Hot!

ජිනීවා යෝජනාව: මෙතැනින් කොතැනට ද?

| සුනන්ද දේශප්‍රිය

"ශ්‍රී ලංකාවේ සතුරන් විසින් අටවා ඇති උගුල කුමක්ද? අප ඉන් ගැලවී ගත යුතු ය. යෝජනාව අවසානයක් නොවේ. එය ක්‍රියාදාමයක් ආරම්භ කරයි. එය විසින් බාහිර පරීක්ෂණයක් සහ මැදිහත්වීම සඳහා නිසැකවම පසුබිම සකස් කරයි. එසේ නමුත් එවැන්නක් සිදුවිය හැක්කේ තවත් සාධකයක් මතය: එනම් දේශීය පිළියම් ක්‍රියාත්මක නොවීම, ඒ සඳහා අධිශ්ඨානයක් නොවීම සහ ඒ සඳහා හැකියාවක් නොතිබීම යන සාධකය මත ය. එසේත් නැත්නම් එක්සත් ජාතීන්ගේ යෝජනාව විසින් ලබා දී ඇති කාල සීමාව තුළ දී වගවීම පිළිබඳ දේශීය යාන්ත්‍රණය වන උගත් පාඩම් කොමිසම විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ පවා ක්‍රියාවට නැගීමට අධිශ්ඨානයක් හෝ හැකියාවක් නොමැතිකමය."

"ඉහත කී කාරණා සනාථ කළ හැකි වුවහොත් අන්තර් ජාතික පරීක්ෂණයක් සඳහා අවශ්‍ය තත්ත්වය සම්පූණ වූවා හා සමාන වෙයි. ශ්‍රී ලංකාව (මානව හිමිකම් කවුන්සිලය සමඟ) සහයෝගයෙන් වැඩ කිරීමට අකමැති වුවහොත් එම ක්‍රියාදාමය බලැපෑමේ හෝ මැදිහත්වීමේ ඊළඟ තලය කරා ගමන් කරනවා ඇත. ජීනීවා යෝජනාව එය විසින්ම එම තලය කරා එසවෙනු ඇත. අප විවෘතව සහ ප්‍රායෝගික ලෙස කටයුතු නොකළ හොත් එනම් නිරනුමානවම වසරක් තුළ දී දේශපාලන සංහිදියාව සහ වගවීම පිළිබඳව ප්‍රායෝගික ප්‍රතිපල නොපෙන්වුවහොත් යෝජනාව විසින් ම එහි දෙවැනි පියවර ආරම්භ කරනවා ඇත."

මේ වචන අපගේ නොවේ. ශ්‍රී ලංකාණ්ඩුවේ ප්‍රංශ තානාපති දයාන් ජයතිලකගේ ය. අප විසින් විග්‍රහයක් සැපයීම අනවශ්‍ය තරමට ඔහුගේ අදහස් පැහැදිළිය.

තානාපති ජයතිලක තවදුරටත් මෙසේ කියයි: zzඉදින් අප පටන් ගන්නේ කොතැනින් ද? ඔබ වලක වැටී සිටිනා විට කළ යුතු ප්‍රථම දේ නම් තව දුරටත් හාරන්නේ නැතිව සිටීම යැයි කියනු ලැබේ. මෙම අන්තර් ජාතික වැටළීමෙන් ගැලවීමට ඇති එකම මඟ ජාතික ප්‍රතිසංස්කරන මාවතය.ZZ

මෙතැන සිට අප ගමන් කරන්නේ කොතැනට ද යන්න තීරණය වන්නේ අප පටන් ගන්නේ කොතැන සිට ද යනු ය. ජීනීවා යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුව සිටින්නේ එක්කෝ අන්ධකාරයෙන් පිරුණු මනෝ ලෝකයකය. නැත්නම් එය දැන දැනම බොරුවක ජිවත්වෙයි. වලෙහිම එරී යන ආරම්භය එය යි.

යෝජනාවට ජන්ද ලැබුනු ආකාරය ලංකාණ්ඩුව විග්‍රහ කරන්නේ අපට 23යි ඇමෙරිකාවට 24යි. පරාද වුනේ එක ජන්දයෙන් කියා ය. එය ජන්දය පාවිච්චි නොකිරීමට තීරණය කළ රටවල් අටම සිය මල්ලට දා ගනියි. එළෙස ජන්දය පාවිච්චි නොකළ රටවල් අතුරින් හතරක් ම සිය මතය පැහැදිලි කරමින් කියා සිටියේ මානව හිමිකම් කෙළෙසීම් සම්බන්දයෙන් ශ්‍රී ලංකාවේ වගවීම පිළිබඳ තමන්ගේ උනන්දුව තිබියදීත් ශ්‍රී ලංකාවට මෙම ප්‍රශ්ණ ආමණ්ත්‍රණය කිරීමට තවත් කාලය අවශ්‍ය යැයි යන හේතුව උඩ තමන් ජන්දය දීමෙන් වළකින බවයි. කාලය අනුව එම රටවල් මතය ද වෙනස් වනවා ඇත.

නූතන ලෝකයේ ආර්ථීක දේශපාලන නායකත්වය කරා වේගයෙන් ගමන් කරමින් සිටින රටවල් (චීනය හැර) යෝජනාව සම්බන්ධයෙන් දැක්වූ ස්ථාවරයන් දෙස බලමු: ඉන්දියාව සහ නයිජීරීයාව යෝජනාවට කෙලින්ම ජන්දය දුන්නේ ය. කවුන්සිලයේ සාමාජික රටක් නොවන බ්‍රසීලය පැහැදිළිවම සිටියේ යෝජනාවට පක්ෂව ය. දකුණු අප්‍රිකාව ද කවුන්සිලයේ සාමාජික රටක් නොවන නමුත් එහි බල ක්ෂේත්‍රය යටතේ සිටින බොස්වානාව ජන්දය දීමෙන් වැළක්වන ලදී. ඊජිප්තුව යෝජනාවෙහි අරමුණ පිළිගන්නා බව කියා සිටියේ ය. ඉන්දුනීසියාව යෝජනාවට විරුද්ධව ජන්දය දුන්නේ ශ්‍රී ලංකාවට තවත් කාලය ලබා දීමට ය.

2009 ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ සැසිවාරයෙහිදී ශ්‍රී ලංකාවට පක්ෂව ජන්දය දුන් රටවල් හතරක් මෙවර එයට විරුද්ධව ජන්දය දුන් අතර තවත් එළෙසම 2009 දී ශ්‍රී ලංකාවට පක්ෂ වූ රටවල් හයක් මෙවර ජන්දය දීමෙන් වැළකුණි. 2009 දි ජනද්ය දීමෙන් වැළකුනු එක් රටක් මෙවර ශ්‍රී ලංකාවට විරුද්ධව ජන්දය දුන්නේ ය. 2009 ජූනි මාසයේ දී සිය යෝජනාවට වැඩි ජන්ද 17ක් (මුලූ ජන්ද 29) ලබා ගත් ශ්‍රී ලංකාව 2012 දී (මුලූ ජන්ද 15) වැඩි ජන්ද නවයකින් පැරදුණි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තෙවසරක් තුළ මානව හිමිකම් කවුන්සිලයෙහි ඇතිව තිඛෙන නැඹුරුව/ප්‍රවණතාවය මේ අනුව ඉතා පැහැදිලි ය. එනම් ශ්‍රී ලංකාව අරභයා අපේක්ෂා බිඳ වැටීමේ සහ විශ්වාසය පිරිහීමේ දිශානතිය යි. ජිනීවා යෝජනාව සම්මතවීමෙන් තේරුම් ගත යුතු යථාර්තය එයයි.

මෙම ප්‍රවණතාව ආපසු හැරවීමට දැන් ශ්‍රී ලංකාණ්ඩුවට අවස්ථාවක් පැමිණ තිබේ. ඒ සඳහා අඩුම වශයෙන් තමන්ගේම උගත් පාඩම් සහ ප්‍රතිසංධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නැගිය යුතු ය. නමුත් අවාසනාවකට මෙන් යෝජනාව සම්මත වූ මාර්තු 22දා සිට ශ්‍රී ලංකාණ්ඩුවේ දේශපාලන ප්‍රධානීන්ගේ හැසිරීමෙන් පෙන්නුම් කරන්නේ පශ්චාත් යුද්ධ ස්වයං මායාවෙන් සහ ස්වයං වින්දනයෙන් ඉවතට පැමිණ ලෝක යතාර්ථයට මුහුණ දීමට ඇති එයට ඇති නොහැකියාවයි.

පසුගිය වසරයන්හිදී ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් සමයේ වගවීම පිළිබඳ ප්‍රශ්ණ මානව හිමිකම් කවුන්සිලයේ මතු කරන ලද සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාණ්ඩුව කියා සිටියේ zzඅපේ අගත් පාඩම් කොමිසමට ඉඩ දෙන්න. අප එහි නිර්දේශ අනුව කටයුතු කරමුZZ කියා ය. එම නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බවට මානව හිමිකම් කවුන්සිලය යෝජනාවක් සම්මත කළ වහාම එම ශ්‍රී ලංකාණ්ඩුව දැන් කියා සිටින්නේ කුමක්ද?

zz අප ක්‍රියාත්මක කරන්නේ පුළුවන් නිර්දේශ පමණයි. කොමිසම එහි බලාධකාරය ඉක්මවා ගිහින්ZZ එසේ කීවේ උගත් පාලන කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එහි යෝජනා සියල්ළ ක්‍රියාත්මක කරන බවට සපථ කළ සභා නායක අමාත්‍ය සිරිපාල ය.

බලගතු ආරක්ෂ ලේකම් රාජපක්ෂ කියා සිටියේ තමා යෝජනාව පයිසෙකටවත් ගනන් නොගන්නා බවත් එය ක්‍රියාත්මක කිරීමට තමා බැදී නැති බවත් ය.

ජීනීවා යෝජනාව ඉටු කිරීමට ශ්‍රී ලංකාවට කිසිදු බැදීමක් නැති බව කියා සිටි විදේශ අමාත්‍ය පීරිස් කාටවත් අවශ්‍ය විදියට නිර්දේශ ක්‍රියාත්මක නොකරන බවට අනතුරු හැඟවීමක් කළේ ය.

මානව හිමිකම් කවුන්සිලයට සහභාගීවීම නිසා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂකයින් මත පමුනුවමින් ඇති හිරිහැර සහ තර්ජන හෙළා දකිමින් ඒවා නතර කරන ලෙස ශ්‍රී ලංකාණ්ඩුවට දන්වමින් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය කළ අනතුරු හැඟවීමෙන් පැය 48ක් ඉක්ම යෑමටත් පෙර ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ අමාත්‍ය මර්වින් සිල්වා කියා සිටියේ මානව හිමිකම් කවුන්සිලයට සහභාගි වු මානව හිමිකම් ක්‍රියාධරයින්ගේ ඉළ ඇට බිද දමන බවට තමා ශපථ කරන බවයි. තමා කටයුතු කරන්නේ ජනාධිපති රාජපක්ෂගේ අනුහසින් බවද දෙවතාවකදීම සිල්වා අවධාරණයෙන් කියා සිටියේ ය. ජනාධිපති රාජපක්ෂ එය එසේ නොවේ යැයි පවසා නැත.

මෙම සන්දර්භය තුළ ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනයේ මතය බව පෙනෙන්නේ කියුබානු උපදෙස් අනුව කටයුතු කිරීමය. එනම් එය නොසළකා හැරීමයි. යෝජනාව පිළිබඳ පැවැති සමාන්තර රුස්වීමක දී කියුබානු තානාපති නියෝජිතයා කියා සිටියේ මෙවැනි යෝජනා කොතෙක් සම්මත කළත් වැඩක් නැති බවත් ඊට හොදම උදාහරණය එවැනි යෝජනා තුට්ටුවකටවත් නොසැළකූ කියුබාව බවත් ය. එසේ නමුත් මානව හිමිකම් කවුන්සිලය සහ අන්තර් ජාතික ප්‍රජාව නොසළකා කටයුතු කිරීමෙහිද විපාකයක් වශයෙන් කියුබාව අද අන්ත දුගී බාවයටත් දේශපාලන අර්බූදයන්ටත් මුහුණ දී ඇති බව රහසක් නොවේ. මියන්මාරය නොහොත් බුරුමය එවැනි තවත් උදාහරණයකි. අන්තර් ජාතික ප්‍රජාවෙහි තෙරපුමට මුහුණ දි ගත නොහැකි වූ මියන්මාරය දැන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ආරම්භ කර තිබේ. අහස උසට ගිය චීනයේ උදව් උපකාර තිබියදීත් එරට හමුදා ජුන්ටාවට ප්‍රතිසංස්කරණ සදාකාලිකව කල් දැමීමට නොහැකි විය. මෙම ලිපිය ලියන අවස්ථාවෙහි පාප්තුමා 40 වසරකට පසු කියුබාවේ ආගමික සංචාරයක යෙදෙන අතර පිදෙල් කස්ත්‍රෝ කියා ඇත්තේ එතුමා බැහැදැකීම තමාගේ සතුටට කාරණයක් වූ බවයි.

යුද්ධ කාලයෙහි ශ්‍රී ලංකාව කටයුතු කළේ අන්තර් ජාතික ප්‍රජාව යනු හිස් පඹයෙකි යන උපකල්පනය ඇතිව ය. සිංහල ස්වෝත්තමවාදි බලවේග දිගින් දිගටම කියා සිටියේ අන්තර් ජාතික ප්‍රජාවට කළ හැකි ඉටි ගෙඩියක් නැති බවය. නමුත් දැන් අපට පෙනී යන්නේ ශ්‍රී ලංකාණ්ඩුවේම උගත් පාඩම් කොමිසමේ වාර්තාව මත ද පදනම් වෙමින් ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් සමයේ වගවීම සහ දේශපාලන විසදුමද ඇතුළුව සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයන්ගේ අවශ්‍යතාවය අරමුණු කරගත් ප්‍රබල අන්තර් ජාතික පෙළ ගැසීමක් ඇතිව තිඛෙන බවයි.

මෙම අන්තර් ජාතික පෙළ ගැස්ම සහ ජිනීවා යෝජනාව විසින් ශ්‍රී ලංකාණ්ඩුව අභිමුවට නිශ්චිත අභියෝග තුනක් ගෙනැවිත් ඇත:

1. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්ණයට අවම වශයෙන් 13වන සංසෝධනය මත පදනම්ව හෝ දේශාපාලන විසදුමක් සැපයීම

2. යුද්ධයේ අවසන් සමයේ දී සිදුවූ බවට උගත් පාඩම් කොමිසම පිළිගෙන ඇති මානව හිමිකම් කෙළෙසීම් ද ඇතුළුව එවැනි සිදුවීම් පිළිබඳව ස්වාධීන සහ විශ්වසනීය පරික්ෂනයක් පැවැත්වීම

3. උගත් පාඩම් කොමිසම විසින් නිර්දේශ කර ඇති යහ පාලන සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කරන සැළැස්මක් ඉදිරිපත් කිරීම සහ ඒවා ක්‍රියාවට පෙරළීම

දැන් මේ සඳහා ශ්‍රී ලංකාවට වසරක කාලයක් තිබේ. එම කාල පර්ච්ෙජ්දය තුළ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ කාර්්‍යලයෙහි සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින්ගේ සහාය ලබා ගැනීමටද ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු ය. 2013 මාර්තු මාසයේ පැවැත්වෙන 22වන සැසි වාරයට මහ කොමසාරිස්වරිය විසින් එකී ප්‍රගතිය පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයට වාර්තා කරනවා ඇත.

මෙම වසරක කාල පරිව්ෙජ්දය අතරතුර ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධානය, සමානාත්මතාවය, ප්‍රජාතන්ත්‍රවාදය සහ සාමය අපේක්ෂා කරන බලවේග එක තැන නොසිටිනු ඇත. දැන් ඉතිහාසය ගමන් කරන්නේ එවැනි බලවේග ශක්තිමත් කැරෙන සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ සමානාත්මතා විරෝධී බලවේග දුර්වල කැරෙන දිසාවට ය. ජිනීවා යෝජනාව තරමටම වැදගත් ඉන්දියානු දේශපාලන ගතිකත්වයන් ද විසින් මෙම ක්‍රියාදාමය ආපසු හැරවිය නොහැකි බවට පත් කර තිබේ. එක්කෝ මෙම ගතිකත්වය සමඟ ගමන් කළ යුතු ය. නැත්නම් එය සමඟ යුද වැදිය යුතුය. දෙවන තෝරා ගැනීම විසින් ශ්‍රී ලංකාව ගෙන යනු ඇත්තේ සිම්බාබ්වේ ආදර්ශය කරා ය.

එනයින් මෙතැනින් කොතැනට ද යන ප්‍රශ්ණය අද ශ්‍රී ලංකාවේ අනාගතය පිිළිබඳ ප්‍රශ්නය බවට පත්වේ.


0 comments: