Hot!

රාජපක්ෂගේ මායාව

නිලන්ත ඉලංගමුව

බල්ලෙකු හඳට උඩු බුරුලන විට අපි
ඊට ආගමක් යයි කියමු. ඌ අමුත්තන් දෙසට බුරා පනින විට ඊට අපි දේශ හිතෛෂීබව යයි කියමු - එඩ්වර්ඩ් අබේ 

බැලූ  බැල්මට පවතින තත්වය තේරුම් ගෙන ඊට ක්‍රමෝපායිකව  මුහුණ දෙනු වෙනුවට රාජපක්ෂ ජනාධිපතිවරයා මුලාව අරමුණු කරගත් දේශපාලනය තම එකම අවිය කරගෙන සිටින සැටියෙකි. මෙය ලංකා භුමීය තුළ  තව දුරටත් වලංගු සාධකයක් ලෙස පැවතීමට හේතු සාධක ගණනාවක්  තිබේ. ඉන් මුලික කාරණය වනාහී යුද්ධය විසින් නිර්මාණය කර තිබු රාමුවෙන් පිට විමුක්තිය සහ නිදහස පදනම් කරගත් ලෝකයක් තිබෙන බව තේරුම් කරදීමට රටේ ස්වාධීන දේශපාලන පක්ෂ හෝ අනෙකුත් බලපෑම කණ්ඩායම් අඛණ්ඩව ක්‍රියා නොකිරීම සහ රාජපක්ෂ මෙන් එකී කණ්ඩායම්ද දවසේ මාතෘකා හැරෙන්නට වෙනත් දීර්ඝ කාලීන ගැටලූ සම්බන්ධයෙන් ක්‍රමවත් වැඩපිළිවෙලකට යොමු නොවීමයි. විමුක්තිය සහ නිදහස වූ කලී ජාතිකවාදයේ සීමාවක් ඉකම්වා ගිය එකක් වන අතර ඊට හලාල්ද හරාම්ද යන්නට වඩා වැදගත් වන්නේ රාජ්‍යක ආර්ථික, දේශපාලන සහ බහු සංස්කෘතිය  තුළින්  රටේ ප්‍රගමනයට දායක කර ගත හැකි මාවත් සෙවීමය, මානව සම්පත් නිවැරදිව කළමනාකරණය කිරීමය. ඒවා සියලු දෙනාටම පොදු නීති රාමුවක් වෙතට තල්ලු කොට ක්‍රියාවේ යෙදවීමය.

එසේම , රාජපක්ෂ යුද්ධය සේම යුද්ධය නිමා කොට එය තමාගේ දරදඬු මිලිටරි සංස්කෘතියේ ජයග්‍රහණයක් කොට පෙන්වා සහයෝගය දක්වන්නා මෙන්ම ප්‍රතිවාධියාද මර්ධනය කිරීම හැරෙන්නට ඊට එහා ගිය දේශපාලන ක්‍රියාවලියකට අවතීර්ණ වීම සඳහා මැලි කමක් දක්වන බවක්  හෝ හිතාමතාම එය නොසලකා හරින ආකාරය පෙනෙන්නට තිබේ. මෙම වටපිටාව විසින් රාජපක්ෂ හැකිලුනු දේශපාලන බැලුනයක් වෙත තල්ලු කොට දමා ඇති අතර ඒ තුළ සිර වී සිටින ඔහුට සැකය සහ භිය විසින් නිර්මාණය කරනු ලබන දේශපාලන ගුණ්ඩු හැරෙන්නට වෙනස් වූ අදහසක් පහළ වන්නේ නැත. මෙය මෙරට බලයෙන් මත් වූ බොහෝ දේශපාලන නායකයින්ට සිදු වූ යථාරූපී ඛේදවාචකය වේ. ශිරාණී බණ්ඩාරනායක මහත්මියගෙන්  පළිගෙන බේබද්දෙකු මෙන් එහි සතුට භුක්ති විඳින්නේ මෙම විකාර රූපී මානසිකත්වයේ විපරිණාමය හේතුවෙනි.

මෙම සැකය සහ භිය පහ කර ගනු ලබන්නේ හෝ ජනතාව ඉදිරියේ වසා දමනු ලබන්නේ මෙරට මුග්ධ රාජ්‍යක්  නොකර යම්තාම් හෝ ශිෂ්ඨත්වයක් ඇති රටක් ලෙස අනෙක් රටවල් සමඟ නැගී සිටීමට පදනම වන ආයතනික රාමුව තමන්ගේ හුදු පුද්ගලික අවශ්‍යතාවයන් සඳහා වෙශ්‍යා වුර්තියේ යෙදවීමෙනි. මෙවැනි වටපිටාවකට තල්ලු වූ පරිපාලනයකට විලි ලැජ්ජාව  පහව  යන අතර චන්ඩිකම යුක්තිය පසිඳලීමේ එකම ආයුධය බවට පත් වේ. මෙහි ඛේදනීයම  අවස්ථාව වූයේ ඉන්දීය බුද්ධි අංශ නායකයාගේ කීමෙන් භිරාන්ත වූ රාජපක්ෂ චන්ඩියෙකු මෙන් යාපනයට ගොස් තම සහෝදරයා විසින් පුනරුත්තාපනය කිරීමට අණ කොට තිබු විශ්ව විද්‍යාල සිසුන් නිදහස් කිරීමයි. ලලිත් සහ කූගන් ගැන වචනයක්වත් කතාකිරීමට නොහැකි රාජපක්ෂ එහිදී වීරයදා කවටයාද  ලෙස එකම වේදිකාවේ එකම වෙලාවේ රඟපෑවේය. මෙය මෙරට පවතින ඛේදජනක සමාජ විපර්යාසයේ තත්වයයි. මෙවැනි මානසිකත්වයක් ඇති අයෙකු පිටතින් පෙන්වන විකාර රූපී  වීරත්වය මිස ඔහුගේ අභ්‍යන්තරය සර්ව සම්පූර්නයෙන්ම රැඳී ඇත්තේ වෛරය සහ පළිගැනීම අරමුණු කර ගනිමිනි. මෙවැනි අයෙකුගේ බලය තිරවීම රටක අතිශය බිහිසුණුම පියවරක් වන හෙයිනි.

මේවන විට ජිනීවා හී පවතින තත්වය සුභදායක නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. රටේ තානාපති සේවය පන්දම් කාරයින්ගේ සහ අපරාධකාරයින්ගේ මාවතක් කොට ඊට සුදුසු අය ඉන් එලවා දමා රාජපක්ෂ රාජපක්ෂගේ තාලයට වීනාව නාද කරමින් ඔහුම ඊට අනුව නර්තනයේ යෙදමින් සිටින්නේ, ඔහු විසින් පෙන්වන මායාවට වඩා එහා ගිය දෙයක් දැකීමට තවමත් සාමාන්‍ය ජනතාව අසමත් බව ඔහු අනුමාන කරන නිසා විය හැකිය. එසේම එය සමාජයේ ඇතැම් කොටසකට අවබෝධ වුවද ඊට විරුද්ධව බරපතල ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිවෙකුට නුපුළුවන් යැයි  ඔහු අධිතක්සේරුවක සිටිනවාද විය හැකිය. ඔහුට විරුද්ධව නැගී සිටීම බලාපොරොත්තු රහිත තත්වයක් ලෙස ඔහු  මවා පා ඇත්තේ රටේ ධනය මංකොල්ල කෑමට ඔහුගේ පවුලේ අයවලුන්ට ලබා දී ඇති අසීමිත නිදහස මඟින් අනෙකුත් ජනතාව දුප්පතුන් බවට පත් කොට තැබීමෙනි. මේ නිසා රටේ තීරණාත්මක අවස්තාවන් වලදී ජනතාව පාගා දැමීමට මෙන්ම ශක්තිමත් විපක්ෂයක් නිර්මාණය නොවන්නේ යැයි  ඔහු කල්පනා කරනවා විය හැකිය. මේ හා අනුව යමින් මැතිවරණ ක්‍රමයද තම ජිල්මාට් ක්‍රමවේදය හරහා මෙහෙවිය හැකි බව දන්නා හෙතම පාර්ලිමේන්තු ප්‍රජාතන්තවාදය නමැති නම පමණක් තම ආඥාදායකත්වයේ හෙළුව වැසීම සඳහා තබා ගෙන සිටින්නේ ඉන් ලෝකය මුලා කළ හැකි යයි සිහින මවමිනි. ඊට ප්‍රතිචාර පසුගියදා තිරුපති වන්දනාවෙන් පසු ඔහුට ප්‍රථමිකව ලැබුණි. කෙසේ වෙතත් සීමාව ඉක්ම වූ කල් හී ඔහු මේ මවමින් සිටින සිහින එක්තරා අවධියකදී වෙනස්ම ස්වරූපයක් ගනු ඇත.


රාජපක්ෂගේ දේශපාලනය වඩාත් සමීව ගැලපිය හැකි චීන ප්‍රස්ථා පිරුලක් තිබේ. එනම් ඔබට බිත්තර ගැනීමට අවශ්‍යනම් කිකිළිය නොමැරිය යුතුය, යන්නයි. නමුත් රාජපක්ෂගේ දේශපාලනය නාභිගත වී ඇත්තේ කිකිළිය මරා බිත්තර බලාපොරොත්තු වීම නැමති අඳ මෝහය මතය. අවිද්‍යාව මතය. මීට කලකට පෙර එකතරා ලේඛකයෙකු  කියූ පරිද්දෙන්  හම්බන්තොට යනු ලංකාව යැයිද ලංකාව යනු  ලෝකය යයිද සිතීමේ ගූඩ මානසිකත්වයේ විපාකය වන්නේ මෙයයි. රාජපක්ෂගේ කැබිනෙට්ටුවේ සිටින අයවලුන්  විසින් නිර්මාණය කොට ඇති දේශහිතෛෂී බවේ සැබෑ නිරුවත වන්නේද  මෙයයි. එය සැබවින්ම හරක් දෙදෙනුකු සතු චීන සමාගමක් වැනිය. හරක් දෙදෙනාගෙන් කිරි දෙවීම සඳහා සේවකයින් 300 ක් පමණ බඳවා ගනු ලබයි. ඉන් පසු රැකියා නැතැයි
වියුක්තියක් උඩු බුරලමින් කෑ  ගසා එය දැවැන්ත සංවර්ධනයක් යැයි කියති. ඒ වටා එකතුවන දේශප්‍රේමින් සාදු සාදු යයි කියති.