Hot!

'Cold War සිනමාපටය වෙනුවෙන් තිර පිටපත් 150 ක් විතර ලිව්වා' - පවෙල් පව්ලිකොව්ස්කි




අනුවර්තනය - වින්ධ්‍යා ගම්ලත් 


‘කාලය‘ ජීවිතයේ හමුවීම් මෙන්ම වෙන්වීම් ද තීරණය කරනවා. කලෙකදී වෙන්වූවන් නැවත එක තැනකට ගෙන එන්නේද කාලයයි. කලක් එක්වී වරින් වර දුරස්ව සිටි පෙම්වතුන් යුවළක් නැවත සමුනොගන්නා අටියෙන් එක්වෙන්න තීරණය කරනවා. යුද්ධයෙන් විනාශ වී පල්ලියක අල්තාරය ඉදිරියේ ඔවුන් එකිනෙකාට පොරොන්දු වෙන්නේ තමන් නැවත වෙන්නොවන පෙම්වතුන් ලෙස එක්වන බවයි. මේ පවෙල් පව්ලිකොව්ස්කිගේ අධ්‍යක්ෂණයෙන් නිමැවුණු Cold War සිනමාපටයයි. 2018 වසරේ ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලේ පාම් ඕ දෝර් සම්මානයෙන් පිදුම් ලැබුවේ ද Cold War සිනමාපටයයි.  

Cold War සිනමාපටය පුරා දිග හැරෙන්නේ සංගීත අධ්‍යක්ෂවරයෙකු වන වික්ටර් හා ඔහුට හමුවන නවක ශිල්පිනියක වන සූලාගේ ආදර අන්දරයයි. වික්ටර්ගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජන සංගීත ඇකඩමියේ හඬ පරීක්ෂණයට එක්වන සූලා එහි සිටි අතිදක්ෂ ශිල්පිනිය නොවූවත් කැපී පෙනෙන අන්දමේ තරුවක් වෙනවා. මේ පරීක්ෂණයට සහභාගී වු අනෙක් තරුණියන් සතුව නැති මොකක්දෝ ගුණයක් සූලා සතු වෙනවා. සූලා සැබැවින්ම ආකර්ශණීය තැනැත්තියක වුවත් තරමක සටකපට බවක් ද පෙනෙන්නට තිබෙනවා. පැතූ ලෙසින්ම වික්ටර් හා සූලා පෙම්වතුන් වුවත් දශක ගණනාවක් පුරා අනවරත අරගලයන්ට මුහුණදෙමින් දෙතැනක ජීවිතය ගෙවාදමන්නට මේ යුවළට සිද්ධවෙනවා. 

සූලා හා වික්ටර්ට කිසිසේත්ම එකිනෙකාගෙන් වෙන්වී ජීවත්වීමට නොහැකි වන අතර ගතින් වෙන්ව සිටින මොහොතේදී පවා ඔවුන් සිතින් එක්තැන් වී දිවිගෙවනවා. 1950 දශකයේ පැවති සීතල යුද සමය පදනම් කරගත් Cold War සිනමාපටය පුරා දිවෙන පෙම් කතාවට පදනම් වී තිබෙන්නේ විවිධ බාධක මැද ජයගත් පවෙල්ගේ මාපියන්ගේ ආදර අන්දරයයි. ඔවුන්ගේ සැබෑ නම් වන්නේ ද සූලා හා වික්ටර්. බර්ලින් තාප්පය බිඳවැටීමට ආසන්න කාලපරිච්ඡේදය වූ 1989 වසරේදී ඔවුන් සිය ජීවිත වලින් සමුගන්නවා. 
පවෙල් පව්ලිකොව්ස්කිගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ මේ සිනමාපටයේ සංගීත අධ්‍යක්ෂ වික්ටර්ගේ චරිතයට තෝමස් කොට් පණ පොවන අතර ජොආනා කුලිග් සූලා ලෙස රංගනයෙන් දායක වෙනවා. මාසෙන් මසෙකී සංගීත අධ්‍යක්ෂණයෙන් ද පවෙල් හා ජානූස් ග්ලොවකි කතා රචනයෙන් ද Cold War සිනමාපටයට දායක වී තිබෙනවා. ලූකස් සැල්ගේ සිනමාරූපණයක් වන මෙය ටාන්යා සෙග්හෂියන් හා ඊවා පුසිනිස්කාගේ නිෂ්පාදනයක්. ජැරොස්ලෝ කමින්ස්කිගේ සංස්කරණයක් ද වන Cold War සිනමාපටය මිනිත්තු 85 ක ධාවන කාලයකින් යුක්තයි. 

මෙහි පළවන්නේ පවෙල් පව්ලිකොව්ස්කි No Film School හි එමලි බියුඩර් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේ අනුවර්තනයයි.  


ඔබ 4:3 ද්‍රෘෂ්ටි අනුපාතයට බොහොම කැමති කෙනෙක්. Ida සිනමාපටය නිර්මාණය කෙරුණෙත් 4:3 ද්‍රෘෂ්ටි අනුපාතයට අනුවයි, මෙයට මේතරම් කැමති වෙන්න හේතු වුණේ මොකක්ද ?  

4:3 ද්‍රෘෂ්ටි අනුපාතය මගින් පුද්ගලයෙකුගේ දේහලක්ෂණ වගේම ද්විත්ව නිරූපණයත් බොහොම අපූරූවට පෙන්වන්න පුළුවන්. මෙමගින් සිනමාපටයේ රූප ගැඹුරින් නිරූපණය කරද්දි පසුතලයත් මැනවින් පෙන්වන්න හැකිවෙනවා. කතාව සංක්ෂිප්ත කිරීමේ වුවමනාව නිසා දර්ශන ක්ෂේත්‍රය සීමා කරන්න හැමදේම ඕනෑවට වැඩියෙන් නොපෙන්වා හිඳීමේ වුවමනාවක් මට තිබුණා. 4:3 ද්‍රෘෂ්ටි අනුපාතය නිසා තීව්‍රරව දනවන්නත් පුළුවන් වෙනවා. මෙමගින් දර්ශනයෙන් පිටත දී තරමක් දුරට ආතතියක් ඇතිකරනවා. 
4:3 ද්‍රෘෂ්ටි අනුපාතය අතිශය අසාමාන්‍ය ආකෘතියක් බව සලකන්නේ නැහැ. මං වාර්තා චිත්‍රපටි නිර්මාණය කරද්දි ඒවා මිලිමීටර් 16 කැමරාවකින් රූපගත කළා, ඒකත් මේ හා සමාන ආකෘතියක්,  ඒක මගේම සම්මතයක්. 


Cold War සිනමාපටයේ දක්වන සාදයේදී වික්ටර් ලොකු වීදුරු කැඩපතක් ඉදිරියේ හිස පහත් කරගෙන ඉන්න දර්ශනය මගේ හිත තදින් ඇදබැඳගත්තා. මේ කාමරයේ සිද්ධවෙන හැමදේම එහි තියෙන කැඩපතින් දැකගන්න පුළුවන් වෙන නිසා මේක ලොකු කාමරයක් බව හිතෙනවා. මෙය බලාපොරොත්තු වුණු අන්දමේ දැවැන්ත පෙරළියක් වුණා වගේම එය අපූරුවට හසුකරගෙන තිබෙනවා. මේ ගැන කතා කළොත් ? 

දර්ශන තලයේ ඒ කණ්ණාඩිය තිබුණා. අපි දර්ශන තලයට ආවම මට හිතුණේ, ‘ව්‍යාජ දේවල් වලින් තොරව දර්ශනය රූපගත කරන්න හොඳම තැන මෙතැනයි‘ කියලා. මේ දර්ශනය ඇතුළේ රංගන ශිල්පීන් එකිනෙකා සමග අන්තර් ක්‍රියා කරන අන්දම වගේම හැමදේම දැකගන්නත් පුළුවන් වෙනවා. එක මොහොතකින් බොහෝ දේවල් මෙහිදී දැකගන්නට හැකිවෙනවා. 

රංගන ශිල්පීන් මෙහෙයවන අතරතුරදී, පසුබිම් තල සකසමින්, නිවැරදි රාමුවක් තුළට දර්ශන හසුකරගනිමින් එකවිට කටයුතු කරන්න සිද්ධවෙනවා නම් ඒක අතුරේ යනවා වගේ වැඩක්. 

මේක හරියට කරන්න කීප වරක්ම උත්සහ කරන්න සිද්ධවෙනවා. මේ දර්ශනය අඩුම තරමේ 12 පාරක් විතර ගන්න ඇති. රූපය හැමවිටම අපිව ඇදබැඳ තබාගන්නවා. සමහරවිට පසුබිම් දර්ශන වලින් මේ ආකර්ශණීයත්වය ඇතිවෙන්න පුළුවන්, සමහර අතිරේක දර්ශන නිවැරදි නොවෙන්න පුළුවන්, ඒ වගේ වෙලාවට ඒවා වෙනස් කරන්න සිද්ධවෙනවා. මේක කැමරාකරණයේ වෙනස් නොවන ක්‍රියාවලියක් වුණත්, අපි සිද්ධි ආවරණය කරන්නේ නැහැ. 

සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ සිදුවීම් නරඹද්දි මේ විදියේ දර්ශන ආවරණයක් සිදුකර තිබෙන අන්දම දැකගන්න හැකි වෙනවා, කතාව ගැන කියන්න වුවමනා වුණු නිසාම මෙවැනි දර්ශන රැසක් ගන්න සිද්ධ වුණා. නමුත්, සාමාන්‍යයෙන් දර්ශන රූගත කරන්නේ එහි අර්ථයේ ප්‍රබල බව දනවන්න හා සත්‍ය ග්‍රහණය කරලා එය සුන්දරව ඉදිරිපත් කරන්නයි. නමුත්, මේ සිද්ධ වෙන දේ ඇත්ත බව එතැනට යද්දි දැනෙන්න ඕන, සමහරවිට ඒ බව දනවන්න එකම දර්ශනය 30 වතාවක් විතර ගන්න වෙනවා. මිනිස්සු දරුණු වද බන්ධන වලට ලක්කරලා ජීවිතය මරා දැම්මයින් පස්සේ ජීවිතය නිර්මාණය කිරීම ගැන වන විරෝධාභාසී කතාවක් මේක. 

අදාළ දර්ශන තලය නැත්නම් පසුතලයට ගිහිං වැඩටකටයුතු වලට අවතීර්ණ වෙන්නේ කොහොමද ? 

අපි ෆොටෝ ගන්නවා. මෙහි සිනමාරූපණ ශිල්පියා වුණේ මගේ ළඟම මිතුරෙකු වන ලූකස් සැල්. Ida ඔහුගේ පළමු නිර්මාණයයි. ඔහු කැමරාකරුවෙකු වුණත් කවදාවත් සිනමාපටයක් රූපගත කරලා නැහැ. මේ හේතුව නිසා ඔහු හා මා අතර හොඳ ශක්තිමත් සම්බන්ධතාවක් ගොඩනැගුණා වගේම සහයෝගයෙන් වැඩකරන්න පුළුවන් වුණා, ඔහුටත් මෙමගින් අලුත් දේවල් ඉගෙනගන්න අවස්ථාව ලැබුණා වගේම ඔහු ඉදිරිපත් කළ අදහස් හා යෝජනා ආශ්‍රයෙන් මනා සබඳතාවයකුත් ගොඩනගාගන්න පුළුවන් වුණා. 

අපි දෙන්නා අදටත් බොහොම සමීපව වැඩකරනවා. එක්තරා අන්දමකට අපි දෙන්නම එකම තැනැත්තෙකු වගෙයි. ආරම්භක අවදියේදී ඉඳන් මං ඔහුව වැඩකටයුතු වලට සම්බන්ධ කරගත්තා. සිනමාපටයේ තිර පිටපත කියවන්න දුන්නා. නිෂ්පාදන සැලසුම් නිර්මාණකරුවෝ සමග සම්බන්ධ වෙලා ද්‍රෘෂ්‍ය පර්යේෂණ ගණනාවක් කළා. රෑ කෑම වෙලාවෙදීත් මුණගැහිලා ඡායාරූප හා අනෙක් දේවල් ගැන කතාබහ කළා. මේක සමස්ත කණ්ඩායම සමගම ඵෙන්ද්‍රියව පැවතුණු හොඳ ක්‍රියාදාමයක් වුණා. 

දර්ශන තලයට ඇවිත් අපිට වුවමනා විදියට හැමදේම සකස් කරගත්තා වුණත් එය පසුතලය අපිට වුවමනා විදියට පෙරළාගැනීමක් වුණේ නැහැ. ඒ සමස්ත ක්‍රියාදාමය පුරාම අපි කතාබහ කළා. සමහර දේවල් ගැන පැහැදිලි තීරණේකට එළඹෙන්න ඒ සාකච්ඡාවෙන් පුළුවන් වුණා. සමහර දේවල් කරන්නේ කොහොමද කියන එක සක්සුදක් සේ පැහැදිලි කරගත්තා. සමහර අය තරමක් අස්ථිර තත්ත්වෙක හිටපු නිසා විවෘත බවකුත් තිබුණා. නමුත්, සිනමාපටයට අවශ්‍ය නිවැරදි දර්ශන ඛණ්ඩය ලබාගන්න පුළුවන් හොඳම මඟ ඒකයි. 



සිනමාපටය ඡායාරූපානුසාරී විදියට ඉදිරිපත් කරන්න මට වුවමනා වුණා. මම යම් දර්ශනයක් පුරා කිසියම් සිද්ධියක වටපිටාව ඉදිරිපත් කරන්න පෙළඹෙන්නේ බොහොම කලාතුරකින්. සිදුවිය යුත්තේ අදාළ ක්‍රියාව කැමරාවට නැගීම නොව අදාළ ක්‍රියාව දර්ශනයට ගැළපීමයි. 

සිනමාරූපණ ශිල්පියෙකුට ඒක අතිදැවැන්ත අත්දැකීමක් වෙන්නේ එක් දර්ශනයක් ගැන පමණක් අවධානය යොමුකරන්න සිද්ධ වෙන නිසයි. දර්ශන හසුකරගැනීම කළේ මං. ‘‘මෙහෙම වුණොත් හොඳයි‘‘ කියලා සමහර වෙලාවට ලූකස් කියනවා. ඒ වගේ වෙලාවට ඔහු ආලෝකකරණය කරනවා වගේම ආලෝකකරණ කටයුතු වලට මැදිහත් වෙන මම කියන්නේ ‘‘මේක ඕනෑවට වඩා වැඩියි, ගොඩක් පොඩියි, මේකෙන් සිලුවට් එකක් කරමු කියලා.‘‘. 

ඩීපී ට කිසිදෙයක් පැවරිලා නැති වෙන්නත් පුළුවන්. හැමදේම රැඳී තියෙන්නේ අඛණ්ඩ සංවාදය මතයි. සිනමාපටය වගේම දෙබස් පවා මනංකල්පිත දේවල් මත රැඳී තියෙනවා. නමුත්, දෙබස් කියන්නේ අතිරේක දෙයක්. ඒක කතාවේ ප්‍රධාන නිදානය නෙමෙයි. 

මෙය සිනමාපටයේ තිබෙන අතිසුවිශේෂී අංගයක් ද වෙනවා. කතා පෙළ ගැස්ම දිහා බැලුවොත් මේක මනංකල්පිත බව පදනම් කරගත් දෙයක් ලෙසත් හඳුනාගන්නට හැකිවෙනවා. ඔබේ ප්‍රේක්ෂකයින් ගැන විශ්වාසය තබලා පියවරක් ඉදිරියට යනවා. කාලයත් සමග මේ ආගමනය ගැන සන්නිවේදනය කළේ කොහොමද ? ඒවගේම මේ අරුත් ප්‍රේක්ෂකයින්ගේ හිතේ කාවැද්දුවේ කොහොමද ? 

සහජ බුද්ධිය පාවිච්චි කරලා මේක කරන්න පුළුවන්. සිනමාපටයේ පෙන්වන දේවල් වලින් මේ අරුත් අනුනාද  හා ප්‍රකාශ වෙනවද යන්න ගැන වගබලා ගන්න ඕන. චරිත අභිනයෙන් කියන්නේ මොනවද, ඔවුන් අඳින පළඳින අන්දම වගේම දෙබස් හරහා තරමක් දුරට තොරතුරු ඉදිරිපත් වෙන්න ඕන. මෙමගින් මේ අතරතුරදී සිද්ධ වෙන්නේ මොකක්ද වගේම චරිතය වෙනස් වෙන්නේ කොහොමද යන්නත් ඉදිරිපත් වියයුතු වෙනවා. 
මේ සිනමාපටය වෙනුවෙන් තිර පිටපත් 150 ක් විතර ලියන්න ඇති. පැවති තිර පිටපත අලුත් කරන්න හැමවිටම උත්සහ ගත්තා. තිර පිටපතක් තිබුණේ නැති වුණත් එතැන කතාවක් තිබුණා. තිර පිටපත කියන්නේ චලනය වෙන රසයක්.

ඉතාම නරක අන්දමේ තිර පිටපතක් ලියන්න පුළුවන්, සුපැහැදිලි තිර පිටපත් තියෙන්න පුළුවන්, සමහරවිට මුදල් ඉලක්ක කරගෙනම ලියපු තිර පිටපත් පවා තියෙනවා. මේ පිටපත් ඊට පස්සේ මුදල් යොදවන අයට යවනවා. මං ගැන සලකලා බැලුවොත් මේක ගොඩක් දුර යන කතාවක් නෙමෙයි. පිටු 60 ක විතර ලියැවුණු තිර පිටපතක්, පාඨ - ප්‍රකාශ වලට වඩා සිනමා අවකාශයට වැඩි ඉඩක් වෙන්කරලා තිබුණා. දර්ශන අතර හා දෙබස් අතර සහසම්බන්ධතාව වගේම ඒවා ගැන සවිස්තර පැහැදිලි කිරීමක් ද තිබෙනවා. මිනිස්සු තිර පිටපත කියවද්දි ඒක ඔවුන්ට හොඳයි වගේම ඔවුන්ට සැබෑ අර්ථය ගන්නත් පුළුවන් වෙනවා. නමුත්, සිනමාපටය රූපගත කරද්දි හැමවිටම දැනගෙන හිටියා මේ කෘත්‍යාත්මක දෙබස් හා දර්ශන පරමාර්ශී බවත් ඒ කතා ඉදිරිපත් කරන අය ගැන පමණක් සිත යොමුකරන්න කියලා. 

අනිවාර්යයෙන්ම, මේක සීයට සීයක් වැඩකරයි කියලා මං දැනගෙන හිටියේ නැති වුණත් ඒක විශ්වාසය ගැන පිම්මක් වෙනවා. නමුත්, ‘මට නැතිවෙන්න තියෙන්නේ මොනවද ?, මේක වාණිජ සිනමාපටයක් නෙමෙයි‘ කියලා හිතුවා. සිනමාපටයේ රංගන ශිල්පීන්, ආලෝකකරණය හා සංගීතය ආකර්ශණීය නම් මිනිස්සු ඒකට කැමති වේවි. මොන දේ වුණත් මං මේ සිනමාපටය නිර්මාණය කරනවා කියලා හිතුවා. කොහොම වුණත්, අපිව විනිශ්චය කරන්නේ අප විසින්මයි. අවසානයේදී සිනමාපටය ගැන මනින එකම මිනුම් දඬු වෙන්නේ ඔබේම රුචිකත්වය හා අත්දැකීම්. මං ඒ සිනමාපටයට කැමති නම් තවත් මිනිස්සු ඊට කැමති වේවි.

ප්‍රේක්ෂකයින්ට වැඩි බලපෑමක් කළ හැකි දර්ශන හා අසාර්ථක වේ යැයි හිතන දර්ශන තෝරාගන්නේ කොහොමද ? 

පිටපත කියවගෙන යද්දි ‘‘මේක ජරාවක්, මේ දර්ශනය හොඳයි, මේ හොඳ නැති දර්ශන තුන අතෑරලා දාලා ඒ වෙනුවට එක හොඳ දර්ශනයක් නිර්මාණය කරමු‘‘ කියලා හිතෙනවා. දර්ශන රූපගත කරද්දි මේ දෙයම සිද්ධ වෙනවා. අපි දර්ශනයක් රූපගත කරන විටත් මේක මේ විදියටම සිද්ධවෙනවා. දර්ශනය රූපගත කරලා ඉවර වෙලා කියන්නේ, ‘මේක හරියන්නේ නැහැ. මේක හොඳ දර්ශනයක් කියලා බොරුවට කියන්නේ නැතුව ඉමු. අපි හිතමු සමහර වෙලාවට පෙර පුහුණුවේදී මේ දර්ශනය හොඳට කරගන්න පුළුවන් වුණත් දර්ශන තලයට ආවම මොකක්දෝ වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. අපි ඒ දර්ශනේ ආපහු ගමු. රංගන ශිල්පීන් කියන දෙබස් වලින් ටිකක් අයින් කරමු. ‘‘ඒක හරියන්නෙත් නැහැ‘, මං ඒකට කැමතිද ? කියලා අහන්නේ. ඒක හොඳට තියේවිද ?. සිනමාකරණය අතරතුරදීත් තිර රචනය ලියැවෙනවා.මං තිර පිටපතත් එක්ක කැමරා පිටපත ලියනවා කියලා මගේ නිෂ්පාදකතුමා නිතරම විහිළු කරනවා. මේක අතිශයෝක්තියක් වුණත් එතැන ඇත්තකුත් තියෙනවා. සාමාන්‍යයෙන් මම මගේ සිනමාපටය වාර්තා චිත්‍රපටයක් ලෙස සලකනවා. ඔව් ඇත්තටම, ඒක එහෙමම වෙන්නේ නැහැ. හැමදේම බොරු, ඒත්, ප්‍රබල අර්ථයක් දනවන විදියේ දර්ශනයක් ගන්න වගේම ඒක භාවාන්විතව දනවන්න දර්ශන 30 ක් විතර ගන්න වෙනවා. 

සිනමාපටය පටන්ගනිද්දී ලිංගිකව එකතුවෙන දර්ශනයක් රූපගත කළා. සිනමාපටයේ ප්‍රධාන චරිත දෙක පළමු වතාවට ලිංගිකව එකතුවෙන අන්දම දකින්න ලැබෙන පළමු අවස්ථාව මෙයයි. ඔවුන් දෙදෙනා එකිනෙකා දිහා බලා ඉන්න අන්දම දක්වලා, ඊට පස්සේ තිරයට ගේන්නේ නාන කාමරය ඇතුළේ ඔවුන් ලිංගිකව එකතුවෙන අන්දමයි. නමුත්, ඇත්තටම, මං මෙතැනදී වෙනසක් කළා, ඔවුන් දෙදෙනා වෙස් ගැන්වීමේ කාමරයක් ඇතුළේ ඉඳිද්දී එකිනෙකා වෙත සමීප වෙනවා. ‘‘මෙතැන කිසිම සජීවි ගතියක් නැහැ, මං මොකටද මේ වගේ තැනක් තෝරගත්තේ‘‘ කියලා, මං මේක රූපගත කරද්දී කියන්න ගත්තා. නාන කාමරයේදී ලිංගිකව එකතුවෙන්න ඕන වග මං හදිසියේම තීරණය කළා. මේ දර්ශනය පස් වතාවක් විතර ගත්තට පස්සේ ‘‘මෙතැනම තව තැනක් හොයාගමු‘‘ කියලා කිව්වා. අවසානයේදී අපිට දුම්රියක් තෝරගන්න හැකිවුණා, ඇත්තටම, ඒ දර්ශනයට දැන් හාත්පසින්ම වෙනස් අර්ථයක් ලබාදුන්නා. රංගන ශිල්පීන් සිද්ධ වෙන ඕනෑම වෙනසකට මුහුණදෙන්න සූදානමින් ඉන්න ඕන, තිරය මත සජීවි දේවල් දිගහැරෙනවා,  සාමාන්‍යයෙන් මං සජීවි දේවල් වලට ප්‍රතිචාර දක්වනවා. 


සිනමාපටයේ භාවාතිෂය බව රැඳී තිබෙන්නේ රංගන ශිල්පීන්ගේ උර මතයි. ඔබේ සිනමාපටයේ ප්‍රධාන ශිල්පීන් වන වික්ටර් හා සූලාට ගැළපෙන චරිත ලක්ෂණ ලෙස ඔබ හඳුනාගත්තේ මොනවද ? 

හ්ම්, සුලාගේ චරිතයට හොඳින්ම ගැළපෙන්නේ ජොආනා බව මං මුල ඉඳන්ම විශ්වාස කළා. ඇයට හොඳට ගීත ගායනා කරන්න පුළුවන් වුණා වගේම චරිතයට ගැළපෙන පෞරෂයකුත් ඇයට තිබුණා. ඇය බොහොම චාම්, ලස්සන කෙනෙක්. ජොආනා ළඟ මොකක්දෝ දෙයක් තිබුණා. මේ චරිත වලට තෝරාගන්න චරිත දෙක මගේ මාපියන් වගේ වෙන්න ඕන වුණා, එක අතකින් බැලුවම ජොආනාට රන්වන් පැහැ කොණ්ඩයක් තියෙනවා, ඒවගේම ඇය බොහොම උද්යෝගිමත් කෙනෙක්. තෝමස් ගත්තොත් ඔහු උස, තරමක් අඳුරු පැහැ, කිසිදෙයක් ගැන වැඩිපුර උනන්දු නොවෙන විදියේ කෙනෙක්. ඉතිං බොහෝ අතින් බැලුවම සුලාගේ චරිතයට ජොආනාව තෝරාගැනීම නිවැරදි තීරණයක් වුණා. 

ප්‍රධාන චරිතය නිරූපණයේ යෙදෙන රංගන ශිල්පීන් ගැන අවධානය යොමුකළොත් තෝමස් කොට් සතුව සුවිශේෂී කුසලතා තිබෙන බව නිසැකවම කියන්න පුළුවන්, තවත් විදියකින් කිව්වොත් යුද්ධෙට කලින් ඉපදුණු මනුස්සයෙක් ළඟ තිබිය යුතු ඔහු ළඟ එලෙසින්ම තිබ්බා. කොට් බොහොම සාමාන්‍ය, ශූරවීර කෙනෙක් වුණත් පිරිමියෙකු වගේ දැඩි චරිතයක් නෙමේ. ප්‍රධාන චරිත නිරූපණයේ යෙදෙන ග්‍රෙගරි පෙක් වගේ රංගන ශිල්පියෙකු හොයාගන්න එක අද කාලේ බොහොම අමාරුයි.

තෝමස් බොහොම දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු කවදාවත් මේ විදියට රංගනයේ නිරත වෙලා නැහැ, ඔහුටම අනන්‍ය වුණු පිළිවෙලක් තියෙනවා. පෝලන්ත නිර්මාණ වලදී කිසිම කෙනෙකු ඔහුට ප්‍රධාන චරිතය  ලබාදී නැහැ, නමුත්, ඔහු රූපවාහිනී කතා මාලා ගණනාවකට දායක වීම හරිම පුදුම සහගතයි. තෝමස් සිනමාපට වලදී නිරූපණය කර තිබෙන්නේ බොහොම ඒකාකාරී නැත්නම් ජීවිතේ විනාශ කරගන්න විදියේ චරිතයක්. ඔහු නිරූපණය කර තිබෙන හොඳම චරිතය මත්පැනට ලොල්වුණු හදවත් ශල්‍ය වෛද්‍යවරයෙකුගේ චරිතයයි. තෝමස් ඇත්තටම බොහොම බරපතල කෙනෙක්. නමුත්, තෝමස්ට Cold War සිනමාපටයේදී බොහොම විවෘත වුණු මුහුණක් හා 50 දශකයේ තිබුණු කොණ්ඩ විලාසිතාවක් තිබුණා. ආලෝකකරණයත් ඊට ගැළපෙන විදියටම සකස්වී තිබුණා වගේම හිටිහැටියේම ඔහු ජනකාන්ත අයෙකු බවට පත්වුණා. 

මේ පෙම්වතුන් යුවළ සතුටින් ඉන්න මොහොතක් දකින්න නොලැබීම මේ සිනමාපටය පුරා නිරූපණය වෙන අපූරු කාරණයක් වෙනවා. ඔබ මෙමගින් කියන්න උත්සහ දැරුවේ ආදරයේ ස්වභාවය හා අභිලාෂයන් ගැනද ? 
ඇත්තටම මං මෙතැනදී ඇත්ත පෙන්වන්න උත්සහ ගත්තේ නැහැ. මං කළේ හුදෙක් මේ යුවළ පෙන්වීම පමණයි, ආදරේ ගැන කිසිම ප්‍රකාශයක් කළේ නැහැ. මගේ මාපියන් අතර තිබුණෙත් මේ වගේ සම්බන්ධතාවයක් නිසා මේ නිර්මාණයට අනුප්‍රාණයක් ලැබුණෙත් එමගිනුයි. ඔවුන් බොහොම සතුටින් පිරුණු ජීවිතයක් ගතකළා වගේම එකිනෙකාගේ ජීවිත වෙනුවෙන්ම කැපවුණු යුවළක් වී හිටියා. අවසානයේදී ඔවුන් දෙන්නා එක තැනකට එකතු වෙන කාලේ වෙද්දි රණ්ඩු කරන්න පවා වෙහෙසයි, ඉතිං මේ දෙන්නා බොහොම ආදරෙන් ජීවත් වුණා. ලෝකය වෙනස් වෙන බව තේරුම්ගන්න හැකි වෙන එක මොහොතක් එළඹෙනවා. දරුවෝ උස් මහත් වෙලා, ලෝකේ පුරා යනවා. මොනා වුණත්, ඔබ ගැන හොඳටම දන්න, ඔබ වෙනුවෙන්ම ජීවත් වෙන පුද්ගලයෙකු ඉන්නවා, ජීවිතයේ අනෙක් අපූරු දේවල් වෙන්නේ ඒ සමගයි.  

ඒක අතිශය සුන්දරයි. සමහරවෙලාවට ආදරේ වගේ කිසිමදෙයක් නැති වුණත්, අවසානයේදී හිතෙන්නේ, ‘හරි, ඇත්තටම ඒ ආදරේ‘ කියලයි. අද ලෝකයේදී මේ වගේ දෙයක් ගැන හිතාගන්න වත් බැහැ. ආදරේ කරන දෙන්නෙක් දීර්ඝ කාලයක් එකිනෙකාගෙන් වෙන්වෙලා හිටියම මොකක්දෝ දෙයක් සිද්ධවෙනවා. ආදරේ ලබන අනෙකාගේ පරිකල්පනය තුළ පවා ඉන්නවා. සම්පූර්ණයෙන්ම හැබෑ නොවන දේවල් හිතේ මවාගන්න පටන් ගන්නවා. එකිනෙකා හැබෑවටම හමුවුණාම ‘ඔහු මට හරියන විදියේ කොල්ලෙක් නෙමේ, ඇය මට හරියන විදියේ කෙල්ලෙක් නෙමේ. ඇය මහ වදකාර කෙනෙක්‘ යැයි කියනවා. නමුත්, මේ දෙන්නාටම මතක අතීතයක් තියෙනවා. මූලිකම දේ වෙන්නේ ඒ අතීතයයි. කාලෙන් කාලෙට සමීප වුණු ඈත් වුණු මිතුරෙකු ඉන්නවා කියලා හිතමු. නමුත් මේ මොනා වුණත් ඒ මිතුරට හා ඔබට පොදු ඉතිහාසයක් තියෙනවනේ. ඒ අත්දැකීම හරියටම ඒ වගේ. ඔවුන් අතිශය හානිකර මිනිස්සු බව දැන දැනත් ඔබ ඔවුන්ව විශ්වාස කරනවා. නමුත්, හැමදේම වෙනස් වෙන ලෝකයක් ඇතුළේ හැමදේකටම තෝරාගැනීම් ගණනාවක් තියෙනවා. තවත් කෙනෙකු එක්ක අතීතය බෙදාහදා ගැනීම බොහොම දැවැන්ත දෙයක්. 

විශේෂයෙන්ම, පිටුවහල් කරපු කෙනෙකු විදියට ඒ පොදු ඉතිහාසය බෙදාහදා ගැනීම කියන කාරණේ හරිම වැදගත් වෙනවා නේද ? 

ඔව්, අනිවාර්යයෙන්ම. මගේ මාපියනුත් එහෙමයි. 

ජීවිතයේ තියෙන ගතිකත්වයන්ට සමගාමීව මේ රංගන ශිල්පීන් දෙපළගේ සංකීර්ණ සම්බන්ධතාවයන් සමග අධ්‍යක්ෂණ කාර්යයේ නියැලෙන්නේ කොහොමද ? 

ප්‍රධාන චරිත නිරූපණය කළ රංගන ශිල්පීන් දෙදෙනාම බොහොම සංවේදී අය. ජොආනා බොහොම සාම්ප්‍රදායික කතෝලික පවුල් පසුබිමකින් යුතු කෙනෙක්. ඇය තමන්ගේ පෞද්ගලික ගති ස්වභාවයන් එලෙසින්ම රංගනයේදී ඉදිරිපත් නොකරන ශිල්පිනියක් වන නිසාම මං ඇයට ස්තුතිවන්ත වෙනවා. තෝමස් ගත්තොත් ඔහුත් තරමක් දුරට සංවේදී කෙනෙක්. මේ දෙදෙනාව එක්කාසු කිරීමත් බොහෝ කාලයක් ගතවුණු කටයුත්තක් වුණා. ඔවුන් දෙන්නාට එකිනෙකාව තේරුම්ගනිමින් කාලය ගතකරන්න ඉඩසලස්වන්න ඕන වුණු නිසාම නැටුම් අභ්‍යාස වල නියැලෙන්න කියලත් ඔවුන්ගෙන් ඉල්ලීම් කළා. ඔවුන් බොහොම කෙටි කාලයක් තුළදී අතිශය සමීප වුණා. එකිනෙකාට සමීප වෙන්න, සමීප වෙන්න ඔවුන් සහෝදර සහෝදරියන් බවට පත්වුණා. ඒක අතිශය සමීප බැඳීමක්. එකිනෙකාගේ බිරිඳ හා සැමියා ගැන පවා දැන සිටියා. ඒ සමීප වීම බොහොම වටිනවා. මේක දැවැන්ත නිර්මාණ කාර්යයක් වුණු බව මගේ විශ්වාසයයි. එක දිගටම නොවුණත් මාස හයක් පුරාවට සිනමාපටය රූපගත කළා. දවස් 55 ක් තිබ්බා. සිනමාපටය නිර්මාණය කරන අතරතුරදී ඒත් එක්ක කාලය ගතකරන්න ලැබෙන අවස්ථාව ලොකු වාසියක්. සමහර දේවල් හොඳ නැති බව දැනුණත් තවත් සමහර අවස්ථාවලදී හොඳ අදහස් ඉදිරිපත් වෙන්න පුළුවන්. 

ප්‍රේම කතාවකදීත් එය එලෙසමයි. ලොකුම වීරයා වෙන්නේ කාලයයි. සමහරවිට අපේ රුචි අරුචිකම් මත මේක වෙනස් වෙන්නත් පුළුවන්. කාලයත් එක්ක හරඹ කරන්නේ කොහොමද කියන බව දන්නවා නම් ඒක අභියෝගයක් වෙන්නේ නැහැ. 

කාලය සම්බන්ධයෙන් Ida සිනමාපටයේදී ලැබූ අත්දැකීම් විශේෂයෙන්ම මේ සිනමාපටයටත් දායක කරගත්තද ? 

Ida සිනමාපටයේදී තිර පිටපතේ තිබුණු බොහොම නීරස දර්ශන කීපයක් මං රූපගත කළේ නැහැ. ඒක හරියට කෙනෙක් දෙයක් පැහැදිලි කරද්දි මං එක දර්ශනයක ඉඳලා තවත් දර්ශනයකට කට් කළා වගේ, නමුත්, එය බොහොම අපූරුවට තිබුණා. 

උදාහරණයක් විදියට කිව්වොත් Ida සිනමාපටයේ මෝටර් රථ අනතුරක් වෙන දර්ශනයක් ගැන කතා කළොත්, ‘හ්ම්, අපි මෝටර් රථ අනතුර සිද්ධවෙනවා දකිද්දී ඒ අනතුර රූපගත කරනවද ?  නැත්නම් ඇය අවසිහියෙන් ධාවනය කරන දර්ශනේ රූපගත නොකර අශ්වයෙක් කාර් එකේ ඇතිල්ලිලා එය අනතුරට ලක්වෙන අන්දම රූපගත කරනවාද යන්න ගැන තීරණේ කළයුතු වෙනවා ? 

කාන්තාවන් පිරිසක් එකතු වෙලා එක් පුද්ගලයෙකුව හොයන්න උත්සහ ගත්තත් ඔවුන් හොයන තැනැත්තව හොයාගන්න නොහැකි වෙන දර්ශනයක් Ida සිනමාපටයේ තියෙනවා. 

මේ පිරිස මත්පැන් අලෙවි හලේ සේවකයා ළඟට ගිහිං අහන්නේ, ‘‘ආ, එයා ජීවත්වෙන්නේ මේ වගේ තැනකද ?‘‘ කියලා කරන ප්‍රකාශය තිර පිටපතේදී ලියැවී තිබුණා. නමුත්, අපිට ඇත්තටම ඕන වුණේ, ඇය බාර් එක ළඟට ගිහිං අහන ප්‍රකාශයෙන් පස්සේ, සේවකයාගෙන් ප්‍රශ්න විමසන තැනින් ඒ දර්ශනය අවසන් කළා. මේ පුද්ගලයා ජීවත්වෙන්නේ කොහෙද කියලා විමසන එකේ ඇති ප්‍රයෝජනේ මොකක්ද ?, පැහැදිලි අදහසකින් මේ දර්ශන දෙක එකිනෙකට සම්බන්ධ කරාට පස්සේ ඒක අවසන් වෙන්නේ කොතැනින්ද යන වග ඔබ දන්නවා වගේම නීරස පැහැදිලි කිරීම් වලින් තොරව ඒක ඊළඟ දර්ශනේට සම්බන්ධ කරන්න පුළුවන්. 
නිතරම එකම දේ කියැවෙන දර්ශන වලට වැඩි කාලයක් නොදොවා ඉන්න මං ඉගෙනගත්තා. ඇමරිකානු සිනමාපට වලදී මේක බොහොම හොඳින් දැකබලාගන්න පුළුවන්. 

කතාව ඡායාරූපයක් දිගහැරෙනවා වගේ ඉදිරිපත් කිරීමේ නිදහස Ida සිනමාපටයේදී වගේම Cold War සිනමාපටයේදී ලැබුණා. Cold War සිනමාපටය පුරාම තියෙන්නේ බොහොම ලස්සන දර්ශන නිසා එක අතකින් එය ඡායාරූප එකතුවක් බව කියන්නට පුළුවන්. 

අනිවාර්යයෙන්ම Ida සිනමාපටය හොඳ හැරවුම් ලක්ෂ්‍යයක් වගේම අපූරු නිමිත්තකුත් වුණා. Ida සිනමාපටය කවුරුත් නරඹයි කියලා ඇත්තටම මම හිතුවේ නැහැ. අවසානේ සිද්ධ වුණේ මොකක්ද ?, මේ හැම සාර්ථකත්වයක්ම මැද්දේ, මං හිතන්නේ, ‘‘සිනමාපටයකදී දෙයක් ඒත්තුගන්වන්න පුළුවන් නම් මිනීමරන අවස්ථා වලින් වළකින්න පුළුවන්‘‘ යන්නයි. නමුත්, Ida සිනමාපටය තරමක් දුරට සිනමා සම්මුතීන්ට පටහැනි නිර්මාණයක් වගෙයි. 

Cold War සිනමාපටය පුරාවට කැමරාව බොහොම අපූරුවට හසුරුවා තිබුණා. එය Ida සිනමාපටය වගේ කල්පනාව හා හැගීම්බරිත සිනමාපටයක් වුණේ නැහැ. කතානායිකාව බොහොම ශක්තිසම්පන්න කෙනෙක් වුණත් කැමරාව හැසිරවීම හරහා ඒ බව පෙන්වන්න ගියා නම් ඒක අනුවණකමක් වෙන්න තිබ්බා. ඒවගේම එතැන සංගීතය හා නර්තනයත් තිබුණු නිසා කැමරාව තුළින් මේ බව වැඩිකර පෙන්වීමේ වුවමනාවක් තිබුණා. 
චාලක නැත්නම් සංචලන කියන වචන තුළින් සිනමාව බිහිවෙනවා. Ida සිනමාපටයේදී එවැනි කිසිම චලනයක් තිබුණේ නැති වුණත් ප්‍රේක්ෂකයින් වෙතට තවත් පියවරක් තැබුවා වගේම ඒ කතාව බොහොම වේගයෙන් දිවෙන සිනමාපටයක් ද වුණා. 

ප්‍රේක්ෂකයින් මත විශ්වාසය තබන්නට හැකි බව ඔබට වැටහේවි. ඔබ සිනමාපටයක් තුළින් කතාබහ කරන්නට උත්සහ කරන දේ සිනමාපටයේ ආරම්භයේ සිට අවසානය පුරාම අඛණ්ඩව සිදුකළොත් ප්‍රේක්ෂකයින් ද ඔබ කරන්න උත්සහ කරන දේ සමග එක්වේවි. මිනිස්සු ඔබේ සිනමාපටයෙන් ඉගෙනගනීවි. 

සිනමාරූපී සංගීතය ගැන කතාබහ කළොත් ? 

‘මේක සිනමාරූපී සංගීතයක්‘ කියලා හිතලා ඒ ඒ වෙලාවට මං නිර්මාණ කාර්යයේ නියැලී නැහැ. ඒකත් මේ සිනමාපටයේම කොටසක් විතරයි. බොහොම සන්සුන් සංගීතයක් සිනමාපටයට වුවමනා වුණේ නැහැ. Ida සිනමාපටය පුරා ඇහෙන ශබ්ද බොහොම රසවත් වුණේ මේ සිනමාපටය පුරාවට කිසිම සංගීතයක් නොතිබුණු නිසයි. 

නමුත්, Cold War සිනමාපටයේදී නාද සැකසුම් කටයුතු වලට බොහෝ කාලයක් වැය කළා. ඊට පස්සේ සංගීතය ඇහෙන්න ගත් හැමවිටකදීම එය සිනමාපටයේම කොටසක් බවට පත්වුණා වගේම සිනමාපටයේම ඉන්න චරිතයක් වගේ ප්‍රේක්ෂකයින් තුළ රැව් පිළිරැව් දෙන්න පටන් ගත්තා. 

මේ සිනමාපටය පුරා දිවෙන විචිත්‍රවත් සංගීතය සිනමාව පුරාම දිවෙනවා. ‘සංගීතය සිනමාත්මක කරන්නේ කොහොමද ?‘ කියන කාරණේ ගැන මං එතැනදී හිතුවේ නැහැ. සිනමාපටය ආරම්භයේදී ජන සංගීතය පාදක කරගත් වාදනා යොදාගන්න තීරණය කළාම ඒක බොහොම සරළ වුණා. වෘත්තාන්ත චිත්‍රපටයක විලාසයෙන් මේ සිනමාපටය රූපගත කළා. ඒවා නිකං දර්ශන පමණයි. මේ දර්ශන ඇතුළේ සංගීතයටත් සුවිශේෂී තැනක් හිමිවෙලා තියෙනවා.  

ඔබ සිනමාපටයට ඇතුළත් කරන්නේ මොනවිදියේ සංගීත ඛණ්ඩ ද යන්න තීරණය කළේ කොහොමද ? 

වික්ටර් "I Loves You Porgy" වාදනය කරන අවස්ථාව මේ පෙම්වතුන් යුවළ එකට එක්කරන්න සුදුසුම අවස්ථාව බව දැනුණා. සංවාද ගොඩක් නැති මේ අවස්ථාව ආදරයෙන් මත්වුණු බව දැනෙන දර්ශනයක්. ඔහු ඇයත් සමග ස්වර සප්තකය වාදනය කරන අතරතුර ඈ දෙස බලනවා, මීට පෙර ඔහු විදේශයක ජීවත්වෙන්න ඇති, පෝලන්තයේදී අසාමාන්‍ය දෙයක් වන ජෝර්ජ් ගර්ෂ්වින් (ඇමරිකානු සංගීතඥයෙකු හා පියානෝ වාදකයෙකි) ගැන ඔහු දැනගෙන ඉන්න ඇති. ඇය කවදාවත් ගර්ෂ්වින් ගැන අහලා තිබුණේ නැති වුණත් ඔහුගේ වාදනය ගැන අදහසක් තිබුණා. මේක ඔවුන් අතරේ ඇතිවෙන සංවාදයක් වගෙයි. ඔවුන් දෙදෙනා පළමුවරට එකම තැනකට එන්නේ මේ සංවාදෙයේ දීයි. 
  
"Rock Around the Clock" (මැක්ස් සී ෆ්‍රීඩ්මන් හා ජේම්ස් ඊ. මේයර්ස් රචනා කළ මේ ගීය බිල් හේලි හා හිස් කොමෙට්ස් විසින් ගායනා කෙරුණු රෝක් හා රෝල් ආර තුළ අතිසාර්ථක වූ ගීයකි) තෝරාගත්තේ මේක1957 දී බිහිවූවක් නිසයි. මේ වාදනය ගැයෙන අවස්ථාවේදී සූලා බොහොම හුරුබුහුටි අන්දමින් ඉන්නවා වගේම මේ වෙලාවේදී ඇය ඉන්නෙත් බීමතින්. මේ දෙපිරිස අතර බොහොම ලොකු පරතරයක් තියෙනවා. වික්ටර් - සූලාට වඩා අවුරුදු 10 ක් වැඩිමල්. ඇය බීමතින් පිස්සුවෙන් වගේ නටද්දි ඔහු ඊට කිසිම ප්‍රතිචාරයක් දක්වන්න උනන්දු වෙන්නේ නැති නිසා සූලාට තවත් තරහ යනවා. 


අවසානයේදී වැයෙන්නේ බොහොම භාවාත්මක ගීතයක්. මේ ගීය තෝරාගන්න හේතුවුණේ සූලා ඉන්න මනෝභාවය පෙන්වන්න තිබුණු වුවමනාව නිසයි.  එය පොප් ගීයක් විදියට එතරම් ගුණාත්මක ගීයක් නොවෙයි. සූලා තරුවක් වීමේ අභිලාෂයෙන් ඉන්න නවක ශිල්පිනියක්, ඇයට රැකවරණය සංස්කෘතික කටයුතු අමාත්‍යංශයට සම්බන්ධතා තියෙන ඔහුගෙනුයි. ගායිකාවක් විදියට ඇගේ ඉරණම වී තිබෙන්නේ පරිහානිය බව ඔහුට වැටහෙනවා. විශේෂයෙන්ම මෙක්සිකානු වාදන ශිල්පීන් ද සමග වාදනය වන ඒ ගීය බොහොම විනෝදජනක වගේම විකාරරූපී එකක්. 

ගමේ හිටපු පැරණි ශිල්පීන් සිනමාපටය ආරම්භයේදී පෙන්වීමෙන් පසුව එය ජෑස් සංගීතයක් බවට පරිවර්තනය වෙනවා, සිනමාපටයේ එන ප්‍රධාන ගීත තුන බොහොම අපූරු තේමාවක් වුණා. මං මේ පැරණි ශිල්පීන්ගේ ගීත මුලින්ම ගායනා කරන්න කියලා ඉල්ලුවා. මුලින්ම කකුලෙන් පාගන එකෝඩියන් එක වාදනය කරන කාන්තාවගේ දර්ශන පෙන්වලා ඊට පස්සේ ජෑස් සංගීතයත් සමග පැරීසියේ තත්ත්වය පෙන්වන දර්ශනයකට කට් කරාට පස්සේ ඒක අපූරුවට පෙනුණා. 

සිනමාපටය පටන්ගත්ත මොහොතේ ඉඳන් අවසාන වනතෙක්ම සංගීතය සුවිශේෂී වැදගත්කමක් දරනවා. තෝමස් මේ පියනෝ වාදකයාගේ චරිතයට පණපොවන්න බොහෝ කාලයක් වැය කළා වගේම සිනමාපටයේ පියානෝ වාදනය කළ ශිල්පියා සමග එකතු වෙලා වාදනය ගැන මූලික හැදෑරීම් පවා කළා. වික්ටර් ෆෙඩ්‍රික් චොපින්ගේ "The Fantasy" වැයුම කරපු වේලාවේදී අපිට පේන්නේ තෝමසස්ගේ අතැගිලි නොවෙයි, ඒ වාදකයාගේ අතැගිලියි.

සිනමාපටය පටන්ගනිද්දි පුංචි ගැහැණු දරුවෙකු වාදනයත් සමග පෑහෙන්නට උත්සහ ගනිමින් මෙහි එන Two Hearts තේමා ගීය ගයනවා. මං මේ දැරිවිය හොයගත්තේ ගැමි සංගීත උත්සවයකිනුයි. ඒත් ඇය මීට පෙර කවදාවත් මේ ගීය ගායනා කර තිබුණේ නැහැ. මේ ගීතය බොහොම සරළව ගයන්න කියලා මං ඒ දැරිවියට කිව්වා. ඇය වැරදි ස්වර ස්ථාන වල ඉඳන් වුණත් බොහොම අපූරුවට මේක ගායනා කළා. මේ ගීතය ගායන වෘන්දයේ පිරිස එක්කාසු වෙලා ඊට පස්සේ මුලින්ම ඇකපෙලා හා පස්සේ වාදන සමූහයත් එක්ක ගායනයේ යෙදුණා.

ඊට පස්සේ වික්ටර් රජයේ ආරක්ෂක අංශ විසින් පළවාහැරිය අවස්ථාවේදී Two Hearts ගීය යුගෝස්ලෝවියාවෙදී නැවත වරක් වාදනය කරනවා. ඉන්පස්සේ මෙය රාත්‍රී සමාජ ශාලාවකත් ගායනා කරනවා. සිනමාපටයේ දැක්වෙන අන්දමට ප්‍රංශයේදීත් Two Hearts ගීතය පටිගත කෙරෙනවා. ඒකේ විශේෂත්වය වෙන්නේ සූලා මෙය ප්‍රංශ බසින් ගායනා කිරීමයි. Two Hearts ගීතය සිනමාපටයේ මුල ඉඳන් අවසානය වනතෙක් ගැයෙන්නේ ඒ විදියටයි. මේ ගීතය සිනමාපටය පුරා හය වතාවක් විතර ඇහෙනවා. මේ ගීතය හරහා නැවත නැවතත් සිහිපත් කරදෙන්නේ මේ කතාව ඇතුළේ අපි ඉන්නේ කොතැනකද ? මේ අපූරු බැඳීම තියෙන්නේ කොතැනකද ? යන වගයි. මේ සංගීතයේ ගැබ්වී තිබෙන ප්‍රධාන අර්ථ සිනමාපටය පුරාම දිව යන බව දැකගැනීමේ හැකියාව තිබෙනවා වගේම ගීතය වගේම ඒ හා බැඳුණු සිද්ධිත් එකිනෙක සමග අතිශය සමීපව සම්බන්ධවී තිබෙනවා. මේ සංගීත රසය සිනමාපටය පුරාම වාදනය වෙනවා වගේම එය එකිනෙක හා අපූරුවට පෑහෙනවා. 









(ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘චිත්‍රපට‘ සඟරාවේ 2019 ජනවාරි කලාපයේ පළවූවකි)





0 comments: