Hot!

යුද ජයග්‍රහණයෙන් තෙවසරකට පසු හමුවන ලංකාවේ ආශ්චර්යය

| සනත් බාලසූරිය

අන්‍යාගමික සිද්ධස්ථාන හමුවේ සිවුර උණා පෙන්වන බෞද්ධ භික්ෂුවකුත්, වියරුවෙන් සාදුකාර දෙමින් අන්‍යාගමික සිද්ධස්ථානවලට ගල්ගසන සිංහල බෞද්ධයකුත් ඇතුළු තවත් බොහෝ දේ අප සමාජයට දායාද කරනු ලැබූ zයුධ විජයග්‍රහණයZ හෙවත් උතුරේ දෙමළ අරගලය තලාදැමීමේ තෙවැනි සංවත්සරය දකුණ මහත් ආඩම්බරයෙන් හා ශ්‍රද්ධාවෙන් සමරමින් සිටී. මේ දෙගොඩතලා යන ශ්‍රද්ධාවත් ආඩම්බරයත් පළුදු කරන වදනක් හෝ කීම, ලිවීම අති බහුතර පුරවැසියන්ට අකැප වූ සෙයකි. ලියුම්කරු මත පසුගිය කාලය මුළුල්ලේ කොල්ලකාරී පාලක රෙජීමයේ අවශ්‍යතාව මත, වැසිකිලි කටවල් වැනි රාජ්‍ය මාධ්‍ය බුරුත්ත විසින් තබන ලද දේශද්‍රෝහී අඩයාලම තවත් තදකිරීමට හේතුවන බව දැන දැනත් ඒ ආඩම්බරයට හරහට හිටින අත්‍යවශ්‍යම යමක් සටහන් කර තැබීමට කල්පනා කරමි.

සිවුර උණා පෙන්වන භික්ෂුව හා ගල්ගසන සිංහල බෞද්ධයා යනු zයුද විජයග්‍රහණයZ විසින් අපට දායාද කරන ලද ව්‍යාධීන්ගේ එක් කුඩා පැතිකඩක් පමණක් වුවත්, එය සමස්ත සමාජ ව්‍යාධියේ ස්වභාවය හකුළා පෙන්වන සංඛේතයකි.

දෙමළ සංහාරය පසුපස තිබූ, එයට හයිය දුන්, එය ඉදිරියට දැක්කූ අධිපතිවාදී මතවාදය වූකලී සිංහල බෞද්ධ ජාතිවාදයයි. ඒ අනුව මෙයින් වසර තුනකට පෙර zයුද විජයග්‍රහණයZ නම් තෑග්ග අත්පත් කරගත්තේ ජාතිවාදී සිංහල බෞද්ධයාය. ඒ තෑග්ගේ අර්ථය නම් ලංකාව සිංහල බෞද්ධයාගේ තනි භුක්තියට සවිවූ බවට සහතිකවීමයි. එහි අයිතියක් වෙනත් කාටවත් යාන්තමටවත් නැත. උපතින් සිංහල බෞද්ධයකුම වුවත් ඒ අධිපතිවාදී මතවාදය ප්‍රශ්න කරන්නකු නම් ඔහුටද ඒ අයිතිය නැත. තමන් විසින් දිනාගත් රටේ අන්‍යයන්ට විසිය හැක්කේ උරුමක්කාරයා විසින් ලබාදෙන නිදහසේ සීමාවට යටත්වය. ඒ අනුව වසර ගණන් පැරැණි පල්ලි, කෝවිල් පමණක් නොව ප්‍රතිමා, ස්මාරක, සොහොන් කොත්, මිනීවලවල් පවා මේ උරුමක්කාරයාගේ දසුණට බාධාවක් නම් ඩෝසර් වී යාමට නියමිතය. අනවසර ඉදිකිරීමක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන තිබියදී ඊට පිටින් ගොස් පල්ලිවලට ඇඳිවත උණා පෙන්වන භික්ෂුවත්, සාදුකාර දී ඊට ගල්ගසන සිංහල බෞද්ධයාත් මේ ජයග්‍රාහී උන්මාදයේ තාර්කික ඵලයෝ වෙති.

මේ මනෝභාවයේ ඉහත කී ප්‍රකාශමාන සරලත්වය යට, වඩා ගැඹුරට විහිදෙන ආධ්‍යාත්මික, ආත්මීය ව්‍යාධියක් සැඟව තිබේ. ඒ, කෘෘරතර යුද්ධයේ zවිජයග්‍රහණයZ යට සැඟවුණු ම්ලේච්ඡත්වය පිළිබඳ මේ සිංහල බෞද්ධයා තුළම පවත්නා සැඟවුණු විඥානයේ ඇති කම්පනයයි. එළිපිට නොකියන, එසේ කියන්නට බැරි, එහෙත් ඇතුළාන්තයේ රැලි නඟන කම්පනයයි.

මේ සිංහල බෞද්ධ සමාජය පසුගිය වසර හතලිස් ගණනක ඉතිහාසයේ දී දෙවතාවක්ම රාජ්‍යයේ නිල මර්දන යන්ත්‍රයන්ගේ කෘෘරත්වය අත්දැකීමෙන් විඳගත්තේය. ඇස් පනාපිට දැකගත්ත්තේය. 71 දී මුදාහැරුණාට වඩා සිය දහස් ගුණයකින් කෘෘර ලෙස එම මර්දනය 88-89දී සිංහල බෞද්ධ සමාජය කරා කඩාවැදිණි.

එදා 88 - 89 වකවානුවේ ඒ අපරාධ පිළිබඳ අද තරම් වීඩියෝ සාක්ෂි නොතිබුණත් ඡායාරූපමය සාක්ෂි කොතෙකුත් විය. මිනීමරුවෝ නිල ඇඳුම් ඇතිව හෝ නැතිව තමන් අතින් ඝාතනය වූ තරුණයන්ගේ මළකඳන් ඉදිරියේ පින්තූර ගත්හ. එදා ඒ පින්තූර දුටු සිංහල සමාජය ඒවා ව්‍යාජ ඡායාරූප ලෙස නොදුටුවහ. ඒ කෘෘරත්වය දියත් කළෝ කවුරුන්දැයි සමාජයට සැකයක් නොතිබිණි. සූරියකන්දෙන් හෝ වෙනත් දිහාවකින් සමූහ මිනීවලවල් මතුවන විට ඒවා ගැන සැකයක් සාංකාවක් නොතිබිණි. ඒවා සිදු නොවූ දේ ලෙස හෝ රට අපකීර්තියට පත්කිරීමට ගොතන කතා ලෙස කිසිවකුත් නොදුටුවහ. වසර හතරක් පහක් ඇවෑමෙන් සිදුවූ ආණ්ඩු වෙනසට පවා සිංහල සමාජය විඳගත් මේ කෘෘර අත්දැකීම් උපස්ථම්භක විය. එහි අරුත නම් අප ආණ්ඩුවේ නිල මර්දන යන්ත්‍රයේ සැබෑ සැහැසිකම කෘෘරකම අත්දැැකීමෙන්ම දන්නා බවය.

දකුණේදී ඒ යතාර්ථය අත්දැකීමෙන් දන්නා සිංහල බෞද්ධයා උතුරේදී ඒ යථාර්ථය එලෙසින්ම පිළිගැනීමට සූදානම් නැත. ඡායාරූප වශයෙන් පමණක් නොව වීඩියෝ වශයෙන් එන සාක්ෂ්‍ය පවා පිළිගන්නට සූදානම් නැත. එදා ව්‍යාජ ඡායාරූප නොවූ සිංහල බෞද්ධ තරුණයන්ගේ ඛේදවාචකයම ඊටත් වැඩි කෘෘරත්වයකින් මෙදා දෙමළ තරුණයා අත්දුටු විට ඒවායේ රූපමය සාක්ෂ්‍ය රට අපකීර්තියට පත්කිරීම උදෙසා ව්‍යාජව සකසන ලද ඒවාය.

එහෙත් සැබෑව නම් මේ සිය සිත රවටාගැනීමේ උත්සාහය තුළම සිංහල බෞද්ධයා දෙකට ඉරී යන බවය. බහුතරය සිංහල බෞද්ධයන්ගෙන් සැදුම්ලත් රාජ්‍යයේ මර්දන යන්ත්‍රය ඒ සිංහල බෞද්ධ ගම්බිම්වලම කරන ලද සැහැසිකම් අත්දැකීමෙන් දන්නා සිංහල බෞද්ධයාගේ යටිහිත ඒ සැහැසිකම් උතුරේ ආගන්තුක භාෂාවක් කතාකරන, නොපුරුදු පරිසරයක, නන්නාඳුනන ජනකොටසක් හමුවේ කී ගුණාකාරයකින් මුදාහැරෙන්නට ඇතිදැZයි දනී. එහෙත් zදෙකඩවන්නට ගිය ලංකාව ත්‍රස්තවාදයෙන් මුදාගෙන සිය දෝතට එක මිටට තබා පුදාඇති බැවින්ZZ තමන්ගේ යටිහිත දන්නා අර යථාව වසාදමා, දෝතට ආ මාහැඟි තෑග්ග වෙනුවෙන් හෘදය සාක්ෂිය වලදමන්නට ඔහුට සිදුව තිබේ.

දෙමළ සමාජයට යුද්ධයෙන් අනන්ත විනාශයක් සිදුවිය. ඒවා ඔවුන්ගේ ජීවිතවල සටහන්ව පවතී. ඔවුහු ඒවා භෞතිකව අත්විඳි දෑය. අහිමි වූ සමීපතමයන්, වෙන්වූ අතපය, සමතලාවූ ගේ දොර, කොල්ලකාගත් ඉඩකඩම්, කඳවුරු ජීවිතය, ලිංගික හිංසනය, සමතලා කරන ලද දුවා දරුවන්ගේ සොහොන් ඇතුළු සියල්ල භෞතිකව විඳින්නට දකින්නට තිබේ. එහෙත් සිංහල සමාජයට සිදුවූ විනාශය මෙවැනි භෞතිකව දැක්ක හැකි දෙයක් නොවේ. එය ආත්මීය විනාශයකි. තමන් අත්දැකීමෙන් දන්නා රාජ්‍ය මර්දන යන්ත්‍රයේ සැහැසිකම් තමන්ගේ සන්තුෂ්ටිය පැහැරගත් සතුරා ලෙස කාලාන්තරයක් දකින්නට පුරුදුව සිටි මිනිසා මත හෙලන්නට ආශිර්වාද කිරීමෙන් සිදුවූ ආධ්‍යාත්මික තුවාලයි. ඒ සැහැසිකම් අද ඡායාරූපමය හා චලනරූප සාක්ෂ්‍ය සහිතව ඇස් පනාපිට දකින්නට ලැඛෙන විට ඒවා සත්‍ය බව ඒ මර්දන යන්ත්‍රය විසින් තමන් මත හෙලු කෘෘරත්වය මෙන් සිය දහස් ගුණයක කෘෘරත්වයක් දෙමළා මත හෙලුබව සැබෑවක් බව දැන දැනත් එය නොදන්නා සේ සිටින්නට හැදීමේ ආධ්‍යාත්මික කුණුවීමයි.

දශක තුනක් තිස්සේ සිය සන්තුශ්ටියේ පරම හතුරා ලෙස හඳුනාගෙන සිටි පොදු සතුරා අහිමි වීමෙන් හටගන්නා තුල්‍යතාව බිඳීයාමේ ව්‍යසනයද මීට එක්වූ විට අද සිංහල බෞද්ධයා ලෙස සිටින්නේ ආධ්‍යාත්මික රෝගියෙකි. මානසික තුලනය බිඳගත්, තථ්‍ය ලොව බොරුවක් බවත් කල්පිත ලොව සැබෑවක් බවත් සිතන්නට බලකරන ලද, පුරුදු සතුරා අහිමිවීම නිසා ඇතිවූ හිස්තැන පුරවාගැනීමට විවිධ සතුරන් සොයන, කිසිවකු විසින් වරින් වර පෙන්වන විකාර සතුරන්ට එරෙහිව කිසිදු ඇහිල්ලක් බැලිල්ලක් නැතිව කෘෘර ප්‍රචණ්ඩත්වයක් මුදාහරින ආත්මීය රෝගියෙකි.

මේ රෝගයෙන් මිදීමේ එකම මඟ වන්නේ සිංහල බෞද්ධ ජාතිවාදී අධිපතිවාදය විසින් දෙමළා මත හෙලු ම්ලේච්ඡත්වය ම්ලේච්ඡත්වයක් ලෙස පිළිගැනීමයි. දෙමළාගේ දුක්ගැනවිල්ල සැබෑවක් සේ දැකීමයි. දෙමළා අත්දුටු ඛේදවාචකයට සංවේදී වීමයි. දෙමළා තමන්ගේ රටේ තමන් හා සමාන අයිතිවාසිකම් සහිත පුරවැසියකු බවත්, ඔහුට ඉතිහාසය පුරා අසමාන සැලකිල්ලක් ලැබී ඇති බවත් තේරුම් ගැනීමයි. ඔහු පළමුව ප්‍රජාතන්තී්‍රය දේශපාලන ප්‍රවාහය තුළද, එය අසාර්ථක වනවිට ආයුද සන්නද්ධ අරගලය තුළද අත්පත් කරගන්නට උත්සාහ කළේ තමන්ගේ අයිතිය බව තේරුම් ගැනීමයි. කොතරම් තලා දැමුවත් ඒ අසාධාරණයේ මුල් දෙමළ සමාජයේ කිඳාබැස ඇතිතාක් අරගලය මුළුමනින් අවසන් වන්නට ඉඩක් නැතිබව අවබෝධ වන්නේ එවිට ය. උණ්ඩයෙන් නොව සාමකාමී දේශපාලන කි්‍රයාවලියක් තුළ දෙමළා අත්විඳින අසමාන සැලකිල්ල අවසන් කර ඔහුගේ හිමිකම් තහවුරු කිරීමෙන් පමණක් මේ ප්‍රශ්නය විසඳාගත හැකිබව තේරුම් යන්නේ එවිට යි.

එහෙත් මේ රෝගය සුවකරගැනීම එතරම් සරල නොවන්නේ රාජ්‍යය නිසැකවම ඊට ඉඩ නොදෙන බැවිනි. පාලිත සිංහල බෞද්ධ පුරවැසියා මේ මාර්ගය තෝරාගැනීම යනු, දෙමළා තලා මර්දනය කොට සිය අනුකම්පාව යටතේ පමණක් සිටිය යුතු යටත් වැසියකු කළ සමස්ත රාජ්‍ය කි්‍රයාදාමයෙන්ම මේ සිංහල බෞද්ධයා සිය රැහැන කඩාගැනීමේ අතිශය තීරණාත්මක අවස්ථාව වන බැවිනි. සිංහල බෞද්ධ රාජ්‍යයට රැහැන් නැති දෙමළා සිටින්නේ යටත් කරන ලද තත්ත්වයකය. දෙමළා යටත් කිරීමේ කාර්යයේදී ඒ රාජ්‍යය හා සිය රැහැන් තව තවත් ශක්තිමත් කරගත්, අලූතින් රැහැන් බැඳගත් සිංහල බෞද්ධයාද ඒ රැහැන කඩාගන්නවාය කියන්නේම සිංහල බෞද්ධ රාජ්‍යය අර්බුදයකට යාමකි. ඒ සඳහා රාජ්‍යය කිසිසේත්ම ඉඩ නොතබනු ඇත.

එහෙත් සියලූ ජනකොටස්වලට සමාන අයිතිවාසිකම් සහිතව ජීවත්විය හැකි සාමකාමී නිදහස් රටක් ගොඩනැඟීමට නම් අප ගතයුතු එක ම මාර්ගයත් එයම බව මේ zවිජයග්‍රහණයේZ සැමරුම් විසින්ද නැවතත් සිංහල බෞද්ධයාගෙන් දැනුවත්ව වසන් කර තබන රහසයි.

ඔබේ සන්තුෂ්ටිය විනාශ කරන්නේ කොටියායzයි ඔබට ඉගැන්වූ පාලකයා ඔබේ කරමතින් ගොස් ඒ සන්තුෂ්ටිය විනාශකරන කොටියා වනසා දමා තිබේ. ඉදින් ඔබට ඔඛෙන් මෙතෙක් කල් සොරාගත් සන්තුෂ්ටිය හමුවීද? කොටියා නැති ලංකාවේ වසර තුනකට පසු ඔබ විඳිමින් සිටින්නේ ඒ සන්තුෂ්ටියද? කොටියා නිසා ඔබට අහිමි වෙනවායzයි කී සාමකාමී සරුසාර ජීවිතය කොටියා නැති ලංකාවේ වසර තුනකට පසු ඔබට හමුවී තිබේද? නැතිනම් ඔබට හමුවී තිඛෙන්නේ එදාටත් අන්ත ලංකාවක්ද? එදා දෙමළා සංහාරය කිරීම සඳහා ඔබ තදකරගත් පටිය කොටියා නැති ලංකාවේ දශමයකින් හෝ බුරුල් වීද? නැතිනම් තව තවත් තදවෙමින් එන්නේද? ඔබේ පටි බුරුල් නොවිනි නම් බුරුල් වී ඇත්තේ කාගේ පටිද?

zයුද විජයග්‍රහණයZ විසින් අනෙකුත් සංස්ථාවන් විශයයහෙි අපට දායාද කරඇත්තේ මොනවාද? වෙන කවරදාටත් වඩා එළිපිට රාජ්‍ය දේපොළ සොරාකන, කප්පම් ගන්නා, නීතිවිරෝධී ජාවාරම්වල යෙදෙන, මිනිසුන් පැහැරගන්නා, මිනීමරණ, දූෂිත පාලක රෙජීමයක් හා එහි සුරතලූන් කල්ලියකි. විශ්වසනීයත්වය බිඳගත් අධිකරණයකි. පාලක රෙජීමයට හා එහි සුරතලූන්ට අවශ්‍ය විදියට නිරුවතින් හැසිරෙන පොලීසියකි. වෙසක්කූඩුවක හැප්පුණු හරකාගේ අයිතිකාර දෙමළාට වෙඩි තබන, සිය අයිතිවාසිකම් ඉල්ලා පාරට බහින සිංහලයාටද පාලක රෙජීමයේ අනින් වෙඩි තබන හමුදාවකි. අවස්ථාවාදීන්ගේ පිල්මාරුවලින් හා සිංහල බෞද්ධ අධිපතිවාදී මතවාදයත් සුළු ජාතික අයිතිවාසිකමුත් අතර දෝලනය වන්නට ගොස් වැහැරුණු විපක්ෂයකි. වෙන කවරදාටත් වඩා කොඳුකඩාගත් සිවිල් සේවකයෙකි. ලොකුතැන්වලට හේත්තු වී දෙපතුල් ලෙවකා සිය මඩිය තරකරගන්නා නිවට නියාලූ නලාකාර කලාකාරයින් රැලකි. සිය සමාජ වගවීම හෝ ආචාර ධර්ම අමතකව ගිය පාලක රෙජීමයේ අධිපති මතවාදයට ස්තෝත්‍ර ගයන ජනමාධ්‍ය බිස්සකි. මේ ලයිස්තුව පොතක් පිරෙන්නට තරම් දිගය.

මේ අන් කිසිවක් නොව zයුද විජයග්‍රහණයේZ දායාදයෝ ය. යුද්ධය පැවැති සමයේ ලාංකේය පුරවැසියා වෙනුවෙන් තෝරාදුන් කඳවුරු දෙක වූ දේශප්‍රේමියා හා දේශද්‍රෝහියා අදටත් එසේම නඩත්තු වෙයි. එකම එක වචනයකින් දේශප්‍රේමියෙක් දේශද්‍රෝහියාගේ කඳවුරට විසිවන්නට පිළිවන. එහි සර්වබලධාරී තීරකයා පාලකයාය. ඔබ අඩුමිලට බූමිතෙල් බෝතලයක් ඉල්ලූවත් ඔබ දේශද්‍රෝහියෙකි.

දෙමළ ජාතිකයාගේ අරගලය උණ්ඩයෙන් නොව සාමකාමී සම්මුතියකින් විසඳාගත යුතුයයි අප එදා ද කීවේ එහෙයිනි. වාර්ගික යුද්ධය විසින් පොදු සිංහලයා හෝ දෙමළා යන කිසිවකුත් ජයග්‍රහණය කරවන්නේ නැති බැවිනි. එය පොදුවේ මිනිසාගේ මනුෂ්‍යත්වය හරපද්ධතීන් හා ආත්මය වනසන බැවිනි. යුද්ධය අවසන්වී වසර තුනක් ගෙවුණු ලංකාවට සිදුවී ඇත්තේ එයයි.

යුද විජයග්‍රහණයේ තෙවැනි සැමරුමට පසු ලංකාව ෂෝක්දැයි කණගාටුවෙන් වුව අසන්නට සිදුවන්නේ එහෙයිනි.




0 comments: