Hot!

රාජපක්‍ෂගේ මැදඟිලි ඥානය සහ ජනතාව “අතිගරු” නොවීම


| නිලන්ත ඉලංගමුව 


රටේ ජනාධිපති ශ්‍රී මතාණන් කෙනෙකි. අති ගරු කෙනෙකි. සියළුම අවස්ථාවාදීන් මෙම නාමයන් සියල්ලගෙන්ම බලයේ සිටින කෙනා වාචික අල්ලසකට යටත් කර ගැනීමට සමත්ය. එය බලයේ සිටින්නාටද තම නොහැකියාව වසාගෙන නැති බලයක් පෙන්වීම සඳහා මාර්ගය පාදන බැවින්, ඔහු ඊට කැමතිය. එය ඇමතිවරයාගේ සිට ඇතැම් “ජනමාධ්‍යවේදීන්” දක්වා පොදුවේ දක්න්නට ලැබෙන නියාලු අල්ලස් ක්‍රමෝපායකි. ගැටලුව, ඔහු අතිගරුනම්, රටේ ජනතාව කුමක්ද? යන්නය.  එය ඔහු යළිත් පෙන්නුවේය. ඒ ඊයේ පැවති ජනපති ජනහමුව නමැති වැඩසටහනට තම හිතවත් කවටයින්  පිරිස සමඟ එකතු වෙමිනි.


 ඔහු එනතෙක් අනෙකුත් සියල්ලම තම දේශයේ ඓතිහාසික අයිතිය ගැන පුරසාරම් දෙඩේව්වේය. එකෙකු ගලක් ගැන කියන විට තවකෙක් රජෙක් සැඟවී සිටි තැන වනන්නට විය. තවකෙක් සාහිත්‍යයෙන් අහුලාගත් කැබැල්ලකින් දමා ගස්සන්නට විය. එකෙකුට එකෙක් පරයමින් අනෙකාට වඩා තමා දන්නා බව පෙන්වීමට මිස රටේ ජනතාවගේ ගැටලු හෝ වත්මන් තත්වය ගැන දැඩි ප්‍රශ්න කතාකිරීමේදී ක්‍රමිකව මඟ හැරීම පොදු ලක්ෂණය බවට පත් විය. රටේ තත්වය මෙයයි. සිංහලයින් මුහුණ දී සිටින අවුල මෙයයි. 


කෙසේ වෙතත් පුරසාරම අවසානයේ  නායකයා ආවේ නැත. ඔහු සම්ප්‍රාප්ත විය. කදිම අරුමයකි. ජනතාවගේ බදුමුදලින් තැනූ ගොඩනැගිල්ලක එක් බිත්තියක් පසුකොට අනෙක් ස්ථානයට පැමිණීම රටේම සම්ප්‍රාප්ප්තියක් බඳුය . පැරණි අමු මාංශ භක්ෂක ගෝත්‍රික සමාජයේ ගෝත්‍රිකයින්, නූතන සළුපිළි  සහ තාක්ෂණික මෙවලම් කරමතින් තබාගෙන නැති දේ ඇති කොට පේන්වා තම තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය සෙවීම නායකයා ඇතුළු ඔහු වටා එක් රොක් වී ඔහුගෙන් සැලකිලි ලබන සියලුම අයගේ බලපොරෝත්තුවය. රටේ බැරිනම් පිට රටක ලංකාවේ “දූත” මණ්ඩල සේවයේ කම්කරුවෙකු ලෙස හෝ කටයුතු කිරීම ඔවුන්ගේ බලපොරොත්තුවය. සිංහලයින්ගේ ආත්මය පාවාදී ඇත්තේ මෙම සුළු දෑ විශාල දීමනා ලෙස ගනිමින් එය තමාගේ පෘථුල ලෝකය යැයි සිතා කටයුතු කිරීම මඟිනි. රාජපක්ෂට හම්බන්තොට ලංකාව වන්නේත් ලංකාව ලෝකය වන්නේත් මෙම සන්දර්භය තුළය. නමුත් රාජපක්ෂගේම පවුලේ ඇමෙරිකානු පුරවැසියන් ලෝකය කුමක්ද යන්න සහ එය සමඟ ගනුදෙනු කළ යුත්තේ කෙසේද යන්න ඉතා හොඳින් දනිති. එබැවින් ඔවුහු ඔවුන්ගේ දෙබිඩි පිළිවෙත ඉතා සූක්‍ෂමව පවත්වාගෙන යනු ලබයි. 


ඊයේ වැඩසටහනට සහභාගී වූ එක්තරා කාන්තාවකගේ ගැටලුව වූයේ දියර කිරි පිළිබඳවයි. ඊට ඔහු පිළිතුරු ලබාදීමේදී තම මැදඟිල්ල හිතාමතාම විනිවිධව භාවිතා කරමින් සිදු කළේය. ජගත් කාන්තා දිනය එළබීමට හෝරා කිහිපයක් තිබියදී, කාන්තාවක් විසින් ඇසූ ගැටලුවකට රාජපක්ෂගේ හැසිරීම එබඳුය. මෙය නොදැන හෝ දැන දැනම ආඥාදායකයා අභියස දණින් වැටී නිවටයින් වීමට තරම් මෙරට බහුතර සිංහලයින් නියාලුය. රාජපක්‍ෂගේ මැදඟිලි ඥානය දැක, හඬාවැටීම හෝ විරෝධය වෙනුවට ඒ දෙස බලා සිනා වූ අයද රාජපක්ෂ බලයට ගෙන ඒමට සහයෝගය දුන් සහ ඔහු සිදුකර සෑම කටයුත්තකටම වීරත්වයක් ආදේශ කළ අයවලුන්ය. තම ගැටලුව අවසානයේදී  ආඥාදායකයාට සහ ඔහුගේ කතානායකයාට දීර්ගායුෂ පැතු එම කාන්තාවද “කැපුවත්” රාජපක්ෂ මට්ටමේ “වහල් දේශපාලන අයිතිය” මෙවලමක් කරගෙන  ප්‍රදේශයේ සාමන්‍ය වැසියන්ට තම පැහැය සහ බලය පේන්නා ජීවත් වන අයෙක් විය හැකිය. නමුත් ගැටලුව, තම අයිතිය වැරදිලෙස භාවිත කිරීමේ අවුල තේරුම් ගත්තද  ඊට විරුද්ධ වීමට ඇති නොහැකියාවය.  


ආඥාදායකයා මෙන්ම ඔහුගේ අනුගාමිකයින් ගැටලු හමුවේ පිළිතුරු දුන් ආකාරයද එසේමය. එකෙක් තම වාරිමාර්ග ව්‍යාපෘතිවල ගැටලු විසඳීම සඳහා අනෙකාගේ අමාත්‍යංශයේ තනන ගේට්ටු එනතෙක් බලාගෙන සිටින්නේය. එසේම ඔහු පැල්පත්වාසීන්ගේ ගැටලු වවාගෙන කන අයවලුන් ගැන තම සුපුරුදු  “කුමන්ත්‍රණ දේශපාලනය” වචන වලට පෙරලුවේය.  තවකෙක් තම විදුලිබල ව්‍යපෘති වල අවුල විසඳීමට අතිරේක විදුලි බලාගාර තැනීම විසඳුම ලෙස විස්තර කළාය.  තවත් අයෙක් ඖෂධ හිඟය ගැන විස්තර කිරීමට ගොස් රටේ රෝගීන් වෙනුවෙන් කෝටි ගණන් මුදල් වියදම් කරන බව කිව්වේය. එය ආඥාදායකයාද අනුමත කොට ඊට තව ලක්ෂ ගණනක් එකතු කළේය. ඔවුන් වියදම ගැන කතා කරනු ලබන්නේ තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් රටක් මෙහෙයවන ආකාරයෙනි. රටේ ජනතාවගේ බදු මුදලින් නඩත්තු වෙමින් ඔවුන්ගේ අයිතිය කළ හැකි සෑම තැනකටම පාවා දෙමින් සහ කොල්ලකමින්, රටේ අහිංසක පුරවැසියෙකුගේ රෝගී තත්වයට වියදම් කිරීම ගැන කියවීම ගැන ඔවුන් මෙන්ම ඔවුන්ගේ දරුවන්ද  ආත්ම ගරුත්වයක් තිබේ නම් විලිලජ්ජා විය යුත්තේය. එසේම මතට තිත ගැන එක්තරා කාන්තාවක් ඇසීමේදී ඊට ආඥාදායකයාගේ පිළිතුරද මඟ හැරීමේ සහ කෛරාටක කමේ පිළිබිඹුවක් පමණක් විය.  


මෙගා සංවර්ධනය වූ කලී වෙන කිසිවක් නොව, මෙම කෛරාටකයින්ගේ පෞද්ගලික සුඛ විහරණය සඳහා භාවිතා කරන සහ බාසාව වෛශ්‍යාකරණයේ යෙදවීමට එකතු කළ වචන පෙළක් පමණක් බව තේරුම් ගැනීම සහ මේවායෙහි  නිර්මාතෘන් රටක පාලනයට නුසුදුස්සන් බව අවබෝධ කරගැනීම සහ කටයුතු කිරීම මෙහිදී අතිශය තීරණාත්මක වේ. ආඥාදායකයා රට තුළ ඇතිකොට ඇති පීඩනය සහ ජාත්‍යන්තර වශයෙන්  රට “පර” දේශයක් බවට පත්වෙමින්  ඇති ඛේදනීය තත්වය හමුවේ මවාගත් සැහැල්ලුවකින් සහ කිසිවක් ගණන් නොගන්නා බව පෙන්වීම හමුවේ රටේ ජනතාවට මුහුණ දීමට ඇති බරපතල අභියෝගය වන්නේද එයයි. 


තම පාක්ෂික ජනතාවගේ ගැටලුවලට මැද ඇඟිල්ල නම් අනෙක් මිනිසුන්ගේ ගැටලු වලට දෙන උත්තරය ගැන අමුතුවෙන් කිව යුතු නැත.