ය.  සිය පක්ෂය එක්රැස් කර ගනිමින් රාජපක්ෂ පාලනයේ මානව විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලනය පරාජය කිරීමට ඔහු කිසිදු උනන්දුවක් පෙන්නුම් කළේ නැත.

අවාසනාවකට මෙන් ඔහු තවමත් පෙන්නුම් කරන්නේ ඉබේ බලය සිය අතර වැටෙනු ඇතැයි යන සංකල්පයේ සිහින දකිමින් සිටින බවය. 

මර්දනකාරී රාජපක්ෂ පාලනය පරාජය කළ හැක්කේ රනිල් වික්‍රමසිංහට නොවේ. ඒකාබද්ධ විපාක්ෂික ව්‍යාපාරයකට ය. එවැනි ව්‍යාපාරයක් සංකේතවත් කැරෙන සාමුහික නායකත්වයක්, පොදුවේ එකඟ වූ වැඩ සටහනක් මගින් සමස්ත ශ්‍රී ලාංකික පුරවැසියන් බල ගන්වන්නේ නැතිව අංක ගනිතයෙන්ජනාධිපති වීම මුලාවක් බව දැන් තබා තේරුම් ගැනීමත් ඒ අනුව වහ වහා වැඩට බැසිමත් අද පොදු විපක්ෂයේ ප්‍රථම අභියෝගය යි.  දෙවැනි නොවන ඊළඟ අභියෝගය වනු ඇත්තේ එවැනි පොදු ව්‍යාපාරයක් විසින් සැබෑ  මානව සහ ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් ඇති කරනු ඇති බවට වග බලා ගැනීම යි.