Hot!

ධර්මාශෝක වෙනවද ? මුගාබේ වෙනවද ? තීරණය ජනපති අතේ- මංගල

අද අප රටත්, රාජපක්‍ෂ රජයත් ඉතාමත්ම තීරණාත්මක මංසන්ධියකට පැමිණ තිබෙන බවත්, රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින්ම පත් කරන ලද කොමිෂන් වාර්තාවේ නිර්දේශ කි‍්‍රයාත්මක කරමින්, ශී‍්‍ර ලංකා ඉතිහාසයේ නව පිටුවක් පෙරලමින් ඉතිහාසයේ අඩුපාඩු හා වැරදි පසෙකට තබා රට වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සෞභාග්‍යමත් යුගයක් කරා ගෙන යමින් ධර්මාශෝක රජතුමා ගිය අඩිපාරේ යනවාද, එසේ නැතිනම් පුරුදු ගමන් මග යමින් ජාත්‍යන්තරව හුදකලා වූ චෞර රාජ්‍යයක් බිහි කරමින්, මුගාබේ වැනි ඒකාධිපතින්ගේ අඩිපාරේ යනවාද කියා තීන්දු කළ යුතු මොහොත අද මෙම රජයට උදා වී තියෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.

වර්තමාන ලෝකය තුළ කිසිම රටකට තමන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිරුවත තම රටේ ජාතික කොඩියෙන් වසාගෙන තමන්ගේම ජනතාවගේ මානව අයිතීන් කඩ කරන්නට ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මයන් පාගා දැමීමට අයිතියක් නැති බවද ඔහු සදහන් කළේය.

ඔහු එම කාරනා සදහන් කරනු ලැබුවේ අද (04) පාර්ලිමේන්තුව තුල පැවති, ජිනීවා යෝජනාව පිළිබඳ විශේෂ විවාදයට සහභාගී වෙමිනි.

එම විවාදයේදී සමරවීර මහතා මෙසේද සදහන් කළේය.

” පසුගිය 22 වැනිදා ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී, ශී‍්‍ර ලංකාවේ, උගත් පාඩම් හා ප‍්‍රතිසංවිධාන කොමිෂන් වාර්තාව සඳහන් කර ඇති ව්‍යුහාත්මක නිර්දේශයන් කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාව බහුතර ඡුන්දයෙන් සම්මත වුනා.

එම යෝජනාව සම්මත වීම රටක් හැටියට ශී‍්‍ර ලංකාව ලබාගත් දැවැන්ත පරාජයක් ලෙසත්, මෙය පිටුපස අප රටට ඊරිසියා කරන, වෛර කරන එල්.ටී.ටී.ඊ. හිතවාදී රටවල් සිටින බවත්, මෙම යෝජනාව රටේ ජාතික ස්වෛරීභාවයට කරන ලද විශාල අභියෝගයක් හා තර්ජනයක් බවත්, මේ තුළින් අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට ජාත්‍යන්තර ප‍්‍රජාව නීති විරෝධී ලෙස මැදිහත් වී ඇති බවත් රජයේ ජනමාධ්‍ය මෙන්ම, රජයේ වගකිවයුත්තන් දිගින් දිගටම ප‍්‍රකාශ කරනවා.

අද මුලූ ලෝකය විශ්ව ගම්මානයක් බවට පත් වෙමින්, සෑම රටක්ම එකිනෙකා අතර යැපෙන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. The increasing interdependency of states is a key Feature of internationalrelations today.

ඒ අනුව, ජාත්‍යන්තර ප‍්‍රජාවට තව රටක අභ්‍යන්තර බලපෑම් කරන්නට කිසිසේත්ම අයිතියක් නැතැයි කියන WESTPHALIAN රාජ්‍යතාන්ති‍්‍රක මතය 21 වන සියවසේ ජාත්‍යන්තර සම්බන්ධතාවලට වලංගු වන්නේ නැහැ. යම් රටක රජයක් තම රටේම පුරවැසියන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් උදුරා ගන්නවානම්, එසේම, තම පුරවැසියන්ට හිංසා පීඩා කරනවා නම් ඒ අය වෙනුවෙන් ජාත්‍යන්තර ප‍්‍රජාව මැදිහත්වීමේ හැකියාව අද විවිධ ජාත්‍යන්තර ගිවිසුම්වලින් ලංකාව ඇතුලූ ලෝකයේ සියලූ ශිෂ්ඨසම්පන්න රටවල් පිළිගෙන තියෙනවා.

The Westphalian notion of Sovreignity is based on the Peace of Westphalia in 1648 which Articulates the Principal of non intervention of one State in is Internal Affairs of another State, is no more absolute in the modern world. Today this notion has been replaced by the notion of responsible soverignity by which a nation can be held Accountable if it abuses the rights of it’s citizens.

සරලව මෙම අදහස කියනවා නම්, වර්තමාන ලෝකය තුළ කිසිම රටකට තමන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිරුවත තම රටේ ජාතික කොඩියෙන් වසාගෙන තමන්ගේම ජනතාවගේ මානව අයිතීන් කඩ කරන්නට ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මයන් පාගා දැමීමට අයිතියක් නැති බවයි.

උදාහරණයක් හැටියට, සමාජයක නීතිරීති අනුව අපිට අපේම ගෙදර තුළදී වුවද අප සහෝදරයෙකුට, අපේ දරුවකුට පහර දෙන්නට එසේ නැතිනම් මරා දමන්නට කිසිම අයිතියක් නැහැ. එවැනි අවස්ථාවකදී පොලිසිය අපි සොයා පැමිණි විට ,මේ මගේ දරුවා, මේ මගේ ගෙදර, ඒ නිසා තමුසෙලාට අයිතියක් නැහැ. මගෙ ගේ ඇතුළෙ වෙන දේවල්වලට ඇගිලිගහන්න, යැයි කියමින් නීතියෙන් පැනයාමට බැරි වගේම, ගෝලීය ගම්මානයක ජීවත්වන අපි ජාත්‍යන්තර ගිවිසුම් හා නීතිරීතිවලට අනුකූලව කටයුතු කරන්න, අපි විවිධ ගිවිසුම් හා එකගත්වයන්ට බැඳී සිටිනවා. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට එවැනි බලතල ලබාදීමට අප රටත් දිගින් දිගටම වගකිවයුතු රටක් හැටියට කටයුතු කර තියෙනවා.
(ඇමුණුම් 01- සභාගත කරන ලදී )

ජාතික ස්වෛරීභාවයේ නාමයෙන් රජයකට තමන්ගේ රට තුළ මතු වන දේශපාලන විරුද්ධවාදීන් මර්ධනය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉඩ නොදිය යුතු බවට ජිනීවාහි මානව හිමිකම් කොමිසමට මුලින්ම පෙන්වා දුන්නේ, අද එහි ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිතවරිය හැටියට කටයුතු කරන තමාරා කුලනායකම් මහත්මියයි.

1987 දී එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් එදා කරුණු ඉදිරිපත් කරපු ලෝක කි‍්‍රස්තියානි සම්මේලනයේ නියෝජිතවරියක් හැටියට ජිනීවා කොමිසමට සහභාගි වූ එතුමිය එහිදී විශේෂ ප්‍රකාශයක් ද කලා.
(ඇමණුම් 2.1- සභාගත කරන ලදී)

එපමණක් නොව, කුලනායකම් මහත්මිය එදා තම කතාව අවසන් කරන්නේ, ත‍්‍රස්තවාදය හා බෙදුම්වාදය ගැන කතා කරමින් මානව අයිතීන් සම්බන්ධයෙන් තත්ත්වය මග හරින්නට ඉඩ දෙන්න එපා කියමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ආයාචනා කරමින්.

කුලනායකම් මහත්මිය කළ සම්පූර්ණ කතාව සභාගත කරන අතර, එය හැන්සාඞ් වාර්තාවේ ඇතුළත් කරන ලෙසද ඉල්ලා සිටිනවා. (ඇමුණුම් 2.2)

1989 දීත් ඉන් පසුවත් මානව අයිතීන් උල්ලංඝනය වීම ඉදිරියේ ජාත්‍යන්තර ප‍්‍රජාවට අප රටට බලපෑම් කළ යුතු යැයි මේ සභාවේදීම නැවත නැවතත් තමන්ගේ මතය පැහැදිලිව ප‍්‍රකාශ කරන ලද්දේ, මාත් සමග මව්වරුන්ගේ පෙරමුණේ සම කැඳවුම්කරු වශයෙන් කටයුතු කරපු ගරු මහින්ද රාජපක්‍ෂ මන්තී‍්‍රතුමායි.

මම ලංකාව තුළ ඒකරාශී කරන ලද තොරතුරු සියල්ල එතුමා විසින් සෑම මාර්තු මාසයේදී සහ ඔක්තෝබර් මාසයේදී ජිනීවා නුවර පැවැත්වූ මානව අයිතීන් කොමිෂමට රැගෙන ගොස්, එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලංකාවේ එවකට තිබූ ප‍්‍රශ්නවලට මැදිහත් වන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටියා.

”මම අරගෙන ගියේ මේ රටේ අම්මාලාගේ අදෝනාවයි. ඒ ගැන කියන්න මට නිදහස නැද්ද? එම මෑණිවරුන්ගේ අදෝනාව තමයි අර රටවල් 12 කට ඇහිලා තියෙන්නේ”
(90 ඔක්තෝබර් 25 හැන්සාඞ් වාර්තාව – පිටු අංක 366)

මන්තී‍්‍රවරයෙක් හැටියට එතුමා CHR කොමිෂමට ඇතුළත්වීමේ බලපත‍්‍ර එසේ නැතිනම් බැජ් එක ලබා ගත්තේ Quaker Peace Organisation යන සංවිධානයෙන්. මේ සෑම අවස්ථාවේදීම ඔහු මෙම සැසිවාරයන්ට සහභාගි වුණේ අද ත‍්‍රස්තවාදීන් හැටියට රාජ්‍ය මාධ්‍යයෙන් හංවඩු ගසන නිමල්කලා, සුනන්දලා, සුනිලා අබේසේකරලා, සූරිය වික‍්‍රමසිංහලා එක්ක.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අප රටට ඇවිත් අප රටේ කරුණු සොයා බලන්නට අවසර දෙන්න කියමින් පාර්ලිමේන්තුව තුළ බල කළේද ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමායි.

1989 දෙසැම්බර් 04 වැනිදා හැන්සාඞ් වාර්තාවේ 941 වැනි පිටුවේ සඳහන් වන ආකාරයට එතුමා රතු කුරුස හමුදාවට ලංකාවට ඒමට අවසර දීම සම්බන්ධයෙන් තම ස්තූතිය රජයට පළ කරමින් එතුමා මෙසේ කියනවා. ”ඒ වගේම මේ United Nations Working Group of Enforced and ඉන්වොලුන්ටර්ය් Disappearances and Amnesty International කියන ආයතනවලටත් ලංකාවට එන්න අවසර දෙන ලෙස අපි ඉල්ලූවා. මේ ආයතන දෙකටම එන්න දෙන්න කියා අපි ඉල්ලුවා. මම මේ අවස්ථාවේදී ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා, මේ ආයතන
දෙකටත් ලංකාවට ඇවිත් මේ කරුණු ගැන සොයා බලන්න අවසර දෙන්න කියලා” යයි එදා එතුමා කිවා.

එපමණක් නොව, මානව අයිතීන් පිළිබඳ කොන්දේසි ශී‍්‍ර ලංකා රජයට පැනවිය යුතුයි කියන ඉල්ලීමද කළේ රාජපක්‍ෂ මන්තී‍්‍රතුමාමයි. ” අපි ආධාර දෙන රටවලින් ඇහුවා ….,ඇයි බැරි ආධාර දෙන ගමන් මේ රටේ මානව අයිතිය පිළිබඳ කොන්දේසියක් පනවන්න කියා, අන්න ඒ ඉල්ලීම තමයි අපි කළේ. ඒක තමයි අද ඉටුකර තිබෙන්නේ”
(1990 ඔක්තෝබර් 25 හැන්සාඞ් වාර්තාව – පිටු අංක 365)

මේ සම්බන්ධයෙන් එතුමා නැවතත් 1991 ජනවාරි 25 වැනිදා පාර්ලිමේන්තුවේදී මෙසේ කියනවා.

”ආධාර දෙන රටවල්වලට අපි ගිහින් කිව්වේ තමුන්නාන්සේලාට පුලූවන් නම් මේ මේ ඒවා කපන්න කියා කියන්න. මේ රටේ මිනිසුන්ගේ මානව අයිතිය රකින්නැයි කියන එකත් මේ ආණ්ඩුවට කියන්නය කියන එකයි. එසේ නම් ආධාර දීමේදී එය කොන්දේසියක් වශයෙන් දාන්නය කියන එක වැරදිද කියා මම තමුන්නාන්සේගෙන් අහනවා”
(පිටු අංක 424)

මෙහිදී මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මට පෞද්ගලිකවත් ඉන් පසුව මේ පාර්ලිමේන්තුවටත් ලබාදීපු වඩාත් වැදගත් උපදෙසක් මේ අවස්ථාවේදී මම සිහිපත් කරනවා.

”ආණ්ඩුව මානව අයිතිය නැති කරන්න යනවා නම් ජිනීවාවලට නෙමෙයි, ලෝකයේ ඕනෑම තැනකට, එහෙම නැත්නම් නරකාදියට හෝ ගොස් එම ආණ්ඩුවට විරුද්ධව කි‍්‍රයා කළ යුතුයැයි, කියපු ප‍්‍රකාශය(90-10-25 හැන්සාඞ් වාර්තාව- පිටු අංක 424)

මේ රටේ ජනතාවගේ අදෝනාව, මේ රටේ අහිංසකයන්ගේ අදෝනාව පිටරටකට නොවෙයි ඕනෑම අහකට ගිහින් කියන්න ඕනෑයි, කියන ඒ වටිනා උපදෙස (91-01-25 හැන්සාඞ් වාර්තාව – පිටු 424) වසර 22 කට පසුවත් මම නම් ඉතාමත්ම ආඩම්බරව පිළිපදිනවා.

එදා මහින්ද රාජපක්‍ෂ මන්තී‍්‍රතුමන්ලා, තමාරා කුලනායකම්ලා, නිමල්කා ප්‍රනාන්දුලා, සුනන්ද දේශපි‍්‍රයලා සහභාගි වුණේ එක්සත් ජාතීන්ගේ මානව අයිතින් කොමිෂමට. නමුත් එම කොමිෂමට මානව අයිතීන් සම්බන්ධයෙන් රටක් තුළ සකී‍්‍රයව සම්බන්ධවීමේ හැකියාව වඩාත් ශක්තිමත් කිරීම සඳහා, සකී‍්‍රයව මැදිහත්වීමේ බලතලද ලබා දෙමින්, අලූත් දත් එක්ක 2006 දී එක්සත් ජාතින්ගේ මානව අයිතීන් කවුන්සලය පිහිටවනු ලැබුවා.

ශී‍්‍ර ලංකාවත් මෙම මානව අයිතීන් කවුන්සලය ස්ථාපිත කිරීම සඳහා ඡන්දය ලබාදෙමින් සියලූම රටවල් ඔවුන්ගේ දේශපාලන, ආර්ථික හා සංස්කෘතික පදනම කුමක් වුවද, මානව අයිතීන් හා මූලික නිදහස වර්ධනය කිරීමටත්, ආරක්‍ෂා කිරීමටත් බැඳී සිටින බවට තවත් තහවුරු කරන අතර, එසේ නොමැති අවස්ථාවල එක්සත් ජාතීන්ට එම ප‍්‍රශ්නයට මැදිහත්වීමට ඇති අයිතිය පිළිගත්තා. මම විදේශ ඇමතිවරයා වශයෙන් සිටියදී ජනාධිපතිතුමා ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩල අනුමැතිය ඇතිව 60/251 යෝජනාවට සහය දුන්නා.
(ඇමුණුම් 3- සභාගත කරන ලදී.)

එපමණක් නොව, 2009 මැයි මාසයේ යුද්ධය අවසන් වූ විගසම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන්කි මූන් ඉදිරියේ තවදුරටත් තමන්ගේ ජාත්‍යන්තර වගකීම් ඒ ආකාරයට ඉටු කරන්නට එකගත්වය පළ කළා. මෙය 2009 මැයි 23 වැනිදා විදේශ අමාත්‍යංශය විසින් නිකුත් කරන ඒකාබද්ධ ප‍්‍රකාශයේ මෙසේ සඳහන් කර තියෙනවා.
(ඇමණුම් 4) මෙම ඒකාබද්ධ ප්‍රකාශය මුළුමනින්ම හැන්සාඩ් වාර්තාවේ පළ කරන ලෙස මම ඉල්ලා සිටිනවා.

මේ පසුබිම තුළ 2010 මැයි මාසෙ 15 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ නියමයෙන්, ආයතනික පරිපාලන හා නීතිමය විසදුම් නිර්දේශ කිරීම සඳහා උගත් පාඩම් කොමිෂම පත් කරනු ලැබුවා.

මෙම LLRC ජනාධ්පති කොමිෂමේ අවසාන වාර්තාව ගරු නිමල් සිරිපාල ද සිල්වා සභානායකතුමා විසින් 2011 දෙසැම්බර් 16 වැනිදා පාර්ලිමේන්තුවේදී සභාගත කරමින්, කෙටි කාලයක් තුළදී තමාට පැවරනු බැරෑරුම් කාර්යයන් කැපවීමෙන් හා වගකීමෙන් ඉටු කිරීම පිළිබඳ ජනාධිපතිතුමා නැවතත් සිය ස්තූතිය එම කොමිෂන් සභාවට පළ කරන බවට ප‍්‍රකාශ කළා.

වගකීමෙන් හා කැපවීමෙන් ඉටු කරන ලද LLRC ජනාධධිති කොමිෂන් වර්තාව සහ එහි නිර්දේශනයන් ජිනීවා යෝජනාව මගින් ජාත්‍යන්තර ප‍්‍රජාවද උණුසුම් ලෙස පිළිගෙන තියෙනවා.
(ඇමණුම් 5- සභාගත කරන ලදී)

එපමණක් නොව, මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය දීපු රටවල් පවා, LLRC ජනාධිපති කොමිෂන් වාර්තාව අගය කලා අතර, ඔවුන් ඉල්ලා සිටියේද මෙම ජනාධිපති කොමිසම කි‍්‍රයාත්මක කිරීමට කාලයත් ඉඩප‍්‍රස්ථාවත් ලබා දෙන ලෙසයි.

ලංකාවට සහයෝගය දුන් රුසියාවද මෙම ජනාධිපති කොමිෂන් වාර්තාව හැකිතාක් ඉක්මනින් කි‍්‍රයා කළ යුතු බවට ප්‍රකාශකර ඇති බව අයිලන්ඞ් පුවත්පතේද සඳහන් වී තිබුනා.

ජනාධිපති කොමිෂන් බොහෝ දුරට කුණු බක්කියේ අවසන් වන යුගයක මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ වගකීමෙන් හා කැපවීමෙන් ඉදිරිපත් කරන ලද LLRC වාර්තාව, මේ ආකාරයට ඉමහත් පිළිගැනීමකට ලක්වීම ජනාධිපතිවරයාට ද ආඩම්බර විය හැකි කරුණක්.

මේ ආකාරයට පුලූල් සහයෝගයක් මෙම වාර්තාවට ප‍්‍රකාශ වී තිබෙන මොහොතක ජිනීවා යෝජනාව ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් යැයි හංවඩු ගසමින් LLRC ජනාධිපති කොමිෂන් වාර්තාව කි‍්‍රයාත්මක කිරීමෙන් රජය පැන යන්නට හදනවා නම්, එසේ නැත්නම් කල් මරනවා නම්, මේ රජයේ සැබෑ ඒකාධිපති නිරුවත මුලූ ලෝකයටම හෙළිදරව් වෙනවා.

ජිනීවා යෝජනාවටත් LLRC ජනාධිපති කොමිෂන් වාර්තාවටත් විරුද්ධ විය හැක්කේ, ඒකාධිපති සිහිනයෙන් පෙළෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරොධීන්ටත්, අනාගතයේදී තව තවත් ජාත්‍යන්තර මැදිහත්වීම්වලට පාර කපන ජාතික කොඩිය ඇග වටේ දැවට ගත් දේශද්‍රෝහීන්ට විතරක් යැයි මම තරයේ කියා සිටිනවා.

ලංකාව තවත් කොංගෝවක්, උගන්ඩාවක් එහෙමත් නැත්නම් සිම්බාබ්බයක් බවට පත් කරන්න මේ අය දගලවා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා තවත් මුගාබේ කෙනෙක් කරන්න උත්සාහ කරනවා. බුරුමය පවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය කරා නැවතත් ගමන් කරන මොහොතක ලංකාවේ ආසියාවේ නව බුරුමය බවට පත් කරන්න මේ අය උත්සාහ කරනවා. සැබෑ මිතුරන් සතුරන් බවට අපි අපිම පත් කර ගන්නවා.

ජිනීවා යෝජනාවට මූලිකත්වය ගත් ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපීය සංගමය පමණක් නොව, එම යෝජනාවලියට ඡන්දය ලබාදුන් අපේ අසල්වැසි ඉන්දියාව, දුකේදිත් සැපේදිත් අප රටට සැමදා සහයෝගය දුන් කල්‍යාණ මිත‍්‍රයන් බව අපි අමතක නොකළ යුතුයි. අප රටේ නිෂ්පාදනවලට විශාලතම වෙළෙඳ පොළ සපයන්නේ ඇමරිකාව සහ යුරෝපයයි.

අපගේ ආයෝජනවලින් තුනෙන් එකක්ම මිලදී ගන්නේ එක්සත් ජනපදයයි. 2010 දී පමණක් ඇ.ඩො. 1.7 බිලියන වටිනා භාණ්ඩ නිෂ්පාදන ඇමරිකාව විසින් මිලදී ගෙන තියෙනවා. එපමණක් නොව, එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව ගෙන ගිය සංග‍්‍රාමයේදී ඔවුන්ගේ සහයෝග ඉතාමත්ම තීරණාත්මක සාධකයක් වුනා.

1997 දී බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයාගේ පාලන සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇමරිකාවෙන් තහනම් සංවිධානයක් බවට පත් කිරීමට ඔවුන්ට විශාල පසුබෑමක් වුනා.

එපමණක් නොව, මා විදේශ ඇමතිවරයා වශයෙන් සිටියදී යුරෝපීය සංගමය තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් කර ගැනීමට ගෙන ගිය උත්සාහයේදී ද ඇමරිකා එක්සත් ජනපදය දුන් සහයෝගය අමතක කළ නොහැකියි.

එදා රටවල් 25 කින් සමන්විත යුරෝපීය සංගමය තුළ රටවල් 07 ක් එල්.ටී.ටී.ඊ. තහනමට එකග වූයේ නැහැ. යුරෝපීය සංගමයේ එවකට ව්‍යවස්ථාව අනුව ඒකමතික තීන්දුකින් තොරව මේ කටයුත්ත කිරීමට අපහසු වුනා. එම නිසා මම කොන්ඩලීසා රයිස් රාජ්‍ය ලේකම්තුමිය කීපවතාවක් මුණ ගැසී, නියෝජ්‍ය රාජ්‍ය ලේකම් නිකලස් බර්න්ස් මහතාගේ කි‍්‍රයාකාරිත්වය මත අකමැති වූ රටවල් හතේද කැමැත්ත ලබා ගනිමින් 2006 මැයි 29 වැනිදා එල්.ටී.ටී.ඊ. සංවිධානය යුරෝපීය සංගමය තුළ තහනම් කරගනු ලැබුවා. එම තහනම එල්.ටී.ටී.ඊ. සංවිධානය ලබපු විශාලතම පරාජයක් බවට එල්.ටී.ටී.ඊ.ය විසින්ම පිළිගත් අතර, එම වසරේ මහවිරු දින ප‍්‍රකාශය කරමින් ප‍්‍රභාකරන් ජාත්‍යන්තර ප‍්‍රජාව ලංකා රජයට රැවටී ඇති බව කියමින් ජාත්‍යන්තරයට බැණ වැදුනා.

එපමණක් නොව, ඇමරිකා එක්සත් ජනපදය විසින් එල්.ටී.ටී.ඊ සංවිධානය ඇමරිකාව තුළ විවිධ නම්වලින් මුදල් එකතු කිරීම නැවැත්වීම සඳහා පූර්ණ කාලීන ඒජන්තයන් 41 ක් සිටින විශේෂ ඒකකයක් පිහිටවන ලද්දේ 2006 ජනවාරි මාසයේදී කොන්ඩලීසා රයිස් මහත්මියගෙන් මා කරපු ඉල්ලීමක් අනුවයි. ඒ වගේම මාගේ ඉල්ලීම අනුව, එල්.ටී.ටී.ඊ. ආයුධ මිලදී ගැනීම නැවැත්වීම සඳහා ඇමරිකාවේ මූලිකත්වයෙන් කැම්බෝඩියාව, මැලේසියාව, තායිලන්තය, වියට්නාමය වැනි රටවල් එකතු කරගෙන ඉහළම මට්ටමේ කමිටුවක් පිහිටුවනු ලැබුවා.

යුද්ධය ජය ගැනීමට පමණක් නොව, අප සංවර්ධන කටයුතුවලටත් ඇමරිකාව විශාල වශයෙන් උදව් කරන්නට සූදානම් වුණා. 2003 දී රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් මුණ ගැසුණු වෙලාවේ Millenium යෝජනාවලිය හරහා ආධාර දෙන රටවල් 17 න් එකක් හැටියට ලංකාව තෝර ගත්තා. ඒවා ණය නොවෙයි, හොඳ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පසුබිමක් තියෙන රටවල් විතරයි තෝරා ගත්තේ. ලංකාවේ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ඇ.ඩො. මිලියන 780 ක් ලංකාවට වෙන් වී තිබුනා.

2006 දී විදේශ ඇමතිවරයා හැටියට ජනවාරි මාසයේදී වොෂින්ටන් නුවරට ගිය අවස්ථාවේදී මෙම Millenium ආධාර දෙන රටවල් අතරින් ලංකාවට එම මුදල මුලින්ම ලබාදීමට එකගත්වය පළ කළ අතර, 2006 සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මහ සභාව සඳහා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා නිව්යෝර්ක් නගරයට එන අවස්ථාවේදී ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් සමග එම ගිවිසුම අත්සන් කරන්නට තීරණය කළා.

නිවාඞ් කබ්රාල් මහත්මා මේ කටයුත්ත ලංකා රජය වෙනුවෙන් සම්බන්ධීකරණය කිරීම සඳහාත් මම නම් කළා.

රටේ අවාසනාවකට මේ රට තුළ තිබුණ තත්ත්වය සහ ජාත්‍යන්තර ප‍්‍රජාව තුළ අප රට ගැන තුළ තිබුණ ප‍්‍රතිරූපය බිඳ වැටීමට පටන් ගත්තේ 2006 ජනවාරි මාසයත් සැප්තැම්බර් මාසයත් අතරයි. රවිරාජ් මන්තී‍්‍රතුමා ඇතුලූ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ඝාතනය කරන්නට පටන් ගත්තා. ති‍්‍රකුණාමලයේ ශිෂ්‍ය ඝාතන සිදු වුණා. ප‍්‍රංශ ආධාර සේවකයන් 17 ක් ඝාතනය කළා. උතුරෙත් දකුණෙත් අතුරුදහන්වීම්පටන් ගත්තා. උතුරෙත් දකුණෙත් ජනමාධ්‍යවේදීන්ව ඝාතනය කරන්නට, තර්ජනය කරන්නට පටන් ගත්තා. සුදු වෑන් සෙල්ලමත් පටන් ගත්තේ මේ කාලයේ.

මුලින්ම සුදුවෑන් තර්ජන එල්ල වුණේ උතුරේ ජනතාවටත්, දකුණේ මුස්ලිම් ව්‍යාපාරිකයන්ටත් එරෙහිවයි. නමුත් මේ වන විට ආණ්ඩු විරෝධීන්ට පමණක් නොව, ජනමාධ්‍යවේදීන්ට විරුද්ධව පමණක් නොව, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ කි‍්‍රයාකාරීන්ට විරුද්ධවත් සුදු වැන් ක්‍රියාත්මක වෙනවා. පසුගිය සතියේ සාගල සේනාරත්න මහතා බොහොම අමාරුවෙන් ජීවිතය බේරා ගත්තා. ඊට ප‍්‍රථම කොලොන්නාව ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයා බොහොම අමාරුවෙන් ජීවිතය බේරා ගත්තා. 2011 ඔක්තෝබර් 18 වැනිදාත්, 2012 පෙබරවාරි 27 වැනිදාත් අතර කාලය තුළ 26කට වඩා වැඩි ප‍්‍රමාණයක් සුදුවෑන් දඩයමට ලක් වෙලා තියෙනවා.

අද අප රටත් රාජපක්‍ෂ රජයත් ඉතාමත්ම තීරණාත්මක මංසන්ධියකට පැමිණ තියනවා. රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින්ම පත් කරන ලද කොමිෂන් වාර්තාවේ නිර්දේශ කි‍්‍රයාත්මක කරමින්, ශී‍්‍ර ලංකා ඉතිහාසයේ නව පිටුවක් පෙරලමින් ඉතිහාසයේ අඩුපාඩු හා වැරදි පසෙකට තබා රට වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සෞභාග්‍යමත් යුගයක් කරා ගෙන යමින් ධර්මාශෝක රජතුමා ගිය අඩිපාරේ යනවාද, එසේ නැතිනම් පුරුදු ගමන් මග යමින් ජාත්‍යන්තරව හුදකලා වූ චෞර රාජ්‍යයක් බිහි කරමින්, මුගාබේ වැනි ඒකාධිපතින්ගේ අඩිපාරේ යනවාද කියා තීන්දු කළ යුතු මොහොත අද මෙම රජයට උදා වී තියෙනවා.

ධර්මාශෝකද? මුගාබේද? අද ජනාධිපතිවරයා ඉදිරියේ තියෙන ප‍්‍රශ්නය මෙයයි.


0 comments: