Hot!

අඟුනකොලපැලැස්ස බන්ධනාගාරයේ පහර දීම

නවීන් දේවගේ විසිනි

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (සිඅසුක) ජනවාරි 16 දා මාධ්‍ය හමුවක දී ප්‍රසිද්ධ කල සීසීටීවී වීඩියෝ පටයක අඟුනකොලපැලැස්ස බන්ධනාගාරයේ නිලධාරීන් එහි රැඳැවියන්ට අමානුෂික අයුරින් පහර දෙන ආකාරය දැක්වෙයි.

මාධ්‍ය හමුව අමතමින් සිඅසුක ලේකම් සුදේශ් මාරසිංහ “මේ හැම බන්ධනාගාරයක් තුලම තත්ත්වය ඕක තමයි. ‘සිරකරුවෝ මනුෂ්‍යයෝ කියලා‘ ඔවුන් කියන්නේ නමට විතරයි. ඔවුන් ඉතාමත් අමානුෂික ලෙස තමයි සිරකරුවන්ට සලකන්නේ.” යැයි පැවසී ය.


නොවැම්බර් 22 වැනි දා සිදුව ඇති මෙම පහර දීම සටහන්වී ඇති වීඩියෝ පටයට අනුව බන්ධනාගාර ශාලාවකින් රැඳැවියන් එකිනෙකා බෙල්ලෙන් ඇද ඉවතට දැමෙයි. එසේ ඉවතට දැමෙන්නන්හට පොලිස් භටයෝ දිගු මුගුරුවලින් පහර දෙති. මුගුරු පහරින් බේරීමට දිවයන රැඳැවියන් හඹා යන පොලීසිය නැවත නැවතත් පහර එල්ල කරති. අනතුරුව රැඳැවියන් දන ගස්වා පහර දෙමින් දෑත් ඔසවා ගෙන දනිස්සෙන් ඇවිද යාමට බල කෙරේ. ඒ අතරේ පොලිස් භටයෝ තම මුගුරුවලින් සිරකරුවන් ගේ තට්ටම්වලටත් පිට කොඳුවලටත් රිසි සේ තඩි බාති; ඇතැමෙක් විටින් විට ඔවුන් ගේ හිසටත් පපුවටත් වැර යොදා පා පහර දෙති. මේ සිදු වීම් දාමය පැය භාගයකට ආසන්න කාලයක් පුරා විහිද යයි.

අර්ධ මිලිටරි ඒකකයක් වන පොලිස් විශේෂ කාර්ය බලකාය අඟුනකොලපැලැස්ස බන්ධනාගාරයේ සේවය සඳහා යෙදවීමට එරෙහි ව එහි සිරකරුවන් විසින් ඔක්තෝබර් 21 වැනි දා දියත් කල විරෝධතාවයට ප්‍රතිචාරයක් වශයෙන් ආන්ඩුව විසින් බන්ධනාගාර පරිපාලනය හරහා මෙම ප්‍රචන්ඩ පහර දීම සංවිධානය කර ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සිරකරුවන් 2000ක් රඳවා තැබිය හැකි අඟුනකොලපැලැස්ස බන්ධනාගාරය 2017 දී විවෘත කරන ලද්දේ “ජාත්‍යන්තර ප්‍රමිතියට” අනුව ඉදි කල ලංකාවේ ප්‍රථම බන්ධනාගාරය යැයි ඔජ වඩමිනි. එයට සිරකරුවන් බැලීමට එන අයට ගෙන ආ හැක්කේ එක් බත් පාර්සලයක් පමනි. සිරකරුවන්ට අවශ්‍ය සෙසු සියලු දේ බන්ධනාගාර වෙලඳසැලෙන් සාමාන්‍ය වෙලඳපොල මිලට වඩා අධික මිලකට ලබාගත යුතු ය.

බන්ධනාගාරය තුල සිරකරුවන් නිරුවත් කර පහර දීම් නිරන්තර ව සිදු වෙයි. විශේෂ කාර්ය බලකාය විසින් සිරකරුවන් බැලීමට පැමිනෙන ඥාතීන් සහ හිතවතුන් නිරුවත් කර පරීක්ෂා කිරීම මුල් කර ගෙන ඔක්තොබර් 21 දා විරෝධතාව පුපුරා ගියේ ය. එ දින උදෑසන බන්ධනාගාරයේ කුලුනක් මතට නැඟුනු සියයක් පමන සිරකරුවෝ “බන්ධනාගාර පාලනයට එස්ටීඑෆ් එපා” යනුවෙන් ලියූ බැනරයක් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදී ගත්හ. බන්ධනාගාර රැඳැවියන් බහුතර පිරිසක ගේ සහයෝගය දිනා ගත් විරෝධතාව අවසන් වුයේ පසු දින බන්ධනාගාර නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ය.

බන්ධනාගාරයට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට සිරකරුවන් ගේ පුලුල් විරෝධයක් මතු ව ඒමට පදනමක් ඇත. රැඳවියන් ලඟ මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන තිබේ දැයි පරීක්ෂා කිරීමේ කඩතුරාව යටතේ 2012 නොවැම්බර් 09 වැනි දා වැලිකඩ බන්ධනාගාරයට කඩා වැදුනු විශේෂ කාර්ය බලකාය සැලසුම් සහගත ව ප්‍රකෝපකරනයක් ඇති කොට ලැයිස්තු අනුව තෝරා ගත් සිරකරුවන් පිරිසක් ඝාතනය කලේ ය. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට පැමිනියේ සිරකරුවන් ගේ අයිතීන් ගැන කැක්කුමක් ඇත්තන් මෙන් රඟපාමින් මේ අපරාධය ද ගසා කමිනි.

බන්ධනාගාර තුල ප්‍රකෝපකරනයන් නිර්මානය කර අවශ්‍ය සිරකරුවන් සමූහ වශයෙන් ලයිස්තුවලට අනුව තෝරා ගෙන ඝාතනය කිරීම ලංකාවේ ධනපති රාජ්‍ය යන්ත්‍රය කලක් තිස්සේ, විශේෂයෙන් ම දෙමල ජනයාට එරෙහි ව දියත් කල සිවිල් යුද්ධ සමයේ දී, වැඩි වර්ධනය කර ගත් මර්දන ක්‍රමෝපායකි. 1983 දී වැලිකඩ බන්ධනාගාරය තුල දී 53 දෙනෙකු ද, 1997 දී කලුතර බන්ධනාගාරයේ දී 3 දෙනෙකු ද, 2000 දී බිඳුනුවැව පුනරුත්ථාපන කඳවුරේ දී 26 දෙනෙකු ද වශයෙන්, දෙමල දේශපාලන සිරකරුවන් ඝාතනය කෙරුනි.

2012 දී වවුනියාව බන්ධනාගාරයේ දී විශේෂ කාර්ය බලකාය තවත් දෙමල දේශපාලන සිරකරුවන් දෙ දෙනෙකු ඝාතනය කල හ. එහි වින්දිතයෙකු ගේ දෙමාපියන් ගොනු කල මූලික අයිතිවාසිකම් නඩුව විභාග නොකර ම ප්‍රතික්ෂේප කරමින් එවකට අගවිනිසුරු මොහාන් පීරිස්, “බන්ධනාගාරයේ කලබලයක් ඇති වූ විට බන්ධනාගාර කොමසාරිස් කල යුත්තේ ජීනීවා ප්‍රඥප්තිය පෙරලීම ද” යනුවෙන් නරුම ලෙස ප්‍රශ්න කලේ ය.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව මේ ක්‍රමෝපායන්ගෙන් බිඳකුදු අපගමනය වී නැත. 2018 ඔක්තෝබර් මාසයේ දී අඟුනකොලපැලැස්ස බන්ධනාගාරයට විශේෂ කාර්ය බලකාය යෙදවූයේ, බන්ධනාගාරවල “බාහිර” ආරක්ෂාවට විශේෂ කාර්ය බලකාය යෙදවීමටත්, බන්ධනාගාර බුද්ධි අංශ ශක්තිමත් කිරීමටත්, අධිකරන සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරන අමාත්‍යාංශය ගත් තීන්දුවක පලමු පියවර වශයෙනි. “බාහිර ආරක්ෂාව” යනුවෙන් විශේෂන පදයක් යොදා ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයට කඩා වැදීම ගැන ඇති පුලුල් මහජන අප්‍රසාදය තුල යි.

වීඩියෝ පටය එලිදරවු වීමත් සමග නැගුන විරෝධය හමුවේ මහජනයා ගේ දෑස්වලට වැලි ගැසීමට අධිකරන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරන අමාත්‍ය තලතා අතුකෝරාල “සිද්ධිය විමර්ශනය” කිරීමට කමිටුවක් පත් කල අතර, පසු දා ම වීඩියෝ පටය ප්‍රසිද්ධ කල අය දඩයම් කිරීමට තවත් කමිටුවක් පත් කලා ය. කොලඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක දී වීඩියෝ දර්ශන බන්ධනාගාරයෙන් එලියට දුන් අයටත්, එය ප්‍රසිද්ධ කල සිඅසුකටත්, අතුකෝරාල තර්ජනය කලා ය.

මෙම “විමර්ශන කමිටු” මුලුමනින්ම ව්‍යාජ ය. බලයට පැමිනි විගස සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව 2012 වසරේ දී වැලිකඩ දී සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කරමින් විශේෂ කාර්ය බලකාය සිදු කල අපරාධය විමර්ශනයට යැයි පවසමින් පත් කල කමිටුවක් 2015 ජනවාරි - ජූනි කාලය තුල ක්‍රියාත්මත වන සෙයක් මවා පෑව ද වාර්තාවක් ප්‍රසිද්ධ නොකිරීම මගින් පෙන්නුම් කෙරෙන්නේ ධනපති රාජ්‍යය තම මර්දන මෙවලම් මොට කර ගැනීමට සූදානම් නොමැති බවයි.

2018 අගෝස්තු 13 වැනි දා ද වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳැවියන් කන්ඩායමක් වහලකට නැගී උපවාසයක යෙදුනේ තම අධිකරන ක්‍රියා මාර්ග කඩිනම් කරන ලෙසත් බන්ධනාගාරයේ පහසුකම් ඉහල නංවන ලෙසත් ඉල්ලමිනි. අගෝස්තු 20 වැනි දා මෙම විරෝධතාවට සම්බන්ධ වූ රැඳවියන්ට රුදුරු ලෙස පහර දුනි. “ගල් මුල් රැගත් කාන්තා රැඳවියන් ගේ සිර ගෙදර කැරැල්ලක් මැඬීමට” “අවම බලය” යෙදවූවා යැයි කියමින් සිදු කල එම පහර දීමෙන් කීප දෙනෙකු රෝහල් ගත කල අතර එක් තැනැත්තියක් ජීවිතක්ෂයට පත් වූවා ය.

2017 මාර්තුවේ දී සිඅසුක නිකුත් කල වාර්තාවක වැලිකඩ බන්ධනාගාරයේ පවත්වා ගෙන යන අමානුෂික කොන්දේසි මොනවා දැයි විස්තර කෙරෙයි. එක් කෙනෙකු පමනක් රැඳැවිය හැකි කුටියක 3-8 ත් අතර ගනනක් රඳවා ඇත. නිදා ගැනීමට කොට්ට පැදුරු හෝ ආහාර ගැනීමට පිඟන් කෝප්ප නොසැපයෙ යි. ඇතැම් රැඳැවියන් තම ආහාර ගන්නේ සිලි මලුවල තබා ගෙන වන අතර ලබා දෙන ආහාර පෝෂන ප්‍රමිතියකට නැත. සිරකරුවන් 2500කට පමන ඇත්තේ වැසිකිලි 50 කට ආසන්න ප්‍රමානයක් පමනි. වැසිකිලිවලට නල ජලය නොමැති අතර වෙනත් තැනකින් ජලය ගෙන වැසිකිලියට යාමට සිදු වෙයි. සිරකරුවන් සියලු දෙනා ම මේ තත්ත්වයන් තුල පැයක කාලයක් ඇතුලත ශරීර කෘත්‍යයන් නිම කල යුතු ය.

වැලිකඩ පමනක් නොව අන් සෑම බන්ධනාගාරයකම තත්වය මෙයට වෙනස් නොවේ.

බන්ධනාගාරවල මර්දනකාරී පරිසරයක් නිර්මානය කිරීම සහ පවත්වා ගෙන යාම පොලිස් රාජ්‍යයක් ඇටවීම දෙසට ආන්ඩුව ගන්නා දැනුවත් පියවර අනුව සිදු කෙරෙන්නක් විනා ඒ හෝ මේ බන්ධනාගාර නිලධාරීන් ගේ “අහඹු අක්‍රමිකතා” නිසා ඇති වූ තත්ත්වයක් නොවේ.

රාජ්‍ය මර්දන ක්‍රමෝපායන් වර්ධනය කිරීමේදී කඩතුරාවක් ලෙස යොදාගත් “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය”, “මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයක්” මගින් විස්ථාපනය කෙරෙමින් ඇත. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ට පහර දීමත් අඟුනකොලපැලැස්සේ රිමාන්ඞ් සිරකරුවන්ට පහර දීමත් “භයානක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්” බන්ධනාගාරය තුල දියත් කල කැරැලි “මර්දනය” කිරීමට සිදු කල පහර දීම් ලෙස හුවා දැක් වෙයි.

විශේෂ කාර්ය බලකාය බන්ධනාගාරයට කැඳවෙන්නේ මත්ද්‍රව්‍ය බන්ධනාගාර තුලට ඒම වැලකීමට සෝදිසි මෙහෙයුම් කිරීමේ මුවාවෙනි. දෙසැම්බරයේ ජනාධිපති කාර්යාලයේ පැවැත් වූ රැස්වීමක දී ද “බන්ධනාගාරවල ආරක්ෂාවට” විශේෂ කාර්ය බලකාය යෙදවීමත් “මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට” මරන දඬුවම කඩිනමින් ක්‍රියාවේ යෙදවීමත් ගැන ජනාධිපති සිරිසේන සාකච්ඡා කලේ ය.

පිලිපීනයේ දී ජනාධිපති සිරිසේන, ආඥාදායක පාලකයෙකු වන එ රට ජනාධිපති ඩුවර්ටේ ගේ මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය පසසා තමන්ට ද එය උගන්වන්නැයි ඉල්ලා සිටියේ මත්ද්‍රව්‍ය මැඬීමට සිරගෙවල සිදු කල යුතු වෙනස්කම් කිරීමට තමන් පසු බට වන්නේ නැති යැයි පවසමිනි. පිලිපීනයේ ධනපති පන්ති පාලනය සමාජ ආතතීන් පුපුරා යාම සමනය කර ගෙන ඇත්තේ මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයක මුවාවෙන් සිය දහස් ගනන් අහිංසක ජනයා මරා දමමින් පොලිස් භීෂනයක් වපුරවමිනි.

අඟුනකොලපැලැස්ස බන්ධනාගාරයේ පහර දීම, මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයක මුවාවෙන් ලංකාව තුල ක්‍රියාත්මක කෙරෙන රුදුරු මර්දන ක්‍රියාදාමයක දැනුවත් පියවරකි.

0 comments: