Hot!

දෝෂාභියෝගය හෝ දෝෂාරෝපණය : සදාචාරමය අනිවාර්යයක්











- සරත් ද අල්විස් -





‘‘ඒ ගෑනිත් එක්ක මං නිදිවැද්දේ නැහැ’’- බිල් ක්ලින්ටන්






‘‘රටේ කවුරුත් දන්නවා මං නීතිඥයෙක් නෙවෙයි කියලා’’- මෛත‍්‍රීපාල සිරිසේන





මෛත්‍රීගේ දෙහි කැපීම






එපා වාහෙට පලා බෙදන්නා සේ රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයේ පිහිටුවීමෙන් පසු, එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් දෙපැත්තේ වාඩි කරවගෙන මෛත‍්‍රීපාල සිරිසේන දෙහි කැපුවේය. එහිදී ඔහු අනාවරණාත්මක ප‍්‍රකාශ කිහිපයක් කෙළේය.





විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරවීමට යැයි සිතාගෙන අප විසින් වරදවා බලයට පත්කර ගත් පුද්ගලයාගේ අතිජාත අංගෝපාංග ගණනාවක් එහිදී හෙළි විය. ඔහු තරයේ ඇදහූ ඇතැම් විශ්වාස, සංස්කෘතික ගති ලක්ෂණ හෝ අරටුගත හරපද්ධති මොන තරම් දැඩිව එහිදී ප‍්‍රකාශයට පත්විණි ද යත්, ඒ ගැන සංවාදයකට හෝ අතරමැද සාකච්ඡාවකට කිසි ඉඩක් ඉතිරි නොකෙරුණි.





‘‘අපේ ආගම, සිරිත්විරිත් සහ භාෂාව වගේ දේවල් එක්ක තියෙන බලවේග ඉතා ශක්තිමත්. දේශපාලන බලවේගවලට වඩා ආණ්ඩු හදන්නෙත්, කඩන්නෙත්, ඒ සංස්කෘතික බලවේග විසිනුයි. අපේ භික්ෂූන් වහන්සේලාට විරුද්ධව නඩහබ ගේනකොට මං මේක ඉතා පැහැදිළිව පෙන්නලා දුන්නා. එහෙම දේවල්වලදී අපි පරිස්සම් වෙන්න ඕනේ.





‘‘අපේ පන්සල්වලට, දේවාලවලට පෙරහැරවල් කරන්න අලි ඇත්තු නැහැ. ඒක නිසා ඒ වගේ කාරණයක් ගැන නඩු කියනකොට ඒකෙන් සංස්කෘතික වශයෙන් සහ සමාජ-ආගමික වශයෙන් ලොකු විරෝධයක් ඇති වෙනවා. ඒක නිසා මං ඉල්ලා හිටියා මේකේ නීතිය පිළිබඳ ප‍්‍රශ්නේ බලලා ඒ අලි ඇතුන් ඒ වැඩවලට නිදහස් කරන්න කියලා. ඔය කියන ප‍්‍රශ්නේ නිසා අපිට මුළු භික්ෂු සාසනේම සහයෝගේ නැති වුණා.’’









අපි ඉන්නේ නීතිය කඩන පුද්ගලයෙකු මුදුනේ තියාගෙන ද ?





ඔහු මේ කරුණු ගෙනහැරපාන්නේ, ‘ජනතා ස්වෛරීත්වයට, ස්පර්ශනීය සහ ඵලදායී ආත්මයක් සහ අරුතක් ගෙන දුන්’ ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව ය. ඔහුගේ කරුණු පැහැදිලි කිරීම මං සුදනා වර්ගයේ එකකි. කොටින්ම ඔහු කියන්නේ, රනිල් වික‍්‍රමසිංහ ඉවත් කොට ඔහුගේ ආණ්ඩුව ගෙදර යැවීමට, ව්‍යවස්ථාමය යහපැවැත්ම කෙරෙහි තමන් තුළ වන සිල්ලර අවඥාව හොඳටම ප‍්‍රමාණවත් වූ බවයි. ආණ්ඩු හැදීමට සහ කැඩීමට තරම් බලසම්පන්න අර කී බලවේගවල සහයෝගය ලබා ගනු වස් රටේ ව්‍යවස්ථාව සමග මොන නාඩගම් නැටුවත් කමක් නැති බව ය.





පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා උල්ලංඝණයකි. ආණ්ඩු හැදීමට සහ කැඩීමට තරම් බලසම්පන්න වන, අප විසින් පරිස්සමින් රැකබලා ගත යුතු වෙනත් සමාජ බලවේගත් ඇතැයි ජනාධිපතිවරයා කියන විට, ඔහු යාමට යන්නේ මොන දිසාවකදැ යි මොහොතක් නතර වී සොයා බැලීම වටී. නීතිය කඩන කෙනෙකු රාජ්‍යයේ ඉහළම ආසනයේ සිටී නම් ඒ සම්බන්ධයෙන් අප කළ යුත්තේ කුමක් ද ?





ශ්‍රද්ධාව ඇඳ ගැනීම





‘මහා සංඝ රත්නයට’ ආමන්ත‍්‍රණය කරන විට දේශපාලඥයන් සිටින්නේ ශ‍්‍රද්ධාව ඇඳගෙන ය. ජනාධිපති සිරිසේන විශේෂණ පද දෙකක් එහිදී පාවිච්චි කරයි. ඒ, ‘වන්දනීය සහ පූජණීය’ යනුවෙනි. ඔහුවත් පරාජය කිරීමට සිතාගෙන දෝ සජිත් පේ‍්‍රමදාස තවත් විශේෂණයක් පාවිච්චි කරයි. ඒ, ‘ගෞරවනීය’ යනුවෙනි. මහින්ද රාජපක්ෂ කියන්නේ, ‘අපේ හාමුදුරුවනේ’ කියා ය. ඔහුගේ ශ‍්‍රද්ධා ශෛලිය ඔහුටම ආවේණික, පේටන්ට් බලපත‍්‍රයක් ඇති ඌරුවකි. එක්තරා ආකාරයක නින්දගම් ගතියක් ද එහි තිබේ. අනිත් අය කරන්නේ ඔහු සමග තරගයට මේ සෙල්ලමේ යෙදීමයි.





මේ වනාහී, සහසුද්දෙන්ම ප්‍රෝඩා ආගමිකත්වයක් පුද්ගල දේශපාලනික අවශ්‍යතා සඳහා පාවිච්චියට ගැනීමකි.










අපේ හාමුදුරුවන්






පමණට වැඩියෙන් පෙන්වන යටහත් පහත් නිහතමානය, උපාසක තක්කඩි කමකි. ඕනෑම තැනකට ඔබින විශේෂණ සාගරයක් සජිත් පේ‍්‍රමදාසටත් තිබේ. අගමැතිවරයා දිව්රුම් දීමෙන් පසු ජනාධිපතිවරයාගේ දෙහි කැපිල්ලෙන් අනතුරුව සජිත් පේ‍්‍රමදාස සාටෝපවත්ව ජනාධිපතිවරයා ඇමතුවේ ‘ශ‍්‍රීමත් ජනාධිපතිතුමා’ යනුවෙනි. එය, පට්ට දෙසාබෑමකින් පසුව ආ අපූරු හුරේ දැමිල්ලකි.





මේ රචනාවේ අරමුණ වන්නේ, ව්‍යවස්ථාවේ පූජණීයත්වය ගැන පාර්ලිමේන්තුව විසින් දැන්වත් ජනාධිපතිවරයාට කියා දිය යුතු බව පෙන්වා දීමයි. ජනතා පරමාධිපත්‍යයත් වන්දනීය බව, පූජණීය බව සහ ගෞරවනීය බව, සෙල්ලමට ගත යුතු දෙයක් නොවන බව, ඔහුට කියා දිය යුතුව තිබේ. ‘ශ‍්‍රීමත්’ යන උපසර්ගය, උපයා ගත යුතු දෙයක් බවත්, එය උපයා ගත හැක්කේ ව්‍යවස්ථාව එහි වචනයෙන් මෙන්ම ආත්මයෙන් ද ආරක්ෂා කිරීමෙන් බවත් ඔහුට කියා දිය යුතුව තිබේ.









ඔක්තෝබර් 26 වැනි දා ගැන ඇත්ත









ඔක්තෝබර් 26 වැනි දා සිදු වූ සැබෑව වටහා ගැනීමට ඒ වටා දවටා ඇති ව්‍යාජයන් අප ඉවත් කර ගත යුතුය. ඇත්ත ව්‍යවස්ථාමය කුමන්ත‍්‍රණය නිරාවරණය කර ගත හැක්කේ, ඒ බොරුව ඉවත් කර ගැනීමෙන්ම පමණි.





ඒ පැහැදිලි කතාව සරළ ආකාරයෙන් ජනතාවට වටහා දිය හැකි වන්නේ ජනාධිපතිවරයාට එරෙහිව ගෙනෙන දෝෂාභියෝගයකින් හෝ දෝෂාරෝපණයකිනි. අපේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය මේ මොහොතේ ආරක්ෂා කර ගත හැකි ඒකායන මාර්ගය වන්නේ ජනාධිපතිවරයාට එරෙහිව එවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමයි.





‘‘මේ රටේ හැමෝම දන්නවා මං නීතිඥයෙක් නොවන විත්තිය. ගැසට් එක නිකුත් කළේ මං තනියම නෙවෙයි. කීර්තිමත් ජනාධිපති නීතිඥ මහත්තුරු ඒකට සම්බන්ධ වුණා. මේ හැම ගැසට් නිවේදනයක්ම නිකුත් කළේ ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලයි.’’





‘‘මේ මෑතකදී මං නිකුත් කරපු ගැසට් නිවේදනය, විශේෂඥ නීතිඥවරු, ව්‍යවස්ථා විශාරදයෝ එක්ක කතා කරලයි කළේ. ඒ හැම දෙයක්ම මං කළේ සත්භාවයෙන්. ඒ කිසි දෙයක් මං නරක චේතනාවකින් කළේ නැහැ. ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමේ චේතනාවක් මගේ තිබුණේ නැහැ.’’





මේ මිනිසා නම්, පැහැදිළිවම, තර්කයට සහ හේතු බුද්ධියට යා දෙන පුද්ගලයෙකු නොවේ. අපේ ජනරජයේ ජනාධිපතිවරයා හර පද්ධති නිර්ණය කරගන්නා ආකාරය එබඳු ය. ඒ බව අපේ අවධානයෙන් ගිලිහී යා යුතු නැත. ජනතාවට දැන ගැනීමට අයිතිය ඇති තොරතුරු, බලය දරන්නන් විසින් හංගා තබා ගැනීම නොහොබී. ජනාධිපතිවරයා කර ඇති මෙවැනි ප‍්‍රකාශ නිසි බලධාරී ආයතනයක් මගින් පරීක්ෂාවට ලක්කළ යුතුව තිබේ. එය සිදු කළ හැක්කේ පාර්ලිමේන්තුවේ 113 දෙනෙකුගේ අත්සන සහිතව බාර දෙන දෝෂාභියෝග යෝජනාවකින් පමණි.





ඔහු අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගෙල ග‍්‍රහණයෙන් ගත්තා පමණක් නොව, ඊට වඩා හොඳින් ඔහු එය කෙළේය. මුලින්ම ඔහු කෙළේ පාර්ලිමේන්තුවේ අවනත භාවය සහ යටහත් භාවය ඉල්ලා සිටීමයි. එහෙත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 122 ක් ඊට විරෝධය පෑහ. මෛත්‍රීපාල සිරිසේනගේ ව්‍යවස්ථා විරෝධී නාඩගමේ කොටස්කරුවන් වීම ඔවුහූ තරයේ ප‍්‍රතික්ෂේප කළහ. තමා ඒ සියල්ල කෙළේ ප‍්‍රවීණ නීතිවේදීන් සද්භාවයෙන් සහ අවංක භාවයෙන් දුන් උපදෙස් මත බව දැන් ඔහු කියයි. ඒ නීතිවේදීන් කවුදැයි දැන ගැනීමට ඉල්ලා සිටීමේ අයිතියක් අපට තිබේ.






https://www.facebook.com/maithripalas/videos/195850641266101/




මෛත‍්‍රීපාල සිරිසේන අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයටත්, ව්‍යවස්ථානුකූල භාවයටත් තර්ජනයකි









මුලින්ම, මෛත‍්‍රීපාල සිරිසේන නැමැති ජනාධිපතිවරයා අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ව්‍යවස්ථානුකූල භාවයට ඉතා පැහැදිළිව, ඉතා නිශ්චිතව සහ හිතාමතා විණ කැටීමට බලා සිටින තර්ජනයකි. එවැන්නෙකුට එරෙහිව දෝෂාභියෝගයක් හෝ දෝෂාරෝපණයක් ඉදිරිපත් නොකිරීම, නීතියට ඉහළින් වෙට්ටු දාන ජනාධිපතියෙකු බලයේ තබා ගැනීමකි. ඔහු බැලූවේ රටේ ව්‍යවස්ථානුකූල භාවය දූෂණය කිරීමටයි.





ඔහුගේ ත‍්‍රස්තවාදී සෙල්ලමට එරෙහිව නැගී සිටි පාර්ලිමේන්තු බහුතරයට, දෝෂාභියෝගයක් හරහා ඔහුව ඉවත් කිරීමට අවශ්‍ය තුනෙන් දෙකක බලයක් නොතිබිය හැකිය. එහෙත් සරළ බහුතරයකින් ඔහු කෙරෙහි දෝෂාරෝපණ යෝජනාවක් සම්මත කර ගත හැකිය. ඒ ක‍්‍රියාවලිය ඇරැඹීමට තරම් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව තුළ තිබේ. ප‍්‍රතිඵලය කුමක් වෙතත් එය වහා සිදු කළ යුතුය.





බලයේ ආධිපත්‍යයට ඉහළින් නීතියේ ආධිපත්‍යය පවතින බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කෙළේය. 2015 ජනවාරි 8 වැනි දා අප නිමාවකට පත්කෙළේ බලයේ ආධිපත්‍යය රජ කළ දශකයකි. ඒ කාරණය අප සටහන් කරගෙන තිබුණේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැමැති ලිස්සන සුළු පුවරුවක බව වෙනම කාරණයකි. වැදගත් වන්නේ, ඒ මගින් මේ ගමන නතර කර ගැනීමට අපට හැකි වූ බව ය. ඒ ජයග‍්‍රහණයන් අප තවදුරටත් ආරක්ෂා කර ගත යුතුව තිබේ.





නීතියේ ආධිපත්‍යය විසින් බලයේ ආධිපත්‍යය දමනය කරනු ලැබේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තැත ‘නීතියේ සීමාවෙන් ඔබ්බට ගිය’ ප‍්‍රයත්නයකි. ‘ ඕනෑම ආකාරයක හිතුවක්කාරී බලය අභ්‍යාස කිරීමක වින්දිතයන් වීමෙන් ආරක්ෂා වීමට’ පුරවැසියන්ට ඇති අයිතිය උල්ලංඝණය කිරීමට ගත් ප‍්‍රයත්නයකි.





ඒ පැහැදිලි සහ නිරවුල් අදහස ජනාධිපතිවරයාට නොවැටහෙයි. තමාගේ බලය ව්‍යවස්ථාමය සීමාවන්ට යටත් නැති බවට ඔහු දිගටම තර්ක කරයි. ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් හෝ දෝෂාරෝපණයක් ගෙන ඒමෙන් වැළකී නිහඬව සිටීම යනු, එදා ජනාධිපතිවරයාට විරෝධය පෑ මන්ත‍්‍රීවරුන් 122 ජනාධිපතිවරයාගේ ඇස්බැන්දුම් දේශපාලනයේ උපාසක සහායකයන් බවට අද පත්වීමකි. ඊටත් වඩා, ජනාධිපතිවරයා කියන ඔහුගේ සද්භාවය පිළිගන්නා පිරිසක් බවට පත්වීමකි. කතානායකවරයාගේ ආසනය වෙත මැර පහර එල්ල කළ මදාවියන් ගැන මුනිවත රකින අතරේ කතානායකවරයා පාර්ලිමේන්තු විධිවිධානයන්ට අකුරට අනුගත විය යුතු බවට ජනාධිපතිවරයා කරන ඒ වංචාකාරී දේශනය අනුමත කරන්නන් බවට පත්වීමකි. බයිබලයෙන් දමා ගැසූ වීරවංශව ඇමතිවරයෙකු කළ මේ ජනාධිපතිවරයා ඔහු සමග සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේ එකම වේදිකාවකත් අසුන් ගත්තේය.









උගත යුතු පාඩම්





රවි කරුණානායක නැවත කැබිනට් ඇමති තනතුරක් ලබා ගැනීම සහ සංස්කෘතික අමාත්‍යාංශය සජිත් පේ‍්‍රමදාසට භාර දීම අපේ ව්‍යවස්ථානුකූල යහපැවැත්මට අදාල දේවල් නොවේ. කෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ය. අනෙකා, සිරිසේන ජනාධිපතිවරයාට වහකදුරු වී සිටින වික‍්‍රමසිංහගේ සහාය නායකයා ය. සෑම දේශපාලඥයෙකුම ස්වාර්ථයට බර වීම ස්වභාවිකයි. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ සහාය නායකයාත්, නියෝජ්‍ය නායකයාත් ඒ ස්වාර්ථයේ අධි මාත‍්‍රාවකින් සජ්ජිත වී සිටිති. මේ ස්වාර්ථය කෙනෙකුගේ ප‍්‍රතිපත්ති කෙරෙහි බලපායි. හරි වැරැද්ද පිළිබඳ පුද්ගලයෙකුගේ ආකල්පය පවා ඒ මගින් වෙනස් විය හැකිය.





මේ අතර රනිල් වික‍්‍රමසිංහ සිය අතවැසි සාගල, අකිල සහ මලික් අමාත්‍ය මණ්ඩලයට අන්තර්ග‍්‍රහණය කරගෙන තිබේ. එස්.බී. දිසානායකගේ මජර වැඩේ සාක්ෂි සහිතව අල්ලා දුන් රංගේ බණ්ඩාරට කිසිවක් නැත. එසේම විනෝදකාමය සහ විවේක සුවය පිළිබඳ අංශය කෙලින් කළ හැක්කේ ජෝන් අමරතුංගටම පමණකැ යි රනිල් වික‍්‍රමසිංහ තීරණය කොට තිබේ. රංගෙ බණ්ඩාර සහ රවි කරුණානායක අතර වෙනසක් තිබේ. රංගෙ බණ්ඩාර සාකච්ඡා පටිගත කරයි. අනෙකා, සාකච්ඡා මතක නැතැයි කියයි.





ඔක්තෝබර් 26 වැනි දා දිග හැරුණු සිද්ධි මාලාව රවි කරුණානායකවත්, සජිත් පේ‍්‍රමදාසවත් විමතියට පත්කළ සිද්ධියකැයි මම නොසිතමි. ඒ සිදුවීම් ගැන මංගල සමරවීර සහ රංජිත් මද්දුම බණ්ඩාර වැනි ජ්‍යෙෂ්ඨයන් දැක්වූ ඒ කෝපාවිෂ්ට ප‍්‍රතිචාරය මේ දෙන්නාගෙන් කිසි විටෙක අප දැක්කේ නැත. එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන් එකාවන්ව නැගී සිටීම, ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාමය නපුරේ භයානක බව ජනතා විමුක්ති පෙරමුණ නිවැරදිව හඳුනා ගැනීම සහ දෙමළ සහ මුස්ලිම් පක්ෂවල දේශපාලඥයන්ගේ සෘජු ප‍්‍රතිචාරය මේ නියෝජ්‍ය නායකයාවත්, සහාය නායකයාවත් විස්මිත කළාට සැක නැත.





සජිත් පේ‍්‍රමදාස සහ රවි කරුණානායක දිව්රුම් දීමේ උත්සවය යම් හේතුවක් නිසා වර්ජනය කිරීමට ගිය බව වාර්තා විය. එහෙත් එය මොන විදිහකින්වත් ජනාධිපතිවරයා කෙරෙහි වන අගෞරවයක් නිසා නොවන බව ජනාධිපතිවරයාට දැනුම් දීමටත් ඔවුන් පියවර ගෙන තිබුණි. මෙය, එදා රනිල් වික‍්‍රමසිංහගේ ශරීර භාෂාවට සපුරා වෙනස් ගතියක් පෙන්නුම් කෙළේය. සිරිසේනගේ දේශනාව ඉදිරියේ වික‍්‍රමසිංහගේ ඇස් විටින් විට උඩ ගියේ දේශකයාගේ රැවටිලිකාර සම්ප‍්‍රප්ප‍්‍රලාපයෙන් තමන්ව ගලවා ගන්නැයි දෙවියන්ගෙන් යදින්නා සේ ය.





සජිත් පේ‍්‍රමදාස දැන් තමාට ලැබී ඇති අමතර සංස්කෘතික අමාත්‍යාංශය ගැන යම් හෝ බරසාර අවධානයක් යොමු කරන්නේ නම්, පිටු 88 කින් යුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ප‍්‍රධාන විනිශ්චයත්, සිසිර ද ආබෲ විනිසුරුවරයාගේ පිටු 20 කින් යුත් විනිශ්චයත් සිංහලට පරිවර්තනය කොට ‘පූජණීය, වන්දනීය’ මහා සංඝ රත්නයේ සෑම භික්ෂූ වහන්සේ නමක් අතරේම බෙදා හැරිය යුතුව තිබේ. එසේ කිරීමෙන්, ඔහු ඉතා ගෞරව සම්ප‍්‍රයුක්තව ‘ශ‍්‍රීමත් ජනාධිපතිතුමා’ යනුවෙන් අමතන සිරිසේන ජනාධිපතිවරයාගේ ඔවදන අකුරට පිළිපැද්දා වන්නේය.










පූජණීය, වන්දනීය





නීතියේ ආධිපත්‍යය









නීතියේ ආධිපත්‍යය, තනි පුද්ගලයෙකුගේ අභිමතයේ ආධිපත්‍යය තරයේ ප‍්‍රතික්ෂේප කරයි. මේ භයානක මිනිසා අප මතට කඩා වැටුණා නොවේ. යාවජීව පාලකයෙකු වීමට ගිය සහ රාජකීය පවුල් වංශයක් රෝපණය කිරීමට ගිය මහින්ද රාජපක්ෂ සඳහා වන අතරමැද ආදේශනයක් වශයෙන් අප විසින්ම ඔහුව පත්කර ගන්නා ලදී.





සිරිසේනගේ අනර්ථකාරී ජනාධිපති වරය, වඩාත් ගැඹුරු අර්බුදයක නිරූපණයකි. ඒ වනාහී, තවමත් නොවිසඳී පවතින, තවමත් ආමන්ත‍්‍රණය නොකොට පවතින, ගෝත‍්‍රික ද්වේෂය, අවිචාරය සහ දේශපාලනික කතිකාවේ සර්වාකාර දූෂිත පදනම මත මහින්ද රාජපක්ෂ විසින් අටවන ලද ඒක-අධිකාරිවාදී රෝගයේ අර්බුදයයි. මෙය, ඇමරිකානු නීති විශාරද ෆීලික්ස් ෆ‍්‍රැන්ක්ෆර්ටර් අගේට කියා තිබේ:





‘‘ස්වාධීන අධිකරණයකින් කළමනාකරණය වන නීතියකින් තොරව නිදහස් සමාජයක් පැවතිය නොහැක. නීතිය යනු කුමක්දැ යි තීරණය කිරීමේ බලය තනි පුද්ගලයෙකුට ඇතොත්, වෙනත් ඕනෑම පුද්ගලයෙකුටත් ඒ බලයම හිමි වන්නේය. ඉන් උපදින්නේ, මුලින් වියවුල ය. අනතුරුව, ප‍්‍රජාපීඩනය ය.’’





මෛත‍්‍රීපාල සිරිසේන ව්‍යවස්ථාව උල්ලංඝණය කොට තිබේ. ආණ්ඩු ඇති කිරීමටත්, නැති කිරීමටත් තරම් ප‍්‍රබල බලවේග ඇති බවත්, ඒවා යාප්පුවෙන් තබා ගත යුතුව ඇති බවත් ඔහු කියන විට ඔහුගේ ඉදිරි ගමන් මග ගැන අප මොහොතක් සිතා බැලිය යුතුය. එබැවින්, ජනාධිපති සිරිසේනට විරුද්ධව දෝෂාභියෝගයක් හෝ දෝෂරෝපණ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනැවිත් වහා විවාදයට ගත යුතුව තිබේ. අවසානයේදී ඒ සඳහා නමින් ඡුන්දය ගත යුතුව තිබේ. එය අපේ ඉදිරි පරම්පරාවට අපෙන් සැලසිය යුතු යුතුකමකි.





අහස කඩා වැටුණත් යුක්තිය ඉෂ්ට කළ යුතුව ඇත. ‘‘මිනිසා යනු තමා කවරෙක් දැයි ඔහු සිතන කෙනා නොවේ. තමා කවරෙක් දැයි ඔහු සඟවන කෙනා ය.’’ මෛත‍්‍රීපාල සිරිසේන ඒ උපහැරණයේ ජීවමානයයි. ‘‘මිනිසා යනු කවරෙක් ද ? මිනිසා යනු මූසල අභිරහස් ගොන්නකි.’’





















(2019 ජනවාරි 1 වැනි දා Daily FT පුවත්පතේ පළවූ “Impeachment or Censure: A Moral Imperative" ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි)

















සබැඳි පුවත්









ජනපති අමාත්‍යංශ පවරාගැනීමට ගත් තීරණය නිවැරදිද ?


0 comments: