Hot!

ජිනීවා හි මොනවද වෙන්නේ?

| සුනන්ද දේශප්‍රිය

ජිනීවා හි මානව හිමිකම් කවුන්සිල‍යේ 25වන සැසිවාරයේ පළමු දෙසතිය දැන් අවසන් ය. එලඹෙන සතිය කුණාටුවට පෙර එලඹෙන නිසළතාවය මෙන් මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව පිළිබඳ වැඩි හැළහැප්පීමක් නැතිව ගෙවී යනු ඇත. ලබන සතියෙහි 18 සහ 19 යන දෙදිනයන්හි අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සමාන්තර රුස්වීම් දෙකක් පවත්වයි. ඉන් එකක දී අනපේක්ෂිත සාක්ෂිකරුවකු යුද්ධ භුමියේ සිදු වූ කරුණූ ඉදිරිපත් කරනු ඇතැයි කියැවේ.

photo by Sunanada Deshapriya
වෙනත් වාරවලදී මෙන් නොව මෙවර ලංකාන්ඩුව  කිසිදු සමාන්තර රුස්වීමක් පවත්වන බවත් පෙනෙන්නට ද නැත. ලබන සතිය තුළ අමාත්‍ය සමරසිංහ ඇතුළු කන්ඩායම උත්සාහ කරනු ඇත්තේ වැට උඩ සිටින රටවල් සිය පාර්ශවයට නම්මවා ගැනීමට හෝ යෝජනාවට පක්ෂව ජන්දය ප්‍රකාශ කිරීමෙන් වැළක්වීමට ය.  අවසන් සතියෙහි ශ්‍රී ලංකා දූත පිරිසෙහි නායකත්වය දරනු ඇත්තේ තානාපති රවිනාථ ආරියසිංහ ය.

වෙනත් වාරවලදී මෙන්ම මෙවර ද ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව නොනිල වශයෙන් සාකච්ජා කිරීමට දෙපැයක සමාන්තර රුස්වීමක් කැදවන ලදී.  එනමුත් දෙක  උණුසුම් වාදවිවාද මැද සැසිවාර දෙකක් ලෙස  සතර පැයක් ම ඒ සඳහා ගත විය.  ලෝක දේශපාලන ප්‍රශ්ණ සාකච්ජා මේසයට ගැනෙන ආකාරයෙහි කැඩපතක් බවට  මෙම සාකච්ජා පත් වෙයි. රාජ්‍ය තාන්ත්‍රික ලෙස නො එකඟතා ප්‍රකාශයට පත් කිරීමත් එඅයුරින් ම ඒවාට පිළිතුරු බැඳීමත් කැරෙන ආකාරය බලා අසා සිටීම සිත් වසඟ කරවන සුළු විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම සාකච්ජාවන්හි දී වැඩි පුරම පෙනී සිටියේ අනුපිළිවෙලින් පකිස්ථානය, කියුබාව, චීනය, වෙනිසියුලාව සහ රුසියාව ය. ඔවුන්ට පැවරී තිබුනේ දැන දැනම, පරදින වාදයක කොටස්කරුවන් වීමට ය.  ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් රාජපක්ෂ ආන්ඩුවේ ස්ථාවරය හා සමාන අදහස් ප්‍රකාශ කිරීම විනා කරුණූ ඉදිරිපත් කිරීමක් ඔවුන් අතින් නොකෙරුනු තරම් ය. එළෙස කරුණු මගින් මෙම යෝජනා කෙටුම්පත ඛන්ඩනය කිරීමට හැකියාවක් තිබුණේ නම් රාජපක්ෂ ආන්ඩුව ඒ වෙනුවෙන් මෙම සාකච්ජාවන්ට සහභාගි නොවී සිටින්නේ නැත.  සුළුතර ආගම්වලට එරෙහිව කැරෙන අන්තවාදී ප්‍රහාරයන් නොසැළකිය යුතු තරම් ය; පැවැත්වෙන මැතිවරණ සාධාරණ සහ නිදහස් ය; මානව හිමිකම්  ආරක්ෂකයිනට සම්පූර්ණ නිදහස සහ ආරක්ෂාව තිබේ යනාදී වශයෙන් පකිස්ථානය ප්‍රමුඛ රටවල් ගෙන ආ තර්ක, ලියැවිලි සහ සිදුවීම් පෙන්වීම මගින් බැහැර කිරීමට යෝජනාවට පක්ෂ රටවල් විශේෂයෙන්ම කැනඩාව සහ බ්‍රිතාන්‍ය සමත් විය.

මෙම සාකච්ජා ද්වයෙහි දී කැපී පෙනෙන ලකුණක් වූයේ යෝජනාවට පක්ෂපාතිත්වය දක්වන අතරම යථාර්තවාදී ලෙස ඊට සංසෝධන ගෙන ඒමට ලතින් ඇමෙරිකානු රටවල්, විශේෂයෙන්ම මෙක්සිකෝව, ආජන්ටිනාව, උරුගුවේ සහ චිලිය දැක්වූ ප්‍රවණතාවය යි. යෝජනාව වැඩි සාමාජික සංඛ්‍යාවකට පිළිගත හැකි එකක් බවට පෙරළීම එම ව්‍යයාමයේ අරමුණ යැයි පෙනෙන්ට තිබුණි.

ශ්‍රී ලංකාවේ යුද සමයේ සිදු වූ බවට චෝදනා කැරෙන දරුණූ ගනයේ මානව හිමිකම් කෙළෙසීම් සොයා බැලීම සඳහා පත් කළ යුතු බවට යෝජනා කැරෙන අන්තර් ජාතික යාන්ත්‍රණය පූර්ණ බලැති කොමිසමක්  විය යුතු යැයි තදින්ම කියා සිටියේ කැනඩාව පමණි. ඉතා පැහැදිළිවම පෙනෙන්නට තිබුණේ බහුතර එකඟතාවයක් ඇත්තේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය යටතේ ක්‍රියාවට නැගෙන අන්තර් ජාතික පරීක්ෂන යාන්ත්‍රණයකට බවයි.

මෙම සමුළුවාරය ඇරඹීමට පෙර ගෙවුනු සති කිහිපය පුරා ජිනීවා කරා පැමිණි ශ්‍රී ලාංකික මානව හිමිකම් ක්‍රියාධර පිරිස් තානාපති අංශ සමඟ කළ සාකච්ජාවන්හි දී පිළිතුරු නැති වැදගත් ප්‍රශ්ණ දෙකක් තිබූ බව කියනු ලැබේ. එනම් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දිගින් දිගටම යෝජනා ගෙන ඒමට ඇමෙරිකානු රජයට ඇති උවමනාව කුමක්ද සහ පසුගිය දෙවර්ශය තුළ සම්මත කරන ලද යෝජනා මගින් ශ්‍රී ලංකාවෙහි කවර හෝ සාධනීය වර්ධනයක් ඇතිව තිබෙන්නේ ද යනු ය.

මෙම ප්‍රශ්ණ දෙක ආමණ්ත්‍රනය කිරීමට මෙවර යෝජනාව උත්සාහ දරා ඇති බව ද මෙම නොනිල සාකච්ජාවන්හි දී දක්නට ලැබුනි. මෙවර යෝජනාව ගෙන එනු ලබන්නේ රටවල් පහක් හවුලේ ය. ඉන් දෙකක්  එනම් මොන්ටෙනීග්‍රෝ සහ මැසඩොනියාව අග්නිදිග යුරෝපයෙනි. බ්‍රිතාන්‍ය බටහිර යුරෝපයෙනි. ඇමෙරිකා එක්සත් ජනපදය උතුරු ඇමෙරිකා මහාද්වීපයෙනි. මොරේෂස් අප්‍රිකානු මහාද්වීපයෙනි. එමෙන්ම මෙම එටවල් පහම නියෝජනය කරමින් ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් නිල නොවන සාකච්ජාවන්හි මුළසුන හෙබවූහ. අඩු වැඩි වශයෙන් කරුණු ඉදිරිපත් කළහ.

මෙහිදී ඉදිරිපත් වූ කරුණූ කාරණාසැළකිල්ලට ගනිමින් සකස් කැරෙන යෝජනාවේ අවසන් කෙටුම්පත ලබන සතියේ දී එළි දැක්වෙනු ඇත.

දෙවැනිව මෙම යෝජනාව සිය විශය පථය පුළුල් කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ දකුණූ දිගවාසීන්ට ද බලපාන මානව හිමිකම් ප්‍රශ්ණ ඊට ඇතුල් කර ගනිමිනි. වැලිවේරිය ඝාතන පවා යෝජනාවේ අංක 05 යටතේ සදහන් වෙයි. අංක 04 යටතේ සුළුතර ආගමික ස්ථානයන්ට කැරෙන පහරදීම්,  මානව හිමිකම් ආරක්ෂකයිනට කැරෙන පහරදීම්, ජනමාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම යනාදිය සදහන් කරයි.  එමෙන්ම උගත් පාඩම් කොමිසමේ එන වැදගත් යෝජනා, එනම්  නීතියේ පාලනය පිහිටුවීම පිළිබඳ යෝජනා ද ඇතුළත්ව, ක්‍රියාවට නගන ලෙස ද යෝජනාවෙහි අංක 03 යට‍තේ  කියා සිටී.  

මෑතදී චන්ද්‍රිකා කුමාරතුංග විසින් ද කියා සිටි පරිදි මෙම යෝජනාව මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට ගොස් ඇති නිසා ය. එමෙන්ම එක්සත් ජාතික පක්ෂ විසින් ද කියා සිට ඇත්තේ මෙම යෝජනාව විදේශීය කුමන්ත්‍රණයක් නොව රාජපක්ෂ ඒකාධිපතිත්වය නිසා ඇතිවන විපාකයක් බවයි. විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ ව්‍යාපාරයේ ජනප්‍රිය නායකයකු වන  මාදුළුවාවේ සෝභිත හිමි ද කියා සිටියේ අන්තර් ජාතික පරීක්ෂනයකට විරුද්ධ වීමට අවශ්‍යතාවයක් නැති බවයි. දකුණේ දේශපාලනය තුළ 2014 මාර්තු ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් ඇතිව තිබෙන මෙම සාධනීය පිළිගැනීම එම යෝජනාව සඳහා එතෙර සහ මෙතෙර කරන ලද මූලික සාකච්ජාවන්හි ප්‍රතිපලයකි.

යෝජනාව ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ ඇමෙරිකානු තනාපති නිලධාරිනී අවධාරණ උච්චාරනයක්  යෙදවූ එක් කරුණක් වූයේ යුද්ධයේ දෙපාර්ශවයව ම විසින් කරන ලද අපරාධ ‍යෝජිත අන්තර් ජාතික පරීක්ෂන යාන්ත්‍රණය විසින් ගවේශණය කළ යුතු බව යි. යුද්ධය තුළ සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් තමන් පැත්තක් නොගන්නා බව පෙන්වීම මෙම යෝජනාවේ සම-අනුග්‍රාහකයින්ට අත්‍යවශය බව පෙනෙන්නට තිබුණි. එල්ටීටීඊ ය විසින් කරන ලදැයි චෝදනා කැරෙන යුද අපරාධ සම්බන්ධයෙන් ද සොයා බැලීමට පත් කැරෙන යාන්ත්‍රණයට බලය මෙන්ම වගකීමක් ද පැවරෙනු ඇත. සමහර විට, දැනටමත් ප්‍රකාශ වී ඇති පරිදි මෙම යෝජනාව මගින් ක්‍රියාවට නැගෙනු ඇති පරීක්ෂන යාන්ත්‍රණය විදේශගත දෙමළ ප්‍රජාවෙහි උන්නතිකාමී පිරිස් විසින් ප්‍රතික්ෂේප කිරීමට ද ඉඩ නැතුවා නොවේ.  

එවිට රාජපක්ෂවරුන්ට අපූරු සගයකු ලැබෙනු ඇත! 

දෛවයේ සරදමකට මෙන් ඉහත කී නොනිල සාකච්ජාවේ දෙවැනි දිනය වූ පසුගිය 10 වන සඳුදා ම යුරෝපයේ එල්ටීටීඊ හිතවාදී පිරිස් ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය අභිමුව බිම් බෝම්බයකට හසුව පුපුරා ගිය කකුළක සංකේතය වන  කකුල් තුනේ පුටුව සෙ‍වනෙහි උද්ඝෝෂණයක් පැවැත් වූහ. ඔවුන්ගේ ඉල්ලීම වූයේ එක්සත් ජාතීන්ගේ  නිරීක්ෂනය යටතේ ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ජනමත විචාරණයක් පවත්වා ස්වාධීන ඊළාම් රාජ්‍යකට ඉඩ සැළසිය යුතු බවයි.  ආවේගශීලී පිරිස් එසේ සටන් පාඨ කියමින් වාතලය දෙදරුම් කැවීමට දෙතුන් පැයකට පෙර යෝජනාවේ සම කැදවුම්කරුවන් උත්සාහ දරමින් සිටියේ අවම මට්ටමේ හෝ අන්තර් ජාතික පරීක්ෂනයකට මානව හිමිකම් කවුන්සිලයේ සහාය ලබා ගැනීමට ය‍.  කොතරම් වෙනසක් ද?

එල්ටීටීඊ හිතවාදී විදේශ ගත දෙමළ පිරිස් හි අභිලාෂයන් සහ මානව හිමිකම් කවුන්සිලයේ එකඟතාවයන් අතර ඇත්තේ මහා පරතරයකි. දේශපාලන ජනප්‍රියත්වය පතා කැරෙන කතා සහ යතාර්ථය අතර ඇති වෙනස විටෙක අපූරුවට කැටිවෙයි. එවැනි අවස්ථාවක් වූයේ උතුරු පළාත් මංත්‍රිනී ආනන්දි සසිදරන් ජිනීවාහි දී කල මැදිහත්වීමකි. මෙම යෝජනාව මගින් අන්තර් ජාතික ප්‍රජාව දෙමළ ජනතාව රවටා ඇතැයි යාපනයේ දී ජනමාධ්‍යට ඇය කියා සිටියා ය. ( මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලේ බොරු කාරියෙකැයි අමාත්‍ය සමරසිංහ කළ සඳහන මේ සමඟ සසදන්න.)  නමුත්  පසුගිය11දා ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර රුස්වීමක දී අදහස් දැක්වූ ඇය ඊට විරුද්ධව ව්‍යංගයෙන් යෝජනාව පිළිගනිමින් ඊට දේශපාලන විසඳුමක් ද ඇතුල් කරන ලෙස ඉල්ලා සිටියේ ය. සමහරවිට යළි යාපනයට ගිය පසු ඇය ඊටත් වඩා යෝජනාව හෙළා දැකීමට ඉඩ තිබේ.

ජිනීවා ගතිකත්වයන් විසින් පෙන්වා සිටින්නේ මෙම යෝජනාව සම්මතවීම  විසින් සිංහල අන්තවාදී දේශපාලනය පමණක් නොව දෙමළ අන්තවාදී දේශපාලන ද අවුලකට යවන බව ය.
16.03.2014