Hot!

තානාපතිවරු දෙදෙනෙකු ගැන කතාවක් - ජාලිය හා සෝමසුන්දරම්



- ෂන්මුගම් කනගරත්නම් -


‘‘... ඒ තමයි හොඳම කාලය, ඒ තමයි නරකම කාලය, ඒ තමයි ප‍්‍රඥාවේ යුගය, ඒ තමයි මුග්ධ භාවයේ යුගය, ඒ තමයි විශ්වාසයේ අවදිය, ඒ තමයි සැකයේ අවදිය, ඒ තමයි ආලෝක සෘතුව, ඒ තමයි ඝනාන්ධකාර සෘතුව, ඒ තමයි අපේක්ෂාවේ වස්සානය, ඒ තමයි නෂ්ටාපේක්ෂාවේ සිසිරය. අප ඉදිරියේ සියල්ල තිබුණි. අප ඉදිරියේ කිසිවක් නොවුණි. අප සියල්ලන් සිටියේ, කෙලින්ම දෙව්ලොව යමිනි. අප සියල්ලන් සිටියේ කෙලින්ම එහි ප‍්‍රතිදිසාවට යමිනි.’’ 
- දෙනුවර අන්දරය (චාල්ස් ඩිකන්ස්) 


සෝමසුන්දරම් ස්කන්ධකුමාර  හා ජාලිය වික‍්‍රමසූරිය

1959 දී ප‍්‍රකාශයට පත් චාල්ස් ඩිකන්ස්ගේ ‘දෙනුවර අන්දරය’ නවකතාව, ප‍්‍රංශ විප්ලවය සමයේ ලන්ඩන් නුවර සහ පැරිස් නුවර පිළිබඳ ප‍්‍රබන්ධ කතාවකි. මේ කියන්නට යන ශ‍්‍රී ලංකා තානාපතිවරුන් දෙන්නා පිළිබඳ කතාව ප‍්‍රබන්ධයක් නොවේ. ඉන් කෙනෙක්, ඕස්ට්‍රේලියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් සෝමසුන්දරම් ස්කන්ධකුමාර ය. 2015 අගෝස්තු මාසයේ එම ධුරයට පත්කරනු ලැබූ ඔහු මේ වන විට සිය සේවා කාලය අවසන් කොට ආපසු ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. අනිත් කෙනා ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ ශ‍්‍රී ලංකා තානාපති වශයෙන් 2008 දී පත්කෙරුණි. ඔහුගේ නම ජාලිය වික‍්‍රමසූරිය ය. 2014 දී ඇමරිකානු ආණ්ඩුව ඔහුට එරෙහිව ගොනු කරමින් සිටි චෝදනා ගණනාවක් හමුවේ එම තනතුරෙන් ඔහු ඉවත් කරන්නැයි ඇමරිකාව ලංකා රජයෙන් ඉල්ලා සිටින තෙක්, ඔහු ලංකාවේ තානාපති වශයෙන් කටයුතු කෙළේය. බරපතල මූල්‍ය අපරාධ, බදු පැහැර හැරීම් සහ තාක්ෂණික විධික‍්‍රම ඔස්සේ කරන ලද මූල්‍ය අක‍්‍රමිකතා පිළිබඳ චෝදනා ඇමරිකානු රජය ඔහුට විරුද්ධව ගොනු කොට තිබුණි. ඊට අමතරව, මේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා, ඇමරිකාවේ නිත්‍ය පදිංචිය සඳහා ඉදිරිපත් කළ ඉල්ලූම් පත්වල සාවද්‍ය තොරතුරු සැපයීම සම්බන්ධයෙන් ද චෝදනාවට ලක්ව සිටී. ඒ සියල්ල අස්සේ, මේ වන විට ඔහු ශ‍්‍රී ලංකාවේ නීතියෙන් සහ අධිකරණයෙන් පලා ගොස් සිටින පුද්ගලයෙකි.

වැරදුණේ කොතැන ද?

මේ දෙදෙනාම එම තනතුරුවලට පත්කරන අවස්ථාවේ වෘත්තීය රාජ්‍ය තාන්ත‍්‍රික සේවයට අයත් වූවෝ නොවෙති. දෙදෙනාම, ලංකාවේ වාණිජ සහ කර්මාන්ත පෞද්ගලික ක්ෂේත‍්‍රයේ ව්‍යාපාරිකයන් ය. දෙදෙනාටම රාජ්‍ය අංශයේ පළපුරුද්දක් නොතිබුණි. 

සෑම පැත්තකින්ම, ස්කන්ධකුමාර් ඔහුගේ නියමිත තානාපති සේවා කාලය තුළ විශිෂ්ඨත්වයට පත්විය. ඔහු සේවය කළ කලාපය තුළ ශ‍්‍රී ලංකාවට තැනක් ගෙන දෙමින් එම කලාපයේ කර්මාන්ත ක්ෂේත‍්‍රයේ නායකයන්, දේශපාලඥයන්, පුණ්‍යාධාර සමිති සමාගම් සහ ක‍්‍රීඩා සංවිධාන සමග මනා සම්බන්ධතාවක් පවත්වා ගත්තේය. 2017 දී ශ‍්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ සංචාරයට අදාළ ප‍්‍රධාන කාර්ය භාරයක් ඔහු කෙළේය. 2015 දී ඔහුව ඕස්ට්‍රේලියාවේ මහකොමසාරිස් තනතුරට පත්කරන අවස්ථාවේ ඒ පත්වීම ගැන කිසිවෙකු ප‍්‍රශ්න කෙළේ නැත. ඔහුට තිබුණේ නොකිළිටි අතීත වාර්තාවකි. යහපත් පවුල් පසුබිමකින් පැවත ආ ඔහුගේ පියා ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ කීර්තිමත් නිලධාරියෙකු විය. පාසල් යන සමයේ කොළඹ රාජකීය විද්‍යාලයේ ක‍්‍රිකට් තරුවක් වූ ස්කන්ධකුමාර්, අනතුරුව කොළඹ විශ්ව විද්‍යාලයේත්, ඊළඟට කොළඹ ‘ටැමිල් යූනියන්’ ක‍්‍රීඩා සමාජයේත් කැපී පෙනෙන ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් විය. 1998-2000 අතර කාලයේ ඔහු එම ක‍්‍රීඩා සමාජයේ සභාපතිත්වය දැරීය. එය, එම ක‍්‍රීඩා සමාජයේ සියවස් සැමරුම් වර්ෂය ද වී තිබුණි. 

ශ‍්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය ඒජන්සි ආයතනයක විධායක නිලධාරියෙකු වශයෙන් වෘත්තීය ජීවිතය ඇරැඹූ ස්කන්ධකුමාර්, ජෝර්ජ් ස්ටුවර්ට් සමූහ ව්‍යාපාරයේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා වශයෙන් උසස් වීමෙන් අනතුරුව එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ද විය. එබැවින්  ඕස්ට්‍රේලියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් වශයෙන් විශිෂ්ට සේවාවක් කිරීමට ඔහුට හැකි වීම පුදුමයක් නොවේ. 

සෝමසුන්දරම් ස්කන්ධකුමාර


2005 දී ලොස් ඇන්ජලිස් නුවර ශ‍්‍ර‍්‍රී ලංකා දූත මෙහෙවරේ කොන්සල් ජෙනරාල්වරයා වශයෙන් ජාලිය වික‍්‍රමසූරිය පත්කළ අවස්ථාවේ එය කිසිවෙකුගේ වැඩි අවධානයට ලක් නොවීය. එය ඉතා කුඩා කාර්යාලයකි. බොහෝ විට ඔහුට පැවරුණු රාජකාරි වුණේ, ලිපි ලේඛනවලට අත්සන් කිරීම, දිව්රුම් පෙත්සම් නොතාරිස්වරයෙකු ලෙස කටයුතු කිරීම සහ වීසා නිකුත් කිරීම ආදියයි. එහෙත් 2008 දී ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති වශයෙන් පත්කළ අවස්ථාවේ, රාජ්‍ය තාන්ත‍්‍රික, දේශපාලනික සහ ශ‍්‍රී ලංකා ප‍්‍රජාව අතරේ එය ඉමහත් ආන්දෝලනයට තුඩුදුණි. ඊට කලින් එම තනතුර දරා තිබුණේ වෘත්තීය රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන්, කීර්තිමත් විද්වතුන් සහ විද්‍යාඥයන් විසිනි. ඒ අතරේ එක්සත් ජාතීන්ගේ හිටපු උපලේකම්වරයෙකු වන ජයන්ත ධනපාල, ආචාර්ය වර්ණසේන රාසපුත‍්‍ර සහ ආචාර්ය ආනන්ද ගුරුගේ වැනි පුද්ගලයෝ වූහ. සාමාන්‍ය පාසල් අධ්‍යාපනයක් පමණක් ලබා ඇති, ලංකාවේ තේ වෙළඳාම තුළ සීමිත අත්දැකීම් සහිත පුද්ගලයෙකු වන ජාලිය වික‍්‍රමසූරිය ඇමරිකාව වැනි රටක තානාපති තනතුරක් සඳහා යෝග්‍ය පුද්ගලයෙකු නොවේ. ඔහුට තිබූ එකම සුදුසුකම වුණේ, එය සුදුසුකමක් වශයෙන් සලකන්නේ නම්, එදා ජනාධිපති මහින්ද රාජපක්ෂට තිබූ බන්ධුත්වය පමණි. එම තනතුරට ඔහුව පත්කරන ලද්දේ එම ජනාධිපතිවරයා විසිනි. මොහු ජනාධිපතිවරයාගේ මස්සිනා ය.

මේ පත්වීම කෙරෙන්නේ, ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් විට, ඉතා තීරණාත්මක මොහොතක ය. දෙමළ කොටි සංවිධානය සමග ලංකා රජය ගෙන යමින් සිටි යුද්ධය පිළිබඳව නැගී එන ජාත්‍යන්තර විවේචන සහ රජයේ හමුදා යුද අපරාධ සිදු කරමින් සිටිති ය යන චෝදනා එකල මතුවෙමින් තිබුණි. ශ‍්‍රී ලංකාවට අදාළ ජාත්‍යන්තර සම්බන්ධතා සහ ශ‍්‍රී ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය පිළිබඳව පැනනැගෙමින් තිබූ ඒ බලවත් අර්බුදකාරී අවස්ථාවේ මොහු වැනි පුද්ගලයෙකු එවැනි තනතුරකට පත්කිරීමට රාජපක්ෂ පාලනය තීරණය කිරීම හුදෙක් ඔවුන්ගේ අවිදග්ධ භාවය පළකිරීමක් ද, නැත්නම් ජාත්‍යන්තර ප‍්‍රජාව පිළිබඳ අවතක්සේරුවක සිටීමක් ද යන්න පැහැදිලි නැත. 

ශ‍්‍රී ලංකා හමුදාව දෙමළ ප‍්‍රජාවට එරෙහි යුද අපරාධ කර ඇතැයි යන චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණ පවත්වන මෙන් ඉල්ලා, ඇමරිකාව පෙරටුකොට ගත් ජාත්‍යන්තර ප‍්‍රජාවේ යෝජනා, ‘සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය’ වෙත එකල ඉදිරිපත්ව තිබුණි. ඒ අංශයෙන් ඇමරිකාව හෝ ජාත්‍යන්තර ප‍්‍රජාව තුළ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති නොරිස්සීම් සමනය කිරීම සඳහා ජාලිය වික‍්‍රමසිංහ කළ දෙයක් දැන ගන්නට නැත. වොෂින්ටන් නුවර ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිට ඔහු කළ එකම දෙය වශයෙන් පෙනෙන්නේ ඔහුගේ තේ ව්‍යාපාරයට අදාළ වැඩ කටයුතු ය.
ජාලිය වික‍්‍රමසූරිය


ඒ තත්ත්වය තුළ ජාලිය වික‍්‍රමසූරියගේ කලදසාව කොහොමත් නරක් වීමට නියමිතව තිබුණි. ලෝකයේ බොහෝ දේවල්වල ප‍්‍රථම ස්ථානය ගැනීමේ ගෞරවය ශ‍්‍රී ලාංකිකයන් හිමි කරගෙන තිබේ. වික‍්‍රමසිංහට එරෙහිව ඇමරිකානු ආණ්ඩුව අපරාධ නඩු පැවරීම, ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත‍්‍රික ක්ෂේත‍්‍රය තුළ, ලංකාව සම්බන්ධයෙන් ප‍්‍රථම වතාවට දකින්ට ලැබුණු තත්ත්වයකි. රටක් නියෝජනය කරන තානාපතිවරයෙකු රාජකාරියේ යෙදෙන අතරේ බරපතල අපරාධ පිළිබඳ චෝදනාවන්ට ලක්වීම, ශ‍්‍රී ලංකාවට මහත් වූ අගෞරවයක් සහ අවමානයක් ගෙන දුන් සිද්ධියකි. 

මේ තානාපතිවරුන් දෙන්නාගේ වෙනස ගැන වර්තමාන පාලකයන් අවධානය යොමු කොට ඇත්ද යන්න කිව නොහැක. 2010 දී, හමුදා නිලධාරියෙකු වූ ෂවේන්ද්‍ර සිල්වා එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත වශයෙන් පත්කෙරුණි. යුද්ධය අවසන් වූ සැණින් ලංකාවේ පාලකයන් වැඩි වැඩියෙන් හමුදා නිලධාරීන් රාජ්‍ය තාන්ත‍්‍රික සේවාවට පත්කරන තත්ත්වයක් එදා ඇති විය. ඒ අනුව, ජර්මනිය, පාකිස්තානය, මැලේසියාව, ඊශ‍්‍රායලය, ඉන්දුනීසියාව, ජපානය, ඕස්ට්‍රේලියාව සහ එරිත්‍රියාව වැනි රටවලට හිටපු හමුදා නිලධාරීන්ව පත්කර යවන ලදී. 

හමුදා නිලධාරියෙකු රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරියෙකු නොවිය යුත්තේ ඇයි?

එය වැදගත් ප‍්‍රශ්නයකි. වෘත්තීය රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරියෙකු පුහුණුවෙන් සහ අධ්‍යාපනයෙන් තානාපති නිලධාරියෙකු බවට පත්වන්නේය. රටක විදේශ සේවාව එම රට වෙනුවෙන් ලෝකයේ නොයෙක් තැන්වල සේවය කිරීම සඳහා සුදුසු පුද්ගලයන් බඳවාගෙන පුහුණු කරනු ලැබේ. රට රටවල් අතර හොඳ හිත පවත්වා ගැනීම, රටවල් අතර වෙළඳාම සහ වාණිජ කටයුතු වැඩි දියුණු කිරීම සහ අන්‍යොන්‍ය රාජ්‍ය තාන්ත‍්‍රික සම්මත සබඳතා පවත්වාගෙන යාම මොවුන්ට පැවරෙන රාජකාරියකි. 

එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලයට අනුබද්ධව සිටි බ්‍රිගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දුගේ සිද්ධිය අරගෙන බලන්න. ලන්ඩන් නුවර පැවති ශ‍්‍රී ලංකාවේ නිදහස් දින සැමරුම් උත්සවයකදී, ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ කරමින් සිටි දෙමළ පිරිසකගේ ගෙල කපා දැමෙන බවට බ්‍රිගේඩියර්වරයා අභිනයකින් දැක්වීම කැමරාවට හසු විය. ලක්ෂ ගණන් කැරලිකරුවන් සහ සාමාන්‍ය වැසියන්, එක්කෝ මියගිය නැතහොත් අතුරුදහන් කරනු ලැබූ යුද්ධයේ අවසාන භාගයේ මේ බ්‍රිගේඩියර්වරයා උතුරේ සේවය කොට තිබුණි. එවැනි පුද්ගලයෙකු රාජ්‍ය තාන්ත‍්‍රික සේවාවක් සඳහා කෙසේ නම් උචිත වන්න ද ? එවැනි පුද්ගලයෙකුගෙන්, සාමයට ලැදි චර්යාවක් කෙසේ නම් අපේක්ෂා කරන්න ද? මෙහිදී සිදුවුණේ, හමුදා පුහුණුව රාජ්‍ය තාන්ත‍්‍රිකත්වයට කාන්දු වීමකි. රාජ්‍ය තාන්ත‍්‍රිකත්වයේ අවශ්‍යතාවන්ට අනුගත වන ආකාරයේ හැසිරීමක් හමුදා නිලධාරියෙකුගෙන් කෙටි කාලයකදී බලාපොරොත්තු විය හැකි නොවේ. කෙසේ වෙතත්, මේ සිද්ධියෙන් පසු එකම හොඳකට සිද්ධ වුණේ, එම නිලධාරියාව බලධාරීන් වහා ආපසු ගෙන්වා ගැනීමයි. 

ශ‍්‍රී ලංකාව හැර ගොස් ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඇමරිකාව, එක්සත් රාජධානිය සහ යුරෝපය ආදී තැන්වල ජීවත් වන ශ්‍රී ලාංකිකයෝ සිය රටේ නාමය රකිති. වෛද්‍යවරුන්, නීතිඥයන්, ඉංජිනේරුවන්, තොරතුරු තාක්ෂණිකයන්, ගණකාධිකාරීන් සහ විද්වතුන් වැනි කණ්ඩායම් ඒ ඒ අංශවලින් සුරුවිරු කම් පාති. එම රටවල්වල වාසය කරන ආකාරයෙන්ම ඔවුහූ තමන්ගේ මාතෘ භූමියට ගෞරවයක් ගෙන දෙති. ලංකාවේ මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළදී පාදඩයන් සහ දාමරිකයන් සේ හැසිරෙන සැටි ලෝකයා දකින විට ඉන් වඩාත්ම ගැහැටට පත්වන්නේ මේ පිරිස් ය. මෙවැනි පුද්ගලයන් මහජන නියෝජිතයන් වශයෙන් පත්කර ගන්නා ජනතාව කොයි වගේදැ යි විදේශිකයෝ එම පිරිස්වලින් ප‍්‍රශ්න කරති. තානාපතිවරුන් වශයෙන් අප ලෝකයට යවන්නේ මොන වගේ පුද්ගලයන් ද යන්නත් අසන්නේ එලෙසින්මයි. 

පරෙවියන් අතරේ උකුස්සන් සිටිය යුතු නැත

ඇතැම් අපරාධ සම්බන්ධයෙන් විශ්ව අධිකරණ බලය අභ්‍යාස කිරීමේ තත්ත්වයට අද ලෝකය පත්ව සිටී. යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ මහ පරිමාණ සමූහ මිනිස් ඝාතන යනාදිය එම විශ්ව අධිකරණ බලයට අයත් වෙයි. එවැනි අපරාධ ලෝකයේ කොහේ සිදුවුවත්, ඒවා විභාග කර බැලීමේ බලය නූතන ලෝකයේ බොහෝ රටවල් තමන් වෙත පවරාගෙන තිබෙන බව අපේ පාලකයන් දත යුතුය. 1973 සිට 1990 දක්වා චිලී රට පාලනය කළ ජෙනරාල් පිනෝචේ අත්අඩංගුවට ගැනුණේ එංගලන්තයේ වෛද්‍ය ප‍්‍රතිකාර ලබමින් සිටියදී ය. ඔහු වෙනත් රටක පුරවැසියෙකු වීම හෝ ඔහුට රාජ්‍ය තාන්ත‍්‍රික මුක්තිය තිබීම හෝ එහිදී වැදගත් නොවුණි. ඊළඟට, ඔහුට විරුද්ධව නඩු පවරනු ලැබුවේ, ඔහුගේ අයත් රට නොවන ස්පාඤ්ඤයේ ය. අවුරුද්දකට වැඩි කාලයක් බ්‍රිතාන්‍ය අත්අඩංගුවේ සිටීමට එදා ඔහුට සිදුවිය. කලක් ඇමරිකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය උපදේශකයා වූ ද, තවත් කාලයක් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා වූ ද හෙන්රි කිසිංගර් ඇමරිකාවෙන් පිටට ගියොත් ඕනෑම අවස්ථාවකදී අත්අඩංගුවට පත්වීමේ අවදානම ඇති බව කියනු ලැබේ. ඒ, වියට්නාමයේ සහ දකුණු ඇමරිකාවේ මීට බොහෝ කලකට පෙර කරන ලද මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට ඔහු වගකිව යුත්තෙක් ය යන චෝදනාව යටතේ ය.

මේ සන්දර්භය තුළ, ඉහත සඳහන් තානාපතිවරුන් දෙදෙනාගේ කතාන්තරය අනුව, අපේ විදේශ සේවාව, වෘත්තීය රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන්ට භාර කිරීම වඩාත් යෝග්‍ය බව පෙනේ. පරෙවියන් අතරේ උකුස්සන් සිටිය යුතු නැත. ඥාති සංග‍්‍රහය අනුව විදේශ තානාපති සේවාවේ තනතුරු භාර දීම මොන තරම් අවදානමක් ද යන්න ජාලිය වික‍්‍රමසූරියගේ සිද්ධියෙන් සනාථ වෙයි. මෙය, අපේ රටේ විදේශ ප‍්‍රතිපත්තිය පිළිබඳ ඉතා බැරෑරුම් අවදියකි. ජාත්‍යන්තර සම්බන්ධතාවලදී බුද්ධිමත් විදේශ ප‍්‍රතිපත්තියක් ගෙන යාම අත්‍යාවශ්‍ය කෙරේ. ඒ සම්බන්ධයෙන් ගත් විට, ඇමරිකාව සහ ඉන්දියාව සමග අපේ සම්බන්ධතා තර කර ගත යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. ලංකාවේ භූමියෙන් කොටසක් සහ ඉතා වටිනා වාණිජ වටිනාකමක් ඇති ව්‍යවසායන් බන්දේසියක් උඩ තබා චීනයට පිරිනැමීම ඉන්දියාව සහ ඇමරිකාව කිසි සේත් අනුමත නොකරයි. ඔවුන් එහිදී නිශ්ශබ්දව සිටිතැයි නොසිතිය යුතුය. 

අපේක්ෂාවේ වස්සානය දැන් නෂ්ටාපේක්ෂාවේ සිසිරයක් වෙලා 

ශ‍්‍රී ලංකාව ස්වකීය හැත්තෑ එක් වැනි නිදහස සැමරුවේය. චාල්ස් ඩිකන්ස් ඔහුගේ ‘දෙනුවර අන්දරය’ නවකතාවේ මතු කළ ප‍්‍රශ්න එහිදී අපේ සිහියට නැගේ. ශ‍්‍රී ලංකාවේ හොඳම කලදසාව සහ නරකම කලදසාව කුමක්ද යන්න ප‍්‍රශ්නයකි. අපේ රට අද සිටින්නේ ඥාන ප‍්‍රදීපයක ද, නැත්නම් මුග්ධ අගාධයක ද යන්න ප‍්‍රශ්නයකි. ඉස්සර ආලෝකයක් තිබී දැන් අන්ධකාරයට යමින් සිටී ද යන්න ප‍්‍රශ්නයකි. ඉස්සර තිබූ අපේක්ෂාවේ වස්සානය දැන් නෂ්ටාපේක්ෂාවේ සිසිරයක් බවට පත්ව ඇත් ද යන්න ප‍්‍රශ්නයකි.

ඉස්සර හැම දෙයක්ම තිබුණි ද, දැන් කිසිවක්ම නැත් ද ? ඉස්සර කෙලින්ම ස්වර්ගයට ගිය අපි දැන් කෙලින්ම යන්නේ වෙනත් දිසාවකට ද යන්න සිතා බැලිය යුතුය.



(2019 පෙබරවාරි 25 වැනි දා Daily Mirror පුවත්පතේ පළවූ, “A Tale of Two Diplomats" නැමති ලිපියේ සිංහල පරිවර්තනය, ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.) 

0 comments: