Hot!

පරාජයකට මගපාදන වාතාවරණයක් ජිනීවාවල නිර්මාණය වෙලා - දයාන්

කේ. ඩබ්ලිව්. ජනරංජන

නිදහස් උළෙලේදී ජනාධිපතිවරයා විශේෂ යෙන් කියා සිටියා එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය අනුව සියලූම සාමාජික රටවල් එකම තත්ත්වයක ලා සලකන බවත්, ඔවුන් එකිනෙකාගේ ස්වෛරීත්වය ගරුකළ යුතු බවත් හා එක් රටක් තවත් රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවිය යුතු බවත්. මේ ප‍්‍රකාශය ඒ අර්ථයෙන්ම සත්‍යයක්ද, එසේ නොවේද?

ඒක සම්පූර්ණ සත්‍යය නොවෙයි. අසත්‍යයකුත් නොවෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය තුළ සියලූම රටවල්වලට තියෙන්නේ එක ඡන්දයක් බැගින්. එක්සත් ජාතීන්ගේ ප‍්‍රාරම්භක ප‍්‍රඥප්තියේ ජාතීන්ගේ ස්වෛරීභාවය සුරක්‍ෂා කරලා තියෙනවා. ඒක මූලධර්මයක්. හැබැයි එදා සිට අද දක්වා මේ මූලධර්මයෙ යම් යම් වෙනස්වීම් සහ අඩුවැඩිවීම් න්‍යායාත්මක, නෛතික හෝ සංකල්පීය තලයේ සිදුවෙලා තියෙනවා, ආරක්‍ෂාකිරීමේ වගකීම පිළිබඳ සංකල්පය (ආර්ටූපී සංකල්පය) 2005 එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුවේදී සම්මත වූවක්. ඒ සම්මත වීමෙන් අදහස් වෙන්නේ නැහැ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රාරම්භක මූලධර්මවලට සමානව ආර්ටූපී සංකල්පය වර්ධනය වෙලා තියෙනවා කියලා. ජාතීන්ගේ ස්වෛරීභාවය හා අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමේ මහා මූලධර්මය ඒ ආකාරයටම පවතින නමුත් ආර්ටූපී සංකල්පයෙන් කරන්නේ යම්කිසි ව්‍යතිරේකයක් විවෘත කිරීම. ඒ ව්‍යතිරේකයට අනුව රටක පුරවැසියන් ආරාක්‍ෂා කිරීමට ඒ රටේ රාජ්‍යයට අවශ්‍යතාවක් නැත්නම් හෝ හැකියාවක් නැත්නම් ආරක්‍ෂක මණ්ඩලයේ අනුමැතිය සහිතව එක්සත් ජාතීන්ගේ සංවිධානය ක‍්‍රියාත්මක විය යුතුයි. එම ප‍්‍රකාශය සම්පූර්ණ සත්‍යයක් නොවේයැයි මා කියන දෙවන හේතුව ලෝකයේ යථාර්ථය මෙතන අමතකකිරීමක් සිදුකරලා තියෙන නිසායි. ඒ කියන්නේ ජාත්‍යන්තර හා කලාපීය බලතුලනය. නිදර්ශනයක් ලෙස ලංකාවේ හැම පුරවැසියාම සමානයි, සමාන අයිතිවාසිකම් තියෙනවා වුණාට යථාර්ථය ඒක නෙවෙයි. බලසතු බලගතු පැලැන්තිය අතේ සාමාන්‍ය පුරවැසියාට වඩා බලයක් තියෙනවා. ඒක සාධාරණ නැතිවුණත් සත්‍යයක්. ජාත්‍යන්තර හා කලාපීය වශයෙනුත් තත්ත්වය එයයි. ජාතීන්ගේ ස්වෛරීභාවය නිසා ජාතීන්ගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමේ මූලධර්මය වැදගත් නමුත් ලෝකයේ කටයුතු සිදුවන ආකාරය වෙනස් බව මතක තබාගත යුතුයි.

ඒකට කදිම නිදර්ශනයක් වුණේ 1987 මැදභාගයේ ලංකාවට අත්වූ ඉරණම. ලංකාවේ ගුවන් අවකාශය තුළට අසල්වැසියාගේ ප‍්‍රහාරක ගුවන් යානා ඇතුළු වීමත් සමගම එවකට සිටි ජයවර්ධන ආණ්ඩුව මුළු ලෝකෙටම ඒ ගැන කියාපෑවා. නමුත් ජයවර්ධන ජනාධිපතිතුමා පැවසූ ආකාරයට ලංකාව ගැන බල්ලෙක්වත් බිරුවෙ නැහැ. ඒක තමයි බල යථාර්ථය.

ඒ වගේම තමන්ගේ රට තුළ බලයට මුල්තැන දෙන්නේ නම්, තමන්ගේ රටටත් එලෙස සලකන බව සැමවිටම මතක තබාගත යුතුයි. රටක ස්වෛරීභාවය උල්ලංඝනය කරන්න ඉඩදෙන්නේනෑ කියා යළි යළිත් පැවසීමෙන් රටක ස්වෛරීභාවය සුරැ කෙන්නේ නැහැ. එය හුදු සටන්පාඨයක් පමණයි. එය අධිෂ්ඨානයක් ලෙස ඉතාම හොඳයි. නමුත් රටේ අභ්‍යන්තර කටයුතුවලට අනුන් ඇඟිලි ගැසීම වළක්වන්නට නම්, කළයුතු දේවල් කිහිපයක් තියෙනවා. ඒ දේවල් මේ ආණ්ඩුව විසින් කර නැහැ. අනෙක් අතට රටේ ස්වෛරීභාවය අනාරක්‍ෂාවට පාත‍්‍රවන ආකාරයේ බොහෝ දේවල් විශේෂයෙන් මෑත කාලයේ මේ රටේ පාලකයන් විසින් සිදුකර තිබෙනවා. ආණ්ඩුව කරන එවැනි දේ ගැන ඔබේ නිරීක්‍ෂණ මොනවාද?

අසල්වැසියන් සමග ඇති සම්බන්ධකම පලූදු වුණොත් රටේ ආරක්‍ෂාවට විශාල අනර්ථකාරී පලවිපාක අත්වනු නියතයි. 1987දී සිදුවුණේ එයයි. ලිබියාවට සිදුවූයේ කුමක්ද? චීනය හා රුසියාව පවා එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේදී ලිබියාවේ ජාත්‍යන්තර මැදිහත්වීමට එරෙහි වූයේ නැහැ. ඒ පිළිබඳව ඉතා ඉහළ චීන නිලධාරියෙකුගෙන් මම ප‍්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු මට කියා සිටියේ අසල්වැසියන් නියෝජනය කළ අරාබි සංගමය ලිබියාවෙන් ඈත්වූ අවස්ථාවේදී චීනයට සිදුවූයේ ඒ කලාපයේ බහුතර මතය සමග පෙළගැසීමට බවයි. ඉතින් ලංකාවේ ආරක්‍ෂාව, ජාතික ස්වෛරීබව සුරකින්නට නම්, රට තුළ සියලූ සංඝඨක හා කොට්ඨාස අතර සුහදතාව සහ සහෝදරත්වය වගාකළ යුතුයි. සාධාරණත්වය, සහෝදරත්වය හා සුහදබව පදනම් කරගෙන පශ්චාත් යුද ලංකාව නිසි ලෙස ජාතියක් ලෙස වර්ධනය වන බවක් අද දකින්නට ලැබෙන්නේ නැහැ. දකින්නට ලැබෙන්නේ එහි අනෙක් පැත්තයි. ඉතිං. ස්වෛරීභාවයේ අභ්‍යන්තර පදනම විඛාදනය වෙමින් තියෙනවා.

අප වැනි රටක ස්වෛරීභාවය ස්වාධී නත්වය රැ කගැනීමට නම්, අසල්වැසියන් සමග සහ අසල්වැසියන්ගෙන් ඈතට දිවෙන සෙසු රටවල් සමග පුළුල් සහෝදරත්වයක් තිබිය යුතුයි. 2009 මැයි මාසේ ජිනීීවා නුවර සිදුවූ රාජ්‍යතාන්ත‍්‍රික සටනේදී එවැනි පුළුල්තම එක්සත් පෙරමුණක් ගොඩනැංවිය හැකි ආකාරය පිළිබඳව ලංකාවේ නියෝජිත පිරිසට සහ මට ආදර්ශයක් සැපයිය හැකිවුණා.

ඔබ කියන්නේ අද ඒ තත්ත්වය නැති බවද?

මම කතාකරන්නේ ජිනීවා ගැන පමණක් නොවෙයි. ජාත්‍යන්තර වශයෙන් ලංකාවේ මිතුරු බලවේගවල හැකිළීමක් සිදුවී තිබෙනවා. 2009දී අපට ඡන්දය දුන් රටවල් අද අපට විරුද්ධව ඡන්දෙ දෙනවා. මේ කතාකරන්නේ දමිළ ප‍්‍රජාවක් සහිත ඉන්දියාව ගැන පමණක් නොවෙයි. අපට පක්‍ෂව ඡන්දය දුන්නු උරුගුවේ වැනි ප‍්‍රගතිශීලී රටක් 2012 වන විට අපට විරුද්ධව ඡන්දය දී තිබෙනවා. අපට ඡන්දෙ දුන්න මැලේසියාව වැනි රටක් 2012දී ඡන්දය දීමෙන් වැළකී සිටියා. මිතුරන් අපෙන් අයින්වෙන තත්ත්වයක් මත ජාතික ස්වෛරීභාවයය රැ කීම වඩවඩාත් අපහසුයි.

මිතුරන් අපෙන් ගිලිහී යන්නේ ඇයි?

සතුරු බලවේග හා විවේචකයන් වැඩිවන තත්ත්වයක් මත මිතුරු බලවේග ගිලිහෙන්නට අප ඉඩදෙන්නේ ඇයි? මේ සිදුවන්නේ රටේ ගමන් මාර්ගය, එහි ප‍්‍රතිරූපය පිළිබඳව බාහිර ලෝකයේ ඇති අකමැත්ත හා අප‍්‍රසන්නතාව නිසායි. සමස්තයක් වශයෙන් ගත්කල රටක ගෞරවය, නම්බුනාමය, ප‍්‍රතිරූපය වනාහි රටක ස්වෛරීභාවය සුරක්‍ෂාකිරීමට අත්‍යවශ්‍ය සාධක බව මතක තබාගත යුතුයි. රටක ආරක්‍ෂාවේ ප‍්‍රධාන සංඝටක දෙකක් ඇති බව හාවර්ඞ් විශ්වවිද්‍යාලයේ මහා පඬිවරයකු වන මහාචාර්ය ජෝසෆ් නයි පවසා තිබෙනවා. තද බලය හෙවත් යුද බලය තුළින් පමණක් රටක ආරක්‍ෂාව සැලසෙන්නේ නැති බවයි ඔහු කියා තිබෙන්නේ. ඒ හා සමානව මෘදු බලය වර්ධනය කළ යුතු බව ඔහුගේ සංකල්පයයි. මෘදු බලය කියන්නේ තමන්ගේ ආකර්ෂණීයභාවය, තම රට ආදර්ශයක් වශයෙන් සැලකීමේ ප‍්‍රවණතාව සහ තමුන්ට ඇති ආදර ගෞරවය යන මේවායින් සමන්විත වූ බලයක්. එවැනි මෘදු බලයක් ලංකාව සතුව තිබුණු දශක ගණනාවක් තිබුණා. අඩුවැඩි වශයෙන් යුද්ධය හමාරවෙනකං එය තිබුණා. එහි එක් ප‍්‍රධාන සංඝඨකයක් වුණේ ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් බවයි. අනෙක් සංඝඨකය ලංකාවේ භූමියේ වඩාත්ම අසාධාරණ අත්තනෝමතික සහ රකුසු බලවේගය රාජ්‍යය නොව එහි ප‍්‍රතිමල්ලවයා වූ වේළුපිල්ලේ ප‍්‍රභාකරන් බවයි. අද ප‍්‍රභාකරන් කෙනෙක් නැහැ. දෙවැනි කාරණාව රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිරූපය. එම ප‍්‍රතිරූපය තුවාලකොට තිබෙන්නේ මේ ආණ්ඩුව විසින්මයි. ඒ මෘදු බල සංචිතය අඩුවීම නිසා මිතුරු බලවේග වර්ධනය වීම වෙනුවට හැකිළීයෑමක් සිදුවී තිබෙනවා. ඒ තත්ත්වය තුළ ජනාධිපතිතුමා සැබවින්ම ආරක්‍ෂාකිරීමට කැපවී සිටින රටේ ස්වාධීනත්වය මෙන්ම ස්වෛරීභාවය ආරක්‍ෂා කිරීමේ කටයුත්ත වඩ වඩා අමාරු වෙමින් පවතිනවා. ඒ අමාරු වෙමින් පවතින්නේ බාහිර පමණක් නොවේ අභ්‍යන්තර සාධක නිසා. මේ අභ්‍යන්තර සාධක වනාහි කුමන්ත‍්‍රණ නෙවෙයි. පාලකයන් විසින්ම උත්සන්න කර තිබෙන අභ්‍යන්තර පරස්පර විරෝධතාවන්. මෙතනදි මට කනගාටුවෙන් මතක් කරන්න සිදුවෙනවා, පිදෙල් කැස්ත්‍රෝ මා ඕ සේතුං ගැන කී කතාවක්.

ඉතිහාසයේ සමහර නායකයන් ඉන්නවා, ඔවුන් සියතින්ම හදපු දේ සිය දෙපයින් බිඳදමනවා. ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ කටයුත්තක් සිය ජනතාව හා රට වෙනුවෙන් සිදුකළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ගැන ඉතිහාසය එවැනිම දෙයක් නොකියාවිය කියා මා ප‍්‍රාර්ථනා කරනවා.

ඔබ කියන අභ්‍යන්තර පරස්පරතා මොනවාද?

2009 ජයග‍්‍රහණය සිදුවෙනකොට ඒ ජයග‍්‍රහණයට විරුද්ධ වෙච්ච, පක්‍ෂ වෙච්ච ජාත්‍යන්තර හා දේශීය බලවේග හිටියා. අතරමැදි බලවේගත් හිටියා. අද සිද්ධවෙලා තියෙන්නේ ඒ ජයග‍්‍රහණයට පක්‍ෂ වූ බාහිර බලවේග තුළත් සැකසංකා ඇතිවීම. 2009 මැයි මැසය වන විට අපට පුළුවන්කම තිබුණා, ලෝකයට පෙන්වන්න, අපේ රටේ සිදුවුණු සියලූ වැරදි අසාධාරණකම්වලට හා සමස්තයක් වශයෙන් ඒ අඳුරු යුගයට වගකිව යුත්තේ වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ප‍්‍රමුඛ කොටි සංවිධානය කියලා. ඒ සත්‍යය බාහිර ලෝකයේ බහුතරයක් ආණ්ඩු හා රාජ්‍යයන් විසින් පිළිගත්තා. ජාත්‍යන්තර ජනමතය නමැති මහා සාගරය මේ ගැන යම්කිසි දෙගිඩියාවකින් හිටියත් ලංකාවට විරුද්ධ මතයක පසුවුණේ නැහැ. නමුත් අද යුද්ධය ගැන පවා හැරී බලන්නේ වර්තමානයේ සිටයි. ඒ කියන්නේ ලෝක ජනමතය ඊනියා යුද අපරාධ ප‍්‍රශ්නය දෙස පවා බලන්නේ යුද්ධය කාලයේ සිදුවූ දේවල් මගින් නෙවෙයි, යුද්ධයෙන් පස්සේ අප විසින් කරන ලද දේවල් දිහා බලලයි. ඉතින් ලංකාවේ අඳුරු යුගයක ප‍්‍රභාකරන් ගැන අප ඉදිරිපත්කළ සත්‍ය කාරණාව දැන් යම්කිසි විදියකට ප‍්‍රශ්නයට ලක්වෙලා තියෙනවා. අඳුරු යුගයට හේතුව ප‍්‍රභාකරන් නම් ඔහු මරාදැමුවාට පස්සේ නව අරුණක් බිහිවිය යුතුව තිබුණා. ඇත්තටම ඉර පායලා නැහැ. අපි අවුරුදු තිහක් හිටපු බිංගෙය තුළින් එළියට ඇවිත් තියෙන බවක් ලෝකයට පෙනෙන්නෙත් නැහැ. යුද්ධය අවසන්වීමත් සමගම දෙමළ සාමාන්‍ය සිවිල් ජනතාවට සැලකූ ආකාරය සහ අද දක්වා ඉඩම් ප‍්‍රශ්න, විතැන්වූවන් සම්බන්ධයෙන් සංවේදී හා මානවවාදී නොවන නොවන ආකාරයකට සැලකීම වැනි දේවලින් සිදුවන්නේ ලංකාවට විරුද්ධව ප‍්‍රචාරක ව්‍යාපාරයේ යෙදීසිටින බලවේගවලට අවහ්‍ය ආයුධ සැපයීම. අපි උතුරු නැගෙනහිර පැත්කින් තියමු. බන්ධනාගාර තුළ මහා පරිමාණ මිනීමැරුම් සිදුවීම, ඒ ගැන ස්වාධීන පරීක්‍ෂණ සිදුනොකිරීමේ සිට දෝෂාභියෝග විභාගය දක්වා සියල්ලෙන් පෙනෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍ර වාදයේ හැකිළීමක් මිසක ප‍්‍රසාරණයක් නෙවෙයි. සියල්ල ප‍්‍රභාකරන්ගේ පිටේ තබා යවන්නට තිබූ අවස්ථාව අප විසින් මගහැර තිබෙනවා. එනිසා දමිළ ඩයස්පෝරාවේ බෙදුම්වාදී කොටස්වල ප‍්‍රචාරක කටයුතු තහවුරු වෙන ආකාරයට ලංකා ආණ්ඩුව හා පාලක පැලැන්තිය හැසිරී ඇති ආකාරය අපට කනගාටුවෙන් නිගමනය කරන්න සිද්ධවෙනවා. සාමාන්‍යයෙන් යුද්ධයකින් පසුව යුද ජයග‍්‍රහණයකට පසුව රටක තිබෙන්නේ ආර්ථික පිබිදීමක් පමණක් නෙවෙයි, මිත‍්‍රත්වය, සුහදත්වය, සැනසුමයි. යටපත්වී තිබුණු ප‍්‍රබෝධයයි. ඒ වගේම යළිත් රට බෙදීමට කරන කතිකාවලට පිටුපෑමත්් අවශ්‍යයි. නමුත් ලංකාවේ දකින්නට ලැබෙන්නේ මේකේ අනිත් පැත්ත. යළිත් අභ්‍යන්තර හතුරො හොයනවා. මා ඕසේතුං කී කතා දෙකක් මෙතනදි වැදගත් වෙනවා. එකක් ඕනෑම දෙයක් සිදුවීමට බාහිර හා අභ්‍යන්තර හේතු තිබුණාට අභ්‍යන්තර හේතු තමයි වඩාත් වැදගත් වන්නේ. නිදසුනක් වශයෙන් කිකිලියෙක් ගලක් රැ ක්කොත් කුකුල් පැටියෙක් එන්නේ නැහැ. එය බිත්තරයක්ම විය යුතුයි. ලංකාවේ ස්වෛරීභාවයට විරුද්ධව විදේශ ඇඟිලිගැසීම් කියන බාහිර සාධකය සාර්ථක වෙන්න පුළුවන්නේ අභ්‍යන්තර හේතුන් නිසායි. යමෙක් හිතන්න පුළුවන් අභ්‍යන්තර හේතුන් කියන්නේ බාහිර කුමන්ත‍්‍රණකාරී බලවේගමයි කියලා. නෑ. මා ඕසේතුං කියනවා, සතුරු ප‍්‍රතිවිරෝධතා හා මිතුරු ප‍්‍රතිවිරෝධතා කියලා වර්ග දෙකක් තියෙනවා. තමුන්ට විරුද්ධ වෙන හැම කෙනෙක්ම තමුන්ගේ හතුරෙක් නෙවෙයි කියලා ඔහු කිව්වා. නගර හා ගම අතර, කම්කරුවන් හා ගොවීන් අතර ප‍්‍රතිවිරෝධතා තියෙනවා. නමුත් ඒවා මිතුරු ප‍්‍රතිවිරෝධතා. ඒ මිතුරු ප‍්‍රතිවිරෝධතා කවදාවත් හතුරු ප‍්‍රතිවිරෝධතා බවට පත්නොකළ යුතුයි කියලා. හතුරු ප‍්‍රතිවිරෝධතා කියන්නේ සන්නද්ධ සතුරෙක්, දේශීය වශයෙන් ප‍්‍රතිගාමී බලවේග වැනි දරුණු බලවේගවලට. ඒ බලවේගවලට විරුද්ධව අපි සටන් කළයුතු ආකාර තියෙනවා. මිතුරු ප‍්‍රතිවිරෝධතාත් ඒ විදියට විසඳන්න ගියොත් ඒවාත් සතුරු ප‍්‍රතිවිරෝධතා බවට පත්වෙනවා. එතකොට අභ්‍යන්තර සාධකය බොහෝ විට අවුල් වියවුල් වෙලා බාහිර සාධකයට ඇතුළුවෙන්න පුළුවන් විදියට ඒක පිරිහෙනවා. අභ්‍යන්තරය හදාගන්නවා කියන්නේ තමන්ගේ ආධිපත්‍යය තහවුරු කරගන්න එක නෙවෙයි. ලෝකයේ පොදු නියාමයන් හා ලෝකය කියන පවුලේ කොටස්කාරයන් පිළිගන්නා ආකාරයට තමන්ගේ හැසිරීම වෙනස්කරගන්නෙ නැතිව රටේ ස්වෛරීභාවය ආරක්‍ෂාකරගන්න බැහැ.

මාර්තුවේදී ජිනීවාවල ලංකාවට එරෙහි තවත් යෝජනාවක් එන බවයි කියන්නේ. ඊට මුහුණ දෙන සූදානම ගැන ඔබේ අදහස මොකක්ද?

ආපහු යන්න වෙනවා 2009 මැයි ජිනීවා ජයග‍්‍රහණය කරා. ඒ අවස්ථාවේදී ඡන්දවලින් තුනෙන් දෙකකට කිට්ටු ඡන්ද ප‍්‍රමාණයක් අපි ලබාගත්තා. වැඩි ඡන්ද 17ක ජයග‍්‍රහණයක් ලැබුවා. 2009 වැඩි ඡන්ද 17ක ජයග‍්‍රහණය 2012 වෙනකොට අඩු ඡන්ද 9ක පරාජයක් බවට හැරවුණා. මේ නොපිට පෙරළීමට හේතු ආණ්ඩුවේ කවුරුත් හරියට හොයලා බැලූවෙ නැහැ. අඩුගානේ 2009 ජයග‍්‍රහණය ගැන හොයලා බැලූවෙත් නැහැ. ඒ ගැන ජාත්‍යන්තර පොත්පත්වල සඟරාවල ලියවිලා තියෙනවා. යුද්ධයක වේවා ඡන්දයක වේවා රණපිටියක සෑහෙන ජයග‍්‍රහණයක් යමෙක් ලැබුවේ නම්, ඊට සති කිහිපයකට පසුව ඔහු හෝ ඇය එතැනින් ඉවත්කරනවා නම් එතන තිබෙන තාර්කික බව කුමක්ද? 2009 මැයි ජිනීවා ජයග‍්‍රහණයෙන් පසුව ජනාධිපතිතුමාම මගෙන් ඉල්ලූවා තව අවුරුද්දක් ඉන්න කියලා. ඒක තාර්කික ඉල්ලීමක් නිසා මම ඒක පිළිගත්තා. ඒක සති කිහිපයකින් එය වෙනස්වුණා. ඒකට හේතුව මම දන්නෙත් නැහැ. රට දන්නේත් නැහැ. ඒකේ ප‍්‍රතිඵල මොනවාද?. පළමුවෙන්ම ජිනීවාවල අපට සහයෝගය දුන්න, මගේ තර්ක පිළිඅරගෙන වගාකළ ඒ සුහදත්වය නිසා ඡන්දය දුන්නු අනිත් නියෝජිතයන්ගේ හා ඒ ආණ්ඩුවල මනස තුළ යම්කිසි ප‍්‍රශ්නාර්ථයක් මතුකළා, මොකක්ද මේකෙන් සංඥා කරන්නේ කියලා. දෙවනුව ලංකාව නියෝජනය කරන සෙසු රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරීන්ට ලැබෙන පණ්වුඩය දයාන් ජයතිලක වගේ බෙල්ල ඉස්සරහට දාලා අධිරාජ්‍යවාදීන් සමග සටන්කරන්න එපා කියන එකයි. අධිරාජ්‍යවාදීන් සමග සටන් කරනවා නම් දයාන් ජයතිලක කළ විදියේ පුළුල් සභාගවලට යන්නේ නැතිව අපේ 2500ක සංස්කෘතිය ගැන පමණක් කියලා සටන් කරන්න කියන එකයි. ඔය පණිවිඩ දෙක ගියාට පස්සේ ආපහු කොහොමද සටන්කරන්නේ? එදා ඉඳලා අද වෙනකම් අපි දිනලා නැහැ. ජිනීවාවල 2009 මැයිවලට පෙරාතුවත් අපි ජාත්‍යන්තර ජයග‍්‍රහණයක් ලබලා නැහැ. අපේ කීර්තිමත් හිටපු තානාපති කෙනෙක් ඉදිරිපත් වුණා මහලේකම් තනතුරට. ඒ අවස්ථාවේදී එතුමාට ඉන්දියාවෙවත් චීනයේවත් ඡන්දය ලැබුණේ නැහැ. 2008දී නිව්යෝක් නුවර පවත්වපු ඡන්දයකදි ජිනීවාවල මානව හිමිකම් කවුන්සිලයේ අපට ලැබුණු සාමාජිකත්වය අහෝසි වුණා. 2008 වෙනකම් මම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නියෝජ්‍ය සභාපතිකෙනකු හැටියට හිටියා. නමුත් මට සහභාගිවෙන්න නොදුන්නු නිව්යෝක් නගරයෙ මහා මණ්ඩලයෙ පැවැති ඡන්දයකදී ලංකාව පරාදවුණා. ඊට පස්සෙත් දිගින් දිගටම පැරදුණා. බ‍්‍රසල්ස් නුවර යුරෝපා පාර්ලිමේන්තු ඡන්දයකදි අපිට එක ඡන්දයයිද කොහෙද ලැබුනේ. ඡන්ද 60ක් අනිත් පැත්තේ. අමෙරිකා එක්සත් ජනපදයේ නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයේ යෝජනාවලදී විශාල ඡන්ද ප‍්‍රමාණවලින් අපි පරදිනවා. හම්බන්තොටට පොදුරාජ්‍ය මණ්ඩල කී‍්‍රඩා උළෙල ගේන්න දරපු උත්සාහයේදී ඡන්දෙන් පැරදුණා. ඒ නිසා 2009 ජිනීවා ජයග‍්‍රහණය අවුරුදු දහයකින් විතර අපට තිබුණු ලොකුම ජයග‍්‍රහණය. ඒ ජයග‍්‍රහණය කළ එක්ස් නමැති පුද්ගලයා සති ගණනකින් අස්කරනවා. ජිනීවා නුවර අපේ කඩාවැටීම ආරම්භ වේනේ එතැනින්. ඒක සතුරු බලවේග හෝ අධිරාජ්‍යවාදීන් කළ දෙයක් නෙවෙයි. ජනාධිපතිතුමාගේ මුල් තීන්දුවකුත් නෙවෙයි. ඕක රෝහිත බෝගොල්ලාගම කළායි කියන එක නම් විහිලූවක්. එයා හුදෙක් රූකඩයක්. ඒත් අද දක්වා ජනාධිපතිතුමාගේ පිටුපස ඉඳන් එක එක දිසාවට තල්ලූකරන ප‍්‍රබල අභ්‍යන්තර බලවේගවල තීන්දුවක් අනුව තමයි එය සිදුවෙන්නේ. 2013 ජිනීවා නුවරදී ඒ අමනොඥකමේ පලවිපාක ලැබිලා තියෙනවා.

2012 ඡන්දෙන් පසුව කිව්වා 2013 මාර්තු මාසේ ආපහු මේක ගැන විමර්ශනයක් කරනවා කියලා. ඒ විමර්ශනය කරන බව දැනගෙන ආණ්ඩුවක් හැටියට හැසිරෙන්න තිබුණේ මේ අකාරයටද?. ජාත්‍යන්තර වශයෙන් පවත්වන ඡන්ද රට ඇතුළෙ තියන ඒවා වගේනෙවෙයි. මට ආරංචි 2012 මාර්තු මාසෙ ජිනීවා නුවරත් අපේ නියෝජිතයෝ පිරිස ලංකාවෙ ක‍්‍රමයට හැසිරෙන්න උත්සාහ දැරුවා කියලයි. මට පැරිසියේ ප‍්‍රංශ විදේශ අමාත්‍යාංශයේ නිල ඉහළ පෙළේ සාකච්ඡාවකදී කියපු විවේචනයක් තමයි, ඔබේ රටේ නියෝජිත පිරිස හා පරිවාර පිරිස 2012 මාර්තුවල ජිනීවා නුවර හැසිරිච්ච ආකාරය කවදාවත් අප නොදුටු විදියේ අවලස්සන හැසිරීමක් කියලා. ජිනීවා නුවරත් හැසිරෙන්න දන්නේ නැති දූත පිරිසක්, පාලකයෝ පිරිසක් තමයි ඉන්නේ.

2012 ලැබුණු ඡන්ද ටික පවා අද ලබාගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. මානව හිමිකම් කවුන්සිලයේ ඡන්දයක් කියන්නේ විහිලූවක් නෙවෙයි. මේ ගැන මට පැහැදිලි කළා ඉතාම ජ්‍යෙෂ්ඨ චීන නිලධාරියෙක්. ඔහු ෂා සූ කැන්. ඔහු 1978 පමණ ලංකාවෙ හිටපු චීන තානාපතිවරයෙක්. නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ අන්ඩර් සෙක‍්‍රටරි ජෙනරල් කියන ඉහළම තනතුරකටත් පත්වුණ ලංකාවෙ තද මිතුරෙක්. 2009 මැයි ජිනීවා ජයග‍්‍රහණයෙන් පසු මා හමුවූ විට මට විශාල වශයෙන් ප‍්‍රශංසා කරලා විග‍්‍රහයක් කළා. ඔබේ රටට විරුද්ධ ප‍්‍රබල බලවේග යුද්ධය අවසන් වෙන්නට පෙර උත්සාහ දැරුවා එක්සත් ජාතීන්ගේ යෝජනාවක් සම්මත කරගන්න. එක්සත් ජාතීන්ගේ යෝජනාවක් සම්මත කරගත්ත නම් එය ක‍්‍රියාත්මක වෙන්න ඉඩ තිබුණා. එවැනි යෝජනාවක් සම්මත වෙන්න පුළුවන් තැන් තුනක් තියෙනවා. එකක් ආරක්‍ෂක මණ්ඩලය. ආරක්‍ෂක මණ්ඩලයේ ඒක සම්මත කරගන්න බැහැ, චීනය හා රුසියාවෙ සහයෝගය හැමදාම තිබුණු නිසා. ඊළඟට මහා මණ්ඩලය. ඒ මොහොතේ අංක ගණිතමය වශයෙන් මහා මණ්ඩලයේ ලංකාවට වාසිදායක තත්ත්වයක් තිබුණා. ඒක හැමතිස්සෙම නැහැ.

නමුත් ඒ මොහොතේ තිබුණා. එතැනිනුත් යෝජනාවක් සම්මත කරගන්න බැහැ. ඒ හින්දා මේ බලවේග තීන්දු කළා ජිනීවාවලදී මේ යෝජනාව සම්මත කරගන්න. ඒ උත්සාහය ඔබ තමයි වැළැක්වූවේ. නමුත් ලංකාවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ යෝජනාවක් සම්මත කරගන්න පුළුවන් ලේසිම තැන හා ඔබට ආරක්‍ෂා වෙන්නට අමාරුම තැන තමයි ජිනීවා. හේතුව ජිනීවාවල රුසියාවට හෝ චීනයට නිශේධ බලයක් නැහැ. සාමාජිකයන් වෙනස්වෙනවා. එවැනි තත්ත්වයක් යටතේදී පවා ඔබ සාර්ථකව රට ආරක්‍ෂාකරගත්තා. ඔබට පුළුවන් වුණා, ඒක වළක්වන්න විතරක් නෙවෙයි ඒකේ අනිත් පැත්තට යෝජනාවකුත් සම්මත කරගන්න. නමුත් ඔතැනින් තමයි කවදාහරි කඩාගෙන එන්නේ. ඔතනින් කඩාගෙන ආවාට පස්සේ ඒක නිව්යෝක්වලට ගෙනියන්න පුළුවන්. එහෙ නොගෙනිච්චත් වෙනත් අගනුවරවලට හා ජාත්‍යන්තර සංවිධානවලට ගෙනිහින් ඒ මත තවත් යෝජනා සම්මත කරගෙන ලංකාව වටලන දැළක් නිර්මාණය කරාවි ය කිව්වා. එදා අපි කරපු දේ මේ රටේ පාලක පැලැන්තිය අවතක්සේරු කළා. ජිනීවාවල මූලෝපායික වැදගත්කම තේරුම්ගත්තේ නැහැ.

තමාරා කුනනායගම්ගේ ඉරණමත් එයමයි නේද?

දමිළ, ලංකාව ගැන විශාල ආදරයක් කැක්කුමක් ඇති, ජනාධිපතිතුමාගේ කිට්ටු හිතවතියක්, බුද්ධිමත් කාන්තාවක් වුණු ඇය 2012 දී ලංකාව නියෝජනය කළා. නමුත් ආණ්ඩුවෙන් පැමිණි දූත පිරිසේ මෝඩ මූලෝපාය නිසා හා ලංකා ආණ්ඩුවේ වැරදි ප‍්‍රතිපත්්ති නිසා විශාල පරාජයකට පාත‍්‍ර වුණා. ඒ පරාජයේ බර ඇය මත පටවා ඇය අයින් කළා. එවැනි තැනක දමිළ, යුරෝපීය භාෂා තුනහතරක් කතාකරන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩකරලා පුරුදු කාන්තාවක් නියෝජනය කරන එක කෙතරම් ධනාත්මක සාධකයක්ද? ඒ ධනාත්මක සාධකය මේ ආණ්ඩුව විසින් ඉවත්කරල දැම්මා. ඒ ඉවත් කළ ආකාරය කෙතරම් කැතද කිව්වොත් ආපහු කියුබාවට ඇයව පත්කළත් ඇයට සලකපු ආකාරය නිසා පත්වීම බාරගත්තෙ නැහැ. 2009 වගේම 2012දීත් පරාජයට වගනොකිවයුතු පුද්ගලයාව අස්කළා.

දැන් එක්කො පරාජයකට, නැත්නම් පරාජයකට නොදෙවැනි සම්මුතියකට මග පාදන වාතාවරණයක් ජිනීවාවල නිර්මාණය වෙලා තියෙනවා.

නව යෝජනාවේ ප‍්‍රතිඵල මොනවා විය හැකිද?

බලවතුන් මේ යෝජනා සම්මත කරන්නේ ආවාට ගියාට නෙවෙයි. ඔවුන් ඒක කරන්නේ තව පියවර ගණනාවක් ගැන හිතලා ඒ මූලෝපායේ එක පියවරක් හැටියට. මියෙන්මාරය ඉතා දක්‍ෂ ආකාරයට තමන්ගේ රටේ අභ්‍යන්තර තත්ත්වය ප‍්‍රතිසංස්කරණය කරගෙන සමාජය වඩා විවෘත කරලා ජාත්‍යන්තර වටලෑමේ කොන්දේසි යටින් බිඳදැම්මා. 2012 කිව්වා මම අන්න ඒ විදියට අපිත් කරමු කියලා. උගත් පාඩම් කොමිසමේ නිර්දේශ යුහුසුලූව ක‍්‍රියාත්මක කරමු කියලා. නමුත් අද සිදුවෙලා තියෙන්නේ මොකක්ද? ජනාධිපතිතුමා විසින්ම පත්කළ ජ්‍යෙෂ්ඨ විශ‍්‍රාමලත් නිලධාරීන්ගෙන් සමන්විත සිවිල් ඉහළපෙළේ මණ්ඩලයක නිර්දේශ පිළිබඳව ආණ්ඩුවේම තවත් ආයතනයකින් විවේචනාත්මක ප‍්‍රතිචාරයක් එනවා. ඉතින් අපි ජිනීවා ගිහින් කියන්නේ කොහොමද කොමිෂන් වාර්තාව ක‍්‍රියාත්මක කරනවා කියලා. ඒ අය කියයි, තමුන්නාන්සෙලාගෙම අහවල් ආයතනය ඒක විවේචනය කරලා තියෙද්දි අපි කොහොමද විශ්වාස කරන්නේ ඕගොල්ලො ක‍්‍රියාත්මක කරයි කියලා. ඉතින් තමුන්ම තමුන්ගේ කකුලට වෙඩි තියාගෙන ඒ වෙඩිවැදිච්ච කකුලත් එක්ක තමයි මෙදා සැරේ ජිනීවා යන්න හදන්නේ.

ඇත්ත වශයෙන්ම අපි කකුල් දෙකටම වෙඩි තියාගෙනයි ඉන්නේ. අපේ විවේචකයෝ කිව්වේ රට තුළ කිසිම ස්වාධීන පරීක්‍ෂණයක් වෙන්නේ නැහැ. ස්වාධීන පරීක්‍ෂණයක් නම් ඒක ජාත්‍යන්තර පරීක්‍ෂණයක් විය යුතුමයි කියලයි. ඒකට උත්තර දෙමින් මම කිව්වේ ස්වාධීන වෙන්න ජාත්‍යන්තර වෙන්න ඕනෑම නැහැ. අපේ රටේ ස්වාධීන, අඩුතරමේ ස්වායක්ත අධිකරණයක් තියෙනවා. යුද්ධෙ කාලේ අගවිනිසුරුවරයා බැරියර් අයින් කරන්න පවා නියෝගයක් දුන්නා. ඒකෙන් පේනවා සෑහෙන්න ස්වාධීනත්වයක් සහිත අධිකරණයක් අප සතුයි. අපට පුළුවන් අපි තීන්දු කළ අවස්ථාවකදී ඕනෑම ස්වාධීන පරීක්‍ෂණයක් පවත්වන්න. එහෙමයි අපි කිව්වේ. නමුත් අද තත්ත්වය මොකක්ද? කිසිම අධිකරණයක සේවය නොකළ පුද්ගලයෙක් එක පිම්මකින් අගවිනිසුරු හිටියට පත්වීම අනිවාර්යයෙන්ම ප‍්‍රශ්නයට තුඩුදෙනවා. දෝෂාභියෝග ක‍්‍රියාවලිය හා එහි ප‍්‍රතිඵලය දිහා බලද්දී ඕනෑම පරික්‍ෂණයක් දේශීය වශයෙන් පවත්වන්න පුළුවන් ස්වාධීන අධිකරණයක් අප සතුයි කියන තර්කය එක්කො බිඳවැටෙනවා. එක්කෝ ඊට මරණීය තුවාල සිද්ධවෙනවා. කවුද ඒක සිද්ධකළේ? අධිරාජ්‍යවාදීන්ද? නව යටත්විජිතවාදයද? ඉන්දියානු ව්‍යාප්තවාදයද? නෑ. අපේම පාලක පිරිස.

මෙතැනදී සිදුවිය හැක්කේ කුමක්ද?

දේවල් තුනක් තියෙනවා. භයානකකමෙන් අඩුම දේ වන්නේ, උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම සඳහා කාලසටහනක් අපට ඉදිරිපත්වීම හෝ කාලසටහනකට ප‍්‍රතිඥා දෙන්නට අපට සිදුවීම. එසේ එකඟවුණොත් සමහර විට ඡන්දයකට නොයා වැඬේ බේරගන්න පුළුවන්. ඒත් එයින් අදහස්වෙන්නේ නෑ අපට ඉන් රිංගායන්නට පුළුවන් කියලා. මේ යෝජනාව ගේන බලවතුන් හදන්නේ අපට රිංගායෑමට තියෙන ඉඩකඩ ක‍්‍රමක‍්‍රමයෙන් හකුළා අපව එක්තරා දුරකට රාමු කිරීමට. තව එකක් තමයි ලංකාව ගැන පමණක් අධීක්‍ෂණය කරන්න, වාර්තා කරන්න විශේෂ රපෝර්තුකරුවෙක් පත්කිරීම. ඒ දෙකම එකට එන්නත් පුළුවන්. කාලසටහනක් දීලා, එය ක‍්‍රියාත්මක කිරීම ගැන අහවල් මාසේ ආපහු බලනවාය, ඒ වෙනකොට අපි රපෝර්තුකරුවෙක් අනිවාර්යයෙන්ම පත්කරනවාය කියන එක එන්න පුළුවන්. වඩාත්ම අවදානම් සහිත තුන්වැනි විකල්පය වන්නේ ඊනියා යුද අපරාධ හා තවත් දේවල් ගැන සොයාබැලීමට ස්වාධීනයැ යි කියන ජාත්‍යන්තර යාන්ත‍්‍රණයක් පිහිටුවීම. 2008 ඉඳලා අපි වළක්වපු දෙයක් ඒක. නමුත් මේ ආණ්ඩුව විසින් කරලා තියෙන මෝඩකම් නිසා ඒක තවදුරටත් වළක්වන්න අමාරුවෙන්න පුළුවන්. මේ මාර්තුවල නොවුණත් ඒකට ශීඝ‍්‍රගාමී මාවතක් නිර්මාණය කරන්න පුළුවන් මාර්තුවල ගෙනෙන ඕනෑම යෝජනාවකින්. අපි ජිනීවාවලදී ඉල්ලා සිටියේ අපිට කාලය හා අවකාශය දෙන්න කියලා. ඒත් ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට තමුන්ගේ නිදොස් බව ඔප්පුකරන්න අපි නොදුන්නු කාලය හා අවකාශය අපට ඒ අය දේවි කියලා හිතන්න අමාරුයිනේ. එහෙනම් අපි ඉස්සෙල්ලා පෙන්වලා ඉන්න එපායැ අනික් මිනිස්සුන්ට කාලය හා අවකාශය දෙනවය කියලා. මේ විදියට තමයි අපේ ජාත්‍යන්තර ස්ථාවරය ආණ්ඩුව විසින්ම යටින් බිඳදමලා තියෙන්නේ. ආණ්ඩුවට තේරෙන්නේ නැහැ, විසිඑක්වැනි සියවසේ තොරතුරු තාක්‍ෂණ යුගයේදී ජාතික හා ජාත්‍යන්තර ක්‍ෂෙත‍්‍ර අතර චීන මහා ප‍්‍රාකාරයක් නැහැ කියලා. රට ඇතුළෙ කරන දේ ජාත්‍යන්තර වශයෙන් ප‍්‍රතිබිම්බනය වෙනවා. ශිරාණි බණ්ඩාරනායකව ජයග‍්‍රහණය කරලා ජාත්‍යන්තර බලවේග හමුවේ පරාජය වෙන එක ප‍්‍රඥාගෝචර දෙයක් නොවෙයි. ලැබිච්ච වාසියට වඩා හානියක් කරගන්නවා.

කවුද මේ බලපෑම කරන්නේ?

ජේආර් ජයවර්ධන ජනාධිපතිතුමා විශාල පරිණතභාවයක් පෙන්වූ පුද්ගලයෙක්. නමුත් ගිය වැරදි මාවත හේතුකොටගෙන 1987දී බාහිර මැදිහත්වීමක් සිදුවුණා. අසල්වැසි රටක සෙබළු 70000ක් ලංකාවට පතිත වුණා. උතුරේ සහ දකුණේ ගිනි ඇවිළුණා. ජයවර්ධන කැබිනට්ටුව තුළ ගාමක බලවේග හැටියට කටයුතු කළ පුද්ගලයන් දෙදෙනෙක් හිටියා. ඇත්තටම ඒවා පුද්ගලයන්ට වඩා උපව්‍යාපෘති දෙකක්. ඒ දෙක නිසා ජේආර් ජයවර්ධන මහතාගේ ලංකාව සිංගප්පූරුවක් කිරීමේ මහා ව්‍යාපෘතිය බිඳවැටුණා. එක උපව්‍යාපෘතියක් සිරිල් මැතිව් මහතා නියෝජනය කළා. ඒක සිංහල බෞද්ධ ආධිපත්‍යවාදී ව්‍යාපෘතිය. ඔහුගේ කටයුතු නිසා 78,79, 81. 83 ජාතිවාදි කලබල සිද්දවුණා. අන්තිමට ජේආර් ජයවර්ධන මහත්තයා ඔහුව අස්කළා. ඒත් අස්වෙනකොට සිද්ධවෙන්න ඕනදේ වෙලා ඉවරයි. අනෙක් ව්‍යාපෘතිය ලලිත් ඇතුළත්මුදලි මහතාගේ ජාතික ආරක්‍ෂක ව්‍යාපෘතිය. ඔහු දකුණු අප‍්‍රිකාවෙන් ආනයනය කළ සංකල්පයක්. සමස්ත සුක්‍රෂිතතාවය. හැම එකක්ම බැලූවෙ සමස්ත සුරක්‍ෂිතතාව කියන ප‍්‍රිස්මය ඇතුළේ. ලලිත් ඇතුළත්මුදලි මහත්තයාගේ ආකෘතිය වුණේ ඊශ‍්‍රායල් ආකෘතිය. ඔහු ඊශ‍්‍රායල් උපදේශකයෝත් ගෙන්නාගත්තා. ඒ ආකෘතියේ එක් අංගයක් වූයේ අපි අමෙරිකාවට එක්වුණොත් ඒ මහා සුපිරි බලවතා අපට දිගටම සහයෝගය දේවිය කියන එකයි. ඒ අනුව, උතුරු නැගෙනහිර ජන ප‍්‍රතිශත වෙනස්කිරීම වගේ දේවල් කරන්න උත්සාහ කළා. අන්තිමට මොකක්ද වුණේ? මේ ආකෘතිය මිථ්‍යාවක් බව පැහැදිලිව ඔප්පු වුණා. ඒක ඔප්පුවෙච්ච ආකාරයත් ටිකක් කුරිරුයි. අමෙරිකා එක්සත් ජනපදයම ඇවිල් ලංකාවට කිව්වා, අපටත් කරන්න පුළුවන් දෙයක් නැහැ, ඉන්දියාවත් එක්ක ප‍්‍රශ්නය බේරගන්න කියලා. ඒ කාලේ අමෙරිකාවයි ඉන්දියාවයි අතරේ ඒ තරම් සම්බන්ධයක් තිබුණෙත් නැහැ. අද ඒක බෙහෙවින්ම කිට්ටු මූලෝපායික සම්බන්ධයක්. ඊශ‍්‍රායලය මැදපෙරදිග කලාපයේ යුද බලවතා. ලංකාව එහෙම නෙවෙයි. කාගෙ හරි ඔළුව තුළ වෙන්න පුළුවන් වුණාට යථාර්ථය ඒක නෙවෙයි. මේ උපව්‍යාපෘතීන් දෙක නිසා තමයි ජයවර්ධන මහත්තයාගේ ප‍්‍රඥාව පවා යටපත් වුණේ.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා දිහා බලනකොටත් මට පේන්නේ ජයවර්ධන පාලනයේ සිද්ධවෙච්ච ඒ දේම අද සිද්ධවෙනවා. අදත් තියෙන්නේ ජේආර් ජයවර්ධන මහත්තයාගේ කාලේ යථාර්ථය නමැති කළුගලේ හැප්පෙන්න කලින් තිබුණුු ව්‍යාජ විඥානය සහ මේ උපව්‍යාපෘතීන් දෙකයි. ජනාධිපතිතුමා නායකයා වුණාට සැබැවින්ම නියාමක බලවේගය ඔහුද කියන ප‍්‍රශ්නය මට තියෙනවා. ජනාධිපතිතුමා අදහස්කරන දේවල් ඊළඟ උදේ වෙනකොට කවුරුහරි වෙනස්කරනවා. අපි හැමෝම දන්නවා මෙතන තියෙන්නේ පවුල් පොලිට් බියුරෝවක්. ඒක තුළ එතුමාගේ මතය එක්කො තදබල විදියට ඉදිරිපත් කරන්නේ නැහැ හෝ වෙන කට්ටියගේ අදහස්වලට යටත්වෙනවා. ප‍්‍රශ්නය තියෙන්නේ එදා ජේආර් ජයවර්ධන මහත්තයාගේ තත්ත්වය සමගම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩු කාලයේ තිබුණු නිශේධනාත්මක සාධකයකුත් මේ සමීකරණයට අද එකතුවෙලා. ඒක තමයි පවුල් ගහ. සිරිමාවෝ මහත්මියගේ කාලෙත් වමේ අදහසක් තිබුණා බණ්ඩාරනායක මහත්මියට වඩා ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක තමයි දරුණු අධිකාරිවාදී අදහස් දරන්නේ කියලා. ඒ කාලයේ වම ෆීලික්ස්ට කිව්වේ සාතන් කියලා. මේ අත්තනෝමතික අධිකාරිවාදී යුදවාදී මානසිකත්වය යළි යළිත් මතුවෙනවා 1965 සිට මේ දක්වා ආණ්ඩු තුළ. ඒක නියෝජනය කරන්නේ ඉහළම නායකයා හෝ නායිකාව නෙවෙයි. ඒක මතුවෙන්නේ රාජ්‍ය යන්ත‍්‍රයට අණදෙන නිලධාරියා හෝ ඇමතිතුමා හරහා. බණ්ඩාරනායක ආණ්ඩුව කාලෙ තිබුණු ඉතාම අවාසනාවන්ත හා නරක දෙයක් තමයි පවුල් ගහ. අද ඒක පවුල් වනාන්තරයක් බවට පත්වෙලා. අධිකාරිවාදය හා ජාතිවාදය/ආගම්වාදය කියන අර භයානක උපව්‍යාපෘති දෙකට බණ්ඩාරනායක කාලපරිච්ඡෙදයේ තුන්වැනි උප ව්‍යාපෘතියත් පවුල් වනාන්තරයත් එකවිට කටයුතු කරනකොට තත්ත්වය මොකක්ද? මේක ඇත්ත වශයෙන්ම අනුකෘතියක්. මේ අනුකෘතිය තුළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා හිරකාරයෙක්. ඒක තුළ ජනාධිපතිතුමාගේ සාධාරණ ජනප‍්‍රියත්වය වෙස්මුහුණක් හැටියට පාවිච්චි කෙරෙනවා. ජනාධිපතිතුමා ප‍්‍රධාන හතුරා නෙවෙයි. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ, එතුමාට පුළුවන් වේවි හෝ වුවමනාවක් තියෙනවාය කියලා මේ අනුකෘතියෙන් මිදෙන්න.