Hot!

කොට්‌ට උරය කනපිට හැරවීම

දිවයින පුවත්පතේ අද දින පළ කරනු ලැබූ කතුවැකිය පහත පළ වේ. අදාළ පුවත්පතේ දේශපාලනික මතවාදය සමඟ නොයෙක් නොගැලපීම් තිබුනත් අද දින කතු වැකිය ලියු කතුවරයාට අපේ ප්‍රණාමය පළ කරමු.
-----------------

මැදිරිගිරියේ පදිංචි හතළිස්‌ හැවිරිදි කාන්තාවක වන සමන්තා නන්දනී මහත්මිය පසුගියදා මැදිරිගිරිය නගරයේ අඩි 60 ක්‌ උස ජල ටැංකියකට නැග විරෝධතාවක්‌ පටන් ගත්තා ය. ඇගේ පුත්‍රයා යුද හමුදාවේ සේවය කළේ ය. ඔහුගේ නම ඡන්ද හිමි නාම ලේඛනයෙන් අත් හැරිණ. එය යළි හදා ගැනීම සඳහා ඇය ගිය අවස්‌ථාවේදී ග්‍රාම සේවකයෙක්‌ ඇයට අයුතු යෝජනාවක්‌ කළේය. ලිංගික අතවරයක්‌ කිරීමට තැත් කළේය. එවිට ඇය මැදිරිගිරිය පොලිසියට ගොස්‌ පැමිණිල්ලක්‌ කළාය. පොලිසිය පැමිණිල්ල විභාග කළේ නැත. කරන්නේද නැත. ඇය වතුර ටැංකියට නැංගේ ඊට විරෝධය පළ කරනු පිණිසය.

මෙය කීමට හැකි තැන් මෙන්ම කීමට නොහැකි ද වූ තැන් ඇති දිගු කතාවක සාරාංශයකි. මැදිරිගිරිය පොලිසියේ පමණක්‌ නොව මේ රටේ පොලිසි සෑහෙන ගණනක තත්ත්වය මෙය ය. පැමිණිල්ලක්‌ කිරීම සඳහා පොලිසියට යන වැඩිහිටියන් රාළහාමි කෙනකු හෝ සාජන් කෙනකු සමඟ තේ කඩයකට රිංගන හැටි අප ඕනෑවටත් වඩා දැක තිබේ. පැමිණිල්ල දැමීමට යන්නේ රූමත්, විවාහක කාන්තාවක්‌ නම් සමහර පොලිස්‌කාරයන්ට ඉවසිය නොහැකි තරම් හදිස්‌සියක්‌ ඇති වේ. එම කාන්තාවට පවුල් ප්‍රශ්නයක්‌ තිබේ නම් එය දැන ගැනීමට හැකි පුදුම ඉවක්‌ සමහර පොලිස්‌ නිලධාරීන්ට ඇත. එබැවින් ඇයට උදව් කිරීම සඳහා ඔවුහු වෙනම පෝළිමක්‌ සැදෙති. මේ අනුව පැමිණිල්ලක්‌ කිරීමට පොලිසියට යන තරුණ ගැහැනියකට ගණිකාවක්‌ ලෙස එළියට බැසීමට සිදුවන අවස්‌ථා තිබේ. මේ කැත පුරුද්ද ග්‍රාම සේවකට බෝ වීම ඉතා භයානකය. මන්ද ග්‍රාම සේවක යනු සතියකට දවස්‌ කිහිපයක්‌ ම ගමේ ගෙවල් ගානේ යැමට බල තල ඇති මහතෙකි. ඡන්ද හිමි නාම ලේඛනය භාරදීම, එය ඉක්‌මනින් පුරවන ලෙස මතක්‌ කිරීම, පුරවන ලද නාම ලේඛන ආපසු එකතු කිරීම, ඩෙංගු මදුරුවන් බෝවීම වළක්‌වන ලෙස උපදෙස්‌ දීම ඇතුළු විවිධ කාරණා සඳහා දහවල් කාලයේ ගෙවල් බලා යැමේ අවකාශය ග්‍රාම සේවකට ඇත. එතුමා මේ අවස්‌ථා හොඳ අතට පාවිච්චි කළොත් හොඳයි. නරකට පාවිච්චි කළොත් නරකම නරකයි. මැදිරිගිරියේ සිද්ධියට අදාළ ග්‍රාම සේවකයා එබඳු නරුම කාලකන්නියෙකි. එම නරුමයාට උදව් වන පරිදි අසරණ ගැහැනියගේ පැමිණිල්ල විභාග නොකිරීමෙන් මැදිරිගිරියේ පොලිසිය හැසිරී ඇති කාලකන්නි ස්‌වරූපය බලන්න!

රාජ්‍ය අංශයෙන් වැඩක්‌ කර ගැනීම සඳහා රජයේ ප්‍රධානීන් සමඟ යහන්ගත වීමට ගැහැනුන්ට සිදුවීම ඉංගිරිසි යුගයේ පටන් පැවත ආ තුච්ඡ වැඩවසම් චාරිත්‍රයකි. නිදහසින් පසු මේ චාරිත්‍රය යට ගිය අතර 1970 දී බලයට පත් සමඟි පෙරමුණු ආණ්‌ඩු කාලයේදී නැවතත් උඩ ආවේය. මේ යුගයේදී ඇමැතිවරුන් හා ස්‌ථිර ලේකම්වරුන් විසින් තානායම් තුළදී තරුණියන්ට රජයේ රැකියා දෙන ලදී. 1977 න් පසු රට ගෝලීයකරණයේ මාවතට පිවිසුණු අතර, ලිංගික චර්යාව එතරම් ගණනක්‌ නැති සංකල්පයක්‌ බවට පත් විය. ඒ නිසා කාන්තා පුරුෂ සම්බන්ධතා තවදුරටත් රහස්‌ නොවූ අතර ආලයට හිමිව තිබූ ශුද්ධ වූ ස්‌වරූපය ද අවතැන් විය. මේ අවතැන තුළ සිට කාන්තා විමුක්‌තිය එළියට එයි. සල්ලි ද හම්බ කරයි. එහෙත් ගැහැනිය හැමදාමත් මිනිසාගෙන් ගුටි කයි. වලත්තකමේ යන ගෙදර මිනිහාගෙන් වෙන් වීමට ගැහැනිය කැමැති නැත. එය ඇයට ලැඡ්ජාවකි. මේ නින්දනීය තත්ත්වය බිහි කළේ සමාජ ක්‍රමය විසිනි. සමාජය යනු මිනිසුන්ගේ නිර්මිතයක්‌ යයි ඔබ සිතන්නේද? නැත. එය තවදුරටත් එසේ වන්නේ නැත. අද සමාජය නිර්මාණය කරන්නේ ධනවත් මිනිසුන් අතළොස්‌සක්‌ සහ බලවත් දේශපාලකයන් අතළොස්‌සක්‌ විසිනි. මේ ක්‍රමයට අනුව හැම පොලිස්‌ වසමකමත් හැම ග්‍රාම සේවා වසමකමත් වතුර ටැංකි දෙක තුන බැගින්වත් ඉදිකළ යුතු වෙයි. සමන්තා නන්දනීගේ විරෝධතාව යහපත් ආරම්භයකි. මෙබඳු අසාධාරණයන්ට ලක්‌වූ සියලු කතුන් සමන්තා නන්දනී පැමිණි ගමනට අවනත විය යුතු ය. අනුකූල විය යුතු ය. අනුබල දිය යුතු ය.

වසර 30 ක්‌ තිස්‌සේ යුද්ධයක්‌ තිබූ රටක සමාජය අසංවිධානාත්මකය. මේ අවුල්ගොඩ ප්‍රතිසංවිධානය කිරීම එක සැරේටම කළ නො හැක. මුලින්ම රාජ්‍ය සේවය ද, පොලිසිය වැනි සිවිල් ආයතන ද ප්‍රතිසංවිධානය කළ යුතු ය. ඇටුවන් බට නිලධාරීන් සිටින රටක ඒ ප්‍රතිසංවිධානය දුෂ්කර ය. එහෙත් එය කෙසේ හෝ කළ යුතු ය. මේ සමාජය කනපිට හැරවිය යුත්තේ කොට්‌ට උරයක්‌ කනපිට හරවන්නාක්‌ මෙනි. කොට්‌ට උරයක්‌ කනපිට හැරවීමේදී හොඳපිට තිබූ කුණු ඇතුළට යයි. එහෙත් එය එතරම් ප්‍රශ්නයක්‌ නො වන්නේ තවත් දින කිහිපයකින් කොට්‌ට උරය සෝදන නිසා ය.





0 comments: