Hot!

විජය කුවේණි ත්‍රස්තවාදීන්ද?


ප්‍රියලාල් සිරිසේන

‛සූට්කේස් බෝම්බ’ ඇල්ජීරියානු විමුක්ති අරගලකරුවන්ගේ අපූරු නිර්මාණයකි. ඇල්ජීරියානු විමුක්ති අරගලකරුවන් විසින් ආක්‍රමණික ප්‍රංශ ජාතිකයින් ගැවසෙන ආපනශාලා වැනි ප්‍රසිද්ධ ස්ථානවලට මේවා ගෙන ගොස් පුපුරුවා හරින ලදී. මේවායෙහි ඉලක්කය වූයේ ප්‍රංශ ජාතික සිවිල් වැසියන් සහ මිලිටරි සාමාජිකයන්ය. මෙම බෝම්බකරුවන් අතරින් ඉතා ප්‍රකට තැනැත්තියක් වන්නේ යැස්මින් බෙල්කසෙම්ය. ඇය අරගලකරුවන්ට සම්බන්ධ වන විට ඇගේ වයස යන්තම් අවුරුදු 14ක් පමණි.

මුලින් ඇයට භාර වූ කටයුත්ත වූයේ විමුක්ති සටන්කරුවන් අතර පණිවුඩ ගෙන යාම සහ සිරගත වී සිටි සටන්කරුවන්ට ආහාර ගෙන යාමයි. දිනක් ඇයට දැකගන්නට ලැබුණේ සටන්කාමීන් කිහිප දෙනෙකු සූට්කේස් බෝම්බ තනන ආකාරයයි. තමන්ට ද බෝම්බයක් ගෙනගොස් පුපුරුවා හැරීමට අවස්ථාව දෙන ලෙස ඇය ඉල්ලා සිටියා ය. අවසානයේ එම ඉල්ලීමට අවසර ලැබුණු අතර, කළු පැහැති සූට්කේසයක බෝම්බය දමාගත් ඇය ඉතා ආඩම්බරයෙන් නගරයේ පොලිස් ස්ථානයක් වෙත එය ගෙන ගියාය. නමුත් බලාපොරොත්තු වූවාට වඩා කලින් බෝම්බය පිපිරී ගියේය. එම පිපිරීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තුවාල සිදුවූ අතර ඇයගේ කකුල් දෙකම අහිමි විය.
ප්‍රංශ පාලකයින් විසින් අරගලකරුවන් හඳුන්වන ලද්දේ අපරාධකරුවන් ලෙසය. යැස්මින් ඇතුළු ඇල්ජීරියානු සටන්කරුවන් භාවිතා කළේ ත්‍රස්ත උපක්‍රම වන අතර, අවසානයේදී එම අරගලය ජයග්‍රහණය කරනු ලැබීය. තවමත් ජීවත්වන යැස්මින් බෙල්කසෙම් එරට ජාතික වීරවරියක ලෙස සැලකේ.

දැන් මම ඔබගෙන් ප්‍රශ්නයක් අසමි. යැස්මින් බෙල්කසෙම් ත්‍රස්තවාදියෙක් ද? නැද්ද?

ඒ ප්‍රශ්නයට උත්තර දීම සඳහා ඔබ විසින් විවිධාකාර නිර්ණායක භාවිතා කරනු ඇත. අදාළ තැනැත්තා දිනා ගැනීමට අපේක්ෂා කරන අරමුණ පෞද්ගලික එකක් වුවද, සාමාජයීය එකක් වුවද, භාවිතා කරන ක්‍රමවේදය ‛ත්‍රස්තය’ වන්නේ නම් ඔහු ත්‍රස්තවාදියෙකි. ත්‍රස්තවාදය යනු මනුෂ්‍ය ඝාතන, හමුදාව වෙත ප්‍රහාර එල්ල කිරීම මෙන්ම රජයේ දේපළ විනාශ කිරීම ද ඇතුළුව පාලකයන් බිය වද්දා බලය අල්ලා ගැනීමට හෝ යම් අරමුණක් දිනා ගැනීමට කටයුතු කිරීමයි. සමහර අවස්ථාවල ඔවුන්ගේ ප්‍රතිවාදියා දේශීය ආණ්ඩුවක් විය හැකිය. නැතහොත් විදේශීය ආණ්ඩුවක් හෝ ආයතනයක් විය හැකිය. මේ අනුව ප්‍රභාකරන් මෙන්ම චේ ගෙවාරා ද ත්‍රස්තවාදී ගණයට වැටෙන බව පැවසුවහොත් ඔබ පුදුම වනු ඇත.

අරගලකරුවා දිනා ගැනීමට අපේක්ෂා කරන අරමුණ කුමක් වුවද ඔහු භාවිතා කරන්නේ ප්‍රජාතාන්ත්‍රික උපක්‍රම නොවේ නම්, නිසැකවම ඔහුට ත්‍රස්ත ලේබලය ඇලවෙනු ඇත. එම ත්‍රස්ත ලේබලය ඇලවීමේ පූර්ණ අයිතිය ඇත්තේ එම වකවානුවේ බලය දරන පාලකයින්ටය.

ත්‍රස්තවාදී ක්‍රියාමාර්ග භාවිතා කළ තවත් ප්‍රකට පුද්ගලයන් කිහිපදෙනෙකුගේ නම් ගම් කිහිපයක් ඔබට මතක් කර දීමට මම කැමැත්තෙමි. ඔසාමා බින් ලාඩන්, වී.අයි. ලෙනින්, යසර් අර්ෆත්, ෆිදෙල් කස්ත්‍රෝ, රෝහණ විජේවීර, වේලුපිල්ලේ ප්‍රභාකරන්, කැප්පෙටිපොල නිලමේ, කිවුලේගෙදර මොහොට්ටාල….

ලෙනින්ගේ හමුදාව විසින් මරාදැමූ අය අතර සාර් පවුලේ සාමාජිකයන් මෙන්ම ඔවුන්ගේ වෛද්‍යවරයා සහ බල්ලා ද වේ. විජේවීරගේ ජ.වි.පෙ. කැරළිකරුවන් විසින් මරා දමන ලද අය අතර සිවිල් වැසියන්, දේශපාලකයින්, පොලිස් සහ හමුදා නිලධාරීන් ද වෙති. පුරාවෘත්තවල සඳහන් අන්දමට විජය රජතුමා විසින් ලංකාවේ යක්ෂ ගෝත්‍රික නගරය වූ සිරිසවත්ථු පුරයට ගරිල්ලා ප්‍රහාරයක් එල්ල කළේ උත්සවයක් අවස්ථාවකදී ය. උත්සව පවත්වමින් සිටි යක්ෂ ගෝත්‍රිකයන් හා පාලකයන් මරා දමා විජය විසින් ලංකාවේ පාලනය අත්පත් කර ගෙන ඇත. ඒ අනුව ලංකාවේ ඉතිහාසය ඇරඹෙන්නේ ම ත්‍රස්ත ප්‍රහාරයක් මගිනි. මා ඔබට පැවසීමට උත්සාහ දරන්නේ ත්‍රස්තවාදය යනු බිය විය යුතු වචනයක් නොවන බවයි.

නීතිය පිළිබඳ සමහර න්‍යායාචාර්යවරු පවසන්නේ ‛විප්ලවය වනාහී විනිශ්චයට බඳුන් කළ නොහැකි දේශපාලන ගැටළුවක්’ බව ය. තවත් සමහර චින්තකයින්ගේ මතය වන්නේ අරගලය සාර්ථක වන්නේ නම් විනිසුරුවන් විසින් විප්ලවකරුවාගේ ආණ්ඩුව පනවන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි. ඒ අනුව අරගලය ජයග්‍රහණය කළහොත් ඔවුන් තවදුරටත් නීතිය ඉදිරියට ගෙන ඒමට නොහැකි වේ. එම නිසාම ඔවුහු තවදුරටත් ත්‍රස්තවාදීන් හෝ අපරාධකරුවන් ද නොවෙති. ඔවුහු වීරයන් බවට පත්වෙති. නමුත් ඔවුන්ගේ අරගලය පරාජය වුවහොත් සිදුවන්නේ සම්පූර්ණයෙන්ම මෙහි අනෙක් පැත්තය. රෝහණ විජේවීරට මෙන්ම වේලුපිල්ලේ ප්‍රභාකරන්ට ද සිදුවූයේ මෙයයි.

යැස්මින් බෙල්කසෙම් සහ පවෙල් කොචාර්ගින් ත්‍රස්තවාදීන් නොවී වීරයන් වන්නේ ද උතුරේ කොටි සාමාජිකයන් නිකන්ම නිකන් ත්‍රස්තවාදීන් සහ ළමා සොල්දාදුවන් වන්නේ ද ඔවුන්ගේ අරගලයේ ජයග්‍රහණය හෝ පරාජය මතය. ඔවුන් සියලු දෙනාම තමන් නියෝජනය කළ ජන සමාජයේ ඉල්ලීම් වෙනුවෙන් සටන් කළ ද ඔවුන් වැටී ඇත්තේ ගොඩවල් දෙකකට ය. ඉතිහාසය ලියනු ලබන්නේ ජයග්‍රාහකයන් විසින් යැයි කියනු ලබන්නේ මේ හේතුවෙනි. යම් හෙයකින් අරගලකරුවන් ජයග්‍රහණය කළ හොත් ඔවුන් වීරයින් වන අතර, පරාජය වුවහොත් ඔවුන් සදාකාලිකව ත්‍රස්තවාදීන් හෝ අපරාධකරුවන් ලෙස නම් කෙරෙයි.

අරගලය පරාජය වුවද ත්‍රස්ත ලේබලයෙන් ඉවත් වී මහත්වරුන් වීමේ ක්‍රමයක් ද පවතී. එම ක්‍රමය සොයාගනු ලැබුවේ ද මේ පුංචි ශ්‍රී ලංකාවේ වැසියන් දෙදෙනෙකු විසිනි. ඒ විමල් වීරවංශ ඇමතිතුමා සහ කරුණා අම්මාන් (දැන් විනයාගමූර්ති මුරලිදරන් ඇමතිතුමා)ය.

දැන් මම ඔබගෙන් තවත් ප්‍රශ්නයක් අසමි. එංගලන්ත මහ රඡ්ජුරුවන්ගේ ලංකාවේ ආණ්ඩුව පෙරළා දැමිමට සටන් කළ වීර පුරන් අප්පු ත්‍රස්තවාදියෙක් ද?





0 comments: