Hot!

රොනීද මෙල් දුටු විවෘත ආර්ථිකය

සියල්ලටම වඩා දුෂ්කර කර්තව්‍යය වූයේ සංවෘත ආර්ථිකයක් පිළිබඳ සංකල්පය එහැම පිටින්ම ගිල දමා තිබුණු ජනමාධ්‍යයට මේ බව ඒත්තු ගැන්වීමයි. 
සුදර්ශන ගුණවර්ධන 

1977 බලයට පත් ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ මුදල් ඇමැති වශයෙන් කටයුතු කළ, දැනට 93 වන වියේ පසුවන රොනී ද මෙල් මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් 2016 අගභාගයේදී එවකට පැවැති ද නේෂන් පුවත්පත පළ කළාය.

එහිදී මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටියේ විවෘත ආර්ථිකය හඳුන්වාදුන් කාලයේදී රට මුහුණ දුන් තත්ත්වය සහ වර්තමාන අවධිය අතර සාම්‍යයක් පවතින්නේද යන්නය.

“‍1977දී විවෘත ආර්ථිකය හඳුන්වා දෙන අවධිය වන විට ලංකාව අර්ධ මාක්ස්වාදී රාජ්‍යයක් යටතේ ඉතා නරක කාලයක් ගත කරමින් පැවතිණි. නිදහස් හෙවත් විවෘත ආර්ථිකය යන සංකල්පය පවා රටේ ජනතාව අතරින් විශාල පිරිසක විසින් මෙන්ම ජනමාධ්‍යයෙහි අති විශාල පිරිසක වෙතින් අමතක වී ගොස් තිබිණි. රටේ ජනතාව පැත්තෙන් ගත් කළ විවෘත ආර්ථිකය හඳුන්වා දීම යනු අදුරෙහි පනින ලද පිම්මක් ලෙස සැලකිය හැකිය.”‍ යනු රොනී ද මෙල් මහතාගේ පිළිතුර විය.

රටේ ආර්ථිකය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ලබා ගත්තේ කෙසේදැයි මෙහිදී මාධ්‍යවේදීන් විසින් විමසනු ලැබීය. මෙහිදී මෙල් මහතා ප්‍රකාශ කළ අදහස් වැදගත් වේ. “‍විවෘත ආර්ථිකය සඳහා සහය ලබා දෙන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවට ඒත්තු ගැන්වීම එතරම් අසීරු නොවුණේ, ආර්ථික වශයෙන් වැදගත්වන රටවල් සියල්ලක්ම පාහේ ඒ වන විටත් ආර්ථික අරුතකින් විවෘත ආර්ථිකය අනුගමනය කරමින් සිටි හෙයිනි. විශාලතම අභියෝගය වූයේ ජනතාව, මහජන මතය සහ විශේෂයෙන්ම ජනමාධ්‍යය වෙත විවෘත ආර්ථිකයෙහි ප්‍රතිලාභ පිළිබඳව ඒත්තුගැන්වීමයි. සංවෘත ආර්ථිකය වසර ගණනාවක් ලංකාවෙහි ක්‍රියාත්මකව පැවැති අතර එයට වාමාංශික පක්ෂවල සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි බලවත් කණ්ඩායමක ප්‍රබල සහයෝගය හිමි විය. විවෘත ආර්ථිකයක ප්‍රතිලාභ ශ්‍රී ලංකාවේ ජනයාට අමතකව ගොස් තිබිණි. මුළු මහත් රටමත්, එහි ජනතාවත්, ජනමාධ්‍යයත්, මහජන මතයත් යන සියල්ලම සංවෘත හෙවත් විවෘත නොවූ ආර්ථිකයකට කෙතරම් පුරුදුව තිබූණේද කිවහොත් කිසියම් සීමා කිරීම් ප්‍රමාණයක් යටතේ විවෘත ආර්ථිකයක් පවත්වා ගෙන යාම මඟින් සංවෘත ආර්ථිකයකට වඩා යහපතක් ලංකාවට සැලසෙන බව ඒත්තු ගැන්වීම අතිශය අමාරු විය. දිළිඳු ජනයා ආරක්ෂා කිරීම සඳහා වන යම් යම් ආරක්ෂක පියවරයන්ට යටත්ව විවෘත ආර්ථිකයක් ක්‍රියාත්මක කිරීම මඟින් දීර්ඝ කාලීන වශයෙන් රටට වැඩි සේවයක් සිදුවන බව ඔවුනට ඒත්තු ගැන්වීමට කෙටි කාලයක් තුළ විශාල ප්‍රයත්නයක් දැරීමට සිදු විය.

සියල්ලටම වඩා දුෂ්කර කර්තව්‍යය වූයේ සංවෘත ආර්ථිකයක් පිළිබඳ සංකල්පය එහැම පිටින්ම ගිල දමා තිබුණු ජනමාධ්‍යයට මේ බව ඒත්තු ගැන්වීමයි. එබැවින් සංවෘත ආර්ථිකයෙන් විවෘත ආර්ථිකයට මාරු වීම වනාහි ආරම්භයේදී අතිශය දුෂ්කර කාර්යයක් විය. සංවෘත ආර්ථිකයකට වඩා ලංකාවට සුදුසු වන්නේ විවෘත ආර්ථිකයක් බව ජනමාධ්‍යයට ඒත්තු ගැන්වීම සඳහා විශාල කාලයක් ගත විය. කෙසේ වුවද නැවත නැවතත් අවධාරණය කළ යුත්තේ ලංකාවට අවශ්‍යව තිබුණේද, අනාගතයේ අවශ්‍ය වන්නේද දිළිඳු ජනතාව ආරක්ෂා කරගැනීමේ ප්‍රතිපාදන සහිත විවෘත ආර්ථිකයක් බවයි.”‍

මීළඟට මාධ්‍යවේදීන් රොනීද මෙල් මහතාගෙන් විමසන්නේ විවෘත ආර්ථිකය හඳුන්වාදීමෙහි ප්‍රතිඵලයක් ලෙස අනාගතයෙහි මතුවිය හැකිව තිබුණු ප්‍රශ්න ලෙස එවකට ආණ්ඩුව හඳුනා ගත්තේ මොනවාද? කියාය.

“‍ශ්‍රී ලංකාව වැනි දිළිඳු රටක් සංවෘත ආර්ථිකයක සිට විවෘත ආර්ථිකයකට විපරිවර්තනය කිරීමේදී විවිධාකාරයේ ප්‍රශ්න සහ දුෂ්කරතා මතු වීමට නියමිත වීම අනිවාර්ය වේ. ජනගහණයෙන් විශාල පිරිසක්, ජනමාධ්‍යවේදීන්ගෙන් විශාල පිරිසක් සහ බුද්ධිමතුන්ගෙන් විශාල පිරිසක් සංවෘත ආර්ථිකයකට හොඳින් හුරු වී සිටි අතර ඔවුන් පහසුවෙන් විවෘත ආර්ථිකය වැළැඳ ගත්තේ නැත. සංවෘත ආර්ථිකය යනු ඉතා ස්වාභාවික දෙයක් බවට පත්ව තිබිණි. මෙම පරිවර්තන සමයෙහිදී විශේෂයෙන්ම ජනමාධ්‍ය අප වෙත අනුකම්පා සහගත වීමක් හෝ සහය දැක්වීමක් සිදු නොකළ අතර එයට හේතුව ජනමාධ්‍යවේදීන්ගෙන් විශාල කොටසක් මාක්ස්වාදයට සහ මාක්ස්වාදී අදහස්වලට හොඳින්ම ඇබ්බැහිව සිටීමයි. ඔවුන් අතරින් වෙනසක් සඳහා සූදානම්ව සිටියේ ඉතා සුළු පිරිසක් පමණි.”‍ යන්න රොනී ද මෙල් මහතාගේ පිළිතුර විය.

මීළඟට මාධ්‍යවේදීන් මතු කරන ලද්දේ “‍විවෘත ආර්ථික සංකල්පය හඳුන්වා දෙන ලද දින සිට අද දක්වා එය රට තුළ පරිණාමය වූ ආකාරය කෙබඳුද?”‍ යන ප්‍රශ්නයයි. එහිදී මෙල් මහතා මෙසේ කියයි. “‍විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් අනතුරුව රට යෝධ පිමි පනිමින් සංවර්ධනය විය. විවෘත ආර්ථිකය නොවන්නට ශ්‍රී ලංකාව කෙබඳු එකක් විය හැකිව තිබිණිද යන්න සිතා ගැනීමටවත් නොහැකිය. විවෘත ආර්ථිකය හඳුන්වා නොදෙන්නට ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය වෙනිසියුලාව හෝ එවන් අනෙක් රටක තත්ත්වයටද වඩා නරක් වීමට ඉඩ තිබුණි.”‍

“‍රට වර්තමානයේ සිර වී සිටින ණය උගුලෙන් ගැලවෙන්නේ කෙසේද?”‍ යැයි මාධ්‍යවේදීන් විමසූ විට මෙල් මහතා දෙන්නේ අමුතුම පිළිතුරකි. “‍මා සිතන විදියට නම් ශ්‍රී ලංකාවට ණය උගුලෙන් ගොඩ ඒමට කිසිදු අමාරුවක් නැත. මෙය වනාහි ජනමාධ්‍යය විසින් නිර්මාණය කරන ලද්දකි. නිවැරැදි සැලසුම් සහ වැඩසටහන් සකසා ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිපත්තියක් ඇති කරගත හැකි නම් ශ්‍රී ලංකාවට අපහසුවකින් තොරව ණය ආපසු ගෙවා දැමීමට පුළුවන් වනු ඇත.”‍ ඔහු කියයි. අවසන් වශයෙන් මාධ්‍යවේදීන් අසන්නේ “‍ශ්‍රී ලංකාව දැන් පටි තද කරගැනීමේ හෙවත් ප්‍රතිපත්තියක් අවශ්‍යද?”‍ කියාය. “අපේ රටේ වර්තමානයේ ක්‍රියාත්මක වන මහජන සුබ සාධන ප්‍රතිපත්ති බරපතළ ලෙස අඩු කිරීම අවශ්‍ය යැයි මම නොසිතමි. ප්‍රතිපත්ති වලට වඩා වැදගත් වන්නේ ජනතාව වන අතර එබැවින් සෑමවිටම අපගේ වගකීම වන්නේ පළමුව ජනතාව රැකබලා ගැනීමයි.”

0 comments: