Hot!

මම ගීත ලිවිමම අත්හැර දාලා තියෙන්නේ. සුනිල් ආරියරත්න



'කුස පබා' චිත්‍රපටියෙන්
ජේෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න
"ඉතිහාසය පෙන්නු පමණින්වත් බෞද්ධ වූ පමණින්වත්  චිත්‍රපටි සාර්ථක වෙන්නැහැ"

"මම විශ්වාස කරන්නැහැ රාජ්‍ය මතවාදයට උඩගෙඩිදිම සදහා 'ඉනි අවන්'   අශෝක හඳගම හැදුවයි කියන එක"


මහඇදුරු සුනිල් අරියරත්නයන් ලංකික ගීතයේ මෙන්ම චිත්‍රපටයේ ද  තමන්ගේ අනන්‍ය බව ප්‍රකට කල නිර්මාණ කරුවෙක් වන අතර මෑත කාලීනව ඔහු අතින් නිමවූ " කුස පබා" චිත්‍රපටිය මෙරට තුල අදායම් වර්තා තැබීමට පවා සමත් වුනි.  ලාංකීය චිත්‍රපට ක්‍ෂත්‍රය තුල ඇති  නැගිටීම් සහ බිද වැටීම් මෙන්ම නව ප්‍රවණතා පිලිබවත්,   මහඇදුරුතුමන් ගීතයෙන් කල සමාජ මෙහෙවර ගිලිහි යාම පිලිබදවත් ලංකා ගාර්ඩියන්   සමග  සංවාදයක් සිදු කල අතර මහඇදුරුතුමන් මෙසේ සිය අදහස් පෙලගස් වන ලදී. ජේෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න ශ්‍රී ජයවර්දනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ ජේෂ්ඨ මහාචාර්යතුමන්  ලෙස තම සේවය විද්‍යාර්ථයින්ට ලබ දෙමින් සිටි.

ප්‍රශ්නය- ලාංකීය සිනමාවේ ආරම්බය සහ  මේතාක් ගමන්මග කොහොමද මහාචාර්යතුමා හදුනා ගන්නේ?

මහාචාර්ය සුනිල් අරියරත්න-
මම සිනමාව දෙස හැමදාමත් බලන්නේ සුබවාදී ලෙස, ගෙවුණු හැට වසර තුල බොහෝ ජයග්‍රහණ අත්පත්කරගෙන තිබෙනව.  ආරම්බය හදුනාගැනීමට  ලැබෙන්නේ දකුණු ඉන්දීය සිනමාවේ කොපියක් ලෙස ඒ කියන්නේ භාෂාවෙන් පමණක් සිංහල වි රඟපැමෙන්, ඡායාරුපකරණයෙන්, ගීතයෙන් මේ හැමදේකින්ම දකුණු ඉන්දීය වෙලා තිබුන සිනමාව මේ වන විට පියවරෙන් පියවර විශාල ගමනක් පැමිණ තිබෙනව. මුලින්ම අපි ලබාගනු ලැබූ ජයග්‍රහණය වුනේ දකුණු ඉන්දීය ස්වරුපයෙන් මිදීමට ගනුලැබූ උත්සාහය. ඒ කියන්නේ අපේ දේශීය අනන්‍යතා ලක්ෂණ සිනමාවට එක් කරගැනීම තමයි අපි මුලින්ම කලේ. ඒ වගේම චිත්‍රපටියේ අන්තර්ගතයෙන් සේම චිත්‍රපටියේ තාක්ෂණික පැත්තෙන්ද වෙනස් වීම මෙත් සමග සිදුවුණා, වෙස්ගැන්වවිම් ක්‍රම ඡායාරුපකරණයෙන්   සංගීතයෙන් රගපැමෙන් මේ සියල්ල  වෙනස් වීමට උණා. මුල් කාලයේ සිරිසේන විමල වීර මේ සදහා පුරෝගාමී කාර්යභාරයක් ඉටුකලා. ඉන්පසු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් "රේකාව"  චිත්‍රපටිය සමගින් යෝද පියවරක් ඉදිරියට තබමින් සිනමාව දේශීය කරගනු ලැබුවා පමණක් නෙවෙයි  ඔහු තවත් ඉදිරියට යමින් අපේ සිනමාවට මුල් වරට විදේශිකයන්ගේ අවදානය යොමුකරන ස්ථානයට ගෙන එනු ලැබුවේ 1956   "රේකාව" චිත්‍රපටියත්  සමග. එතනින් පසු මේදක්ව අපි ජාතියන්තර ජයග්‍රහණ රාශියක් හිමිකරගෙන තිබෙනව. ඒ වගේම  ලෙස්ටර් ජේම්ස් පිරිස්ගෙන් පසු තරුණ පරම්පරාවේ විශාල පිරිසක් ජාතියන්තරයට ගොස්තිබෙනව. ඒක නිසා මගේ නිගමනය වෙන්නේ අපි  සිනමාව තුල බොහෝ ජයග්‍රහණ අත්පත් කරගනුලැබූ පිරිසක් බවයි.  
සිංහල සිනමාවේ යථාර්ථවාදී
     ඇරබුම 'රේකාව'

ලංකා ගාර්ඩියන්-  මහාචාර්යතුමනි අපි අපේ මතෘකවට ප්‍රවිෂ්ට වුනොත් වර්තමානය වෙනකට මොනවද අපිට හදුනා ගැනීමට ලැබෙන නව මතවාදයන් නිර්මාණකරුවන් තුල

මහාචාර්ය සුනිල් ආරියරත්න- 
මුලින්ම මිට දශක කිහිපයකට ඉහත තත්වය පිලිබදවත් කතාකළ යුතුයි. ලෝකයේ ඕනෑම කලාවක් තුල දක්නට ලැබෙන දේ තමයි ජනප්‍රියත්වයට පත්විම, පසුබෑම හා නැවත ශක්තිමත් විම කියන කරනා. මෙක ලංකාවේ සිනමාව තුලත් අපිට දක්නට ලැබෙනව. ඒ වගේ ලංකාවේ සිනමාව තුලත් තිබුණ සිනමාව පසුබැහැපු කාලපරිච්චේදයක්. ඒකාකාරී සිනමාවක්,  වාණිජ නමින් හැදුනු වාණිජ වටිනාකමකුත් නැති, කලාත්මක වටිනාකමකුත් නැති, තාක්ෂණික වශයෙන් පල්ලම් බැහැපු ඉතාම දුර්වල සිනමාවක් කාලයක් තිබුණා. එත් එක්කම එක යුගයක කලාත්මක චිත්‍රපට හැදුනෙත් නැහැ, වාණිජ චිත්‍රපට හැදුනෙත් නැහැ චිත්‍රපටි නැරබීමට ජනතාව සිනමා ශාලා වලට ආවෙත් නැති යුගයක් තිබුන. තවදුරටත් බැලුවොත් රුපවාහිනියේ පැමිණීම, 71සහ 88 තුරුණ නැගිටීම්, එල්. ට් .ට්.ඊ  යුද්ධය ආරම්බ විම සහ ඒ එක්කම රාත්‍රී දර්ශන නොපෙන්වීම වගේම විශාල සිනමාශාලා ප්‍රමාණයක් විනාශ වීම සහ වැසි යාම  සිදුවුණ. මේ ආදී විශාල අර්බුදයකට මුහුණ දීල සිනමාව බින්දුවටම වැටුණු කාලයක් තිබුණ. ඒ අවදිය පසුකරලා තමයි අද දවසට ඇවිත් තිබෙන්නේ.
                                 අද දවස ගැන බැලුවොත් මං හිතනව සිනමාව නැවත සුභවාදී ගමනක් ආරම්බ කර තිබෙනවයි කියල. මේ සුභවාදී බව දෙවිදියකින් හදුනාගැනීමට පුළුවන්. එකක් තමයි අපේ චිත්‍රපට ජාතියන්තර ජයග්‍රහණ හිමිකරගෙන තිබීම. මම විශ්වාස කරන විදිහට ලෙස්ට ජේම්ස් පිරිස්ගෙන් පසුව අපේ රටේ බිහිවුන විශිෂ්ටම සිනමාකරුවන් කිහිපදෙනා අතරත් ප්‍රමුකස්ථානය ගන්නව ප්‍රසන්න විතානගේ ඒ වගේම නව පරපුරේ සිනමාකරුවන් වන අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර ඇතුළු තරුණ සිනමාකරුවන් සිනමාව ජාතියන්තරයට ගෙනගොස් තිබෙනව. මේ නිසා අද ජාතියන්තර ජග්‍රහණ වල සතුට භුක්ති විදිමින් ඉන්නව. අනෙක් පැත්තෙන් සිනමා ශාලාවලට වාණිජමය අතින් අතිශය දැවැන්ත ජයග්‍රහණ හිමිකර ගැනීමට හැකි චිත්‍රපට පැමිණෙමින් තිබෙනව. මේ ප්‍රවණතා දෙක නිසා සිනමාව අද යහපත් අස්ථානයක(ස්ථානයක) තිබෙනවයි කියල කියන්න පුළුවන්.
                               ඔබ මගෙන් නැවත ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ වාණිජ සාර්ථකත්වයක් ලබන  සිනමාකෘති  කියල කියන්නේ ඉතිහාසය හාරඅවුස්සන සිනමාවද  කියල, ඔව් අපේ සිනමාවේ එක එක කාල වලදී විවිධ ප්‍රවණතා ඇතිවෙනව. සිනමාව බංකොලොත් වුන කාලේදී ඇති වු ප්‍රවනතාව තමයි කාම සිනමාව.    කාම සිනමාව අපේ සිනමාවේ අධ්‍යාත්මයත්, ජනතා අධ්‍යාත්මයත්  විනාශ කරපු, මොනම අංශයකින්වත් හොදයි කියල කියන්න බැරි ප්‍රවනතාවක්. ඒ චිත්‍රපටි දිවුව නමුත් ඒ දුවපු චිත්‍රපටි තුනක් හතරකින් නතර වුණා. අද වන විට සිංහල කාම චිත්‍රපටියක් නෙවෙයි විදේශිය කාම චිත්‍රපටියක්වත් වාණිජමය සාර්ථකත්වයට පත් නොවෙන තැනට පත් වි තිබෙනව. මේ වාණිජමය සාර්ථකත්වයක් ලබන්නේ ඓතිහාසික සිනමා රැල්ල. මේතාක් නිෂ්පාදනය වූ  ඓතිහාසික සිනමකෘති බලනකොට මේ එකම චිත්‍රපටියක්වත් මිනිස් අධ්‍යාත්මය, ජනතා අධ්‍යාත්මය විනාශ කරන චිත්‍රපටි නෙවෙයි. ඒ වගේම ඉතිහාසය විකුර්ති කල සිනමාකෘතිත්  නෙවෙයි. ඒ වගේම මොනයම් ආකාරයක හෝ ප්‍රමිතියක් පවත්වාගෙන ගිය චිත්‍රපටි. මේවා සර්ව සම්පුර්ණ කාලාත්මක නිර්මාණ කියල මම කියන්නැහැ නමුත්  ඊට කලින් සිනමාවේ ඇති වුනු රැලිත් සමග බලන විට මේ රැල්ලේ චිත්‍රපටි වල යම් ප්‍රමිතියක් අපි දැක්කා.ඒක නිසා මේ චිත්‍රපටි තුලින් සිනමාවට හෝ ජනතා අධ්‍යාත්මයට හානියක් වෙනවයි කියල මං හිතන්නැහැ. සිනමාවේ පැවැත්ම සදහා වාණිජ සිනමාවක් අවශ්‍යයි ඉතින් ඒ වාණිජ සිනමාව අද හිමිකර ගෙන තිබෙන්නේ ඉතිහාස රැල්ල ඒක හැමදාම තියන එකක් නැහැ. කොහොම නමුත් වැසීගිය සිනමාශාලා නැවත ඇරෙන, සිනමාශාලා වල මකුළුදැල් කැඩෙන, සිනමාශාලා හිමියන් සහ අදාල අනෙක් පාර්ශව සිනමාව ගැන උනන්දුවක් දක්වන  තත්වයකට අද සිනමාව පැමිණ තිබෙනව. අනෙක් පැත්තෙන්  කලාත්මක සිනමාව ජයග්‍රහණ අත්පත් කර ගනිමින් ඉන්නව. මේ නිසා වත්මන් සිනමාව සුභවාදී තත්වයක තිබෙනවයි කියල මම විශ්වාස කරන්නේ.

ලංකා ගාර්ඩියන්- ඇත්තටම මහාචාර්යතුමා ඔය ස්ථානයට තමයි මට  එන්නත් අවශ්‍ය මොකද  වර්ත්මනයේ නිර්මාණය වන බොහෝ චිත්‍රපට තුලින් සිදුවන්නේ අධිපති මතවාදය පෝෂණය කිරීමක් කියන එක මතු වෙනව ඒ කියන්නේ සිංහල බෞද්ධ මතය අනෙක් සුළුජතින්මත බලෙන් තැන්පත් කරනව කියන එක  මේ පිළිබද මොකක්ද ඔබතුමාගේ අදහස

මහාචාර්ය සුනිල් ආරියරත්න-
මම ඒක විශ්වාස කරන්නැහැ මොකද අපේරටේ  බෞද්ධ චිත්‍රපටි වලට තිබෙන ඇල්ම ගත්තොත් ඒක ඉතාම ස්භාවික දෙයක්. ඒක අධිපති මතවාදය කියල කියන්න බැහැ මොකද අපේ රටේ බහුතරයක් ඉන්නේ බෞද්ධ ජනතාව ඒ නිසාම බෞද්ධ චිත්‍රපටියක් නැරබීමට ඔවුන් පැමිණීම ස්වාභාවිකයි.  තවත් දෙයක් තමයි බෞද්ධ වූ පමණින් චිත්‍රපට සාර්ථක වෙන්නේත්  නැහැ,මේකට  අපේ සිනමා ඉතිහාසයෙන්ම උදාහරණ තියෙනව. " වෙසතුරු සිරිත" වගේ චිත්‍රපටියක්, මේක තමයි සිනමාවට නැගුනු පළමුවෙනි ජාතක කථාව, ඒ වගේම වෙස්සන්තර ජාතක කථාව තමයි අපේ පන්සීය පනස්  ජාතක පොතේ තියන ජනප්‍රියම ජාතක කථාව නමුත් ඒ චිත්‍රපටිය වාණිජමය වශයෙන්  සාර්ථක  වුනේ නැහැ. ඒ වගේම අපේ බෞද්ධ සාහිතයේ තියෙන අනුවෙදනිය කථාවක් තමයි පටචාර කථාව සහ කුණ්ඩලකේශී  කථාව  නමුත් මේ එකම චිත්‍රපටියක්වත් වාණිජ වශයෙන් සාර්ථක වුයේ නැහැ.  එනිසා බෞද්ධ වූ පමණින් චිත්‍රපටියක් සාර්ථක වෙනවයි කියන එක පිළිගන්න බැහැ. ඒ වගේම ඉතිහාසය මුල්කරගත් පමණින් චිත්‍රපටි සාර්ථක වෙනවයි කියන එකත් පිළිගන්න බැහැ. මේ සදහා උදාහරණ විශාල ප්‍රමාණයක් තිබෙනව. "වීර පුරන් අප්පු", "වීර මද්දුම බණ්ඩාර"  වගේ චිත්‍රපටි සම්පුර්ණ අසාර්ථක වුන චිත්‍රපටි. ඒක නිසා ඉතිහාසය පෙන්නු පමණින්වත් බෞද්ධ වූ පමණින්වත්  චිත්‍රපටි සාර්ථක වෙන්නැහැ. බෞද්ධ බහුතරය හිටියත් සිංහල බහුතරය හිටියත් චිත්‍රපටියක් නරබන්නේ ඒ චිත්‍රපටියේ නැරබීමට තරම් වන දෙයක් තිබෙනවානම් පමණයි. ඉතින් එම නිසා අධිපති මතය මෙතුලින් ඉස්මතු වෙනවයි කියන එක පිළිගත නොහැකි දෙයක්.

ලංකා ගාර්ඩියන්- යුද්ධයේ නිමාවත් සමග අපට දකින්න ලැබෙන දේ තමයි නිර්මාණ කරුවන් මතවාදීව ගත්තොත් බෙලහීන වූ බවක්, යුද්ධය සහ එහි නිමාව ඇතැම් නිර්මාණ කරුවන්ගේ නිර්මාණ වලට ප්‍රබල බලපෑමක් දකින්න ලැබෙනව තව දුරටත් කියනවනම් අශෝක හඳගම වගේ නිර්මාණ කරුවන් තුල ඒ බව පැහැදිලිව හදුනාගැනීමට ලැබෙනව. මේ වෙනස්විම  පිළිබද මහාචාර්යතුමා දකින්නේ කොහොමද

මහාචාර්ය සුනිල් ආරියරත්න-
  ඇත්තටම ඕනෑම සිනමාධාරාවක් බැලුවොත් විවිධ චිත්‍රපටිකරුවන් නිර්මාණය කරන්නේ විවිධ වූ චිත්‍රපට. ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ ඉතාම විශිෂ්ඨ ගනයේ චිත්‍රපටි හැදෙන අතරේ  ඉතාම වාණිජවාදි චිත්‍රපටි හැදෙනව. ලංකාවෙත් විවිධ චිත්‍රපටි කරුවන් ඇල්ම දක්වන්නේ විවිධ විෂයන්වලට. ඒක අපට වලක් වන්න බැහැ. අශෝක හඳගම සිනමා ශෛලය බැලුවොත් ඔහු ප්‍රියකරන අන්තර්ගතය අනෙක් අයට වඩා වෙනස්,

ලංකා ගාර්ඩියන්- සමාවෙන්න මහාචාර්යතුමා මං මතුකලේ මෙහෙම දෙයක් නිර්මාණකරුවන් තමන් හිටිය මතවාදය යුද්ධය නිමාවත් සමග වෙනස් වෙනව මෙන්න මේ කාරනේ කොහොමද ඔබතුමා දකින්නේ

මහාචාර්ය සුනිල් ආරියරත්න-
"ඉනි අවන් " චිත්‍රපටිය ගැන ඔබ ඔය අහන්නේ, ඒ චිත්‍රපටිය සාකච්චාවට පාත්‍ර වෙලා තිබෙනව මේක රාජ්‍ය මතවාදයට උඩගෙඩි දීම සදහා කරපු නිර්මාණයක්ද එහෙම නැත්නම් සැබෑ කරුණුද මේකේ කථාකරන්නේ කියන එක ගැන සාකච්චාවක් තියෙනව. නමුත් මම විශ්වාස කරන්නැහැ රාජ්‍ය මතවාදයට උඩගෙඩිදිම සදහා "ඉනි අවන් "  අශෝක හඳගම හැදුවයි කියන එක.  ඊට වඩා යථාර්තය විනිවිධ දකින නිර්මාණයක් හැටියට තමයි මම ඒ චිත්‍රපටිය දකින්නේ. ඕනෑම කෙනෙකුට චිත්‍රපටියක් පිළිබද අර්ථකතනයක් දෙන්න පුළුවන්, ඒ වගේම සමහර විට චිත්‍රපටියට සම්බන්ද වෙන පුද්ගලයෝ, මුදල් ආයෝජකයෝ ඒ අය දිහා බලලත් චිත්‍රපටියට විවිධ අර්ථකතන දෙන්න පුළුවන්. ඉතින් එනිසා ඒ චිත්‍රපටිය වෙනුවෙන් ඒ නගන චෝදනාව මම පිළිගන්නේ නැහැ.

ලංකා ගාර්ඩියන්- මහාචාර්යතුමනි ඉදිරයට සිනමාවේ ව්‍යාකරණය මොනවගේ හැඩයක්ද ගත යුත්තේ ඒ කියන්නේ නිර්මාණ කරුවන් සමාජයේ තිබෙන ප්‍රශ්න සිනමාව තුලින් කොතෙක් දුරට  කථාකරනවද

මහාචාර්ය සුනිල් ආරියරත්න- 
අද වන විට කලාත්මක සිනමාවට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර අඩුවෙමින් පවතිනව මේක එක්තරා විදිහකට කණගාටු දායක තත්වයක්. අපි 70 දශකයේ චිත්‍රපටිත් සමග බලන විට ධර්මසිරි බණ්ඩාරනායක,ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර,ලෙස්ට ජේම්ස් පිරිස්  වැනි අයගේ චිත්‍රපට වාණිජමය වශයන් යම් සාර්ථකත්වයක් තිබෙනව, කොහොමනමුත් ඒ චිත්‍රපට පාඩු වුනේ නැහැ.එක පැත්තකින් ඒවා කලාත්මකව පවා යම් සාර්ථකත්වයක් දක්නට ලැබෙනව. අද වන විට මෙන්න මේ ප්‍රවනතාව අඩු වෙමින් පවතිනව. ඉතින් මම හිතනව සිනමාවට වෙළද වටිනාකමක් ඇතිවෙන්න පටන් ගත්තේ දැනට වසර කිහිපයකට පෙර ඒ නිසා ඉදිරියට මේ තත්වය වෙනස් වෙන්න පුළුවන්. අපි බැලුවොත් අද වන විට වෙළද සිනමාව තමයි ඔලුව උස්සල තියෙන්නේ කලාත්මක සිනමාව එහෙම වෙල නැහැ. ඒ නිසා මම හිතනව කාලයාගේ ඇවැමෙන් වෙළද සිනමාවේ යම් පිරිසක් කලාත්මක සිනමාව වටාත් එක් වේවි කියල.  ඒකනිසා කලාත්මක සිනමාවටත් ඉදිරියේදි  යම් වෙළද වටිනාකමක් ලැබේවි.

ලංකා ගාර්ඩියන්-  මහාචාර්යතුමා අතින් ලියවුන ඉතා ප්‍රබල ගීත තිබෙනවා සැබෑ නිදහස,විමුක්තිය පිළිබද. "යදමින්  බැද" වගේ ගීත නමුත් මේ වන විට ඔයවැනි ගීත ඔබතුමන් අතින් ලියවෙන් නැහැ අනික ඒ මතවාදයන් ඔබ සිනමාව තුල සංවාදයට ලක් කිරීමක් දැක ගන්නට ලබිමකුත් නැහැ මොකද  ඔබ තුමාට ලොකු අවකාශයක් තිබෙනව සමාජය තුල නමුත් අපි දකින්නේ මහාචාර්යතුමාගේ නිහඩ බවක් ඇයි එහෙම වෙලා තිබෙන්නේ.

මහාචාර්ය සුනිල් අරියරත්න-
මගේ අදහස් නිවැරදිවම කියා ගන්න පුළුවන් මාධ්‍යක් තමයි ගීතය.ගීතයක් මම රචනා කිරීමෙන් පසු තව දෙදෙනෙක් හෝ තුන්දෙනෙකුගෙන් ඒ නිර්මාණය මට කරන්න පුළුවන්. නමුත් සිනමාවේදී මට ඒ කාර්ය කරන්න බැහැ මොකද අද වෙනකට ලක්‍ෂ 300ක් වත් නැතිව චිත්‍රපටියක් නිර්මාණය  කරන්න බැහැ. ගීතය මගේ අදහස් කියන එක මාධ්‍යක් නමුත් මට සිනමාව ඒ සදහා යොදාගැනිමට බැහැ මොකද පෙර කිව වගේ සිනමාව සදහා තිබෙන මුදල් ආයෝජකයෝ, මුදල් සමග කරන මේ දැවැන්ත කාර්ය තුල මට අර තිබෙන නිදහස නැහැ. ඒ නිසා මම ගීතයෙන් කරන කාර්ය සිනමාවෙන් කරන්න බැහැ.මේ  නිසාම මගේ සිනමාවේ කොතනකවත් ගීත මාධයේ තිබෙන ලකුණු දකින්න නැහැ.

ලංකා ගාර්ඩියන්- නමුත්  මේ මොහොත වන විටත්  එවැනි නැබුරුවක් ඔය මාධ්‍ය දෙක තුලම දකින්නට ලැබෙන් නැහැනේ

මහාචාර්ය සුනිල් අරියරත්න-
ඔව් මම ඉස්සල්ලත් කිවේ ඒකයි අදටත් ඒක කරන්න බැහැනේ. අද වාණිජ සිනමාව ඔලුව උස්සල තියෙන්නේ, මම මේතාක් නොකරපු දෙයක් මට කොහොමත් කරන්න බැහැ මොකද මේතාක් කරපු සිනමකරුවොත් අද අභියෝගාත්මක තත්වයට පත් වෙල ඉන්නේ. ඒකාලේ වසන්ත ඔබේසේකරගේ, පතිරාජගේ චිත්‍රපට වලට වෙළද පොළක් තිබුණ අද ඒ වෙළදපොළ නැහැ එත් එක්කම  අශෝක හඳගම,ප්‍රසන්න විතානගේ   චිත්‍රපටිත්  මේකට උදාහරණ. මෙවැනි අභියෝගාත්මක මොහොතක මට කොහොමත් ඒ දෙය කරන්න බැහැ. ඒ වගේම චිත්‍රපට නිර්මාණකරුවෝ හදා ගත්ත ප්‍රේක්ෂක පිරිසක් ඉන්නව. මට සිනමාවේ එහෙම ප්‍රේක්ෂක පිරිසක් ඇත්තෙම නැහැ. ඒනිසා අද වෙනකට ඒ තත්වයට මට මුහුණ දෙන්නම බැහැ, ඒ තත්වයට මුහුණ දෙන්න නම් මට කලින්  ඒ ජයග්‍රහණ අත්පත් කරගත යුතු වෙන්නේ ප්‍රසන්න,විමුක්ති, හඳගම වගේ අය. ඊට පස්සේ තමයි මං වගේ කෙනෙක්ට  එලබුමක් තිබෙන්නේ එතනට. මගේ මීලග සිනමා නිර්මාණයවත් මම හිතන් නැහැ එලබුමක් තියෙයි කියල එතනට.
                           ඒ විතරක් නෙවේ අද ගිතයේදී පවා මේ තත්වයෙන් මම ඈත් වෙලා ඉන්නේ මම ගීත ලිවිමම  අත්හැර දාලා තියෙන්නේ, මොකද එදා ලිව ගීතය අද ලියල ගායනා කරවන්න ගායකයෙක් හෝ ගිකාවක් නැහැ. මොකද එහෙම නැත්තේ ගායකයාටත්  ගිකාවටත්   ඒ  ගීතය ගෙනියන්න තැනක් නැහැ.ඒ කියන්නේ ගුවන් විදුලියේ මේ ගීතය ප්‍රචාරය වෙන්නේ නැහැ, ඔවුන් ඒක පටිගත කරන් නැහැ. ඒ වගේම මේ ගීතය සංගත තැටියකට නගන්න නිෂ්පාදක වරයෙක් නැහැ.
උදාහරණයකට සිංලංකා වගේ සමාගමක් ඔවුන් පෙනී හිටියේ ප්‍රබුද්ද ගායකයන් වෙනුවෙන් අද යන එනමන් නැති වෙල තිබෙනව. ඒ නිසාම ගීත රචනා කලාව පවා නැවතිල තිබෙන්නේ, ඒ වගේම තවත් දෙයක් මේක අලුත් පරපුරකට බර දිය යුතුයි.

ලංකා ගාර්ඩියන්- සමාවෙන්න මහාචාර්යතුමා මෙතැනදී මතුවෙන කාරණය තමයි මහාචාර්යතුමා වගේ ඉන්න අතලොස්ස ඉදිරියට නොඑනවයි කියන කාරණය

මහාචාර්ය සුනිල් ආරියරත්න-
නැහැ මම ඒක විශ්වාස කරන්නැහැ මොකද ඉස්සල්ල පරම්පරවෙන් තමයි අපි මේ baton එක ගත්තේ අපි ඒක තව කෙනෙකුට බාරදෙන්න ඕන, එහෙම නැතුව සදාකාලිකව අපි මේදය කල යුතුය කියල එකක් නැහැ. අනික එදා තාරුණ්‍ය හා අපිට දැනුනු ප්‍රශ්න දැනෙන්නේ අද තරුණයන්ට ඒ වගේම අපිට වඩා සංවේදී අපිට වඩා දැනෙන සුළු තත්වයක ඉන්නේ ඒ අය ඒ නිස මේක ඊලග පරම් පරාවක් බාරගත යුතුයි.

ලංකා ගාර්ඩියන්- අවසාන වශයෙන් මොනවද අපිට සිනමාවේ තිබෙන අනාගත අභියෝග විදිහට ඔබ දකින්නේ

මහාචාර්ය සුනිල් ආරියරත්න- 
අපිට තිබෙන ලොකුම අභියෝගය තමයි තාක්ෂණය, අපි දැන් නිසැක වශයෙන්ම මේ දළසේයා පටයෙන් ඉවත් වෙල වහාම  ඩිජිටල් තාක්ෂණයට යන්න ඕන, මගෙත් ඉලග චිත්‍රපටිය එන්නේ ඩිජිටල් චිත්‍රපටියක් විදිහට. ඩිජිටල් චිත්‍රපටි කරන්න ලංකාවේ ඩිජිටල් තාක්ෂණය තිබෙනව නැත්තේ  ඩිජිටල්  ප්‍රක්ශේපනය  පිළිබද ප්‍රශ්නය, මෙය වහාම විසදා ගතයුතු ප්‍රශ්නයක්. ලංකාවේ සිනමාශාලා වල ඩිජිටල් ප්‍රක්ෂේපන අරම්බ වුනොත් අපේ  සිනමාවේ විශාල ප්‍රබෝදයක් ඇතිවෙනව මොකද සිනමාව සදහා ආයෝජනය කරන මේ දැවැන්ත මුදල අඩුවෙල අපිට යම් ස්ථාවරයක් ගොඩනගා ගන්න පුළුවන් අඩු වියදමකින් චිත්‍රපටියක් කරන්න. ඒ වගේම මිළ අඩුවෙන් ප්‍රදර්ශනය කරන්න, සහ ගුණාත්මක අතින් ඉහල නිර්මාණයක් කරන්න. ඒ නිසා මේ මොහොතේ තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි තාක්ෂණිකව තිබෙන අභියෝගය අපි මෙය ඉතා ඉක්මනින් ජය ගත යුතු වෙනව. මේ සදහා ඉදිරි වසරක් පමණ කාලය  තුල අපේ සිනමා ශාලා වලින් අඩකවත් ඩිජිටල් ප්‍රක්ෂේපන යන්ත්‍ර සවිකර ගත යුතු වෙනව. මොකද ලෝකයේ දළ සේයාපට නිෂ්පාදනය 75% කින් අඩුවෙල තිබෙන්නේ  ඒනිසා දළ සේයාපටය අපි වහාම විශ්‍රාම ගැන්විය යුතු වෙනව.

   
            සටහන- සමන් (saman@srilankaguardian.org)