Hot!

ගුරු ගීතය බවට පත්වූ පළමු ගුරුවරයා

අපගේ අවධානය නිසි ලෙස ‍ෙයාමු නොවුණත් සෝවියට් සාහිත්‍ය, (Soviet literature) සහ චීන සාහිත්‍ය (Chinese literature) යනුවෙන් මාසික සඟරා දෙකක් පළවීය. නව සාහිත්‍ය උද්යෝගයක් දැනවූ අය අතේ ඒ සඟරා දෙක රැඳී තිබෙනු දැකගත හැකි විය. මට මතක හැටියට චින්ගීස් අයිත්මාතෝව්ගේ ‘පළමු ගුරුවරයා’ (First teacher) යන කෙටි නවකතාව මුලින්ම පළවූයේ සෝවියට් සාහිත්‍ය සඟරාවේය. එය කීපදෙනකු අතින් සිංහලට පරිවර්තනය විය. ‘ගුරු ගීතය’ යනුවෙන් එය හැඳින්විණ. එසේම බොහෝ රුසියන් හා චීන උපමා කතා කියවීමට නම් මේ සඟරා දෙක ඇසුරු කළ යුතු බව අපට දැනගත හැකිවිය. ඉංග්‍රිසි බස ප්‍රගුණ කර ගැනීම සඳහා ද සමහරු මේ සඟරා දෙක කියවූහ. මා මේ සටහන් පෙළ මෙසේ ලියාගෙන යද්දී මා මිත්‍ර පාලිත පෙරේරා මට දුරකථනයෙන් ඇමතුවේය. ඔහු පවසන දේ මම අසා සිටියෙමි.

“ඇයි ඔබට අමතක වුණාද අපේ නුගේගොඩ පොත් සාප්පුව?” ඔහු ඇසුවේය.

“මට අමතක වුණා නෙවෙයි”

“අනේ කරුණාකරල තව ටිකක් ඒ ගැන ලියන්න. ඒ පොත් සාප්පුව අද සරසවි පොත් සාප්පුව කියල හැඳින්වුවත් ඒ කාලේ ඒකට කිව්වේ ‘ලෝටස් පොත් සාප්පුව’ කියල.

“ඔව්. මම දන්නවා. ඒ කාලේ අපි කවුරුත් වාගේ එතැනදි තමයි මුණගැසුණේ. අල්විස් කියල මහත්මයෙක් තමයි, ඒකේ අයිතිකාරය. අද ඒ අයිති සුප්‍රසිද්ධ පොත් ප්‍රකාශක එම්. ඩී. ප්‍රේමසිරි මහත්මයාට. හැබැයි අල්විස් මහත්මයා පස්සේ කාලේ ලෝටස් පොත්හලේ අයිතිය පැවරුවේ ඒ කාලේ ලේක්හවුසියේ වැඩ කළ මර්වින් ද සිල්වා මහතාට. ඔහු අප සමඟ ඉතා කුළුපග ලෙස කතා කරන හැටි මට මැවී පෙනේ. ඔහු අල්විස් මහතාගේ පොත් සාප්පුවට නව පණක් ගෙන දුන්නේය. ඒ කෙසේද යත්: ඔහු අලුත බිහිවන ඉංග්‍රිසි පෙන්ගුවින් පොත් ගෙනාවේය. ලෝටස් පොත්හල පාලන කටයුතු තරුණයන් ‍දෙදෙනකුට පවරා තිබිණ. ඔවුන් නම් ගාමිණී හා ශාන්තය. ඔවුන් අපට කෙතරම් ඇල්මක් දැක්වීද යත් අපට පොත් සාප්පුවේ කෙළවරකට වී පොත් කියවීමට පහසුකම් පවා සලසා තිබිණ. මෙහිදී ‘අප’ යයි කීවේ පාසල් සමයේ අග්ගිස්සට පැමිණ සිටි අප කීපදෙනෙකි. මා මිත්‍ර පාලිත පෙරේරා එක් අයෙකි. කරුණාරත්න අමරසිංහ තවත් කෙනෙකි. අප අතරම ගැවසුණු තව දෙදෙනෙකි ආනන්ද කේ.විජයතුංග (පසුව බණ්ඩාර) හා අජන්තා රණසිංහ. තවත් කීපදෙනකු සිටි බවත් මතකය.

කරුණාසේන ජයලත් ගේ ‘ගොළු හදවත’ කෙතරම් පොත් ප්‍රමාණයක් ලෝටස් පොත් හලේ පමණක් විකිණිනි ද කිවහොත් මෙකියන මර්වින් ද සිල්වා මහතා ජයලත්ගේ ඡායාරූපයක් පොත් සාප්පුව ඇතුලේ කාටත් දැක බලා ගැනීමට එල්ලා තැබීය.

“ඇයි මෙහෙම ඡායාරූපයක් ගහන්නේ?යි මම මර්වින් මහත්මයාගෙන් වරක් ඇසුවෙමි. මදෙස බලා හිනාවක් පෑ ඔහු කී දේ දැනුදු ඇසෙන්නා සේය.

“මේ මනුස්සයගේ පොත් අපි කොච්චර විකුණල තියෙනවද? ඉතින් ඒ මනුස්සයට අපි ගරු කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි කාටත් බලාගන්ට ඡායාරූපයක් එල්ලන එක” පුවත්පත්කලාවේදියකු වූ මර්වින් ද සිල්වා (M.A.ද සිල්වා) එක්තරා විප්ලවවාදී චරිතයක් බව මා දැනගත්තේ බී.ඒ.සිරිවර්ධන මඟිනි. ඒ පසුකලෙකදීය.

 පසුකල ඇත්ත පත්තරේ ප්‍රධාන කතුවරයා ලෙස සේවය කළ බී.ඒ.සිරිවර්ධන මහතා ඊට කලින් වැඩ කළේ ‘දිනමිණ’ පුවත්පතේය. බී.ඒ.සිරිවර්ධන මහතා මා හඳුනා ගත්තේ මගේ ගුරුවරයා වූ තිලක් රත්නකාර මහතා මඟිනි. රත්නකාර මහතාගේ පිටකෝට්ටේ නිවසේ ඒකාලේ සොහොයුරියන් දෙදෙනෙක් නේවාසිකව සිටියහ. වැඩිමහල් සොහොයුරිය ඉන්ද්‍රානිය. බාල සොහොයුරිය කල්‍යාණිය. ඔවුන් දෙදෙනාම ඉගෙනුම ලැබුවේ දේවි බාලිකා විදුහල නොහොත් කාසල් බාලිකා විදුහලේය. ඔවුන‍්ගෙ මාමා කෙනෙකු වූයේ බී.ඒ.සිරිවර්ධනය. ඔවුහු පස්යාලේ රදාවඩුන්න නමැති ගමින් පැමිණියහ. බී.ඒ.සිරිවර්ධන හෙවත් ‘සිරා’ නතරවී සිටියේ කිරුලපනේ සීවලී පාරේ මර්වින් ද සිල්වා ගේ නිවසේය. ඔහුගේ ඇසුර අතිශය ප්‍රියමනාප බව මට හැඟුණේ පසුකාලයේදීය.
ම‍ගේ මිත්‍ර නාලන්දියයකු වූ ස්වර්ණ ශ්‍රී බණ්ඩාර ද නතර වී සිටියේ එම නිවසේමය. සරසවි පිවිසුම් පෙළට පෙනී සිටීම වෙනුවට ස්වර්ණ ශ්‍රී බණ්ඩාර ක‍ෙ‍ළ් ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ප්‍රවේශයට පෙනී සිටීමය. ඊට හේතු කීපයක් විය. ඉන් ප්‍රධාන හේතුව වූයේ ඔහුගේ පියා සුප්‍රකට දේශීය වෛද්‍යවරයකු වීමය. ස්වර්ණ ශ්‍රීට තම පියාගෙන් ඥාන දායාදයක් හිමිවී තිබිණ. පසු කළ ස්වර්ණ ශ්‍රී ඒ දායාදයෙන් මහඟු අස්වැන්නක් නෙළාගත්තේ රජරට සේවය ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකවරයකු වශයෙනි. කවි, ගීත, කෙටිකතා, විචිත්‍රාංග රචනයේ දී ඔහු ස්වීයත්වයක් දැක්වූ බව මට මතකය. මේ හැමකටම වඩා ඔහු ‘විකාර රූපීරංග’ විධික්‍රමය පිළිබඳව විවිධ අත්හදාබැලීම් කළේය. යුජින් අසනන්කෝ ගේ ‘පුටු’ (Chairs) නාට්‍යය ද සිංහලට පරිවර්තනය කළේය.
හැටේ දශකය මා හිතන විදිහට සිංහල සාහිත්‍ය ලෝකයේ කඩඉමක් ලෙස සැළකිය යුතුය. මේ දශකය ඇතුළතදී සිදුවූ වෙනස්කම් බහුලය. ඉන් ප්‍රධානතම වෙනස ලෙස මා දකින්නේ විදේශීය සංස්කෘතින් රැසකට අයත් සම්භාව්‍ය කෘතින් සිංහලට පරිවර්තනය වීමයි. ඊට එක් ප්‍රධාන හේතුවක් වූයේ ගුණසේන සමාගම හා මහරගම සමන් පොත් සමාගම නව ග්‍රන්ථ සම්පාදන ව්‍යාපෘති විවර කර තිබීමයි. සමන් පොත් ප්‍රකාශන මඟින් විශ්ව නාට්‍ය පරිවර්තන පෙළක්ම බිහිකරනු ලැබීය. ඒ අනුව සංස්කෘත නාට්‍ය සම්ප්‍රදායේ විශිෂ්ට නිර්මාණ වූ ‘මැටිකරත්තය’, ‘රත්නාවලි’, ‘ස්වප්න මායම දත්තා’ යන කෘතින් බිහිවිය. ඒවායේ ප්‍රකාශන අධීක්ෂණය පැවැරී තිබුණේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ටය.
මීට අතිරේකව බටහිර සම්භාව්‍ය සාහිත්‍යයට අයත් ඔස්කාර්වයිල්ඩ්ගේ කෘතින් (නිදසුනක් වශයෙන් මහින්ද කරුණාරත්නගේ ‘හදවත නැති මිනිහා’) කීපයක් සිංහලට පරිවර්තනය විය. ඒ.පී.ගුණරත්න මහතා ගුවන්විදුලියට කොටස් වශයෙන් සැලසුම් කළ ආතර්වේලි චීන බසින් ඉංග්‍රිසියට නැඟූ ‘වානරයා’ නවකතාව ද සිංහල පාඨකයාට දායාද කෙරිණ. ජපන් සාහිත්‍යයට අයත් අකුතගාවාගේ කෙටිකතා හා සිනමාවට නැඟුණු කෘතින් කිහිපයක් ද පරිවර්තනය විය. හෙන්රික් ඉබ්සන්ගේ ‘ද ඩෝල්ස් හවුස්’ නමැති සුප්‍රකට නාටකය “සෙල්ලම් ගෙය” නමින් සිංහලට නැඟු‍ෙණ් ද මේ කාලයේදීමය. සමන් පොත් කියවීමත් ගුණසේන සමාගමේ ‘ලිහිණි’ පොත් කියවීමත් එකල සියුම් ලෙස සිදුවිය.
මා ඇන්තන් චෙකොව්ගේ ‘විලාපය’ (The lament) සිංහලට පරිවර්තනය කළේ මා මිත්‍ර ජයසුමන දිසානායකයන් සමඟයි. අපි ඒ කෙටිකතාවේ ගුවන්විදුලි පෙළක් ද සකස් කලෙමු. එසේ කොට අප මිත්‍ර තිලක සුදර්මන් ද සිල්වා සැලසුම්කොට නිෂ්පාදනය කළ ‘නුග හෙවන’ නමැති සංගෘහිත වැඩ සටහනට ඇතුළු කළෙමු. එහිදී එහි පෙළට ඉතා අපූරු ලෙස භාෂණයෙන් අර්ථ කථනය කළේ අප මිත්‍ර කරුණාරත්න අමරසිංහයන්ය. අප හැම කෙනෙකුටම ඇන්තන් චෙකොව් පෙනුණේ අපේ හෘදයාංගම ඥාතිවරයකු ලෙසිනි. එය අද වෙනතුරුත් පැවැතීම කෙතරම් පුදුමයක්ද? මම, රුසියන් සාහිත්‍ය නිර්මාණයන් කෙරෙහි වඩාත් දැඩි ඇල්මක් දැක්වූයෙමි. එහෙත් ඒ වන විට විප්ලවයෙන් පසුව බිහිවූ සෝවියට් සාහිත්‍ය ප්‍රචලිතව පැවතිණ.
මගේ එක් සිහිනයක් වී තිබුණේ මගේ පශ්චාද් උපාධි කටයුතු සිදුවන කලෙක දී ඇන්තන් චෙකොව්ගේ ‘මුහුදු ලිහිණිය’ (Seagull) සහ හෙන්රික් ඉබ්සන්ගේ ‘වන තාරාවා’ (Wild duck) නාටක දෙක පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක් කිරීමය. එහෙත් පසුකලෙක වුවද මට ඒ සිහිනය මුදුන් පමුණුවා ගත නොහැකි විය. මම එහිදී සිදුවූ හැම දේම සුල මුල - සොයන්නට පටන් ගතිමි. එංගලන්තයට පැමිණි පසුව මම මුලින්ම ඒ ගැන කතාබහ කළේ මහාචාර්ය ක්‍රිස්ටෝපර් රේනල්ඩ්ස් මහතා සමඟය. ඔහු පැවසූ දේ මට මතකය.
“ඔය තුලනාත්මක අධ්‍යයනයේ ප්‍රාචීනවාදී නැඹුරුවක් තිබෙනවාද?”
(Is there an Oriental Slant in your Comparative Study?)
සැබැවින්ම උසස් අධ්‍යාපනයක් ලබා සිටි නමුත් මට මගේ ආචාර්යවරයා පවසන දේ වටහා ගැනීම උගහට විය.
“එබඳු නැඹුරුවක් ඇතැයි මට සිතෙනවාÓයි මම පැවසුවෙමි.
“එහෙම නම් පර්යේෂණ ව්‍යාපෘතියක් කෙටුම්පත් කරල පෙන්වන්නÓ‍
(In that case submit a research proposal)
මම ශක්ති ප්‍රමාණයෙන් එසේ කළෙමි. එහෙත් අධ්‍යාපන කමිටුවේදී මගේ ව්‍යාපෘතිය ප්‍රතික්ෂේප වී ඇත්තේ මක්නිසාදැයි වටහා ගත්තෙමි.
“ඔබ රුසියන් බස දන්නවාද?”
“නෑ”
“ඔබ නෝර්වීජියානු බස දන්නවාද?”
“නෑ”
ඇන්තන් චෙකොව් තම ‘මුහුදු ලිහිණියා’ නාටකය ලියා ඇත්තේ රුසියන් බසිනි. හෙන්රික් ඉබ්සන් තම ‘වන තාරාවා’ නාටකය ලියා ඇත්තේ නෝර්වීජියානු බසිනි. මා ඒ නාටක දෙකම කියවා ඇත්තේ ඉංග්‍රිසි බසිනි. එබැවින් මේ ව්‍යාපෘතිය පලදැරීමට තරම් ශක්‍යතාවක් මට නොමැත්තේය.
“අනෙක ඔබ තුලනාත්මක සාහිත්‍ය අධ්‍යයනය (Comparative literary studies) කරල තියෙනවාද?”
“ඔව්”
“කොහේදීද?”
“තනිවම”
“ප්‍රමාණවත් පිළිතුරක් නොවේ. ඒ අධ්‍යයනය ඔබ කළ යුතුයි”
මම, මහාචාර්ය ටිලම්යන් යටතේ පසුකල එසේ කළෙමි.
මා මේ සඳහන් කරන්නේ මගේ මතකයට නැඟුණු පසු කළ ජවනිකාවකි. ඒ පසුකල ජවනිකාව ම‍ෙග් සිත්හි පෙරතලයට ඒම මට වළක්වා ගත නොහැකිය. ඉන් මට පළ කිරීමට උවමනා කරන්නේ මා කෙතරම් දුරට ඉබ්සන්ගේ හා චෙකොව්ගේ කෘතින් කෙරෙහි නතුවී සිටිය ද ඒ අරබයා මට, මගේ සිතට එකඟව පශ්චාද් උපාධි නිබන්ධයක් සැලසුම් කරගැනීමට නොහැකි වීමය. එහෙත් මම ඒ ශාස්ත්‍රීය ‍දොම්නස්කමෙන් දුරස්කර ගත්තෙමි. ඉබ්සන්ගේ නාටකයක් පෙන්වන රඟහලක් ඇති තැනක් සොයමින් ගොස් නැරඹූ අවස්ථා එමට වීය. චෙකොව්ගේ නාට්‍ය පිළිබඳව ද ඒ ටිකම කිව යුතුය. ඒවා නැරඹිය යුත්තේ හුදු වින්දනයට නොව, එම තලය ඉක්මවූ වින්දනයක් සඳහාය යන මතය මා තුළ කෙමෙන් මුල්බැස ගැනිණ.