Hot!

1978 යාපන රැස්වීම් වේදිකාවේදී විජේවීරට ගලක් වැදුණේ නැහැ


– නන්දන වීරරත්න – 

යාපනයේ දොරෙඅප්පා ක්‍රීඩාංගණයේදී සිද්ධ වුණේ මොකක්ද ? 

1978 වසරේ ඔක්තෝබරයේදී දෙවැනි යුගයේ [1977 -1983] ජනතා විමුක්ති පෙරමුණ ස්වකීය දේශපාලන ජීවිතයේ මහා මංගල රැලිය යාපනයේ දොරෙයිඅප්පා ක්‍රිඩාංගණයේ පවත්වමින් සිටියේය.  රැස්වීම් භූමිය ඉදිරියේ ධවල පැහැයෙන් බබලමින් තිබුණු සුවිසල් ගොඩනැගිල්ල වූ යාපන පුස්තකාලයද ඔවුන් රැස්වීම පවත්වමින් සිටි ක්‍රීඩාංගණය ද ලංකා දේශපාලන ඉතිහාසයේ සංධිස්ථාන වෙන බව වේදිකාවේ  සිටි නායකයන් මෙන්ම රැස්වීම් භූමියේ තැනින්තැන රොදබැඳ සිටි කොළඹින් ගිය සමාජිකයන්ද  නොදැන සිටින්නට ඇත. 

කඳුකරයේ දෙමළ යාපනයේ වැසියන්ට නොතේරීම 

කථිකයෝ කිසිවෙක් දෙමළ බස නොදන්නා නිසා ජවිපෙ නායකයන්ගේ කතා දෙමළ බසට පරිවර්තනය කළේ කඳුකරයේ මිශ්‍ර පවුලකින් පැවතෙන ෆොන්සේකා සහෝදරයාය. නමුත්, තමුන් පරිවර්තනය කරන දෙමළයෙන් අඩක් ශබ්ද විකාශනයේ සීමාවෙන් මෙපිට කඩවීදියේ හෝ නිවෙස්වල සිටින ජනයාට  නොතේරෙන බවත්, ඔවුන් තෝට්ටකාරන් හෙවත් කුලයෙන් අඩු වත්තේ එකාගේ ඉන්දියානු දෙමළයට සිනාසෙමින් සිටින බවත් ෆොන්සේකා නොදැන සිටින්නට ඇත. පසු කලෙක එනම්, චන්ද්‍රිකා  කුමාරතුංග යුගයේදී  මේ ෆොන්සේකාම 1989 දී පැහැරගෙනගොස් මරා දැමීමේ චෝදනාවට කොළපාට සමාජය හා ගෝඨාගේ යුද්ධ ග්‍රන්ථ රචක සී. ඒ. චන්ද්‍රප්‍රේම දිගු කලක්  සිරභාරයේ තබා ගැනුණේය. නිතර විශ්මයන් නිර්මාණය කරන ඉතිහාසයට අනුව මේ චන්ද්‍රප්‍රේමගේ සී. ඒ. වාසගම බෙදාගත් කර්නල් සී. ඒ. ධර්මපාල  මේ  යාපන රැස්වීම පැවැත්වෙද්දී කොළඹ ජයවර්ධන ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය දරමින් සිටියේය. 

මේ ඉතිහාස වට්ටෝරු අමතකකර අපි මොහොතකට යාපනයේ මංගල මහා රැළියට යමු. වියළි කාල කාලගුණය දයාද කළ දීප්තිමත් සැන්දෑව නිසා එළඹීමට නියමිත අඳුරේ කළුවර රැස්වීම් භූමියට නොදැනෙයි. දෙවැනි කතාවට වේදිකාවට නැඟුණේ එවකට ජවිපෙ නියෝජ්‍ය නායකයා වූ කන්තලේ හැදීවැඩුණු  සමීප දෙමළ ඥාතීන් සිටි දැඩිමතධාරී උපතිස්ස ගමනායකට කෙටිකලකට පෙම්වතිය හා බිරිඳ වූ කෑගල්ලේ ගබ්බල උපන් කරුණා සහෝදරියයි.



ගමනායක දුටුවේ මොකක්ද ? 

සම්ප්‍රදාය අනුව විජේවීර සහභාගීවෙන ඕනෑම ජවිපේ රැලියක ප්‍රධාන කථිකයා වන්නේ නිර්මාතෘ විජේවීරය. මේ අනුව විජේවීර සහෝදරයා තමාගේ අවස්ථාව එන තෙක් වේදිකාව පිටුපස තිබු පුටු කීපයෙන් එකක වාඩිවී සිටියේය. හදිසියේ ඔහු එතැනින් නැඟිට වේදිකාව තනා තිබුණු පිට්ටනිය මුල්ලේ කෙළවරට ගියේ බොහෝවිට අතිශය පුද්ගලික කාරණාවක් සපුරා ගැනීමට විය යුතුය. නමුත්, ඔහු ගිය කටයුත්ත අවසන් කරන්නට මත්තෙන් ඔවුන් සිටි භූමිය සිහිවටනයක් කර තිබූ ඊට වසර තුනකට පෙර  වෙඩිතබා මරා දැමූ දොරෙයිඅප්පාගේ සතුරෝ ඔහුගේ සිංහල දේශපාලන මිත්‍රයන්ගේ දේශපාලන ලේ නෑයන්වූ ජවිපේ නායකයන්ට ලේ සරදමක් කරන්න සුදානම් වෙමින් සිටින බව විජේවීර තබා ඔහුගේ ආරක්ෂාවට මාතරින් ගිය අමරේ ඇතුළු කණ්ඩායමවත් නොදැන සිටින්නට ඇත. 

උකුසු දැසක් හිමි ගමනායක ගිය කටයුත්ත ඉටුකර සැහැල්ලු ශරීරයෙන් එන විජේවීර සහෝදරයා වෙනුවට දුටුවේ, දෑතින් හිස බදාගෙන ඇඟිලි අතරින් ලේ ගලමින් එන විජේවීරය. රැස්වීමක් නොවන්නටත්, නුපුරුදු යාපනය නොවන්නටත්, ගමනායක නැමැති භක්තිමත් සගයා විජේවීරගේ  ලේ සෙලවූ පුද්ගලයාට එවෙලේම පහරදී විනාශ කිරීමට නොපැකිලෙන්නේය. නමුත්, ඒ වෙනුවට ඔහු කළේ ගල් පහරක් වැදීමෙන් හිසින් ලේ ගලමින් සිටි විජේවීර වේදිකාවට නංවා ගැනීමය. ස්වකීය කතාව නවතා විජේවීගේ කතාවට ඉඩ සැලසීමය.


ගමනායකගේ උරහිසට වාරුවී එක් අතකින් ලේ ගලන තුවාලය අල්ලාගෙන අනික් අත දිගු කරමින් විජේවීර සිංහලෙන් කළ කතාව, ඒ ස්වරයෙන්ම ෆොන්සේකා කඳුකර දෙමළට පරිවර්තනය කළේය. ඔහුගේ පළමු ඉල්ලීම රැස්වීමට ආරක්ෂාව දෙමින් සිටි පොලීසියටය. ඒ තමාට ගලකින් පහරදුන් දේශපාලන මෝඩයාට හිරිහැර නොකරන ලෙසය. ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙසය. නමුත්, පහරදීම සංවිධානය කළ කණ්ඩායමත් එහි නියෝජිතයාත් ඒ වනවිට නිල්ගිරි කඳුකරයේ දී ඉන්දියානු හමුදා උපදේශකයන් යටතේ ගල් ගැසීමට නොව ඊට වඩා බලවත් ප්‍රහාරයන්ට  සූදානම් කෙරෙමින් සිටි පිරිසක් නිසා තුවාලකරු රිදීම දැනෙන්ටත් පෙර එතැනින්  සුරක්ෂිත තැනකට මාරුවී ඔත්තුකරුවන්ට සෙස්ස භාරදී සිටින්නට ඇත.



ජවිපෙ 1977 ජනගත කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණේ මොකක්ද ? 

1975 දී දොරෙයිඅප්පා මරා දැමූ හා ඒ වනවිටත් ආණ්ඩුවේ පොලීසිය සමඟ වෙඩිබේත්වලින් ගනුදෙනු කරමින් සිටි ඊලාම්වාදීන් වෙනම රටක් වෙනුවෙන් සමාජවාදී විසඳුමක් දීමට ඉදිරිපත්වූ දෙමළය ද රජබසක් කිරීමට එකඟවූ පැරණි හැමන්හිල් සිරකරුවාට වෙඩිනොතබා ගල් පහරක් පමණක් එල්ල කළේ ඇයි ?, එසේත් නැතිනම් 1971 දී පශ්චාත් ඩොමීනියන් රාජ්‍යයට මුල්ම සන්නද්ධ ප්‍රහාර සංවිධානය කළ 20 වෙනි සියවසේ ලංකාවේ සන්නද්ධ දේශපාලනයේ ලොකු අයියාගේ හිසට වෙඩි නොතබා ගල් පහරක් පමණක් ඊළාම් සිහින අගනුවරදී  එල්ල කළේ ඇයි ?. මෙයට උත්තර ගණනාවකි. ඉන් පලමුවැන්න ජවිපෙ 1977 දී ජනගත කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයයි. එහි මෙසේ සඳහන් වේ. ජනතා විමුක්ති පෙරමුණ ජාතීන් සතු ස්වයං නිර්ණය අයිතිය පිළිනොගන්නේය. නමුත්, ජාතික ගැටලුවට විසඳුම් හැටියට වෙන්වී වෙනම රාජ්‍යයක්  තැනීමට සපුරාම විරුද්ධ වන්නේය යන නිර්මාක්ස්වාදී ප්‍රකාශයටය. [‘විනිශ්චය සොයා වාර්තා‘ චිත්‍රපටයේ  මේ යාපන ගල  වැදීම රූපයට නැඟී ඇත්තේ එම වේදිකාවේදී මේ දේශපාලන අදහස ඇතුලත් විජේවීරගේ වචන දෙමළයට පරිවර්තනය වීමත්  සමඟය.]

මීටත් වඩා දේශපාලන ගැඹුරකට ගියොත්  ප්‍රතිපත්ති ප්‍රකාශනයේ  මේ වගන්තියේ ගැබ්වී තිබුණේය. ඒ  අනාගතයේ  ජවිපෙ වීර සිංහල වංශයක් තනන බවත් කෙදිනක හෝ එය ඊළාම් නිදහස් සටන ලෙයින් හා යකඩින් මර්දනය කිරීමට කොළඹ සිංහල ආණ්ඩුවට හවුල් වෙන බව කියවෙන දේශපාලන අංජනමය. යාපන ගල් පහර එයට කල්තියාම කෙරුණු අනතුරු හැඟවීමකි. 

කොහොම නමුත් විජේවීර 1982 ජනාධිපතිවරණයේදී අවසාන වතාවට ප්‍රසිද්ධ රැස්විමක් වෙනුවෙන් යාපනයට ගියේය. නමුත්, ඒ වනවිට ඉන්දියානු ආයුධ වලින්  වඩාත් සන්නද්ධව සිටි ඊළාම්වාදීහු මේ දකුණේ සිංහල නායකයාට කිසිදු අනතුරක් නොකිරීමට වගබලා ගත්හ. එහි අර්ථය ඔහු නොතකා සිටීමද එසේත් නැතිනම් මතුවෙමින් සිටි ජයවර්ධන සතුරාගේ සතුරාගේ සතුරා මිතුරෙක් හැටියට සැලකීම නිසාද යන්න පැහැදිලි නැත. 

0 comments: