Hot!

අනුරට ජවිපෙ වෙනස් කළ හැකිද?


| නිලන්ත ඉලංගමුව 

ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය වෙනස් කොට ඇත. නායකත්වය වෙනස් වූ පමණින් එහි න්‍යායන් හෝ දේශපාලන විදිය වෙනස් වන්නේ නැත. කෙසේ වෙතත් තරුණ නායකත්වයක් ඊට ලැබී තිබේ. දැකුම් කලුය. මනරම්ය. ප්‍රමෝදජනක වන්නා සේම විනෝදජනකය. 

අනුර කුමාර දිසානායක වූ කලී ජවිපෙ තුළ  ප්‍රතික්ෂේප  කළ නොහැකි මෙවලමකි. කිසිවක් නැති තැනට කිසියම් දෙයකි. පක්ෂය ඉදිරියට පවත්වාගෙන  යෑමට නම් ලාල්කාන්ත, විජිත හේරත් සමඟ එක පෙළ සිටගත හැකි එකම පුද්ගලයා වන්නේ අනුරය. ඔහුට තැන ලැබී ඇත. නොඑසේනම්, වඩාත් නිවැරදිව කිවහොත් තැන ලබාගෙන ඇත. පසුගිය කාලය පුරාම ජනතා විමුක්ති පෙරමුණ අනෙකුත් පක්ෂ සමඟ දේශපාලන  ඩීල් ගැසීමේදී ප්‍රමුඛ කාර්යක් ඉටු කරනු ලැබුවේ අනුරය. ඔහු සන්ධාන ආණ්ඩුවේ හවුල් කරුවෙකුගේ සිට සරත් ෆොන්සේකාට උදව් කිරීම දක්වා වූ ක්‍රියාවලීන් තුළ වැදගත් මැදිහත්වීමක් ඉටුකරනු ලැබීය.  දිවා රෑ  නොබලා වෙහෙස වූයේ පක්ෂය තුළ සිටි වෙනස් කළ නොහැකි වූ අය වෙනස් කිරීමටය. 

අනුර කුමාර ජවිපෙ නායකත්වයට පත්වීම වූ කලී පුදුමයක් නොවේ. ඔහුට ජවිපෙ ස්ථානගත වී සිටින වත්මන්  මට්ටම වෙනසක් නොකර රැගෙන යාමට හැකියාව සහ උපායමාර්ගික බුද්ධිය තිබේ යැයි අනුමාන කළ හැකිය. නමුත් ජවිපෙට අවශ්‍ය රැඩිකල් වෙනසක් හෝ නැතිවී ගිය මහජන බලය යළි ලබාගැනීමේ හැකියාවක් ඔහුට තිබේ යැයි විස්වාශ කිරීම අසීරුය. අනුර වූ කලී සාම්ප්‍රදායේ එන තවත් එක් චරිතයක් වන අතර ඔහු බොහෝ දුරට සංස්කෘතික වශයෙන් සමාන වන්නේ වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළියේ එන පියල්ය. නමුත් වෙනස ගම්පෙරළියේ මුහන්දිරන්ට වඩා අනුරට මුහුණ දීමට සිදු වී ඇති මුහන්දිරන් වෙනස්ය. එසේම මුහුන්දිරම්ට ප්‍රථම මෙම වත්මන් භූමිකාව හමුවේ, නන්දා නැමති චරිතය බිහිකොට මුහන්දිරම්ට වාසීගෙන දෙන ලෙස ක්‍රියාත්මක වීමට  ඉඩ හරිනු ලැබුවේ අනුර ඇතුළු ජවිපෙ විසින්මය. පියල්ගේ නන්දා ජවිපෙ සන්දර්භය හමුවේ අනුරගේ විමල් ලෙස තේරුම් ගැනීමේ වරදක් නැත. නමුත් මෙය අනුර විසින්, තරයේ ප්‍රතික්ෂේප කොට අසූචි අනුභව කළ සූඛරයාට ඇයව ආදේශ කරනු ඇත. වෛරය විවේචනයකට පෙරළා , විවේචනය ඉතාමත් අමිහිරි ආකාරයෙන් ලබාදීම, අසාර්ථක විප්ලව දෙකකට නායකත්වය ලබා දී මෙරට දහස් ගණනක් තරුණ තරුණියන් මරණයට පත්කිරීමට සහයෝගය ලබාදුන් ජවිපෙ පසුගිය කාලය තුළ එනම් චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ සහයෝගයෙන්, “ප්‍රජාතන්ත්‍රවාදය” තොරාගැනීමෙන් පසු, පෙන් වූ මුලික ගති ලක්ෂණය වේ. 

විලිලජ්ජා සහගත පාවාදීම් රැසකින් පසු හපය පමණක් අනුභව කොට එම හපයේ  ඇති රස  සමාජවාදයට මාර්ගය  යැයි  විස්වාස කරමින්, සිටීමට වත්මන් ජවිපෙට සිදු වූයේ අනෙකාගේ වරදක් නිසා නොව, එය තමන්ගේම එනම් තම පක්ෂය තුළම ඇති වරදක් නිසාය. ජවිපෙ යනු රටේ සම්ප්‍රදාය සහ ආනයනය කරනු ලැබූ න්‍යාය අතර බෙල්ලෙන්ම සිරවුණ පක්ෂයකි. එම හිරවීම මඟින් ඔවුහු පක්ෂය තුළ කුහකත්වයට රිසි සේ වර්ධනය වීමට ඉඩ සැලසුවේය. එය ජවිපෙ කෙතරම් දුරට තේරුම්ගෙන තිබේද යන්න ගැටලුවකි. ජවිපෙ දේශපාලන පක්ෂයක් ලෙස ස්‌වයං විවේචනයට වඩා සමාජවාදීඅදහස් මූලික කොට ගනිමින් ස්වයං  වින්දනය සොයමින් ඉබාගාතේ ඇවිදින පක්ෂයකි. පක්ෂය තමන්ට අහිමු වූ බුද්ධි බලය යළි ලබා ගැනීම වෙනුවට වර්තමානයේදීද සිදුකරමින් සිටින්නේ රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ඔහුගේ දේශපාලන අගමෙහෙසිවරුන්ගෙන් අයෙකුගේ චරිතය රඟපාන හිටපුජවිපෙ ප්‍රචාරක ලේකම් වරයා රඟපාන භූමිකාවම වේ.

ජවිපෙ තම නායකත්වය වෙනස් කිරීමට රහසිගතව තම තමන්ගේ කේන්ද්‍ර බලාගත්තේ දැයි නොදනිමු. එහෙත් ජවිපෙ දේශපාලනයට වඩාත් නැවුම්බවක් ලබාදීමටනම් වඩාත් විස්ථාරිත වූ වැඩපිළිවෙලක් අවශ්‍ය වේ. ජවිපෙ  නායකත්වය වෙනස් වීම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් නොවීමට සාපේක්ෂව තේරුම් ගෙන එක්සත් ජාතික පක්ෂයේ පවතින අවුල ජවිපෙ නව නායකයා මාර්ගයෙන් පෙන්වීමට යෑම කෙටිකාලීන මාධ්‍යප්‍රමෝදය සඳහා පමණක් හේතු වේ. ඉන් එජාපයටවත්, ජවිපෙටවත් කිසිඳු සුගතියක් අත්වන්නේ නැත.
ජනතා විමුක්ති පෙරමුණ සහ එහි දේශපාලනය සම්බන්ධයෙන් බොහෝ වාද විවාද ඇති වූ බව සියල්ලෝම දනිති. ඔවුන්ගේ සමාජවාදී මනෝරාජ්‍ය ගැන කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් ඔවුහු විසින් සිදුකළ සියල්ල සාදාරනීකරණය  කරන ආකාරය දක්නට ලැබුණි. සැබවින්ම, ජනතා විමුක්ති පෙරමුණ සහ අනෙකුත් දේශපාලන පක්ෂ එනම් සමාජවාදයමුලික කරගනිමින් අටවාගත් දේශපාලන කණ්ඩායම් වල දක්නට ඇති මුලික ලක්ෂණය නම්  ඔවුන් අතර පවතින විඥාණීය බෙදීමයි. ලංකාවේ  සමාජවාදීන් දෙදෙනෙකු එකතු වූ විට දැක ගත හැකි මුලික ලක්ෂණය නම් සමාජවාදයන්දෙකක් , “ බුද්ධිමතුන්දෙදෙනෙක් බිහිවීමය. වර්තමානයේදී මෙම සන්දර්භය තුළ දැකගත හැක්කේ, සමාජවාදීන් එකිනෙකා ඔහුට හෝ ඇයට ආවේණිකව බුද්ධිමත්ය, යන පූර්ව නිගමනයෙන් කටයුතු කරන ආකාරයයි.  එකෙක් අනෙකාගේ අදහස් පිළිගැනීමට වඩා අනෙකා සතු අවබෝධයේ අවුල විසඳීමට යන්ත දරණු ලබන්නේ තමන්ගේ පුර්ව ඥානය පිළිබඳව වූ අධිතක්සේරුව මඟිනි. එම අධිතක්සේරුව සැබෑ ලෝකයේදී “දේශපාලන ඩීල්” මඟින් නීච ලෙස පාවා දීම සන්නද්ධ අරගලය අත්හැර දමනු ලැබූ ජවිපෙ තුළින් දිස්විය. තර්කය මුලික කොට ගනිමින් කිරා මනින ඔවුන්ගේ දේශපාලනය, සිහින තුළින්ම ඉදිරියට ඇදෙයි. එම සිහින වලින් තම අරමුණු ඉටුකර ගැනීමට මෙම සමාජවාදීන් සමඟ හවුල් ආණ්ඩු නිර්මාණය කරන අයවලුන්ට සාර්ථකව හැකියාව ලැබුණු බව අවම තරමින් ලංකාවේ සමාජවාදයනමින් ක්‍රියාත්මක වූ වැඩ පිළිවෙලෙහි දැක ගැනීමට හැකිවිය. සරත් ෆොන්සේකාගේ දෙශපාලනයට හවුල් වීමෙන් පසු ජවිපෙ දේශපාලනික ක්‍රමෝපාය නමැති දයලෙක්තිකය පුපුරාගිය ආකාරය දෙස බැලීමේදී මෙය තේරුම් ගැනීම අතිශය සරල වේ. අවසානයේදී ප්‍රේමකුමාර් ගුණරත්නම්ට සිදු වූයේ පණ බේරාගැනීම සඳහා පැන දිවීමටය. ලංකාවේ සමාජවාදීන් ඇතුලතින් මෙන්ම පිටතින් මුහුණ දී සිටින සැබෑ අවුල මින් තේරුම් ගත හැකිය.   

නව ජවිපෙ නායකත්වය වූ කලී පවතින අවුලේම නිෂ්පාදනයක් මිස, ඊට දේශපාලනික වශයෙන් පෘථුල මැදිහත් වීමක් තබා අඩුතරමින් පක්ෂය තුළ පවතින අභ්‍යන්තර ආරවුල විසඳීමට හැකියාව ලැබුනහොත් එයම ආශ්චර්යකි. ශිෂ්‍ය ව්‍යාපාර, වුර්තීය සංගම් හෝ අනෙක් ජනවර්ගවල ගැටලු තේරුම් ගැනීමට හෝ එවාගැන කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කිරීමට පෙර සිදු විය යුත්තේ එයයි. 

රටක දහස් ගණනක් තරුණ තරුණියන්ගේ රුහිරයෙන් ලියවී ඇති ජවිපෙ නමැති අඳුරු අතීතයට යුක්තිය සිදුකිරීමට නම්, අනුර, අනුරවම කියවිය යුතු කාලය පැමිණ තිබේ. එය තම පවුල පිළිබඳව හෝ  පවුල් පසුබිම පිළිබඳව සංවේදී ගුණ ගී ගායනා කිරීමෙන් කළ නොහැකිය. අනුරට පෙර රාජපක්ෂ විසින් මැදමුලන පිළිබඳව ඉතිහාස කතාව ගෙනහැර දක්වමින් රටේ සංවේදී නායකයා බවට පත්විය. එබැවින් අනුරට දේශපාලන වෙළඳ පොලේ තම සංවේදී පසුබිම වෙළඳම් කිරීම සමාජවාදයට පටහැනි දෙයක් පමණක් නොව ඉන් වගතුවක් වන්නේද නැත. සෝමවංශ සිහිනයෙන් යතාර්ථයට ආගමනය වී අනුරට “නායකත්වය” නමැති ලේබලය ලබා දීමේ සැබෑ කාරණය මෙම අවුලේම ප්‍රකාශනයකි. එය විසඳීම මෙන්ම අනුර , “ ජවිපෙ නායකත්වයෙන්” බේරීම ඔහුගේ සැබෑ අභියෝගයද වේ.