Hot!

කතුවරුන්ගෙත් කතුවරයා - දයාසේන ගුණසිංහ

පුවත්පත් කලාව කෙරේ අප සිත් ඇදී ගිය මුල් කාලයේ සුවිශේෂ අවධානය දිනාගත් එක් විශේෂාංගයක් වූයේ තීරු ලිපියයි. ඒ හා මුසුව පැවැති හාස්‍යය හා උපහාසය ප්‍රධාන වශයෙන් ඊට හේතු විය. “ලංකාදීප” පුවත් පතේ පළවූ “වනාහි” තීරු ලිපිය එකල පාඨක ප්‍රසාදය දිනාගත් අතිශය ජනප්‍රිය තීරු ලිපියක් විය. රත්නදේශප්‍රිය සේනානායක විසින් ලියන ලද “වනාහි” වැකියට අමතරව අවධානයට යොමුවූ අනෙක් තීරු ලිපි අතර ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහගේ “වගතුග” ඩේවිඩ් කරුණාරත්නගේ “හෑල්ල” හා අරිසෙන් අහුබුදු සූරීන්ගේ “එනකපේ බණ කතා” විශේෂයෙන් කැපී පෙනුණි.

පිළිවෙළින් “ලංකාදීප” “දවස” හා “‍පෝදා ඇත්ත” යන පුවත්පත්පත්වලට ඒවා ඔවුන් අතින් ලියැවුණි.

“වනාහි” තීරු ලිපියට පසු ‍පොදු පාඨකයා අතර ඒ ආකාරයෙන් කතා බහට ලක්වූ තවත් තීරු ලිපියක් වූයේ “දිවයින” ඉරිදා සංග්‍රහයට දයාසේන ගුණසිංහ විසින් ලියන ලද “සීයාගේ කොලමයි” “වනාහි” වැකිය සමග සසඳා බලන විට සීයාගේ කොලම සිංහල පුවත්පත් තීරු ලිපියේ වර්ධනීය අවස්ථාවක් හැටියට සැලකිය හැකිය. එමගින් කුළුගැන්වුණු හාස්‍යයට හා උපහාසයට යටින් සීයාගේ කොලම තුළ ප්‍රබල සමාජමය හරයක්ද ගැබ්ව තිබුණි.

දයාසේන ගුණසිංහ සිංහල පුවත් පත් තීරු ලිපි කලාවේ පෙරළිකාරයෙකු ලෙස හඳුනා ගන්නට මගපාදන තවත් කරුණු කිහිපයක් වෙයි. ඒ ඔහු තුළ තීරු ලිපි රචකයන් කිහිපදෙනකු සිටි බැවිනි. “රයිගම් රාළ” “උකුස්සා” “භූතරි‍පෝටර්” “ලුනටික්කා” “හෙනහුරාගේ කොලම” “සංගුරාගේ සංවාද” ආදී වශයෙන් විවිධ හැඩතල ගනිමින් ඔහු අතින් තීරු ලිපිය වඩාත් ආඩ්‍ය තත්ත්වයට පත් විය.

ගුණසිංහගේ තීරු ලිපියේ අනෙක් ප්‍රබල ගුණාංගය වූයේ නිසි එල්ලය අල්ලා හරියට ඉලක්කයට පහරදීමයි. ප්‍රහාරයට ගොදුරු වන පුද්ගලයාගේ නිලය බලය හෝ ප්‍රභූත්වය පිළිබඳ ඔහු කිසිදු තැකීමක් නොකළේය. වර්තමාන ඇතැම් තීරු ලිපි රචකයන් විසින් තම තීරුලිපිය ඉහළට නගින්නට ඉණිමගක් හැටියට භාවිතයට ගනු ලැබුවද ගුණසිංහ අතිත් කිසිදා එවැන්නක් සිදුවූයේ නැත. ඔහු විසින් තීරු ලිපිය ඒ ආකාරයෙන් භාවිතයට ගනු ලැබුවේ එමගින් පෞද්ගලිකව තමන්ට අත්වන්නට ඉඩ තිබෙන අනර්ථය අවබෝධ කර නොගෙන නොවේ.

දයාසේන ගුණසිංහ පිළිබඳ කතා බහ කිරීමේදී ඔහු හා තීරු ලිපිය අතර පැවැති සබඳතාව වඩාත් ප්‍රබල ලෙස අවධාරණය කළ යුතු වන්නේ වර්තමානයේදී තීරු ලිපිය ඒ ආකාරයෙන් භාවිතයට ගන්නා සැටියක් පෙනෙන්නට නොමැති බැවිනි. මේ වනවිට තීරු ලිපිය අතිශය දියාරු තත්ත්වයකට පත්ව ඇත. පාඨකයා අතර එදා නිතර කතා බහට ලක්වූ ආකාරයෙන් අවධානය දිනාගත් තීරු ලිපියක් පිළිබඳ අද අසන්නට ලැබෙන්නේ නැත.

දයාසේන ගුණසිංහගේ තීරු ලිපි කොතරම් ප්‍රබල සමාජමය බලපෑමක් කළේද යත් එතෙක් මාධ්‍යවේදියා සතුව පැවැති ආරූඪ නම් යටතේ ලිවීමේ අයිතිය අහෝසි කිරීම සඳහා වූ පනතක් කෙටුම්පත් කරන්නට පවා ඔහුගේ තීරු ලිපි යම් ප්‍රමාණයකට බලපෑ බව රහසක් නොවේ.

ආරූඪ නම් යටතේ කිසිම දෙයක් පළ කිරීම තහනම් කළ යුතු බවත් එසේ පළකරන ලද පුවත් පත් කතුවරයෙකුට රුපියල් දෙදහසකට වැඩි නවෛන දඩයකට හෝ අවුරුද්දකට වැඩි නොවන සිර දඬුවමකට හෝ යටත් වීමට සිදුවන බවත් දැක්වෙන පුවත්පත් මණ්ඩල සංශෝධන පනත් කෙටුම්පතක් අධිකරණ ඇමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කරවා ගැනීමට එවකට බලයේ සිටි ආණ්ඩුව ප්‍රයත්නයක යෙදුණි.

පත්‍රකලාවේදී සංගම් සහ සියලුම පුවත්පත් කතුවරුන් සාමුහිකව පළ කළ විරෝධය හමුවේ 1984දී ගෙන ආ මෙම ආරූඪ නාම තහංචි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකොට අකුලා ගන්නා ලදී.

දයාසේන ගුණසිංහගේ පුවත්පත් කලාව තීරුලිපියට සීමා නොවුණු අතර ඔහුගේ ‍ලේඛන කලාව පුවත්පත් කලාවට පමණක් සීමා වූයේද නැත. එය විවිධ ඉසව් ඔස්සේ පැතිර ගිය ලිවිසැරියක් විය. සාහිත්‍ය කලා විෂයෙහි ඔහු සතුව පැවැති ශක්තීන් හා ප්‍රතිභාව විවිධ ක්‍ෂේත්‍ර හා බැඳුණු නිර්මාණ කෘතීන් මගින් ප්‍රකාශයට පත්විය. ඔහු කවියෙකි. ගීත රචකයෙකි. කෙටිකතාකරුවෙකි. පරිවර්තකයෙකි. සාහිත්‍යය හා සාහිත්‍ය කලා විචාරය අරඹයා ඔහු අතින් ලියැවුණු ලිපි රැසක් වෙයි.

රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද “රන් තැටියක කඳුළු” දයාසේන ගුණසිංහගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහයයි. ඉන් පසු ඔහු විසින් තවත් කාව්‍ය කෘතීන් දෙකක් ප්‍රකාශයට පත් කෙරිණි. “නොවඳිම් සිදුහත්” හා “දොරමඩලාව“ නමින් පළවූ එම කෘතීන් දෙක සිංහල කාව්‍ය ක්‍ෂේත්‍රයේ සුවිශේෂ අවධානයට යොමුවූ කෘතීන් දෙකක් හැටියට සැලකේ.

“කැනල් පාරේ නිශාචරයෝ” හා “කේතුමතී හෝටලයේ රාත්‍රියක්” කෘතීන් දෙක ඔහුටම ආවේණික වූ ෙශෙලියකින් ලියැවුණු කෙටිකතා පෙළකින් සමන්විත වුණි. “‍පොදු ජනයාගේ මිනිසෙක්” “නදී තෙර කුමරිය” හා “නිල් තාරකාවට ගිය තිදෙනා”පරිවර්තන කෘතීන් විය. “රයිගම් රාළ” තීරු ලිපි සංග්‍රහයකි. “සිව්දෙස” නමින් මාසික සඟරාවක්ද ඔහුගේ සංස්කාරකත්වයෙන් පළවිය.

දයාසේන ගුණසිංහ සමීපව හඳුනා ගැනීමේ අවස්ථාව මට සැලසෙන්නේ මා දිනපතා “දිවයින” පුවත්පතේ උප කර්තෘවරයෙකු ලෙස සේවයට යාමත් සමගය. ඒ වන විට ඔහු “දිවයින ඉරිදා සංග්‍රයෙහි” නියෝජ්‍ය කතුවරයා විය. සෘජුවම ඔහුගේ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ වැඩ කරන්නට මට අවස්ථාවක් නොලැබුණද පුවත්පත් කලාවේ දුහුනන්ව සිටි අපට ඔහුගෙන් බොහෝ දේ ඉගෙන ගන්නට අවස්ථාවක් සැලසින. ඒ පුවත්පත සංස්කරණයේදී කටයුතු කරන ආකාරය අත්දැකීමෙන් වටහා ගැනීමට අපට ඉඩ හසර සැලසුණු බැවිණි.

ඔහු අතින් ලියැවුණු විශේෂාංග ලිපි, සාහිත්‍ය විෂයයෙහි කෙරුණු විවරණ, තීරු ලිපි ආදිය පමණක් නොව ලිපි තෝරා ගන්නා ආකාරය හා ඒවාට සිරස්තල යෙදීමේදී අනුගමනය කරන උපාය උපක්‍රම ආදිය පුවත්පත් කලාව පිළිබඳ අපගේ අවබෝධය වර්ධනය කර ගන්නට දායකත්වය ලබා දුන්නේ ඉබේම වාගේය. පුවත්පත් කලා විෂයෙහි ඔහුගෙන් ලැබුණු ආභාසය අපගේ ජීවිත කෙරෙහිද යම් ප්‍රමාණයකට බලපා ඇත. ඒ දශක දෙකකට ආසන්න කාලයක් ඔහු සමීපයෙහි වෙසෙන්නට අවස්ථාව සැලසීම මගිනි.

ඉංගිරියේ ඉවුරුගලදී ගුරුපවුලක දරුවෙකු හැටියට උපත ලද දයාසේන ගුණසිංහ මූලික අධ්‍යාපනය ලැබුවේ හොරණ ශ්‍රී පාලි විද්‍යාලයෙනි. විශ්වවිද්‍යාල ප්‍රවේශය සමත් වී පේරාදෙණිය සරසවියට ඇතුළුවූ හෙතෙම වසර තුනක පමණ කාලයක් ගුරු සේවයෙහි ද නිරතව සිටියේය. ඉන්පසු ‍ලේක් හවුස් ආයතනයට ඇතුළු වී මුලින් ඉංග්‍රීසි හා සිංහල පුවත් පත්වල සේවයට එක්ව මූලික පුහුණුව ලබාගෙන ඇත. කලක් “දිනමිණ” පුවත් පතෙහි ප්‍රවෘත්ති කර්තෘවරයා හැටියට කටයුතු කළ ඔහු ‍ලේක්හවුසියෙන් ඉවත්ව එන විට දරමින් සිටි තනතුර වූයේ “සිළුමිණ” විශේෂාංග කර්තෘ ධුරයයි. ඔහු පුවත්පත් කලාව සම්බන්ධ විදෙස්ගතව පුහුණුව ලැබුවෙක්ද විය.

දයාසේන ගුණසිංහ තමා සතු සියලු කුසලතාවන් පුවත්පත් කලාව වෙනුවෙන් කැපකළ දුර්ලභ ගණයේ පුවත්පත් කලාවේදියෙකු හැටියට මූලික වශයෙන් හඳුන්වා දෙන්නට පුළුවන. ඔහු නිර්මාණශීලි පුවත්පත් කලාවේදියෙකු හැටියට බොහෝ දෙනකු විසින් හඳුන්වනු ලබන්නේ එබැවිනි. ජීවිතය, සමාජය හා දේශපාලනය පිළිබඳ පරිණත හා නිවැරදි යැයි තමා තරයේ විශ්වාස කළ අවබෝධයක් ඔහු සතු විය. දයාසේන ගුණසිංහ නිර්භීත පුවත්පත් කලාවේදියෙකු බවට පත් කරන ලද්දේ ඔහු සතුව පැවැති එම අවබෝධය ආත්ම විශ්වාසයෙන් යුතුව පුවත්පත් කලාවේ දී භාවිතයට ගන්නා ලද බැවිනි.

මෙකල වෙසෙන බොහෝ පුවත්පත් කලාවේදීන් වෙත දැකිය නොහැකි ඔහු සතුව පැවැති අනෙක් සුවිශේෂ ගුණාංගය වූයේ තමා සතු කුසලතාවන් අලෙවි කිරීම පිළිකුලෙන් යුතුව ප්‍රතික්‍ෂේප කිරීමයි.

වරප්‍රසාද අපේක්ෂාවෙන් වචනයක් හෝ ලිවීම තම වෘත්තිය පාවාදීමක් ලෙස ඔහු සැලකුවේය. අවශ්‍යතාවක් තිබුණිනම් ඉහළ තලයේ දේශපාලනඥයන් පමණක් නොව පුළුල් සිවිල් බලයක් සහිත රාජ්‍ය නිලධාරීන්, කලාකරුවන් හා ‍ලේඛයන් වෙත ළඟාවන්නට ඔහුට ඕනෑතරම් අවස්ථාව තිබුණි. එහෙත් ඔහු ඒ කිසිවෙකු මායිම් කළේ නැත. පහර දිය යුතු කවරෙකුට වුව නිලය බලා පහර දීම පුවත්පත් කලාවේ දී ඔහු විසින් අනුමත අධිෂ්ඨාන සහගත ස්ථාවරය විය.

“දිවයින” ඉරිදා සංග්‍රහයෙහි ප්‍රධාන කර්තෘ ධුරයෙන් අනිවාර්ය නිවාඩු ලබා ඔහුට ගෙදර යන්නට සිදුවූයේ තමා පිළිගත් පිළිවතෛහි පිහිටා ප්‍රහාරාත්මක කතුවැකියක් ලිවීම හේතුවෙනි.

ඉහළින් ආ අණට කීකරුවූ පුවත්පත් හිමිකරුවෝ පෑන පැත්තකින් තබන්නට ඔහුට බල කළහ.

දශක දෙකකට ආසන්න කාලයක් පුවත් පත වෙනුවෙන් ඔහු අතින් ඉටුවුණු මෙහෙවර අංශු මාත්‍රයකින් හෝ පුවත්පත් හිමිකරුවන් විසින් අගය කෙරුණු සැටියක් එහිදී දැකගත නොහැකි විය. එහෙත් ඒ අවස්ථාවේ ඔහුට දරාගන්නට සිදුවූ හුදෙකලාව රැකියාව අහිමිවීම හේතුවෙන් නිර්මාණය වූවක් පමණක්ම නොවේ. එම තනිවීම තමාට දැනුණ ආකරය ඔහු විසින් ලියන ලද දොරමඩලාව කාව්‍ය සංග්‍රහයේ පිළිගැන්වීමේ පාඨය හැටියට මෙසේ සටහන් කොට ඇත.

“මිතුරු වෙසින් සිටි ගනුදෙනු කරුවන් හැලීගිය පසු ඉතිරි වූ මිතුරන් කිහිපදෙනාට”

දයාසේන ගුණසිංහ අනිවාර්ය නිවාඩු ලබා මහරගම ගම්මාන පාරේ නිවෙසෙහි විවේක සුවයෙන් පසුවෙද්දී දිනක් කිත්සිරි නිමල් ශාන්තත් මමත් ඔහුගේ සුවදුක් බලන්නට ගියෙමු. සුපුරුදු සුහද බවින් යුතුව අප පිළිගත් ඔහු බොහෝ වේලාවක් කතා බහ කරමින් සිටියේ තම අතීත අත්දැකීම් පිළිබඳවයි. ‍ලේක්හවුස් ආයතනයෙන් ඉවත්ව ඒම හා “දිවයින” ඉරිදා සංග්‍රහයේ කටයුතු කළ ආකාරය ආවර්ජනය කරමින් ඔහු දීර්ඝ විස්තරයක් කළේය. මහාචාර්ය සරත් විජේසූරිය විසින් මෑතදී දයාසේන ගුණසිංහ පිළිබඳ ලියන ලද සටහනක් කියවද්දී මට යළි සිහිපත් වූයේ එදා ඔහු කිත්සිරිත් මාත් ඉදිරියේ අනාවරණය කරන ලද අවර්ජනාත්මක විවරණයයි. ගුණසිංහ මහතා විසින් කරන ලද ප්‍රකාශයක් උපුටා දක්වමින් එහි මෙසේ සටහන්ව තිබුණි,

“ අපි ‍ලේක්හවුස් එකෙන් ආවේ එක්තරා සතුටකින්. අපට නිදහසේ ඉඟිලෙන්න ඉඩලැබෙන බවක් දැනගත්ත එක තමයි, ඒකට ප්‍රධාන හේතුව. ඇත්තටම අපට නිදහසේ ඉඟිලෙන්න ඉඩ ලැබුණා. පත්තරේ ලාභ ලබන්න පටන් ගත්තා, හිතුවට වඩා බොහෝම ඉක්මණින්ම. ඊට පස්සේ අපට දැනෙන්න ගත්තා, අපට ඕනෑ තරම් ඈතට ඉඟිලෙන්ඩ ඉඩ නැති බව, කකුලකට තොණ්ඩුවක් දැම්මා. ඊට පස්සේ යන්න ලැබිච්ච උපරිම දුරට අපි ඉගිලුණා. ඒ ගමන කකුල් දෙකටම තොණ්ඩු දැම්මා. මං දැන් අතේ පෑනක් නැති පත්තර කාරයෙක්.

මේකෙන් කියන්නේ මොකක්ද? පත්තර කලාව අපේ. පත්තර ධනපතියන්ගේ. අපි පත්තරවල ශක්තිය වුණාට පත්තරවල බලය ධනපතියන්ගේ. මොනම ආණ්ඩුවක් එක්කවත් ධනපති පත්තර කාරයෝ හැප්පෙන්ඩ, ඇත්තටම තරහ වෙන්ඩ සූදානමක් නැහැ. ඒකට හේතුවක් තියෙනවා. පවතින සමාජ ක්‍රමය වෙනස් කරන්ඩ ධනපති පක්ෂයට ඕනෑ කමක් නැහැ. ඒ ඇත්ත අපි හොඳටම දන්නවා. ඒත් මොකද කරන්නේ. අපි අපට අයිති නැති පිට්ටනිවල ක්‍රීඩකයෝ විතරයි. අපේ ශක්තියෙන් තරග දිනුවට ඒකෙන් ඇත්තටම දිනලා තියෙන්නේ අපි නෙවේ. පිට්ටනියත් අපේ නෙවේ. අන්තිමට ක්‍රීඩාවත් අපේ නෙමේ. ජයග්‍රහණයත් අපේ නෙමේ."

වර්තමාන පුවත්පත් කලාවේදියාට මේ ආකාරයෙන් තමාට අහිමි පිටියක ක්‍රීඩා කරන්නට සිදුව පැවැතීම අද වඩාත් බැරෑරුම් ආකාරයෙන් සාකච්ඡාවට භාජන විය යුතු මාතෘකාවකි. පුවත් කලාවේ නොවිසඳී පවතින ගැටලු සහ අර්බුද රැසකට එමගින් පිළිතුරු අපේක්ෂා කළ හැකි බැවිනි. ඒ ආකාරයේ පර්යේෂණයක නිරත වන කවරෙකුට වුව දයාසේන ගුණසිංහගේ පුවත්පත් කලා මෙහෙවර අමුද්‍රව්‍ය ආකරයකි. කියා නිමකළ නොහැකි තරම් විශාල අත්දැකීම් සම්භාරයක් ඒ ආශ්‍රයෙන් ඔහු ලබාගෙන තිබිම ඊට හේතුවයි. එවන් ඇතැම් අත්දැකීම් පුවත්පත් කලාව සමග පමණක් නොව ජීවිතය සමගද තදින් බැඳී තිබුණි. ඔහුගේ අවමංගල්‍යය, ඔහු අවසන් වරට සේවය කළ පුවත්පත් ආයතනයට පමණක් නොව ඔහුගේ ප්‍රධාන ගෝලබාලයන්ටද තහනම් අවස්ථාවක් වීම හුදු ආවේගාත්මක සිදුවීමක් නොවේ. වර්තමාන පාරිභෝජනවාදී සමාජයේ ‍පොදු මානුෂික සබඳතාවන් කොතරම් පරිහානියකට පත්ව පවතීද යන්න තහවුරු කරන විපරීත සිදුවීමකි.

දයාසේන ගුණසිංහගේ අභාවයෙන් පසු ඔහු හා සමකළ හැකි වෙනත් පුවත්පත් කලාවේදියෙකු ජාතික පුවත් පතක කර්තෘ පදවියට මතෛක් පත්ව නැත. අනාගතයේදී බිහිවණු ඇතැයි නිසැකව පැවැසීමටද පුළුවන්කමක් නැත. එය හුදෙක් පුද්ගලයා පිළිබඳ ගැටලුවක් පමණක් නොවේ. වර්තමාන සමස්ත සමාජ දේශපාලන හා සංස්කෘතික පරිහානියේ ප්‍රතිඵලයකි.

පියනන්ද මල්දෙණිය
උපුටා ගැනීම - ලක්බිම