Hot!

ව්‍යාජ මනෝ වෛද්‍ය ප්‍රවීන් ජයමහ අත්අඩංගුවට

| අමිල ගුණරත්න

මනෝ වෛද්‍යවරයෙකු , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරයකු සහ ළමා මානසික සෞඛ්‍ය හා පෝෂණ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ලෙස පෙනී සිටිමින් ජනතාව කාලයක් පුරා මුළා කල ප්‍රවීන් ජයමහ නොහොත් ජේ එම් පී ජයමහ නමැති මගෝඩියා මධ්‍යම දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම වංචනිකයා ගැන ශ්‍රී ලංකා ගාර්ඩියන් පුවත්පත් විසින් මිට පෙර හෙළි කරන ලදී (බලන්න http://www.lankaguardian.com/2012/01/blog-post_8816.html ) මොහු මාධ්‍යවේදීන් නොමග යවමින් නවලිය, බුදුසරණ වැනි පුවත් පත් වලටද ලිපි සපයමින් මුදල් ගෙවා රුපවාහිනී සහ ගුවන් විදුලි වැඩසටහන්ද පවත්වා තිබේ. මෙම වංචාවන්ට අමතරව ජනපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වරයෙකුගේ හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ ලිපි ශීර්ෂ යටතේ මොහු ව්‍යාජ අස්සන් යොදා මහනුවර ධර්මරාජය ඇතුළු පාසල් ගණනාවකට ළමුන් ඇතුළත් කිරීම සඳහා කූට ලේබන සකසා තිබේ. මෙම පුද්ගලයා මාහෝ ඥානාලෝක නමින් මොහු පොතුවැහැර ප්‍රදේශයේ විහාරයක වසර තුනක පමණ කාලයක් මහණ වී සිට ඇති බවද පොලිසිය පවසයි. ඔහු ජගත් පුෂ්පක ජයමහ ,මනෝ වෛද්‍ය ජයමහ ,ආචාර්ය ජේ.එම්.පී. ජයමහ යන නම් වලින්ද පෙනී සිට ඇත. මෙම හොර මනෝ වෛද්‍යවරයා කාන්තාවන්ගේ මානසික ප්‍රශ්න පවා විමසන මුවාවෙන් ඔවුන්ට විවිධ යෝජනා පවා ඉදිරිපත් කර සමහර කාන්තාවන් දුෂණය කර ඇති බවද පොලිසිය පවසයි.

මත කාලයේ ව්‍යාජ මනෝ වෛද්‍යවරුන් , හොර මනෝ විද්‍යා උපදේශකයන් තොග පිටින් බිහිවී දිවයිනේ විවිධ ස්ථාන වල මිනිසුන්ට නීති විරෝධිව ප්‍රතිකාර කරන අතර ඔවුන් විසින් බහුල වශයෙන් මානසික රෝගී වූ කාන්තාවන් සහ ළමුන් අපචාරී කටයුතු වලට යොදා ගන්නා බව වාර්තා වේ.මනෝ ප්‍රතිකාර කිරීමට සුදුසුකම් කිසිවක් නොමැතිව කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රතිකාර සහ උපදේශකයන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මහාචාර්ය ඩී. එස් රණවක නමින් පෙනී සිටිමින් ජනතාව මුළා කරන තැනැත්තාද , මනෝ වෛද්‍යවරයෙකු ලෙස තමාව හඳුන්වාගන්නා කුමා ඉද්දමල්ලෙන නැමැත්තාද , මනෝ විද්‍යාවට ආචාර්ය උපාධියක් තිබෙන බවට බොරුවට ප්‍රකාශ කරන එච් ආර් එස් කීර්තිසිංහද , ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බාහිර මනෝ විද්‍යාඥයෙකු ලෙස සේවය කරන බවට පුවත් පත් වල දැන්වීම් පල කරන චන්ද්‍රදාස මාදම්පේ වැනි හොරුන් පිළිබඳවද අප විසින් මිට පෙර තොරතුරු රටට අනාවරණය කොට තිබේ. මෙම ව්‍යාජ මනෝ වෛද්‍යවරුන් ගැන සෞඛ්‍ය අමාත්‍ය මෛති්රපාල සිරිසේනට සහ අමාත්‍යංශයේ අදාල බලධාරීන්ට මීට පෙර දැනුවත් කර ඇති නමුදු මොවුන්ගෙන් ජනතාව ගලවා ගැනීමට මේ දක්වා පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් අසමත් වී තිබේ.


0 comments: