Hot!

සමසමාජ පක්ෂයේ මහා පාවාදීම

| නන්ද වික‍්‍රමසිංහ හා කේ. රත්නායක විසිනි


1964 ජූනි මස සිරිමා බන්ඩාරනායක මැතිනියගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ‍්‍රීලනිප) ආන්ඩුවට එක් වෙමින්, ලංකා සමසමාජ පක්ෂය සිදුකල (ලසසප) මහා පාවාදීමේ දේශපාලන පාඩම් පිලිබඳ ලිපි හතරක පලමු වැන්න මෙය යි. ජාත්‍යන්තර සමාජවාදයේ ප‍්‍රමුඛතම මූලධර්ම විවෘතව ප‍්‍රතික්ෂේප කරමින්, ට්‍රොට්ස්කිවාදී යැයි කියා ගන්නා පක්ෂයක් පලමු වතාවට ධනේශ්වර ආන්ඩුවකට ඇතුලු වීම එමගින් සනිටුහන් විය.

ලසසප පාවාදීම ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය කෙරෙහි බරපතල අර්ථභාරයක් දැරූ සිද්ධියක් විය. මයිකල් පැබ්ලෝ හා අර්නස්ට් මැන්ඩෙල් නායකත්වය දුන් දේශපාලන ප‍්‍රවනතාවේ අවස්ථාවාදී ස්වභාවය එමගින් තහවුරු කල අතර 1953දී සම්මතධාරී ට්‍රොට්ස්කිවාදීහු මෙම ප‍්‍රවනතාවෙන් බිඳී, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පිහිටුවා ගත්හ. සෑම අවස්ථාවක දී ම පැබ්ලෝවාදීහු, ලසසපයේ දේශපාලන පල්ලම් බැසීම ඉවසා වදාරමින්, බන්ඩාරනායක ආන්ඩුවට ඇතුලුවීම සඳහා එයට පාර කපා පාවඩ එලූහ.

මෙම පලමු ලිපිය සාකච්ඡා කරන්නේ, 1942දී හතරවැනි ජාත්‍යන්තරයේ ශාඛාවක් ලෙස ඉන්දියානු බෝල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය (බීඑල්පීඅයි) පිහිටුවීම සහ ආසියාවේ හා ලෝකය පුරා කම්කරු පන්තියට බැරෑරුම් ප‍්‍රතිවිපාක ජනිත කල එහි තදනන්තර දේශපාලන දිය කර හැරීම පිලිබඳ ව ය.

දෙවැනි ලෝක යුද්ධය මධ්‍යයේ 1942දී, ඉන්දියානු බෝල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය පිහිටුවීම, ඉන්දියානු උප මහාද්වීපය පුරා විසිරී සිටින කම්කරු පන්තිය වෙනුවෙන් තැබූ, වැදගත් පියවරක් සනිටුහන් කලේ ය. නව පක්ෂය ආරම්භ කිරීමට පුරෝගාමී වූ මෙරට ලංකා සම සමාජ පක්ෂ නායකයෝ, 1935දී ලසසප පදනම් කරගත් රැඩිකල් ජාතිකවාදී ඉදිරිදර්ශනයෙන් බෙදී වෙන්වූහ. ඔවුහු නාසි ජර්මනියට එරෙහි යුද්ධයේදී කම්කරුවන්, බි‍්‍රතාන්‍ය වැනි ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදයන්ට සහාය දැක්විය යුතු ව ඇතැ යි මොස්කෝව විසින් අන කරන ලද පිලිවෙත අනුගමනය කල ස්ටැලින්වාදීන්, ලසසප සාමාජිකත්වයෙන් නෙරපා හැරියෝ ය.

“ඉතිහාසය පිලිබඳ සමුච්චිත අත්දැකීම් හා විශේෂයෙන් ම නො නවතින විප්ලව න්‍යාය මත පදනම් වූ, විප්ලවවාදී මූලෝපායක් සහිත හතරවැනි ජාත්‍යන්තරයේ මෙම ඉන්දියානු (විප්ලවවාදී) පක්ෂයට” පමනක්, “ඉන්දියානු කම්කරු පන්තිය විප්ලවවාදී ජයග‍්‍රහනය කරා මෙහෙය විය හැකි” යයි බීඑල්පීඅයි කෙටුම්පත් වැඩ පිලිවෙල තහවුරු කලේ ය. ඉන්දියාවේ හා ලංකාවේ ට්‍රොට්ස්කිවාදීන් එක්සත් කල බීඑල්පීඅයි, ඉන්දීය ධනපති පන්තියේ දේශපාලන නියෝජිතයා වන ඉන්දියානු ජාතික කොංග‍්‍රසය (කොංග‍්‍රස්) ඇතුලු ධනේශ්වරයේ සියලු ම කොටස් වලින්, කම්කරු පන්තිය දේශපාලනිකව ස්වාධීන විය යුතු බව දැඩිව අවධාරනය කලේ ය.

ස්ටැලින්වාදී ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයට (සීපීඅයි) ප‍්‍රතිපක්ෂව බීඑල්පීඅයි, අධිරාජ්‍යවාදී යුද්ධයට හා බි‍්‍රතාන්‍ය යටත් විජිත ආධිපත්‍යයට එරෙහිව අඛන්ඩ අරගලයක් ගෙන ගියේ ය. 1942 අගෝස්තුවේ සංවිධානය පිහිටුවීමෙන් ක්ෂනික ඉක්බිත්තේ බීඑල්පීඅයි, ක්විට් ඉන්දියා ව්‍යාපාරයේ (ඉන්දියාවෙන් දොට්ට බසිනු) මධ්‍යයට කඩා වැදුනි. බි‍්‍රතාන්‍යය වෙතින් සහන දිනා ගැනීමේ ව්‍යායාමයක් ලෙස කොංග‍්‍රසය ආරම්භ කල මෙම ව්‍යාපාරය, බි‍්‍රතාන්‍ය යටත් විජිතවාදයට එරෙහි සටන්කාමී අරගලය තුලට, ලක්ෂ ගනනින් තරුනයන්, කම්කරුවන් හා ගොවීන් ඇද ගැනීමට සමත් විය. කොංග‍්‍රසය උත්සාහ කලේ “සිවිල් නීති කඩකිරීමේ” දුබල විරෝධතා තුලට අරගලය කොටු කර තැබීමට ය. යුද ව්‍යායාමයට හානිකර බව පවසමින් සීපීඅයිය, රුදුරු ලෙස එම ව්‍යාපාරය හෙලා දකිමින්, කම්කරුවන්ගේ වර්ජන මර්දනය කිරීමට උත්සාහ කල අතර බි‍්‍රතාන්‍ය යටත්විජිත පාලකයින් වෙනුවෙන් ඔත්තුකරුවන් හා ප‍්‍රකෝපකාරීන් ලෙස ක‍්‍රියා කලේ ය.

කොංග‍්‍රසයට කිසිදු දේශපාලන සහනයක් නොදුන් බීඑල්පීඅයි, මෙම මහජන ව්‍යාපාරය තුල මැදිහත්වූ අතර ස්ටැලින්වාදී ද්‍රෝහිත්වය හෙලා දුටුවේ ය. සමාජවාදී විප්ලවය සඳහා සටන තුලින් අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධවන ලෙස එය කම්කරුවන් හා පීඩිතයින්ගෙන් ඉල්ලා සිටියේය. අගෝස්තු 9දා මහජන අරගලය පිපිරී යාමට පෙර දිනයේ, බොම්බායේ දී නිකුත් කල පක්ෂ අත් පත‍්‍රිකාවක්, “අධිරාජ්‍යවාදී පාලනාධිකාරියේ යාන්ත‍්‍රනය අඩපන කිරීමට හා නැවත්වීමට, දේශපාලන මහා වැඩවර්ජනයක් මගින්” කම්කරු පන්තියේ මැදිහත්වීම ඉල්ලා සිටියේ ය. “ගොවිජන කමිටු හරහා ඉඩම් අත් පත් කර ගැනීම කරා ගොවීන් මෙහෙයවන” ඉල්ලීම් සහිත, කැරලිකාරී ගොවි ව්‍යාපාරයට නායකත්වය සපයන ලෙස එය කම්කරු පන්තිය දිරි ගැන්වූයේ ය.

දහසක් තරම් මිනිසුන් මරා දමමින් හා බොහෝ බීඑල්පීඅයි නායකයින් ඇතුලු සිය දහස් ගනන් අත්අඩංගුවට ගනිමින්, බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලනාධිකාරය ම්ලේච්ඡ පොලිස් රාජ්‍ය මර්දනයකින් ප‍්‍රතිචාර දැක්වීය. මහජන නැගිටීම බැසයාමත් සමග බීඑල්පීඅයි පසුපෙල සාමාජිකයින් තුල අවස්ථාවාදී ප‍්‍රවනතාවක් මතු වූ අතර එය ඉදිරියේදී එලඹීමට නියමිත දේ පිලිබඳ පෙරනිමිත්තක් විය. “බලගතු වාම සංවිධානයක්, රට පුරා විප්ලවවාදී මනෝගතියට උත්තේජනයක් සපයනු ඇතැ” යි ප‍්‍රකාශ කරමින්, බන්ධනාගාර ගතකර සිටි එන්.එම්. පෙරේරා හා පිලිප් ගුනවර්ධන 1943 දී, කොංග‍්‍රස් සමාජවාදී පක්ෂය (සීඑස්පී) හා තවත් සුලුධනේශ්වර කන්ඬායම් ගනනාවක් සමග ප‍්‍රතිපත්ති විරහිත සභාගයක් යෝජනා කලේය.

මෙම යෝජනාව, ලසසපයේ මධ්‍යම පන්තික රැඩිකල් දේශපාලනය කරා පල්ලම් බැසීමක් විය. සීඑස්පී ද එයට සම්මාදම් විය. 1944 බීඑල්පීඅයි සම්මේලනය, එම සන්ධානය ප‍්‍රතික්ෂේප කරමින් යෝජනාවක් සම්මත කලේය. එම යෝජනාවේ “ප‍්‍රතිඵලය වනු ඇත්තේ, පැහැදිලි විප්ලවවාදී ක‍්‍රියාමාර්ගයක් සහිත ඉන්දියාවේ ඇති එකම පක්ෂය විසුරුවා හැරීම හා ඒ වෙනුවට පුලුල් මාධ්‍යමික පක්ෂයක් නිර්මානය කිරීම” බව එම සම්මේලනය අනතුරු ඇඟවීය.

යුද්ධයේ අවසානය, බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලනයට එරෙහිව ඉන්දියානු උප මහාද්වීපය ඇතුලු ලෝකය පුරා විප්ලවවාදී අරගල පැනනැගීමට මග පෑදුවේ ය. විප්ලවවාදී පක්ෂයකට කම්කරු පන්තියේ පුලුල් කන්ඩායම් වෙත ලඟාවිය නො හැකි බවට පෙරේරා හා ගුනවර්ධන කල ප‍්‍රකාශ බොරු කරමින් බීඑල්පීඅයි, කල්කටා, මදුරාසිය හා බොම්බායේ කම්කරුවන් අතර සැලකිය යුතු පදනමක් දිනා ගත්තේය.

නැගී එන මෙම පන්ති අරගල මධ්‍යයේ කොංග‍්‍රසය හා ඉන්දියාවේ මුස්ලිම් ප‍්‍රභූ පක්ෂයවූ මුස්ලිම් ලීගය, නිදහස් ව්‍යාපාරයේ හිස ගසා දැමීම සඳහා බි‍්‍රතාන්‍ය පාලකයින් සමග එකඟත්වයක් ඇතිකර ගැනීමේ දිසාවට වේගයෙන් තල්ලුවී ගියේය. ස්ටැලින්වාදී සීපීඅයි මෙම ධනේශ්වර පක්ෂවලට හා 1947දී වාර්ගික රේඛා ඔස්සේ ඉන්දියාව හා පකිස්තානය ලෙස බි‍්‍රතාන්‍ය ඉන්දියාව බෙදීමට සහාය දුන්නේ ය. තවදුරටත් දකුනට මාරුවූ සීඑස්පී, ඡන්දය දීමෙන් වැලකී සිටීම මගින් බි‍්‍රතාන්‍ය සමග ඇතිකරගත් කොංග‍්‍රස් ගිවිසුමට නිහඬව සහාය දුන්නේ ය.

පශ්චාත් යුද සමතයට විරුද්ධවූයේ බීඑල්පීඅයි පමනකි. 1947 මැයි මස සම්මේලනයක දී බීඑල්පීඅයි, ඉන්දියාව ගුනාංගීකරනය කල, “දේශපාලන නිදහස භුක්තිවිඳින අර්ධ - යටත්විජිතයක් ලෙස ඉස්මතු විය හැකි නමුත් පෙර මෙන් ම බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී උත්සුකයන්ගේ ආර්ථික ආධිපත්‍යයට යටත්වන්නා වූ” රටක් ලෙස ය. මතුවන අනතුරු පිලිබඳව සඳහන් කරමින් යෝජනාව, සමතයට විරුද්ධ වන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේ ය. යන්තම් මාස කීපයකට පසුව 1947 අගෝස්තුවේ දී හින්දු අධිපති ඉන්දියාව හා මුස්ලිම් පකිස්තානය වශයෙන් ඉන්දියාව බෙදා වෙන් කිරීම, මිලියනයක් පමන ජීවිත හානි වලට තුඩු දුන් වාර්ගික සංහාරයක් ඇවිලවී ය.

ඊ ලඟ වසරේ දී බෙංගාලයේ ශිෂ්‍ය රැස්වීමක් අමතමින් බීඑල්පීඅයි නායක කොල්වින් ආර්.ද සිල්වා මෙසේ පැහැදිලි කලේ ය. “බි‍්‍රතාන්‍ය දිගට ම ඉන්දියානු ආර්ථිකයේ මුදුන හා ඉන්දියාවේ වෙරල සිපගන්නා මුහුදේ ආධිපත්‍යය දරනු ඇත... ඒ අනුව ඉන්දියාවේ සිදුව ඇත්තේ, නිදහස කරා සංක‍්‍රමනයක් නොව, ඉන්දියානු ධනේශ්වරය සමග සිය සන්ධානය ප‍්‍රති-සංවිධානය කිරීම හරහා, ඍජු පාලන රූපාකාරයන්ගේ සිට වක‍්‍ර පාලනය කරා අධිරාජ්‍යවාදයේ මාරුවීමකි.”

ඉන්දියානු බන්ධනාගාරයෙන් නිදහස් කරන ලදුව පෙරලා ලංකාවට පැමිනි පෙරේරා හා ගුනවර්ධන, 1943දී ඔවුන් දේශනා කල අවස්ථාවදී දේශපාලනයට යලි පිවිසියේය. සමසමාජ නාමය යලි පන ගන්වමින් තමන්ගේ ම පක්ෂයක් සංවිධානය කිරීමට ඔවුහු බීඑල්පීයෙන් බිඳී වෙන් වූහ. ඔවුන්ගේ ද්‍රෝහිත්වය හෙලා දුටු බීඑල්පීඅයි ඔවුන්ගේ බෙදීම “කම්කරු පන්තික නොවන ප‍්‍රවනතාවක ප‍්‍රකාශනයක්” බවට ද පාලනය නො කල හොත් “පූර්න අවස්ථාවාදී දේශපාලනයක් කරා” වර්ධනය විය හැකි බවට ද අනතුරු ඇඟවූයේ ය.

දේශීය ධනේශ්වරය සමග කුමන්ත‍්‍රනයකින් ලංකාවට “නිදහස” පිරිනැමීම සඳහා බි‍්‍රතාන්‍ය ඉදිරිපත් වීමත් සමග බොල්ෂෙවික් සමසමාජ පක්ෂයක් ^බීඑස්පී& යන නමින් ප‍්‍රකටව තිබුනු ලංකාවේ බීඑල්පීඅයි ඒකකය ද යලි සංවිධානය කල ලසසප ද අතර දේශපාලන අගාධය එලිමහනට පැමිනියේය. බීඑස්පීය 1947 ලංකා නිදහස් පනතට විරුද්ධ විය. බීඑස්පී නායක ඩොරික් ද සූසා එය හැඳින්වූයේ “ජනතාවට එරෙහි කුමන්ත‍්‍රනයක් ලෙස ය.” බීඑස්පීය 1948 නිල නිදහස පැවරීමේ උත්සවය වර්ජනය කල අතර “ව්‍යාජ නිදහසට” එරෙහිව දසදහස් ගනනක් කම්කරුවන් කොලඹට රැස් කලේ ය.

ඊට පටහැනි ලෙස ලසසප, බි‍්‍රතාන්‍ය නිදහස ප‍්‍රදානය කිරීම හැඳින්වූයේ ඉදිරි පියවරක් ලෙස හැඳින් වී ය. නිදහස් ව්‍යවස්ථාවට ඡන්දය දීමෙන් වැලකී සිටි ඔවුන්, විරෝධතා රැලියක් සඳහා වූ බීඑස්පීයේ පියවර “ප‍්‍රදර්ශනවාදී” ව්‍යායාමයක් ලෙස හෙලා දුටුවේ ය. ලසසප වේගයෙන් දකුනට තල්ලු වී ගිය අතර පාලන බලය අතට ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය (එජාප) පිහිට වූ ලංකා ජාතික කොංග‍්‍රස් නායකයින් සමග ධනපති සභාග ආන්ඩු සාකච්ඡාවන්ට සහභාගි වීමට පවා එකඟත්වය පල කලේය.

නව එජාප ආන්ඩුවේ පලමු තීන්දු වලින් එකකදී: එනම් මිලියනයක් පමන දෙමල වතු කම්කරුවන්ගේ පුරවැසි භාවය හා ඡන්දය අයිතිය අහෝසි කිරීමේ තීරනයෙන්, “නිදහසේ” ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ස්වභාවය වහාම හෙලිදරව් විය. බීඑස්පී නායක කොල්වින් ආර්. ද සිල්වා, එම තීරනය හෙලා දුටුවේ ෆැසිස්ට්වාදය පුරවැසිභාවය තීන්දු කලේ, වර්ගවාදී පදනම මත බව පෙන්වා දෙමිනි. දුබල ධනේශ්වර පාලනය නගා සිටුවීම සඳහා කම්කරු පන්තිය බෙදා දුර්වල කිරීමට, මෙම වර්ගවාදී ව්‍යවස්ථාව ප‍්‍රයෝජනයට ගනු ඇතැයි ඔහු අනතුරු ඇඟවී ය.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යය යටතේ ජාත්‍යන්තරව ධනවාදය යලි ස්ථායීකරනයත් සමග සම්පාත වූ ඉන්දියානු උපමහාද්වීපයේ නිල නිදහස, බීඑල්පීය මත ඉමහත් පීඩනයක් යෙදී ය. ව්‍යාපාර, රාජ්‍ය සංස්ථාපිතය, පාර්ලිමේන්තු ක්ෂේත‍්‍රය හා වෘත්තීය සමිති තුල දේශීය ධනේශ්වරයේ හා සුලුධනේශ්වරයේ කොටස් සඳහා නව අවස්ථා විවෘත වුනි.

මෙම පීඩනයන් ක්ෂනිකව ම පිලිබිඹු වූයේ, ඉන්දීය බෝල්ෂෙවික් පක්ෂය, ඉන්දියාව තුල අධිරාජ්‍යවාදී විසඳුමට ඍජුව විරුද්ධ නො වූ, කොංග‍්‍රස් සමාජවාදීන් විසින් 1948දී පිහිටුවාගත් සමාජවාදී පක්ෂයට ඇතුලුවීමට ගත් තීන්දුව තුල ය. 1948 ඔක්තෝබරයේ බීඑල්පීඅයි සම්මේලනය, ඇතුලුවීම අනුමත කල යෝජනාවක් ඒකමතිකව සම්මත කලේ ය. 1943දී පෙරේරා හා ගුනවර්ධන විසින් යෝජනා කරන ලද අවස්ථාවේ දී පක්ෂය මෙම පියවර ප‍්‍රතික්ෂේප කර තිබුනි. ගැඹුරු සාකච්ඡාවකට ඉඩකඩ සලසනු පිනිස ඇතුල්වීම කල් දමන්නැ යි හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර ලේකම් මන්ඩලය වෙනුවෙන් මයිකල් පැබ්ලෝ විසින් කරන ලද ඉල්ලීම, බීඑල්පීඅයිය නො සලකා හැරියේ ය.

සමාජවාදී පක්ෂයට ඇතුලුවීමට ගත් තීන්දුව සහ, 1930 ගනන් වල ට්‍රොට්ස්කි විසින් යෝජනා කරන ලද ඇතුල් වීමේ උපක‍්‍රමය අතර කිසිම පොදු බවක් නො තිබුනි. ඇතුලුවීමට මූලිකත්වය ගත් අය විශ්වාස කල පරිදි වුවත් සමාජවාදී පක්ෂය වමට ගමන් කල සංවිධානයක් නො වී ය. එය වේගයෙන් දකුනට තල්ලුවී ගිය පක්ෂයක් විය. පක්ෂ නායකත්වය, අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ඒ අනුව විප්ලවවාදී දේශපාලනය සඳහා සටන් කිරීමට බීඑල්පීඅයි සාමාජිකයින්ට තිබූ අවස්ථාව ද නැති කර දැමී ය.

බීඑල්පීඅයිහි මාරුව, පැබ්ලෝ හා අර්නස්ට් මැන්ඩෙල් න්‍යායිකව ප‍්‍රකාශයට පත් කල, හතරවැනි ජාත්‍යන්තරය මත යෙදුනු පීඩනයට දන නැමූ වඩා පුලුල් අනුගතවීමක කොටසක් වූ බව ඉක්මනින් ම පැහදිලි විය. සාපේක්ෂ පශ්චාත් - යුද ස්ථාවරත්වයේ පීඩනයට යටත් වෙමින් පැබ්ලෝ හා මැන්ඩෙල්, ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිර්දර්ශනය අත හැර දැමූහ. ඔවුහු, විප්ලවවාදී පක්ෂ ගොඩනැගීම ප‍්‍රතික්ෂේප කරමින් හතරවැනි ජාත්‍යන්තරයේ ශාඛා, ස්ටැලින්වාදී හෝ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ වලට ඇතුලු විය යුතු යයි ද ධනේශ්වර ජාතික සංවිධාන සමග සන්ධාන ගොඩනැගිය යුතු යයි ද යෝජනා කලහ.

1950දී බීඑල්පීඅයි සාමාජිකයින් කන්ඩායමක් ඉන්දියාවේ සමාජවාදී පක්ෂයෙන් ඉවත්වීමට උත්සාහ කල අවස්ථාවේ දී පැබ්ලෝ, ඔවුන් එය තුලම රැඳී සිටිය යතු යයි උපදෙස් දුන්නේය. සමාජවාදී පක්ෂය තුලට බීඑල්පීඅයි දිය කර හැරීමෙන් පසුව ලංකාව තුල, 1950 ජූනි 4වැනිදා පැවති “එක්සත් සම්මේලනයක” දී, බීඑල්පීඅයි, ලසසප සමග එක් වීමට තීන්දු කලේය.

1960දී ලියන ලද ලංකා සම සමාජ පක්ෂයේ කෙටි ඉතිහාසය තුල ලසසප ලේකම් ලෙස්ලි ගුනවර්ධන ප‍්‍රකාශ කලේ, “සංවිධාන දෙක අතර ඒකාන්තයෙන් ම මූලධර්මාත්මක දේශපාලන වෙනස්කම් නො වූ” බව යි. බීඑස්පීය හා ලසසප අතර එදිරිවාදිකම, 1949 ගම්පහ අතුරු මැතිවරනය ජය ගැනීමට දක්ෂිනාංශික යූඇන්පීයට හැකියාව ලබා දුන් බව සඳහන් කරමින් ඔහු පෙන්නුම් කලේ, එක්වීමට ගතිකය සැපයූ යටින් පැවති පාර්ලිමේන්තු ඉදිරිදර්ශනය යි.

ප‍්‍රතිපත්ති සහගත වෙනස්කම් නො වී යැයි ප‍්‍රකාශ කිරීම ව්‍යාජ ප‍්‍රකාශයකි. බීඑස්පී හා ලසසප අවස්ථාවාදය අතර බෙදීම, නිදහස මුල්කරගෙන පැවති විවාදය හා යූඑන්පී නායකත්වයේ කන්ඩායම් දෙසට ලසසපය ගැසූ කරනම් වලට එරෙහි බීඑස්පීය පලකල විරුධත්වය තුල ඒ වන විටත් පැහදිලිව තිබුනි. බීඑස්පී නායකයෝ එක්සත්කමේ නාමයෙන් දේශපාලන මතභේද, නිකම්ම කුනුකූඩයට දැමූහ.

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ‍්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් ලියවිල්ල තුල පැහදිලි කල පරිදි: “මෙම ‘එකමුතුව’ සමසමාජවාදය කරා එනම්, ලංකා රැඩිකල්වාදයේ ජාතික සම්ප‍්‍රදාය වෙත ආපසු හැරීමට සමාන විය. මෙම ප‍්‍රශ්න සාකච්ඡා කිරීමට අසමත් වීම, නව පක්ෂය තුල සම්බන්ධතාවන්ගේ සැබෑ ස්වරූපය එලිදරව් කලේ ය. බලය හිමිකරගෙන සිටි දක්ෂිනාංශය එන්.එම්. පෙරේරාගේ නායකත්වය යටතේ පැවති අතර පැරනි බීඑල්පීඅයි නායකයෝ ඔහුට ‘ට්‍රොට්ස්කිවාදී’ අක්තපත‍්‍ර පිලිගැන්වූහ. මෙම අප‍්‍රතිපත්තික එකමුතුවට විරුද්ධ වීමට සහ ඒ ගැන දේශපාලන පැහදිලි කිරීමක් කල යුතු යැයි බල කිරීමට මැදිහත් වනවා වෙනුවට, මයිකල් පැබ්ලෝ යටතේ වූ ජාත්‍යන්තර ලේකම් මන්ඩලය කලේ, එයට සිය ආශිර්වාදය ලබාදී, ලංකා සමසමාජ පක්ෂය හතරවැනි ජාත්‍යන්තරයේ ලංකා ශාඛාව ලෙස පිලිගැනීම ය.”