Hot!

ජිනීවා: යෝජනාව මුවහත් වෙයි; ඩයස්පොරාවෙන් පෝරියල්

| සුනන්ද දේශප්‍රිය


ජිනිවා හී මානව හිමිකම් කවුන්සිලයේ විසිපස් වන සැසිවාරය අවසන් සතියට ලඟාවෙන්නේ කවුන්සිලයේ සාමාජික රටවල් අතර පමණක් නොව දෙමළ ඩයස්පෝරාවේ ද බෙදීම් තියුණු කරමිනි. යෝජනාව පිළිබඳ තෙවන නොනිල සාකච්ජාව පසුගිය අඟහරුවාදා  ජිනීවා ප්ලේ දි නැසියොන් හි  22 කාමාරයේ දී පැවැත් වුනි.


සියළු වර්ධනයන් අතරවාරයෙහි දෙමළ ඩයස්පෝරව යෝජනාවට පක්ෂව සහ විපක්ෂව බෙදී ඇති බව පෙනී යයි. විපාක්ෂික පිරිස් ප්‍රබල ය. තෙවන නොනිල සාකච්ජාව අවසානයේ අදහස් දැක්වූ ඩයස්පෝරා සාමාජිකාවක කියා දරුණූ ප්‍රහාරයක් එල්ල කරමින් කියා සිටියේ මෙම ‍යෝජනාවෙන් දෙමළ ජනයාට ඇතිවන සුගතියක් නැති බවයි.
එහි කැපී පෙනෙන එක් ලක්ෂනයක් වූයේ යෝජනාවට විරුද්ධ ශ්‍රී ලංකාවේ මිතුරු කණ්ඩායම එනම් කියුබාව, වියට්නාමය, චීනය, රුසියාව, පකිස්ථාන සහ ඊජිප්තුව යෝජනාව ඉදිරිපත් කරන රටවලට කරන ලද ප්‍රශසාවයි. ඒ ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද අදහස් යෝජනාවට ඇතුල් කිරීම පිළිබඳවය. උදාහරණයක් ලෙස යුදකරණය යන වචනය යෝජනාවෙන් ඉවත් කර තිබුනේ එම රටවල අදහස් උඩ ය‍. ඉන් පෙන්නුම් කැරුනේ යම් මට්ටමක සම්මුති බද්ධ ප්‍රවේශයක් පෙන්වීමට යෝජනාවේ සම කැදවුම්කරුවන් දක්වන කැමැත්තයි. එය මීළඟ අවස්ථාවකදී වඩා සාධනීය සාච්ජාවක් පිනිස දොර ඇර තැබීමකි.

නමුත් මෙම වෙනස් කම් ප්‍රධාන වශයෙන්ම කර තිබුණේ විසි පහක් වන පූර්විකා ජේදයන්හි ය‍. දහයක් වන නිර්දේශාත්මක ජේදයන්හි නොවේ. ඇත්ත වශයෙන්ම නම් නිර්දේශාත්මක පරිච්ජේදයන්හි තීරණාත්මක වන්නේ අට වැන්නයි. එය මෙසේ කියැවේ.

''දිගටම කෙරී ගෙන යන්නා වූ මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරියගේ නිර්දේශයන් මෙන්ම නිගමනයන් ද,  විශ්වසනීය සහ ප්‍රයෝගික ප්‍රතිඵල සහිත දේශීය ක්‍රියාදාමයක් නොමැතිවීම ද මත ස්වාධීන අන්තර් ජාතික පරීක්ෂණ යාන්ත්‍රණයක අවශ්‍යතාවය ද  සැළකිල්ලට ගනිමින් මහ කොමසාරිස්වරිගේ කාර්‍යාලයෙන් මෙසේ ඉල්ලා සිටී:

අ. ශ්‍රී ලංකාවේ පවත්නා මානව හිමිකම් තත්ත්වය ‍නොනවත්වා නිරීක්ෂණය කරමින් අදාළ ජාතික ක්‍රියාදාමයන් හි ප්‍රගතිය තක්සේරැ කරන්න.

ආ. ශ්‍රී ලංකාවේ දෙපාර්ශවයම විසින් කරන ලදැයි කියන  බරපතල මානව හිමිකම් කෙලෙසීම් සහ දූෂනයන්ද ඒ හා බැඳුනු  අපරාධයන්ද සම්බන්ධයෙන් පරිපූර්ණ පරීක්ෂණයක් පවත්වා, දඩුවම් නොලබා සිටීම වළක්වා වගවීම සහතික කරනු පිණිස  එම කෙළෙසීම් සහ අපරාධයන් පිළිබද කරැණු ද එමෙන්ම ඒවා සිදු කරන ලද්දේ කුමන තත්ත්වයක් යටතේ ද යන්න අදාළ විශේෂඥයින්ගේ සහාය ඇතිව තහවුරු ‍කරන්න.

ඇ. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයේ විසි හත්වන සැසැවාරය වාචික යාවත්කාලීන කිරීමක් කොට  විසි අටවන සැසිවාරයට පරිපූර්ණ වාර්තාවක් ඉදිරිපත් කොට ඒ පිළබඳ සාකච්ජාවකට ඉඩ සළසන්න."

තෙවැනි නොනිල සාකච්ජාව බ්‍රමණය වූයේ මෙම නිර්දේශාත්මක ‍ ජේදය වටා ය. යෝජනාවට විරුද්ධ සාමාජික රටවල් ප්‍රධාන විවේචන තුනක් ඉදිරිපත් කළහ. පළමුවැන්න නම් මහ කොමසාරිස් කාර්‍යාලයට මෙවැනි පරීක්ෂනයක් පැවැත් වීමට නෛතික බලයක් සහ හැකියාවක් නැත යන්නයි. දෙවැන්න නම් මෙම යෝජනාව මගින් පරීක්ෂනය සඳහා කාල නිර්නයක් ඉදිරිපත් කර නැති බවයි. තෙවැන්න වුයේ මෙම පරීක්ෂණය සඳහා යොදා ගනු ලබන විශේෂඥයින් කවුරුන් ද යන්න නිශ්තිව සදහන් නොවී තිබීම යි. ( පළමු කෙටුම්පතෙහි සඳහන්ව තිබුණේ එකක්සත් ජාතින්ගේ වි‍ශේෂ නියෝජිතයින් ආධාරයෙන් පරීක්ෂණය කළ යුතු බවයි.)

මෙම සාකච්ජාවෙහි තවත් කැපී පෙනෙන කරුණක් වුයේ මහ කොමසාරිස් නවී පිල්ලේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසු ඉදිරිපත් කරන ලද වාර්තාව ලබන පිළිගැනීම සහ වැදගත් කමයි. නිදසුනක් ලෙස වැලිවේරිය ඝාතන සම්බන්ධ පරීක්ෂණ වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස වන නිර්දේශය අවශය වන්නේ මන්දැයි අසනලද ප්‍රශ්ණයට පිළිතුර වූයේ එය මහ කොමසාරිස්වරියගේ වාර්තාවේ ඇතුළත්ව ඇති බවයි. එම පිළතුර විවේචකයින් සැහීමට පත් කළ බව පෙනනේනට තිබුණි. සුළුතර ආගම් මුහුණ දෙන බියකරු ප්‍රහාරයන් පිළබඳ සඳහන සත්‍ය නොවේ යැයි එල්ල වූ විවේචනයට ද මහ කොමසාරිස්වරිගේ වාර්තාව ද පිළිතුර වශයෙන් ඉදිරිපත් විය.

ශ්‍රී ලංකාන්ඩුව මහ කොමසාරිස් නවී පිල්ලේගේ සංචාරය වෙත දක්වන ලද පසමිතුරු ප්‍රවේශය පදනම් ව තිබුණේ අන්තර් ජාතික දේශපාලනය ගැන අබමල් රේණුවක් නොදන්නා සිංහල අන්තවාදී කුඩා කන්ඩායම්හි ඝෝෂව මත ය‍. ඇත්ත වශවෙන්ම නම් මෙම ක්ෂේත්‍රයෙහි  ඔවුන් ලිං මැඩියන් ය.  ඇයගේ වාර්තාවෙහි සඳහන් කරන ලද පරිදි අඩුම වශයෙන් ඇමැතිවරු හතර දෙනෙකු ඇයට අපහාසාත්මක ප්‍රහාරයන් එල්ල කළෝය. ජනාධිපති රාජපක්ෂ ඇයගේ සංචාරය අවස්ථාවෙහි බෙලරුස්හි නම් ලොවෙන් කොන්ව සිටින ඒකාධිපතියා බැහැ දැකීමට ගොස් මානව හිමිකම් කවුන්සිලයට ප්‍රහාරයක් එල්ල කළේ ය.  නවි පිල්ලේ කොහේදෝ යන දෙමළ ගැහැනියකයැයි ගරහා කළ අන්තවාදීන්ට අද කොළඹ දිසාවේ රාජපක්ෂ නායකත්වය බාර දී තිබීමෙන් ම රිජීමයේ මානව හිමිකම් අන්ධ බාවය පෙන්නුම් කැරේ.

යළි තෙවැනි නොනිල සාකච්ජාවට යමු.

විරුද්ධවාදී රටවල් විසින් ඉදිරිපත් කරන ලද විවේචන තුන සම්බන්ධයෙන් යෝජනාවේ සම කැදවුම්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිචාරයන් පෙන්නුම් කළේ ‍ ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ජාතික පරීක්ෂණය ප්‍රධාන වශයෙන්ම රැදී පවතිනු ඇත්තේ මහ කොමසාරිස් කාර්‍යාලය මත බවයි. මහ කොමසාරිස් කාර්යාලයට එවැනි අත් දැකීමක් හෝ නෛතික බලයක් නැතැයි යන විවේචනයට ප්‍රතිචාර දැක් වූ මැසිඩොනියානු තානාපති නිලධාරී දුස්කෝ උර්නොව්ස්කි කියා සිටියේ 1994 වසරේ දී එක්සත් ජාතින්ගේ මහා මුළුව විසින් සම්මත කළ බී උප ජේදය මගින් එම බලය පැවැරී ඇති බවයි. ඊට කැරුණු එක් කළ බ්‍රිතාන්‍ය නියෝජිත ජේෂ්ඨ මානව හිමිකම් නිලධාරී බොබ් ලාස්ට් 1993  දී ජේර්ජියාවෙහි ද 1998 වසරෙහි ඇප්ගනිස්ථානයේ ද 2002 දී කොලොම්බියාවේ ද 2004 දී කාම්බෝජයේ ද 2005 දී ටෝගෝහි ද 2009 දී හොන්දුරාස්හි ද 2011 සිරියාවේ ද 2012 දී නේපාලයේ ද එවැනි පරීක්ෂන මහ කොමසාරිස් හෝ එම කාර්‍යාලය විසින් පවත්වා ඇති බව  පෙන්වා දුන්නේ විවේචකයින් නිහඬ කරමිනි. 

පරීක්ෂණයේ කාල වකවානුව විවෘතව තබා ඇත්තේ පරීක්ෂක යාන්තුණයට නිදහසේ අවශ්‍ය සිදුවීම විමසා බැලීම පිණිස උදාහරණයක් වශයෙන් 1983 සිදුවීම් අවශ්‍ය නම් විමසා බැලීම පිණිස යැයි කී ඇමෙරිකානු නියෝජ්‍ය තානාපතිනි පෝලා ‍ ශේපර් විකල්පයක් ලෙස  උගත් පාඩම් සහ ප්‍රතිසංසධාන කොමිසම විමසා බැලූ කාල පරිච්ජේදය එනම් 2002 2009 කාලය ඇතුළත් කළ හැකි යැයි කියා සිටියේ ය.

පරීක්ෂනය කරනු ලබන්නේ කවරුන් විසින් ද යන්න නිශ්චිත කොට තබා නැත්තේ මහ කොමසාරිස් කාර්‍යාලයට නම්‍යශීලී ව අවශ්‍ය පුද්ගලයින් තෝරා ගැනීමට ඉඩ දීමට බවත් ඔවුන් තෝරා ගනු ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිපාටිය අනුව බවත් පෝලා ශෙපර් කියා සිටියේ ය.

මේ අතර පසුගිය බදාදා පැවැති ශ්‍රී ලංකාව සම්බන්ධ සමාන්තර රුස්වීමක් ඇමතූ යුද සමයේ වන්නියේ සේවය කළ දොස්තර වර්ධරාජා ශ්‍රී ලංකාන්ඩුව හිතා මතාම අවශ්‍ය ඹෘෂධ ලබා නොදී යුද්ධයෙන් තුවාල ලද සිවිල් වැසියන් මැරෙන්නට හැරි බවත් එවැනි මරණයන් දැකීමෙන් තමා තවමත් චිත්ත සන්තානයට පත්ව සිටින බවත් කියා සිටියේ ය. ජිනීවා හියුමන් රයිට්ස් වොච් හි අධ්‍යක්ෂිකා ජූලී ද රිවේරෝ සාක්ෂියක ආකාරයෙන් ඉදිරිපත් කරන ලද ඔහුගේ අදහස් දැක්වීම අසා සිටීමට තානාපති නිලධාරීන් ද විශාල පිරිසක් පැමිණ සිටි අතර චැනල් 4 හි කැළම් මැක්රේ යුද සමයේ ‍දොස්තර වර්ධරාජාගේ සේවය පෙන්වන කෙටි චිත්‍රපටයක් ප්‍රදර්ශණය කළේ ය.‍

එමෙන්ම බ්‍රහස්පතින්දා තවත් සමාන්තර රුස්වීමක දී  ක්ෂමා ජාත්‍යාන්තරය විසින් යුද සමයේ සහ ඉන්පසු සිදු වූ බවට චෝදනා කැරෙන ලිංගික වධහිංසා සහ කෙළෙසීම් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළේ ය. එය ඉදිරිපත් කරන ලද්දේ දකුණූ අප්‍රිකාවේ සත්‍ය සෙවිමේ කොමිසමේ සාමාජිකාවක වූ යස්ම්න් සෝකෝ විසිනි‍.

මේ සියළු වර්ධනයන් අතරවාරයෙහි දෙමළ ඩයස්පෝරව යෝජනාවට පක්ෂව සහ විපක්ෂව බෙදී ඇති බව පෙනී යයි. විපාක්ෂික පිරිස් ප්‍රබල ය. තෙවන නොනිල සාකච්ජාව අවසානයේ අදහස් දැක්වූ ඩයස්පෝරා සාමාජිකාවක කියා දරුණූ ප්‍රහාරයක් එල්ල කරමින් කියා සිටියේ මෙම ‍යෝජනාවෙන් දෙමළ ජනයාට ඇතිවන සුගතියක් නැති බවයි.  සතිය මුලදී මානව හිමිකම් කවුන්සිලය ඇමතූ ආනන්දි සසිදරන් ද කියා සිටියේ යෝජනාවෙන් දෙමළ ජනයා තවත් බිඳවැටීමකට ලක්කර ඇති බවයි. දෙමළ පිරිස් විසින් සිකුරාදා ජිනීවා ප්‍රෙස් ක්ලබ්හි පැවත්වන පුවත් පත් සාකච්ජාවක දී  මෙම ප්‍රහාරය ඉහළ තළයට යනු ඇතැයි විශ්වාශ කැරේ. ඊට රෝහිත භාෂන අ‍බේවර්ධන, ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලන්, කුමාරවඩිවේල් ගුරුපරන් යනාදීහු සහභාගි වෙති. 

යෝජනාවට විරුද්ධ දෙමළ ඩයස්පෝරාවෙහි පොදු අදහස වන්නේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට එරෙහිව ජනඝාතනයක් (ජෙනොසයිඩ්) සිදු වූ බවත් එක්සත් ජාතීන්ගේ සංවිධනය විසින් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ජනමතවිචාරණයක් පවත්වා ස්වාධීන ඊළාම් රාජ්‍යක් පිහිටුවිය යුතුය යනු ය.

මානව හිමිකම් කවුන්සිලය තුළ පවත්නා බල තුළනය සහ ප්‍රවේශයන් අනුව එවැනි යෝජනාවක් ඉල්ලා සිටීම අතාර්කික මෙන්ම අප්‍රායෝගික ද වේ.