Hot!

ඔළුගෙඩි වෙනුවට ක්‍රමය වෙනස් කිරීම - 2

|  නිලන්ත ඉලංගමුව

ප්‍රතිසංස්කරණය චීනයේ දෙවැනි විප්ලවයයි - ඩෙන් ෂියාඔපිං

සමාජ ක්‍රමය වෙනස් කිරීම වූ කලි අතිශය සංකීර්ණ කටයුත්තක් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.එසේම ඒ සඳහා නව ලිඛිත නිර්මාණ මෙන්ම අඛණ්ඩ වාද විවාද ඇති විය යුතු වේ. එය සමාජයේ සියලුම දෙනා සහභාගී විය යුතු සාමුහික ප්‍රයත්නයක් වන අතර බලය සහ එය සමඟ සෙල්ලම් කරන හිතුවක්කාර පුත්‍රයා සමාජ ක්‍රමයක් වෙත අවනත කර ගැනීම පහසු කටයුත්තක් නොවේ. සීමා රහිත බලයක් නිර්මාණය කිරීමට ඔහුට පාලනයෙන් තොර අවස්ථාවක් ලබාදීමේ ඛේදවාචකය වන්නේ එයයි. නමුත් එය එසේ වූ පමණින් සමස්ථ ජනතාවගේ අයිතීන් එක ගූඪ මිනිසෙකුට දන්දිය නොහැකිය. රටක අනාගතය වූ කලි එම රටේ " සාමාජ ක්‍රමය" විසින් සමස්ත ජනතාවට ලබාදෙන නිදහස වේ. එය තහවුරු වන්නේ එකිනෙකාට ගරු කිරීම සඳහා සංස්කෘතික වශයෙන් ඇති කරන ගරුත්වය සහ සමානාත්මතාවය මඟිනි.

" දේශීය සංස්කෘතිය විසින් නිර්මාණය කරනු ලැබූ අධිපතිකාරී දේශාපාලන භාවිතයත් එය සාදාරනීකරණය කිරීම සඳහා බාහිරින්  ගෙන එනු ලබන ගාන්ධියානු සහ මැකියාවෙලියානු දේශපාලනයත් හැරෙන්නට න්‍යායික වශයෙන් ලාංකික දේශාපාලනය තුළ සමාජ ප්‍රතිසංස්කරණයක් උදෙසා වූ බලවත් විවාද  ඇති ඇත්තේ ඉතාම සුළු වශයෙනි."
වර්තමානයේදී ඇති වී ඇති තාක්ෂණික විප්ලවය සහ විශේෂයෙන් පෞද්ගලික රහස් යැයි කාලාන්තරයක් තිස්සේ සඟවා තබාගෙන සිටි දෑ පදික වේදිකාවේ විකුණන හෝ විකිනෙන භාණ්ඩ බවට පත් වී ඇත. මෙනිසා සියවසකට පෙර අපි දකිනු ලැබූ මහා චරිත බිහි නොවන්නා සේම, පෞද්ගලික ජීවිතය තවත් එක් වෙළඳ භාණ්ඩයක් බවට පත් වී තිබේ. මේ වටපිටාව හමුවේ බලය විසින් විසින් සිදු කරනු ලබන්නේ එය පාලනය කිරීමයි. නිතීය විසින් එකී පාලනයට විනයක් හෙවත් රාමුවක් සකස් කර දෙන අතර එය අහිමි වූ කළ " අවිනීත මර්ධනයක් බවට" පරම බලය පත් වේ. ශ්‍රී ලංකාවේ නීතියට ඉහලින් "විධායක ජනාධිපති" ධුරය තැබීම තුළින් සිදු වී ඇත්තේ එයයි.

එවැනි තත්වයක් යටතේ බලාපොරොත්තු විය හැක්කේ එක්තරා සීමාවකින් පහලට ක්‍රියාත්මක වන ප්‍රදර්ශනාත්මක යුක්තියක් පමණි. ඊයේ මහනුවරදී ජනමාධ්‍යවේදීන් ඇමතු ජනාධිපතිවරයාම ඒ බව ඔප්පු කිරීම සඳහා උදාහරණ පේනවා දී තිබේ. පුවත්පත් වාර්තා වලට අනුව, 'වංචා දූෂණ සහ අක්‍රමිකතා නතර කිරීමට රජය මොන තරම් උත්සාහ කළත් ඒවා නතර කිරීම හරි අමාරුයි. ඒවා නතර කිරීමට මහජනයා අපට සහය දිය යුතුයි,' මහින්ද රාජපක්ෂ පැවසීය. සංවර්ධන හා ඉදිකිරීම් කටයුතු ගැන මහජනයා නිතරම සෝදිසියෙන් සිටිය යුතු යැයිද හෙතම කිවේය. සැබවින්ම තමාව ප්‍රශ්න කිරීමට නොහැකි තමාගේ හිතවතාද ප්‍රශ්න කළ නොහැකි, නමුත් සතුරාව මට්ටු කිරීම සඳහා පමණක් භාවිතා කරන මෙවැනි දෑ ලංකික දේශපාලනයේ සුලභව දැක ගත හැකි ප්‍රකාශ වේ. රාජපක්ෂ විසින් රාජපක්ෂගේ නම විශාල පුවරුවල ප්‍රදර්ශනය කිරීම සඳහා ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති කොපමණ ප්‍රමාණයක් රටට හිතකර ඒවා වූයේද, ඒවායේ ගනුදෙනු සිදු වූයේ සහ සිදුවන්නේ කෙසේද, යන්න ඔහු විසින්ම සලකා බැලිය යුතු වේ. හිටපු අග විනිසුරුවරයා වරක් සඳහන් කළ පරිදි බෙලිඅත්තේදී තම ජනතාව මරා මැතිවරණය කිරීම, හෙලිපින් හම්බන්තොට, එමෙන්ම ජනාධිපති ධූරයට පත් වූ දින සිට අද දක්වා ඔහු විසින් සිදු කළ කටයුතු වලින් කෙතරම් ප්‍රමාණයක් රටේ අනාගතය සඳහා හේතු වූයේද යන්න ඔහු ඇතුළුව සියලුම දෙනා දනිති. කෝටි ලක්ෂ පහ ඉකමාව ගොස් ඇති රටේ ණය ප්‍රමාණයෙන් එය සිතා ගත හැකිය.

රටේ පවතින්නේ එක් විශේෂ ස්ථානයක පවතින බිඳ වැටීමක් නොවන අතර සමස්ථ සමාජ ක්‍රමයම බිඳ වැටී තිබේ. සමාජ ක්‍රමයක් යන්න කුමක්ද, එය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න දැක ඇති ඕනෑම අයෙකුට ලංකාව දෙස බලන විට කණගාටුවක් සිතීම පුදුම සහගත් නොවේ. මෙය රාජපක්ෂගේ දරුවන් තිදෙනාට කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂගේ සහ බැසිල් රාජපක්ෂගේ දරුවන් වඩාත් හොඳින් තේරුම් ගෙන ඇතිවාට සැක නැත. සැබවින්ම ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය සකස් කර ගැනීම සඳහා බටහිර බලය මෙන්ම බටහිර නිතීය මඟින් තහවුරු කොට ඇති අයිතීන් කෙරෙහි පමණක් නොව සුදු ජාතිකයින් කෙරෙහිද විස්වාශය තබා ඇත. හිස් ගෙඩි වලට හෙණ ගසා නැති ඕනෑම ඕලමොට්ටලයෙකුට මෙය තේරුම් ගත හැකිය. මොවුන් ලංකාවේ සමාජය ගැන විස්වාශය තමා නැත්තේ මන්ද? සරල පිළිතුර ලංකාවේ නිතීයට ගරු කරන සමාජ ක්‍රමයක් නැති නිසාය. එය අනාගතයක් සඳහා වන රටක් නොව යම් කිසි මුදලක් හම්බ කර ගැනීම සඳහා වන රටක් බව සිතා ඔවුහු කටයුතු කරන බවය. නැගෙනහිර පළාතේ යුද්ධය ක්‍රියාත්මක වන විට ආරක්ෂක ලේඛම් ගෝඨාභය රාජපක්ෂ සජීවී රුපවාහිනි වැඩසටහනකදී යුද්ධය පැරදුනොත් තමන්ට ප්‍රශ්නයක් නොමැති බවත් තමන්ගේ ආරක්ෂාවට ඇමෙරිකාව තිබෙන බවත් කීවේ තමන් ප්‍රතික්ෂේප නොකරන සත්‍ය එය හෙයිනි. ජාතිමාමකත්වය නමැති අඹුඩයෙන් හෙළුව වසාගෙන සිටින කුහක පිරිසක් බවට සිංහලයින් පත්කිරීම මොවුන්ගේ එකම වෑයම වන්නේ එය තම බලය රඳා පවතින කේන්ද්‍රස්ථානය නිසාය. මේ නිසා එකිනෙකා අතර පවතින විස්වාශය විනාශ වී ඇති අතර පෞද්ගලික නිදහස, වෙනුවට " රාජපක්ෂට වග කියන" පිරිසක් නිර්මාණය කරමින් තිබේ. මෙය නිදහසින් පසු ජන වර්ග අතර ක්‍රමානුකූලව ඇතිකරමින් පවතින විස්වාශය කඩ කිරීමේම වඩාත් භායනකම අවධිය වේ.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. සුමන්තිරන් විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත්කළ කතාවේ අදහස් ප්‍රතික්ෂේප කළ නොහැකිය. එහි ගැඹුරු සත්‍යක් ගැබ්ව තිබේ. " නිදහස ලබා ගැනීම් සියලු ජනවර්ග එකමුතුව සැමරුවෙමු, නමුත් ඩී. එස්. සේනානායක ආණ්ඩුව විසින්ම ජනවර්ග අතර විස්වාශය කඩකිරීම ආරම්භ කරනු ලැබීය, " යැයි සුමන්තිරන් සඳහන් කළේය. " ජාතික අනන්‍යතාවයකට කිසිවෙකුට විරුද්ධ විය නොහැකිය, නමුත් ශක්තිමත් ජාතික අනන්‍යතාවයක් ගොඩ නැගීමටනම් ප්‍රධාන මූලධර්ම දෙකකි. පළමුවැන්න නම් කුමන ප්‍රජාවක් නියෝජනය කළත් සියලු දෙනාම සමානාත්මතාවයෙන් සැලකිය යුතුය. එය නැවත නැවතත් අවධාරණය කළ යුතුය. මන්ද දෙවන වැදගත් මුලධර්ම පළමුවැන්නෙහිම පිළිබිඹුවක් වන හෙයිනි. තනි අනන්‍යතාවයන් මර්ධනයකට ලක් කිරීමෙන් ශතිමත් ජාතික අනන්‍යතාවයක් නිර්මාණය කිරීමට නොහැකිය," යැයි හෙතම වැඩි දුරටත් සඳහන් කළේය. ජාතික අනන්‍යතාවයක් නිර්මාණය කිරීමේදී ඔහු ගෙන එන උදාහරණය එනම් ඉන්දියානු ක්‍රමය වැනි කාරණා සමඟ එකඟ විය නොහැකි නමුත් බොහොමයක් ලංකාව අරම්භයා ඔහුගේ මතවාද ගැන සැහීමකට පත් විය හැකිය. එය ඵලදායක විවාදයක් ඇති කිරීම සඳහා ප්‍රයෝජනවත් වේ.

මෙම පසුබිම යටතේ අපගේ විෂය සාකච්චා කිරීම සඳහා දේශපාලන න්‍යාය වෙත අවධානය යොමුකළ යුතුවේ. සැබවින්ම දේශීය සංස්කෘතිය විසින් නිර්මාණය කරනු ලැබූ අධිපතිකාරී දේශාපාලන භාවිතයත් එය සාදාරනීකරණය කිරීම සඳහා බාහිරින් ගෙන එනු ලබන ගාන්ධියානු සහ මැකියාවෙලියානු දේශපාලනයත් හැරෙන්නට න්‍යායික වශයෙන් ලාංකික දේශාපාලනය තුළ සමාජ ප්‍රතිසංස්කරණයක් උදෙසා වූ බලවත් විවාද ඇති ඇත්තේ ඉතාම සුළු වශයෙනි. ඒවාද බොහොමයක් බැමි අතර සිර වී ඇති අතර සංස්කෘතික ගත වී ඇති කුහක කම නිසා ඒවා තෝරාගත් පිරිසකට පමණක් සීමා කොට තිබේ. අප අපෙගේ ඉදිරි පරම්පරා හුරුකළ යුත්තේ අපට වඩා ඉදිරියට යෑමට යැයි පොදුවේ සමාජ ප්‍රතිසංස්කරණ වාදීන් ගෙන එනු ලබන තර්කය ලංකාවේ සෑමවිටම දේශපාලනය තුළ ආගන්තුක වී ඇත. ඒ වෙනුට පුද්ගලික අභිලාෂයන් පමණක් තියුණු වී ඇත. සාමුහික නිදහස ඝාතනය කර ඇත්තේ එකී පුද්ගලික අභිලාෂයන් විසිනි.

රාජාණ්ඩුව හෙවත් ප්‍රශ්න කළ නොහැකි පරම බලය සාධාරණීකරණය කිරීමට මැකියාවෙලී සෑම විටම උත්සහ ගත්තේය. ඔහුගේ ප්‍රභල, අසාදාරණයට එරෙහි මහජන නැගිටීම මාරාන්තික ලෙස මර්ධනය කරගෙන රාජ්‍ය බලය රැකගැනීම කෙරෙහි පමණක් ඔහු සැලකිල්ල දක්වා ඉදිරිපත් කරන අදහස් මඟින් තම පුදගලික පැවැත්ම තහවුරු කර ගැනීමට උත්සහ කරයි. සැබවින්ම එමඟින් නිදහස වෙනුවට මර්ධනය පමණක් ඉතුරුවේ. ඒ හා සමානව ගන්ධි විසින් ඉන්දීය සමාජය පුරා අහිංසාවාදය නමින් ගෙන ගිය දේශාපලන අරගලය මඟින් බොහෝ දුරට නාමික සතුටක් ලබා දීමට හැකි වුණත් එය " හින්දු බමුණු අවශ්‍යතාවය" වෙනත් අකාරයකට පැලපදියම් කිරීමක් පමණක් විය. ඉන්දියේ පවතින බොහොමයක් ගැටළු වලට මුලික හේතුව වී ඇත්තේ එකී ගාන්ධියානු ක්‍රමය විසින් ගෙන එනු ලැබූ සමාජ ධුරවලීය පිළිගත් නමුත් මතුපිටින් ඉතාම අදාරණීය ලෙස පෙනෙන ක්‍රමය විසිනි. මෙය සාකච්චා කිරීමට පෙර මකියවෙලියානු දේශපාලනය සහ ඊට එරෙහිව ගොඩ නැගී ඇති මතවාද ගැන විමසා බැලීම වැදගත් වේ.

මතු සම්බන්ධයි


0 comments: