Hot!

මෙරට ප්‍රතිපත්තිමය අර්බුද සමනය කිරීමට නිසි ප්‍රතිපත්ති ඒකාබද්ධකරණයක් අවශ්‍ය කර තිබේ






ආචාර්ය ඉන්දි අකුරුගොඩ







ප්‍රතිපත්ති ඒකාබද්ධකරණය (policy integration) යනු, රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳ අධ්‍යයනය කරන්නන් අවධානයට ලක් කරන සංකල්පයකි. නමුත්, මෙම විෂය ක්ෂේත්‍රය තවමත් ශ්‍රී ලංකාවට ආගන්තුකය. ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ රාජ්‍ය පරිපාලනය තුළ මෙම සංකල්පය ප්‍රගුණ කළ හැකිනම් අප අද මුහුණ දෙමින් සිටින බොහෝ අර්බුද විසඳා ගැනීම සඳහා මහත් සහයක් ලබා ගත හැකි වනු ඇත.






ප්‍රතිපත්ති ඒකාබද්ධකරණය ලෙස අදහස් වන්නේ, ප්‍රතිපත්ති ක්‍රියාකාරිකයන් සහ විෂය ක්ෂේත්‍ර ඒකාබද්ධ කිරීම හරහා රාජ්‍ය ප්‍රතිපත්ති අතර ඇතිවන ගැටුම්, බෙදීම් සහ පරස්පරතා අවම කර ගැනීමයි. මෙය රාජ්‍යයකට සහ එහි ජනතාවට දිගුකාලීන වශයෙන් වාසි සැලසෙන ක්‍රියාවලියකි.






ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන්හි තිබෙන ප්‍රධානම ගැටලුව වන්නේ, රාජ්‍ය ප්‍රතිපත්ති ඒ ඒ ක්‍රියාකාරිකයාට, විෂය ක්ෂේත්‍රයට හෝ ආයතනයට සීමා වීම සහ ඉන් ඔබ්බට නොයාමයි. මෙහිදී යම් ප්‍රතිපත්තියකට ඊට සහසම්බන්ධිත අනෙකුත් ප්‍රතිපත්ති, ක්‍රියාකාරිකයන්, විෂය ක්ෂේත්‍ර සහ ආයතන සමග සම්බන්ධයක් නොමැති වීම තුළ එකම කාර්යක් ඉටු කිරීම පිණිස යාන්ත්‍රණයන් රාශියක් ක්‍රියාත්මක විය හැකිය. මෙය මහජන මුදල් අපතේ යැවීමක් වන අතර ආයතන අතර නිරන්තර ගැටුම් වර්ධනය වීමට මග පාදයි. ප්‍රතිපත්ති ඒකාබද්ධකරණය මෙම ප්‍රශ්නයට විසඳුම් සපයයි.






යම් රාජ්‍යයක් ප්‍රතිපත්ති ඒකාබද්ධකරණයට එකඟ නම් ඒ වෙනුවෙන් කළ යුතු කාරණා ගණනාවක් තිබේ. ප්‍රතිපත්ති ඒකාබද්ධකරණය කෙරෙහි දේශපාලන නායකත්වය දක්වන එකඟතාවය, පරිපාලකයන්ගේ ඉදිරිගාමී, කාර්යක්ෂම සහ සහයෝගී කැපවීම, ආණ්ඩුමය කාර්යන් ජාලගත කර තාක්ෂණයෙන් පරිපූර්ණ කිරීම සහ ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් ඇති කිරීම පිණිස පහසුකම් සැපයීම ආදී වශයෙන් මෙම කාරණා පෙළ ගැස්විය හැකිය.






ඒකාබද්ධකරණයේදී ප්‍රතිපත්ති අන්‍යොන්‍ය වශයෙන් ගැළපිය යුතුය. එම ප්‍රතිපත්ති අතර සංගතභාවයක් තිබිය යුතුය. කිසිදු ආකාරයකින් නොගැළපෙන ප්‍රතිපත්ති, ආයතන හෝ විෂය ක්ෂේත්‍ර ඒකාබද්ධ කිරීමෙන් හෝ එකිනෙකට ගැළපෙන ප්‍රතිපත්ති වෙන් වෙන්ව තැබීමෙන් සිදුවන්නේ පාඩුවකි; අගතියකි; මහජන මුදල් නාස්තියකි.





ශ්‍රී ලංකාවේ තිබෙන අතිශය සංකීර්ණ ආයතනික ව්‍යුහයන් දෙස බලන විට පැහැදිලි වන ප්‍රධාන කාරණය වන්නේ, එකිනෙකට ගැළපෙන ප්‍රතිපත්ති, ආයතන හෝ විෂය ක්ෂේත්‍ර වෙන් වෙන්ව තබා ඇති බවයි.





උදාහරණ ලෙස විවිධ පරිසර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා බොහෝ ආයතනික ව්‍යුහ තිබීම තුළ කිසිදු ආයතනයක් නිසි ආකාරයෙන් පරිසර සංරක්ෂණය පිළිබඳ තම වගකීම් ඉටු නොකරන බව පෙනීයයි. මාර්ග සංවර්ධනයේදී නව මාර්ගයක් තනා නිමවූ වහාම නැවත එම මාර්ගය විනාශ කරනුයේ ආණ්ඩුවේම වෙනත් ආයතනයකට අයත් පිරිසක් විසිනි. උදාහරණ ලෙස, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් තනා නිම කරන ලද මාර්ගයේ විදුලි කණු සිටුවීම සඳහා එක් වරක් ද, කාණු පද්ධති සැකසීම සඳහා තවත් වරක් ද, ජල නළ එලීම සඳහා තවත් වරක් ද ආදී වශයෙන් මාර්ගයට නැවත නැවත හානි සිදු කරන ආකාරය ශ්‍රී ලංකාවේ සුලභව දැකිය හැකිය. මාර්ග සංවර්ධනය සම්බන්ධයෙන් පිහිටුවා තිබෙන ආයතන පද්ධතිය සහ ප්‍රතිපත්ති ඒකාබද්ධ කළහොත් මේ වරින් වර සිදු කරන නාස්තිකාරී ක්‍රියාකාරකම් වළක්වා ගත හැකි අතර මහජන මුදල් ඉතිරි කර ගත හැකිය.





ශ්‍රී ලංකාවේ තිබෙන අවිධිමත් ප්‍රතිපත්ති ඒකාබද්ධකරණයට ඇති හොඳම උදාහරණය වන්නේ අමාත්‍යංශ විෂයන් බෙදා ඇති ආකාරයයි. කිසි ලෙසකින් ඒකාබද්ධ කළ නොහැකි විෂය ක්ෂේත්‍රවල එකතුවක් එක් අමාත්‍යවරයෙකුට භාර දීම මගින් සිදු වන්නේ, ඒ කිසිදු ක්ෂේත්‍රයක් පිළිබඳව නිසි අවධානයක් ලබාදීමට ඔවුන්ට නොහැකි වීමයි.





උදාහරණයක් ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යංශය ගතහොත් මීට පෙර එයට ඒකාබද්ධ කර තිබුණේ මහාමාර්ග යන විෂයයි. උසස් අධ්‍යාපනය සහ මහාමාර්ග යන විෂයන් දෙක අතර කිසිදු සම්බන්ධයක් නැත. වර්තමානයේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයට ඒකාබද්ධ කර ඇත්තේ නගර සැලසුම් සහ ජල සම්පාදනයයි. කිසිදු සම්බන්ධතාවයක් නොමැති මෙවැනි විෂයන් ඒකාබද්ධ කිරීමෙන් සිදුවන්නේ, රාජ්‍ය ප්‍රතිපත්තිවලින් මහජනයාට ලැබිය යුතු ප්‍රයෝජ්‍ය වටිනාකම් හීනවී, අමාත්‍යවරුන්ට සිය ලාභ ප්‍රයෝජන පමණක් තහවුරු කර ගත හැකි ආකාරයේ වටපිටාවක් නිර්මාණය වීමයි. එබැවින් ප්‍රතිපත්ති ඒකාබද්ධකරණය  ශ්‍රී ලංකාවේ අර්ථ විරහිත වී ඇත.





නිසි ක්‍රමවේදයකින් ප්‍රතිපත්ති ඒකාබද්ධකරණය කළහොත් ලබා ගත හැකි වාසි අතරින් ප්‍රමුඛ වන්නේ අනවශ්‍ය ලෙස කරන මුදල් සහ සම්පත් නාස්තිය පාලනය කර තිරසර සංවර්ධන ඉලක්ක කෙරෙහි  ආණ්ඩු සහ ජනතාව උනන්දු කළ හැකි වීමයි.





මීට අමතරව නිසි ප්‍රතිපත්ති ඒකාබද්ධකරණය දිරි ගැන්වීම මගින් ආණ්ඩුකරණය තුළ තොරතුරු තාක්ෂණ ඉඩ ප්‍රස්තා, යටිතල පහසුකම් සහ නිලධාරී කාර්යක්ෂමතාවය වර්ධනය කිරීමට ද අවස්ථා සැලසෙනු ඇත. ශ්‍රී ලංකාවට මෙම ප්‍රතිපත්තිමය ප්‍රවේශය හඳුන්වා දීම කාලීන අවශ්‍යතාවයක් ලෙස නිර්දේශ කළ හැකිය.

















(ආචාර්ය ඉන්දි අකුරුගොඩ, රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශය -රුහුණ විශ්වවිද්‍යාලය)










සබැඳි පුවත්









මැතිවරණයක් වුවමනා කා හටද ? කුමකටද ?


0 comments: