Hot!

මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය






- ගාමිණී වියන්ගොඩ -





මහින්ද හා සිරිසේන





මෛත‍්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ යන දෙන්නාම දැන් එක පක්ෂයේ ය. එනම්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ය. එක් කෙනෙක් ආණ්ඩුවේ ප‍්‍රධානියා ය. අනෙකා විරුද්ධ පක්ෂ නායකයා ය. එකම පක්ෂයක නායකයන් දෙන්නා එක විට ආණ්ඩුවේ නායකයා වශයෙනුත්, විපක්ෂ නායකයා වශයෙනුත් සිටීම අලූත් දෙයක් නොවුණත් අරුමැසි තත්වයකි.









මෙය පසුගිය වසර තුන හමාරක කාලය තුළ ඊට ප‍්‍රතිලෝම වශයෙන් පැවතුණි. එය හැඳින්වුණේ යහපාලනික ‘ජාතික ආණ්ඩුවක්’ වශයෙනි. 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගත් එක්සත් ජාතික පෙරමුණ සමග, ඊළඟට වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ‘ජාතික ආණ්ඩුවක්’ පිහිටුවා ගත්තේය. එනම්, විපක්ෂයේ සිටිය යුතු එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවේ පාර්ශ්වකාර පක්ෂයක් බවට පත්වූ බවයි. ආසන 16 ක් පමණක් ඇති දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තුවේ ප‍්‍රධාන විපක්ෂය බවට පත්වුණේ එබැවිනි.









එම ආණ්ඩුව ‘ජාතික ආණ්ඩුවක්’ වශයෙන් හැඳින්විය හැකි වුණේ, ප‍්‍රධාන පක්ෂ දෙක එසේ එකට ආණ්ඩු කළ නිසා පමණක් නොව, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය ඇතුළු ඉතිරි පක්ෂ සියල්ලත් එකහෙලාම ආණ්ඩුවේ ප‍්‍රගතිශීලී ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටි නිසා ය. එදා දෙමළ ජාතික සන්ධානය හෝ ජනතා විමුක්ති පෙරමුණ, ගතානුගතික විපක්ෂයක් මෙන්, ආණ්ඩුවට අකුල් හෙලුවේ නැත.









එයම, ජනතා විමුක්ති පෙරමුණ ‘රතු අලියෙකු’ වශයෙන් ද, දෙමළ ජාතික සන්ධානය රනිල්ගේ හොරණෑවක් වශයෙන් ද හඳුන්වනු ලැබීමට හේතු විය. ඒ වනාහී, විපක්ෂයක් තිබිය යුත්තේ ආණ්ඩුවට විරුද්ධ වීමට මිස පක්ෂ වීමට නොවන බව කියැවෙන ගතානුගතික ක‍්‍රමයයි. පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටතේ, විපක්ෂයක් යනු, ආරම්භයේ පටන් අවසානය දක්වා බලය ඩැහැ ගැනීම සඳහා මරාගෙන මැරෙන දේශපාලනයක් වෙනුවෙන් කැප විය යුතු දේශපාලනයක් නොවේ. විටෙක, විපක්ෂයක් ආණ්ඩුවට සහාය විය හැකිය. විටෙක, ආණ්ඩුවක ක‍්‍රියාකලාපය විවේචනය කළ හැකිය. එම විවේචන ප‍්‍රමාණවත් නොවන විට, ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රීයව සහ ව්‍යවස්ථානුකූලව පෙරලා දැමීම සඳහා විපක්ෂයකට කටයුතු කළ හැකිය. ආර්. සම්බන්ධන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයට එරෙහිව එක දිගටම එල්ල කළ ප‍්‍රධාන විවේචනයක් වුණේ ඔවුන් මේ අවසානයේ කී කාරණයට උර නොදීමයි.









දැන්, විසි හතර පැයේම ආණ්ඩුව පෙරලා දැමීම සඳහා වැඩ කළ හැකි විපක්ෂයක් පිහිටුවාගෙන තිබේ. එම විපක්ෂයට විශේෂ වාසියක් හිමිව තිබේ. එනම්, එය නියෝජනය කරන සන්ධානයේ නායකයා ආණ්ඩුවේ ද නායකයා වීමයි. දැන්, ආණ්ඩුවට පිටතින් පමණක් නොව, ඇතුළෙන් ද විපක්ෂය ක‍්‍රියාත්මක කරවිය හැකිය.









විපක්ෂ නායකයෝ දෙන්නෙකු නොව තුන්දෙනෙකු










මෙනයින් බලන කල, අද විපක්ෂ නායකයන් දෙන්නෙක් නොව, තුන් දෙනෙක්ම සිටිති. ආර්. සම්බන්ධන් සම්භාව්‍ය විපක්ෂය නියෝජනය කරයි. මෛත‍්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ මරාගෙන මැරෙන විපක්ෂය නියෝජනය කරයි.









මීට කලින්, ආණ්ඩුවේ ප‍්‍රධානියාගේ (ජනාධිපතිවරයාගේ) පක්ෂය ප‍්‍රධාන විපක්ෂය වූ අවස්ථා දෙකක් තිබේ. එකක්, ඩී. බී. විජේතුංග ජනාධිපති සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක අගමැති වශයෙන් සිටියදී ය. ඊළඟ අවස්ථාව, චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති සහ රනිල් වික‍්‍රමසිංහ අගමැති වශයෙන් සිටියදී ය. මේ අවස්ථා දෙකේදීම, ආණ්ඩුවේ ආයුෂ කෙටිකාලීන විය.









රනිල් වික්‍රමසිංහ අගමැති නොකරමි - සිංහ නාදය උඩු බිරිල්ලක්ද ?





ජනාධිපති සිරිසේන දැන් දැඩි අදිටනක් සිට ක‍්‍රියා කරයි. එනම්, මෙරටේ අධිකරණය සහ පාර්ලිමේන්තුව ‘වැරදි’ බව භාවිතයෙන් ඔප්පු කොට පෙන්වීමයි: ‘මුළු පාර්ලිමේන්තුවම කියා සිටියත් රනිල් වික‍්‍රමසිංහ අගමැති නොකරමි’ යන ස්වකීය සිංහ නාදය හුදු උඩු බිරිල්ලක් පමණක් වන බව, මේ ආයතන දෙක මගින් ඔප්පු කොට පෙන්වීම ගැන ඔහුගෙන් කිසි සමාවක් නොලැබෙනු ඇත. අගමැතිවරයා තෝරා ගැනීම ජනාධිපතිවරයාගේ හිතුමතේට කළ නොහැකි බව අධිකරණය කීවේය. එහෙත්, තම හිතුමතයෙන් තොරව අගමැතිවරයෙකුට ප‍්‍රායෝගිකව රටක් පාලනය කළ නොහැකි බව දැන් ජනාධිපතිවරයා ‘ඔප්පු’ කර පෙන්වීමට යන්නේය. අගමැතිවරයා යෝජනා කළ පුද්ගලයන් ඇමති මණ්ඩලයට අනුමත නොකිරීමට ඔහු මුලින්ම කටයුතු කෙළේය. ඊළඟට, ඇමතිවරුන් යටතේ තිබෙන රාජ්‍ය ආයතනවලට කරන පත්කිරීම් තමාගේ හිතුමතයට පිටින් කිරීමට ඉඩ නොදෙන බව දැන් අයි.ටී.එන්. වැනි ස්ථානවල ඇති කොට තිබෙන තත්ත්වය මගින් ඔහු පෙන්වා දෙමින් සිටී.









මේ නිසා, මීට කලින් ඩී. බී. විජේතුංග සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති කාලයේ පැවති විකෘතියට වෙනස් තත්වයක් දැන් උද්ගතව ඇති බව කිව හැකිය. එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ රනිල් වික‍්‍රමසිංහ අතර විශේෂ මිත‍්‍රත්වයක් තිබුණේ නැත. චන්ද්‍රිකා බලයට පත්ව සිටියේ රනිල්ගේ උදව්වකින් ද නොවේ. එසේම, රනිල් බලයට පත්වුණේ චන්ද්‍රිකාගේ උදව්වකින් ද නොවේ. එසේ වූ විට, දෙන්නාටම තම තමාගේ මතවාදවලට අනුගතව යම් තාක් දුරකට ස්වාධීනව කටයුතු කිරීමේ ඉඩක් විවරව තිබුණි.









අයථා ආලය යුක්ති සහගත කිරීමට ගන්නා උත්සහයක්





එහෙත් අද තත්ත්වය වන්නේ, රනිල්ගේ සහ එක්සත් ජාතික පක්ෂයේ උදව්වෙන් සිරිසේන බලයට පත්ව සිටීම පමණක් නොව, ඒ බව රටම දන්නා බව සිරිසේනත් හොඳින් දැන සිටීමයි. මේ නිසා සිරිසේනට අද හෘද සාක්ෂියේ විශේෂ බරක් දැරීමට සිදුව තිබේ. මේ බර බිමින් තැබීමට නම්, තමන්ගේ ස්ථාවරය නිවැරදි බව හැකි සෑම ආකාරයකින්ම ඔහු රටට පෙන්නුම් කළ යුතුය. උදාහරණයක් වශයෙන් ගතහොත්, යහපාලනය යටතේ ගත වූ අවුරුදු තුන හමාරක කාලය තුළ, රාජපක්ෂ පාලන කාලයේ දූෂණ ක‍්‍රියා සහ ඇතැම් අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් නීතිය ඉදිරියට නොගෙනාවේ රනිල්ගේ වික‍්‍රමසිංහගේ ක‍්‍රියාකලාපය නිසා බව රටට පෙන්විය යුතුය.









එසේම, මහ බැංකු බැඳුම්කර වංචාව සහමුලින් රනිල්ගේ ගිණුමට බැර කළ යුතුය. ඊළඟට, ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තිය තුළ, රටේ සම්පත් විකිණීම සහ රටට අවාසිදායක කොන්දේසි ඇති කරගෙන තිබෙන්නේ රනිල්ගේ ‘නව ලිබරල්වාදී’ ආර්ථික ප‍්‍රතිපත්තියේ ප‍්‍රතිවිපාකයක් වශයෙන් බව රටට පැහැදිලි කර දිය යුතුව ඇත. ඒ සියල්ල හේතුවෙන්, මේ කියන අලූත් ‘යහපාලන ආණ්ඩුව’ ඉදිරි මාස කිහිපය තුළ අසාර්ථක වන බවට වගබලාගත යුතුව තිබේ. එසේ වීම, අන් සියල්ලට වඩා, එනම්, අපේ සම්පත් විදේශයන්ට විකිණීම හෝ අපට අවාසිදායක කොන්දේසි යටතේ වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම වැනි දේවල් අනාගත ආණ්ඩුවක් යටතේ ‘නිවැරදි’ කර ගැනීම කළ නොහැකි වෙතත්, සිරිසේනගේ පැත්තෙන් ගත් විට, එකම දෙයක් කරගත යුතුව තිබේ. එනම්, තමාගේ දේශපාලනික හෘද සාක්ෂිය පිරිසුදු බව රටට පෙන්වීමයි. මෙය හරියට, දැඩි පේ‍්‍රම සම්බන්ධයකින් විවාහ දිවියට පත් දෙන්නාගෙන් කෙනෙක්, වෙනත් අයථා සම්බන්ධයක් ඇති කර ගත් අවස්ථාවක, ඒ අයථා සම්බන්ධය යුක්ති සහගත කර ගැනීම සඳහා සිය වෛවාහක පාර්ශ්වකරුවාගේ හෝ පාර්ශ්වකාරියගේ අනේක වැරදි ඉදිරිපත් කරමින් තමාගේ අයථා ආලය යුක්ති සහගත කර ගැනීමට ගන්නා උත්සාහයක් බවයි.









සිරිසේනගේ කල් ක්‍රියාව ජේ. ආර් ගේ විධායක ජනපති ක්‍රමය විසින් ජන්මගත කරන ලද්දකි





සිරිසේන යනු, තමා හැදුණු වැඩුණු දේශපාලනික වටපිටාවේ නිෂ්පාදනයක් මිස, අලුතින් නිර්මාණය වීමට සමත් වූ චරිතයක් නොවේ. දින 51 අඳුරු කාලය තුළ ඔහු ගත් සෑම පියවරක්ම විදහාපෑවේ ඒ දේශපාලනික පුරුද්දයි. එය, ජේ. ආර්. ජයවර්ධනගේ විධායක ජනාධිපති ක‍්‍රමය විසින් ජන්මගත කරන ලද ඇබ්බැහියකි. අගමැතිවරයා ඉවත් කිරීම, අලූත් අගමැතිවරයෙකු පත්කිරීම සහ පාර්ලිමේන්තුවක් විසුරුවා හැරීම, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ වෙනස් කොන්දේසිවලට යටත් කොට ඇති බව ඔහුට නොවැටහුණේ, බලූ නකුට කෙලින් වන ගතියක් නැති නිසා ය.









ජේ. ආර්. ගේ ක‍්‍රමය තුළ අකුරු කළ වෙනත් පිරිස් ද තවමත් පරණ ආරෙට සිතති. 2015 ජනවාරි 9 වැනි දා, දි. මු. ජයරත්න අගමැති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති සිරිසේනට හැකි විණි නම්, 2018 ඔක්තෝබර් 26 වැනි දා රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කිරීමට ඔහුට බැරි මන්දැ යි ඔවුහූ විමසති. (මේවාට අප මීට කලින් පිළිතුරු දී තිබේ). මෑතකදී ලාල් කාන්ත සමග රූපවාහිනී සාකච්ඡාවක් කරන මාධ්‍යවේදිනියක්, 2015 අගෝස්තු මැතිවරණයට කලින්, තම පක්ෂය දින්නත් මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් නොකරන බව සිරිසේන කියා තිබියදී ඒ ගැන වචනයක්වත් නොකී ජනතා විමුක්ති පෙරමුණ දැන් 225 දෙනාම කීවත් රනිල්ව අගමැති නොකරන බව ජනාධිපතිවරයා කීම විවේචනය කරන්නේ මන්දැ යි ප‍්‍රශ්න කළාය.









ඇය කියන අගෝස්තු මැතිවරණයට ඉදිරිපත් වූ පොදුජන පෙරමුණේ නායකයා වුණේ මෛත‍්‍රීපාල සිරිසේනයි. ඔහුගේ පක්ෂය ජයග‍්‍රහණය කළොත් අගමැතිවරයා වශයෙන් එම පක්ෂයෙන් ඉදිරිපත් කරන්නේ කවරෙක් ද යන්න තීරණය කරන්නේ එකී පක්ෂ නායකත්වය විසිනි. එය රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අදාළ ප‍්‍රශ්නයක් නොවේ. එම අගමැති නාම යෝජනාවට පක්ෂයේ බහුතරයකගේ කැමැත්ත ඇත්ද නැත්ද යන්නත් රටේ ව්‍යවස්ථාවට අදාළ කාරණයක් නොවේ. එහෙත්, පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති 225 දෙනාගේම මතය වුව තමන් පිළිනොගන්නා බව ජනාධිපතිවරයා කීම පක්ෂයක ප‍්‍රශ්නයක් නොව, රටේ ව්‍යවස්ථාව පිළිබඳ ප‍්‍රශ්නයකි. විවේචනය එන්නේ එතැනිනි.










රාජපක්ෂලාගේ වහලෙකු වීම හැර විකල්පයක් සිරිසේනට නැද්ද ?









මේ ප‍්‍රශ්නය මතු කළ ප‍්‍රවීණ මාධ්‍යවේදිනිය ඒ තත්වයන් දෙකේ වෙනස නොදැන සිටියා නොවේ. එහෙත් ඉතිහාසය යනු එය සටහන් වන සහ ලියැවෙන ආකාරයම වන නිසා, එවැනි ප‍්‍රශ්නයක් මතුකොට තිබීම වැදගත් වෙතැයි ඈ සිතන්නට ඇති. සිරිසේනත් තමා හැර අනිත් හැම පාර්ශ්වයකටම ඇඟිල්ල දිග් කරන්නේත් ඒ අරමුණිනි. ඔහුට අවශ්‍ය කරන්නේ චෝදනාවක් පමණි. තමා මරන්නට කුමන්ත‍්‍රණයක් දියත් වීමට ගියේය යන චෝදනාව ඔහුට හොඳටම ප‍්‍රමාණවත් ය. ඒ බව කියන පුද්ගලයා තක්කඩියෙක් ද, වංචනිකයෙක් ද යන්න ඔහුට වැදගත් නැත. සමස්ත කතාවම ප‍්‍රබන්ධයක් ද යන්න ඔහුට වැදගත් නැත. ඔහුට අවශ්‍ය කරන්නේ චෝදනාවක් සටහන් කොට තැබීම පමණි.









ජනාධිපතිවරයාට ඉතා පහසුවෙන් මේ ආණ්ඩුව කඩාකප්පල් කළ හැකිය. ඒ ගැන කිසි සැකයක් නැත. එහෙත් ඒ, ඔහු සම්බන්ධයෙන් විශාල වියදමක් දරා ගනිමිනි. එහිදී, 2015 ට කලින් සිටි තත්ත්වයට ආපසු යාමට ඔහුට සිද්ධ වෙයි. රාජපක්ෂලාගේ වහලෙකු නොවී සිරිසේනට ගොඩ ඒමක් නැති බව එහි අරුතයි. එහෙත් අද වහලා සහ එදා වහලා අතර වෙනසක් තිබේ. එදා සිටියේ, කරකියාගත හැකි දෙයක් නැති අහිංසක (පක්ෂ ලේකම්) වහලෙකි. අද රාජපක්ෂලා ඉදිරියේ සිටින්නේ, වරක් ද්‍රෝහියෙකුව සිට දැන් තම දේශපාලනික පැවැත්මේ ආරක්ෂාව පතා දණින් වැටීගෙන එන ජනාධිපති වහලෙකි. අවාසනාව වන්නේ වෙනත් විකල්පයක් සිරිසේනට ඉතිරිව නොතිබීමයි.









තත්කාලීන මොහොතේ ප‍්‍රහර්ෂයෙන් වසඟයට පත්වන මිනිස්සු සිටිති. ඔවුහූ මරණය ඉදිරියේ පවා පැණි කෑමට ගිජු වෙති.

















සබැඳි පුවත්





රනිල් එද්දි සිරිසේන යයිද ?





සිරිසේන සන්නිය සහ රටක වින්නැහිය





සුරංගනා කතා වලට නොරැවටී විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න පෙළගැසෙන්න


0 comments: