Hot!

දැන් රටම වකුගඩු රෝග අවදානමේ

වැඩි අස්‌වනු නෙලීමේ විප්ලවීය වෙනස ගෙන ආ මරණීය වේදනාව 



තිsස්‌ වසරක්‌ පුරා රටේ පැවති යුද්ධය මේ වන විට අවසන් වී හමාරය. රට තුළ දැන් යුධ බියක්‌ නැත. ජනතාවට මහමගට බැස ගමනක්‌ බිමනක්‌ නිදහසේ යා හැක. උදා වූ නිදහසටද මේ වන විට වසර කීපයක්‌ ගත වී ඇත. එහෙත් .. රටේ සිව් කොනින් නිහඬ මාරයෙක්‌ හිස ඔසවා ඇති බවත් හේ විසින් දිනකට මිනිස්‌ ජීවිත 13 ක්‌ බැගින් රටෙන් උදුරාගන්නා බවත් ඔබ නොදන්නවා විය හැක.

පසුගියදා සිදුකරන ලද සමීක්‍ෂණයක ප්‍රතිඵල මගින් මේ තොරතුරු රටට අනාවරණය වූ අතර එය රටේ සියලු රෝහල් මුල්කොට ගෙන සිදුකළා නම් දිනකට රටට අහිමි වන මිනිස්‌ ජීවිත ගණන වඩාත් ඉහළ අගයක්‌ ගන්නා බවත් එම සමීක්‍ෂණයෙන් හෙළිදරව් විය.

සිදු නොවිය යුතු බොහෝ දැ සිදුවෙමින් පවතින වටපිටාවක උදා වී ඇති මෙම අවාසනාවන්ත තත්ත්වය පිළිබඳ රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් අනාවරණය කොට ඇත්තේ රටක්‌ ලෙස අප වකුගඩු රෝගය" වෙත ශීඝ්‍රයෙන් ගොදුරු වෙමින් පවතින බවය. ඒ මහතා විසින් ප්‍රකාශ කර ඇත්තේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සුනිල් විමලවංශ මහතා විසින් සිදුකළ සමීක්‍ෂණයක ප්‍රතිඵල වන අතර ඔවුන්ගේ අදහස වන්නේ ආහාර මගින් විෂ රසායන ද්‍රව්‍ය මිනිස්‌ ශරීරයට එකතුවීම මීට හේතුව බවය.

කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතයෙන් මේ වන විට අපේ රට "කප් " ගසා ඇතත් මීට දශක කීපයකට එපිට අපට ආවේණික වූ වී වර්ග රාශියකින්, සරු පසකින් යුත් ගොවි බිම් ජාතිය සතුව පැවතිණ. සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තයක්‌ මගින් රට ස්‌වයංපෝෂිත වී තිබුණේය. එකල පස පෙරළා සරු අස්‌වනු රැස්‌a කරමින් ජාතියේ මහ පොළොව දහදියෙන් සරුකළ පරපුරක්‌ පිළිබඳ ඉතිරිව ඇති මතකය අද පවා උපදවනු ලබන්නේ උදාර වූ හැඟුමන්ය. 

1960 වසරේදී ලොවට හරිත විප්ලවය හඳුන්වාදීමත්, ඒ මගින් ලෝක ආහාර නිෂ්පාදනය වැඩි කිරීමටත් සැලසුම් කිරීමේදී කෙටි කලකින් වැඩි අස්‌වනු නෙළීමේ ක්‍රම වෙත ලෝකය පෙළඹීමත් සමග අපේ රටද එම "විප්ලවීය වෙනස" සාදරයෙන් පිළිගත් අතර එය රටට අද "මරණීය වේදනා" ගෙන දෙන්නක්‌ බවට පත්ව ඇත.

දිනකට ආසන්න වශයෙන් මරණ 13 ක්‌ සිදු කරන තවත් විශාල පිsරිසක්‌ ඒ සඳහා සූදානම් කරන "වකුගඩු මාරයා" අප විසින් පිළිගෙන ඇත්තේ අකමැත්තෙන් නොව කැමැත්තෙන්ය. ඉතිහාසය විසින් ඊට සාක්‍ෂි සපයනු ඇත.

සාම්ප්‍රදායික වගා කටයුතුවලින් ඉවත්වීම, දේශීය බීජ වෙනුවට විදේශයන්ගෙන් ගෙන්වූ බීජ ලක්‌ පොළොව මත වගා කිරීම එතෙක්‌ ස්‌වයංපෝෂිතව පැවැති ජාතිය සතු අස්‌වනු ගබඩා තව තවත් අස්‌වනුවලින් පිරවීම ආදී නහුතයක්‌ "හීන" ලක්‌ පොළොව මත "සැබෑවක්‌ බවට පත්කිරීමට වැර යොදා ඇත්තේ අප විසින්මය. ඒ තුළින් බහු ජාතික කොම්පැණි සැබෑ කරගන්නට බලා සිටි දීර්ඝකාලීන අරමුණු පෙර නුවණින් විමසා නොබලන ලද්දේද අප විසින්ය. ජාවාරම්කාර සමාගම් ඒ සඳහා පළමුව අපට කර ඇත්තේ රෙදි සපයා දීම අතර... මසා ගත්තේ අප විසින්මය.

කෘමිනාශක, වල් නාශක, දිලීර නාශක යන කුමන නාමකරණයක්‌ම යටතේ හෝ පැමිණි විෂ රසායන ද්‍රව්‍ය අපේ මහ පොළොව මත මේ වන විට පැළපදියම්ව හමාරය. පළමුව එම විෂ රසායන ද්‍රව්‍ය මගින් ආහාර නිපදවීම සඳහා අප සතුව තිබූ සාම්ප්‍රදායික ඥනයට වස පෙවූ අතර දෙවනුව සිදුකරනු ලැබුවේ රට සතුව තිබූ සරු පස මරා දැමීමය. මේ වන විටත් රටේ මහ පොළොව සතුව තිබූ මතුපිට සාරවත් පස්‌ තට්‌ටුව මිය පරලොව ගොස්‌ අවසන්ය. නැවත අස්‌වැද්දීම පිණිස පළිබෝධ නාශක නැතුවම බැරිය. ආහාර නිෂ්පාදනයෙන් වැළකිය නොහැකිය. එහෙම පොළොවක බහින බතල අලයද කිරට නැමෙන වී කරලද වස විසෙන් සමන්විතය.

වකුගඩු රෝගය පරතික උවදුරක්‌ බවට පත්වෙමින් ඇත්තේ එවැනි ආහාර අනුභවයත් සමගය. 

1990 දශකයේ සිට රජරට මුල්කරගෙන වකුගඩු රෝගය හිස ඔසවන්නට වූ අතර පර්යේෂණවලින් තහවුරු කොට ඇත්තේ රජරට පොළොවට ආවේණික රතු දුඹුරු පසත්, එහි බහුලව දක්‌නට ලැබෙන යකඩ අයනත් ජලයේ කිවුලත් වගා කටයුතු සඳහා යොදා ගන්නා අසීමිත වූ රසායන ද්‍රව්‍යවල ඇති විෂ සංඝටක සමග එකතුව රජරට ජීවිත වකුගඩු රෝගයට ගොදුරු කරන බවය.

දස මහා යෝධයන් සඳහා බත සැපයූ "රජරට පොළොව" අද පත්ව ඇති තත්ත්වය පිළිබඳ උපදවන ශෝකය තවත් උත්සන්න කරවන්නේ ඒ ප්‍රදේශයන්හි ජීවත්වන අහිංසක ගොවි ජනතාවගේ ජීවිත ඉරණම වකුගඩු උවදුර හේතුවෙන් මරණයෙන් කෙළවර වන ෙ€දවාචකයක්‌ බවට මේ වන විටත් පත්ව ඇති නිසාය.

වාර්තාවන ආකාරයට බහුල වශයෙන් රජරටින්ද රටේ අනෙකුත් ප්‍රදේශ තුළින්ද ප්‍රතිශතයක්‌ ලෙස වකුගඩු රෝගීන් 15.5% ප්‍රමාණයකින් ඉහළ ගොස්‌ ඇත. ඉදිරියේදී මෙම තත්ත්වය තවදුරටත් ඉහළ යැමේ අවදානමක්‌ද ඇත. විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පසුගියදා මාධ්‍යයට අදහස්‌ දක්‌වමින් ප්‍රකාශ කර ඇත්තේද ලෝකයේ වැඩිපුරම වගා කටයුතු සඳහා කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතා කරන රටක්‌ බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් රටේ ජනතාව බහුල වශයෙන් ආහාරයට ගන්නේ වස විෂවලින් සමන්විත ආහාර බවත්ය. ඒ මහතාට අනුව හඳුනාගෙන ඇති එක්‌ සත්‍යයක්‌ වන්නේ දේශීය බීජ වලට මුල්තැන දෙමින් සිදුකරන කෘෂිකාර්මික රටාවක්‌ තුළින් නිරෝගී සම්පන්න සමාජයක්‌ ඇතිකළ හැකි බවය. ඔවුන්ගේ උත්සාහය වී ඇත්තේද එයමය.

රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරී සංගමයත් පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ද එක්‌ව කොළඹ 07 ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්‌ථානයේදී පසුගියදා දියත් කළ වස විසෙන් තොර ආහාර අලෙවි කිරීමේ මධ්‍යස්‌ථානය එහි මූලාරම්භය වන අතර ඔවුන්ගේ අදහස වී ඇත්තේ කාබනික පොහොර භාවිතය සහ අප සතුව පැවති සාම්ප්‍රදායික ඥනය භාවිත කරමින් ආහාර නිෂ්පාදනයේ යෙදීමය. ඒ මගින් වකුගඩු රෝගය ඇතුළු අනෙකුත් මාරාන්තික රෝගවලින් තරමක්‌ දුරට හෝ ජනතාව ඈත් කර තැබීමය.

එය මහා සංඝරත්නය සමග එක්‌ව වෛද්‍යවරු විසින් මෑතකදී ගත් එඩිතර තීරණයක්‌ වීමත් ඒ සඳහා ජනාධිපතිවරයාගේ සහභාගිත්වය හිමිව තිබීමත් බොහෝ දෙනාගේ ප්‍රසාදයට කරුණක්‌ වී ඇත.

බහු ජාතික සමාගම් සහ මෙරට ඒජන්තයන් විසින් රටේ ජීවිතවලට "වස කැවීම" නතර කිරීම පිණිස මහා සංඝරත්නය සහ වෛද්‍යවරු විසින් පෙරමුණ ගැනීම වටිනාකමක්‌ සහිත දෙයක්‌ වන්නේ රටේ මහ ජනතාව ඒ දෙපාර්ශ්වයටම ඇහුම්කන්දීමට වැඩි කැමැත්තක්‌ දක්‌වන නිසාවෙන්ය.

රටේ ජනතාවටද මේ මොහොතේ වගකීමක්‌ පැවරී ඇත. වකුගඩු මාරයාගෙන් බේරීම පිණිසත් තවදුරටත් නිදුකින් ජීවත්වීම පිණිසත් සමාජයක්‌ ලෙස අපද ආකල්පමය වෙනසකට ලක්‌විය යුතුය. "ආහාර ගන්නේ ජීවත්වීම පිණිස මිස ජීවත් වන්නේ ආහාර පිණිසය" යන වැරදි ආකල්පයෙන් මිදිය යුතුය. අපේ රට බහු ජාතික කොම්පැණිකාරයන්ගේ අල බහින භූමියක්‌ නොවී තිබූ යුගයක ජීවත් වූ පැරැන්නන්ගේ ජීවිත නිරෝගීව තිබූ අතර ඔවුන් මිය පරලොව ගියේ රෝහල් ඇඳන් මත අකලට රෝගීව නොව පරමායුෂ හමාර වූ තැනය.

ආහාර යනු ජීවත්වීම පිණිස මහ පොළොව විසින් මිනිසාට ලබාදෙන වටිනාම ප්‍රදානය වන අතර එය පිරී පැවතිය යුත්තේ පෝෂණයෙන් මිස වස විසවලින් නොවිය යුතුය. වකුගඩු රෝගය ඇතුළු තවත් බෝ නොවන මාරාන්තික රෝග රැසකට හිතකර ලෙස ඇසුරුම් කොට මිලදී ගැනීම සඳහා වෙළෙඳපොළේ තබා ඇති තවත් බොහෝ ආහාර වර්ග මිලදී ගැනීමේදී එහි ඇති පෝෂණය ගැන ජනතාව වඩාත් දැනුවත් විය යුතුය. එසේ නොවුනහොත් "මාරයා" ඒ තුළින්ද ඇඟට ගොඩවිය හැක.

තුන් වේල රතු බතින් පිරිමසාගත් අතීතයක සිට පැවත එන වර්තමාන පරපුර මේ වන විට දේශීය සහලින් සමු අරන් "රයිස්‌" දක්‌වා පරිවර්තනය වී ඇතත් එහි ඇති රසයත්, පැහැයත් යට ඇත්තේද රස සහ වර්ණකාරක ලෙස එන වස විසද විය හැක.

අද වන විට අන් කවරදාටත් වඩා ආහාර තුළට වස විස එකතු වී ඇති බවත් ඒ හේතුවෙන් මාරාන්තික වකුගඩු රෝගයට ගොදුරුවන ජනතාව දිනෙන් දින ඉහළ යන බවත් ප්‍රබල කතිකාවතක්‌ බවට පත්ව ඇති වටපිටාවක්‌ තුළ ඉන් මිදීමට රටක්‌ ලෙස අප අත්වැල් බැඳගත යුතුය.

නිහඬ මාරයකු ලෙස නැගී සිටිමින් ජාතියම ලෙඩ කිරීමට බලා සිsටින වකුගඩු උවදුර රටින් පලවා හැරිය යුතුය. ඒ සඳහා පරගැති චින්තනයෙන් මිදී යළිත් දේශීය චින්තනයක්‌ වෙත රට රැගෙන යා යුතුය. ඒ සඳහා රජය විසින් සුදුසු ක්‍රියාමාර්ග ගත යුතු අතර රට වැසියන් ලෙස අපද අතීතයෙන් ගුරුහරුකම් ලබමින් ආකල්පමය වෙනසකට මුල පිරිය යුතුය. 

රුවන් ජයවර්ධන
දිවයින