Hot!

වුඩී ඇලන්

වුඩී ඇලන් යනු ඇමරිකානු තිර රචකයකු, අධ්‍යක්ෂවරයකු, රංගන ශිල්පියකු, කර්තෘවරයකු, වේදිකා නාට්‍ය පිටපත් රචකයකු මෙන් ම සංගීතඥයකු ද වෙයි. ඔහුගේ වෘත්තීය දිවිය වසර පනහකට අධික කාලයක් පුරා විසිරී පවතියි.

1935 දෙසැම්බර මස පළමුවැනිදා උපන් මෙම කුප්‍රකට හාස්‍යොත්පාදක නිර්මාණකරුවා මෙතෙක් ආ දීර්ඝ ගමන තුළ චිත්‍රපට සහ කෙටිකතා යන දෙඅංශයට ම සම්මාන දිනූ විරල ගණයේ මිනිසෙකි. 1977 දී තම Annie Hall චිත්‍රපටය වෙනුවෙන් ඇකඩමි සම්මාන හතරක් දිනා ගන්නා ඔහු The Kugelmass Episode කෙටිකතාව සඳහා ඕ. හෙන්රි සම්මානය ද දිනා ගනී. ඉන් පසුව ගෝල්ඩන් ග්ලෝබ්, බ්‍රිතාන්‍ය ඇකඩමි සහ වැනීසි ඇකඩමි සම්මාන ගණනක් තම නාමය යටතේ සනිටුහන් කර ගත්තේ ය.

චාලි චැප්ලින් වැනි උපහාස රංගන ශිල්පීන් පමණක් නොව ඉංග්මාර් බර්ග්මාන් වැනි සම්භාව්‍ය චිත්‍රපටකරුවන්ගේ ද ආභාසය ලැබූ වුඩී ඇලන්, උපහාසය මතු වන්නේ “සාමාන්‍යය තුළ මැවෙන අසාමාන්‍යය අභියස” යයි ලොවට කියා පාන්නේ ය. මේ වන තුරුත් උපහාස චිත්‍රපට කලාවක් බිහි වී නොමැති අප රටේ අංකුර නිර්මාණකරුවාගේ ගවේෂණය උදෙසා අපි මෙවර ඔහු සොයා යන්නෙමු.

Michiko Kakutani  විසින් Paris Review කෘතියට කරන ලද සම්මුඛ සාකච්ඡාව
විකට ශිල්පියා ලෝකයා දෙස බලනුයේ තරමක් වෙනස් ආකාරයකට යැයි ඔබ සිතනවා ද?
ඔව්. ඔබට විකට දෘෂ්ටිකෝණයක් තිබෙනවා නම් ඔබ අවට සිදුවන සෑම දෙයක් ම පාහේ විකට පෙරහනකට දැමීමට උත්සාහ ගන්නවා. එය කෙටි කාලීන ක්‍රමවේදයක් වුවත් එයට නිශ්චිත, නිමක් නොමැති පිළිසරණයක් අවශ්‍යයි. ඒ නිසයි මිනිසුන් විකට කතා “හැම විට ක්‍රියාත්මක වූවක්” ලෙස හඳුන්වන්නේ.
එය බොහොම අසමසම දෙයක් නේද?
එය ජීවිතය සමඟ ගනුදෙනු කරන එක් ක්‍රමයක්. මිනිසුන් සිතන්නේ හාස්‍යජනක වීම ඉතාම අපහසු දෙයක් යැයි කියා. නමුත් ඇත්තෙන් ම එය සිත්ගන්නාසුලු ක්‍රියාවක්. ඔබට එය කළ හැකි නම් එය කිසිසේත් අපහසු දෙයක් වන්නේ නැහැ. මා මෙය අවුරුදු හතරේ සිට කරගෙන එනවා. එමඟින් අදහස් වන්නේ නැහැ, අවසාන ප්‍රතිඵලය සරලයි කියා. නමුත් එම ක්‍රියාවලිය සරලයි.
ඔබව ලේඛනයට යොමු කළ ලේඛකයන් කවුද?
මගේ මතකයේ හැටියට මා කියවන අතරතුර පළමු වරට හොඳහැටි සිනහ වූයේ මැක්ස් ෂුල්මන්ගේ කතාවකටයි. ඒ වන විට මගේ වයස පහළොවයි. ඔහුගේ කෘති කෙතරම් හාස්‍යෝත්පාදක වුවත් ඒවායේ සංදර්භය ඉතා ම ගැඹුරුයි. ඉන් පසුව රොබට් බෙන්ඩ්ලි සහ එස්. ජේ. පර්ල්මන් මා ඉතා විශිෂ්ටයන් ලෙස හඳුනා ගත්තා.
ඔබ ලිවීම ආරම්භ කළේ කවදා ද?
මට කියවීමට හැකි වන්නටත් පෙර. මා හට නිතරම ලියන්නට අවශ්‍ය වුණා. එයටත් පෙර මා කතාන්දර නිර්මාණය කළා. මා මුලින් ම ගොඩනැඟු කතාන්දර ෂුල්මන්ගේ හෝ පර්ල්මන්ගේ කතාන්දර වලට සමාන වුණා. ඒ නිසා ඒවා තුළ මගේ කියා හැඟීමක් කිසිසේත් තිබුණේ නැහැ.
ඔබ ඔබේ හඬ සොයා ගත්තේ කෙසේ ද? එය ක්‍රමික ම සිදු වූවක් ද?
නැහැ. එය අහම්බෙන් සිදු වූවක්. මා එක්තරා සඟරාවක ආරාධනයෙන් ලියූ විකට කතාවක් කියවූ මගේ බිරිය, “මෙය නම් අපූරුයි. ඔබ මෙය New Yorker පුවත්පතට යැවිය යුතු යයි” කීවා. පුදුමයකට වගේ New Yorker පුවත්පත එය පළ කිරීමට එකඟ වුණා. නමුත් මා මුලදී ලියූ කතාන්දර පර්ල්මන්ගේ ක්‍රමයට සමාන වුණා. එය මමත් පිළිගත්තා. ඉන් පසුව මම ක්‍රම ක්‍රමයෙන් ඔහුගෙන් ඈත් වුණා.
මෙය වර්ධනය වුණේ ඔබ චිත්‍රපට තුළ කිරීමට උත්සාහ කළ දෙයට සමගාමීව ද?
මා මේ ක්‍රම දෙක සමාන්තරව දකින්නේ නැහැ. මගේ අත්දැකීම්වලට අනුව වෙනස් වූ මාධ්‍ය දෙකකට ලිවීම එකිනෙකට වෙනස් වූ කාර්යයන් දෙකක් බවයි. වැඩි අභියෝගයක් ඇත්තේ ගද්‍යය තුළයි. මන්ද ඔබ එය ලියා අවසන් කළහොත් ඔබේ නිර්මාණයේ අවසන් ඵලය එය බවට පත්වන නිසයි. ඔබට යළි එය වෙනස් කළ නොහැකියි. නමුත් තිර රචනයේ දී එය අවසාන ප්‍රතිඵලයක් බවට පත් වන්නේ නැහැ. තිර පිටපත නිසා රංගන ශිල්පීන්ට සහ අනෙකුත් ශිල්පීන්ට කිසියම් මාර්ගෝපදේශයක් සලසනවා පමණයි. මා එක් දර්ශනයක් පිළිබඳ ලියා තබන්නේ දළ සටහන් දෙක තුනක් පමණයි.
ඔබේ ලේඛන චර්යාව කෙබඳු ද?
මා අතට හසුවන ඕනෑ ම දෙයක ලියනවා. මා හෝටල් කාමරයේ දී, මගේ නිවසේ දී, වෙනත් පිරිසක් අතරේ දී හෝ ලියනවා. ඕනෑ ම අඩු ඉඩක් තුළ මට එය කළ හැකියි. මා New Yorker වෙත යැවූ සමහර කතාන්දර ලිවීමට විනාඩි හතළිස් පහක්වත් ගත වී නැහැ. නමුත් සමහර කතාන්දර ලිවීමට මා සති ගණන් කාලය වැය කර තිබෙනවා.
ඇයි ඔබ විකට කතාන්දර ලිවීමට පටන් ගත්තෙ?
මා තරුණ වියේ සිට ම විකට රංගන ශිල්පීන්ට බොහෝ සේ ඇලුම් කළා. නමුත් මා නියම ලෙස කියවීමට පටන් ගත් පසු බොහොම බරපතළ ලේඛකයන් මට හමු වුණා. එම නිසා මා හට විකට කතාන්දර ලියන්නට හැකි බැව් අවබෝධ වී තිබුණත් ඒ පිළිබඳ වැඩි ඇල්මක් දැක්වූයේ නැහැ.
ඔබ හාස්‍යෝත්පාදක රචකයකු වුවත් වරෙක ඔබ කියා තිබුණා ඔබේ පි‍්‍රයතම චිත්‍රපට දහය තුළ එවැනි එකඳු චිත්‍රපටයක් හෝ නැති බව. ඒ ඇයි?
මගේ පෞද්ගලික රුචියට එහා දෙයක් එතැන නැහැ. කෙනෙක් තමන්ගේ පි‍්‍රයතම චිත්‍රපට ලෙස හාස්‍යජනක චිත්‍රපට දහයක් නම් කළ හැකියි. නමුත් මා හට ඉඩක් ලැබුණු විට මා බලන්නේ Citizen Kane, The Bicycle Thief, The Seventh Seal වැනි චිත්‍රපට.
ඔබ එවැනි විශිෂ්ට සම්භාව්‍ය නිර්මාණ නැරැඹීමට යාමේ දී ඒවා නිර්මාණය කර තිබෙන්නේ කෙසේ දැයි සිතනවා ද?
සාමාන්‍යයෙන් මා සිනමා ශාලාවට යන්නේ රස විඳීමට. මගේ චිත්‍රපට පිළිබඳ විචාර සපයන සමහරු ඒවායේ තාක්ෂණික පැතිකඩ පිළිබඳ උනන්දු වෙනවා. මා චිත්‍රපටය තුළ කෙතරම් නිමග්න වෙනවා ද කීවොත්, මා හට තවමත් එහි ඇති මයික්‍රෆෝනයේ සෙවණැල්ල හෝ අනවශ්‍ය කැමරා කෝණවලට මාරු වීම හෝ හඳුනා ගන්නට බැහැ.
ඔබ ලියන විට ඔබේ ග්‍රාහකයා පිළිබඳ සිතනවා ද?
මා නිතර ම උත්සාහ කරන්නේ සෑම දෙනාට ම වඩා ඉහළින් සිට ලිවීමටයි. මන්ද සෑම කෙනෙකුට ම ළංවීමට නොහැකි බැව් මා දන්නා නිසා.
කිසියම් නිර්මාණකරුවෙක් ස්ථාවරත්වයක් ගොඩනඟා ගත් පසු ඔහුගේ අනුගාමිකයන් හෝ විචාරකයන් ඔහු එකම දෙය තුළ දිගින් දිගට ම නියැළෙනු ඇතැයි බලාපොරොත්තු වන ප්‍රවණතාවක් තිබෙනවා.
ඒ නිසායි ඔබ පිළිබඳ වෙනත් අය ලියන - කියන දේවල් එතරම් බරපතළ ලෙස ඔබ සැලකිය යුතු නැත්තේ.
උසස් ලේඛකයන් පරිණත බවට පත් වූ පසුව ඔවුන් දැනටමත් ස්ථාපිත වී ඇති තේමාවන්ම විස්තාරණය කිරීමට උත්සාහ ගන්නා බැව් ඔබ සිතන්නේ නැති ද?
සෑම පුද්ගලයෙකුට ම ඔහුගේ සිතෙහි බලපවත්නා ආවේණික අදහසක් තිබෙනවා. බර්ග්මාන්ගේ චිත්‍රපටවල ඔබ දකින්නේ එකම දෙයයි. නමුත් ඒවා ඉදිරිපත් කර තිබෙන්නේ පුදුමාකාර නැවුම් බවකින් යුතුවයි.