Hot!

යුකේ‍්‍රනයේ අර්බුදය

ඇමරිකා එක්සත් ජනපදය සහ ජර්මනිය සැලසුම් කර සිදු කල දක්ෂිනාංශික කුමන්ත‍්‍රනයෙන් ඉක්බිත්තේ රුසියාව ක‍්‍රිමියාවට මැදිහත් වීමත් සමග පුපුරා ගොස් ඇති අර්බුදය දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇතිවූ භයංකර ම ඝට්ටනයක කට උඩට ලෝකය ඇදදමා ඇත. 1930ස් ගනන් වලින් පසුව සිදු නොවූ ආකාරයකට දෙපිල එක රැයින් අන්තිම නිවේදන නිකුත් කරගෙන ඇති අතර යුරෝපයේ යුද හමුදා උපරිම සූදානමක තබා ඇත. 

1991 දී සෝවියට් සංගමය විසුරුවාලීමත් සමග විසිවන සියවස යුද්ධයන්ගේ සහ විප්ලවයන්ගේ සමයක් වශයෙන් තව දුරටත් පවතින්නේ නැතැයි කියන ලද කියාපෑම් අසත්‍ය බව ගත වූ දින කිහිපය තුල සිද්ධීන් විසින් පෙන්නුම් කරනු ලැබ ඇත. ඇත්ත වසයෙන්ම විසිවන සියවස වනාහි “සමාප්තනොවූ” හෙවත් අවසන් නොවූ ශතවර්ෂයයි. එම ශතවර්ෂයේ නොවිසඳුනු සමාජ සහ දේශපාලන ප‍්‍රතිඝතිතාවෝ වත්මන් සියවසේ පුපුරායන ආතතීන් තුල ද ගැබ්ව පවතිත්. පලමුවන ලෝක යුද්ධය අවසන්වී අවුරුදු එක්සියයකට ද දෙවන ලෝක යුද්ධය ආරම්භවී අවුරුදු හත්තෑපහකට ද පසුව අද දින මානව වර්ගයා යුද්ධයේ සහ ෆැසිස්ට්වාදයේ තර්ජනයට යලිත් වරක් මුහුන දී සිටි.

යුකේ‍්‍රන අර්බුදය උග‍්‍ර කිරීමට ප‍්‍රධාන වශයෙන්ම වගකිව යුත්තේ එක්සත් ජනපදය සහ ජර්මනියයි. එම දෙරට සිය යුරෝපීය සංගම් සගයන් ද සමග සැලසුම් සහගතව දිගින් දිගට ම මෙම ප‍්‍රදේශයට අත දමමින්, වික්ටර් යනුකොවිච් ගේ දුෂිත පාලනයට එරෙහිව මහජනයා අතර පැතිර පැවැති අසහනය බටහිර අධිරාජ‍්‍යවාදීන් හා බද්ධ අති දක්ෂිනාංශික ෆැසිස්ට් බලවේගයන්ට කරබදු කර දී, රුසියාව භූ දේශපාලනිකව හුදෙකලා කර, කෑලිවලට කැඩීම ට සකසා ඇති සිය කුමන්තත‍්‍රනයේ හවුල් කරුවෙකු කරගත හැකි පාලනයක් යුකේ‍්‍රනය තුල ඇටවීමේ දුෂ්ට අරමුන සඳහා, ඡන්දයෙන් තෝරාගත් ආන්ඩුව පෙරලා දැම්මේ ය.

ජර්මන් අගමැතිනි ඇන්ජලා මර්කල් දක්ෂිනාංශික විපක්ෂ නායකයන් හමුවීමට ගියාය. මර්කල් ගේ දේශපාලන පක්ෂය වූ ක‍්‍රිස්තියානි ඩිමොක‍්‍රටික් පක්ෂය හිටපු බොක්ෂින් ක‍්‍රීඩක විටාලී ක්ලිට්ස්කෝ ගේ උඩර් පක්ෂයට මුදලින් ආධාර කර ඇත. ප‍්‍රධාන පෙලේ යුරෝපීය සංගම් නිලධාරීහු ස්වොබෝදා පක්ෂයේ ෆැසිස්ට් වරුන් සහ රයිට් සෙක්ටර් සංවිධානයේ අවි ගත් මැරයන් සමග කියෙව් නගරයේ මධ්‍ය චතුරශ‍්‍රයේ දී පෙලපාලි දැක්වුහ.
යුරෝපය හා ආසියාව පිලිබඳ එක්සත් ජනපද උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ්, අඩුගනනේ හතරවතාවක් කියෙව් නගරයට ගොස් නව ෆැසිස්ට් විරෝධතාකරුවන් හා එක්වුවාය. ඇය කිට්ශ්කෝ, අර්සේන්ය් යට්ස්වෙන්යුක් සහ නමගිය යුදෙව් විරෝධී ස්වොබෝදා ව්‍යාපාරයේ නායක ඔලෙග් ට්ය්න්ය්බ්ලොච්ක් හමුවුවාය. අමරිකා එක්සත් ජනපදය 1990වෙන් මොබ යුකේ‍්‍රනය තුල තමන්ට ගැති බලවේගයන් ගොඩනැගීමට ඩොලර් බිලියන පහක් යොදා ඇති බව ද ඇය පිලිගත්තා ය.

යනුකොවිච් ඉවත් කල පසු යට්සෙන්යුක් බලයට පත්කල යුතු යයි නුලන්ඩ් යුකේ‍්‍රනයේ ඇමරිකානු තානාපති ජෙෆ්රි ෆියට් සමග කල රහස් ටෙලිෆෝන් කතිකාව එලිදරව් වූ පසු, මෙම රට තුල ඇමරිකානු ඇඟිලි ගැසීම් කොතරම් උග‍්‍ර තත්වයකට පත්ව ඇත් ද යන්න පැහැදිලිව පෙනී ගියේ ය.

රුසියාවේ පැවැත්ම ම තර්ජනයකට මුහුනපා ඇති බවට නිසැකය. යුකේ‍්‍රනය පලල් මොස්කව් විරෝධී සන්ධානයට එක් වීම, රුසියාව සතුරු ආක‍්‍රමනයට සහ නිසැකවම තව තවත් අස්ථායි කරනයට ගොදුරු කරයි. ඉදිරි කාලයේ දී රුසියාවේ දේශ සීමා ආසන්නව පමනක් නොව, එහි දේශ සීමා තුල ද ඇමෙරිකානු කුමන්ත‍්‍රන ව්‍යාපෘති ක‍්‍රියාත්මක වනු නොඅනුමාන ය. මෙවන් ඇඟිලිගැසීම් සඳහා අලුත් ‘මානව හිමිකම්’ ප‍්‍රශ්න නිපදවා ගැනීම ද මුදල් සහ අවි ආයුධ සපයා දිරි ගැන්වීම ද ඇමරිකාව සහ එහි යුරෝපීය අධිරාජ්‍යවාදී අනුචරයින්ට එතරම් අපහසු කාර්යයක් නොවනු ඇත.

කෙසේ වෙතත්, රුසියාව කැබලි වලට කඩා අර්ධ-යටත් විජිත තත්වයට ඇද දැමීමට තර්ජනය කරන මෙම අන්තරායන් වලකාලීම තබා, අවමකර ගැනීම පවා පුටින් පාලනයේ මිලිටරි බලය මගින් සිදු කරගත හැක්කක් නොවේ.

පුටින් ගේ ක‍්‍රියාවන්ට මොනම සහායක් හෝ දිය නොහැකිය. එක්සත් ජනපද සහ ජර්මානු අධිරාජ්‍යවාදයේ ආක‍්‍රමනයන්ට එරෙහිව පිහිටුවා ගත හැකි මොනම ප‍්‍රගතිශීලී ප‍්‍රතිචාරයක් හෝ ඔහුට නැත. පුටින් නියෝජනය කරන්නේ සෝවියට් සංගමය විසුරුවාහැර, රාජ්‍ය දේපල කොල්ලකා ධනය පොදිබැඳ ගත්, කතිපයාධිකාරී තන්ත‍්‍රයයි. ඔහුගේ පාලනය යුකේ‍්‍රනියානු කම්කරු පන්තියට හෝ රටතුල ප‍්‍රගතිශිලී මහජන මතයට ආමන්ත‍්‍රනය කිරීමට අසමත් ය.

ඒ වෙනුවට ඔහු උත්සාහ කරන්නේ, රුසියාව ද, නැගෙනහිර යුකේ‍්‍රනය ද තුල ජාත්‍යෝත්තම වාදය අවුලුවා ලීමටය. එය යුකේ‍්‍රනියානු ෆැසිස්ට්වාදීන් ද ඔවුන්ගේ ඇමරිකානු සහ ජර්මානු හාම්පුතුන් ද විසින් අවුලුවා ඇති සිවිල් සහ ආගම්වාදී යුද ගිනි වලට තෙල් දමනු ඇත. 

රාජ්‍ය ලේකම් ජෝන් කෙරී වැනි එක්සත් ජනපද කථිකයන් මෙම අර්බුදය ගැන කරන ප‍්‍රකාශ කුහකය; වංචා සහගතය. රුසියාව “යුකේ‍්‍රනයේ පරමාධිපත්‍යය සහ භෞමික අඛන්ඩතාව උල්ලංඝනය කිරීම” එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය බිඳීමක් ලෙස ද යුකේ‍්‍රනයේ සහ ඒ අවට පුලුල් කලාපයේ සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් ලෙස ද කෙරී ගිය සති අන්තයේ දී හෙලා දුටුවේ ය.

කෙරී වනාහි 2002 වර්ෂයේ දී “ජනසංහාරක අවි” පිලිබඳ පට්ටපල් බොරුව යොදාගෙන ඉරාකය ආක‍්‍රමනය කිරීමට ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ගත් තීන්දුවට පක්ෂව ඡන්දය දුන් අයෙකි. කෙරී මෙසේ ද කීවේ ය, “කොහොමට වත් 19 වන ශතවර්ෂයේදී කල ආකාරයට 21වන සියවසේදී මුළුමනින්ම ගොතාගත් ව්‍යාජයක් මත තවත් රටක් ආක‍්‍රමනය කිරීම සිදු කෙරෙන්නේ නැත.” මේ ජාතියේ ප‍්‍රකාශවලට මොනම අභියෝගයක් වත් එල්ල නොවීමෙන් පෙනී යන්නේ, මහ සංගත විසින් පාලනය කරනු ලබන මාධ්‍ය කොයි තරම් දුරට, ඇමරිකානු බුද්ධි අංශය ද මිලිටරි යාන්ත‍්‍රනය ද සමග බැඳී තිබේ ද යන්නයි: රාජ්‍ය ප‍්‍රචාර තොරම්බල් කරන්නෙකු හැටියට මාධ්‍ය ඉටු කරන භූමිකාව ය.

එහෙත් වොෂින්ටනයේ කැරැට්ටුවෙන්ම සැබෑ තතු හෙලි නොවේ ද? පසුගිය අවුරුදු 25 ඇතුලත පමනක් වුවද එක්සත් ජනපදය පැනමාව, ග්‍රෙනෙඩාව, සෝමාලියාව, තහිටිය, සුඩානය, සර්බියාව, ඇෆ්ඝනිස්ථානය, පකිස්ථානය, ඉරාකය, යේමනය සහ ලිබියාව යන රට වලට බෝම්බ හෙලා ඇත; ඒවායේ ආන්ඩු පෙරලා දමා ඇත. ඇමරිකාව ඉරානයට එරෙහිව මිනීමැරීම් සිදු කර ඇති අතර සිරියාවේ ආන්ඩුව පෙරලා දැමීම සඳහා මහා පරිමානයෙන් මැදිහත්වෙමින් සිටි. 

එක්සත් ජනපදය කුමන රටක හෝ ස්වෛරී භාවය හෝ භෞමික අඛන්ඩතාවය පිලිබඳ අයිතියට ගරු කරන්නේ නැත. ලෝකය වෙලා ගත් එක්සත් ජනපදයේ ආසක්තයන්ට එරෙහිව කිසියම් රටක් පිහිටා සිටී නම් එම රටට පහර දීමට ද එහි පාලන තන්ත‍්‍රය වෙනස් කිරීමට ද එක්සත් ජනපද පාලන තන්ත‍්‍රය වැඩට බැස සිටි.
කියෙව් නගරයේ ද බටහිර යුකේ‍්‍රනයේ ද ෆැසිස්ට්-ආධිපත්‍යයට යටත් විරෝධතා ව්‍යාපාරයට මොනම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අන්තර්ගතයක් වත් ඇත්තේ නැත. 

මෙම විරෝධතා මුදුනේ නැගී සිටින අන්ත ජාතිවාදී බලවේග වල පැටිකිරිය වනාහි දෙවන ලෝක යුද සමයේ නාසි ආක‍්‍රමනිකයන් සමග පෙලගැසී මිලියන ගනනක් යුකේ‍්‍රනියානුවන් මරාදැමූ දේශීය ෆැසිස්ට්වාදීන් ගේ පෙලපත ය. ස්වොබෝදා සහ රයිට් සෙක්ටර් සංවිධානවල පූර්වජයෝ යුකේ‍්‍රනයේ යුදෙව් ජනයා සමූලඝාතනය කිරීමට ආධාර කලෝ ය. දැනුදු කියෙව් නගරයේ යුදෙව් ජනයාට ෆැසිස්ට් ප‍්‍රහාර එල්ල වන බවට වාර්තා බහුල වශයෙන් පැතිර පවතී.

රූකඩ ආන්ඩුවක් අටවා යුකේ‍්‍රනය සිය පාලනයට නතු කර ගැනීමට මෙම බලවේගයන් යොදාගනිමින් සිටින වොෂින්ටනය සහ බර්ලිනය දැන් කරගෙන යන්නේ, 1990 දී එක්සත් ජනපදයේද ජර්මනියේ ද අඬු දමා යුගොස්ලාවියාව බෙදාලීමේ දී සිදුකරන ලද ලේ වැගිරීම මහා පරිමානයෙන් ඉක්මවා යන පරිදි, විවිධ ජනවාර්ගික සහ ආගමික කන්ඩායම් අතර ගිනි මෙලවීම ය. ජර්මනියේ භූමිකාව වෙසෙසින්ම නපුරු ය.
යුකේ‍්‍රනය ට අලුතින් කඩා පැනීමේ දී ජර්මනිය, පලමු සහ දෙවන ලෝක යුද්ධවලදී සිදු කල අපරාධ වලට යලිත් බැසගෙන සිටි. මේ දෙකේ දීම ජර්මන් හමුදා යුකේ‍්‍රනය යෝධ හා දරුනු මර්දනයකට භාජනය කලේ ය. ජර්මනිය යුකේ‍්‍රනයට කරන මැදිහත් වීම, ජර්මන් යුදවාදය යලි පන ගන්වාගත යුතු යයි ජර්මන් නිලධාරීන් එලිපිට කරන ප‍්‍රකාශ ද ප‍්‍රධාන පෙලේ ජර්මානු බුද්ධි ජීවීන් හිට්ලර්ට ද නාසීන් ට ද සුදු හුනු ගෑම ද සමග සම්පාත වේ.

යුකේ‍්‍රනයේ කෙරී ගෙන යන පාලන තන්ත‍්‍ර මාරුව වනාහි සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුව යුරෝපයේ ද ආසියාවේ ද පෙර සෝවියට් සමූහාන්ඩුව යට තේ තිබුනු ප‍්‍රදේශ ද එක්සත් ජනපද ආධිපාත්‍යයට යටත් නැටෝ සංවිධානය වැනි යුද්ධමය, ආර්ථික, සහ දේශපාලන ව්‍යුහයන් ට යටත් කර ගැනීමට දියත් කොට ඇති පුලුල් වැඩ සටහනක කොටසකි. මෙයට ජෝර්ජියාවේ සහ යුකේ‍්‍රනයේ බටහිර විසින් උසිගන්වන ලද “වර්න විප්ලව” ද ඇතුලත් වේ.

යුකේ‍්‍රනයේ බල කොල්ලය මෙම ව්‍යායාමයේ ප‍්‍රමුඛ අදියරකි. එක්සත් ජනපදය තථ්‍ය ලෙසම යුකේ‍්‍රනය නතු කර ගැනීම, එක්සත් ජනපද හමුදා හෝ එරටට ගැති හමුදා රුසියාවේ බටහිර දේශසීමාවේ පිහිටුවාලීම සනිටුහන් කරයි. එය ක‍්‍රිමියාවේ නවතා තිබෙන රුසියානු කළු මුහුදු නාවුක බලඇනි වලට තර්ජනයක් වනු ඇත. කළු මුහුද වනාහි නැගෙනහිර මධ්‍යධර” ප‍්‍රදේශයට, බෝල්කන් ප‍්‍රදේශයට සහ මැද පෙරදිග කලාපය කරා රුසියාවට තිබෙන එකම මුහුදු පිවිසුම් මග යි. ජෝර්ජියාව නැටෝව තුල ට ගැනීමට ද රුසියාව තුල සිටින බහු ජනවාර්ගික හා ආගමික ජන කොටස් අතර බෙදුම්වාදී අසහනය හා ව්‍යාපාරයන් ඇවිලවීමට ද මෙම තත්වය යොදා ගැනෙනු ඇත.

එහෙත් මෙම කරුනු කාරනා ක‍්‍රිමියාව තුලට කෙරෙන රුසියානු මැදිහත් වීමේ දේශපාලන බංකොලොත් බව අහෝසි කරන්නේ නැත. පුටින් පාලන තන්ත‍්‍රය වනාහි ධනේශ්වර පුනස්තාපනයේ ආයුධයක් වේ: එය, 1917 ඔක්තෝබර් විප්ලවය විසින් පිහිටුවන ලද කම්කරු රාජ්‍යයේ පරිහානියේ ද ස්ටැලින්වාදය යටතේ එහි ආර්ථික - සමාජයික පදනම් පරිහානියට ඇද දමා වනසා දැමීමේ ද උපකරනයයි. එය වනාහි අධිරාජ්‍යවාදයෙන් සබෑ ස්වාධීනත්වයක් නැති කොම්ප‍්‍රදෝරු පාලනයකි. 

දේශපාලනමය විරුද්ධ මත පාගා දමමින්, රුසියානු කම්කරුවන් මත මුර්ග කප්පාදු හා බර පටවමින්, ඉන් තමන් කෙරේ එල්ලවන විරෝධය ඉවතට හැරවීම සඳහා රුසියානු ජාත්‍යෝත්තමවාදය අවුලුවාලමින් සිටින රුසියානු ධනේශ්වර තන්ත‍්‍රයට, යුකේ‍්‍රනයේ කම්කරු පන්තිය ආයාචනා කිරීමට පුළුවන් කමක් නැත. දැන් යුකේ‍්‍රනයේ දී ලෝකයා දැක ගනිමින් සිටින්නේ, රුසියාව තුල ද ජාත්‍යන්තරව ද 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් ජනනය කෙරුන ව්‍යසනකාරී විපාකයයි. මෙම විපාක වනාහි සෝවියට් කම්කරු පන්තියෙන් බලය උදුරාගෙන ඔක්තෝබර් විප්ලවය පදනම් කොට තිබු ලෝක සමාජවාදී විප්ලවයේ ක‍්‍රියාමාර්ගය ඉවත දැමු ස්ටැලින්වාදී පාලන තන්ත‍්‍ර විසින් පවත්වාගෙන ගිය ජාතිකවාදී පිලිවෙත් වල ආන්තික විපාකයයි.

1917 විප්ලවය පේ‍්‍රරනය කල එක් ප‍්‍රශ්නයක් නම් අධිරාජ්‍යවාදය රුසියාව මත දරා සිටි ආධිපත්‍යයයි. එහෙත් මෙය සාර්ථක ලෙස පරාජය කල හැකි වූයේ ජාත්‍යන්තර සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් මත කම්කරු පන්තිය විප්ලවකාරීව බල මුළු ගැන්වීම මගින් පමනි. ජාතික වාදය, පලමුවන ලෝක යුද්ධයේ අධිරාජ්‍යවාදී කොල්ලයෙන් රුසියාව ආරක්ෂා කිරීම ට අසමත් වී නම්, අද දින එය නගාසිටුවීම ඊටත් වඩා ප‍්‍රතිගාමී හා බෙලහීන උත්සාහයක් වේ.

සෝවියට් සංගමය විනාශ කිරීම රුසියාව සාතිශය මුර්ග යටත් විජිත තත්වයකට ඇද දමනු ඇතැයි ට්‍රොට්ස්කි කල අනතුරු හැඟවීම මෙහිලා මතක්කර ගනු වටී. 1930 ගනන් වල දී ස්ටැලින්වාදී නිලධරය එරට සකල සමාජවාදී කොටස් වලට එරෙහි ත‍්‍රස්තය දියත් කර තිබුනු තතු තුල ට්‍රොට්ස්කි, ස්වාධීන යුකේ‍්‍රනයක් පිලිබඳ ප‍්‍රශ්නය ගැන මෙසේ අවධාරනය කලේ ය. ධනේශ්වර පදනමක් මත අත්කරගන්නා ස්වාධීනත්වයක් විසින් ඉස් මතු කෙරෙනු ඇත්තේ සාතිශය ප‍්‍රතිගාමී තත්වයන් ය. ධනේශ්වර යුකේ‍්‍රනයක් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සෙල්ලම් බඩුවකට වැඩි දෙයක් නොවනු ඇත. එය එදා එසේ වී නම් අද එය ඊටත් වඩා එසේ වන්නේය.
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, කියෙව් නගරයේ පෙලපාලි සැබවින්ම ප‍්‍රගතිශීලී යයි හුවා දැක්වූ සියලුම ලිබරල් සහ ව්‍යාජ වාම දේශපාලන සංවිධාන ද ප‍්‍රකාශන ද හෙලා දකියි. මේ සියලුදෙනා විසින්ම වසං කරනු ලැබුවේ යුකේ‍්‍රනයේ විරෝධතා ව්‍යාපාරය කම්කරු පන්තික ව්‍යාපාරයක් නොවන බව ය. ඔවුහු, මෙම ව්‍යාපාරයේ නායකයන් දෙවන ලෝක යුද්ධයේ දී නාසීන් සමග හොලොකෝස්ටය (යුදෙව් සංහාරය) මෙහෙය වීමට එක්වූවන් බව සැඟවීමට ද යත්න දැරූහ.

රුසියාව කැබලි කොට විශාල භූමිභාගයන් කෙලින්ම තමන්ට නතු කරගැනීමේ අධිරාජ්‍යවාදී සැලසුම් වලට උත්තරය, රුසියානු ජාතික වාදය නොවේ. එසේම යුකේ‍්‍රනියානු මහජනයාගේ දිගු කාලින දුක් වේදනා අවසන් කල හැක්කේ ද යුකේ‍්‍රනියානු ජාතික වාදය වගාකිරීමෙන් නොවේ. යුකේ‍්‍රනයේ පුපුරා ගොස් ඇති අර්බුදය අතිශය හදිසි භාවයකින් ඉස්මතු කරන්නේ කම්කරු පන්තිය තමන්ගේ ම ස්වාධීන ක‍්‍රියාමාර්ගයක් සමගින්, තම ආසක්තයන් තහවුරු කර ගතයුතුය යන්න ය. අධිරාජ්‍යවාදයෙන් මුදල් ආධාර ලබාගත් ෆැසිස්ට් බලවේගයන්ට පෙරට පැනගත හැක්කේ, කම්කරු පන්තිය එවන් වැඩපිලිවෙලක් මත බලමුලු ගැන්වීමට සටන් කරන විප්ලවවාදී නායකත්වයක් නැති කල්හි ය.

මෙම අර්බුදයට පිලිතුර නම්, යුකේ‍්‍රන සහ රුසියානු කම්කරු පන්තිය සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් මත ඒකාබද්ධ කිරීමයි. යුකේ‍්‍රනයට බලගතු විප්ලවවාදී ඉතිහාසයක් ඇත. යුකේ‍්‍රනයේ උපන් මාක්ස්වාදීහු ජාතිකවාදී ක‍්‍රියාමාර්ගය ප‍්‍රතික්ෂේප කොට කම්කරු පන්ති ජාත්‍යන්තරවාදය සඳහා සටන් වැදුනෝය. මොවුනතුරෙන් ශ්‍රේෂ්ඨතමයා වූයේ ලියොන් ට්‍රොට්ස්කි ය. 

අද දින රුසියාවේ මෙන්ම ජාත්‍යන්තරව ද කම්කරුවන් සහ තරුනයන් හැරී ගත යුත්තේ මෙම සම්ප‍්‍රදායන් දෙසට ය. එය සිදු කල හැක්කේ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩ නැගීම තුලින් පමනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය