Hot!

වත්සලා කුමුදුනි ද සිල්වා ගේ සිද්ධියෙන් හෙළිවන ලාංකික සරසවි නිරුවත

රුහුණු සරසවියට යාමට වරම් ලද බලපිටියේ පදිංචි වත්සලා කුමුදුනි ද සිල්වා සිප්සතර හැදෑරුවේ බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයෙන් සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයෙනි. සරසවි ප්‍රවේශයට ප්‍රථම නායකත්ව පුහුණුව නිම කිරීමට ඇයට සිදුවුවාය. නායකත්ව පුහුණුවේදී බාල්කයක එල්ලී සිදුකල ශාරීරක ව්‍යායාම කටයුත්තකදී ඇද වැටී ඇයගේ තුනටිය ආබාධයකට ලක්විය. තුනටියේ ආබාධයට ප්‍රතිකාර ගැනීමෙන් පසු ඇය රුහුණු සරසවියට පැමිණියේ චකිතයෙනි. නායකත්ව පුහුණුව ලැබූ නවක සිසු සිසුවියන් ගේ අත් අඹරවා නවක වදය දෙන බවට ජේෂ්ඨ සිසුන් විසින් කලින්ම වහසි බස් දොඩා තිබුණි. සරසවියට පැමිණි මුල් සති කිහිපය තුලදී ඇය ඇතුළු නවක සිසු සිසුවියන්ට රුහුණු සරසවියේදී නවක වදයට ලක් වන්නට සිදු විය.

ශාරීරික නවක වදයට ලක් වුවහොත් තුනටියේ ආබාධය වැඩිවෙන නිසා වත්සලා කුමුදුනි තමන්ට ශාරීරික හිරිහැර නොකරන ලෙස ජේෂ්ඨයන්ගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටියාය. සමහර ජේෂ්ඨයන් ඇයගේ තත්වය අවබෝධකොට ශාරීරික නවකවදය වෙනුවට කුණුහරුප දහයක් කටපාඩම් කොට ඒවා පාඩම් දීමට නියෝග කළහ. ගමේ තාලයට සදාචාරවත් අයුරින් ඇති දැඩි වූ මෙම යුවතිය ජේෂ්ඨ වදකයන්ගෙන් බේරීමේ අන් මගක් නොවූ නිසා ඉතා අසීරුවෙන් සහ හිරිකිතයෙන් අසභ්‍ය වචන දහයක් ජේෂ්ඨයන් ඉදිරියේ විලියෙන් හැකිලෙමින් පැවසුවාය. ලිංගික හීනමානයෙන් සහ පරපිඩක ලිංගික ආශාවෙන් ඔද වැඩි ගිය ජේෂ්ඨයන් ඇයගේ වදන් වලට කොක් හඬ නගමින් සිනාසුනහ. ලැජ්ජාව සහ සිටගෙන සිටීමේදී ඇතිවූ ශාරීරික වෙහෙස නිසා වත්සලා කුමුදුනි පුටුවක ඉඳ ගත්තාය. නමුත් ඇයට වැඩි වෙලාවක් ගිමන් හැරීමට ඉඩක් නොලැබිණි. රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන අකුරැස්ස ප්‍රදේශයෙන් පැමිණි සිටි කෞමිනි නිෂානි ලියනගේ නම් ජේෂ්ඨ උත්තමාවිය ඇය වෙත කඩා පැන්නාය.

"තමුසේ මොකද පැත්තකට වෙලා? තමුසේ කොහෙන්ද? යැයි විමසුවාය. වත්සලා තමා බලපිටියෙන් බව කීවාය "ආ බලපිටියේද ......? තමුසේ හැමදාම අයිස් ගහනවා යනවා පෝලිමට කියමින් මෙම උද්දච්ඡ ගැහැණිය වත්සලා කුමුදුනීව පෝලිම වෙත තල්ලු කළාය. වත්සලා ඇයට තමන්ගේ තුනටියේ රෝගී තත්වය ගැන කීවත් ඇය අසභ්‍ය වචන දෙක තුනක් පවසා යනවා පෝලිමට යැයි ගිගුරුවාය. තවත් ජේෂ්ඨ සිසුවියක් වන මනීෂා තිලිණි අලවත්ත වත්සලා කුමුදුනී පෝලිම දෙසට නිර්දය ලෙස තල්ලු කළාය. බිය සහ තැතිගැනීම නිසා වත්සලා කුමුදුනී නවකයන්ගේ පෝලිමට එක්වූවාය. ඉන්පසු ජේෂ්ඨ වධකයන් විසින් නවකයන්ගේ පෝලිමේ ඉස්සරහටත් පසුපසටත් තෙරපණු ලැබීය. තෙරපීම නිසා සමහර සිසුන්ට හුස්ම ගැනීමට පවා අසීරු වූ බව පසුව හෙළි විය. නමුත් පරපිඩා කාමය හිසට ගැසූ ජේෂ්ඨ වධකයන් නොනවත්වාම පෝලිම ඉදිරියට සහ පසුපසට තෙරපනු ලැබුහ.

රුහුණ සරසවියේ ආචාර්යවරුන් කිහිප දෙනෙක් ද මෙම නවක වදය දුටු නමුත් ඔවුන් සිනාසෙමින් එතනින් ගියේ ජෙෂ්ඨයන්ගේ ක්‍රියාව අනුමත කරන්නාක් මෙනි. පරම්පරා ගණනක් නවකවදයට ලක්ව නවක වදය තුලින් ඉගෙනුම ලබා සරසවි ආචාර්ය මහාචාර්ය පදවි වලට පත් වුවත් තවමත් හිත් තුල ක්ෂය නොවී සැඟවී සිටින පරපීඩකයා නිසා සරසවි ආචාර්යවරුන් ගෙන් වැඩි ප්‍රතිශතයක් මෙම කාලකන්නි නවකවදය අනුමත කරන බව වත්සලා කුමුදුනී දැන සිටියේ නැත. මෙම ආචාර්ය මහාචාර්යවරුද ශ්‍රී ලංකික සරසවි මඩ ගොහොරුවේ සිටින මඩකරියන් බඳු පීඩකයන් නිසා කිසිවෙකු ඇයව ගලවා ගැනීමට පැමිණියේ නැත. තෙරපීම උග්‍රවීම නිසා ඇයට ඉසුලුම් නොදෙන තුනටියේ වේදනාවක් මතු වුවාය. ඇය සිහිනැතිව ඇද වැටුණි.

සිහිසන් නැතිව ඇද වැටුණු වත්සලාව කෞමිනි නිෂානි ලියනගේ විසින් ත්‍රි රෝද රථයකට පටවාගෙන මාතර රෝහලට ගෙන ගියාය. ඇය වත්සලා රෝහල් ගතකොට තිබුනේ පඩිපෙලකින් වැටුනයායි බොරුවක් රෝහලටද පවසමිනි. රෝහලේදී ඇයගේ තුනටිය ඉතා අනතුරුදායක අන්දමට බිඳී තිබෙන බව සොයාගැනිණි. එසේම මේ නිසා අනාගතයේ ඇයට ඇවිදීමේ අපහසුතාද ඇති විය හැකි වන රෝහල් වෛද්‍යවරු පවසති. රෝහලේ සිටියදී වත්සලා කුමුදුනි හඬමින් පැවසුවේ ශිෂ්‍ය අනුගතකිරිම යන මහා බොරුවට මුවාවී මෙලෙස නවක සිසු සිසුවියන්ට ශාරීරික මානසික පිඩා ඇති කිරීම නවතා දමන ලෙසටයි. නමුත් ලංකාවේ විශ්ව විද්‍යාල බලධාරීන් ඇයගේ අසරණ වචන තේරුම් ගත්තේද යන්න ඉතා සැක සහිතය.

සාපරාධි ලෙස නවක සිසුවියකට පිඩා කිරීම පිළිබඳව කව්මිණි නිශානි ලියනගේ, මනීෂා තිලිණි අලවත්ත යන සිසුවියන් මේ වනවිට අත්අඩංගුවට පත්ව ඇත. මොවුන්ට විරුද්ධව නිසි පරීක්ෂණයක් පවත්වා නීතිය ඉදිරියේ වරදකරුවන් වේ නම් උපරිම ලෙස දඬුවම් නියම කල යුතුය. වත්සලා කුමුදුනි ද සිල්වාට සිදු වූ අසාධාරණය උසස් අධ්‍යාපන සංස්කෘතියක් ඇති ශිෂ්ඨ රටක විශ්ව විද්‍යාලයක සිදු වුයේ නම් සරසවියේ උප කුලපතිවරයා අනිවාර්යෙන්ම වගඋත්තරකරුවෙකු වී නිතිය හමුවේ නිදහසට කරුණු කීමට සිදු වනු ඇත. එසේම විශ්ව විද්‍යාලයට වත්සලා හට වන්දි ගෙවීමටද සිදු වනු ඇත. වරදකරුවන්ට නීතියෙන් ගැලවී යාමට ඉඩ නොලැබෙනු ඇත. නමුත් අධ්‍යාපනික අතින් මෙන්ම සදාචාරාත්මක අතින් පිස් පෝච්චි මට්ටමට වැටී ඇති ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල වලින් වත්සලාට බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද? ඇයට කිසිවක් බලපොරොත්තු විය නොහැක. අසාධාරණය සිදු වුයේ ඇයටය නමුත් අනෙකුත් සිසුන් සහ ආචාර්යවරු කිසිවෙකු ඇයට අනුකම්පාව නොදක්වති. නීතිය ඉදිරියට තමන්ගේ පීඩකයන් ගෙන යාම නිසා රුහුණ විශ්වවිද්‍යාලය (සිසුන් සහ ආචාර්යවරු) විසින් ඇය වරදකරුවෙකු මට්ටමට පත් කොට අවලාද නගති.

මෙය අපගේ පසුගාමී සමාජයේ හරස්කඩක් නොවේද ? අසාධාරණයට එදිරිව පළමු වෙඩිමුරය පත්තු කරන පුද්ගලයා මත වරද පටවන පීඩකයාට සුදු හුණු ගාන ශ්‍රී ලංකික සමාජය මෙතෙක් කර ඇත්තේ කුමක්ද? උසස් අධ්‍යාපන ආයතන මේ රටේ සමාජයට දී ඇති ආදර්ශය කුමක්ද ? විශ්ව විද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු සමාජයට දී තිබෙන මාර්ගෝපදේශනය කුමක්ද ? නීතිය නොතකා සමාජ රීති උල්ලංඝනය කරන මර්වින් සිල්වාලා, කප්පම් ගන්න සරණ ගුණවර්ධනලා , ළමා ලපටින් දුෂණය කරන සාරුව සුනිල්ලා , මිනී මරණ ජුලම්පිටිය අමරේලා මේ සමාජයේ බිහි වීමට උගතුන් යැයි කියා ගන්නා විශ්ව විද්‍යාල වල ආචාර්යවරු මහාචාර්යවරු පවා දායක වී ඇති අයුරු නොපෙනේද ? උසස් අධ්‍යාපන සංස්කෘතියක් ඇති ශිෂ්ඨ රටක විශ්ව විද්‍යාලයක මේ අසාධාරණය සිදු වුයේ නම් සියලු විශ්ව විද්‍යාල ප්‍රජාව ගන්නේ වින්දිතයාගේ පාර්ශවයයි. නමුත් ලංකාවේ එවැනි මානුෂික දැක්මක් තවමත් අපගේ උසස් අධ්‍යාපන ආයතන වලට නැත.

අපගේ සමාජයේ සෑම විපරිතයකටම අප සහමුලින්ම වග කිව යුතු බව සිතුවේ දේශපාලකයන්ටය. කාලයක් අප ඩඩ්ලිට බැන්නෙමු, ඉන්පසු සිරිමාට , ජේ ආර් ට , ප්‍රේමදාසට , චන්ද්‍රිකාට අපව පත් කරන ලද කාලකන්නි තත්වයට වග කිවයුතු බව කියමින් වරින් වර දෝෂාරෝපණය කළෙමු. දැන් බැනිල්ල මරාට සහ ගෝටාටය. දේශපාලකයන් අත වගකීමක් ඇතත් විශ්ව විද්‍යාල බුද්ධිමත් ප්‍රජාවටද විශාල වගකීමක් තිබේ. නමුත් ශ්‍රී ලංකාවට එවැනි ධනාත්මක මාර්ගෝපදේශනයක් දීමට අපට උගත් බුද්ධිමත් විශ්ව විද්‍යාල ප්‍රජාවක් නැත. සිටින්නේ ගිරවා දමා උඩට පැමිණි වනපොත්කරුවන්ය. මොවුන් දේශපාලකයන්ට බුද්ධිමය වශයෙන් අභියෝග කිරීමට නොව ජිවිතයටම විශ්ව විද්‍යාලයක පස් නොපෑගු එහෙන් මෙහෙන් අමාරුවෙන් ඉංගිරිසි වචන දෙක තුනක් ගලපාගෙන ඩෙරීඩා ගැන කරුණු අහුලාගෙන විවාදයට එන එක්ස් කණ්ඩායමේ දීප්ති ගුනරත්නලාගේගේ ලාමක තර්ක හමුවේ පවා නගුට පසුපස ගසාගෙන පැන දුවති.

විශ්ව විද්‍යාල ප්‍රජාව තුල බුද්ධිමය සංවාද නැත. මේ රටේ ඒක පාර්ශවික හෝ සංවාද කරන්නේ නලින් ද සිල්වා පමණි. නමුත් කිසිම පිටරට විශ්ව විද්‍යාලයක් ඔහුව සීරියස් පිට ගණන් නොගැනීම නිසාත් තරුණ කාලයේ ගණනානාථලා පොන්නම්පෙරුමලා මෙන් බටහිර විශ්ව විද්‍යාලයකට යාමට නොහැකි වූ නිසාත් නලින් ද සිල්වා පමණක් පාළු ගෙයි වලං බිඳින්නාක් මෙන් කොහෙවත් නැති බටහිර දැනුමට බනිමින් සිටියි. ( එහෙත් නලින් ද සිල්වාගේ ලිං මැඩි අනුගාමිකයන් සිතන්නේ බටහිර විශ්ව විද්‍යාල විසින් කොයි මොහොතේ හෝ නලින් ද සිල්වා පැහැරගෙන යා හැකි අයින්ස්ටයින් කෙනෙකු ලෙසටය. මෙවැනි අයින්ස්ටයින්ලා නීලම්මහර පැත්තේ ගියොත් තොග ගන්නේ සොයාගත හැක) . බුද්ධිමතුන් නැති බුද්ධිමය සංවාද නැති මේ රටේ ඉරිදා ජාතික පුවත්පත් පවා ඉඩ වෙන් කරන්නේ නලින් ද සිල්වා ගේ බමුණු මතවාදයට පමණි. මේ අනුව අප සමාජයේ පවතින බුද්ධිමය රික්තකය අපට තේරුම්ගත හැක. මේ සමාජයේ හෙල්ගල්ලා සාත්‍රේලා නැත. ඇත්තේ නලින් ද සිල්වා වැනි කට්ටන්ඩියන් , වැල යන අතට මැස්ස ගසමින් ගාන සොයා ගැනීමට පුල පුලා බලා සිටින සුනිල් ආරියරත්නලා , , ඩිල්කා සමන්මලිගේ ප්‍රශ්න වලටවත් තටමන්නේ නැතිව පිළිතුරු දී ගත නොහැකි නිර්මාල් රන්ජිත්ලා , වසරකට වරක් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට පොත් විකිනීමට මාන බලමින් සිටින සරත් විජේසුරියලා වැනි හුචක්කුය බුද්ධිමය අතින් සහ සංස්කෘතික වසයෙන් නිරුදක කතරක් වූ අප සමාජයේ පවත්නා විපරිතයන්ට මොවුන්ද වග උත්තරකරුවෝ වෙති.

තමන් උගතුන් සහ සමාජය ධනාත්මකව වෙනස් කල හැකියි බව තරයේ අදහන අපගේ විශ්ව විද්‍යාල ප්‍රජාවට 71 කැරැල්ල නැවැත්වීමට නොහැකි විය , 77, 83 ජාතිවාද කෝලාහල මේ සමාජයන් මතු වීමට ඉඩ නොදීමට නුපුළුවන් විය, මේ රටේ ජනවාර්ගික යුද්දය ඇති වීම වලකාලනු නොහැකි විය, යුද්දයෙන් පසු ප්‍රජාවන් අතර සංහිඳියාවක් ඇති කිරීමට නොහැකි විය. අවම වශයෙන් ඔවුන්ට කාලාන්තරයක් පුරා මේ රටේ විශ්ව විද්‍යාලවල තිබෙන අමානුෂික නවක වදයට තිත තැබීමට කොන්දක් හෝ දෘෂ්ටියක් නැත. මේ අර්ථයෙන් ගත කල පුද්ගලික බස් පාලනය කරන හිටපු බස් රියදුරෙකු වූ බස් ගැමුණුට අපගේ විශ්ව විද්‍යාල වල ආචාර්ය මහාචාර්යවරුන්ට වඩා කොන්දක්, දර්ශනයක් සහ සමාජය පිලිබඳ දැක්මක් තිබේ. බස් ගැමුණුට මොවුන් සියලුදෙනා පරාදය. ඒ නයින් බස් ගැමුණුට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයට වුවද අනුශාසනා කල හැකිය.

ශ්‍රී ලංකාව සංස්කෘතික කාන්තාරයක් බව පේරාදෙණියේ සිටි අයිවර් ජෙනිග්ස් නම් සුද්දා කිවේය. අපගේ විශ්ව විද්‍යාල ප්‍රමුක සමස්ත සමාජය ගමන් කරන දිශානතිය ගැන ඒ කාලයේ සිට අයිවර් ජෙනිග්ස් නම් සුද්දාට ඉවක් තිබුණි. අපගේ විශ්ව විද්‍යාල ප්‍රජාව ඇතුළු සමස්ත සමාජය අසුචි වලක හිරවන බව මේ සුද්දා සහසුද්දෙන්ම දැන සිටියේය.

පසු සටහන

මේ චායාරූපය ඇමරිකානු විශ්ව විද්‍යාලයකට පැමිණි නවක සිසු සිසුවියන් පිළිගැනීමේ උත්සවයකය. මෙහි නවක වද කුණුහර්ප , තර්ජන නැත නවකයන් සාදරයෙන් පිළිගෙන ඔවුන්ට කෑමෙන් බිමෙන් සංග්‍රහ කෙරේ. ලංකාවේ විශ්ව විද්‍යාලවල මෙන් මුල් දිනයේදීම කුණුහරප වලින් නවකයාට මෙහිදී සංග්‍රහ නොකරේ. අපගේ හීනමාන අප්පුලා මෙන් නොව ඔවුන් මානසික සදාචාර මට්ටමින් උසස් මිනිසුන් කොටසකි. මෙහි ලංකාවේ මෙන් නවකයන්ට කායික මානසික හිරිහැර කරන පරපිඩක ජේෂ්ඨයන් , නවක වදය නිහඬව අනුමත කරන ලංකාවේ විශ්වවිද්‍යාල වල නිෂ්පාදිත පිටරට විශ්ව විද්‍යාලයක රැකියාවට යාමට නොහැකිව තමන් සමග සහ අනුන් සමග කෝපයෙන් සිටින කුජිත කුහක ආචාර්ය මහාචාර්යවරු නැත. තෙල බෙදන්නන් නැත. තුන්වේල කන එකාට ඉරිසියා කරන වයිර කිරීමට උගන්වන අන්තරයේ පිස්සන් නැත. සිසුන් එකිනෙකාට ගරු කරති. කෙනෙක් තව කෙනෙකුගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය නොකරයි. මෙවැනි උසස් විනයක් දැකිය හැක්කේ ලංකාවේ කවර විශ්ව විද්‍යාලයේද? මෙවැනි උසස් විශ්ව විද්‍යාලවලට සාපේක්ෂව අපගේ විශ්ව විද්‍යාල වැසිකිලි නොවේද ? ශ්‍රී ලංකාවේ පසුගාමී විශ්ව විද්‍යාල මෙවැනි උච්ඡ මට්ටමකට ඒමට නම් තවත් වසර සීයක් පමණ යනු ඇත. එතෙක් කාලකන්නිකම පිටාර ගලන පරපීඩකයන් අරක් ගත් ලංකික විශ්වවිද්‍යාල වලට ගාල් වන නවකයන්ට දෙවි පිහිටය.

අමිල ගුණරත්න - සහාය දර්ශිනි විමලසුරිය සහ නිර්මාල් යසන්ත පිරිස්

( මේ ලිපියට දායකත්වය දුන් සියලුම දෙනා ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල වලින් මුල් උපාධි ලබාගෙන සිටින අතර ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල වල තිබෙන පහත් තත්වය , ධනාත්මකව වෙනස්වීමට අවශ්‍යතාවක් නොවීම, පසුගාමී වැඩවසම් බව ආත්මාර්ථකාමී අරමුණු වෙනුවෙන් නඩත්තු කිරීම ගැන විරෝධතාව දක්වන්නන් වෙති.)


0 comments: