Hot!

සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ

| අමිල ගුණරත්න

තවත් සාහිත්‍ය මාසයක් එළැඹෙමින් තිබේ. පොත් ප්‍රකාශකයෝ මේ දින වල ලේඛකයන්ට වඩා මහන්සි වෙති. මහන්සි වන්නේ ලේඛකයාට හෝ සාහිත්‍යට ඇති ආලයකින් නොව මේ තොරොම්බල් කාලය තුල මුදලක් කඩා ගැනීමේ පරම චේතනාවෙනි. ලංකාවේ ජනගහනය දළ වශයෙන් මිලියන විස්සකි. නමුත් පොත් ප්‍රකාශකයන් පවසන පරිදි පොතකින් සාමාන්‍යයෙන් මුද්‍රණය වන්නේ පිටපත් දහසකි. මිලියන විස්සක ජනතාවක් ඇති රටක පොතකින් මුද්‍රණය කරන්නේ පිටපත් දහසක් යනු ඒ රටේ නුගත්කම පෙන්වන ප්‍රධාන සාධකයකි. මේ නුගත්කම කාලාන්තරයක් පුරා වර්ධනයව ඇත්තේ මේ රටේ පොත් ප්‍රකාශකයන්ට නිසාය. ඔවුන්ගේ මුලික පරමාර්ථය කියවීමේ රුචිය වර්ධනය සාහිත්‍ය සංවර්ධනය නොව හැකි තරම් ලේඛකයා හුරාගෙන කා මුදල් ඉපයීමයි. මේ නිසා නිදහසින් පසුව වසර හැට ගානක් ගත වූවද ලංකාවේ සාහිත්‍ය වර්ධනයක් , කියවීමේ වර්ධනයක් , පොත් ප්‍රකාශනයේ වර්ධනයක්, ලේඛකයාට ගරුත්වයක් ලැබී නැත. අපගේ සාහිත්‍යට බොහෝ පසුපසින් සිටි වංග සාහිත්‍යය , අප්‍රිකානු සාහිත්‍යය , බෙංගාලි සාහිත්‍යය , විශාල ලෙස සංවර්ධනය වී විශ්ව සාහිත්‍ය ද පෝෂණය කරති. නමුත් අපේ රටේ සාහිත්‍යය එකම තැනය. මීට මූලික වශයෙන් වග කිව යුත්තේ ලංකාවේ පොත් ප්‍රකාශක මාෆියාව විසිනි.

ලංකාවේ පොත් ප්‍රකාශක මාෆියාව මීගමු මාළු ලේලමේ මාළු මුදලාලිලාටත් වඩා හිතක් පපුවක් නැති ලේඛකයාගේ රීරි මාංසය වුවද හුරාගෙන කෑමට සැදී පැහැදී සිටින මිනි කාක්කන් සමුහයක් ලෙස අර්ථ දැක්වුවාට කිසිම වරදක් නැත. මොවුන් මාධ්‍ය හමුවේ සත් ගුණවත් මහතුන්ය. කතා කරන්නේ ලේඛකයන්ට අත හිත දීමටය. නමුත් ලේඛකයා හුරාගෙන කෑමත් ලේඛකයා මන්දෝත්සාහි කිරීමත් ඇර සේවයක් මේ වන තෙක් මොවුන්ගෙන් ඉටුවී නැත. පොත් ප්‍රකාශනයට ආණ්ඩුවෙන් දෙන සහන පවා ලංකාවේ පොත් ප්‍රකාශක මාෆියාව උදුරාගෙන සිටින බව බොහෝ ලේඛකයන් පවා දන්නේ නැත. මොවුන්ට ලේඛකයා යනු අනියම් කම්කරුවෙකි. ලේඛකයාට යන්තම් සොච්චමක් ගෙවා (සමහර ප්‍රකාශයන් මේ සොච්චම පවා නොගෙවා පැහැර හරිති) ඔහුගේ ආත්මීය ප්‍රකාශනය හුරාගෙන කති. දිනෙන් දින ලේඛකයා දුගී වන අතර පොත් ප්‍රකාශකයා තට්ටු පිට තට්ටු ගොඩනැගිලි සාදයි. පොත් ප්‍රකාශනයෙන් ලැබෙන මුදල් වෙනත් වියාපාර වල යොදවයි. ඒ අතර තමන් ලේඛකයාට අත හිත දෙන්නෙකි යන බොරු වැකිය පුන පුනා පවසයි.

මෑතකදී දිවයින පුවත් පත සමග කල සාකච්ඡාවකදී කොළඹ මරදානේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ අධිපති දයාවංශ ජයකොඩි මහතා මෙසේ පවසා තිබුණි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස්‌ පෙළ ශිෂ්‍යයකුව ඉන්දැද්දී පොත් ප්‍රකාශකයකු හැටියට උපයා ගත්තු මුදලින් ගත්ත කාරෙකින් තමයි මම ඉස්‌කෝලෙ ගියේ. හැබැයි දවස්‌ කීපෙකට වඩා මට කාරෙකේ ඉස්‌කෝලෙ යන්න හම්බ වුණේ නෑ. තාත්තට ආරංචිවෙලා කාරෙකෙන් යන ගමන නතර කරන්න වුණා.අදින් වසර පනහකට පෙර පාසල් සිසුවකුව සිටියදී පොත් ප්‍රකාශකයකු බවට පත්වූ කොළඹ මරදානේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ අධිපති දයාවංශ ජයකොඩි මහතා අඩසියවසක සිය වෘත්තීය ජීවිතයේ මතකය අවදි කළේ ඒ අපූරු සිදුවීම සිහිපත් කරමිනි. ඔහු ප්‍රකාශයට පත් කළ මුල්ම පොත නිමල් ආරියවංශ පෙරේරාගේ සාහිත්‍ය සංග්‍රහයයි. ඒ 1962 අගෝස්‌තු 29 වැනිදාය. (ඉරිදා දිවයින -පාලිත සේනානායක)

කරුණාකර අවධානය යොමු කරන්න "උසස්‌ පෙළ ශිෂ්‍යයකුව ඉන්දැද්දී පොත් ප්‍රකාශකයකු හැටියට උපයා ගත්තු මුදලින් ගත්ත කාරෙකින් " යන වැකිය වෙත. පාසල් සිසුවෙකුව සිටියදී පොත් ප්‍රකාශකයෙකු ලෙස දයාවංශ ජයකොඩි මහතාට වාහනයක් ගැනීමට හැකි විය. නමුත් මුළු ජිවිත කාලයම පොත් ලිවීමට කැප කල , සිංහල සාහිත්‍ය වර්ධනයට කැප කල ජී බී සේනානායක , ඇරැව්වල නන්දිමිත්‍ර , කුලසේන ෆොන්සේකා , කේ ජයතිලක , වැනි වියත් ලේඛකයන් පොත් ලිවීමෙන් උපයාගත් මුදලින් ලදරම් මොරිස් මයිනර් රථයක්වත් ගත් බව අප අසා තිබේද ? පොත් ප්‍රකාශන මාෆියාවේ කුරිරු භාවය ගැන මෙවැනි කතා බොහෝ තිබේ. කෙසේ නමුත් අනෙකුත් පොත් ප්‍රකාශයන් මෙන් තමන් උපයාගත් මුදල නොසඟවා , "පොත් ප්‍රකාශනය පාඩුයි" වැනි බබා වැකිය පුන පුනා නොකියා සත්‍ය එකවරක් හෝ කීම ගැන දයාවංශ ජයකොඩි සහ සමාගමයේ අධිපති දයාවංශ ජයකොඩි මහතාට අප ස්තුතිවන්ත වෙමු.


ලංකාවේ පොත් ප්‍රකාශක මාෆියාව ඉතා බලවත්ය. එසේම මේ මාෆියාව පාලනය කරන්නන් අධික මුදල් තණ්හාවෙන් යුක්තය., ඔවුන්ගේ ඒකායන අරමුණ ලේඛකයා ගසා කෑමය. එසේම ඔවුන්ට මුදල් උපයා දෙන ලේඛකයා කෙරෙහි කිසිදු ගරුත්වයක් සැබෑ ලෙසින් නැත. ලේඛකයෙකුට තමන්ගේ පොත් තනිවම මුද්‍රණය කොට බෙදා හැරීමට මේ පොත් ප්‍රකාශක මාෆියාව ඉඩ දෙන්නේ නැත. ඉතා අධික ලෙස වට්ටම් ඉල්ලීම මගින් ලේඛකයා බිමටම සමතලා කර දමති. එසේම තමන්ට ජිවිත කාලයක් මුදල් උපයා දුන් ලේඛකයා වියපත් වී අසනීප වූ විට පවා ඔවුන්ගේ දුක සැප විමසීමටවත් මේ බැටළු හම් පොරවාගත් නඩය උනන්දු නැත. මේ ගැන හොඳ කතාවක් තිබේ. මුනිදාස කුමාරතුංග මහතාගේ අවසාන කාලයේදී ඔහුගේ පොත් මගින් ඉතා විශාල ලෙස මුදල් උපයාගත් ප්‍රකාශකයෙක් ආත්ම දෝෂාරෝපණයෙන් මිදෙනු වස් සුළු මුදලක් රැගෙන මේ මහා ලේඛකයා ගේ නිවසට පැමිණියේය. මේ පොත් ප්‍රකාශකයා දුටු ඇඳේ ගිලන්ව සිටි මුනිදාස කුමාරතුංග මහතා ඔහු සමග වචනයක්වත් නොදොඩා අනෙක් පසට හැරුණි. ඔවුන් තමන්ට වංචා කල බව මරණ මංචකයේදී මුනිදාස කුමාරතුංග මහතාට තේරුණි. මේ මහා ලේඛකයාගේ කෘති වලින් මෙම පොත් ප්‍රකාශන සමාගම අදටත් මුදල් උපයති.

පොත් ප්‍රකාශකයන් සැමදෙනාම පහේ පොත් මුද්‍රණයේදී කිසිම හිරිකිතක් සදාචාරයක් නැතිව ලේඛකයාට වංචා කරති. පිටපත් දහසක් මුද්‍රණය කරන බව පවසා එම පොතට හොඳ පාඨක ප්‍රතිචාරයක් තිබේ නම් රහසේම තවත් පිටපත් මුද්‍රණය කරති. ඇතැම් විට පිටපත් 25,000 වැනි ප්‍රමාණ හොරාට මුද්‍රණය කල ප්‍රකට පොත් ප්‍රකාශකයන් සිටිති. නමුත් ලේඛකයාට පවසන්නේ පොත විකිනෙන්නේ නැති කතාය. මුදල් ගෙවන්නේ පිටපත් දහසකටය. එම සොච්චම පවා නොගෙවා පැහැර හරින පොත් ප්‍රකාශන මහත්වරු සිටිති. ලේඛකයන්ට පොලු තැබීමට මොවුන් උපන් ගෙයි හපන්නුය. මේ නොමිනිසුන් විසින් විනාශ කරන ලද ලේඛකයන් , පොත් ලිවිම එපා කරන ලද ලේඛකයන් , රස්තියාදු කරන ලද ලේඛකයන්ගේ ප්‍රමාණය ඇති විශාලය. මෙවැනි හේතු නිසා සිංහල සාහිත්‍යයේ වර්ධනයක් පසුගිය අද සියවස පුරා ඇති නොවිණි.

ලංකාවේ පොත් ප්‍රකාශක මාෆියාව විසින් මේ රටේ සාහිත්‍ය වර්ධනය , පොත් ප්‍රකාශනය , ලේඛක ගරුත්වය , ලේඛකයාට පිටරටවල මෙන් වෘතීය භාවයකින් ආර්ථික සමුර්ධියක් ලබා එක එකාට අත නොපා ජිවත් වීමට ඇති මාර්ග මේ වෘකයන් විසින් අහුරා තිබේ. වෙනත් රටවල පොත් ලියා මුදල් උපයා ගත් ලේඛකයන් සිටින නමුත් මේ රටේ සිටින්නේ ලේඛකයා හුරා කා පොහොසත් වූ පොත් ප්‍රකාශක ග්‍රන්ථ මංකොල්ලකාරයන් පිරිසකි. මොවුන් උපයා ඇති කළු මුදල් ගැන දන්නේ උඩ සිටින දෙවියන් පමණි. මේ අසාධාරණය නැවැත්වීමට රජයේ මැදිහත්වීම අවශ්‍ය නමුත් ලංකාවේ පොත් ප්‍රකාශක මාෆියාව විසින් අදාල බලධාරීන් සියලුදෙනා මිලදී ගෙන ඇත. සාහිත්‍ය සම්මාන ලැබිය යුත්තන් පවා තීරණය කරන්නේ මේ කැත මාෆියාව විසිනි. රජයන් ලේඛකයාට දෙන ප්‍රතිලාභ පවා මේ හොරු නඩය විසින් ඉතා නින්දිත ලෙස කොල්ල කා තිබේ. මේ නිසා සිංහල සාහිත්‍යයේ , පොත් ප්‍රකාශනයේ දියුණුවක් තව වසර පනහක් ඇතුලතදී වුවද සිදු නොවනු ඇත. දියුණුව වන්නේ ලංකාවේ පොත් ප්‍රකාශක මාෆියාව තුල පමණි.




0 comments: