Hot!

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය



ප්‍රෙමිලා සිවප්‍රකාශ පි‍ල්ලෙයි සිවශේකරම්
අතිපූජ්‍ය වල්පොල රාහුල හිමිපාණෝ මීට වසර කීපයකට පෙර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් ඉදිකිරීම පිළිබඳව සූදානම් වෙමින් සිටියහ. ඉදිකිරීම් සිදුකරන භූමියෙහි පස පිළිබඳව පරීක්ෂා කර, ගොඩනැඟිල්ල සඳහා භාවිතා කළ යුතු තාක්ෂණය පිළිබඳ උපදෙස් දීමට නියමිතව තිබුණේ ගොඩනැඟිලි දෙපාර්තමේන්තුවේ තරුණ ඉංජිනේරුවරියකටය.

“නායක හාමුදුරුවනේ මෙතන ලී ෆයිල් බස්සන්නෙ නැතිව තට්ටු ඉදිකිරීමක් කරන්න හොඳ නැහැ. ඒක ගොඩනැඟිල්ලේ පැවැත්මට බලපානවා.” තමන්ට ලැබී තිබූ පස් සාම්පල විස්තර බලමින් ඇය පැවසුවාය.

“එච්චර ලොකු වියදමක් දරන්න අමාරුයි. ඒත් මේ ගොඩනැඟිල්ල ඉදිකරගන්නත් එපායැ” හිමිපාණන් පැවසූහ. මෙතැන ගරු වල්පොල රාහුල හිමියන්ගේ ඥාතියකු වූ සිද්ධාලේප අධිපති වික්ටර් හෙට්ටිගොඩ මහතා ද විය.

“හැබැයි හාමුදුරුවනේ එක ක්‍රමයක් තියනව ෆයිල් බස්සන් නැතිව කරන්න. හැබැයි ඒක ලංකාවෙ අත්හදා බලල නම් නැහැ” තරුණ ඉංජිනේරුවරිය පැවසුවාය.

“ඔව් කියන්නකො බලන්න මොකක්ද කියල?” වික්ටර් හෙට්ටිගොඩ මහතා කථාවට එක්වෙමින් පැවසීය.

“අපිට පුළුවන් මුළු ගොඩනැඟිල්ලෙම අත්තිවාරම එකට බැඳල ඉදිකරන්නෙ නැතිව එක කාමරයකට එක අත්තිවාරම බැගින් මුළු අත්තිවාරම කොටස කොටස ඉදිකරන්න. එතකොට එක තැනක පුංචි ගිලා බැසීමක් වුණත් ඒක මුළු ගොඩනැඟිල්ලටම බලපාන්නෙ නැහැ. වැඩි කරදරයක් නැතිව ප්‍රතිසංස්කරණය කරගන්නත් පුළුවන්.” ඇය තමන්ගේ අලුත් තාක්ෂණය ඉදිරිපත් කළාය.

ගරු වල්පොල රාහුල හිමියෝ තරුණ ඉංජිනේරුවරියගේ අලුත් තාක්ෂණය භාවිතා කිරීමට එකඟ වූහ. එම මඩ සහිත ‍ෙපාළොවෙහි ෆයිල් ගසා ඉදිකිරීම් කටයුතු කළා නම් අත්තිවාරම සඳහා විශාල මුදලක් වැය වෙයි. නමුත් තරුණ ඉංජිනේරුවරියගේ නව තාක්ෂණය ක්‍රියාත්මක කිරීමන් විශාල මුදලක් ඉතිරිකර ගැනීමට හැකි විය.

නමුත් ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළු වෙද්දී සමහරුන් ප්‍රශ්න කළේ ගෑනුන්ට මොන ඉංජිනේරුකම්ද කියාය.

ඇය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ එක්දහස් නවසිය හැටේ කාලයේ තරුණියන්ට හිමිව තිබුණේ වෛද්‍ය, ගුරු, හෙද වැනි සීමිත රැකියා ක්ෂේත්‍ර කීපයක් පමණි.

නමුත් ඇය ශ්‍රී ලංකාවේ කාන්තා ඉතිහාසයේ අලුත්ම පරිවර්තනීය පිටුවක් පෙරළමින් ශ්‍රි ලංකාවේ ප්‍රථම කාන්තා ඉංජිනේරුවරිය වූවාය. ඇය ප්‍රෙමිලා සිවප්‍රකාශ පි‍ල්ලෙයි සිවශේකරම්ය.

සිවසේකරන් යුවළ එකම පුතු සමග

“මගෙ තාත්ත මුලින්ම කොළඹ වරායෙ ඉංජිනේරුවරයකු විදියට රැකියාව කළා. දෙවන ලෝක යුද්ධය පටන් ගත්තම තාත්තයි අපේ පවුලේ අයයි යාපනයට ගිහිල්ලා තියෙනවා” ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා ඉංජිනේරුවරිය වන ප්‍රෙමිලා සිවප්‍රකාශ පිල්ලෙයි පවසන්නේ ඇය ඉපදීමටත් පෙර ඇයගේ පවුලේ තොරතුරුය.

ටී.සිවප්‍රකාශ පිල්ලෙයි, තම බිරිය ලීලාවතී සහ බුමන් සහ ප්‍රභාත් යන පුතුන් දෙදෙනාත් සමඟ තම බිරියගේ වැඩිමහල් සොහොයුරා වූ දිස්ත්‍රික් විනිශ්චයකාර සී.කුමාරස්වාමි මහතාගේ නිවසෙහි පදිංචියට ගියේය. නිවස පිහිටා තිබුණේ යාපනය කොටුව ඇතුළේය. ප්‍රෙමිලා උපන්නේ එහිදීය. උපන් දිනය එක්දහස් නවසිය හතළිස් දෙකේ අප්‍රියෙල් විසිදෙවැනිදාය.

කොළඹ සරසවියේ ඉංජිනේරු පීඨය ආරම්භ වන්නේ එක්දහස් නවසිය පනහ වසරේදීය. කොළඹ සරසවියේ ඉංජිනේරු පීඨයේ කථිකාචාර්යවරයකු වශයෙන් පත්වීමක් ලබන ටී.සිවප්‍රකාශ පිල්ලෙයි, තම බිරිය සහ දරු තිදෙනා සමඟ නැවත කොළඹ පදිංචියට එයි.

“පළමු වසරෙ ඉඳල එච්.එස්.සී. වෙනකම් මම ‍ඉගෙන ගත්තෙ කොළඹ කාන්තා විද්‍යාලයෙ” පාසල් අවදියේ ප්‍රෙමිලා දීප්තිමත් ශිෂ්‍යාවක වූවාය.

“ක්‍රීඩාවලට මගෙ කැමැත්තක් වැඩියෙ තිබුණෙ නැහැ. නමුත් සංගීත‍ය සහ නැටුම් ඉගෙනීමට පටන් ගත්තෙ වයස අවුරුදු තුනේ ඉඳලයි” ඇය පවසන ලෙස ඇයට වියෝලය හොඳින් වාදනය කළ හැකි විය.

“මිසිස් ඥානප්‍රකාශම්ගෙන් තමයි මම භරත නාට්‍ය සහ මනිපුරි නැටුම් ඉගෙනගත්තෙ. එතැන ශේෂා පලිහක්කාරත් කාලයක් ඉගැන්නුවා. මිසිස් ඥානප්‍රකාශම් ටික කාලයකට ඉන්දියාවට ගියා. ඒ වෙනුවට ගෝවින්ද රාජ පිල්ලෙයි කියල ගුරුවරයෙක් ආවා. එයා බීමට ඇබ්බැහිවෙලා හරියට පන්ති කළේ නැහැ. ඒක නිසා භරත නාට්‍ය ‍ඉගෙනීම නතර වුණා. ඒත් විශ්වවිද්‍යාලයට යනකම් මම මනිපුරි නැටුම් පුහුණු වුණා.” ශ්‍රී ලංකා‍ෙව් ප්‍රථම කාන්තා ඉංජිනේරුවරිය මේ පවසන්නේ සංගීතය සහ නර්තනය ඇයගේ ජීවිතයට එකතු වූ අන්දම පිළිබඳවය.

ඉගෙනගන්නා සමයේ ඇය විදුහලේ වර්ෂාවසාන විවිධ ප්‍රසංගයේ කිසියම් නර්තනයක් ඉදිරිපත් කළාය. වරක් පාසලේ පැවැති සමූහ නර්තනයකදී ඇය රඟපෑවේ ක්‍රිෂ්ණ චරිතයය. ඉංජිනේරු උපාධිය ලබා ටික කාලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ කථිකාචාර්යවරියක වශයෙන් රැකියාව කරන විට ද විශ්වවිද්‍යාලීය උත්සවවලදී ද ඇය භාරතීය නර්තන ඉදිරිපත් කළාය.

“එක්දහස් නමසිය පනස් නමයෙදි තමයි අපි එච්.එස්.සී. එග්සෑම් එක කළේ. ඒ අවුරුද්දෙ ලේඩීස් කොලේජ් එකෙන් විශ්වවිද්‍යාලයට යන්න සුදුසුකම් තිබුණෙ දෙන්නටයි. එයින් එක‍්කෙනෙක් මම. අනිත් කෙනා ලෙලානි සුමනදාස. එයා ආකිටෙක්චර් කළා” ප්‍රෙමිලා සරසවි දොරටුව අසලට සමීප වූයේ එසේය.

එක්දහස් නමසිය හැටේ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇය ඉදිරිපත් වන විට බොහෝ දෙනා එයට අකැමැති වූහ. ඇයගේ දෙමවුපියන් පවා ඇයට පැවසුවේ වෙනත් යමක් තෝරාගන්නා ලෙසය.

තරුණ කල

“ඉංජිනියරින් කරද්දි යකඩ වැඩ, වඩු වැඩ, වාත්තු වැඩ, වෑල්ඩිං වැඩ කරන්න තියෙනවා. ගෑනු ළමයෙක් ඒවා කරන්නෙ‍ කොහොමද කියල සමහරු මගෙන් ඇහැව්වා” තමන් අධෛර්යයට පත්කිරීමේ අදහසින් සමහරුන් කියන දේවල් ප්‍රෙමිලා තඹ සතයකට මායිම් කළේ නැත.

ඇය පවසන ලෙස විශ්වවිද්‍යාල පරිපාලනය ද කාන්තාවන් ඉංජිනේරු පීඨයට ඇතුළු වෙනවාට එතරම් මනාපයක් නොදැක්වීය. ප්‍රෙමිලාට පෙර ද තරුණියන් දෙදෙනෙක් ඉංජිනේරු පීඨයට ඇයැදුම් කළත් ඔවුන් දෙදෙනාම අඩු ලකුණු ප්‍රමාණයක් ලබා තිබූ නිසා පාලනාධිකාරිය පහසුවෙන්ම ඒවා ප්‍රතික්ෂේප කර දැමීය.

“විශ්වවිද්‍යාලයේ කට්ටිය කිව්වෙ තරුණියන් ඉංජිනියරින් කරල රස්සාවලට ගිහිල්ල කසාද බැඳල ළමයි ලැබුණායින් පස්සෙ රස්සාව අත්හැරලා යයි කියලා. ඒකෙන් පිරිමින්ට තියෙන රස්සා මඟහැරිලා යනවය කියල” ප්‍රෙමිලා පවසන්නේ කාන්තාවන් ඉංජිනේරු ක්ෂේත්‍රයට එකතුවීම ගැන විරුද්ධ වීමට පිරිමි පාර්ශ්වය දැක්වූ අදහස් පිළිබඳය. “ඒත් ඉංජිනියරින් කරලා කසාද බැඳල ළමයි ලැබුණු කාන්තා ඉංජිනේරුවරියන් සියයට අනූ අටක්ම දිගටම රස්සාවල ඉන්නවා.” ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා ඉංජිනේරුවරිය පවසන්නේ එසේය.

එකල කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය පවත්වාගෙන ගියේ ටකරම් තහඩු සෙවිලි කළ ගොඩනැඟිලි කීපයකය. එනිසා එකල ඉංජිනේරු පීඨය හැඳින්වූයේ “ටකරන් පැකැල්ටිය” යනුවෙනි.

විවිධ බාධක මධ්‍යයේ ප්‍රෙමිලා සිවප්‍රකාශ පිල්ලෙයි 1960 වසරේදී ටකරන් පැකැල්ටියට ඇතුළු වූවාය.

“ඒ කාලේ රැග් කිරිල්ල මේ වගේ තදට තිබුණෙ නැහැ. බොහෝම අහිංසක විහිළු තමයි තිබුණෙ. මට නම් රැග් කළේ නැහැ. හැබැයි ඉතින් හූටින්නම් කාටත් තිබුණා.” ප්‍රෙමිලා පවසන්නේ එකල ඉංජිනේරු පීඨයේ පැවැති නවක වදයේ ස්වභාවය පිළිබඳවය.

ඇය පවසන ලෙස එකල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය, ඉංජිනේරු, වැනි සියලුම සිසුන් පළමු වසරේ ඉගෙනුම ලබන්නේ එකම විෂයන්ය.

“එච්.එස්.සී. එකට කරපු විෂයන්ම තමයි ආයෙත් ඉගැන්නුවෙ. ඒක නිසා ඒ පළමු අවුරුද්ද බොහෝම සැහැල්ලුවට ගෙවිලා යනවා” පළමු වසර එසේ ගිය පසු ඉංජිනේරු, වෛද්‍ය වශයෙන් එක් එක් පීඨවල හැදෑරීම්වලට ඇතුළුවන්නේ දෙවන වසරේ සිටය.

ළමා වියේදී

“විශ්වවිද්‍යාලයට යද්දි මම ඇන‍්දෙ සාරිය. ඒක තාත්තගෙ නීතිය වුණා. ඒ විතරක් නොවෙයි කොණ්ඩෙත් බැඳගෙන යන්නයි තාත්තා කියල තිබුණෙ” ඉංජිනේරු පීඨයට ගියාය කියා, ඇයට හින්දු සිරිත් විරිත්වලින් ඈත්වීමට ‍නොහැකි විය.

ඉංජිනේරු ශිෂ්‍යයින් එකල ලෝහ වැඩ, වෑල්ඩිං වැඩ, වඩු වැඩ, වාත්තු වැඩ ප්‍රායෝගිකව දෙවන වසරේ සිදුකළ යුතුය. තරුණියකයි කියා ප්‍රෙමිලාට ඒවායෙන් ඈත්ව සිටීමට නොහැකි විය. ඇය ද අනිකුත් පිරිමි සිසුන් හා සමගාමීව දැවැන්ත යකඩ කුට්ටිවලින් විවිධ හැඩතල කැපුවාය. වෑල්ඩිං වැඩ කලාය. වාත්තු වැඩ කළාය.

“ඔය හැම ප්‍රායෝගික වැඩකදීම උපදේශකවරු පිරිමි ළමයින්ගෙ වැඩවලදි එක එක විදියට උදව් කළා. ඒත් මට එහෙම උදව් කළේ නැහැ. වඩු වැඩ කරන උ‍පදේශකයා කිව්වා මොරටුවෙ ඕන තරම් වඩු වැඩ කරන ගෑනු අය ඉන්නව. ඒක නිසා මම තනියම මගෙ ප්‍රායෝගික වැඩ කරන්න ඕනය කියලා” තරුණියක කියා ඇයට ලැබුණු එම කෙණෙහිලිකම් පසුකාලීනව ඇයට වාසියක් විය. එම ප්‍රායෝගික වැඩ ඇය මනාව ඉගෙනගත් නිසා පසුකාලීනව ඉහළ ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වූවත්, පහළ ක්ෂේත්‍රවල රැකියාවල නිරත සමහරුන්ට ඇය ‘ඇන්දවීමට’ නොහැකි විය.කෙසේ හෝ ඇය එම අවදියේ නිර්මාණය කළ දැව විදුලි බල්බ රඳවනයක් තවමත් පරිස්සම් කරගෙන සිටින්නේ විශ්වවිද්‍යාලයට ඇතුළු වූ මුල් කාලයේ තරුණියක නිසා තමන් ලැබූ අත්දැකීම් මතක තබාගනු පිණිසය.

එක්දහස්නවසිය හැටහතරේදී ප්‍රෙමිලා සිවප්‍රකාශම් පිල්ලෙයි ශ්‍රි ලංකාවේ ප්‍රථම කාන්තා ඉංජිනේරුවරිය ලෙස උපාධිය සමත් වූවාය.

“මම තමයි පළමු කාන්තා ඉංජිනේරුවරිය. මට පස්සෙ 1966 දී සුමී මුණසිංහ (සුසිල් මුණසිංහ මහතාගේ බිරිය) ඉලෙක්ට්‍රිකල් ඉංජිනියරින් කළා. මට අවුරුදු දහයකට පස්සෙ ඒ කියන්නෙ 1970දි ඉන්දිරා අරුල්ප්‍රකාශම් මිකැනිකල් ඉංජිනියරින් කළා. ඇය දැන් ඉන්දිරා සමරසේකර. කැනඩාවේ ඇල්බර්ට් විශ්වවිද්‍යාලයේ උපකුලපති‍නිය” ප්‍රෙමිලා අතීතය වර්තමානය එකට ගලපන්නීය.

උපාධිය සමත්වීමත් සමඟම ප්‍රෙමිලාට විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ උපදේශක පදවියක් ලැබුණි. කොළඹ පැවැති ඉංජිනේරු පීඨය පේරාදෙණියට ගෙනයන්නේ ද එම අවදියේමය.

“පේරාදෙණියෙ ඉංජිනියරින් පැකල්ටියෙ හුඟාක් යන්ත්‍ර උපකරණ ඉන්ස්ටෝල් කරන්නත් අපි හරියට වෙහෙසිලා කටයුතු කළා.” ප්‍රෙමිලා ඒ පවසන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇයට ඇති එක් අයිතිවාසිකමක් පිළිබඳවය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපදේශකවරියක වශයෙන් ටික කාලයක් සිටින විට ඇයට රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු වරියක වශයෙන් රැකියාව ලැබුණි.

“ඒත් මාස කීපයකින් මට පී.එච්.ඩී.එක කරන්න එංගලන්තයට යන්න රජයෙන් ශිෂ්‍යත්වයක් ලැබෙන්න තිබුණා. ඒක නිසා මට ෆීල්ඩ් එකේ වැඩ නොපවරා කාර්යාලයේ ගණන් බලන්න පැවරුවා” ඇය එලෙස මාසයක් දෙකක් එම කටයුතුවල නිරත වූවාය.

1965 දී ප්‍රෙමිලා පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා බ්‍රිතාන්‍යයට පැමිණියාය. එවර ඇය සමඟ තවත් තරුණියක් ද විය. ඇය හර්ෂා සිරිසේනය. හර්ෂා කේම්බ්‍රිජ් සරසවියටය. ප්‍රෙමිලා ඔක්ස්ෆර්ඩ් සරසවියටය.

“මම ගියේ සමර්විල් කොලේජ් එකට. ඒකෙ ඉන්නෙ කාන්තා පාර්ශ්වය පමණයි. ඒ කාලෙ සුනේත්‍රා බණ්ඩාරනායකත් හිටියා සමර්විල්වල අන්ඩර් ග්‍රැජුවට්” ඒ ප්‍රෙමිලාගේ ඔක්ස්ෆර්ඩ් මතකයන්ය.

ප්‍රෙමිලා සිවප්‍රකාශ පිල්ලෙයි, ප්‍රෙමිලා සිවශේකරම් බවට පත්වන්නේ ඇය ඔක්ස්ෆ්ඩ් සරසවියේ ඉගෙනුම ලබන කාලයේය. 1968 දෙසැම්බර් 21 දින ඇයගේ විවාහය සිදුවුණි.

ප්‍රෙමිලාගේ සැමියා; සිවානන්දම් සිවසේකරම් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබන්නේ එකම කණ්ඩායමේය. ඉගෙනුම ලබන කාලයේ ඔහුගේ සිතෙහි ඇය කෙරෙහි කිසියම් පැහැදීමක් විය. එම මෘදු හැඟීම ඇයට පැවසීමට ඔහු කර්කශක කොළඹින්, සිසිල් පේරාදෙණියට එනතුරු කල්මැරුවේය. එවිට දෙදෙනාම උපාධිය සමත් වී පේරා‍දෙණිය ඉංජිනේරු පීඨයෙහි උපදේශකයින් වශයෙන් රැකියාව කරන සමයේය.

“මම ඇහැව්වා ඇයගෙන් මට කැමැතිද කියලා” මහාචාර්ය එස්.සිවශේකරම් පවසයි.

“මොකක්ද ඇය කිව්වෙ?” මම විමසිමි.

“බැහැයි කිව්වාÓඔහු පවසයි.

සරසවි අවධියේ කළ ලී නිර්මාණයක්

“නැහැ. මම කිව්වෙ අප්පගෙන් අහන්න කියලයිÓහැත්තෑ දෙහැවිරිදි ප්‍රෙමිලා සිවශේකරම් කෝමල ලෙස පිළිතුරු දෙයි.

ඔවුන් දෙදෙනාගේ එම ප්‍රේමයේ ප්‍රතිඵලය දැන් දැක ගත හැක්කේ බ්‍රිතාන්‍යයේදීය. ඒ ඔවුන්ගේ එකම පුතා මනිමාරන් සිවශේකරම්ය. දෙදරු පියෙකු වන ඔහු එක්සත් රාජධානියේ පරිපාලන සේවයේ උසස් නිලධාරියෙකි.

ඇය ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඉගෙනුම ලබන සමයේ 1967 දී ඇයට කේම්බ්‍රිජ් සරසවියේ පැවැත්වුණ ජාත්‍යන්තර කාන්තා ඉංජිනේරුවරියන්ගේ සමුළුවකට සහභාගිවීමට අවස්ථාව ලැබුණි. එළඹෙන සහස්‍රකයේ කාන්තා ඉංජිනේරුවරියන්ගේ කාර්යභාරය පිළිබඳ සාකච්ඡා කෙරු‍ණ සැසියක ඇය සමුළු සභාපතිනිය වශයෙන් ද කටයුතු කළාය.

පශ්චාත් උපාධිය සමත්වන ප්‍රෙමිලා නැවත ලංකාවට පැමිණ නැවත රජයේ සේවයට එකතු වෙයි. 1971 ජූනි මාසයේ රජයේ ගොඩනැඟිලි දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරිය ‍ෙලසය. විය යුතු පරිද්දෙන්ම ගොඩනැඟිලි දෙපාර්තමේන්තුවේ ප්‍රථම ඉංජිනේරුවරිය ද ඇය වූවාය.

“ගෑනුන්ට බැහැයි කියපු රස්සාව මම අපූරුවට කෙරුවා. වැඩ කරද්දිම සමහර කරුණු මම බාස්ලාගෙන් ඉගෙනගත්තා” මගෙ කාලෙ මාතලේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ගබඩාවක් හැදුවා. තට්ටු ගණනක් උස ටෙලිකොම් ප්‍රාදේශීය කාර්යාල කීපයක්ම හැදුවා” මුල් කාලයේ ඇයගේ වෘත්තීය අත්දැකීම් ඇය මතකයට නැඟුවාය.

ප්‍රථම පත්වීම ලැබූ ගොඩනැඟිලි දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාලයේ සේවය කළ අලුත ඇයට අත්දකින්නට සිදුවූ සිදුවීමක් කෙසේවත් අමතක කළ නොහැක.

“දවසක් නුවර ජී.ඒ. මට කතාකරල කිව්වා එයාගේ කාර්යාලයේ ටොයිලට්වල අලුත්වැඩියාවන් තියෙනවා ඒවා පරීක්ෂා කරල බලන්නය කියලා. මම ඒක අපේ ප්‍රධාන දිස්ත්‍රික් ඉංජිනේරුවරයාට දැනුම් දුන්නා. එයා කිව්වා පී.එච්.ඩී. කරපු කෙනෙක් ඒ වගේ වැඩකට යන්න ඕනෙ නැහැ. මට නතර වෙන්න කියලා” ප්‍රෙමිලා සිතන්නේ තමන් කාන්තාවක වීම නිසා එය ඇයට ලැබුණු කෙණෙහිලිකමක් බවය. ආර්.ප්‍රේමදාස මහතා පළාත්පාලන, නිවාස සහ ඉදිකිරීම් ඇමැතිවරයාව සිටියදී ඇය කොළඹ ගොඩනැඟිලි දෙපාර්මේන්තුවේ ඉංජිනේරුවරියක වූවාය.

“ප්‍රේමදාස මහත්තයා දවසක් කිව්වා එයා ‍ෙපාඩි කාලෙ ඉගෙනගත්ත කෙහෙල්වත්තෙ ඉස්කෝලෙ තට්ටු දෙකකට උස්සන්න කියල” ඇය මතකය අවුස්සන්නට විය.

එම පාසල පිහිටි පොළව පරීක්ෂා කිරීමේදී පැහැදිලි වූයේ එහි අභ්‍යන්තරය මඩ සහිත පොළවක් බවය. එවැනි බිමක පිහිටි ගොඩනැඟිල්ලක් ඉහළ ඔසවා තට්ටු කීපයක් ඉදිකිරීම තාක්ෂණිකව සිදුකළ නොහැක්කකි.

“ප්‍රේමදාස මහත්තයා ළඟට ගිහිල්ල බැහැය කියන වචනය කියන්න ලොකු ඉංජිනේරු මහත්තුරු බය වුණා. කාන්තාවක් වූ මට වැඩේ පැවරුවා” ඇය ප්‍රේමදාස ඇමැතිවරයා වෙත ගොස් තත්ත්වය පැහැදිලි කළාය.

“ඔව්! ඒව බොහෝම ඉස්සර ගොඩ කරපු බිම් නේ” ප්‍රේමදාස මහතා තත්ත්වය පිළිගත්තේය. ජ්‍යෙෂ්ඨ පිරිමි ඉංජිනේරුවරයන් බියවූ කරුණක් කාන්තා ඉංජිනේරුවරියක් වූ ඇය විසඳුවේ එසේය.

ඇය ගොඩනැඟිලි දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරුවරිය වශයෙන් කටයුතු කරද්දී තවත් එවැනි අත්දැකීමකට මුහුණ දීමට සිදුවිය.

ලොකු ගොඩනැඟිල්ලක පයිල්ස් බස්සද්දි රෑට ගිහිල්ලත් අපේ ඉංජිනේරුවෙකු බලන්න ඕනෙ. ඒක නිසා මගෙ කනිෂ්ඨ ඉංජිනේරුවරයකුගෙන් රාත්‍රියට ගොස් ඒවා බලනවදැයි ඇහුවා” ඇය මොහොතකට කථාව නතර කළාය.

“මොකද එයා කිව්වෙ” මම ඇසීමි.

“මේව ඔයාගෙ සල්ලි නෙමේනේ කියල එයා කිව්වා. එතකොට මම කිව්ව මේවා මහජන සල්ලි. එතකොට මගෙත් සල්ලි තමයි” ප්‍රෙමිලා සිවශේකරම් සිතන්නේ කාන්තාවක් වීම නිසා ඇයට එම තත්ත්වයට මුහුණ පාන්නට වූ බවය.

එක්දහස් නමසිය හැත්තෑඅටේදී ඇය ගොඩනැඟිලි දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිර්මාණ ඉංජිනේරුවරිය ලෙස පත්වීම ලැබුවාය. කාන්තාවක් එම පුටුවට පත්වූ ප්‍රථම අවස්ථාව එය විය.

“ජාතික පුස්තකාලය, ජාතික ලේඛනාගාරාය, පොලිස් මූලස්ථානය, මාලිගාවත්තේ රජයේ ඉදිකිරීම් කීපයක්ම මගේ මූලිකත්වය යටතෙහි ඉදිකළේ” ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා ඉංජිනේරුවරිය තමන්ගේ සේවාව පිළිබඳ සඳහන් කරන්නේ අභිමානයෙනි.

කොරියන් සමාගමක් සෙත්සිරිපාය, බ්‍රිතාන්‍ය සමාගමක් ඉසුරුපාය ඉදිකරන ලද්දේ ‍අපේ මේ කාන්තා ඉංජිනේරුවරියගේ අධීක්ෂණය යටතේය.

“ඉසුරුපාය හදද්දි ‍පොළවෙ පස් පරීක්ෂා කළේ දකුණු ආසියාවෙම ඒ පිළිබඳව ඉන්න ප්‍රවීණයා මිස්ටර් තුරෙයිරාජා. එහි යට කබොක් අහුවුණු නිසා ඔහු කිව්වා තට්ටු හතරක ගොඩනැඟිල්ලක් වුණත් ෆයිල් නොබස්සා හැදුවැකි කියලා.ඒත් බ්‍රිතාන්‍යකාරයෝ හිතන්නෙ අපි මෝඩයි කියලා. උන් දන්න කබොක්! උන් කිව්වා ෆයිල් නොගහ හදන්න බැහැයි කියලා. අන්තිමට පාස්කරලිංගම් මහත්තයා කිව්වා එහෙම නම් තට්ටු දොළහක ගොඩනැඟිල්ලක් හදමු කියලා” ප්‍රෙමිලා පවසන්නේ ඇයගේ වෘත්තීය ජීවිතයේ දී ඇය ලැබූ අත්දැකීම් පිළිබඳවය.

1976 සිට 1979 දක්වා ඇය ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය නිකුත් කරන ‘ද ඉංජිනියර්’ සඟරාවේ කතුවරිය ද වූවාය. 1906 - 2006 ශ්‍රී ලංකා ඉතිහාසයේ සියවස වෙනුවෙන් 2006 දී ඇය ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය වෙනුවෙන් “ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ඉතිහාසය” යනුවෙන් වටිනා ග්‍රන්ථයක් සැකසුවාය. 1997 දී විවෘත විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වශයෙන් කටයුතු කර 2007 දී ඉන් විශ්‍රාම ගත්තීය.

පීටර් කැනියුට් පෙරේරා
ඡායාරූප - ලෙස්ලි පෙ‍ෙර්රා
ජාඇල මධ්‍යම Silumina