Hot!

චූටි කුරුල්ලාගේ විසල් හදවත

| මංජුල වෙඩිවර්ධන

හේමන්තය හිම හංගාගෙන සැඟවී ගොස් ඇත.  දැන් ඉතින් ජීවිතය සීතල නැත.  ෆෝසීසියා මල් පඳුරු ඇස් පැහැර ගනිමින් සිටී.  දරාගත නොහෙන රන් පැහැයකි.  මෙලෝ හැඩයක් නැති අතු ඉති මත පෙති හතරේ කහවනු පිපී ඇත.  මම සාක්කුව අතගා බලා කවුළුවට අත තබමි.  

වස්සානයට ලේස්ති වෙන්නැයි කල්තියා දැනුම් දෙන්නේ ෆෝසිසියා මල් පඳුරු ය.  කහමල් දකින විට දෙතොල් මත වසන්තය උදාවේ. නමුත් වැසි වැටී නේකාකාර මල් පිපිණු විට ෆෝසිසියා අමතක වී යයි.  

අදත් අර නම නොදන්නා චූටි කුරුල්ලා උදෑසනටත් කලියෙන් වේදනාබර ගී තැටිය වාදනය කරන්නට පටන්ගෙන  ඇත.  ඌ දැන් දැන් මා දුටු විට තිගැස්සෙන්නේ නැත.   ඒත් ඌ දකින විට මගේ පාදඩ ආත්මය තිගැස්සේ.  ඇයිදැයි මම නොදනිමි.  උගේ උණුහුම් ඇස්, ඇසින් අල්ලා ගන්නට තරම් දැන් මගේ ඇස් ඉසියුම් නැත.  අහවල් ඇඳිරිය ලැබුවේ වසන්තයේ ඉර උදාවටත් කලියෙනි. 

+++++++++++++++++++++++++++++++++++

උස් හඬින් සටන්පාඨ කියූ චූටි කුරුල්ලකුට මම විටින් විට මම දුරකතනයෙන් කතා කරමි.  ඒ හඬ අසා සිටින්නට නොහැකිය.  ඒත් මම කතා කරමි.   ඔහු අතිමහත් සහෝදර ප්‍රේමයෙන් ආඪ්‍යව මගේ නම කියන විට මගේ පාදඩ සීතල අත වේවලයි.   ඉදින් මම පෑන ගසා ගැනීමට තැනක් හොයමි. 

ඒ උස් හඬට කුමක් වීද? 

අගනුවර සටනකට රොද බැන්දේ කොතැනද මේ චූටි කුරුල්ලා එතැනට පියාඹා ආවේ උගුර කරගහගෙන ය.   ලිප්ටන් වටරවුමේ මැදද,  කොටුව ඉස්ටේසම අබියසද, බේරෙ ගෙදරට මොබද,  කොල්ලුපිටිය මංසන්ධිය මතද  අන් ඕනෑම සටන් සගයෙක් හා උරෙනුර ගැටී මොර දුන් චූටි කුරුල්ලා ඔහු විය.  කිසිඳු ප්‍රතිලාභයක් නොලබාම බැරැන්ඩි වූ උගුර කරපින්නාගෙන ඔහු කොම්පඤ්ඤවීදිය දෙසට ඉගිල යනු දැක නොමැත්තෙකු සටන් සගන් අතට සිටිය නොහැක්කේ ම ය.  

පෝස්ටර මිටියක් කර ගහන්නට,  තාප්ප පුරා පාප්ප අතුරාලීමට, පතරංග පෝස්ටර් ඇලවීමට, බුලත් අත් ගෙන ඔහු සොයා යා යුතු නැත.  ඔහු ඉපදී තිබුණේ ජීවිතය බෙදා දෙන්නට ය.
චන්දන ජයතිස්ස.  

එසේ කීවාට කවුරුවත් දන්නේ නැත. 

ඒත් « නසේ චූටි »ව නොදන්නේ කවුද?  ඔව්!  ඔහු « චූටි මල්ලී » වන්නේ ය.

පැරිණි චණ්ඩියයෙක්වන්ව නිර්භය වූ  මේ අහිංසක චූටි කුරුල්ලාට අප  චූටියා කියන විට ඒ චූටි ඇස් සහෝදරත්වයෙන් ඇවිළේ.

++++++++++++++++++++++++++++

ඔහු ගැන පවත් සැළවීමෙන් පසු මම ඔහුට විටින් විට කතා කරන්නට පටන් ගතිමි.   දිගු නොවූ විරාමයකින් ඉක්බිති මම ඔහුට කතා කරන්නට වූ මොහොතක ඔහු නිදි ය.   කටහඬ බිරින්දෑවන්ගේ ය.  කිසිදාක දැක නැතත් ඇය දැන් මා හඳුනන්නී ය. 

« ඇහැරවන්න එපා » මම කීයමි.  
« මොකද්ද නංගි තත්වෙ. » මම අසමි.
« ඊයෙ නම් හිටියේ බිංදුවේ »  ඇය කියන්නී ය.  හිනාවක්වන් වූ කිසිවක් ඇසී නෑසී යයි.  
« චූටි? »
 
« චන්දන අයියා නෙමෙයි.  එයාට ගුණයක් තියෙනවා අයියෙ. මං කිව්වෙ ගෙදෙර තත්වෙ. »  ඇය කියාගෙන යන්නී ය.   ඇය හදවත විවරකරන්නී මා චූටියාගේ මිත්‍රයකු බව සහසුද්දෙන්ම දන්නා නිසා බව මම දනිමි.  මම වචන හරස්  නොකරමින් ඇයට ඇහුන් කන් දෙමි.  « චන්දන අයියට කන්න අමාරු හින්දා දියර ජාති තමයි ඉතින් වැඩිපුරම දෙන්නෙ.  දන්නවනෙ, සස්ටජන් ටිකක් ඇඟට යන එක තමයි අයියෙ එයාට හයියකට කියලා තියෙන්නෙ.  ඊයෙ රෑ සස්ටර්ජන් එක හුරල වගේ හදල දුන්නෙ. මට ඊයෙ රෑ නින්ද ගියෙත් නෑ අයියෙ, උදේට මෙයාට හදල දෙන්නෙ මොනවද කියල හිත හිත හිටියෙ. වාසනාවටද කොහිද යාන්තං යාළුවෙක් මට  උදේ සල්ලි වගයක් දුන්නා. »

නම පමණක් දන්නා මුහුණ නොදන්නා ඒ සහෝදරී වෙර වීරිය වඩමින් හිනාවෙන්නී ය.  ඒ එක සිනහවක ඇති කළුඳු බිඳු ගණන් කළ හැකි කිසිවෙකු සිටීද?    

මගේ උගුර හිරවී ඇත.  මගේ හදවත වේගයෙන් ගැහෙන්නට වෙයි.  ඉතින් තවදුරටත් අසන්නේ කුමක්ද?
මෙවන් ජීවිතයක් ගතකරන කෙසඟ සිරුරැති මහා මිනිසා අද එගොඩ උයනේ කුඩා කුලී ගෙදරක බිරිඳ හා දරු සිඟිත්තිය සමඟින් හුදෙකලාවේ නිමග්නව සිටී.  ඔහු ගලනාලයේ පිළිකා සෛල නසමින් ජීවිතය දෙස බලා සිටින්නේ ය.   ඔහු ජරාජය වෙන්නට කැමැති මිනිසෙකු නොවේ.   ඔහු අභීතය.   හෙමිංග්වේ සිහියට නැඟේ. 

++++++++++++++++++++++

කප්පාදුව ඇරඹී තිබිණ. අපි ලංකාදීප බල අධිකාරියට එදිරිව සටන් කිරීමට තීන්දු කළෙමු.   රැකියාවේ නිරතව සිටියදීම ය.   අපට පිරිස් බලය සහිතව සහයෝගය දීමට පැමිණි  නසේ ඥානයා හෝ කොත්තියා හෙවත් ඥානසිරි කොත්තිගොඩ සහෝදරයා හා සමඟ පෙරමුණේ පැමිනුණ කෙසඟ සටන්කරුවාගේ පරාර්ථයෙන් ජ්වලිත ඒ දෑස තවමත් එලෙසින් ම මට මතක ය. චූටියා මුලින්ම මට හමුවූයේ එහෙම ය.  ඔවුන් නිරතව සිටියේ කීල්ස් ඩයමන්ඩ් සටනේ ය.  දොට්ට දමා තිබුණු කම්කරු  සහෝදර සහෝදරියෝ අප දියත් කළ ලංකාදීප සටනට පිරිස් බලය එක්කාසු කළහ.  ඒත් පෙරටුගාමීව ගමන් කළේ කොත්තියා සහ චන්දන ජයතිස්ස නම් වූ චූටියා ය.  ඒ මොහොතේ පමණක් වුව ඔවුහු සටන් දෙකක නිතරව සිටියහ.  ඒත් කිසිඳු වෙහෙසක් නැත. 

අපි ලංකාදීපයේ වැඩ කරමින් සිටියදීම සෑම කෑම පැයේදී එළියට බැස උද්ගෝෂණය කළෙමු.   සිකුරිටි ඔත්තුකරුවන් අරක්ගත් පටු ගේට්ටු අතරින් අප එළියට බසින විට සිනාමුසුව සිටින චූටියාගේ මුහුණ දැනුදු සිහිපත් වේ.  

එක්තරා දහවලක අපි ලංකාදීපයට යන හුණුපිටිය හරස් පාර වසා වාඩිවී සිටියෙමු.  කිසිදාක ඒ පාරෙන් නොයනා ගංගාරාමයේ දළ ඇතා, මෙන්න ලක්සල ළඟින් පාරට හැරී ඇතායුර ගමනින් වඩින්නට පටන් ගත්තේ ය.  තීන්දුවක් ගන්නට තීබුණේ අවම හෝ උපරිම වශයෙන් විනාඩි දෙක තුනකි.  අහම්බයක්ද සැලසුම්සහගත වැඩක්දැයි සිතන්නටවත් ඉඩක් නොලැබුණි. 

« සහෝදරයා මේක බලගොඩයගෙයි හාමුවගෙයි පින් අතේ කුමන්ත්‍රණයක්.  අපට ඇත්තු ඉස්සරහ යටත් වෙන්න බෑ » චූටියා කීවේ මහත් ආවේගයකින් යුතුව ය.  

ඉන් අනතුරුව ඇරඹුණේ ගංඟාරාමයේ ආඩම්බරකාර ඇතාගේ පයට පෑගෙන්නට ඉස්සරහින්ම ඉඳ ගන්නා සහෝදරයන් ස්වේච්ඡාවෙන්ම  ඊට ධෛර්යය වැඩූ නිමේශයයි.   ඇතා නැවතී, පැරදී ,හැරී ගිය ඒ අසිරිමත් සටන්කාමී මොහොතේ ඉදිරියෙන්ම සිටියකු වූ චූටියාගේ විසල් ආත්මය මනින්නට හැකි කෝදුවක් ගැන මම මේ මොහොතේ පවා සිතමින් සිටිමි. 

ගිරා හෙවත් කුමාරදාස ගිරිබාව දොට්ට දැමීමෙන් පසු ලංකාදීප පාලකයන්ගේ වියරු මර්ධනයට එරෙහිව උපවාසයක් ඇරඹීමට අපි තින්දු කළෙමු.  නමුත් පසුදා එනවිට විජය පත්තර සමාගමේ අලුත් බිල්ඩිමේ සියලු පඩි පෙලවල් අබියස අලුත් ඇවන් ගාඩ්ලා ලැගුම් ගෙන සිටිය හ. විශ්වාසවන්ත « සහෝදරයෙකු? »  හාම්පුතුන්ට  පණිවිඩය විකුණා තිබුණි.  නමුත් අප ඇරියේ නැත.  අපි ක්ෂණිකව තීන්දු කර පත්තර පරිශ්‍රයට පිවිසෙන ආරක්ෂක කපොල්ල වන් කුඩා ගොඩනැගිල්ලේ වහලයට නැගගතිමු.  මාත්, තිස්ස නිහාල් වික්‍රමසිංහත්,  සුනිල් සේරසිංහත්, රම්‍ය අශෝකත් ය.    මුදල් කන්දක් දී ඇණවුම් කර තිබුණු ඇවන් ගාඩ් චණ්ඩින්ගේ රැකවල් පෑම වැඩක් වුණේ නැත.  අපි උපාවාසය ඇරඹුවෙමු.  කුපිත වී කුජීතව සිටි අලුත් රැක්වල් චණ්ඩියෝ ඇතුළතින් වහලට නැග්ගෝ ය.  උන් අත උල් ආයුධ විය. උන් ආයුධ පෙන්නමින් අප හතර දෙනාට තර්ජනය කළ ද අපි ඊට මුහුණ දුන්නෙමු.  ඒ මොහොතේ පහළ හුණුපිටිය හරස් පාරේ සටන් සගයන් අතර සිටි චූටියා වහලට නගින්නට සැදූ හැටිත් සහ ඔහු වලකාලන්නට තවත් උන් වෙර දැරූ හැටිත්  තවමත් සජීවී දසුන් ය. මතකය කූද්දා අවදි කරවයි. 

පවාදීම අපමණක් මැද අප සටන අත්හැර දමන්නට තීන්දු කළ අවසාන මොහොතේදීත් අප සමඟ චූටියා සිටියේ ය.  එතැන් පටන් ඔවුහු අපගේ සදාතනික මිත්‍රයෙක් වූහ. 

+++++++++++++++++++++++
ලංකාදීපයට එරෙහි අපේ නඩුව තිබුණේ කොම්පඤ්ඤවීදියේ කම්කරු උසාවියේ ය.  ලංකාදීපෙන් දොට්ට වැටුණු අපේ සගයින්ගෙන් කවරෙකු හෝ නඩු දාට නොආවත් අනිවාර්යයෙන් ම වෙලාවට උසාවියට ආ සහෝදරයා වූයේ චූටියා ය.  පුංචිහෙට්ටි නම් වූ ලංකාදීප ආයතනයේ පර්සනල් මැනේජෙරුවාගෙන් සාක්ෂි අසන්නට නියමිතව තිබුණු දා අප සියල්ලන් අතර චූටි සහෝදරයාද සිටියේ ය.  නඩුවාරය ඇරඹීමට පළමුවෙන්ම පුංචිහෙට්ටිට කිට්ටු කළ චූටියා මුහුණට මුහුණ සිටගත්තේ ය.  

« පුංචිහෙට්ටි මහත්තයා, හාමු වෙනුවෙන් උසාවි ගාණෙ බොරු කිය කිය යන්නැතුව, නරකද මේ මිනිස්සුන්ට සාධාරණය ඉෂ්ඨ කළා නම් » ඔහු නතර කරලන්නට තරම් කාලයක් අප සතු නොවුණි. ඒත් නතර කරලන්නේ කුමකටද?  එදා පුංචිහෙට්ටි නොසෑහෙන්න බිය වූ බව අපි දුටිමු.  ඔහුගේ තෙත්වුණු කලිසම විමසන්නට කලින් නඩුව කැඳවනු ලැබුණි.  අප උසාවියට මැරයින් ගෙනැවිත් සිටි බව එදා දහවල් වන විට ම ඔහු හාම්පුතුන්ට කියා තිබුණි.  නමුත් තමන් බිය වූයේ මහා ආත්මයක් තිබුණු පුංචි මිනිසෙකුට බව පුංචිහෙට්ටි දැන සිටියේ නැත. 

+++++++++++++++++++++++++++++
සැබැවින්ම චූටියා වනාහි සැබෑ සටන්කාමී සහෝදරයෙකි.   වෘත්තීය අරගල ඇවිලුණු  ඕනෑම වපසරියක චූටි සහෝදරයා වේරම්භ වාදයක් සේ හැමුවේ ය.  චූටියා නොසිටිය අප විසින් මෙහෙයවුණු  මාධ්‍ය සටනක් නොතිබුණි.  ඔහුගේ ආරම්මණය සටන පමණක් ම විය. අන් කිසිවක් නැත.  ඔහු තමන් වෙනුවෙන් පැතූ කිසිවක් නැත.  පැතුමක් වී නම් ඒ තමන් නිරත සටනේ ජයග්‍රහණය  පමණි.  ඔවුහු ජීවිතයේ පෞද්ගලිකව කිසිවක් ගොඩ නඟාගන්නට කිසිවිටෙකත් අරගල නො කළහ.  ඔහු තුළ එවන් හැඟීමක් තිබුණේ නැත.  කොටින්ම ඔහු  එසේ සිතන්නට දන්නේ නැත.  මට ජීවිතයේ මුණ ගැසී ඇති සැබෑ අල්පේච්ඡ ජීවිත අතර නිරන්තරවම චූටියා සිටියේ ය.  ලද දෙයින් සැනහුණ එවන් මිනිසුන් දකුණේ සිංහල බෞද්ධ වපසරියේ පන්සල් වලද දුලබ ය.  ප්‍රස්තුත චූටි කුරුල්ලා ගීත ගැයූවේ පොදු අරමුණක් වෙනුවෙනි.  

ඔහු වනාහී සදාතනික ක්‍රම විරෝධියෙකි.  මතවාද ටොන් ගණන් ඇදබාමින් ධනේෂ්වර නරා වලේ ම ලගිමින් ජැන්ඩියට සිටිනා හැන්ඩියන්ට වඩා ඔහු ස්වකීය භාවිතයට අතිශයින්ම අවංක වූයේ ය.  ව්‍යාජ ධනේෂවර පිළිවල ප්‍රතික්ෂේප කළ චූටි සහෝදරයා කිසිදාක ෂර්ට් ඇන්දේ නැත.  ඇන්දේ ටී ෂර්ට් පමණෙකි. 

කිසිවෙකුට හෝ වරදක් යැයි නිර්වචනය කළ හැකි යමක් ඔහුගේ භාවිතය තුළ තිබුණේ නම් ඒ හවසට හීනියට දුමක් අදිමින්, චූටි අඩියක් ගසන්නට චූටියා තුළ තිබූ නිරායාසකර පෙළඹුම පමණි.  ඒත් එය වරදක් යැයි නිර්වචනය කළ කිසිවකු ඔහුට හමුවී නැතුවා වන්නට පිළිවන. 

චූටියාගේ ගම නුවර එළිය යි.  ඒත් ඔහු ඉපදුණේ මීගමුවේ ය. ජීවත් වුණේ කොම්පඤ්ඤවීදියේ ය.  වොක්ෂෝල් වීදියේ උන් චූටි ඉස්කෝලෙ ගියේ සාරිපුත්‍රයට යි. සාපෙළ සන්ධියේ ඔහුගේ පරම මිතුරන් වූයේ ජනාතා විමුක්ති පෙරමුණෙන් ශේෂ වූ දේශපාලන ප්‍රජාවයි.  ඒත් සාපෙළ කරන්නටත් කලියෙන් ම සිට « නසේ » සමඟද ගනුදෙනුවක් තිබුණි.  එකිනෙකට ප්‍රතිවිරුද්ධ මාවත් දෙකක ඇදී ගිය දේශපාලන ව්‍යාපාර දෙකක් ඔහු අබියස පැවතුණි.  එකක් තිබුණේ කොම්පඤ්ඤවීදියේ සිට පයින් යන දුරක ය.  පංචිකාවත්තේ ය.    නමුත් ඔහු පංචිකාවත්තට නොගොස් කොම්පඤ්ඤවීදියේ ම නතර වුණේ ය.  වොක්ෂ්වෝල් වීදිය දිගේ කකුල ඇද්දූ චූටියා කිව් පාරේ සයිවර් කඩයට යාබද පටු කෙට්ටු පඩිපෙළ දෙස බලා බැරැක්ක පටුමඟේ අංක දහ හතට ඇතුළු විය. 

පක්ෂයේ කම්කරු අංශයේද, ප්‍රචාරණ යාන්ත්‍රණයේද, ආරක්ෂක ක්‍රියාවලියේද චූටියා සිටියේ ය.  කොටින්ම හෙතෙම බාහු සහෝදරයාගේ පුද්ගලික ආරක්ෂයෙක් ලෙස කටයුතු කරන්නට තරම් කැපවුණු ශක්තිමත් මිනිසෙකි.  එපමණක් නොව චූටියා බොහෝ මැතිවරණ වලට බොහෝ දිස්ත්‍රික්ක වලින් තරඟ කළේ ය.  පැවරුණ වගකීම ඉෂ්ඨ සිද්ධ කිරීමට ප්‍රතිලාභ නොලබා මුළුමනින්ම කැපවීම වමේ ව්‍යාපාරයේ « චූටි » ලකුණ ය. 

ස්වකීය දේශපාලන ස්ථාවරය වෙනුවෙන් අචපලව හා අනම්‍යව ඕනෑම කෙනෙක් හි සමඟ වාද විවාද කරන්නට චූටියා පැකිලුණේ නැත.  ජාතික ගැටළුව පිළිබඳව වූ ඔහුගේ ස්ථාවරය අතිශයින් පැහැදිලි විය.  එහි විචිකිච්චාමය ලකුණු නොතිබුණි.   පසුකලෙක අජන්ත සහෝදරයා ප්‍රමුඛ කන්ඩායමක් පශ්චාත් නූතනවාදය අරභයා නසය තුළට ගෙන ආ සංවාදයේදී එකී අදහස නියෝජනය කළද ඔවුන් පක්ෂය හැර යද්දී චූටියා පක්ෂය හැර නොගියේ ය.  

+++++++++++++++++++++++
හරය පත්තරේ කාර්ය මණ්ඩලයේ චූටියා සිටියේ ය.  නිවුස් කෑලි ලිව්වේ ය.  පත්තර නැව්වේ ය. මිටි බැන්දේ ය. බෙදා හැරියේ ය.  ගෙන් ගෙට ඇවිදිමින් හරය වික්කේ ය.  සියලු හරයන් රැක්කේ ය.  

චූටියා බොක්කකි.  එබැවින්ම ඔහු අපූර්ව මිනිසෙකු විය.  ඔහු  අපූර්ව  සංවේදී මිනිසෙකි.  ඒ සංවේදීකම කෙතරම්ද යත් හරය කාර්ය මණ්ඩලයේ වැඩ කරන සමයේ වුව ඔහුගේ පත්තර වීරයා වූයේ සුනිල් මාධව ප්‍රේමතිලක ය.  

මාසයක ඇවෑමෙන් චූටියා අතට මහා දීමනාවක් ලැබේ.  රුපියල් තුන්දහසකි.  දීමනාව අතට ලැබුණු විගසින් චූටියාගේ හදවත සත්‍යවාදියාගේ දිනපොතේ පිටු වලින් වැසී යයි.  අල්පේච්චව මාසය ගතකළද දීමනාව ලැබෙන දා චූටියා චණ්ඩියා වන්නේ ය.  ඒ චූටියාගේ හැටි ය.  චූටියා නසෙන් ම නොම්බරේ කරකවයි.  සුනිල් අයියාට ය.

« සුනිල් අයියෙ මං චූටි.  හවස මේ පැත්තට සැට් වෙනවද? »  සත්‍යවාදියා කියන්නේ කුමක්දැයි කිසිවකුටත් නො ඇසේ. 

« ඔව් ඔව් සහෝදරයා එ‍තෙන්ටම තමයි. » යළි චූටියා තැන මෙනෙහි කරලමින් හිනැහෙයි.

මොන තරම් සහෝදරයා යැයි කීවද අයියේ කියා සහෝදරකම් පෑවද එහා පැත්තෙන් ඇසෙන්නට ඇති නිෂ්චිත වචන දෙක මම දනිමි. « හරි මචං. »

ඔවුන් සැට් වෙන්නේ කොම්පඤ්ඤවීදියේ ඉස්ටේසමට ඔබ අසෝකා විදුරු නිනද නැගෙන  කාසල් වපසරිය  යි. හැමදාම එතැන ය.   ඒ වනාහී ඉස්පිරිතු සුවඳින් පත්තියං වුණු,   සිකැරට් මීදුමෙන් වැසී ගිය අන්ධකාර ගුහාවක් වැනි ගෙන්දගම් අවන්හලකි.  විටින් විට හූ කියාගෙන ඇදී යන රේල්ලුවේ ගෝෂාව  අභ්‍යන්තර ගෝෂාවට මිශ්‍ර වෙනකොට හරිම ෂෝක් ය.  බොන්න බොන්න ආස හිතෙන්නේ ය. 

« සුනිල් අයියා එතන්ට මාර අසයි.  එතන සෙට් වෙන්නෙ මිනිස්සුනෙ බං.  ඇහෙන්නෙ මිනිස්සුන්ගෙ සද්දෙ.  සුසුම්, කෙඳරිලි, අඳෝනා, කයිවාරු, මේ ඔක්කොම.  මේ හැමදේම මිනිස්සුන්ගෙ දේවල් වෙඩ්ඩා.  එහෙම තැනක ඌත් එක්ක ඉන්න මං ආසයි. »
 
කොලමක් ලියන්නට ඔහුට සංඥාව ලැබුණේ සුනිල් මාධවගේ ආස්රය නිසා ය.  හරය පත්තරයට « පොඩ් එකාගේ ලියුම » ලියමින් කොම්පඤ්ඤවීදියේ පීඩිතයාගේ අධ්‍යාත්මය සමාජගතකිරීමට  චූටියා වෙර දැරී ය.   ඒ වනාහී තමන්ගේ ම ආත්මය නොවේදැයි මා කිසිවිටෙකත් ඔහුගෙන් අසා නැත.

+++++++++++++++++++++++++++
 « වෙඩ්ඩා මං අලුත් කවියක් ලිව්ව. කියන්නද? »  මේ ඊයෙ පෙරෙයිදා ගෙවුණු වෙනත් දවසකි.  චූටියාගේ කවි සිත අවදි වී ඇත. 

« උඹට අමාරුවක් නැත්තං කියපං » මම කියමි.
« පිනට උපන් ලක්දෙරණේ » ඔහු කියයි. « ඒක තමයි මාතෘකාව. »
« නියමයි. කියපං » මම කියමි.
« අම්ම කෙනෙක්
දරු දෙදෙනෙක්
තුරුලු කරන්
ගඟට පනී.

එහෙව් රටේ
එළ හරකුන් මස් කරන්න
එපා කියා
මීහරක් පෙළපාලි යති.

ඔව්! හරක් මස් තහනම් කරමු
ලක් පොළොවෙ අරඹමු
ඔටු ෆාම්
බැටළු ෆාම්
තාරා ෆාම්.

ජය පැන් බී
බයිට් එකට ඔටුද
ඩයිට් එකට බැටළුද
ඩෙසට් එකට තාරාද ගෙන
නම් කරමු ඇමති මණ්ඩලයට
ඔටු ඇමති
බැටලු ඇමති
තාරා ඇමති.

අවසන
අභයදානය ලැබී
විශ්‍රාම ගිය එළ හරක් රැක ගන්න
පත් කරමු

මී හරක් ඇමතිව. »

තමන්ගේ වේදනාව තමන්ගේ ය.  ඔහුගේ ප්‍රස්තුත තවමත් පොදු අවකාශයක කරක් ගසයි.   ඔහු සමාජ විසංවාදය දකී.   එබැවින් ම ඔහු අසනීප වේදනාව මේච්චල් කර ගනිමින් සමාජ සංවාදයට ඇතුළු වීමට වෙර දරයි.  ඔහු ස්වකීය වේදනාවට ලංසු නොතබයි.  « අපි මොන මිනිස්සුද? » . මට සිතෙන්නේ මං ගැන ය.  මට මගේ සිතිවිල්ල  අල්ලා නතර කළ නොහැකි ය.   

« ඇයි වෙඩ්ඩ කවිය හරි නැද්ද ? » ඔහු අසයි.  කවියක් යනු හරි වැරදි දමා ලකුණු දිය යුතු ප්‍රශ්න පත්තරයක්දැයි පෙරලා ඔහුගෙන් ඇසීමට මට ඕනෑ ය.  ඒත් මම නිහඬ වෙමි.  සියල්ල අතරේ පවා ඔහු හිනාවීමට යත්න දරයි.   ඒ හිනා මාත්‍රයක් වුව දැනෙන්නේ පිනට උපන් ලක් දෙරණට වඩා බරට ය. 
  
++++++++++++++++++++++++++++++++++++
මොරටුව එගොඩ උයනේ, මුතුවැලි බිච් රිසෝට් හි රැකියාවට ගොස් තිබුණේ අවුරුදු  හතරකට පෙර ය.   නසේට සමුදෙන්නට ඔහු තීන්දු කර තිබුණේ යැයි හෝ එසේ වූයේ ඇයිදැයි හෝ මා දැන සිටියේ නැත.  ඒ ගැන විමසිය යුත්තේ ජීවිතයෙන් ය.  අපේ ප්‍රස්තුත සටන්කාමියා කරකාර බැන්දේ රස්සාව තහවුරු වූ පසුව ය.   චූටි කුරුල්ලාගේ මඟුලට නසේ නයුවන්ගෙන් ඇරියුම් නො ලද්දේ ඥනෙ සහෝදරයා සහ රණා හෙවත් රනත් තුමාරසිංහ සහෝදරයා පමණෙකි.  පශ්චාද් නූතනවාදී සංග්‍රාමයේදී එකී මතවාදයට එදිරිව දැඩිව හඬ නැගුවේ ඔවුන් දෙදෙනා ය.  එනයින් ගත් කල එකී අනාරාධනය ඔහු දැක්වූ විරෝධයක්දැයි නොදනිමි?  

කසාදෙන් ඉක්බිති එගොඩ උයනේම පදිංදි වන්නට චූටියා හිතුවේ රස්සාවට යන්නට එන්නට පහසු වූ බැවිනි.  අවුරුද්දක් යන විට චූටි කුරුල්ලාගේ කුලී කැදැල්ලේ උන් කිරිල්ලී චූටි පැටික්කියක් වදන්නට වූවා ය.  නිරන්තවම අහසට එසැවුණු ඒ විප්ලවවාදී අත්දෙක මත දාරක ස්නේහය පිරී යන්නට ඇත. 
 
ඇතැම් විට ජීවිතය වෙනස් වෙන්නේ පිමි ලෙසිනි.  කිසිදාක මහන්සියක් නොදැනුණු අප මිත්‍ර කොම්පඤ්ඤවීදියේ චූටිකුරුල්ලාගේ ඇඟට අසනීප මහන්සිය දැනුනේ දරුවා ලැබීමෙනුත් මාස කිහිපයක් ඉක්ම යන්නට වූ කල ය.  ජීවිතේ එබඳු ය. 

චූටියා තවමත් සිටින්නේ එගොඩ උයනේ ය.  අලුත් ගාලුපාර ඔස්සේ යන විට එගොඩ උයන කෙළවර වන්නේ පාලමකින් ය.  පාලමින් එගොඩ පුනර්ජීවනයේ නගරයයි.  ඒ අනුව ගත්විට එගොඩ උයන තවමත් ඇත්තේ පාලමින්  මෙගොඩ ය.   

+++++++++++++++++++++++++

මම මෙලෝ හැඩයක් නැති, ෆෝසීසියා මල් පඳුර දෙස බලා සිටිමි.  මා සිටින ඇල්ප් කඳුකර පෙදෙසේ එනමින් මෙමල හඳුන්වන්නේ වුව එය ෆෝසීතියා වන්නේ වෙයි.  අයිෆල් ඉසව්වේ එය පැරිස් මිමෝසා ය. නම නොදන්නා චූටි කුරුල්ලා එන වෙලාවක් නොදන්වා ම සැඟවි ගොස් ඇත.   මා ලියවිල්ලක් කොටමින් සිටිනවා යැයි ඌ දන්නේ නැත.   දුක්බරම ගී ගයනා ඌ වසන්තය අරන් ඒ දැයි මම නොදනිමි.  අසන්නේ කෙලෙසද? ඌ අත ජංගම දුරකතනයක් නැත.  නමක් ඇති චූටි කුරුල්ලා අත නම් ජංගම දුරකනයක් ඇත.  ඒත් ඌ වසන්තය ගැන කිසිත් නොකියයි.   

ඉදින් අවම වශයෙන් වසන්තය පැමිණෙතැයි දන්වන මල් ගැනවත් යමක් ලිවිය යුතු ය.  පාදඩ අතකිනි. ඒ අත මගේ ය.   

ෆෝසීසියා පඳුරක
සිලිටි දඹරන් පෙත්තක
කොයිතරම් වෙද මඳහස.

වස්සානයට අවනත
අවාළු පැහැ වලාකුළු
රොදබඳින බව අහසට
කියා දෙන රන්වන.

ඔබ එන්න
අතීතේ තැන්නට...........
හිම මිදුණු හදවත
අව්වට කියා රත්කර
කොළ නැති ගසක අතු මත
ජීවිතය පෙන්නන්න.

2014 මාර්තු 31.