Hot!

සාහිත්‍යකරුවා කුෂ්වාන්ත් සිංගේ නික්ම යෑම

| නීල් විජේරත්න

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ මැද හරියේ එක් සති අන්තයක ඉන්දියාවේ උඩහ කඳුකරයේ නිශ්කලංක එමෙන්ම ජනශූන්‍ය කසෝලි ටවු‍මේ එක්තරා සාහිත්‍ය උත්සවයක් පැවැත්විණ. එය එයාකාරයට පවත්වන ලද මුල්ම සාහිත්‍ය උත්සවය යයි විචාරකයෝ කීහ. දිල්ලි කවි සැසිය සහ ජායිපූර් සාහිත්‍ය උලෙළින් පටන් ගෙන වසර පුරා රට පුරා ඉංග්‍රීසියෙන් ද ප්‍රාන්ත භාෂාවලින් ද අනන්ත අප්‍රමාණ සාහිත්‍ය උත්සව පැවැත්වෙන රටක වැඩි ප්‍රසිද්ධියක් නොලද කසෝලි සාහිත්‍ය උලෙළ විශේෂ තැනක් ගනු ලැබුවේ එය කීර්තිමත් සාහිත්‍යධරයකු නමින් පැවැත්වීම හේතුවෙනි. එය කුෂ්වාන්ත් සිං සාහිත්‍ය උත්සවයනම් විය. දෙස් විදෙස් සාහිත්‍යධරයෝ රැසක් දුරකතර ගෙවා කඳුකර කසෝලි ටවුමට පැමිණ මේ තෙදින නේවාසික සාහිත්‍ය උත්සවයට සහභාගී වූහ. මගේ ඉන්දියානු නළු මිතුරා රාහුල් බෝස් ද මීට සහභාගි වූ වග මම පසුව දැනගතිමි.

නූතන ඉන්දියානු සාහිත්‍යයේ වයෝවෘද්ධතමයා අවසාන වරට එසේ බුහුමනට ලක්වූයේ දශක ගණනාවක් මුළුල්ලේ ඔහු ලේඛන කටයුතුවල නිරතව හුන් ඔහුගේ ගිම්හාන නිවස්නය පිහිටි ගම් පළාතේ වීම දෛ‍වෝපගත සිදුවීමකි.

කුෂ්වාන්ත් සිං නම් වූ මෙම කීර්තිමත් සාහිත්‍යකරුවා - පුවත්පත් කලාවේදියා - තීරු ලිපි රචකයා - ඉතිහාසඥයා පසුගිය සතියේ බ්‍රහත්පතින්දා මිය යන විට අනූනව වන වියේ පසුවිය. වයස අවුරුදු හතළිහේ දී පමණ නිර්මාණකරණයට පිවිස අතට ගත් පන්හිඳ මිය යන තෙක් අතෑරියේ ඔහු නොවේ. ඔහු අන් කවර කලෙකටත් වඩා ලිපි රචනා කළේ ද නිර්මාණාත්මක කෘතීන් පළකළේ ද වයස අවුරුදු අනූව පිරුණාට පසුව වීම අරුමයකි.

තමාගේ නමින් පැවැත්වූ කසෝලි සාහිත්‍ය උත්සවයට කුෂ්වාන්ත් සහභාගී නොවීය. උත්සව සභාවට ඒ ගැන දැනුම් දුන් කුෂ්වාන්ත් පුත් රාහුල් සිං මගේ පියාට මෙම ස්ථානයට එන්නට හැකියාවක් ලැබුණේ නැතත් ඔහු තමාගේ අත්අකුරින් ලියූ පණිවුඩයක් එවා, මෙහි පැමිණි සාහිත්‍යයට ළැදි ඔබ සියලු දෙනාට ස්තුති කරන්නටය කියා දන්වා තියෙනවා. මෙම සාහිත්‍ය උත්සවය පවත්වන්නට මේ කසෝලි ටවුමට වඩා හොඳ තැනක් තවත් නැහැ. ඒ මොකද කීවොත් මගේ පියා ඔහුගේ බොහෝ සාහිත්‍ය නිර්මාණ සහ තීරු ලිපි රචනා කළේ මේ නගරයේ (ඔහුගේ රාජ් විලා මන්දිරයේ) නැවතී හුන් අවස්ථාවල නිසා.Óයි කීය.

කසෝලි සාහිත්‍ය උත්සවයේ එක් විශේෂාංගයක් වූයේ කුෂ්වාන්ත් සිංගේ අලුත් තීරු ලිපි එකතුවක් එහිදී ජනගත කිරීමය. ද ගුඩ්, ද බෑඩ් ඇන්ඩ් ද රිඩිකියුලස්නම් වූ එම කෘතිය කුෂ්වාන්ත් විසින් එළිදක්වනු ලබන අවසාන නිර්මාණාත්මක කෘතිය බව එහිදී කියැවුණත් එහි සිටි වැඩි දෙනෙකු එය එසේ වෙතැයි නොසිතන්නට ඇත. ඊට හේතුව ඔහුගේ අවසාන කෘතිය එළිදැක්වීමේ අවස්ථාවටදශක දෙකක පමණ ඉතිහාසයක් ඇති බැවිනි.

කුෂ්වාන්ත් සිං තමාගේ දීර්ඝ චරිතාපදානය ලියා මුද්‍රණ ද්වාරයෙන් එළිදැක්වීමට ලකලෑස්ති වූයේ 1996 වසරේදීය. එනමුත් 2002 තෙක් එය පොත් සාප්පු රාක්කවල දැකිය ‍නොහැකි වූයේ එම කෘතිය එළිදැක්වීමට එරෙහිව මනේකා ගාන්ධි අධිකරණ වාරණ නියෝගයක් ලබාගත් බැවිනි. කුෂ්වාන්ත් සිං තමාගේ එම චරිතාපදානය ආරම්භ කරනුයේ මේ තමා ලියූ අවසාන කෘතිය විය හැකියයි කියමිනි. ඒ 2002 වසරේදීය. එසේ වුවද ඔහු තම අත රැඳි පන්හිඳ පසෙක නොතැබීය. ඔහුගේ අවසාන නවකතාව වූ ද සන්සෙට් ක්ලබ්නිකුත් වූ අවස්ථාවේ දී ද පෙර කී අනුමානය නැවත මතුවිණ. ඇබ්සොලියුට් කුෂ්වාන්ත්නම් වූ තීරු ලිපි එකතුව එළිදැක්වූ අවස්ථාවේදී ද එසේම විය. පසුගිය වසරේ හෙතෙම කුෂ්වාන්ත්නාමනමින් තවත් කෘතියක් නිකුත් කළේය. ඔහුගේ පොත් එළිදැක්වීම් බොහෝ විට සිදු කෙරෙන්නේ තරු පහේ හෝටල්වල වුවත් කුෂ්වාන්ත්නාමකෘතිය එළිදැක්වූයේ නවදිල්ලියේ සුජාන් පාක්හි ඔහු පදිංචි නිවසේදීය. ඔහු මුල් පිටපත පිළිගැන්වූයේ එදින තම නිවසට පැමිණි සම්භාවනීය අමුත්තියකටය. ඒ මන්මෝහන් සිං මැතිනියයි. එය ඔහුගේ අවසාන සාහිත්‍ය කෘතිය වනු ඇතැයි එකල කියැවුණි. එනමුත් එය එසේ නොවීය.

වංශවත් ධනවත් පවුලක සාමාජිකයෙක් හැටියට කුෂ්වාන්ත් සිං උපත ලදුයේ දැන් පාකිස්තානයට අයත් පන්ජාබයේ පිටිසරබද ගම්මානයක 1915 වසරේදීය. තමගේ උපන් දිනය ගැන කියන කුෂ්වාන්ත්: මා ඉපදෙන අවස්ථාවේ මගේ තාත්තා - සෝභා සිං හිටියේ දිල්ලියේ. මගේ උපන් දින විස්තර ඔහුට දන්වා යැවූ විට ඒ ගැන සටහනක් කරගන්ට ඔහු උනන්දු වෙලා නැහැ. කොහොමටත් අපේ සීක ජන කොට්ඨාසයේ නක්ෂත්‍රය ගැන විශ්වාසයක් නැහැ. ඉතින් පහු කාලෙක මාව ඉස්කෝලෙකට දාන්න උපන් දිනය සඳහන් කළ යුතු වෙලාවෙ තාත්තා අනුමානෙට වගේ කීවා මගේ උපන් දවස 1915 පෙබරවාරි 2දාය කියා. ඊටත් පසු කාලෙක මගේ ආච්චි කීවා උඹ උපන්නෙ පෙබරවාරියේ නෙවි අගෝස්තුවේ කියලා. ඉතින් මගේ උපන් දිනය 1915 අගෝස්තු 15 දාය කියා මමම තීරණය කළා. පුදුමෙ කියන්නෙ, ඊට අවුරුදු 32ක ට පස්සෙ, 1947 අගෝස්තු 15 දා ඉන්දියාවේ මුල්ම නිදහස් දවස වීමයි.

සිංගේ බොහෝ මතිමතාන්තර සහ ආකල්ප ගැන මෙන්ම ජ්‍යොතිෂය ගැන වූ හැඟීම ද ඔහු කෙතරම් වයස් වුවද කිසිවිටෙක වෙනස් නොවීය. ඔහුගේ පාරාදීසය සහ වෙනත් කතාකෘතියේ කර්තෘ සට‍හ‍ෙන් ලා ඔහු මෙවැනි සඳහනක් තබයි. “1962 වර්ෂයේ දී ඉන්දියාවේ එකෙකු නෑර සෑම අනාවැකි කියන්නෙකුම පාහේ පැවසුවේ එම වර්ෂයේ පෙබරවාරි මස තුන්වැනි දින පස්වරු පහමාරට ලෝකාන්තිමයසිදුවන බවය. හේතුව එය අෂ්ටග්‍රහයෝග අවස්ථාවක් වීමයි. කිලෝ ගණන් ගිතෙල් පාව්චිචි කරමින් ස්තෝත්‍ර සහ යාතිකා සිදු කෙරිණ. එදින පාසල් පන්ති නොපැවැත්විණි. බස්, දුම්රිය සහ ගුවන් යානා මඟීන්ගෙන් හිස්විණ. මිනිසුන් තම ගෙවලට වී බලා සිටියේ ලෝකාන්තිමය සිදුවන තෙක්ය. පෙබරවාරි තුන් වැනිදා උදාවී දවස ගතවිණ. එනමුත් කිසිවක් සිදු නොවිණ. මුළුමහත් ලෝකයා අප දෙස බලා සිනාසෙන්නට වූහ.

කුෂ්වාන්ත් සිංගේ පියා සෝභා සිං මෙන්ම ඔහු‍ගේ සීයා වූ සුජාන් සිං ද ඉදිකිරීම් ව්‍යාපාරයේ නිරත වූවෝ වූහ. දිල්ලි නගරය ඉදිකළේ ඔවුහුය. කුෂ්වාන්ත් මිය යන දවස දක්වා පදිංචිව සිටි දිල්ලියේ සුජාන් පාක් (උද්‍යානය) නම් කැර ඇත්තේ ඔහුගේ සීයා නමිනි.

අධ්‍යාපනයේලා තමා කොහොමටවත් දක්ෂ ශිෂ්‍යයෙකු නොවිණැයි කුෂ්වාන්ත් නිතර කී දෙයකි. ඔහුට ලබා ගත හැකි වනුයේ තුන්වැනි කැලෑසියේ බීඒ උපාධියකි. ඉනික්බිති නීතිය හදාරන්නට ලන්ඩන් නුවරට යන ඔහු ආපසු පන්ජාබයට එනුයේ ප්‍රාථමික අධ්‍යාපනය ඉගැන්වීම් පාඨමාලාවක් හැදෑරීම සඳහා එරටට ගොස් සිටි ඉන්දීය රූමතියක වූ කාවල් මලික් සමඟ පෙමින් බැඳුනකු ලෙසය. අන්‍යයන් අවුරුදු තුනකින් හමාර කළ බැරිස්ටර් විභාගය සම්පූර්ණ කරන්නට තමාට අවුරුදු පහක්ම ගතවිණැයි ඔහු කියයි. එංගලන්තෙට ගිහිල්ලා විභාග සමත් වෙලා ආපහු ඉන්දියාවට පැමිණියාට සුබ පතන්නට අපේ ගෙදරට පැමිණි තාත්තාගෙ යාළුවෝ අහනවා පුතා ‍මොන විභාගෙද පාස්කරලා ආවේ කියා.

එතකොට තාත්තා කියනවා, පුතා මොන විභාගෙ පාස් කරලා ආවද කියා මට නිච්චියක් නැහැ, හැබැයි මිනිහා හුඟ කාලයක් (ඒ රටේ) පාස් කරලා (පහු කරලා) ආපහු ඉන්දියාවට ආවා කියා නම් මං දන්නවාකියා තාත්තා පැවසූ බව ඔහු සඳහන් කරැත. තමා කාවල් සමඟ විවාහ ගිවිස ගෙන සිටි අවස්ථාවේ කිසිවෙකු කාවල්ගේ ආච්චිගෙන් ඇගේ මිනිබිරිය එංගලන්‍තයේ බැරිස්ටර් විභාගය සමත් කෙනෙකු සමඟ විවාහ වන්නට යන කතාව ඇත්තක්දැයි විමසූ බව කියන කුෂ්වාන්ත් එවිට ආච්චි දැන් කාලෙ හැම ගහක් ගලක් ගානෙම ඒ වාගෙ කට්ටිය ඉන්නවානෙකියා උත්තර දුන් බවත් සඳහන් කරැත.

පන්ජාබයේ බැරිස්ටර් වෘත්තියේ නිරත වීම කුෂ්වාන්ත්ගේ සිතට ඇල්ලුවේ නැත. නීතිඥවරයෙක් වූවාට ඔහුට සේවාදායකයෝ සිටියේ නැත. උසාවියට ගියාට කතාකරන්නට නඩු තිබුණේ ද නැත.

කුෂ්වාන්ත් සිංගේ මුල්ම නවකතාව “Train to Pakistan” නමි. (කුලසේන ෆොන්සේකා විසින් එය අන්තිම දුම්රියනමින් සිංහල භාෂාවට පරිවර්තනය ‍කරැත.) එම නවකතාව නිර්මාණය කරන විට කුෂ්වාන්ත්ගේ වයස අවුරුදු හතළිහ ඉක්මවා තිබිණ. ඊට කලින් ලන්ඩනයේ සහ ප්‍රංශයේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රවෘත්ති නිලධරයා ලෙස ද යුනෙස්කෝ ආයතනයට අනුයුක්තව බද්දෙන් තොර වැටුපකට හිමිකම් කී රැකියාවක නිරත වූවකු ලෙස ද කටයුතු කළ හෙතෙම හදිසියේ ඒ සියල්ල අතැරපියා ලේඛන කලාවට පිවිසුණි. එය අහම්බෙන් සිදුවූවකි.

ට්‍රේං ටු පාකිස්තාන්කෘතියට පසුබිම් වන්නේ මහා භාරතය දෙකඩ වූ අවස්ථ‍ාවේ ඇතිවූ ශෝචනීය තත්ත්වයයි. කුෂ්වාන්ත් මෙම නවකතාව මුලින් නම් කළේ මනෝ මජ්රානමිනි. මනෝ මජ්රා වූ කලි කල්පිත පුංචි ගම්මානයකි. ගමටම තිබුණේ ගඩොලින් බැඳි ගොඩනැඟිලි තුනක් පමණි. මියා මීර්නම් වූ සැබෑ ගම්මානය පසුතලය කැර මනෝ මජ්රාබිහිවිනැයි පසුකලෙක කියැවිණ. ඒ වන විට විශිෂ්ටතම ඉන්දීය නවකතාවට ඩොලර් දහසක ත්‍යාගයක් දෙන තරගයක් ගැන විස්තර ඇමෙරිකානු සමාගමක් ප්‍රසිද්ධියට පත්කර තිබිණ. කුෂ්වාන්ත් ද තම නවකතාවේ අත්පිටපත ඊට ඉදිරිපත් කළේය. ඒ ආරූඪ නමකිනි. හේතුව ඔහු ලන්ඩන් නුවර ඉන්දීය දූත සේවාවේ රැකියාවේ නිරතව සිටියදී ඔහුගේ‍ ලොක්කා වූ ක්‍රිෂ්ණා මෙනන් ද විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයකු වීමය. කුෂ්වාන්ත් එම රැකියාවෙන් අස්වූයේ මෙනන් සමඟ කෝන්තරයක් ඇති කර ගැනීම හේතුවෙනි. අවසානයේ එම නවකතා තරගයෙන් ජයග්‍රහණය අත්කැර ගනු ලැබුවේ මනෝ මජ්රාප්‍රබන්ධයයි. එහි පරිවර්තන අයිතිය සඳහා යුරෝපීය රටවල් ගණනාවක් ඉදිරිපත් වීම හේතුවෙන් කුෂ්වාන්ත්ට හැඟුණේ සාහිත්‍යකරණයේ නියැළීම තම අනාගතය විය යුතු බවය.

කුෂ්වාන්ත් සිං අ‍න් බොහෝ ඉන්දීය ලේඛකයින්ට වඩා අවට ලෝකය දුටු අයෙකි. දෙවන ලෝක යුද්ධය, ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලනය, භාරතය දෙකඩ වීම, ඉන්දියාවට නිදහස ලැබීම, ඉන්දිරා ගාන්ධි අගමැති ධූරය දැරූ අවධියේ පැනවූ හදිසි නීති අවස්ථාව, ඉන්දියාවේ නව ආර්ථික පුනර්ජීවනය. මේ සියල්ල ඔහු හැබැහින් දුටු දේය. එහෙයින් දශක හතරක් පහක් පුරා හැමදාමත් අලුතින් යමක් ලියන්නට - කියන්නට අමුද්‍රව්‍ය ඔහු සතුව තිබිණ. භාරතය දෙකඩ වූ අවස්ථාවේ සිදු වූ යමක් ගැන සඳහනක් සතියකට වතාවක් හෝ ඔහුගේ තීරු ලිපිවල දක්නට හැකි වූයේ එබැවිනි.

නිදහස් මතධාරියකු වූ ඔහුගේ ලේඛන ශෛලියේ සුවිශේෂතාවක් වූයේ ඔහුගේ හැම රචනාවක්ම - ප්‍රබන්ධයක්ම මතු නොව හැම වැකියක්ම වුව අතිශය රසාලිප්තවීමයි. කතාව ආරම්භයේ දීම පාඨකයා තම ග්‍රහණයට නතුකර ගැනීමට ඔහු සමතෙකි. තමා ලියන ඕනෑම කරුණු කාරණාවකට ඉතිහාසය - පෞද්ගලික මති මතාන්තර - ලිංගිකත්වය සහ හාස්‍යය වැනි කරුණු ඇඟට නොදැනී එක් කරන්නට හෙතෙම උපන් හපනෙකි.

විටෙක ඔහු මෙසේ ලිවීය. ලන්ඩන් නුවර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රවෘත්ති නිලධාරියා හැටියට ‍ෙස්වය කරන කාලයේ ටොප් හැට් - ටයි කෝට් ඇඳපු හයරියන් සුද්දෙක් මාව හමුවන්නට ආවා. අවමංගල්‍ය කටයුතු බාරකාරයකු වූ ඔහු උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දී සිටියා. ඒ එවිට ලන්ඩනයේ මියගොස් සිටි ඉන්දීය ප්‍රභූ කාන්තාවකගේ අන්තිම කැමැත්ත අනුව ඇගේ දේහයට සාරියක් අන්දවන ආකාරය ගැන ඔහු නොදැන සිටීමයි”. අවමංගල්‍ය බාරකරු මේ සඳහා කුෂ්වාන්ත් ගෙන් උපදෙස් පැතීය. කුෂ්වාන්ත් ඔහුට මෙසේ පිළිතුරු දුනි ‍ බොහොම කනගාටුයි මහත්තයා ඔබේ ඉල්ලීම ඉටු කරන්නට මට නොහැකි වීම ගැන. ගෑනුන්ගේ සාරි ගලවන එක ගැන නම් මට පුරුද්දක් තිබුණත් සාරි අන්දවන එක ගැන නම් කොහොමටවත් දැනීමක් මට නැහැ.

කුෂ්වාන්ත්ගේ ඉන් ද කම්පැණි ඔෆ් විමෙන්” (ලිය ඇසුර) නවකතාව කියැවීම හරියට නිල් චිත්‍රපටයක් නැරඹුවා හා සමානයැයි ප්‍ර‍මෝද් කපූර් නමැති සාහිත්‍ය විචාරකයා වරෙක ලිවීය. (කිසියම් ඉංග්‍රීසි කෘතියක් කියවන ගමන් එය සිංහලට පරිවර්තනය කරන පරිවර්තකයින් සිටින අපේ රටේ කුෂ්වාන්ත් සිංගේ වැඩිමනත් නවකතා - කෙටිකතා සිංහල භාෂාවට පරිවර්තනය නොවන්නේ ඔහුගේ කෘතීන්හි දැක්වෙන මේ ලිංගික චර්යාවන් ගැන ඒ අයුරින්ම සඳහන් කිරීමට පරිවර්තකයින් දක්වන මැලිකම හේතුවෙන් විය යුතුය.) තමා දන්නා හඳුනන ගැහැනු - පිරිමින්ගේ පෞද්ගලික චර්යා ගැන ලිවීමට කුෂ්වාන්ත් දැක්වූයේ මහත් ඇල්මකි. ඊට විවිධ අය විවිධාකාර අර්ථකථන සැපයූහ. කුෂ්වාන්ත් ඒ ගැන නොදැන සිටියා නොවේ. වතාවක ඔහු ඒ ගැන මෙසේ කීය.

දවසක් දා මගේ දහසය හැවිරිදි මිනිබිරිය මගෙන් ‍මෙහෙම ඇහුවා. සීයේ, සීයා ගෑනු පස්සෙ යන කෙනෙක්ය කියන්නෙ ඇත්තද?” වයෝවෘද්ධ මා ඊට මොන වගේ උත්තරයක් දෙන්න දැයි දෙගිඩියාවෙන් හිඳ අන්තිමේ මෙහෙම කීවා. ඔව්. ඒක ඇත්තක්. අර මාව බලන්න සාදියා, කම්නා, ජයලලිතා, ම්‍රිනාල් වාගෙ ලස්සන කාන්තාවො එනවා ඔයා දැකලා තියෙනව නේද? ඊට පසුවයි, මා දැනගත්තේ සිදුවී ඇති දේ. මිනිබිරියගේ පන්තියේ ගුරුවරිය හා ලියූ කෙටිකතාවක් පන්තියේ කියවා, මේක ලියපු මිනිහා මහ කටකාර, කේන්තිකාර, බේබදු එමෙන්ම ගැහැනුන්ට ලොල් කෙනෙක් බව කියා තියෙනවා. ඇය දැනගෙන ඉඳලා නැහැ, මගේ මිනිබිරිය ඒ පන්තියේ සිසුවියක විත්තිය. පහුවදා ඒ ගැන දැනගත් ඇය කලින් දවසේ තමා කියපු දේ අමතක කර එම කෙටිකතාවේ වචන යෙදා ඇති අපූරුව ආදී දේ ගැන කතාකර කෙටිකතාකරුගේ අගය පන්තියට කියා දී තියෙනවා. ඒ කොහොම වුණත් මා දන්නවා මා ගැන සමහරුන් තුළ ඒ වගේ හැඟීමක් තියෙන විත්තිය.

අදීන සහ අභීත පුවත්පත් කලාවේදියකු වූ කුෂ්වාන්ත් කිසිදු ගුරු කුලයකට හෝ කණ්ඩායමකට හෝ ගැති වූ අයෙක් නොවීය. එමෙන්ම ඔහු යමක් ලීවේ ද කීවේ ද තම සිතට එකඟවය. පළපුරුදු ඉන්දියානු දේශපාලඥයකු වූ එල්.කේ.අද්වානි ගැන ඔහු මෑතක පළ කළ අදහසක් මෙහිලා දැක්වීම වටනේය. අවුට් ලුක්සඟරාවේ ශීලා රෙඩ්ඩි ලේඛිකාව සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡා‍වකදී ඔහු අද්වානි ගැන මෙවැන්නක් කියා තිබිණ. ඔහු (අද්වානි) ගැන මගේ කිසිම පෞද්ගලික එදිරිවාදුකමක් නැහැ. කොටින්ම කිව්වොත් 1984 මහ මැතිවරණයේ දී ඔහුගේ නාම යෝජනා පත්‍රයට අස්සන් තැබුවෙත් මමයි. ඔහු උඩින්ම දිනුවා. ඔහුට සීක ජන කොට්ඨාසයේ සහයෝගය ලැබීම ඊට එක හේතුවක්. එය සිද්ධ වුණේ මා නිසා. නමුත් ඔහු ඊට පස්සෙ වෙනස් වුණා. මා ඔහුගේ මුහුණටම කිව්වා, ඔබ අඩියක් ගහන කෙනෙකුත් නෙමෙයි, දුම්වැටි පාවිච්චි කරන කෙනෙකුත් නෙමෙයි, ගැහැනු ආස්සරේ කරන කෙනෙකුත් නෙමෙයි, ඉතින් ඔය වගේ උදවිය බොහොම අන්තරාදායකයි කියා.

1980 -86 කාලය තුළ ඉන්දීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් හෙබවූ හෙතෙම අම්රිත්සාර්හි රන් දෙවොල පිළිබඳ ප්‍රශ්නයේ දී රජයේ ක්‍රියා කලාපයට තම විරුද්ධත්වය පළ කරමින් 1974 දී රජය තමාට ප්‍රදානය කළ පද්ම භූෂන් පදක්කම නැවත රජයට ‍බාරදුනි.

කුෂ්වාන්ත් සිං හාස්‍යයට බෙහෙවින් කැමැත්‍තක් දැක්වූවෙකි. කුෂ්වාන්ත් සිං සිනා කතා ‍ෙපාත් මාලාවක් එළිදැක්වෙන්නේ ඒ අනුවය. සාතිශය ජනප්‍රියත්වයට පත් ඒ කතා මාලාවේ නව මුද්‍රණ එක් වසරක් ඇතුළත කීපවතාවක් නිකුත් කෙරෙයි. මේ වාගේ එන බොහොමයක් කතා ඉන්දියානුවාගේ සැබෑ ස්වරූපය ‍ඔහුටම තේරුම් ගන්නට මඟ සලසන ඉඟියක් වැන්න.

‍මේ ඔහු මෑතක ලියූ එවැනි කතාවකි. බොම්බායේ නීතිඥ සමාගමක නම වූයේ පටෙල්, පටෙල්, පටෙල් සහ පටෙල්ය. එම කන්තෝරුවේ දුරකථනය නාද වෙයි. මට මිස්ටර් පටෙල්ට කතා කරන්න පුළුවනිද?” “මිස්ටර් පටෙල් මේ වෙලාවේ එයාගෙ සීට් එකේ නැහැÓයි කියා ඊට උත්තර ලැබෙයි. එහෙම නම් අනෙක් මිස්ටර් පටෙල්ට කතා කරන්න පුළුවනිද?” “එයා ටවුමෙන් පිට ගිහිල්ලා” “එහෙමනම් තුන්වැනි මිස්ටර් පටෙල්ට කතා කරන්න පුළුවනිද?” “කනගාටුයි. එයා කෑමට එළියට ගිහිල්ලා” “කමක් නැහැ. හතරවැනි මිස්ටර් පටෙල්ටවත් කතා කරන්න පුළුවනිද?” “ඔව්. ඒ පටෙල් තමා මේ කතා කරන්නේ!

වතාවක මා නවදිල්ලියේ සිටිය දී කුෂ්වාන්ත් සිං හමුවීම සඳහා උත්සාහ දැරූ අවස්ථාවක ඒ සඳහා උනන්දු වූ දන්නා හඳුනන ඉන්දියානු කාන්තාවක මට කියා සිටියේ තමාට හමුවන විදේශිකයන්ගෙන් ඒ ඒ රටවලට ආවේණික සත්‍ය හාස්‍ය කතා අසන්නට ඔහු මහත් ඇල්මක් දක්වන බවය.

එක් අවස්ථාවක කුෂ්වාන්ත්ට වසරේ අවංකතම පුද්ගලයාටහිමි අන්තර්ජාතික සම්මානයක් ලැබිණ. එම අවස්ථාව ගැන සිහිපත් කරමින් ඔහු පසු කලෙක සඳහන් කළේ තමා ඇත්තටම අවංක කෙනෙක් වී නම් එම ත්‍යාගය ප්‍රතික්‍ෂේප කළ යුතුව තිබුණු බවය. එහෙත් ආදායම් බද්දෙන් ‍ෙතාර රුපියල් ලක්ෂ දහයක ත්‍යාගයක් ලබාගැනීමට තමා ඉදිරිපත් වීමම තමාගේ දෙබිඩි පැවැත්ම කියාපාන්නකැයි ඔහු ප්‍රකාශ කළේය. ඒ කුෂ්වාන්ත් සිංගේ හැටිය. තමාටම සිනාසෙන්නට වුව පසුබට වූයේ ඔහු නොවේ.

ඉස්සර නම් දුරකථන නාමාවලිය බලන්නේ නැතිව වුව දිල්ලි, ලන්ඩන්, පැරිස්, නිව්යෝර්ක් නගරවල සිටින පරණ යාළු-මිත්‍රයින්ට දුරකථන ඇමතුම් දෙන්ට පුළුවන් වුණු මට දැන් වෙලාවකට මගේ දුරකථන අංකයත් අමතක වෙනවාÓයි කුෂ්වාන්ත් මෑතකදී කීය. මගේ මාපියන් බොහෝ කාලයක් ජීවත්වූ අය. මගේ පියා මිය ගියේ වයස අවුරුදු අනූවේදී, අන්තිම විස්කි වඩිය පානය කර විනාඩි කීපයකට පස්සෙ. ඊට අවුරුදු අටකට පසු මගේ මව මිය ගියා. මරණාසන්නව සිටි ඇගේ අන්තිම ඉල්ලීම වුණේ දුබල හඬින් විස්කිටිකක් ඉල්ලීමයි. මා හිතනවා මගේ වේලාව පැමිණි විට මට ද අන්තිම දීර්ඝ ගමන යන්නට වීදුරුව ඔසොවා හොඳවැයින් එකක් ගන්ට පුළුවන් වේවි කියා.දිල්ලි ආරංචි අනුව කුෂ්වාන්ත් අවසාන දවස දක්වා තමාගේ සුපුරුදු විස්කි වඩිය රස වින්දේලු.

කුෂ්වාන්ත් සිංගේ අපූරු ලිපි එකතුවක් සංස්කරණය කළ නන්දනී මෙහ්තා ලේඛිකාව එම කෘතිය නම් කළේ “Not a nice man to know” නමිනි. ඇයට ඕනෑකර තිබුණේ කුෂ්වාන්ත් කෙරෙහි ඇතැමුන් තුළ තිබූ ආකල්පය ගැන ඉඟියක් කිරීම විය හැකිය. කෙසේ වෙතත් කුෂ්වාන්ත් මියගිය අවස්ථාවේ ඇත්තටම මේ නම් හොඳට දැන හඳුනාගන්ට වටිනා පුද්ගලයෙක්යි සුප්‍රකට විද්වතෙකු වූ මනි ශංකර් අයියර් ප්‍රකාශ කර තිබුණි.

කුෂ්වාන්ත් සිංගේ නිසල දේහය ඔහු මිය ගිය දින හැන්දෑකරයේ අවසාන කටයුතු සඳහා සුජාන්සිං උද්‍යානයේ පිහිටි ඔහුගේ නිවසින් පිටතට ගෙන යනු ලැබූවත් ඔහු පාඨක ලොවින් සමුගත්තාය කියා කිව නොහැක. ඒ තවත් දශක කීපයක් තිස්සේ පාඨකයනට රස විඳිය හැකි කෘතීන් සිය ගණනක් ලියා පළ කර ඔහු නික්ම ගිය බැවිනි.