Hot!

වනාත මුල්ලේ සුනිල් අනාථ නොකිරීම

| නිලන්ත ඉලංගමුව 

වනාතමුල්ලේ පදිංචි සුනිල් මහතාට ගෝඨාභය රාජපක්ෂ තම චන්ඩිකම පෙන්නා ඇත. ඒ මීට දින කිහිපයකට ප්‍රථමය. ඉන් පසු ඔහු පැහැරගෙන යළි නිදහස්කොට ඇත්තේ හටගත් මහජන කෝලාහලය නිසාය. සුනිල් මහතා පැහැරගත්තේ කවුරුන්දැයි, මේල් ගුණසේකර මරා පැය කිහිපයක් ඇතුළත “ මිනී මරුවා” අල්ලා ගත්තේ යැයි උඩ පැන මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වීම සඳහා නඩු භාණ්ඩ මාධ්‍ය ඉදිරියට ගෙන ආ පොලිස් දෙපාර්තමේන්තුවේ “ නීතීඥ” මාධ්‍ය ප්‍රකාශක කටයුතු කළාමෙන් නොව, මෙහිදී දක්නට ලැබෙන තත්වය වෙනස්ය. සුනිල් මහතාට අනුව ඔහු රඳවාගෙන සිටියේ සමපෝෂ අග්ගලා වළඳමින් සිටි කල්ලියක් විසින් පවත්වාගෙන යන පොල් වත්තකය. පොල් වත්තේන් ලැබෙන පොල් ගෙඩිවල ආදයාම ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික බැංකු ගිණුම් වලින් එකකට බැර නොවන්නේ යැයි විස්වාශ කරමු. අඩුතරමින්, මෙතරම් ආර්ථික අගහිඟකම් ඇති රටේ ඒ මහතාද ආර්ථික අහේනියෙන් පෙළෙන්නේ යැයි සිතා අදාළ පොල්වත්තේ පොල්ගෙඩි, බුදුපිළිමයක් මිදුලේ තබා ඇති තම නිවස අසලට පැමිණ තමන්ගෙන් සම්බෝලයක්වත් තනාගෙන අනුබව කොට රටට සේවය කරන්නේ නම මැනවි,  යැයි නොකියන්නේ යැයි සිතමු. එම පොල් වෙනකෙකු එනම් ගෝඨාබය ආරක්ෂක ලේකම්තුමාද නොදන්නා අයෙකු  විසින් අග්ගලා තැනීම සඳහා පාවිච්චි කරන්නේ යැයි සිතමු. ඔවුහු පොල්වත්තේ පොල් මිශ්‍ර කොට අග්ගලා තනනවා වෙනුවට එම පොල් වත්තේම පිහිටි නිවස වදකාගාරයක් ලෙස පවත්වාගෙන යන සැටියෙකි. 
 
කෙසේ වෙතත්, සුනිල් මහතා සම්බන්ධයෙන් සිදු වූ ජාතකය, ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වී පෙරටුගාමී පක්ෂය තැනීමට මූලික වූ ප්‍රේමකුමාර්ගේ පැහැරගැනීම හා සමානය. ඔහු සහ දිමුතු ආටිගලද අදාළ පොල් වත්තටම රැගෙන ගියේදැයි නොදනිමු. නමුත් ඔවුන්ද එකල මාධ්‍යට ප්‍රකාශ කළ දෑ සමඟ සුනිල් මහතාගේ අදහස් අපූරුවට ගැලපේ. රාජපක්ෂ ආණ්ඩුව මිනිස් ජීවිත සමඟ තම සෙල්ලම රැගෙන යාන ආකාරය තේරුම් ගැනීම සඳහා මෙය තවත් එක් සිදුවීමක් පමණි. මෙවැනි දෑ සියදහස් වාරයක් අපේ ඇස් ඉදිරිපිටම සිදුවෙද්දී, අපේ ජාතිමාමකත්වය මෙන්ම දේශප්‍රේමය ගැන බරපතළ ගැටලු මතුවේ. අපි අපේ අයිතිය පාවිච්චි කොට බලයට පත්කොට ඇත්තේ මෙවැනි පිරිසක්ය. 
කිසිඳු හිරිකිතයක් නොමැතිව සාමාන්‍ය ජනතාව තලා පෙළමින් තමන්ගේ පෞද්ගලික වුවමනා එපාකම් ඉටුකරගැනීමට රාජපක්ෂ පරිපාලනය සමත්බව තේරුම් ගැනීමට තවත් කිසිඳු සිදුවීමක් අවශ්‍ය නොවේ. මෙම කාරණය මුලීක කොට ගනිමින්, රාජපක්ෂ තමන්ගේ පැවැත්ම සඳහා නිර්මාණය කොට ඇති පුහු සහ කෛරාටක තර්කය වන , රාජපක්ෂ නැති තැන නායකයෙන් නැත යන්න, මුළු රටේම සිංහල ජාතිය තමන්ගේ මෝඩකම නිසා විස්වාශ කිරීමට බලගන්වනු ලැබූ “බුද්ධිමය” උගුලකි. එම උගුල අපවිසින් පටලාවාගෙන ඇත්තේ අපේ සංස්කෘතිය තුළ උගන්වන කුලෑටී, තකතීරු, කුහක සහ මෝහ ගති නිසාය. රාජපක්ෂ එකම විකල්පය බවටත්, ඊට එහා ගිය කිසිවෙකු පේන තෙක් මානෙක නැති බවත් යන්න එන්නත් කරවනු ලැබූ නිර්වින්දනයකි. එය මතුපිට පෙනුමෙන් සහ වට කරගෙන ඇති භෞතික සම්පත් ගැන සලකා නායකයින් තෝරාගැනීමේ ප්‍රතිවිපාකයයි. එම නිර්වින්දනය නිවැරදිව පාවිච්චි කරමින්, රාජපක්ෂ තම මෙහෙයුම සූක්ෂමව රැගෙන යනු ලබයි. මෙම සන්දර්භය තුළ රාජපක්ෂලාට වැදගත්වන්නේ මර්ධනය, යටත් කිරීම මෙන්ම භයකිරීම ආදී ගතිය. එය එලෙස රැගෙන යන ගමන් රටේ සියලුම ධනය පාලනය කිරීමේ අයිතියද ඔවුහු තම ග්‍රහණයට ගනිමින් සිටින්නේය. සුනිල් මහතාට, රටේ ආරක්ෂක ලේකම් වරයා දැමු චන්ඩිකම පිටුපස ඇති ඇත්ත එයයි. ඔහුට ඇමෙරිකාවට ගොස් එවැනි චන්ඩිකම් දැමිය නොහැකිය. 
ඇමති මණ්ඩලය අතිශය විශාල කොට කිසිඳු වටිනාකමක් නැති සහ තනි පුද්ගලයෙකුට කළ හැකි අමාත්‍යංශ කැබලිවලට කැඩීමත් පිට රට ණය ගැනීමට හැකි අමාත්‍යංශ තමා යටතේ තබාගැනීමටත් මුලික හේතුව වන්නේ ආර්ථිකමය වශයෙන් රට මර්ධනය කිරීමට රාජපක්ෂට ඇති වුවමනාවයි. රට පාලනය ඔහුට සහ ඔහුගේ රුධිරයට ඥාතී වන අයට සදාකාලීක භුක්තියක්ය, යන දවල් හීනය තුළ ඔහු ලැගගෙන ඇත. එය උපරිම වසර 20 හෝ 25ක් ප්‍රායෝගික වුනත් ඉන් පසුව මෙම භූමියේ උපදින දරුවන් ජීවත් විය යුතුය. රාජපක්ෂ නැති තැන මිනිස් සංහතිය නැතිවේ නම් හෝ ශ්‍රී ලංකාව නැති වේනම් එවැනි සිහින වලින් අදාළ නායකයින් අවදිනොකිරීමට ජනතාව වගබලා ගත යුතුවා පමණක් නොව ඔවුන් වෙනුවෙන් දරදිය ඇදිය යුතුය. නමුත් එවැනි මිත්‍යාවන් විනාශ වී ගොස් වසර සිය ගණනක් ලෝකය ගමන් කොට ඇත. 10,000 බී.සී. නමැති චිත්‍රපටයේ දෙවියන් නමින් පෙනී සිටි පුද්ගලයා මරණු ලබන්නේ එක හී පහරෙනි, එම පහරෙන් පසු මුළු වහල්භාවයම නැතිවී මිනිසුන් දහස් ගණනකට විමුක්තිය උදාවේ. එවැනි ප්‍රබන්ධ වූ කලී සම්පූර්ණ මිත්‍යාවන් නොවේ. මිනිසා විමුක්තිය උදෙසා ගමන් කරනු ලැබුවේ එවැනි  දුර්ග මාර්ගයකය. එවැනි දෑ පසු කොට වසර දහස් ගණනක් පසුකොට ඇති මිනිසාට යලිත් හමුවන්නේ වර්තමාන භූමිකාව තුළ එවැනිම මර්ධනයකට යටත් කිරීමට මාන බලන පුද්ගලයින්ය. පළමුව අවබෝධ කරගත යුත්තේ මොවුහු  රටක පාලනයට අවශ්‍ය නායකයින් නොවන බවය.  ඕනෑම කොල්ල කල්ලියකටද නායකයෙක් සිටියි. නමුත් රටක් පාලනය කිරීමට එම රට අනෙක් රටවල් සමඟ මිත්‍රශීලී සම්බන්ධතා ගොඩනගා ගැනීමට අවශ්‍යවන්නේ බුද්ධිමත් නායකයින් මිස රටේ සම්පත් කොල්ල කමින් රටට හූනියම් කරමින්, රට වශී කරගැනීමට මිලියන ගණන් වියදම් කොට තම පුත්‍රයාටද එවැනිම වූ විකාර අපේක්ෂාවන් ලබාදෙමින් සිටින්නන් නොවේ. 
මෙම සන්දර්භය හමුවේ වනාතමුල්ලේ සුනිල් මෙන්ම ඔහුවටා සිටි සාමාන්‍ය ජනතාව සිදුකරනු ලැබුවේ අතිශය වැදගත් මෙහෙවරකි. එවැනි දෑ වලින් පාඩම් ඉගෙන ගැනීම සහ ජනතාවගේ අයිතිය සහ බලය රටේ ආඥාදායකයාගේ බලයට වඩා ඉතාවැඩි බව තේරුම් ගැනීම ප්‍රමාණවත්ය. අකලට වැසි වසින්නාක් මෙන් නොව හතුපිපෙන්නාක් මෙන් මෙම මුලික කාරණය අවබෝධකරගත් ජනතාව එක් රොක්වුණ තැන තම පෞද්ගලික නිදහස මෙන්ම රටේ නිදහසද සැබෑ ලෙස රැක ගත හැකිය. මේ ආකාරයෙන්  අයුක්තියට එරෙහිව පෙළගැසෙන, ඒ වෙනුවෙන් දිවිපරදුවට තබන පුද්ගලයින් අමතක නොකිරීම සහ ඔවුහුට කළගුණ සැලකීම මුළු මහත් ජාතිය සතුවන යුතුකමකි. නිදහස වෙනුවෙන් සටන්වදින මෙවැනි සැබෑ වීරයින් අනාථ නොකිරීම මූලික වගකීම වේ. එය නොවන තාක් දුරට රාජපක්ෂගේ හැඩි දැඩි දේහයත්, ජනතාවගේ බදුමුදලින් නඩත්තුවන ඔහුගේ මිලිටරි ජුන්ටාවත් , එවැනිම ආකාරයෙන් මහජන බදුමුදල් නාස්ති කරන ජම්බෝ කැබිනෙට්ටුවත් ‘වීරයින්’ වනු ඇත. මර්ධනය පොදු ලක්ෂණයක් වනු ඇත.