Hot!

ආසියා පැසිෆික් මුහුදු කලාපයේ මූලෝපායික වැදගත්කම හා ලංකාවේ ඉදිරි ගමන් මඟ






- අයේෂ් රණවක -






අපි ඉන්නේ කොතැනද ?






විසිඑක්වන සියවස ආසියානු කලාපයේ සියවස ලෙස හැඳින්වීමට කිසිවකු මේ වන විට පසුබට නොවන බව පෙනී යයි. ආසියානු කලාපය පැසිපික් සාගරය හා බැඳී පවතී. එම නිසා ආසියානු පැසිපික් මුහුදු කළාපයේ දිගහැරෙන සෑම ආර්ථික, ආරක්ෂක සහ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා වලියක්ම එකිනෙකට ගැට ගැසී පවතී. එය පසුගිය දශක දෙකක පමණ කාලය තුළ ලෝක බලවතුන් ගේ විශේෂයෙන්ම චීනයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රියාකාරකම් මෙන්ම කලාපයේ අනෙකුත් රාජ්‍යන් මගින් ගන්නා ලද මූලෝපායික තීරණ මගින්ද මනාවට පැහැදිලි වේ.





ඇමෙරිකානු ගෝලීය බල ප්‍රක්‍ෂේපණය (Power Projection) සඳහා යොදාගනු ලබන අණ සහ පාලන පද්ධතියේ ඇමරිකානු බටහිර වෙරළේ සිට ඉන්දියානු බටහිර වෙරළ දක්වා විහිදී ඇති පැසිපික් විධානය (Pacific Command), මෙම වසරේ මැද භාගයේ සිට ඉන්දු පැසිෆික් විධානය (INDOPACIFIC Command) ලෙස නම් කිරීමෙන් ද, මෙම ප්‍රදේශය සඳහා නව මූලෝපායික ප්‍රතිපත්තියක් හඳුන්වා දීමෙන් ද, මෙම කලාපයේ රටවල් සමඟ ආර්ථික සහ ආරක්ෂක වැඩපිළිවෙලවල් පුළුල් කිරීමට ගෙන ඇති උත්සාහයෙන් ද ඇමරිකා එක්සත් ජනපදය එය මනාව පිළිබිඹු කොට ඇත. මෙම වර්ධනයන් චීන සමූහාණ්ඩුවේ ආර්ථික, දේශපාලනික හා ආරක්ෂක වැඩපිළිවෙළ හි ව්‍යාප්තිය ගැන පරීක්ෂාවෙන් සලකා බලා ගනු ලබන තීරණ බවද පැහැදිලිව පෙනී යයි.





එමෙන්ම, චීනය ඉන්දියන් සාගරය අවට රටවල් සමග ඇති කරගෙන ඇති එකඟතාවයන් මත විශාල ආයෝජන මෙන්ම තම දේශපාලන හා ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය කර ගනිමින් පවතී. එම ක්‍රියාකාරකම් අප්‍රිකානු මහද්වීපය දක්වා විහිදී ගොස් ඇත. චීන සමූහාණ්ඩුව ශ්‍රී ලංකාවේ කර ඇති මහා පරිමාණ ආයෝජන, ජාත්‍යන්තරයේ මෙන්ම අප රටෙහි ද ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී ඇත. එමගින් චීනයට කළ හැකි ආරක්ෂක බලපෑම් ගැන ඉන්දියාව, ජපානය වැනි ආසියාවේ ප්‍රදාන රාජ්‍යයන් මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ප්‍රධාන රටවල් ද අවධානය යොමු කර ඇති බව පෙනී යයි.











සාගර හිමිකම් ගැටළුව





මේ අතර, චීන සමූහාණ්ඩුව, දකුණු චීන මුහුදු (South China Sea) ප්‍රදේශය වටා ඇති රටවලට අයත් මුහුදු ආර්ථික කලාපයන්හි (Exclusive Economic Zone) විසිරී පවතින විශාල දූපත් සංඛ්‍යාවක අයිතිය පිළිබඳව සාගර හිමිකම් ගැටලු වලට මුහුණ දී ඇත. එම ගැටළු නිරාකරණය කිරීමට චීනය පෙළබී ඇති ආකාරය සහ ජාත්‍යන්තර නීතියට අනුව කටයුතු නොකිරීම පිළිබද විවේචන බොහෝසේ චීනයට එල්ලවී ඇත.






ඉන්දියන් සාගරයේ භූගෝලීය වශයෙන් ඉතා වැදගත් කේන්ද්‍රස්ථානයක අප රට පිහිටා ඇත. අප දිවයිනට නුදුරින් දකුණු මුහුදු තීරයේ අත්ලන්තික් සහ පැසිපික් සාගරය තෙක් දිවෙන ලොව ඉතා තීරණාත්මක මෙන්ම වැදගත් වෙළද නෞකා සන්නිවේදන මාවතක් පිහිටා ඇත. එම නිසා ඉන්දු පැසිපික් මුහුදු කලාපය තුල ඉහතින් සදහන් කරන ලද මුලොපයික වර්ධනයත් (Strategic Development) සැලකිල්ලට ගනිමින් ක්‍රියා කලයුතු ආකාරය ගැන ශ්‍රී ලංකාව පැහැදිලිව අධයනය කලයුතු වේ.






පෘථිවියෙන් තුනෙන් දෙකක්, එනම් ආසන්න වශයෙන් 70% සාගරයෙන් පිරී පවතී. සාගර නීතිය ගොඩබිම නීතියට සපුරා වෙනස්ය. සාගර‍යේ වැඩි ප්‍රදේශයක්, මුහුදු බඩ රාජ්‍යයන්ට අයත් මුහුදු සැතපුම් 12ක් වූ ප්‍රදේශය හැරුණු කොට, සෑම කෙනෙකුගේම ගමනාගමන අයිතිය සහ බල ව්‍යාප්තිය සඳහා පරිහරණය කළ හැක. ඊට අමතරව ගොඩබිම සිට මුහුදු සැතපුම් 200 ක් පමණ වූ ආර්ථික කලාප හැරුණු කොට අනෙක් සෑම ප්‍රදේශයක්ම සැමගේ අයිතීන් (Global Commons) ලෙස සලකනු ලබයි. සාගරයේ සීමාවන් සීමිතය. එම හේතුවෙන් සාගරය සහ මුහුදු මාර්ග ආරක්‍ෂා කරමින් තම රාජ්‍යයන්ගේ ජාතික අවශ්‍යතාවන් සපුරා ගැනීමට සෑම රටක්ම උත්සුක වේ.





මෙම සෑම මුහුදු ප්‍රදේශයකම සාමය ආරක්‍ෂා කිරීමටද, ස්ථාවරභාවය පවත්වාගෙන යාමටද නාවික හමුදාවන් හෝ වෙරළ ආරක්ෂක හමුදාවන් අවශ්‍ය වන අතර, එම හමුදාවන් අතර සම්බන්ධතාවය ඉතා වැදගත්‍ වේ. සාගරය හරහා වෙළඳාම් කටයුතු සීඝ්‍රව වැඩිවීම හේතුවෙන්ද, මුහුදු සම්පත් ක්‍රමානුකූලව නෙලාගැනීමට හැකිවීමෙන්ද සාගරයට අනුබද්ධව ඉදිවුනු විශාල වෙළඳ වරායන් මගින්ද අප ලෝකය පසුගිය දශක තුන තුල ඉතිහාසයේ කිසි දිනෙක නොවූ ආකාරයට ඉදිරියට ගමන් කරන ලදී. මුහුදු පතුල හරහා ගමන් කරනු ලබන සන්නිවේදන කේබල් මගින් මහාද්වීප හරහා සිදුවන දත්ත හුවමාරුවට 97% පමණ දායක වීමෙන් මෙම දියුණුව වේගවත් වන ලදී.





ලෝක ප්‍රජාව එසේ අත්පත් කර ගන්නා ලද දියුණුවේ ප්‍රධාන සාධකය වූයේ දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසු ගතවු වසර හැත්තෑ පහකට ආසන්න කාලය පුරාවට ගොඩබිම සහ ප්‍රධාන වශයෙන් සාගර ප්‍රදේශයන්හි ප්‍රධාන යුධ ගැටුම් නොමැතිව ලෝක සාමය පැවතීම මත බව බොහෝ ආරක්ෂක විශ්ලේෂකයන්ගේ මතයයි. රටවල් අතර ද්වීපාර්ශවික ගැටුම් ඇති වුවද ප්‍රධාන බලවත් රටවල් අතර සංග්‍රාමයන් වළක්වාගත හැකි වී ඇත. ඒ සඳහා ප්‍රතිරෝධය (Deterrence) බලපා ඇත. එනම් තම ප්‍රතිවාදීන් ගේ ආක්‍රමණ හෝ ප්‍රහාර උත්සාහයන් අධෛර්යමත් කිරීම සඳහා මිලිටරි බලය පවත්වාගෙන යාම යි (The maintenance of military power capability for the purpose of discouraging attacks from your adversaries). මෙම ප්‍රතිරෝදය හෝ අධෛර්ය ඇති කිරීම සඳහා ප්‍රධාන සාධකයක් වී ඇත්තේද සාගරය හරහා බලය ව්‍යාප්ත කිරීමයි.





සීතල යුද්ධය (Cold war) සමයේ දී නේටෝ සංවිධානය හරහා ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ද, වෝර්සෝ සංවිධානය හරහා රුසියාව ප්‍රමුඛ නැගෙනහිර රටවල් ද එම ආකාරයෙන්ම ක්‍රියාකොට ඇති බව පෙනී යයි.






කෙසේ වෙතත් සාගරය යනු ඉතා විශාල ප්‍රමාණයක විහිදී ඇති භූගෝලීය සත්‍යයක් හෙයින් අන් රාජ්‍යයන් හා බැඳෙමින් (Network), ගිවිසුම් ඇති කර ගනිමින්, සහයෝගීතාව මත තම ආරක්‍ෂාව ළඟාකර ගැනීමට ලොව ප්‍රධාන රටවල් බොහොමයක් ක්‍රියා කර ඇති බව අපට දැක ගත හැක. දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ළඟා කරගනු ලැබූ සාමය සහ ස්ථාවරත්වය එම සාමූහික ආරක්ෂාව (Collective Security) මගින් ලැබී ඇති බව නොරහසකි.









ආරක්ෂක චින්තකයින් ගේ බලපෑම්





සාමූහිකව හෝ තනි තනිව, රාජ්‍යයන් තම ආරක්‍ෂාව තහවුරු කර ගැනීම සලකා බැලීමේදී, විවිධ චින්තකයින්ගේද අදහස්ද සැලකිල්ලට ගනු ලැබ ඇති අතර අද පවත්නා ආරක්ෂක තත්වයන් විග්‍රහ කිරීමේදීද ඉන් කිහිප දෙනෙකුගේ අදහස සලකා බැලීම වටී.









කොලොම්බ් සහෝදරයින් (Colombi Brothers 1831-1909)





මෙම සහෝදරයින් 19 වන සියවස අග භාගයේදී තම මතවාදයන් එළි දක්වමින් ප්‍රකාශ කර සිටිනු ලැබුයේ මුහුද දෙසින් පැමිණෙන සතුරු ආක්‍රමණයන්ට එරෙහිව වෙරළබඩ බලකොටු තර කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ඈත දියඹේ මුහුදු ප්‍රදේශ ආරක්‍ෂා කිරීමද මුහුදු මාර්ග ආරක්‍ෂාව සහ පාලනයද අත්‍යාවශ්‍ය බවත්ය. එසේම මුහුද හරහා පැමිණෙන වෙළඳ නෞකාවන්හි ආරක්‍ෂාව සඳහා එම නෞකා එක්ව නාවික ආරක්‍ෂාව යටතේ ගමන් කිරිමද (Convoys), උපායමාර්ගිකව වැදගත් මුහුදු ප්‍රදේශ නාවික බලය මගින් සතුරාට අවහිර කිරීමද (Blockade) පිළිබදව කරුණු සංකල්පනාත්මකව ඉදිරිපත් කරනු ලබුවා. එම නිසා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ආරක්ෂාව සඳහා නාවික හමුදාව ප්‍රධානත්වයෙහි ලා සැලකිය යුතු යැයිද ඔවුන් සඳහන් කරනු ලැබුවා.






ශ්‍රීමත් ජුලියන් කෝබර්ට්












ශ්‍රීමත් ජුලියන් කෝබර්ට් (Sir Julian Corbert 1854-1922)





බ්‍රිතාන්‍ය නාවික ඉතිහාසඥයකු වූ මොහු සාර්ථක සාගරික මූලෝපායික ක්‍රමවේදයන් සඳහා නාවික සහ ගොඩබිම හමුදාවන් අතර සම්බන්ධතාවය ඉතා වැදගත් බව යෝජනා කරනු ලැබුවා. සාගරයේ ආරක්ෂාව ස්ථාවර කිරීමේදී, ගොඩබිම මෙන් විශාල සාගර ප්‍රදේශ පාලනය කිරීම නොව මුහුදු මාර්ග ආරක්ෂා කිරීම වැදගත් බවද යෝජනා කරනු ලැබුවා. බොහෝ රාජ්‍යන් අතර ප්‍රධාන ගැටළු තම ගොඩබිම හමුදාවන්ගේ හැකියාව මත හෝ, නාවික බලය මගින් තම ගොඩබිම හමුදාවන්ට එම කාර්යය කිරීම සඳහා ලැබෙන සහයෝගය මත, විසඳී ඇති බව පවසනු ලැබුවා. ඒ අනුව නාවික සහ ගොඩබිම් හමුදා සමග එක්වී කළයුතු සමූහ ක්‍රියාන්විත පිළිබදවත් මුහුදේ සිට ගොඩබිමට විහිදෙන ක්‍රියාන්විත සම්බන්ධවත් (Amphibious Warfare) සංකල්පනා ඉදිරිපත් කරනු ලබුවා.









අද්මිරාල් ඇල්ෆ්‍රඩ් තයාර් මහාන් (Admiral Alfred Thayar Mahan 1840-1914)





ඇමරිකානු නාවික නිළධාරියකු වූ මොහුගේ චින්තනය ඇමරිකා එක්සත් ජනපදයේ නාවික බලය ගොඩනැගීම, භාවිතා කිරීම සහ බල ප්‍රක්‍ෂේපණය සඳහා ඉවහල් වී ඇති බව පෙනී යයි. මහාන්ට අනුව රාජ්‍යන්/ අධිරාජ්‍යන් විටින් විට බලවත් වීමත් දුර්වල වීමත් සිදු වේ. තම බලය ස්ථාවර කර ගැනීම සඳහා රාජ්‍යයන්ට අවශ්‍ය කරනු ලබන ශක්තිය සහ ආර්ථික සෞභාග්‍ය උදාවනුයේ අන්තර්ජාතික වෙළඳාම සහ වාණිජ්‍ය කටයුතු මගින් බවත් ඒ සඳහා විශාල වෙළඳ නෞකා පද්ධතියක් හා බැඳුනු ආරක්‍ෂාව සහතික වු වරායන් ද අවශ්‍ය බවත්, එම වරායන් හා මුහුදු මාර්ග ආරක්‍ෂා කිරීමට බලවත් නාවික හමුදාවක් අවශ්‍ය බවත් ප්‍රකාශ කරන ලදි. ඒ අනුව තම ගොඩබිමෙන් එපිට ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශ ආරක්‍ෂා කිරීම සඳහා ජාත්‍යන්තර මිතුරන්ද (Allies/Partners) ඔවුන් හා කටයුතු කිරිමට අවශ්‍ය හමුදාවන්ද ස්ථාපිත කිරිමට ඇමරිකා එක්සත් ජනපදය ක්‍රියාකර ඇති බව පෙනේ.






අද්මිරාල් ඇල්ෆ්‍රඩ් තයාර් මහාන්








එසේ ක්‍රියාකරමින් ඇමරිකා එක්සත් ජනපදය විසින් දෙවන ලෝක සංග්‍රාමය වන විට ගොඩනගා තිබූ නාවික බලය සහ බල ප්‍රක්‍ෂේපණය කිරිමේ හැකියාව පැසැෆික් සාගරයේ බලය අත්පත් කර ගැනීමට ද ජපානය සමග සටන් කිරීමට ද උපකාරී වුනි. දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු ඇති වූ ගෝලීය ආරක්ෂක සබඳතා සහ උපක්‍රම අතර ඇමරිකාව විසින් ඇතිකරගන්නා ලද නාවික සබඳතා ප්‍රධාන තැනක් ගෙන ඇති අතර ඔවුන් අත්ලාන්තික් සාගරයේ සහ පැසිෆික් සාගරයේ ප්‍රධාන නාවික රාජ්‍යන් බොහොමයක් සමග සහයෝගීතාවයන් ගොඩනගමින් බල ව්‍යාප්තිය ඇති කරගෙන ඇත.





එහි දී ආසියානු පැසිෆික් කලාපයේ රටවල් වන ජපානය, ඕස්ට්‍රේලියාව, කොරියාව, නවසීලන්තය‍, පැසිෆික් දූපත් රටවල්, සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය, වියට්නාමය සහ අනෙකුත් ආසියානු රටවල් සමග ද ගිවිසුම් ගත සබඳතාවයන්ට ද එකඟතාවයන්ට ද එලඹ ඇත. එම සම්බන්ධතාවයන් හි ප්‍රධාන අරමුණ වී ඇත්තේ මුහුදු ගමන් මාර්ග හා ප්‍රදේශයන් ආරක්ෂා කිරීම මඟින් වෙළඳාමට සහ මුහුදු සම්පත් පරිහරණයට අවශ්‍ය සාමකාමී සහ ස්ථාවර වාතාවරණයක් ඇතිකිරීමය.





මෙම සාමුහික ආරක්‍ෂාව (Collective Security) මගින් සාගරයන්හි නීතියේ ආධිපත්‍යද, මුහුදු ප්‍රදේශයන්ට ප්‍රවේශවිමේ නිදහසද එමගින් විවෘත වු සාගර ප්‍රදේශයන්ද ස්ථාපිත කිරිමට හැකිවි ඇති බව ඇමරිකාව ඇතුළු අනෙකුත් රාජ්‍යයන් විශ්ලේෂණය කරනු ලබයි. ප්‍රධාන වශයෙන් එම සහයෝගීතාවයන් මගින් පෘතුවියෙන් 70%ක් පමණ වූ සාගරය ආරක්ෂා කිරීමේ අසීරු කාර්යය සාක්ෂාත් කර ගැනීම සදහා “බැරෑරුම්ව, සහයෝගීතාව මත පදනම් ව බෙදාගැනීම” (Burden Sharing) යන සංකල්පය මත පදනම්ව විසඳුම් සෙවීමට උත්සුක වී ඇත. මේ සඳහා එක් වී ඇති රාජ්‍යන් ‍බොහෝ විට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් මත ස්ථාපිත වූ නිදහස් රාජ්‍යන් බවද නිරීක්ෂණය කිරීම සාධාරණ යැයි හැ‍ඟේ.





කෙසේ වෙතත් චීන සමූහාණ්ඩු රාජ්‍යය පසුගිය දශක දෙක තුල දී දකුණු නැගෙනහිර චීන මුහුදේ උද්ගතවී ඇති සීමා ගැටළු පිළිබඳව පෙන්වා ඇති ක්‍රියා කලාපය, මෙතෙක් දෙවැනි ලෝක ‍මහා සංග්‍රාමයෙන් පසු සාගර කලාපයන් හි අත්කරගෙන ඇති සාමය සහ ස්ථාවරභාවයට තර්ජනයක් බව ඇමරිකාව ඇතුලු ඔවුන් සමග සහයෝගීතාවයෙන් කටයුතු කරනු ලබන රටවල් විශ්වාස කරනු ලබයි.





ඒ හේතුවෙන් ප්‍රබල නාවික හමුදාවකින් සමන්විත ඉන්දියාව ද මේ වන විට ඇමරිකානු එක්සත් ජනපදය සමග විශේෂ සම්බන්ධතාවන් ගොඩනගා ගැනීමට උත්සුක වී ඇත. මේ අතර මෙම වසර මුලදී එවකට ඇමරිකානු පැසිෆික් විධානයේ ආඥාපති වූ අද්මිරාල් හැරිස් (Admiral Harris) විසින් ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය හමුවේ ඉදිරිපත් කරන ලද කරුණුද සැලකිල්ලට ගැනීම වටී. එහිදී ඔහු විසින් ඉන්දියාව විශේෂ ආරක්ෂක සහකරුවකු ලෙස (Special Defense Partner) හඳුන්වනු ලැබීය. තවද, ඔහු ශ්‍රී ලංකාව, නැගී එන මූලෝපායික ආරක්ෂක සහකරුවකු වශයෙන්ද (Emerging Strategic Security Partner) සඳහන් කරන ලද බවද සැලකිල්ලට ගත යුතුය.






අද්මිරාල් හැරිස්








ඒ අනුව ඇමරිකාව ඉන්දියානු-පැසිෆික් සාගරයේ සිය සම්බන්ධතා වර්ධනය කර ගැනීමට පෙළඹී ඇති බව මනාව පැහැදිලි වන අතර, පසුගිය අගෝස්තු මාසයේදී ඇමරිකානු රාජ්‍ය ලේකම් විසින් කරන ලද ආසියා සහ නැගෙනහිර ආසියානු කළාප සංචාරයේදී ඔවුන්ගේ නව ආසියානු-පැසිෆික් උපාය මාර්ගයන් හෙලි දක්වන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුලු නැගෙනහිර සහ දකුණු ආසියානු රටවල් සඳහා ආරක්ෂක වැඩපිළිවෙලවල් වෙනුවෙන් විශේෂ ප්‍රතිපාදන වෙන් කිරීමට උත්සුක විය.





ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම මත, අප රට ප්‍රධානතම ජාත්‍යන්තර මුහුදු මාර්ගයන්ට ආසන්නව පිහිටා තීබීමත්, ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යක් වීමත්, අප රට ඉතිහාසය බොහෝ විට ගොඩනැගී ඇත්තේ සමුද්‍රීය සම්බන්ධතා මත පදනම් ව වීම නිසාත්, අප රටේ අනාගතය රඳා පවතිනුයේ සාගරය හා බැඳි ප්‍රතිපත්ති මත බැවිනුත් මෙම ගෝලීය තත්වයන් මනාව වටහා ගනිමින් ක්‍රියාකිරීම වැදැගත් වේ. එයින් ද අප නාවික ප්‍රතිපත්තිය කුමන ආකාරයකින් හැඩගැසිය යුතු ද, නාවික හමුදාවේ සංයුතිය කුමන ආකාරයකින් ගොඩනැගිය යුතු ද, කුමන ආකාරයේ ප්‍රතිපත්තීන් මත සම්බන්ධතා ගොඩනගා ගත යුතුද, ඒ අනුව නාවික හමුදාවේ යෙදවීම කුමන ආකාරයෙන් තීරණය කර ගත යුතු ද යන්නත් ඉතා කල්පනාකාරීව සහ සුභවාදී දැක්මකින් යුතුව නිර්ණය කල යුතුව ඇතැයි හැගේ.





චීන සමූහ ආණ්ඩුව ආර්ථික වශයෙන් ඉතා බලවත් ස්ථානයක පසුවන බැවින් ඔවුන් තනි රාජ්‍යක් වශයෙන් වූව ද ඔවුන්ගේ නාවික හමුදාවන ගොඩනැගීම මෙන්ම සම්බන්ධතා ඇති කර ගැනීම සදහා පෙළභී ඇති අතරම ජාතික අවශ්‍යතාවයන් සාක්‍ෂාත් කර ගැනිම සදහා අනෙකුත් රාජ්‍යන්ට අභියෝගාත්මක ආකාරයෙන් හැසිරෙන තත්වයක් ද මතුපිටින් පැහැදිලිව නොපෙනුන ද ඇති වී ඇත. ඔවුන් ඒ සදහා ඉහත සාකච්ඡා කරනු ලැබූ න්‍යායචාරීන්ගේ අදහස් හා සමාන අදහස් අනුගමනය කරමින් ඔවුන්ට ම ආවේනික ආකාරයෙන් ඉතා ඉවසීමෙන් කටයුතු කරමින් බල ප්‍රක්‍ෂේපණයට ඉදිරිපත් වී ඇති බව පෙනේ. ඒ අනුව චීනය, ශ්‍රී ලංකාව වැනි රටවල් සමග ඇති කරගෙන ඇති සම්බන්ධතා ඔවුන්ගේ බල ප්‍රක්ෂේපණයට අනුබද්ධ කර ඇති බව බටහිර රටවල් ද, ජපානය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, කොරියාව සහ අනෙකුත් බලවත් ආසියාතික රටවල්ද විශ්වාස කරනු ලබන බව පෙනී යයි.





තවද ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යන්ගේ නාවික ප්‍රතිපත්ති සහ උපාය මාර්ග සඳහා බොහෝ ආසියානු රටවල විරුද්ධතාවයක් පෙන්වා නොමැති හෙයින් අප අපගේ ප්‍රතිපත්තීන් මැනවින් කල්පනාකාරීව පිළියෙල කර ගත යුතුය. ඇමරිකා එක්සත් ජනපදය සහ ඔවුන් සමග සම්බන්ධ වී ඇති ඉන්දියාව, ජපානය,ඕස්ට්‍රේලියාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් සමග ගණුදෙනු ඉතා විනිවිද භාවයෙන් කළ හැකි බැවින් ඔවුන් සමග සම්බන්ධතාවයන් ඉදිරියට ගෙන යාම ඉතා වැදගත් සහ ඥානාන්විත යැයි මාගේ හැගීමයි. එමගින් චීන රාජ්‍යය වෙතින් ඈත් වීමක් පෙන්නුම් නොකරයි. අපරට චීනය සමග ඉතිහාසය පුරාවට පවත්වාගෙන ආ ආර්ථික, දේශපාලනීය සහ ආරක්ෂක සම්බන්ධතා මැනවින් කළමණාකරණය කර ගනිමින් ඉදිරියටත් පවත්වා ගැනීම අනිවාර්ය වේ. ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව සහ මැලේසියාව එලෙසම ඔවුන්ගේ එම සම්බන්ධතාවයන් මනා ලෙස කළමණාකරණය කර ගනිමින් ඇති බව පෙනී යයි. අප රට ද ඔවුන්ගේ ප්‍රතිපත්තීන් සලකා බැලීම වටී.









ප්‍රතිපත්ති සැකසීම





අප බොහෝ විට නාවික හමුදාවකින් විය යුතු රාජකාරි පිළිබද තර්කානුකූල කථිකාවතක නියැලී නොමැති බව පෙනී ගොස් යනු ඇත. අප රට තුල නීතිය හා සාමය පවත්වාගෙන යාම (Law Enforcement) සදහා දායකවීම නාවික හමුදාවේ ප්‍රධාන කාර්යය ලෙස සිතීමට බොහෝ දෙනා පෙළඹෙනු දැකිය හැක. එම කාර්යය ප්‍රධාන වශයෙන් පැවරී ඇත්තේ පොලිසිය ඇතුළු ආයතන වලට වන අතර පොලිස් දෙපාර්තමේන්තුව වෙත සහය අවශ්‍ය අවස්ථාවන්හිදී ලබා දීම යුධහමුදාව ප්‍රමුඛ නාවික හා ගුවන් හමුදා මගින් සිදුකල යුතුයි. නාවික හමුදාව ප්‍රධාන වශයෙන් මුහුදු වෙරළ වටා ආරක්‍ෂාව ද, නිරික්ෂණය ද (Coastal Surveillance) සිදු කරමින් ඈත දියඹේ අප හට අයිති මුහුදු ප්‍රදේශ ද අභ්‍යන්තර මුහුදු ප්‍රදේශ ද අප කලින් හදුනාගත් න්‍යායාචාර්යවරුන් පෙන්වා දුන් පරිදි වෙළද මාර්ගද ආරක්‍ෂා කිරිමට උත්සුක විය යුතුය.





නිරීක්ෂණය කළ යුතු මුහුදු ප්‍රදේශය විශාල හෙයින් "බැරෑරුම්භව සහයෝගිතාවය මත පදනම් වී බෙදා ගැනීම" (Burden Sharing) සඳහා අනෙකුත් රටවල් සමග ඇති සහයෝගිතාවය වැඩි දියුණු කර ගත යුතුයි. ඒ සදහා අපගේ යටිතල පහසුකම්, ධාරිතාව සහ හැකියාව (Capacity and Capability) දියුණු කළ යුතුයි. ඒ සදහා නොනැවතී පුහුණු කටයුතු වල යෙදිය යුතුය. තවද අනෙකුත් නාවික හමුදා සමග අන්තර්ක්‍රියාකාරිත්වය (Interoperability) සදහා පුහුණු විය යුතුය. ඒ සදහා සහයෝගිතාවයන් සහ එකගතාවයන්ට පැමිණීමෙන් විශ්වාසය ගොඩනගා ගත යුතුය. විශ්වාසය ගොඩනැගුණු විට සහයෝගිතාවය පුරුද්දක් බවට පත් වනු ඇත (Habit of Cooperation).









අප හට මෙම විශ්වාසය මත සහයෝගිතාව ගොඩනගා ගැනිමේ පුරුද්ද සම්පූර්ණයෙන්ම උකහා ගැනීමට නොහැකි වී ඇති බව මාගේ හැගීමයි. අප අනෙක් රටවල් සමග එකගතාවයන්ට එළඹීමට මැලි කමක් දක්වන බවක් පෙනේ. ඒ සදහා මුල පිරිමට ආරක්‍ෂක ප්‍රතිපත්තීන්ද ඒ මත අනුගත වූ සාගර සහ නාවික ප්‍රතිපත්තීන් ද උපාය මාර්ගයන් ද අවශ්‍ය වේ (Maritime Policy and Strategy). අප නාවික හමුදාව ඉහතින් සදහන් පුහුණු වීම සහ සහයෝගිතාවයන් වර්ධනය වාර්තමානයේ කරගෙන යන නමුදු අපගේ අනෙකුත් රාජ්‍ය ආයතන සමග සම්බන්ධව සම්පූර්ණ රාජ්‍ය ප්‍රවේශයක් (Whole of Government Approach) අනුව එකඟ වූ ප්‍රතිපත්තීන් ඉදිරියට ගෙන යාම කළ යුතු යැයි හැගේ. ආරක්ෂක ප්‍රතිපත්තීන් සැකසීම සදහා පසුගිය වසරේ ආරක්ෂක අමාත්‍යංශයෙන් පත් කරන ලද කමිටුවේ සාමාජිකයෙකු වශයෙන් මෙම කාරණා මා විසින් පැහැදිලිව ඉදිරිපත් කරන ලදී.









ආරක්ෂාව වැදගත් ඇයි ?





මෙහිදී ආරක්ෂාව යන සංකල්පය මානව හදුනාගැනිම වටී. ඉංග්‍රීසි භාෂාවේ Defense සහ Security යන සංකල්ප දෙකටම අප ආරක්ෂක යන නාමය භාවිතා කලද එය ජාතික ආරක්ෂාව යන සංකල්පය සමග සම්බන්ධ වු විට වෙනස් අර්ථකථනයන් ගනු ලබයි. Defense යනු - (The strategy and tactics of defending against an expected attack/ threat) අපේක්ෂිත ප්‍රහාරයන්ට හෝ තර්ජනයන්ට එරෙහිව ගනු ලබන ආරක්ෂක උපාය මාර්ග; එය ත්‍රිවිධ හමුදාවන්ගේ මූලිකත්වයෙන් සිදු වේ. Security යනු - (The creation of a lasting climate to ensure the survival and safety of all citizen; it’s a Whole of Government Approach) - සියළු පුරවැසියන්ගේ පැවැත්ම සහ ආරක්ෂාව සහතික කිරිම සදහා කල් පවතින වාතාවරණයක් නිර්මාණය කිරිම; එය රජයේ සමස්ත ප්‍රවේශයක් විය යුතුය.






ඒ අනුව ජාතික ආරක්ෂාව (National Security) විග්‍රහ කිරිමේ දී පහත කරුණු සැලකිල්ලට ගත යුතුය. ප්‍රධාන වශයෙන් ජාතික ආරක්ෂාව කෙරෙහි ආර්ථික, හමුදාමය, සාමාජීය, ආහාර, පරිසර, පුද්ගලික, බලශක්ති, සෞඛ්‍ය, දේශපාලනික ආරක්ෂාව සහ ස්ථාවරත්වය බැඳී ඇති බව න්‍යායාත්මකව පිළිගැනෙන කරුණකි.





මේ සදහා රජයේ සමස්ත ප්‍රවේශයකින් (whole of government approach) කටයුතු කිරිමේ දී රටක් සතු ජාතික බලයේ මූලද්‍රවයන් (Elements of national power) වශයෙන් හදුන්වනු ලබන රාජ්‍යතාන්ත්‍රික, බුද්ධිමය, හමුදාමය, ආර්ථික, මූල්‍යමය, තොරතුරු සහ නීතිය ක්‍රියාත්මක කිරිම {Diplomacy, Intelligence, Military, Economy, Finance, Information, Law enforcement, (DIMEFIL)} යන කාරණා හා සබැදි සියළු රාජ්‍ය ආයතනයන් එක්ව කලින් සදහන් කරනු ලැබූ Security යනුවෙන් හදුනාගත්, “සියළු පුරවැසියන්ගේ පැවැත්ම සහ ආරක්ෂාව සහතික කිරිම සදහා කල් පවතින වාතාවරණයක් නිර්මාණය කිරිම”, යන සංකල්පය මත ක්‍රියා කලයුතුය. ඒ සදහා ඉතා කෙටියෙන් හෝ හදුනාගත් ආරක්‍ෂක ප්‍රතිපත්තීන් පිලියෙල කිරිමද වැදගත් වේ.






ඒ අනුව පිලියෙල කරගනු ලැබූ නාවික උපාය මාර්ග ප්‍රතිපත්තින් මගින් ජාත්‍යන්තර හා දේශිය සම්බන්ධතා ගොඩනැගීමෙන්, අප වගකීමෙන් ජාත්‍යන්තර ආරක්‍ෂක පද්ධතියට දායක වන රාජ්‍යයක් බවට තවදුරටත් තහවුරු විය හැක. එමගින් අපහට නාවික කේන්ද්‍රස්ථානයක් සහ නාවික තොරතුරු මධ්‍යස්ථානයක් වෙත යන ගමනට මනා රුකුලක් සහ ස්ථාවරත්වයක් ලබා දිය හැක.





"අභිලාෂයන්, උපාය මාර්ග නොවේ (Aspiration are not strategies)"





අභිලාශයන් සාක්ෂාත් කර ගැනීමට උපාය මාර්ගයන් හදුනාගත යුතු අතර ඉන් පසු ක්‍රියාත්මක කළ යුතුය.

















අයේෂ් රණවක - විධායක අධ්‍යක්ෂක, CENORA – SL Centre for Ocean Resources Analysis Sri Lanka (සාගර සම්පත් විශ්ලේෂණ සඳහා වු ශ්‍රී ලංකා මධ්‍යස්ථානය)


0 comments: