Hot!

ජිනීවා දෙවැනි වටය


| සුනන්ද දේශපි‍්‍රය

ශ‍්‍රී ලංකාවෙහි මානව හිමිකම් පිළිබඳ ජනීවා මානව හිමිකම් කවුන්සිලයෙහි සාකච්ජා කෙරෙන ‘යුනිවර්සල් පීරිඔඩික් රිවිව්’ ( යූපීආර්) යන ඉංග‍්‍රිසි යෙදුමින් කියැවෙන ‘සමස්ත ආවර්ත විවරණ’ දෙවන වටයේ සැසිවාරය පැවැත්වෙන්නේ ලබන නොවැම්බර් පළවැනිදාය. එනමුත් එම සැසිවාරයේ දී සළකා බැලිය යුතු යැයි යෝජනා කැරෙන රාජ්‍ය නොවන සංවිධාන වාර්තා ඉදිරිපත් කිරීමේ කාලය පසුගිය අප්‍රෙල් 23දායින් අවසන් විය. මෙම සැසිවාරය සඳහා ලැබෙන්නේ එක් වරුවක් පමණකි.

ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් සංවිධාන රුසක් මෙන්ම අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන රුසක් ද ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් වාර්තා ගණනාවක් කවුන්සිලය වෙත ඉදිරිපත් කර තිබේ. ශ‍්‍රී ලංකාන්ඩුව ද සිය වාර්තාව ඉදිරියේදී ඉදිරිපත් කරනු ඇත.

පොරොන්දු වාෂ්ප කිරීම
ශ‍්‍රී ලංකාව පිළිබඳ ප‍්‍රථම සැසිවාරය පවත්වන ලද්දේ 2008 වර්ශයේ මැයි 18දාය. එහිදී මානව හිමිකම් කවුන්සිලයේ විවිධ රටවල් විසින් ගෙන එන ලද කෙටි යෝජනා අතරින් 45කට ශ‍්‍රී ලංකා ආණ්ඩුව එකඟ විය. මෙම යූ පීආර්. ක‍්‍රියාවලිය සහමුලින්ම එකඟතාවය මත පමණක් තීන්දුවලට එළඹෙන එකක් බැවින් ශ‍්‍රී ලංකාන්ඩුව එකඟ නොවූ වැදගත් මානව හිමිකම් යෝජනා ගණනාවක් අතහැර දමන ලදී. එනමුත් ඒ සියල්ල ඉතා කෙටියෙන් 2008 යූපීආර්. ශ‍්‍රී ලංකා වාර්තාවෙහි සඳහන්ව තිබේ. ඊට අමතරව ශ‍්‍රී ලංකාන්ඩුව සිය කැමැත්තෙන්ම තමන් ක‍්‍රියාත්මක කරන බවට තවත් යෝජනා 25ක් ඉදිරිපත් කළාය. මෙනයින් යෝජනා 70 තිබේ. එනමුත් එකම කරුන විවිධ රටවලින් ඉදිරිපත් කරන ලදුව වෙනස් අංක යටතේ සඳහන්ව තිබිම නිසා අංක ගණිතමය වශයෙන් යෝජනා ගණනය කළ නොහැක.

දැන් පැවැත්වෙන ( උදා: මැයි 24 දා ඉන්දියාව සම්බන්ධ දෙවන වටයේ යූපීආර් සැසිය පැවැත්වේ) දෙවන වටයේ සැසි වාරයන්හි දී විශේෂයෙන්ම සළකා බැලෙන්නේ ප‍්‍රථම වටයේ දී රටවල් විසින් දෙන ලද පොරොන්දු ඉටු කර ඇත් ද යනු ය. එබැවින් ශ‍්‍රී ලංකාන්ඩුව 2008 දී එළෙස මානව හිමිකම් කවුන්සිලයට දෙන ලද පොරොන්දු අතරින් වැදගත් ඒවා කිහිපයක් හෝ සළකා බැලීම වැදගත් ය.

යු.පි.ආර්. නිගමන ක‍්‍රියාත්මක කිරිමේ ක‍්‍රියාවලිය විශේෂයෙන්ම උතුරු නැගෙනහිර බහු වාර්ගික සිවිල් සමාජ සංවිධාන ද ඇතුළත් කරගනිමින් සිවිල් සමාජ සංවිධාන සම්බන්ධ කර ගන්නා ලෙස බි‍්‍රතාන්‍ය කළ යෝජනාව ශ‍්‍රී ලංකා ආන්ඩුව විසින් පිළිගන්නා ලදී.

එනමුත් එවැනි ක‍්‍රියාවළියක් ඇති වූයේ නැත. අඩුම වශයෙන් ශ‍්‍රී ලංකාව සම්බන්ධ යූපීආර් යෝජනා ලංකාණ්ඩුව විසින් දේශීය භාෂාවන්ට පරිවර්ථය කිරීම පවා කලේ නැත. රජයේ කිසිදු මාධ්‍යයක මෙම යෝජනා මොනවාද යන්න සඳහන් නොවේ.

17වන සංසෝධනය ක්‍රියාත්මක කරනවාමයි
2008 වන විට ජනාධිපතිවරයා ව්‍යවස්ථා කවුන්සිලය පත් නොකර තම අභිමතය පරදි ‘ස්වාධීන කොමිෂන් සභා’ සඳහා කොමසාරිස්වරුන් පත් කිරීම ආරම්භ කර තිබුණි. මෙම ප‍්‍රශ්ණය මානව හිමිකම් කවුන්සිලයේ රටවල් ගණනාවක් විසින් ම විවේචනය කරන ලද අතර 17 වන සංසෝධනය වහාම ක‍්‍රියාවට නගන ලෙස ඉල්ලා සිටින ලදී. එයට පිළිතුරු වශයෙන් 17 වන සංසෝධනය ක‍්‍රියාවට නගන බවටත් ව්‍යවස්ථා කවුන්සිලය පිහිටුවා ජාතික මානව හිමිකම් කොමිසම ඇතුළු අනෙක් මානව හිමිකම් යාන්ත‍්‍රණයන් ශක්තිමත් කරන බවටත් ශ‍්‍රී ලංකාණ්ඩුව ස්වේච්ජාවෙන් පොරොන්දුවක් දුන්නා ය.

අද ඒ පොරොන්දුව 18වන සංසෝධනය මගින් වාෂ්ප කොට යවා තිබේ. අද සියළු කොමිෂන් සභා පත් කැරෙන්නේ ජනාධිපති අභිමතයෙනි. මේ වනාහී යූපීආර් පොරොන්දුව සහමුලින්ම කණ පිට ගැසීමකි.

2006 වසරේදී පොරොන්දු වූ පරිදි ව්‍යවස්ථාවට මානව හිමිකම් ප‍්‍රඥප්තියක් එක්කර රටෙහි මානව හිමිකම් යාන්ත‍්‍රණයන් බලගන්වන සේ ඇල්ජීරියාව ගෙනෙන ලද යෝජනාව ලංකාන්ඩුව පිළිගත්තේ ය. එපමණක් නොව දැනටමත් එවැනි ප‍්‍රඥාප්තියක් කෙටුම්පත් කිරීම ආරම්භ කර ඇති බවටත් එමගින් ශ‍්‍රී ලංකාවේ අන්තර් ජාතික මානව හිමිකම් බැදීම් තහවුරු කරනු ඇති බවටත් මෙම ක‍්‍රියාවලිය සිවිල් සමාජය සමඟ සාකච්ජාවෙන් සම්මුතියෙන් කරගෙන යන බවටත් ලංකාන්ඩුව ස්වෙච්ජාවෙන් තවත් පොරොන්දුවක් දුන්නා ය.

එවැනි ප‍්‍රඥාප්තියකට සිදවූ දෙයක් දන්නා කෙනෙක් ලංකාවේ නැත. වන්ද්‍රිකා බන්ඩාරනායක ආණ්ඩු සමයෙහි අමාත්‍ය ජි.එල්. පීරිස් අමාත්‍යංශය යටතේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට මානව හිමිකම් පරිච්ජේදයක් සකස් කරන ලද අතර රාජපක්ෂ ආණ්ඩුව එය ඉදිරියට ගත්තේ නැත.

තවමත් අක්‍රීය මානව හිමිකම් සැලැස්ම
2008 යුපීආර් සැසිවාරයේ දී ලංකාන්ඩුවේ ලොකුම තුරුම්පුව වූයේ 2009 වසරෙහි සිට ‘මානව හිමිකම් ක‍්‍රියාකාරී සැළැස්ම’ ක‍්‍රියාවට ගන්නේ යැයි දෙන ලද පොරොන්දුවයි. එම ක‍්‍රියාකිරී සැළැස්ම ඉටු කැරෙන නිශ්චිත දින වකවානු සදහන් කළ යුතු බවට නෙදර්ලන්තය ගෙන ආ යෝජනාව ද පිළිගැනුනි. එය නියතවම 2009 සිට ක‍්‍රියාවට පෙරළන බවටත් එමගින් සිවිල් සමාජය සහ ආණ්ඩුව අතර යහපත් සබඳතාවයක් ගොඩ නගමින් සමෝධාන ප‍්‍රවිශ්ඨයක් ඇති කර ගන්නා බවටත් ලංකාණ්ඩුව ස්වේච්ජාවෙන් පොරොන්දුවක් දුන්නා ය.

ශ‍්‍රී ලංකාන්ඩුවේ මානව හිමිකම් ක‍්‍රියාකාරී සැළැස්ම ප‍්‍රසිද්ධියට පත් කිරීමට 2008 සිට වසර 03ක් ගත විය. එය තවමත් පාර්ලිමේන්තුවටවත් ඉදිරිපත් කර නැත. එයට කිසිදු නිතිමය බලයක් නැති අතර එහි ඇතුලත් කළ යුතු බවට සිවිල් සමාජ සංවිධාන විසින් ඉදිරිපත් කළ වැදගත් යෝජනා අතහැර දමන ලදී. ආන්ඩුවේම ප‍්‍රධානියකු වන රාජීව විජේසිංහ කියන්නේ මානව හිමිකම් අමාත්‍යාංශයක් නැති කම බරපතල අඩුවක් බවත් මෙම ක‍්‍රියාකාරී සැළැස්ම සම්බන්ධ උපදෙස් තවම කිසිදු අමාත්‍යාංශයකට හෝ යවා නැති බවත් ය.

මාධ්‍ය ඝාතකයින්ට දඩුවම් දෙනවා
ජනමාධ්‍ය නිදහස සමුපූර්ණයෙන්ම තහවුරු කෙරන ලෙසත් මානව හිමිකම් ආරක්ෂකයින් සහ ජනමාධ්‍යවේදීන් ට එල්ල වු ප‍්‍රහාරයන් සහ ඝාතනයන් සොයා බලා වරදකරුවන්ට දඩුවම් පමුනුවන ලෙසත් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගත යුතු බවටත් පෝලන්තය සහ අයර්ලන්තය ගෙන ආ යෝජනාව ද ලංකාන්ඩුව විසින් පිළිගන්නා ලදී.

එවැනි පිරිස් වලට ආරක්ෂාව සපයනු වෙනුවට 2009 අග භාගය දක්වාම දරුණු මර්දනයක් මුදා හරින ලද අතර අද දක්වාම මානව හිමිකම් ආරක්ෂකයින් සහ ජනමාධ්‍යවේදීන් මුහුණ දෙන්නේ අනාරක්ෂිත තත්වයකට ය. එකළ සිට මෙකල දක්වා සිදු කෙරුණූ කිසිදු ජනමාධ්‍යවේදී ඝාතනයක් අවසානය දක්වා සොයා බලා වරදකරුවන් අධිකරණය ඉදිරියට පමුනුවා නැත. උගත් පාඩම් කොමිසම මේ බව පිළිගෙන තිබේ.

ස්වීඩනය, ජපානය සහ කැනඩාව බලහත්කාර පැහැර ගෙන යාම්, අතුරුදහන් කරවීම්, නීතියෙන් බැහැර කෙරෙන ඝාතනයන්, යනාදිය ගැන වහා නිසි පියවර ගෙන අරාධකරුවන් නිතියේ රුහැණට හසුකරන ලෙස ගෙනෙන ලද යෝජනාවද ලංකාන්ඩුව විසින් පිළි ගන්නා ලදී.

අද දක්වාම ඒ සම්බන්ධයෙන් ගෙන ඇති කිසිදු සාධනීය පියවරක් නැත. අතුරුදහන්වීම් තවමත් සිදුවන අතර ඝාතක කල්ලි ද ක‍්‍රියාත්මක වෙති. මෙම කරුනු දෙකම ආන්ඩුව විසින් ම පත් කරන ලද උගත් පාඩම් කොමිසම විසින් ද යළි අවධාරණය කරන ලද්දේ ඒ අරභයා කිසිදු පියවරක් ගෙන නැති බව සහතික කරමිනි.

සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ව්‍යවස්ථානුකූල සහතිකයන් සහ වැඩසටහනක් ඇති කරන ලෙස ඕස්ටි‍්‍රයාව ගෙන ආ යෝජනාව පිළිගත් ලංකාන්ඩුව ඉක්මනින්ම එවැනි පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අවශ්‍ය ආයතනික රාමු පිහිටුවන බවට ස්වෙච්ජාවෙන්ම තවත් පොරොන්දුවක් දුන්නා ය.

එම ඉක්මනින්ම ගෙන එන බවට පොරොන්දු වූ පනත තවම නැත. එම පනතට සිදුව ඇත්තේ බාලගිරි දෝශයකි. එනම් ‘අද නොවේ සදාකාලිකව හෙට’ යනු ය. සාක්ෂිකරුවන් ආරක්ෂා කැරෙන ප‍්‍රබල නීතිමය රාමුවකින් තොරව මහා පරිමානයෙන් සිදුවන බරපතල මානව හිමිකම් කෙළෙසීම් ගවේෂනය කළ නොහැකි ය.

13 වන සංසෝධනය ක්‍රියාත්මක කරනවා
මෙයට අමතරව ස්වේච්ජාවෙන් දෙන ලද තවත් වැදගත්ම පොරොන්දුවක් වූයේ ව්‍යවස්ථාවෙහි 13වන සංසෝධනය ප‍්‍රයෝගික ලෙස ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවය.

එසේ නමුත් මේ තාක් සිදුවෙමින් ඇත්තේ 13වන සංසෝධනය ප‍්‍රයෝගිකව බල රහිත කරමින් එනම් පළාත් සභා සතු බලතල කප්පාදු කරමින් මධ්‍යම ආණ්ඩුව බලවත් කරන ක‍්‍රියා දාමයකි. 13වන සංසෝධනය මහින්ද චින්තනයේ නැති බැවින් එය ක‍්‍රියාත්මක කිරීමට ජනවරමක් නැතැයි පසුගිය සතියේ දී අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසා තිබුණි.

අභ්‍යන්තරව විතැන් වී සිටින ජනයාගේ අයිතීන් පිළිබඳ පනතක් ගෙන එන බවට ද ලංකාන්ඩුව ස්වේච්ජා පොරොන්දුවක් දුන්නේ ය.

එවැනි පනතක් ගැන කිසිදු කතා බහක් හෝ ඇති නොවූ අතර 2010 වසරේදී හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර සරණාගතයන්ට කිසිදු නීතිමය රැකවරණයක් නැති බව ය.

ලංකාණ්ඩුව අවසාන වශයෙන් රටෙහි අධ්‍යපන ධාරාව තුළට මානව හිමිකම් විශෂ ඇතුල් කරන බවට පොරොන්දුවක් ද දෙන ලද අතර එයට ද සිදුවූ දෙයක් නැත.

ජිනීවා ඇවිත් මොනව කියන්නද?
වැදගත් යූපීආර් යෝජනා වාෂ්ප කර යැවූ ශ‍්‍රී ලංකාන්ඩුව එලඹෙන නොවැම්බරයේ දී මානව හිමිකම් කවුන්සිලයට පැමිණ මෙම යථාර්තය ගැන කියනු ඇත්තේ කුමක් ද?

අප මතක තබා ගත යුතු තවත් කරුණක් තිබේ. එනම් ශ‍්‍රී ලංකා යූපීආර් සැසිය පැවැත්වෙන 2012 නොවැම්බරයෙන් පසු මානව හිමිකම් කවුන්සිලය රුස්වනු ඇත්තේ 2013 මාර්තු මාසයේ දී බව ය. එහිදී ජිනීවා යෝජනාවට අදාළව ශ‍්‍රී ලංකාව පිළිබඳ විශේෂ වාර්තාවක් මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කළ යුතු බව ය. එමෙන්ම ශ‍්‍රී ලංකා යූපීආර් සැසියෙහි ඇතිවන වාද විවාද නියතවම 2013 මාර්තු 22වන සැසියට බලපානු ඇති බවත් ය.


0 comments: