Hot!

ඝාතනයෙන් සියවසකට පසු

48 හැවිරිදි වියේ පසුවූ රෝසා ලක්සම්බර්ග් ඇයගේ යුගයේ සිටි වඩාත්ම කැපී පෙනෙන මාක්ස්වාදී විප්ලවවාදීන් ගෙන් අයෙකු විය. 

පීටර් ෂ්වාට්ස්

ලෝක ඉතිහාසයේ සිදුවූ වඩාත්ම බිහිසුනු සහ ආනුෂාංගික අපරාධයක් අද දින ශත සංවත්සරය සනිටුහන් කරයි. 1919 ජනවාරි 15 වනදා බර්ලීනයේ දී ගාර්ඞ්-කවලහී-ශුට්සන් කොට්ඨාශයේ ෆ්‍රයිකොර් සෙබලුන් විසින් ඊට සති දෙකකට පෙර පිහිටවනු ලැබූ ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ (කේපීඩි) නායකයන් දෙදෙනා වන රෝසා ලක්සම්බර්ග් සහ කාර්ල් ලිබ්නෙක්ට් අත්අඩංගුවට ගන්නා ලදී. සොල්දාදුවන් ඔවුන්ව ඊඩන් හෝටලය වෙත ගෙන යන ලදී. එහිදී වද බන්ධනයන්ට ඔවුන් ව ලක් කොට පසුව එයින් බැහැරට ගෙන ගොස් මරා දමන ලදී.

48 හැවිරිදි වියේ පසුවූ රෝසා ලක්සම්බර්ග් ඇයගේ යුගයේ සිටි වඩාත්ම කැපී පෙනෙන මාක්ස්වාදී විප්ලවවාදීන් ගෙන් අයෙකු විය. එඩුවාඞ් බර්න්ස්ටයින්ගේ ප්‍රතිසංස්කරනවාදයට සහ පලමු ලෝක යුද්ධය තුල සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ යුද්ධයට පක්ෂ පිලිවෙත් වලට එරහි ඇයගේ තියුනු තර්ක සම්බන්ධයෙන් ඇය කුප්‍රකටව සිටි අතර එස්පීඩී හී විප්ලවවාදී අංශයේ සහ පසුව ස්පාටකස් ලීගයේ අවිවාදිත න්‍යායික නායිකාව වී සිටියාය.

රෝසා ලක්සම්බර්ග් සහ කාර්ල් ලිබ්නෙක්ට්
එස්පීඩී හි ආදී කතෘ වූ විල්හෙම් ලිබ්නෙක්ට් ගේ පුත්‍රයා වූ සහ ලක්සම්බර්ග්ගේ සම වයසේ සිටි කාර්ල් ලිබ්නෙක්ට්, යුදවාදයට සහ යුද්ධයට, සමහන් කල නොහැකි ප්‍රතිවිරෝධයක් මූර්තිමත් කලේය. එස්පීඩී පාර්ලිමේන්තු නියෝජිතයෙකු ලෙස, තමන්ගේම පක්ෂයට එරහිව, යුද නය ප්‍රතික්ෂේප කරමින් කල කැරලි ගැසීමේදී දැක්වූ නිර්භීතභාවය සහ ධෛර්යයසම්පන්නභාවය හා වධහිංසා පැමිනවීම් සහ මර්දනය හමුවේ පවා යුද්ධයට එරහිව සටන් සහ උද්ඝෝෂනය කිරීම නිසා දශ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ගේ ගෞරවය ඔහු දිනා ගත්තේය. 1918 නොවැම්බර් විප්ලවයේදී ඔහු ධනපති ක්‍රමය පෙරලා දැමීම සඳහා සටන් කලේය. නොවැම්බර් 9 වෙනිදා පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී ඔහු නිදහස් සමාජවාදී ජර්මානු ජනරජයක් ප්‍රකාශයට පත් කලේය.

දුබල රෝසා ලක්සම්බර්ග් හට ඊඩන් හෝටලයේ ප්‍රවේශ ශාලාව තුලදී රයිෆල් මිටකින් ඇද වැටෙන්නට පහර දුන් අතර පසුව කාරයක් වෙත ගෙන ගොස් වෙඩි තැබීය. ඇගේ සිරුර ලෑන්ඩ්වර් ඇල මාර්ගයට විසි කර දැමුනු අතර මාස ගනනාවකට පසුව එය එහි තිබී සොයා ගන්නා ලදී. කාල් ලිබ්නෙක්ට් හට ටියගාටන් හීදී ඉතා සමීපව සිට වෙඩි තුනක් තබා ඝාතනය කෙරුනි. මාධ්‍ය පසුව වාර්තා කලේ පැන යාමට තැත් කිරීමේදී ලිබ්නෙක්ට්ට වෙඩි තැබූ අතර ලක්සම්බර්ග් කෝපාන්විත කැරලිකරුවන් විසින් ඝාතනය කල බවය.

ලක්සම්බර්ග් ගේ සහ ලිබ්නෙක්ට්ගේ ඝාතනයන් ප්‍රති විප්ලවවාදී ප්‍රචන්ඩත්වයේ නව අවධියක් සනිටුහන් කලේය. මීට ප්‍රථමයෙන් ධනපති රාජ්‍යය කෲර ලෙස සමාජවාදී විරුද්ධවාදීන් සම්බන්ධයෙන් ක්‍රියා කොට තිබුනු අතර 1871 පැරිස් කොමියුනය මර්දනය කිරීමෙන් පසුව සිදු කල ආකාරයට සමූහ ඝාතනයන් සිදු කරමින් විප්ලවවාදී කම්කරුවන්ගෙන් ලේවැකි ලෙස පලිගන්නා ලදී. නමුත් විප්ලවවාදී පක්ෂයේ නායකයන්ව, රාජ්‍යයේ කොටස් විසින් නඩු විභාගයක් හෝ නඩු තීන්දුවක් රහිතව මරා දැමීම, නව ප්‍රපංචයක් වූ අතර එය අනෙකුත් අය විසින් අනුගමනය කල පූර්වාදර්ශයක් ඇති කලේය. ආධිපත්‍යධාරී සාර් රෙජීමය පවා සාමාන්‍යයෙන් සිදුකලේ සමාජවාදී විරුද්ධවාදීන්ව සයිබීරියාවට පිටුවහල් කිරීමය.

ආත්මීය සාධකය, එනම් ලෙනින්ගේ, ට්‍රොට්ස්කිගේ සහ බෝල්ශෙවික් පක්ෂයේ භූමිකාව, කම්කරු පන්ති විප්ලවය ජයග්‍රහනය කරා මෙහෙයවීමේදී තීරනාත්මක වූ බව රුසියානු විප්ලවයෙන්, ජර්මානු පාලක පන්තිය තේරුම් ගෙන තිබිනි.

ඝාතනයන්ට දින කිහිපයකට පෙර “ඔවුන්ගේ නායකයන් මරා දමනු!” යන සටන් පාඨය සහිත අත් පත්‍රිකා බර්ලීන නගරය පුරා බෙදා හැරුනි. මිනීමරුවන් සිය කටයුතු ඉදිරියට කරගෙන ගියේ රාජ්‍යයේ ඉහලම මට්ටම් වල අනුමැතිය ඇතිවය.

රෙයික්වර් සඳහා වග කිවයුතු අමාත්‍යවරයා සහ ප්‍රමුඛ එස්පීඩී සාමාජිකයෙකු වූ ගුස්ටාව් නොස්ක්, සිය කෲර ප්‍රචන්ඩකාරීත්වය සම්බන්ධයෙන් කුප්‍රකට ගාර්ඞ්-කවලහී-ශුට්සන් හමුදා කොට්ඨාශය, විප්ලවවාදී කම්කරුවන්ට එරහිව ක්‍රියාත්මක කරවීමට බර්ලීනයට මෙහෙයවීය. 1918 ලේවැකි නත්තල අතරතුර ඔවුන්, බර්ලින් මාලිගය අත්කරගෙන සිටි කැරලිකාර නාවුකයන් වෙත කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන ලද අතර ම්ලේච්ඡ ලෙස ස්පාටකස් නැගී සිටීම මර්දනය කරන ලදී.

1919 මැයි මසදී යුද්ධාධිකරනය විසින් ලක්සම්බර්ග්ගේ සහ ලිබ්නෙක්ට්ගේ ඝාතනයන්ට සෘජුවම වගකිව යුතු නිලධාරීන් චෝදනා වලින් නිදහස් කල විට නොස්ක් එම චෝදනාවලින් නිදහස් කිරීමට පුද්ගලිකවම අත්සන් කලේය. ගාර්ඞ්-කවලහී-ශුට්සන් කොට්ඨාශයේ නායකයා ලෙස ලක්සම්බර්ග් සහ ලිබ්නෙක්ට් ඝාතනය කිරීමට නියෝගය නිකුත් කල වැල්ඞ්මා පැබ්ස්ට් හට කිසිදු දිනක චෝදනා ගොනු නොකෙරුනි. ඔහුට සිය වෘත්තීය නාසීන් යටතේ සහ පශ්චාත් යුද ෆෙඩරල් ජනරජය තුල සිදු කරගෙන යාමට හැකිවූ අතර 1970 දී ධනවත් ආයුධ වෙලෙන්දෙකු ලෙස මිය ගියේය.

අද දක්වාම එස්පීඩී ය, ලක්සම්බර්ග්ගේ සහ ලිබ්නෙක්ට්ගේ ඝාතන වලට තමන්ගේ ඇති වගකීම මතභේදයට ලක්කරයි. නමුත් ඝාතන වලට ආසන්නයේදී පැබ්ස් නොස්ක් හට ටෙලිෆෝනයෙන් කතා කල බව නිශ්චිතය. තමන්ට නොස්ක්ගෙන් කටයුත්ත සිදුකිරීමට අවසර ලැබුන බව පැබ්ස් පසුව අවස්ථා කිහිපයකදීම තහවුරු කලේය. ඔහුගේ මරනයෙන් පසු හමුවූ 1969 දී ඔහු විසින් ලියන ලද ලිපියකට අනුව “නොස්ක්ගේ සහයෝගය (ඊබට් පසුබිමෙන් සිටියදී) රහිතව මට එම කටයුත්ත සිදුකිරීමට කිසිදු මාර්ගයක් නොතිබූ බව සහ මට මගේ නිලධාරීන් ආරක්ෂා කර ගැනීමට සිදුවූ බව ඉතා පැහැදිලියි. සාක්ෂි දීම සඳහා මාව කැඳවුයේ නැත්තේ හෝ වරදක් සම්බන්ධයෙන් මට චෝදනා එල්ල නොකෙරුනේ කුමක් නිසාද යන්න තේරුම් ගෙන ඇත්තේ අල්ප දෙනෙක් පමනි. ඒ අවස්ථාවේ අපගේ එකමුතුව පිලිබඳ වසර පනහක් පුරාවට කට වසාගෙන සිටීම මගින්, ප්‍රභූ පරිවාරකයෙකු ලෙස මම එස්පීඩී යේ හැසිරීම පිලිගත්තා.”

නොවැම්බර් මාසයේදී ජර්මනිය පුරා ලැව් ගින්නක සේ පැතිර ගිය විප්ලවය, රුසියාවේදී සිදු කලාක් මෙන් ධනවාදය පෙරලා දැමීම වැලැක්වීම සඳහා, පාලක පන්තියට ලක්සම්බර්ග් සහ ලිබ්නෙක්ට් මරා දැමීමට සිදු විය. විප්ලවයේ මුල් දින කිහිපය තුල යටත් වූ හොහෙන්සොලර්න් රෙජීමය, ආරක්ෂා කරගැනීමට නොහැකි විය. නමුත් මෙමගින් සිදු කලේ එහි සහයෝගයේ පදනම වන කාර්මික සහ මූල්‍ය ප්‍රාග්ධනය, විශාල ඉඩම් හිමියන්, මිලිටරි කුලය, සහ ප්‍රතිගාමී අධිකරනය, පොලීසිය, සහ පරිපාලන සංවිධාන මගින් තමන්ගේ සමාජ තත්වය ආරක්ෂා කර ගැනීම සඳහා තව තවත් අධිෂ්ඨාන සහගත කිරීම පමනි.

මේ සඳහා ඔවුන්, 1918 නොවැම්බර් 9 වනදා නව ආන්ඩුවක් පිහිටුවීමට එස්පීඩී යේ නායක ෆෙඩ්රික් ඊබට් හට ආරාධනා කරන ලදී. ඒ මොහොතවන විට පූර්වගාමී අවුරුදු හතර පුරාවට එස්පීඩී ය, පලමු ලෝක යුද්ධයට සහය දීම හරහා ධනේශ්වර පාලනයට තමන්ගේ ඇති කොන්දේසි විරහිත පක්ෂපාතීත්වය ප්‍රදර්ශනය කර තිබුනි. ඊබර්ට් වහාම හමුදාවේ සාමාන්‍ය කාර්යය මන්ඩලය සමග විප්ලවය මර්දනය කිරීමට පෙල ගැසුනි.

මෙසේ පලමු විප්ලවවාදී රල ලේවැකි ආකාරයෙන් මර්දනය කල නමුත්, මෙය කොහෙත්ම කුමන පන්තිය පාලනය කරනු ඇත්ද යන ප්‍රශ්නය විසඳුවේ නැත. කේපීඩී ය ඉමහත් ලෙස වාසිදායක විප්ලවවාදී අවස්ථාවක් මගහැර ගත් සහ සූදානමින් සිටි නැගීසිටීමක් අවසාන මිනිත්තුවේ නතර කල 1923 ඔක්තෝබර් දක්වා නිරන්තරයෙන් වර්ධනය වන පන්ති අරගල සහ විප්ලවවාදී අවස්ථාවන් පුපුරා ගියේය.

මීට අමතරව 1918-19 අතර කාලයේ, කේපීඩී ය පිහිටුවීමත් සමග, එස්පීඩී යේ පාවාදීම් සහ ස්වාධීන සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ (යූඑස්පීඩී) මධ්‍යස්ථ පිලිවෙත් පැරදවීමෙහිලා ඉතා වැදගත් ඉදිරිපියවරක් ගැනුනි. 1917 දී යූඑස්පීඩී ය පිහිටවූයේ යුද නය සඳහා පිටුබලය දීම ප්‍රතික්ෂේප කිරීම නිසා එස්පීඩී ය විසින් පිටුවහල් කරන ලද නියෝජිතයන් විසිනි. කෙසේ වෙතත් යූඑස්පීඩී ය 1918 දී ඊබර්ට් ගේ ආන්ඩුවට ඇතුලු වී එහි නිරුවත වසා ගැනීමට සහය වන වාමාංශික කඩතුරාවක් ලෙස කටයුතු කරන ලදී.

කේපීඩීයේ පරිශ්‍රමය වන්නේ හොහෙන්සොලර්න් රෙජීමය වෙනුවට ධනේශ්වර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් ආදේශ කිරීමට නොව ඒ වෙනුවට ධනේශ්වර පාලනය පෙරලා දැමීම බව රෝසා ලක්සම්බර්ග් විසින් සම්පාදනය කරන ලද කේපීඩී හී ආරම්භක ලියවිල්ල ඉතා පැහැදිලි ලෙස අවධාරනය කලේය.

නොවැම්බර් 9 වනදා හොහෙන්සොලර්න් රෙජීමය බලයෙන් පහ කෙරී කම්කරුවන්ගේ සොල්දාදුවන්ගේ කවුන්සිලයන් තෝරා පත් කර ගැනුනු අතර වැඩපිලිවෙල මෙසේ සඳහන් කලේය. “නමුත් හොහෙන්සොලර්න්වරුන් යනු අධිරාජ්‍යවාදී ධනේශ්වරයේ සහ ජර්මානු වංශාධිපතින්ගේ ඉදිරි කන්ඩායම හැර ඊට වඩා වැඩියමක් නොවේ. ප්‍රන්සයේ, රුසියාවේ, එංගලන්තයේ, යුරෝපයේ සහ ඇමරිකාවේ මෙන් ජර්මනියේද ලෝක යුද්ධයට වගකිව යුතු සැබෑ අපරාධකරුවන් වන්නේ ධනේශ්වරයේ පන්ති පාලනයයි. සමූල ඝාතනයේ සැබෑ පොලඹවන්නා වන්නේ සියලුම රාජ්‍යයන් හී ධනපතියන්ය. මිලියන ගනනක් දුම් දමන මිනිස් බිලි ගිල දමන ලේ වැකි බොක්ක සහිත කෑදර බාල් දෙවියා වන්නේ ජාත්‍යන්තර ප්‍රාග්ධනයයි.”

විකල්පයන් වූයේ, ප්‍රතිසංස්කරනය හෝ විප්ලවය නොව සමාජවාදය හෝ ම්ලේච්ඡත්වය බව වැඩපිලිවෙල අවධාරනය කලේය. “ලෝක යුද්ධය විසින් සමාජයන් මෙම තෝරාගැනීම සමග අභිමුඛ කරවයි: එක්කෝ ධනවාදය, නව යුද්ධයන් දිගටම පවත්වාගෙන යාම සහ ව්‍යාකූලත්වයට සහ අරාජිකත්වයට ඉතා ඉක්මනින් පිරිහීම, හෝ ධනපති සූරාකෑම විනාශකර දැමීම... ධනපති සමාජයේ ගරා වැටුනු බල කඳවුරු වලට ඉහලින් බිත්තියේ කොටා ඇති ගිනියම් අකුරු වන්නේ කොමියුනිස්ට් ප්‍රකාශනයේ ඇති වචනයි: සමාජවාදය හෝ ම්ලේච්ඡත්වය”

ලක්සම්බර්ග් ගේ අනතුරු ඇඟවීම් වසර දාහතරකට පසුව තහවුරු වීමට නියමිතව තිබුනි. වයිමාර් ජනරජය ජයග්‍රාහී ප්‍රජාතාන්ත්‍රික විප්ලවයක නිෂ්පාදනයක් නොව, ප්‍රති විප්ලවවාදී ප්‍රචන්ඩත්වයක නිෂ්පාදනයකි. ලක්සම්බර්ග් ගේ සහ ලිබ්නෙක්ට් ගේ ඝාතනයන් අවසාන වශයෙන් නාසීන් බලයට ඒමට තුඩු දුන් වර්ධනයක් ආරම්භ වීමට හේතු විය. ඔවුන් පදනම් වුයේද ඊබට් රෙජීමය විසින් මුදාගෙන තිබූ සහ ශක්තිමත් කොට තිබූ සමාජ බලවේගයන් මතමය. හිට්ලර්ගේ පැරා-මිලිටරිය වූ “එස්ඒ” මතුවී පැමිනියේ ෆ්රෙයිකෝප්ස් වරුන්ගෙනි.

ලක්සම්බර්ග් සහ ලිබ්නෙක්ට්ගේ ඛේදවාචකයේ එක් කොටසක් වූයේ ඔවුන්ගේ විරුද්ධවාදීන්ගේ ප්‍රතිවිප්ලවවාදී අධිෂ්ඨානය ඔවුන් විසින් අවතක්සේරු කිරීමයි. එසේ නොවුනානම්, ඔවුන්ව අත්අඩංගුවට ගත් අයට අසු නොවී සීටීමට, වඩා හොඳ ක්‍රියාමාර්ගයන් සහ ආරක්ෂක පියවරයන් ඔවුන්ට තෝරා ගන්නට තිබුනි.

තමන්ගේ වඩාත් වැදගත් නායකයන් දෙදෙනාගේ මරනය කේපීඩී යට විනාශකාරී පහරක් විය. අවුරුදු දෙකක් තුල මිලියන කාලක පමන සංවිධානයක් බවට සීග්‍රයෙන් වර්ධනය වූ තරුන පක්ෂය තුල පැහැදිලිකමේ සහ තහවුරු වීමේ අත්‍යවශ්‍ය ක්‍රියාවලියට එමගින් බාධා පැමින වුනි. එමෙන්ම එය තීරනාත්මක විප්ලවීය අවස්ථාවන් තුල පක්ෂය දුර්වලද කලේය. උදාහරනයක් ලෙස, තීරන ගැනීමට නොහැකි හෙන්රික් බ්‍රැන්ඞ්ලර් වෙනුවට එහි නායකත්වයේ රෝසා ලක්සම්බර්ග් හෝ කාල් ලිබ්ක්නෙක්ට් සිටියේ නම් 1923 ඔක්තෝබර් මාසයේ කේපීඩී ය බලය ගන්නට තිබූ බවට ඕනෑ තරම් සාධක ඇත.

ලක්සම්බර්ග් සහ ලිබ්නෙක්ට් 1919 දී දිවිගලවා ගත්තේනම්, ජර්මානු ඉතිහාසය පමනක් නොව ලෝක ඉතිහාසයද වෙනස්වන්නට තිබුනි. ජර්මනිය තුල ජයග්‍රාහී සමාජවාදී විප්ලවයක් සෝවියට් සංගමය එහි හුදකලා වීමෙන් නිදහස් කිරීමට ඉඩ තිබුන අතර එමගින් නිලධාරී තන්ත්‍රයේ වර්ධනය සහ ස්ටාලින්ගේ නැගී සිටීමට හේතු වූ වඩාත්ම වැදගත් සාධකය ඉවත්වන්නට තිබුනි.

කේපීඩී ය, සම්මුති විරහිත ජාත්‍යන්තරවාදී රෝසා ලක්සම්බර්ගේ නායකත්වය යටතේ, ස්ටාලින් ගේ ජාතිකවාදී ක්‍රියාමාර්ගයට හිස නැමීම හෝ 1933 හිට්ලර් හට බලයට ඒමට මග විවර කල ස්ටාලින්ගේ සමාජ ෆැසිස්ට්වාදය පිලිබඳ පිලිවෙතට සහය දීම සිදුවිය නොහැක්කකි. නාසීන්ට එරහිව “සමාජ ෆැසිස්ට්වාදී” එස්පීඩී ය සමග එක්සත් පෙරමුනක් වෙනුවෙන් සටන් කිරීමට ස්ටාලින් සහ ඔහුගේ ජර්මානු ආදේශකයා වන තල්මාන් ප්‍රතික්ෂේප කිරීම කම්කරු පන්තිය බෙදා වෙන් කොට අඩපන කලේය. සියදහස් ගනනක් සාමාජිකයන් සහ මිලියන ගනනක් ඡන්ද දායකයන් සිටි කේපීඩීයේ නිවැරදි පිලිවෙත මත පදනම්ව කම්කරු පන්තියට හිට්ලර් බලයට එම වලක්වාගැනීම හැකිවන්නට තිබුනි.

රෝසා ලක්සම්බර්ග් ගේ මරනයෙන් වසර සීයකට පසුව, දේශපාලන ප්‍රවනතාවයන් ගනනාවක්, ඇය වාමාංශික ප්‍රතිසංස්කරනවාදියෙකු හෝ ස්ත්‍රීවාදිනියක ලෙස මූර්තිමත් කිරීම හරහා, ඇය සමඟ පෑහීමට උත්සාහ ගනිමින් සිටියි.

ලක්සම්බර්ගේ දේශපාලනයට වඩා නොස්ක් සහ ඊබට් ගේ දේශපාලනයට වඩා සමීප වාමාංශික පක්ෂයේ නායකයන් මෙම වසරේ නැවත වරක් සම්මුති විරහිත විප්ලවවාදිනියගේ සොහොන වෙත රතු කානේෂන් තැබීම සඳහා යන වන්දනා ගමන ගියේය. සංස්කෘතිය පිලිබඳ බර්ලීන රාජ්‍ය සෙනෙට් සභික වාමාංශික පක්ෂයේ ක්ලවුස් ලෙඩර්ර විසින් Zitty (සිටී) සඟරාවට පැවසුවේ ලක්සම්බර්ග් “සමාජ වෙනස පූර්න ප්‍රජාතන්ත්‍රීයකරනයේ සහ පරිවර්තනයේ ක්‍රියාවලියක් ලෙස හඳුනාගත් බවත් ව්‍යාපාරද ඇතුලුව සමාජයේ සියලුම විෂය ක්ෂේත්‍ර ප්‍රජාතන්ත්‍රීයකරනය කිරීමට උත්සාහ ගත්” බවත්ය. කේපීඩී ය පිහිටුවීමේ ශතවර්ෂ පූර්න සංවත්සරය පිලිබඳ ප්‍රකාශනයක වාමාංශික පක්ෂයේ ඓතිහාසික කොමිසම අවධාරනය කලේ ලක්සම්බර්ගේ මරනයත් සමග “කේපීඩීය බෝල්ශෙවික් මොඩලය අනුගමනය නොකල වාමාංශික-සමාජවාදී පක්ෂයක් බවට” වර්ධනය කිරීමේ හැකියාව විනාශ වූ බවයි.

යථාර්තයේදී ලක්සම්බර්ග් යනු “වාමාංශික-සමාජවාදී” ලෙස වාමාංශික පක්ෂය විසින් හඳුන්වන පිලිවෙත් වල නිර්දය විරුද්ධවාදිනියෙකි. ඇගේ ලේඛන වලින් වැඩි කොටසක් සමන්විත වූයේ එඩුවාඞ් බර්න්ස්ටයින්ට, කාල් කවුට්ස්කිට සහ පන්ති අරගලය තීව්‍ර වෙත්දී නියත ලෙස මාර්ග බාධක වල ධනේශ්වර පැත්තේ සිට ගත් එම පිලිවෙත් වල අනෙකුත් නියෝජිතයන්ට එරහි තර්ක විතර්ක වලිනි.

මේ යූඑස්පීඩී ය ඊබට් ආන්ඩුවට ඇතුලු වී සති තුනකට පසු Die Rote Fahne(රතු කොඩිය ) පුවත් පතේ පලකෙරුනු ලිපියක් පිලිබඳ උදාහරනයකි.

“ස්වාධීන සමාජ ප්‍රජාතන්ත්‍රවාදය නිසඟවම දුර්වල දරුවෙකු වන අතර සම්මුතියකට එලඹීම එහි පැවැත්මේ සාරයයි... එය හැමවිටම සිදුවීම් සහ වර්ධනයන්ගේ පිටුපසින් ගාටයි; එය කිසි දිනක නායකත්වය ගත්තේ නැත... ජනතාව අතර ව්‍යාකූලත්වයට හේතුවන කුමන හෝ අපැහැදිලි මුලාවක... රැවටිල්ල පතුරවන, යුද්ධය අතරතුර විප්ලවවාදී විකල්පයේ නිරුවත් සාධක වහංගු කල, සියලුම ධනේශ්වරය ඔජ වඩවන වාක්‍ය ඛන්ඩ, ඔවුන්ගේ උනන්දු සහගත සහය දිනා ගනී...

“මේ තත්වයේ පවතින පක්ෂයක් හදිසියේම විප්ලවය සඳහා වන ඓතිහාසික තීරන වලට මුහුනදුන් අතර දුර්මුඛ ලෙස අසමත් වීමට සිදු විය...දිනයේ ප්‍රයෝගික කර්තව්‍ය බවට අවසාන වශයෙන් සමාජවාදී ඉලක්කයන් පත් කල, විප්ලවවාදී කම්කරුවන්ගේ කඳවුර සහ විවෘත මෙන්ම වෙස්වලා ගත් සමාජවාදයේ සහ විප්ලවයේ හතුරන් අතර තියුනුම, වඩාත්ම නිර්දය වෙන්වීම, ඉහලම රාජකාරිය බවට පත් කල පැයේදී, ජනතාව ව්‍යාකූලකිරීමට සහ ද්‍රෝහීත්වයට පහසුකම් සැලසීමට, ස්වාධීන පක්ෂය වඩාත්ම භයානක ප්‍රතිවිප්ලවවාදයේ මධ්‍යස්ථානය සමග දේශපාලන හවුලකට ඇතුලු වීමට කඩිනම් විය.”

මෙම වචන යූඑස්පීඩී යටත් වඩා දකුනට ගොස් තිබෙන වාමාංශික පක්ෂය විස්තර කිරීමටද යොදා ගත හැක.

ස්ත්‍රීවාදය සහ සුලු ධනේශ්වර කවයන් තුල මේ වන විට ප්‍රචලිත අනන්‍යතා දේශපාලනයේ අනෙකුත් ස්වරූපයන් සම්බන්ධයෙන් ලක්සම්බර්ග් අවඥාසහගත වන්නට තිබුන බව පිලිගැනීමට විස්තර ප්‍රචාරකයන් ගනනාවකට බල කෙරී ඇත. එල්ක් ශුමිටර් විසින් ඩර් ස්පිගල් හී ලියූ ආකාරයට, උපත හෝ ලිංගිකත්වය, තරාතිරම හෝ ආගම හේතුකොට ගත් වරප්‍රසාද නොලත් තත්වය පිලිබඳ වර්තමාන ඉල්ලා සිටීම ඇයව අප්‍රසන්න කරවන්න ඉඩ තිබුනි. ලක්සම්බර්ග් ට අනුව පීඩාවට පත් කිරීමේ සියලුම ස්වරූපයන් යටපත් කිරීම වෙන්කල නොහැකි ලෙස ධනපති ක්‍රමය පෙරලාදැමීම සමග බැඳී තිබුනි.

ලක්සම්බර්ගේ මරනයෙන් වසර සියයකට පසු, 1914-45 කාලය මානව ඉතිහාසයේ වඩාත්ම ප්‍රචන්ඩ කාලවකවානුව බවට පත් කල ධනපති ක්‍රමයේ සියලුම ප්‍රතිඝතිතාවයන් නැවත වතාවක් විදාරනය වෙමින් පවතී. ජාතිකවාදය, වෙලඳ යුද්ධය සහ යුද්ධ, ජාත්‍යන්තර සබඳතාවයන් මත ආධිපත්‍ය දරයි. අන්ත දක්ෂිනාංශික ෆැසිස්ට් බලවේග, රාජ්‍යයේ පැහැදිලිව පෙනන හෝ සැඟවුනු සහයෝගය සහිතව ප්‍රචන්ඩකාරී ලෙස රටවල් ගනනාවක ක්‍රියා කරයි. ජර්මනිය තුල, සරනාගතයන් පිලිබඳ පිලිවෙත මෙහෙයවමින් සිටින්නේ අන්ත දක්ෂිනාංශික ඒඑෆ්ඩී ය විසින් වන අතර වැල්ඞ්මා පැබ්ස්ට් හට එය තම සාමාජික නිවස්නය ලෙස දැනෙන්නට වුවද ඉඩ තිබුනි. හමුදාව, පොලිසිය සහ බුද්ධි අංශ ඒජන්සි තුල දක්ෂිනාංශික අන්තවාදී ජාලයන් ක්‍රියාත්මක අතර රාජ්‍යයේ ඉහලම තරාතිරම් වලින් එයට සහයෝගය දක්වමින් සහ ඒවා හෑල්ලු කොට දක්වමින් සිටී.

මෙය ලිබ්නෙක්ට් ගේ සහ ලක්සම්බර්ගේ උරුමයට දැවෙන යථා බවක් ලබා දෙයි. ලක්සම්බර්ග් 1918 දී සූත්‍රගත කරන ලද ආකාරයට සමාජය නැවත වරක් “එක්කෝ නව යුද්ධයන් හා ධනවාදය දිගටම පවත්වාගෙන යාම සහ ව්‍යාකූලත්වය හරහා අරාජිකත්වයට ඉතා ඉක්මනින් පිරිහීමට, හෝ ධනපති සූරාකෑම විනාශකර දැමීමට” අභිමුඛවී සිටී. අන් කවරදාටත් වඩා වැඩියෙන් මානව වර්ගයාගේ අනාගතය, මාක්ස්වාදයේ උරුමය මත පදනම්ව සමාජවාදී ජාත්‍යන්තරවාදී පක්ෂයක් ගොඩනැගීම මත රඳා පවතී. ජාත්‍යන්තර කමිටුව විසින් අද දින නායකත්වය සපයන හතරවන ජාත්‍යන්තරය සහ එහි ශාඛාවන් වන සමාජවාදී සමානතා පක්ෂයන් පමනක් මෙම සම්ප්‍රදායන් අන්තර්ගතකර ගන්නා එකම දේශපාලන ප්‍රවනතාවය වෙයි.

0 comments: