Hot!

ක්‍රිමියාවේ සිදු වූ දේ ශ්‍රී ලංකාවටත් අනතුරු හැඟවීමක්‌! - ආචාර්ය දයාන් ජයතිලක



ජාතීන්ගේ ස්‌වයංතීරණ අයිතිය පිළිබඳ සංකල්පය මත කුඩා රටවල් බලවත් රටවල් සමඟ ඈඳුනු අවස්‌ථා ගණනාවක්‌ ලෝක ඉතිහාසය තුළ හමුවේ. පසුගියදා යුක්‍රේනයේ සිදුවූයේ ද එබඳු පෙරළියකි. ජනමත විචාරණයකින් ක්‍රිමියාව රුසියාව හා එක්‌වීමේ සිදුවීම් මාලාව ශ්‍රී ලංකාවද පාඩමකට ගත යුතු බව පවසන ආචාර්ය දයාන් ජයතිලක යුරෝපා සංගමයේ හා ඇමරිකාවේ රාජ්‍ය තාන්ත්‍රික තර්ජන මැද රුසියාව සිය බලය මෙහෙයවා ක්‍රිමියාව තුළ සිය ආධිපත්‍ය පැතිරීම සහ එහිදී චීනය කටයුතු කළ ආකාරයද ශ්‍රී ලංකාව ප්‍රවේශමෙන් අධ්‍යයනය කළ යුතු බව මෙම සාකච්ඡාවෙන් පෙන්වා දෙයි.

රුසියාවත් ඇමරිකාව හා යුරෝපා සංගමයත් අතර දැන් මතුව ඇති අර්බුදය ඔබ දකින්නෙ කොහොමද?
ඇමරිකානු - රුසියානු සබඳතාවල අද ඇතිවී තිබෙන අර්බුදය තේරුම් ගැනීමට නම් ශත වර්ෂ කිහිපයක්‌ ඈතට යන්න වෙනවා. රුසියාව හා බටහිර බලවතුන් මෙන්ම එවකට බලවතෙකු ලෙස සිටි තුර්කිය ක්‍රිමියාව සම්බන්ධයෙන් සටන් කළේ අද ඊයේ නොවෙයි. දැනට වසර දෙතුන් සීයකට පමණ ඉහතදී. ඒ අතීත පසුබිමත් 1917 රුසියානු විප්ලවයෙන් පස්‌සේ ඇති වූ තත්ත්වයත් මෙහිදී සලකා බැලිය යුතුයි.
රුසියානු විප්ලවයෙන් පසුව බටහිර රටවල් උත්සාහ කළේ රුසියාව වට කිරීමකට ලක්‌ කරන්නයි. නමුත් රුසියානු සිවිල් යුද්ධයේ ප්‍රතිඵලයක්‌ ලෙස එම වටලෑම බොහෝ දුරට ව්‍යර්ථ කරන්නට ඔවුන්ට හැකිවුණා. දෙවැනි ලෝක යුද්ධයේදීත් ජර්මන් පැසිස්‌ට්‌වාදීන් රුසියාවට පහර දුන්නා. නමුත් දෙවැනි ලෝක යුද්ධයේ දී හිට්‌ලර්ගේ හමුදා පරාජය කරන්න වැඩිම දායකත්වයක්‌ ලබා දුන්නෙ සෝවියට්‌ රතු හමුදාව. එයින් පසු රුසියාව තීරණය කළා අසල්වැසි රටවල් හරහා ආරක්‍ෂක පවුරක්‌ ඉදිකරන්න. එයට හේතුව රුසියාව නමැති ගොඩබිම් බලවතාට හැම වෙලාවේම පහරදුන්නෙ අසල්වැසි ගොඩබිම් හරහායි.
නමුත් 1989 බර්ලින් තාප්පය බිඳ වැටීම සහ 1991 සෝවියට රාජ්‍යය බිඳවැටීමෙන් රුසියාව යළිත් වතාවක්‌ ඉතාමත් දුර්වල තත්ත්වයට පත්වුණා. රුසියාව වටකරගෙන සිටි රටවල් බටහිර කඳවුරට ගියා. බොරිස්‌ යෙල්ට්‌සින් යටතේ ඉතාමත් දුර්වල රාජ්‍යයක්‌ ලෙස පැවැති රුසියාව වැලැඩිමිර් පුටින් ජනාධිපතිවරයා යටතේ චෙච්නියා දෙවැනි යුද ජයග්‍රහණයත් සමඟ රුසියාව ශක්‌තිමත් බලවතෙක්‌ ලෙස මතුවුණා.
මේ මතුවීම බටහිර රටවල නොකැමැත්තට හේතුවක්‌. ඒ නිසා බටහිර රටවල් රුසියාව අවට රටවල ඔවුන්ට පක්‍ෂපාතී පාලන රාජ්‍යයන් ඇතිකරන්න උත්සාහ කළා. එවිට පුටින් පැහැදිලි ප්‍රකාශයක්‌ කරමින් රුසියාවේ වටපිටාවට නේටෝ සංවිධානය හෝ බටහිර පද්ධතිය ව්‍යාප්ත නොවිය යුතුබව කියා සිටියා. දැනට මාස තුනකට පෙර යුක්‍රේනයේ සිදු වූ පෙරළිය පුටින්ගේ ඒ ප්‍රකාශයට පටහැනි දෙයක්‌ ලෙසයි රුසියාව දැක්‌කෙ. යුක්‍රේනයේ ඡන්දයෙන් තෝරා පත්කරගත් ජනාධිපතිවරයා යටතේ මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදුවී තිබෙනවා. එහිදී සිදුවූ ජනතා නැගිටීම් මැද යුක්‍රේනයේ අන්ත ජාතිවාදී බලවේගයකුත් එයට එකතු වුණා. මේ බලවේගය තුළ හිටියේ පැසිස්‌ට්‌වාදී මතවාදීන්. යුක්‍රේන පාර්ලිමේන්තුවේ හතරෙන් එකක්‌ අයිති ඔවුන්ටයි. මේ බලවේගය යුක්‍රේනයේ ජාතික සුළුතරයට යම් තර්ජනයක්‌ එල්ල කළ මතවාදයක්‌ සහිත බලවේගයක්‌. බටහිර රටවල් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කොතරම් කතාකළත් මේ සන්නද්ධ පැසිස්‌ට්‌වාදීන්ගේ කාර්ය භාරය ගැන මුනිවත රැක්‌කා. මේ පුද්ගලයන් පුහුණු වුණේ අසල්වාසී රටවල දී බවයි ජනාධිපති පුටින්ගේ මතය වුණේ. බටහිර රටවලින් පුහුණුව ලැබූ සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් යුක්‍රේනයේ ඡන්දයෙන් පත්වුණු නීත්‍යනුකූල සහ රුසියාවට හිතවත් ජනාධිපතිවරයෙක්‌ පන්නා දැමීම වගේම ඉන්පසු බලය අතට ගත් පාර්ලිමේන්තුව බටහිර ලෝකයට බරවූ, රුසියාවට විරුද්ධ මෙන්ම යුක්‍රේනියානු අන්ත ජාතිවාදී බලවේග විසින් ආධිපත්‍ය දරන එකක්‌.
මෙයට ප්‍රධාන ප්‍රතිචාරය මතු යුක්‍රේනියාවේ හා රුසියාවේ දේශසීමාවේ සිටින රුසියානු ජනවාර්ගික සම්භවයක්‌ සහිත පිරිසෙන්. යුක්‍රේනියාවේ ජනතාවෙන් බහුතරයක්‌ රුසියානු බස කතා කරන රුසියානු ජනවාර්ගික සම්භවයක්‌ සහිත පිරිසක්‌. ඔවුන් යුක්‍රේනියාවේ ජාතික සුළුතරයක්‌ වුවත් ඒ ප්‍රාන්තයේ ජනවාර්ගික බහුතරයයි. ඔවුන් කියා සිටියේ යුක්‍රේනියානු අන්ත ජාතිවාදී බලවේග විසින් පාලනය කරනු ලබන මේ පාර්ලිමේන්තුව යටතේ ජීවත්වීමට ඔවුන් අකැමැති බවයි. ඒ අනුව ක්‍රිමියාව රුසියාවට එක්‌වෙනවාද නැද්ද පිළිබඳ පැවැත්වූ ජනමත විචාරණයේදී ඔවුන්ගෙන් සියයට 95 ක්‌ එයට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.
ජනමත විචාරණයෙන් පැහැදිලි මතයක්‌ ප්‍රකාශයට පත්වී තිබියදීත් ඇමරිකාව හා යුරෝපා සංගමය රුසියාවට සහ ක්‍රිමියාවට සම්බාධක පනවා තිබෙනවා?
ඇමරිකාව මෙහිදී කටයුතු කර තිබෙන්නේ යුරෝපා සංගමයටත් වඩා තරමක්‌ සටන්කාමී ආකාරයටයි. එයට හේතුව ඇමරිකානු ඉහළ නිලධාරිනියක්‌ වන වික්‌ටෝරියා නිවුලන්ඩ් දුරකථනයෙන් ඇමරිකානු තානාපතිවරයා සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක්‌ අහම්බයකින් ලෝකයට ප්‍රචාරය වුණා. එහිදී ඇය කතාකර තිබුණේ යුරෝපා සංගමයේ රටවල් 3 න් එවකට යුක්‍රේනියානු ජනාධිපති සහ විපක්‍ෂය අතර අතරමැදි කාර්යභාරයක්‌ කොට දේශපාලන අරගලය සම්මුතියකට පත්කිරීම දැරූ උත්සාහයක්‌ ගැනයි. ඇය එහිදී අසභ්‍ය වචනවලින් යුරෝපා උත්සාහයට පහරදී තිබිණි. එයින් පැහැදිලි වෙන්නෙ සම්මුතිවාදී විසඳුමකට ඇමරිකාව අකැමැතිව සිටි බවයි.
මේ ප්‍රශ්නය දෙස ශ්‍රී ලංකාවේ අප බැලිය යුත්තේ කොහොමද?
මෙහිදී පුටින් කටයුතු කර තිබෙන්නේ ලෝක ඉතිහාසයේ සියලුම බලවතුන් කටයුතු කර තිබෙන ආකාරයටයි. ශ්‍රී ලංකාවේ අප එය අමතක කළ යුතු නැහැ. රුසියානු ජනාධිපතිවරයා මේ තීරණය ගත්තේ ඇයි? තමුන්ට විරුද්ධ ප්‍රතිපත්ති සහ තම විරුද්ධවාදීන්ට හිතවත්කම් දක්‌වන ප්‍රතිපත්ති සහිත ආණ්‌ඩුවක්‌ අසල්වැසි රටක පත්ව තිබෙනව. තම දේශ සීමාවේ තම ජන වර්ගයට අයිති තම භාෂාව කතාකරන ජාතීන් සුළුතරයෙන් ඒ රට තුළ සිටිනව. ඒ ජනවර්ගය ඒ රටින් වෙන්වෙලා තම රටට එකතු වෙන්න අත වනනව. ඒ අවස්‌ථාවේ රුසියාව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් පමණක්‌ නොව යුදමය වශයෙනුත් යම් මැදිහත් වීමක්‌ කරල එය යථාර්ථයක්‌ බවට පත්කරල තියෙනව.
මෙය ලෝකෙ සිදුවුණේ පළමුවැනි වතාවට නොවෙයි. මෙයට වසර ගණනාවකට පෙර ජෝර්ජියාවෙත් මෙවැනි සිදුවීමක්‌ ඇතිවුණා. කොසෝවෝ රාජ්‍යයෙත් එවැනි සිදුවීමක්‌ ඇතිවුණා. රුසියානු ජනාධිපතිවරයා මෙහිදී භාවිත කළේ ජාතීන්ගේ ස්‌වයං තීරණ අයිතීන් පිළිබඳ සංකල්පය. ඇමරිකාවත් මේ සංකල්පය ප්‍රකාශයට පත්කරල තියෙනව.
මෙහිදී අප සැලකිල්ලට ගත යුතු තවත් කාරණයක්‌ නම් ක්‍රිමියාවේ පැවැති ජනමත විචාරණය සම්බන්ධයෙන් එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලය පැවැත්වූ ඡන්දයේදී රුසියාව නිශේධ බලය පාවිච්චි කළ අතර චීනය රුසියාව සමඟ ඡන්දය නොදී ඡන්දය දීමෙන් වැළකී සිටි ආකාරයයි. චීනය එලෙස කටයුතු කළේ මේ ස්‌වයං තීරණ අයිතිය සංකල්පය ඒ ආකාරයට ක්‍රියාත්මක කළහොත් කවදා හෝ ටිබෙට්‌ ප්‍රාන්තය සම්බන්ධයෙනුත් එවැනි දෙයක්‌ සිදුවීමට ඉඩ ඇති නිසාය. රුසියාව හා චීනය සැමවිටම එකටම ඡන්දය දෙන බව අපේ රටේ සමහරු සිතා සිටියත් එය සැමවිටම එසේ නොවන බවද අප සිහිපත් කර ගත යුතුයි.
ක්‍රිමියාවේ සිදුවීම ශ්‍රී ලංකාවත් පාඩමකට ගත යුතු අනතුරු හැඟවීමක්‌?
පැහැදිලිවම. යුක්‍රේනය යුරෝපා මහද්වීපයේ රටක්‌. යුක්‍රේනයට ඇමරිකාවේ සහයෝගය තියෙනව. ඒ වුණත් අසල්වැසි බලවතා වූ රුසියාව යුක්‍රේනයේ ජාතික සුළුතරයක්‌ තමුන් යටතට ගන්නා අවස්‌ථාවේදී ඒ කිසිම අසල්වැසියෙක්‌ ඇඟිල්ලක්‌වත් එසෙව්වෙ නෑ. ආර්ථික සම්බාධක සහ රාජ්‍ය තාන්ත්‍රික බහින්බස්‌වීම් සිදුවී තිබෙනවා. නමුත් බලය පාවිච්චි කිරීමේ දී රුසියානු බලයට එරෙහිව කිසිකෙනෙක්‌ එරෙහි වුණේ නෑ.
ශ්‍රී ලංකාව කියන්නෙ එක අසල්වැසියෙක්‌ පමණක්‌ ඉන්න රටක්‌. ඊට අමතරව තියෙන්නෙ ගොළු මුහුද. පිහිටට කවුරුත් නෑ. චීනය ඈත වැඩියි. යම්කිසි විදිහකින් ශ්‍රී ලංකාවේ උතුරුකරයේ ජාතික සුළුතරය තමුන්ගේ ජනවාර්ගික සහෝදර සහෝදරියන්ගේත් උදව් ඇතිව වෙනම රාජ්‍යයක්‌ කරා පියනගන්නට උත්සාහ දැරුවොත් එතැනදී තමිල්නාඩුව උත්සාහ කළොත් ඔවුන් තමන්ගෙ පැත්තට ගන්න ශ්‍රී ලංකාව ආරක්‍ෂා කරන්න කවුරුවත් එන්නෙ නෑ. එම නිසා යුක්‍රේනය හෝ සර්බියාව කරපු මෝඩකම් ශ්‍රී ලංකාව විසින් නොකළ යුතුයි. තමුන්ගේ රටේ යම් ජන කොට්‌ඨාසයක්‌ සුළුතරයක්‌ වන නමුදු ජාත්‍යන්තර වශයෙන් ඔවුන් සුළුතරයක්‌ නොවේ නම් ඔවුන් සමඟ කටයුතු කිරීමේදී ඉතාමත් ප්‍රඥගෝචර විය යුතුයි.
උපුටා ගැනීම - දිවයින
Lankanewsweb