Hot!

මැහැල්ලකගේ කතාවක් - දමිළ ලේඛක කාවලූර් රාසතුරෛ

දමිළ නවකතාව, කෙටිකතාව, නාට්‍ය, සිනමාව, විචාරය ආදී ක්ෂේත්‍ර ගණනාවකටම තම දායකත්වය ලබා දුන් කාවලුර් රාසතුරෛ යාපනයේ ඌරකාවටිතුරෛහි උපන්නෙකි. සුදන්දිරන් වීරකේසරී, තිනකරන් ආදී පුවත්පත්වලට ලියා තම කුසලතා ඔපවත් කරගත් ‍මොහු පසුකාලෙක දමිළ පාඨකයන් අතර ජනප්‍රිය ලේඛකයකු බවට පත්විය. ශ්‍රී ලංකා ප්‍රගතිශීලී ලේඛක සංගමයට එක්වී එහි වර්ධනයට ද මහත් කැපවීමක් කළේය. යාපනයේ දමිළ සංස්කෘතිය විදහා පාමින් මෙරට නිෂ්පාදිත පොන්මණී නම් දමිළ චිත්‍රපටයේ තිර රචකයා මෙන්ම නිෂ්පාදන කළමනාකරු ද වූ රාසතුරෛ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ද කලක් සේවය ‍කළේය. දැනට මොහු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ජීවත්වෙයි. මෙම කෙටිකතාව ශ්‍රී ලංකාවේ දමිළ මාධ්‍ය පාසල් පෙළ පොතකට ද ඇතුළත් වූවකි.

මැහැල්ලගෙ මරණෙ සාමාන්‍ය සිද්ධියක්. ඒත් මැරෙන්න කලින් වෙච්ච සිදුවීම්වල විශේෂත්වයක් තිබුණ. මළගෙදරට ආපු කවුරුත්ම වගේ කතා කළේ ඒ ගැන තමයි.
මැහැල්ලගේ මළ සිරුරෙ හිස තියෙන පැත්ත බිම දෙපා දිගහැරන් හිඳගෙන, පුංචි වංගෙඩියකින් බුළත් විට කොට කොටා කටට දමාගනිපු මාණික්කම් ආච්චි ඒ වෙලාවෙ එහෙට ආපු සෙල්ලම්මට මැහැල්ලගෙ සිද්ධි එකින් එක විස්තර කළා.
මැහැල්ලගෙ ඥාති මිනිබිරියක් වුණ පුෂ්පම් ඒ සිද්ධි ගැන හිත හිතා හදවතින් හඬා වැලපුණා. ඇගේ හිතට සැනසීමක් ලැබුණෙම නෑ.
සෙල්ලම්මගෙ ස්වාමිපුරුෂයත් මඩුවට වෙලා ඒ කතාව අහගෙන හිටියා.
“කාටත් ඉතින් මේ ටික තමයි. කවුරු මැරුණත් හුස්ම ඩිංග යන්න කලින් මොකක් හරි විශේෂ දෙයක් සිද්ධ වෙනවනේ.”
ඉස්කෝලෙ මහත්තය දර්ශනය ගැන කතා කළා.
කරම්බන්වල සෙවත්තියාර් කෝවිල ආසන්නෙ ජීවත්වෙන අයට ඒ මහලු කාන්තාව එක්තරා ‘තොරතුරු මධ්‍යස්ථානයක්’ නැත්නම් විවේකාගාරයක්. කූපන් කඩෙයක් කිව්වත් ගැළපෙනව.
එරම්බු පරපුරේ නෑදෑයෝ කවුද? ඥානප්‍රකාශම් පවුල ජීවත්වුණේ කුමන ඉසව්වෙද?
ඒ මැහැල්ලගෙන් ඇහුවොත් උත්තර ලැබෙනව.
කරම්බන්වල වංශවත් අය කවුද? වරිග සභාවට වැද්ද නොගන්න පහත් කුලේ අය කවුද?
අහන්න ඕන ඒ මැහැල්ලගෙන්මයි.
කරම්බන්වල මුල්ම පදිංචිකාරයො කවුද?
අහන්න ඕන ඒ මැහැල්ලගෙන්මයි.
ඇත්තටම ඒ මැහැල්ල තොරතුරු මධ්‍යස්ථානයක් ම තමයි. ඒත් ඈ සපයන තොරතුරුවලට සාක්ෂි නම් නෑ. ඒ ‍වගේම ඇගේ වයස කීයක්ද කියන්නත් සාක්ෂි නෑ. හුඟක් ඉස්සර දවසක ඒ ගම්පත්තුවට මහා සුළි සුළඟක් හමල, තල් ගස් උසට ගංවතුර ගලල තියෙනව. එත‍ෙකාට මැහැල්ලගෙ වයස අවුරුද්දක් කියල තමයි කියන්නෙ. ඒ වුණාට ඊයෙ වෙනකම්ම කරම්බන්වල ඉදුණු පලතුරක් වගේ පැවතුණ එකම ප්‍රාණයත් ඒ මැහැල්ලම තමයි.
දරුවො හයදෙනෙක් වදාපු අම්ම කෙනෙක් වුණත් අවසාන කාලෙ ඇයව බලාගන්න කවුරුවත් ම හිටියෙ නෑ. වදාපු දරුවන්ගෙන් පස්දනෙක් ම මාරය උපන් ගෙයිදිම උදුරගෙන ගියා. හයවෙනිය කොල්ලෙක්. ඌ පුංචි කාලෙදි ම ගෙදරින් පැනල ගියා. අවුරුදු තුන හතරකට විතර කලින් දවසක හදිසියෙම ගෙදර හොයාගෙන ආවෙ “අම්මේ ‍ෙකාහොමද සැප සනීප?” කියල අහගෙන. දවස් දෙකක් අම්මත් එක්ක ගෙදර හිටිය. ‘අරක කරන්නම්. මේක කරන්නම්’ කිය කියා අම්මව මුළා කළා. තුන්වැනි දවසෙ යන බවක් කියන්නෙවත් නැතුව සද්ද නොකර යන්න ගියා.
“පිට්ටු තැම්බුව පුතා ගිහින් මූණකට හෝදගෙන වරෙන්.”
“මට හොදි ටිකක් එක්ක හට්ටියෙ තියල අම්ම කන්න. මට එක්කෙනෙක් හමුවෙන්න තියෙනව. ගිහින් එන්නම්.”
අම්මයි පුතයි අතරෙ අන්තිමට ඇතිවුණ කතාබහ තමයි ඒ. ආව - ගියා. හරියට විදුලියක් කෙටුව වගේ. හොදි හට්ටියයි, පිට්ටුයි දවස් දෙකක් තිස්සෙ තිබිල පිළුන්වුණා. තුන්වැනි දවසෙ සංකරපිල්ලෛ - ඒ කියන්නෙ ගමේ පියුන් මහත්තය ඇවිත් පණිවුඩේ කිව්වට පස්සෙ තමයි මැහැල්ල කාරණේ දැනගත්තෙ.
“ආච්චි, ඔහෙගෙ පුතාට හදිසි ටෙලිග්රෑම් එකක් ඇවිත් ගිය බව කියන්න කිව්ව. ගිහින් ඔහෙට ලියුමක් එවනවලු.”
“ලියුමක් එවනවලු. ඒක කියන්නෙත් පණිවිඩකාරයො එවල. පර කොල්ලට ඇවිත් අම්මට යනව කියල යන්නවත් වෙලාවක් නෑ. එක අතකට ඒකත් හරි. උගේ මහ එකාත් ඒ විදියටමනේ පැනල ගියේ.”
මුළාව, කෝපය, අසහනය, තනිකම වගේ හැඟීම් එකිනෙක ගැටෙමින්, තෙරපෙමින්, ඉස්මතු වෙමින් මැහැල්ලගෙ හදවත පාරන්න වුණා. ඈ කොහොඹ ගහ යට ඉඳගෙන තනියම මුනු මුනු ගෑව. ඒත් ඊළඟ දවසෙ ඉඳන් දිනපතාම ඒ කොහොඹ ගහ යටට වෙලා මඟබලාගෙන හිටියෙ පියුන් මහත්තය එනකම්.
“කොල්ල ලියුමක් එවනව කියල සංකරපිල්ලෛට කියලනේ ගියේ.”
කොහොඹ ගහේ හෙවණැල්ල මැහැල්ලගෙ කතාවට හිස වැනුව.
“පුතා සංකරපිල්ලෛ, මට ලියුමක් තියෙනවද?”
“අද නම් නෑ ආච්චි”
තවත් දවසක් ගතවුණා.
“ලියුමක් තියෙනවද පුතා”
“නෑ ආච්චි”
සතියක්ම ගෙවිල ගියා.
“ලියුමක් නැද්ද පුතා?”
“නෑ ආච්චි”
ඔහොම මාසයක්ම ගෙවුණ.
“මොකුත් නැද්ද දරුවො?”
ඈ එදා වෙනදාට වඩා සමීප ළෙන්ගතු ස්වරූපයකින් ඇහුවෙ එතකොටවත් සංකරපිල්ලෛ ලියුමක් දේවි කියන පුහු විශ්වා‍සය හිතේ මතුවුණ නිසා. ඒත්...
“නෑ ආච්චි”
මෙහෙම තවත් මාස කීපයක්ම ගතවුණා.
“නැද්ද දරුවෝ?”
“ලියුම් තියෙනව නම් ‍මම නොදී ඉන්නවද? ආච්චි නිකරුනේ කරදර වෙනව”
කාලය තවත් ගෙවිල ගියා.
“කවුද? සංකරපිල්ලෛද? ලියුමක් නැද්ද දරුවො?”
මැහැල්ලගෙ ඇස් පෙනීම දුර්වල වෙලා. බයිසිකල්වලින් යන හැම කෙනෙක්ගෙන්ම අහන්නෙ “ලියුමක් නැද්ද දරුවො” කියල.
සංකරපිල්ලෛටත් දැන් එපා වෙලා. එයා දැන් මැහැල්ලට උත්තර දෙන්තේ නෑ. කොහොඹ ගහේ හෙවණැල්ල විතරයි ඉතින් මැහැල්ලගෙ පිහිටට හිටියෙ.
දවසක් ඒ මැහැල්ල කොහොඹ ගහ යට පේන්න හිටියෙ නෑ. සංකරපිල්ලෛට දැනුණෙ හැමදාම දර්ශනය වෙච්ච කෝවිලක් නොපෙනී ගියා වගේ. මිනිස්සු පුරුද්දට වහල් වුණාම එහෙම තමයි.
දවස් දෙකක්, තුනක් ගත වුණා. ඒත් මැහැල්ල ගහ යටට ඇවිත් හිටියෙ නෑ.
සංකරපිල්ලෛට මේක ‍ලොකු කුතුහලයක්. එයා හන්දියෙ කඩේ සු‍ෛ‍සපිල්ලෛගෙන් ඒ ගැන ඇහුව.
“ආච්චි ලෙඩවෙලාලු”
මැහැල්ලගෙ පැල්පත තිබුණෙ ක‍ඩේට පිටුපස්සෙ. සංකරපිල්ලෛ කඩුල්ල ඈත් කරගෙන ඇතුල්වෙලා බෙල් එක ගැහුව. ප්‍රතිචාරයක් නෑ. පස්සෙ තොප්පිය ගලවල සයිකලේ හැඬල් එකේ රඳවල ඔළුව පහත් කරගෙන ඇතුළට ගියා.
බිම සාරිය එළාගෙන මැහැල්ල දිගාවෙලා හිටිය. කෝපි මණ්ඩිත් එක්ක පොල්කට්ටක් පැත්තක තිබුණ. ඉව අල්ලගෙන ආපු කූඹි හමුදාව මුලින්ම පොල් කට්ට වටේ කඳවුරු දාන්න පටන්ගෙන
“ආච්චි”
සංකරපිල්ලෛ උස් හඬින් කතා කළා. පිළිතුරක් නෑ. ඊට පස්සෙ ඇඟෙන් අල්ලල හෙල්ලුව.
“ක..ව්...ද?”
කෙඳිරිලි හඬක් මතුවුණා.
“ආච්චි මම සංකරපිල්ලෛ”
ඇගේ දෑස් බඳුන් ක්ෂණීකව දීප්තිමත් වුණා.
“ලි..ලියුමක්ද?”
එහෙම අහන ගමන් ම මැහැල්ල නැඟිටින්න උත්සාහ කළා. සංකරපිල්ලෛගෙ කටහඬ ඈට දැනුණෙ කිසියම් දෙයක් ළංකරවන හැඟීමක්. සංකරපිල්ලෛ ඈට නැඟිටින්න නොදී එහෙමම හාන්සිවෙන්න සලස්වල නිහඬව එතැනින් පිටවෙලා ගියා.
සංකරපිල්ලෛ ඊට පස්සෙත් කඩේ මුදලාලි හමුවෙලා මැහැල්ලගෙ තත්ත්වෙ හොයල බැලුව. වරින් වර ගිහින් මැහැල්ල බලල ආව.
“පුතා ලියුන්කාරය යනවද බලපං”
මැහැල්ල දැන් කතා කරන්නෙ සිහි විකල්ලෙන් වගේ.
මෙහෙම දවසක් දෙකක් ගතවුණාට පස්සෙ ඇගේ නන්දෙඩවිල්ලයි, ගතේ වෙව්ලිල්ලයි, අප්‍රාණික ගතියයි තව තවත් උග්‍ර අතට හැරුණ. කුසෛපිල්ලෛගෙ බිරිය සෙවන්තියාර කෝවිලේ පූජකතුමාට මේ විස්තරේ ගිහින් කිව්ව. පූජකතුමා ඇවිත් දේව යාතිකාවක් කළා.
“ලියුන්කාරය යනවද බලපං”
සංකරපිල්ලෛ හැමදාම හිස් අතින් ඇවිත් තමයි මැහැල්ල බලල ගියේ.
“ලියුන්කාරය ගියාද බලපං”
එදා අවට නිවැසියො හැම‍කෙනෙක්ම වගේ ඇවිත් මැහැල්ල වට කරගෙන හිටිය.
“ආච්චි දවස් දෙකක් තිස්සෙ පණ ඇද ඇද ඉන්නෙ. පණ යන්නෙ නැතුව මෙච්චර කාලයක් ඉන්නව මම නම් කොහේදිවත් දැකල නෑ.
“මොනව කියනවද සෙල්ලම්මා, මාරයගෙ වෙලාව එන්න කලින් පණ යන්නෙ නෑ. පුතණ්ඩිය එවන ලියුමක් දකිනකම් ආච්චි‍ෙග පණ අල්ලල හිටීවි වගේ”
ගෑනුන්ගෙ මේ කතාබහ අහගෙන හිටපු සංකරපිල්ලෛ පිටවෙලා යන්න ගියා.
ඊළඟ දව‍ස උදාවුණා.
“ලියුම් යනවද බලාපං”
එදා ඒ හඬ වරින් වර මතුවුණේ අදෘශ්‍යමාන තැනකින් වගේ.
ලියුම් බෙදන වෙලාවෙ සංකරපිල්ලෛ වහ වහා මැහැල්ලගෙ පැල්පතට ආව. අතේ තිබුණ ලියුම් මිටියෙන් ලියුමක් අරන් මැහැල්ලගෙ අතේ තිව්ව.
“මෙන්න ආච්චි පුතාගෙ ලියුම”
මැහැල්ල නොඉවසිලිමත් වුණා. ඇගේ අත පය වේගයෙන් ක්‍රියාත්මක වුණා. දෑස්වලින් කඳුළු වැගිරුණා. වතුරෙ ගිලිල දඟලන කෙනෙක් පිදුරු ගහක් අල්ලනව වගේ ලියුම අතට අරගෙන ක්ෂණිකව දෑස් යොමු කළා.
ඉවසිය නොහැකි තරම් නිහැඬියාවකින් තත්පර කීපයක් ගෙවිල ගියා.
මැහැල්ලගෙ අතින් ලිස්සල ගිය ලියුම බිම පතිත වුණා.
මාණික්කම් ආච්චි මැහැල්ලගෙ ඇස් දෙකයි, කටයි පියවල ගාණට හැදුව. අනිත් ගෑනු ටික එකිනෙකාගෙ උරහිසට අත තියාගෙන බිම ඇණතියාගෙන මළ ගීතිකා ගායනය පටන් ගත්ත. ඒ අතර කුසෛපිල්ලෛගෙ බිරිය හෙමින් නැඟිටල පිටවුණේ ස්වාමිපුරුෂයගෙ කඩෙන් බුලත් පුවක් ටිකක් ගේන්න.
සෙල්ලම්මගෙ පුරුෂය කෝවිලේ ඝණ්ටාරේ ගහන්න හනික දිව්වා.
කුසෛපි‍ල්ලෛ මැහැල්ලගෙ පුතාට ටෙලිග්‍රෑම් ගහන්න ගියා.
“කවුද මැරුණේ?”
“අර නාකි ආච්චි”
පුතා එනකම් මළකඳ ගෙනියන්න ප්‍රමාද කළා. කුසෛපිල්ලෛ යවපු ටෙලිග්රෑම් එකට පිළිතුරකුත් නෑ. පුතණ්ඩිය ආවෙත් නෑ.
“ආච්චි මැරුණෙ සන්නිය හැදිල. මළකඳ ඉක්මනට ගෙනියන්න ඕන.”
ඇවිත් හිටපු අය වෙහෙසට පත්වුණා. එයාලගෙ ඉවසීම සීමාවටම ළඟා වුණා.
කුසෛපිල්ලෛ මඩුවෙ මුල්ලකට හේත්තුවෙලා හිටපු සංකරපිල්ලෛව මිදුලෙ පැත්තකට අඬගහගෙන ගියා.
“ආච්චිගෙ පුතාගෙ ලිපිනය මොකක්ද? මම අර ලියුම දැක්කෙ නෑ. ටෙලිග්රෑම් ගැහුව කියල මම කිව්වෙ බොරු”
“මම දන්නෙ නෑ කුසෛපිල්ලෛ. පුතෙක් එවපු ලියුමක් නෑ. ඒක ම‍ෙග වැඩක්.”
ඒ ප්‍රකාශයෙන් කුසෛපිල්ලෛ මොහොතකට තිගැස්සුණා. පස්සෙ හැම දෙයක්ම අවබෝධ කරගත්ත.
“ඔහෝ... ඒකත් එහෙමද?”
කුසෛපිල්ලෛ ආයෙත් ඇතුළට ගියා.
“බලන් හිටිය ඇති. මීටත් පරක්කුවෙලා එයා එන්නෙ නෑ. මරණෙ උස්සමු. ඔහු උස් හඬින් කියා සිටියා.
දවුලෙ හඬ ගිගුම් දෙන්න පටන්ගත්ත. දේහය රැගත් පිරිස පිටත්වුණා.