Hot!

‘ගින්නෙන් උපන් සීතල’ ගැන ගාමිණී මුතුකුමාරණගෙන් ලයනල් බෝපගේට පිළිතුරක්



– ගාමිණී මුතුකුමාරණ –

‘‘ලොව විශිෂ්ට දේශපාලන චරිත අලලා නිර්මාණය වුණු චිත්‍රපට අප බොහෝමයක් දැක ඇත. ඒ අතර වන විප්ලවාදී චරිතයන් අලලා සැකසූ චිත්‍රපට අතිශය ජනප්‍රිය මෙන්ම දේශාපලනිකවේ. ඉන්දියාවේ වාමාංශික සටන් සඟයෙකු වන බගද්සිංග් අළලා සැකසූ චිත්‍රපටය ලොව පුරා අතිශය ජනප්‍රිය මෙන්ම එම චරිතයෙන් සමාජ පණිවුඩයක්ද නිර්මාණය කිරීමට සමත්විය. එසේම අර්නස්ටෝ චේගවාරාගේ ජීවිතය හා දේශපාලනය අළලා සකසූ චිත්‍රපටයද එවැනිම පණිවුඩයක් මෙන්ම චේගවාරාගේ ජීවිතයේ නොදුටු පැති ප්‍රේක්ෂකයා හමුවේ තැබීමට සමත්විය.


ලාකේය විප්ලවවාදී ව්‍යාපාරයේ මුඛ්‍යතම සටන් සගයා හා නායකයා වූ රෝහණ විජේවීරයන් සම්බන්ධයෙන් වන චිත්‍රපටයක් නිර්මාණය වන්නේ නම් එය කවරාකාරද යන්න සම්බන්ධයෙන් බොහෝ හීනයක් වාමාංෂික නැඹුරුවක් සහිත කලාවට හිතැත්තන් බොහෝ කාලයක සිට බලා සිටියේය.


අද වන විට එකී ප්‍රයත්නය සාර්ථකවී ඇති බවට තොරතුරු ලැබීම අප අමන්දානන්දයට පත්කොට ඇති බව පළමුව ප්‍රකාශ කළ යුතුව ඇත. මෙතෙක් මා මෙම චිත්‍රපටය නරඹා නැතත්.. මේ වන විට ලාංකේය ප්‍රේක්ෂකයාට එය දැක බලාගැනීමට හැකියාව ඇත. කිසියම් ජීවන චරිතයක් එකී චරිතයට අදාළ සමාජ දේශපාලනික වපසරියන් තත්වාකාරයෙන් කලා නිර්මාණයකට ගොනු කිරීම දැඩි පරිස්සම් කාරී හා වෙහෙසකර කටයුත්තක් ලෙස දැක්විය යුතුම වේ.

ඒ සදහා වන අධ්‍යයනයන් හා නන් වැදෑරුම් චරිත අධ්‍යයන හා සුළ මුළ පමණක් නොව දේශපාලන ඉතිහාසය සොයා එයට සාධාරණයක් ඉටුවන ලෙස නිර්මාණය කිරීම යනු අතිශය භාරදූර්ය කටයුත්තක් ම වේ.. යථාර්තය තත්වාකාරයෙන් සිනමා පටයක් තුළ ප්‍රතිනිර්මාණය කිරීම සියයට සියයක් සිදුකළ නොහැකිවාක් මෙන්ම එකී සිදුවීම් හා එම සිදුවීම් සදහා වන සාධාරණය ඉටු කිරීමද එතරම්ම වූ දුෂ්කර කාර්යයකි.


මෙම චිත්‍රපටය නරඹා නැති මුත් මේ සම්බන්ධයෙන් වන පූර්වපට අනුව ඒ ඒ චරිතයන් සදහා වන චරිත නිරූපණයන් මොනවට ගැලපීම චිත්‍රපටය නැරඹීමේ රුචිකත්වය වර්ධනය කරන්නකි.
කෙසේ නමුත් චිත්‍රපටය සම්බන්ධයෙන් වන විචාරයන් කිහිපයක් කියවීමට හැකියාව ලැබුනු අතර ඒවා සාධනීය දෑ හා නිශේදනීය පාර්ශ්වයන් විසින් ලියා තිබෙනු දක්නට ලැබුණි. මේ කවරාකාර විචාරයක් චිත්‍රපටයේ කලාත්මක හෝ අන්තර්ගත කතා ප්‍රවෘත්තීන් සම්බන්ධයෙන් වනවා නම් එය කලාකෘතියට කරනු ලබන දායකත්වයකි. එසේ නොමැතිව චිත්‍රපටයට පරිබාහිරව ව්‍යාපාරයේ දේශපාලන අරමුණු මත යම් ව්‍යාජයක් හෝ වැරදි පුවත් නිර්මාණය කරමින් ඒ කාල වකවානුවේ දේශපාලන තත්වයන්ට හා චරිතයන්ට හානියක් පමුණු වන්නේ නම් ඒ සම්බන්ධයෙන් එවක අත්දැකීම් ඇති පිරිස් විසින් ඒවාට එරෙහි විය යුතුමය.

මා එවැනි කාලීන සිදුවීම් විකෘති කිරීමක් සම්බන්ධයෙන් මෙම චිත්‍රපටයට අදාළව කියවූ ලිපියක් වූයේ එවක ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා ලෙස සිටි ලයනල් බෝපගේ සහෝදරයා විසින් දක්වා ඇති විචාරයක ස්ථාන කිහිපයක ඓතිහාසික දේශපාලන තත්වයන්ට සාධාරණයක් ඉටු නොවීමක් පිළිබද දැකිය හැකිව ඇත. ඒ හැරුණු විට චිත්‍රපටය සම්බන්ධයෙන් වන ඔහුගේ දැක්ම අතිශය නිර්මාණශීලී ගෙනහැර පෑමකි.

එහෙත් චිත්‍රපටය පිලිබඳ කියන්නට යන බෝපගේ සහෝදරයා විජේවීර සහෝදරයා සම්බන්ධයෙන් අතුරු කතාවක් මෙන්ම බරපතල මතභේදයන්ට තුඩු දෙන විවේචනාත්මක මතයක් ඉදිරිපත් කරමින් ඔහු පවසන්නේ 83 දී විජේවීර සහෝදරයා කොළඹින් ඉවත්වීමට හා යටිබිම් දේශපාලනයට යාම තනි පුද්ගල තීරණයක් ලෙස ගත් එකක් බවත් ඒ අනුව ඔහු පක්ෂය අර්බුදකාරී තත්වයක් වෙත තල්ලු කරනු ලැබූ බවයි.

බෝපගේ සහෝදරයා විසින් මෙකී ඓතිහාසීය කාරණා ගෙනහැර දැක්වීම මගින් ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉතිහාසයට බරපතල අසාධාරණයක් සිදුකරයි. විජේවීර සහෝදරයා පුද්ගලික තීරණයක් මත කටයුතු කරනු ලැබූවා යන මතය සම්පූර්ණයෙන්ම සාවද්‍යය. ඉතිහාසයේ එකී තත්වයන් සමග සම්බන්ධ වූවෙකු ලෙස මා දන්නා කරුණු වන්නේ පසුබැසීමට ගත් තීරණය විජේවීර සහෝදරයා තනිව ඔහුගේ හිතුමනාපය පරිදි ගත් තීරණයක් නොවන අතර එවකට පක්ෂයේ පාලක ලේකම් සුමිත් සහෝදරයා විසින් හදිසි තත්වයන් යටතේ ගනු ලැබූ තීරණයක් බවයි. කොළඹ හා තදාසන්න ප්‍රදේශ තුළ දියත් වෙමින් තිබූ ආණ්ඩුවේ ජාතිවාදී ගැටුම් බරපතළ ලෙසින් උත්සන්න වෙමින් තිබියදී රෝහණ සහෝදරයා ඇතුළු ප්‍රචාරක තලයේ ක්‍රියාත්මක වූ අනෙකුත් සහෝදරවරුන්ද ආරක්ෂක හේතුමත කොළඹින් පිටතට යැවීමට සුමිත් සහෝදරයා කටයුතු කර තිබේ. මේ සම්බන්ධයෙන් අපට වඩාත් හොදින් තහවුරු වූ අවස්ථාවක් පැහැදිලි කල හැකිය.

කොළඹ සිට පළමුව තංගල්ලට පැමිණි රෝහණ සහෝදරයා එදිනම රාත්‍රියේ තිස්සමහාරාමයටත් පසුදා උදෑසන කතරගමට පැමිණියේය. එදින දහවල් කාලය කතරගම ගලහිටිය ප්‍රදේශයේ හේනක ගත කිරීමෙන් පසුව රාත්‍රිය වෙද්දී ආරක්ෂාව සදහා මහ කැලය තුළට යාමට පිටත් වුණා.

එවකට මධ්‍යම කමිටු සාමාජිකයකු වූ හම්බන්තොට දිසා ලේකම් පියසේන රාමනායක, ගුණපාල සතරසිංහ , ආරියසේන ඊශ්වරගේ සිරිපාල නෙත්තිකුමාර ඇතුළු අප සහෝදරවරුන් අටදෙනෙකු පමණ පිරිසක් මේ ගමනට එක්වී සිටියා.

මහකැලයට ඇතුල් වීමට පෙර රාත්‍රි නවයේ ප්‍රවෘත්ති විකාශනයට සවන් දීම සදහා අප අතර මග නතර වුනා. ඒ රෝහණ සහෝදරයා රැගෙන ආ පොකට් රේඩියෝ එකෙන්. ලයනල් බෝපගේ හා සෝමරත්න කලුආරච්චි යන දේශපාලන මන්ඩල සාමාජිකයන් දෙදෙනා එදින අත් අඩංගුවට ගනු ලැබූ බව ප්‍රවෘත්ති විකාශනය තුලින් දැනගැනීමෙන් පසුව රෝහණ සහෝදරයා බරපතළ කනස්සල්ලටත් විමතියටත් පත්වුණා. ලයියට කොළඹින් පිටවෙන්නට බැරි වුනේ කුමක් නිසාදැයි ඔහු කල්පනා කරන්නට වුනා. බෝපගේ සහෝදරයා එකල බොහෝ දෙනෙකු හැදින් වූයේ ලයියා නමිනි. ලයියට කොළඹින් පිටතට යන්න වැඩපිළිවෙළක් සකස් කරන බවට සුමිත් සහෝදරයා පැවසූ බවද ඒ මොහොතේ රෝහණ සහෝදරයා අප සමග පැවසූවා. එස් ඩී නමින් හැදින්වුණු සෝමරත්න කලුආරච්චි සහෝදරයා පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවේ වරකාපොල බස්නැවතුම් පොලකදී යයි ප්‍රවෘත්ති විකාශනය තුළින් පැවසීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් රෝහණ සහෝදරයා එවලෙහි නිගමනය කලේ එය ඔහු කොළඹින් පිටත් වීමෙන් පසුව සිදුවී ඇති බවකි.

කොළඹින් බැහර වී පසුබැසීමට ඔහු පුද්ගලිකව ගත් තීරණයක් නොවන බවට මා ඉදිරිපත් කරනු ලබන අනෙක් තර්කය නම් අප මහකැලයට ඇතුල් වීමෙන් සතියකට පසු රෝහණ සහෝදරයාගෙන් පණිවිඩයක් බලාපොරොත්තුවෙන් සුමිත් සහෝදරයා තිස්සමහාරාම ප්‍රේමසිරි සහෝදරයාගේ නිවසට පැම්ණෙන බව රෝහණ සහෝදරයා දැන සිටීමය. රෝහණ සහෝදරයා විසින් සුමිත් සහෝදරයාට ලියූ ලිපියක්ද රැගෙන මා එහි ගියාය. ඔවුන් අතරේ නැවත සම්බන්ධතාවය පවත්වා ගැනීම සම්බන්ධයෙන් පෙර කතා බහක් දැනුවත්කමක් තිබූ බවට මෙය හොදම නිදසුනක් නොවේද ?


කෙසේ නමුත් බෝපගේ සහෝදරයා විසින්ම පවසන පරිදි ඔහු ජුලි මාස මධ්‍යම කාරක සභාවේදී ජාතික ප්‍රශ්නය සම්බන්ධ විවාදයෙන් අනතුරුව පක්ෂයෙන් ඉවත්වීමට තීරණය කර තිබීමේ පසුබිම තුළ ඔහුට පක්ෂයේ මතය සමග එකගත්වයක පැමිණීමට නොහැකිව තිබූ මානසික අපහසුතාවය අප විසින් මෙහෙදී බැහර කල යුතු නැත.

ජයවර්ධන ජනාධිපතිවරයා විසින් මේ වන විට දැවැන්ත මර්දනයක් දියත් කිරීමට කටයුතු කරන බව වඩා හොද තේරුමක සිටි පක්ෂය 1983 ජුනි මාසයේදී සෑම දිස්ත්‍රික්කයක් තුලම පක්ෂ ක්‍රියාකාරීන් හා සාකච්ඡා පැවත් වූහ. මෙම සාකච්ඡාව දේශපාලන මන්ඩලයේ සහෝදරයෙකු විසින් පැවත් වූ අතර බොහෝ දිස්ත්‍රික් තුළ එය සිදුකලේ රෝහණ සහෝදරයා විසින්ය. මේ සදහන් කරන්නේ බෝපගේ සහෝදරයාද හොදින්ම දැන සිටි කාරණාය.

වාමවාදී ව්‍යාපාරයක් ලෙස අපට එම මර්දනය පිලිබඳ පෙර දැක්මක් නොවැටහී සිටීමට නොහැකියාවක් තිබුනේ නැති බව අවධාරණය කර ගත යුතුය . මොකද මේ වනවිට ජේ.ආර්.ගේ පාලනයට එරෙහිව ඔහුගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු සම්බන්ධයෙන් ජවිපෙ ලෙස නීතිමය හා මහජන දැනුවත් කිරීම තුළින් දැවැන්ත වැඩ කොටසක් සිදුකරමින් පැවැතියා.

1982 ජනාධිපතිවරණයට මැර බලය යොදවා ජනාධිපති පුටුවේ වාඩි වීමෙන් පසුව ජනමත විචාරණයක් පවත්වා ඡන්ද මංකොල්ලකෑම, වැනි ක්‍රියා සම්බන්ධයෙන් නීතිමය පියවරයන් ගනිමින් පැවැතියා. මෙහිදී විශේෂ සිදුවීමක් වන්නේ ජනමත විචාරණයට එරෙහිව ප්‍රින්ස්ගුණසේකර මහතා විසින් අධිකරණ ක්‍රියාමර්ගයක් වෙත ප්‍රවිශ්ටවීමට කටයුතු කිරීමයි. එහිදී සිරිමාවෝ බණ්ඩාරනායක මෙම අධිකරණ ක්‍රියාමාර්ගයට එක් වන බවට කලින් කැමත්ත ප්‍රකාශ කර තිබුනත් අවසන් මොහොතේ ඇය ජේ . ආර්ගෙ මර්ධනයට තිබුණු බිය නිසාම අධිකරණයට පැමිණීම ප්‍රතික්ෂේප කිරීමත් සමගයි රෝහණ විජේවීර සහෝදරයාගේ මැදිහත්වීම සිදුවන්නේ. ඒ පක්ෂයේ තීරණයක් මතයි. ප්‍රින්ස් ගුනසේකර හා ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක විසින් රෝහණ සහෝදරයා වෙනුවෙන් ගොනුකළ මෙම නඩුව වෙනුවෙන් රටපුරාම සිදුවූ මැතිවරණ උල්ලංඝනය කිරීම් හා ඊට අදාළ සාක්ෂි පක්ෂය විසින් සපයා දීමට කටයුතු කරනු ලබමින් තිබුණි.

මෙවැනි තත්වයන් හේතුවෙන් ජේ.ආර්. පක්ෂය මර්දනය කිරීමට කටයුතු කරන බවට තොරතුරු ලැබෙමින් පැවැති වකවානුවකයි ඉහත සදහන් සාකච්ඡාව සිදුවන්නේ.

පක්ෂය තහනම් කිරීමත් රෝහණ සහෝදරයා හා ගමනායක සහෝදරයා වෙනුවෙන් එක් අයකුට රුපියල් පනස් දහසක මුදලක් වෙන් කිරීම යන ආණ්ඩුවේ ප්‍රසිද්ධ නිවේදන වලට අමතරව රහස් පොලිස් චක්‍ර ලේකන මගින් රෝහණ සහෝදරයා අත් අඩංගුවට ගතහොත් ගැටුමකදී මියගිය බවට තහවුරු කරන කුමන්ත්‍රණ කිහිපයක්ද වාර්තා වෙමින් තිබූ බව සදහන් කල යුතුය. එවන් තත්ත්වයක් තුල පක්ෂ තහනම ඉවත් කිරීමකින් තොරව රජයට බාරවීම සිදුනොවීම සාධාරණ නොවේදැයි ප්‍රශ්නයක් පැන නගී. එවන් තත්ත්වයක් තුළ වුවද පක්ෂ තහනම ඉවත් කරගැනීම වෙනුවෙන් රෝහණ සහෝදරයා මුල් කාලය තුලදී කටයුතු කලබව සදහන් කළයුතුය.

බෝපගේ සහෝදරයා පවසන අන්දමට පක්ෂ තහනම ඉවත් කිරීම වෙනුවෙන් ඔහුගේ මැදිහත් වීම අප එදා මෙන්ම වර්තමානයේද පැසසුම් කළයුතුය. ඒ සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රකාශය සත්‍යයකි. එසේ නමුත්, ඔහු එවකට මුදල් ඇමැති රොනීද මැල් රෝහණ සහෝදරයාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනීසිටීමට සූදානම්ව සිටියා යයි පැවසීම ප්‍රශ්නයක් පැන නගී. මා එසේ පවසන්නේ අප සැගවී සිටි මුල් කාලයේ රෝහණ සහෝදරයාගේ පවුලේ සමීපතම කෙනෙකු රොනීද මැල් හමුවීමට යාමෙන් පසුව දේශපාලන මණ්ඩලයේ සාමාජිකයෙකු වූ පියදාස සහෝදරයා විසින් දිනක් එම පණිවිඩය රෝහණ සහෝදරයාට පැවසූ ආකාරය අනුවය. රෝහණ සහෝදරයා සම්බන්ධයෙන් කතා කරන්නට ගිය පුද්ගලයාට රොනී පවසා ඇත්තේ ‘‘ජේ ආර් ලොක්ක හොඳටම කේන්තියෙන් වියරු වැටිලා ඉන්නෙ . ඒ නිසා රෝහණට කියන්න මම කිව්ව කියල ටික කලකට මාලෙට හරි ( මාලදිවයින ) යන්න කියල‘‘

රෝහණ සහෝදරය ඒ මොහොතේ පියදාස සහෝදරයට කිව්වෙ සිනහ වෙමින් ‘‘පිස්සුද ? සහෝදරය ජේ ආර්ට බයේ මාලෙට පැනල යන්න අපි දේශපාලනේ කලේ නැහැ කියල.‘‘ මර්දනය හමුවේ පසුබෑමකට ලක්වෙමින් තිබූ පක්ෂය රහසිගතව සංවිධාන ගත කිරීමට ඔහුට ඉතා දැඩිව ඕනෑ වුණා.
පක්ෂයේ තහනම ඉවත් කරගැනීම හරහා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන භූමිකාව තුලට නැවත ජවිපෙ ගෙන ඒමට ප්‍රින්ස් ගුණසේකර මහතාද බොහෝ වෙහෙස මහන්සි වූ බව සත්‍යයකි. ඔහු ඒ වෙනුවෙන් රෝහණ සහෝදරයා හමුවීමටද පැමිණියේය. ඔවුන් දෙදෙනා රැයක් පුරා සාකච්ඡා කළේය. පක්ෂයේ තහනම ඉවත් කිරීමකින් තොරව බාරවීමකට කැමති නොවන බවට ඔහු ප්‍රීන්ස්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් අවසානයේ කියා සිටියේය. රොහාන්ට ඇවිත් බාර වෙන්නයි ජනාධිපති ජයවර්ධනගේ ප්‍රකාශයට අවනත වීමේ සූදානමක් ඔහු තුළ කිසිසේත්ම තිබුණේ නැත.

ඉන් අදහස් වනුයේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ පරිසරයකට තිබෙන අකමැත්තක් නොවේ. කොමියුනිස්ට් වාදීන් යනු ප්‍රජාතන්ත්‍රවාදයට පලමුව නමස්කාර කරනු ලබන පිරිසකි. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම රෝහණ සහෝදරයා ඇතුළු පක්ෂයට එකල හොදින්ම වාර්තා වෙමින් තිබුණි. එකල නිකුත් කර තිබූ රහස් චක්‍ර ලේකනයක් මගින් පොලීසියට නියෝග කර තිබුනේ රෝහණ සහෝදරයා පිලිබඳ ඔත්තුවක් ලැබුනහොත් වෙඩිතබා ඝාතනය කිරීමෙන් පසුව අත් අඩංගුවට ගන්නා ලෙසය. මෙය අතිශෝක්තියක් නොවේ. එකී රහස් චක්‍ර ලේඛනය පිලිබඳ තොරතුරු ලබා දුන් පොලිස් පරීක්ෂක වරයා වර්තමානයේ නියෝජ්‍ය පොලිස් පතිවරෙයෙකි.

ඒ අතරේ තහනම ඉවත් කර ගැනීමේ උවමනාව කාලයත් සමග රෝහණ සහෝදරයා තුලින් මෙන්ම අනෙකුත් සහෝදරවරුන් තුලින්ද ක්‍රමානුකූලව පහවී යාම සිදු වූ බවට පිලිගත හැකිය. බෝපගේ සහෝදරයා පවසන අන්දමින් සාමකාමි තත්ත්වයක් ඇතිවූවා නම් හොඳය. එහෙත් පංති අරගලය පිලිබඳ අචල විශ්වාසයකින් කටයුතු කල පක්ෂයකට මර්ධනකාරි තත්ත්වයක් හමුවේ ස්වකීය දේශපාලන ගමන තීරණය කරනුයේ පවතින තත්වයන් තුළ සිටය. මාක්ස්වාදී දේශපාලනය විශ්වාස කරන අප ඉතිහාසය නිර්මාණය කිරීම සිදුවන්නේ විවිධ අයිතිහාක දේශපාලන සංදර්භයන් හමුවේ විනා පක්ෂ නායකත්වයේ සිටි එක් එක් පුද්ගලයින්ගේ ඕනෑ එපා කම් මත නොවන බව පිලිගත යුතුය.

බෝපගේ සහෝදරයා හා සජෘ සම්බන්ධතාවක් පවත්වා ගැනීමේ උවමනාව පැහැර හැරීමේ අවශ්‍යතාවයක් රෝහණ සහෝදරයාට තිබුනේ නැත. එකී උවමනාව ඔහුට දැඩිව තිබූනේය. බෝපගේ සහෝදරයා නැවත සංවිධාන ගතවීමක් සිදු නොවුනත් පක්ෂය හා කිසියම් හෝ සබඳතාවක් පවත්වා ගැනීමේ කැමත්තක් රෝහණ සහෝදරයා තුල තිබුණි. බෝපගේ මෙන්ම ඊට පෙර අවස්ථාවක පක්ෂයෙන් ඉවත් වූ දයා වන්නිආරච්චි සහෝදරයා සම්බන්ධයෙන්ද තත්වය එසේ වීය. පක්ෂය තහනම් කිරීමෙන් පසු දයා වන්නිආරච්චි හා සබඳතාවක් ඇති කරගත් රෝහණ සහෝදරයා ඔහුගෙන් පක්ෂයට ගත හැකි සේවය ලබා ගැනීමට පියවර ගත්තේය. ඉවත්ව යාමෙන් පසු කිසිදා පක්ෂ සංවිධානයක් තුළට නොපැමිණි දයා වන්නිආරච්චි ස්වකීය දක්ෂතාවයන් කුසලතාවන් පක්ෂය වෙනුවෙන් වැය කලේය.

පක්ෂ තහනම යටතේ රෝහණ සහෝදරයාට හා ගමනායක සහෝදරයාගේ හිසට මුදල් ත්‍යාගයන් පිරිනමන බවට ආණ්ඩුව නිවේදනය කරමින් තිබූ අනතුරු සහිත තත්ත්වයක් තිබියදීත් බෝපගේ සහෝදරයා හා සාකච්ඡා කිරීමට මේ කියන කාලයේ රෝහණ සහෝදරයා අවස්ථා කිහිපයක්ම උත්සාහ දැරුවේය. ඒ වෙනුවෙන් ඔහු වාර කිහිපයක්ම කොළඹ පැමිණියේය. ඒවා වැලකී ගියේ කුමන හේතුවක් නිසාදැයි දැන් තර්ක විතර්ක කිරීමෙන් පලක් නැත. කෙසේ නමුත් බෝපගේ සහෝදරයා යනු අවශ්‍යම කාලයක අපට මගහැරුණු මිනිසෙක් බව ඉතිහාසය තුල සදහන් කලයුතුය.

මෙකී ඓතිහාසික නිරවද්‍ය දිග හැරුම් චිත්‍රපටය තුළ තිබීම හෝ නොතිබීම සම්බන්ධයෙන් කිසිදු මතභේදයක් නොමැති වන්නේ .. එකී කලානාර්මාණය තුළ ඉතිහාසයක් ලක්ෂගතව විදහා පෑමට වන නොහැකියාවයි.. ගින්නෙන් උපන් සීතල යනු ඉතිහාසයක් කැටිකොට ගත විශිෂ්ටත්වයක් නිමකළ කලා කෘතියකි. එය අවිවාදිතය.


සබැඳි පුවත්


‘ගින්නෙන් උපන් සීතල’ – කලාව සහ දේශපාලන යථාර්ථය




0 comments: