Hot!

71 කැරැල්ලෙන් අප ලංකාව බේරාගත්තා - නියෝජ්‍ය පොලිස්පති ඇන්ටන් ජෙගනාදන්

 කැරැල්ල පටන් ගත් පසු කෑගල්ල. දෙනියාය. වගේ ප්‍රදේශ වල පොලිස් ස්ථාන විනාශ කලා. ඇතැම් විට පොලිස් නිලධාරින් මරා දැමුවා. ඇල්පිටිය පොලිස් ස්ථානය ජයතිස්ස නම් ගුරුවරයකුගේ නායකත්වයෙන් යටත් කොට විප්ලවේ කොඩිය පවා දැම්මා.

සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග

71 කැරැල්ලත් සමඟ ජෙගනාදන් මහතාගේ නම නිතැතින්ම සඳහන් වෙයි. කැරළිකරුවන් පිළිබඳ පරීක්ෂණ වලදී  ඔහු විශේෂ කාර්යයක් කළේය. රහස් පොලිසියේ විශේෂ විමර්ෂණ ඒකකයේ නිලධාරියෙකු වූ ජෙගනාදන් මහතාගේ නියම නම බී.ඇන්ටන් ජෙයනාතන් ය. එහෙත් වැඩිදෙනා ඔහුව අමතන්නේ ජෙගනාදන් නමිනි. දැනට කොළඹ පෞද්ගලික ආරක්ෂක සමාගමක් පත්වාගෙන යන ජෙගනාදන් මහතා දක්ෂ රහස් පරීක්ෂකවරයෙකි. මට ඔහුව මුණ ගැසුනේ ඔහුගේ කාර්යාලයේදී ය. හිටපු විමර්ශණ නිලධාරියා අතීත විස්තර පැවසූවේ මේ ආකාරයටය.

 ...චේගුවේරා බියුරෝව මගින් 1968 පමණ කාලයේ පටන් අපි තරුණ කැරළිකාර දේශපාලන ප්‍රවාහය ගැන සෝදිසියෙන් සිටියේ. අප මෙම ව්‍යාපාරය ගැන තොරතුරු එකතු කලා. විෙජ්වීර ප්‍රථම වතාවට හම්බන්තොට දී අත්අඩංගුවට ගැනීමෙන් පසු අප සෝවියට් තානාපති කාර්යාලයේ තිබූ ඔහුගේ විසා අයැදුම්පතේ පිටපතක් හා ඒ සඳහා ඔහු විසින් ලබා දී තිබු ඡායාරූපය අප ගෙන්වා ගත්තා.

ජ.වි.පෙ. විසින් ප්‍රසිද්ධ රැස්වීම් ආරම්භ කිරීමෙන් පසු රහස් පොලිස් නිලධාරින්ද එම රැස්වීම් වල සැරිසැරුවා. වරක් එවැනි අවස්ථාවක රහස් පොලිස් නිලධාරියකු වූ කේ.එස්.ද. සිල්වා මහතාගේ කොළර් එකේ අපහාස වැකියක් එල්ලා තිබ්බා. කේ.එස්.ද සිල්වා මහතා හිසේ කෙස් නැති තට්ට පුද්ගලයෙකු වූ නිසා ඔහුව හඳුනා ගන්න ඇති.

 කැරැල්ල පටන් ගත් පසු කෑගල්ල. දෙනියාය. වගේ ප්‍රදේශ වල පොලිස් ස්ථාන විනාශ කලා. ඇතැම් විට පොලිස් නිලධාරින් මරා දැමුවා. ඇල්පිටිය පොලිස් ස්ථානය ජයතිස්ස නම් ගුරුවරයකුගේ නායකත්වයෙන් යටත් කොට විප්ලවේ කොඩිය පවා දැම්මා. මේ නිසා පොලිස් නිලධාරින් කැරලිකරුවන් සමග යම් තරහකින් හිටියේ. ඒ නිසා යම් යම් අවස්ථාවල කර්කශ අන්දමට ක්‍රියා කරන්න ඇති.

 කැරලිකරුවන් පිළිබඳ විමර්ශනයට විශ්‍රාමික පොලිස්පති වරයකු වූ ඇලරික් අබේගුණවර්ධන මහතා ගෙන්නුවා. ඔහු නිලධාරීන් පනහක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබා ගෙන තම විමර්ශන කටයුතු ආරම්භ කලා. මමද අයත් වූයේ මෙම පරීක්ෂණ කණ්ඩායමටයි. කැරලිකරුවන්ගෙන් ලබා ගන්නා ප්‍රකාශ අපරාධ යුක්ති විනිශ්චය කොමිසම් සභාව ට දුන්නා. මෙම ප්‍රකාශ ලබා ගැනීමට බලය තිබ්බේ ඉයන් වික්‍රමනායක, කෙනත් සෙනෙවිරත්න, ෂන්මුගනාදන් වැනි රාජ්‍ය නීතිඥවරුන්ට. නමුත් කැරලිකරුවන්ගේ ප්‍රකාශ වලින් 99% ම සටහන් කර ගත්තේ ඉයන් වික්‍රමනායකයි.

 ඉයන් වික්‍රමනායක ඒ කාලයේ තනතුරුගණනාවක් දැරුවා. ඔහු ඉතා කාර්ය බහුල පුද්ගලයෙක්. ඒ නිසා ඔහුගේ නියමය පරිදි විමර්ශන නිලධාරීන් සැකකරුවන් ගෙන් ප්‍රකාශ ලබා ගත් පසු ඉයන් ඒවා කියවා බලා අත්සන් කළා. ඔහුගේ හෝ කෙනත් සෙනෙවිරත්න ගේ හෝ ෂන්මුගනාදන් ගේ අත්සනින් යුතු සාක්ෂි සටහන් පමණයි අ.යු.වි. හෙවත් සී.ෙජ්.සී. කොමිසම භාර ගත්තේ. කැරැල්ලෙන් පසුව රෝහණ විෙජ්වීර රඳවා සිටි යාපනය බන්ධනාගාරයට ඉයන් වික්‍රමනායක සර්නි් විෙජ්සූරිය, උපාලි සෙනෙවිරත්න හා මම ගියා. අපි ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් තමයි උතුරට ගියේ.

 අපි යාපනය කොටුවේ කිංස් පැවිලියන් කියන ගොඩනැගිල්ලේ නැවතුනා. මෙය බංගලාවක්. උසස් රජයේ නිලධාරින් යාපනයට පැමිණි විට නවතින්නේ මෙම ස්ථානයේ. රෝහණ විෙජ්වීර ගෙන් කට උත්තර ලබා ගැනීමට අපට විශේෂ අවසරයක් ලැබුනා. අපි ප්‍රශ්න කරන්නට ගිය විගසම විෙජ්වීර පෙන්නුවේ කෝපවූ ස්වභාවයක්. zzමගෙන් අහන්න එපා ඒකිගෙන් (අගමැතිනිය සිරිමාවෝගෙන්) අහන්නZZ යැයි කියමින් කැරැල්ල මර්ධනය කිරීම පිළිබඳව මැතිනියට දොස් කිව්වා. ඉන් පසුව කැරැල්ල ලොකු අතුලගේ වැඩක් බවටත් ප්‍රකාශ කලා.

 දිගින් දිගටම විෙජ්වීර කථා කලේ කෝපයෙන්. මෙහිදි මම මගේ රිවෝල්වරය හා හදිසි නීතිය ගැසට් පත්‍රය ඔහුට පෙන්නුවා. මම ඔහුව ඇමතුවේ විෙජ්වීර සහෝදරයා කියලා. මම කිව්වා විෙජ්වීර සහෝදරයා දන්නවා නේ මේ මොකක්ද කියලා. මේක තුවක්කුව. මේක මොකක්ද දන්නවානේ මේක ඕනෑම සැකකරුවෙකු මරා දැමීමට හා මරණ පරීක්ෂණයකින් තොරව සිරුර වළලා දැමිය හැකි බලතල තියන ගැසට් පත්‍රය. අපිට බලය තිබ්බත් එහෙම කරන්න අවශ්‍ය නැහැ. අපි කථා කරමු. ඉන් පසුව ඔහු මඳක් මෙල්ල උනා.

 අපි විෙජ්වීරව දිවා කාලයේ රැගෙන ගියා, ප්‍රශ්න කිරීමට කිංස් පැවිලියන් වෙතට. ඔහු බියසුළු චරිතයක්. නමුත් කථාවේ අති දක්ෂයි. සිංහල භාෂාවෙන් කථා කොට පුද්ගලයන් නම්මා ගැනීමේ දක්ෂ අයෙක් මට ජීවිතයට දැකලා නැහැ. ඔහුගේ කථා වලින් ඇතැම් විට අපේ නිලධාරින් පවා වශී උනා.

 ප්‍රශ්න කිරීමේදී ඔහු බිය පෙන්නුවා. දාඩිය දැම්මා. ඔහුව ප්‍රශ්න කරන අතර තුර යාබද කාමරයේ නිලධාරින් අනෙකුත් සැකකරුවන්ට පහර දුන්නා. ඔවුන් කෑ ගහන ශබ්දයට විෙජ්වීර දැක්වූයේ බියපත් වු ප්‍රතිචාර. ඔහු තමාගේ උපැස් යුවල ගැලෙව්වා. ඉන් පසුව ඔහු තම ව්‍යාපාරයේ අභ්‍යන්තරය තමන්ගේ සගයන් ගැන තොරතුරු ලබා දුන්නා. අපි ඔහුගේ කට උත්තරය පටිගත කලා. ඇතැම් අවස්ථාවලදී ඔහු අනෙකුත් කැරලි කරුවන් ගැන කළ හෙලිදරව් පටිගත වනවාට ඔහු කැමති උනේ නැහැ. එවැනි අවස්ථා වල පටිගත කරන යන්ත්‍රය නවත්තන්න යැයි ඉල්ලීම් කලා. ඒ අනුව වරින් වර අප යන්ත්‍රය නවත්තලා ඔහුගේ කරුණු වලට සවන් දුන්නා.

 දවස් 14-15 විතර මේ ආකාරයට විෙජ්වීරව දිවා කාලයේ යාපනය කොටුවේ පිහිටි බංගලාවට ගෙන්වා ගෙන විස්තර ලබා ගත්තා. රෑට ඔහුව යාපනය බන්ධනාගාරයට ගෙන යනවා. දිනක් හදිසියේ මට බඩේ කැක්කුමක් ආවා. මාව වහාම යාපනය රෝහලට ගෙන ගියා එහිදි ඇපන්ඩිසයිටිස් ශල්‍යකර්මයට මාව භාජනය කෙරුනා. මාව රෝහලේ දින කිහිපයක් රඳවාගෙන පසුව ගුවන් මගින් කොළඹ ගෙනාවා. එහිදි මට ආරංචි උනා විෙජ්වීර මම ඔහුට රිවෝල්වරය පෙන්වා මරා දමන බවට තර්ජනය කිරීමක් පිළිබඳව බන්ධනාගාර අධිකාරීන්ට පැමිණිලි කළ බව. මම තර්ජනය කිරිමක් කලේ නැහැ. ආයුධය හා ගැසට් පත්‍රය පෙන්වා බලතල අනුව නොව සහයෝගයෙන් ක්‍රියා කිරීමට කැමති බවයි කීවේ. මේ පිළිබඳව යාපනය පොලිස් අධිකාරී එස්. පී. සුන්දරලිංගම් මහතා පරීක්ෂණයක් කළා. මෙම පරීක්ෂණය එවකට සිටි පොලිස්පති ස්ටැන්ලි සේනානායක මහතා දක්වා ගියා.

 ලොකු අතුල අත් අඩංගුවට පත් වූයේ ප්‍රහාරයේ දී. එදා සිටි ඉහල නායකයන් සටන මඟහරිද්දී ප්‍රහාරයේ සිටයේ ලොකු අතුල විතරයි. ඔහු චේගුවේරා නිල ඇදුම පිටින් සී.අයි.ඩී. එකේ හතරවන තට්ටුවට ගෙනාවා. ඔහුගේ කකුලක් පවා තුවාල වෙලා තිබුනා. ඉහල නායකයන් සටන කර අරිද්දී   සටනේ සිටි ලොකු අතුල කෙරෙහි පොලිස් හා හමුදා නිලධාරීන් කෙරෙහි යම් ගරුත්වයක් තිබුනා. ඉයන් වික්‍රමනායක මහතා වහාම පියවර ගත්තා ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට.

 ප්‍රතිකාර වලින් පසු යළිත් මට ලොකු අතුල මුන ගැසුනා හතරවන තට්ටුවේදී. ඔහු අපෙන් ඉලAලුවා සර් මට මගේ කෙල්ල සොයලා දෙන්න. කියලා. ඔහුගේ පෙම්වතිය ධම්මිකාත් ප්‍රහාරයේ හිටියා. ඇයත් සිටියේ අත්අඩංගුවේ. අප ධම්මිකාට ලොකු අතුලව මුන ගස්සවලා දුන්නා. ඒ අව්සථාව ඉතා හැඟීම්බර මොහොතක්. ඇය දැන් ඔහුගේ බිරිඳ.

 වසන්ත කනකරත්න අත්අඩංගුවට ගැනීමෙන් පසු අප ඔහුගෙන් ප්‍රශ්න කළා. ඔහු අපට යාපනයේ ප්‍රහාරයට ගිය පිරිස ගැන කිව්වා. මේ වන විට යාපනේ පොලිසියට හා බන්ධනාගාරයට පහර දුන් පිරිස රඳවලා හිටියේ හැමන්හිල්  බන්ධනාගාරයේ. ඔවුන් පොලිසියට දී තිබුනේ ව්‍යාජ නම් ගම්. මේ නිසා අපිට ඉදිරි පරීක්ෂණ කටයුතු කර ගෙන යාම අතිශයින්ම දුෂ්කර වුනා. අපි විසදුමක් සොයා ගත්තා.

 අපි වසන්ත කනකරත්නට කොස්තාපල් නිල ඇඳුමක් අන්දවලා හැමන්හිල්   ගෙන ගියා. වසන්ත ඇතුළු රහස් පොලිස් නියෝජිතයන් හැමන්හිල්  බන්ධනාගාරයේ තාප්පය උඩ හිටියදී පහල ඩන්ජන් වලින් සැකකරුවන් වරින් වර ගෙන්වමින් ඔවුන්ගේ නම ඇසුවා. සැකකරුවන් කියන්නේ ව්‍යාජ නම්. උදාහරනයක් හැටියට භද්දිය ආවා. කිව්වේ ජයපාල වැනි නමක්. වසන්ත කනගරත්න අපිට කෙඳිරුවා ඔහුගෙ නියම නම එවිට අප ඔහුව උඩට ගෙන්වා ගෙන යළි ප්‍රශ්න කරනවා. එහිදි නියම නම ඔහු පිලිගන්නවා. මේ අයුරින් සියළුම සැකකරුවන්ගේ වත ගොත අපිට ලැබුනා. ඔවුන්ට වසන්තව හඳුනා ගන්න බැරි උනා. වසන්ත පොලිස් නිල ඇඳුම ඇඳ පොලිස් කැප් එක දමා තවත් පොලිස් නිලධාරීන් අතර තමයි සිටියේ. ඒ නිසා ඔහුව දැක්කත් හඳුනා ගන්නට ඉතා අපහසුයි. කිසිම අයෙක් පොලිස් නිල ඇඳුමෙන් සිටි වසන්ත කනකරත්න හඳුනා ගත්තේ නැහැ.
 විරාජ් ප්‍රනාන්දුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු මුලින්ම අපට සත්‍ය පැවසුවේ නැහැ. ඔහු සේවය කලේ කැකිරාව පැත්තේ විරාජ් හොඳ පවුල් පසුබිමකින් පැමිණි උගත්, ඉංග්‍රිසි භාෂාව කතා කළ හැකි තරුණයෙක්.   ඔහුව අත්අඩංගුවට ගත් කොස්තාපල්වරු චේගුවේරා පෙන්නපන් කියලා ඔහුට පහර දී තිබුනා. ඒ කාලේ ඇතැම් කොස්තාපල්වරු චේගුවේරා කියන්නේ කවුද කියලාවත් දැනගෙන හිටියෙත් නැහැ.

 විරාජ් අප ලඟට ගෙන්වා ගැනීමෙන් පසු ඔහුට අපි හොඳට සත්කාර කළා. හිරිහැර කලේ නැහැ. විරාජ් බුද්ධිමත්. ඒ වගේම ලිස්සා යන පිළිතුරු දුන්නේ. අපිට අනෙක් අයගේ සාක්ෂි වලින් දැන ගන්නට ලැබුනා විරාජ් වනාතමුල්ලේ ඔස්මන්ගේ නිවසේදී බෝම්බ සාදන අයුරු ගැන දේශනයක් කල බව. මම මේ කරුණු ඇසුවේ වටින් ගොඩින්. මුලින්ම ඇසුවා විරාජ්ගෙන් ඔයා වනාතමුල්ලට ගිහිල්ලා තියනවාද? ඔහු කිව්වා ඔව් ඕවල් එකේ මැච් බලන්න ගිහිල්ලා තියනවා. ඉන් පසුව මට ඔස්මන්ඩ් ගැන ඇහුවා. එවිට විරාජ් කියා සිටියා ඔස්මන් ගැන නොදන්නා බව. අප විසින් ප්‍රශ්න කරන ලද සැකකරුවන් කිහිප දෙනෙක් සාක්ෂි ඉදිරිපත් කලා.

එදා විරාජ් ඔස්මන්ඩ්ගේ ගෙදර බෝම්බ නිෂ්පාදනය ගැන දේශනය කරපු අයුරු. එවිට විරාජ් එය පිළිගත්තා. ඔහු විස්තර පැවසූවා. යළිත් කට උත්තර දීම නවත්වා අගමැතිනිය සිරිමාවෝ බන්ඩාරනායක හමුවිය යුතු බවට බල කලා. නමුත් මම ඔහුට පෙන්වා දුන්නා එවැනි ඉල්ලීමකට ඉඩ නොදිය හැකි බව. එවිට ඔහු ප්‍රකාශ කළා ලන්ඩනයේ තමා හා ගිනි පුපුර සංවිධානය අතර තිබූ සම්බන්ධතා. කුමාර් රූපසිංහ හා සුනේත්‍රා සමග ඔහුට තිබු මිත්‍රකම යනාදිය. මැණික් ගෙන යාම ගැනත් ඔහු කිව්වා. විරාජ් පැවසූ පරිදි සුනෙත්‍රාට  බන්ඩාරනායක මැතිණිය හා විෙජ්වීර අතර හමුවක් සංවිධානය කිරීමට අවශ්‍ය කෙරුනා කැරැල්ලට පෙර. නමුත් එම හමුව ආරක්ෂක අංශ වල උපදෙස් මත පැවැත්වූයේ නැහැ. එහි යම් සත්‍යතාවක් තියෙන්න ඇති. විරාජ් සුනේත්‍රා පිළිබඳ කළ ප්‍රකාශය ඔහුගේ කට උත්තරයට අඩංගු කලේ නැහැ. එය ඉහලින් පැමිණි නියෝගයක්. ඇතැම් විට සුනේත්‍රාවද මෙයට පැටලිම මගින් යම් කේවල් කිරීමක් විරාජ් බලාපොරොත්තු වන්නට ඇතැයි මට සිතෙනවා.

 විරාජ් වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ එස්. නඩේසන්. ඔහු ඉයන් වික්‍රමනායක සාක්ෂි කූඩුවට නංවා බොහෝ සෙයින් ප්‍රශ්න කලා. ඉයන් අ.යු.වි. කොමිසමේ දී  වාර 100 පමන සාක්ෂි දුන්නා. සෑම අවස්ථාවකම ඔහු ඇඳ සිටියේ එකිනෙකට වෙනස් ටයි කෝට්. ඔහු විශාල ටයි පටියක් පැලදුවා. අප අතර විහිළුවක් තිබුනා මුලින්ම පේන්නේ ටයි එක ඉන් පසුව දකින්නේ ඉයන් ලෙසට.

 ඉයන් ඔහුගේ යටත් නිලධාරින්ට ආවරණය දෙමින් ඉදිරිපත් වී සාක්ෂි දුන්නා. වර්තමානයේ උසස් නිලධාරින්ට එවැනි කොන්දක් තිබේද පවා මට සැකයි. ඔවුන් බොහෝ විට පහල නිලධාරින්ගේ ඛෙල්ල ඉදිරිපත් කොට තමා ගැලවෙනවා. නමුත් ඉයන් එසේ කලේ නැහැ. කැරැල්ල මර්ධනයේදී ඉයන් විසින් කළ කාර්ය භාරය තවමත් ඇගයීමකට ලක් වෙලා නැහැ.

 අප්‍රේල් කැරැල්ලේ මහ නඩුව ආරම්භ වූ විිට ඇතැම් විත්තිකරුවන් අත්අඩංගුවේ සිටියේ නැහැ. නමුත් ඔවුන් නොමැතිව නඩු විභාගය ආරම්භ උනා. මට ඔත්තුවක් ලැබුනා ඩබ්ලිව්. ටි. කරුණාරත්න හෙවත් ඉන්කම්ටැක්ස්කරු සිටින තැන පිළිබඳව.

 ඉන්කම්ටැක්ස් කරු රත්නපුර දිස්ත්‍රික්කයේ තිරුවාණ කැටිය ප්‍රදේශයේ නවාතැනක සිටියේ වෙනත් නමකින්. අපි ඔහු සිටි නවාතැනට ගොස් ඇසුවා කොහොමද කරු කියලා. ඔහු වික්ෂිප්ත උනා. මම කිව්වා දැන් ලොකු අතුල ඇතුළු ඔබගේ මිතුරන් සෑම දෙනා පාහේ අපි ලඟ ඉන්නවා අපිත් එක්ක යං යනාදි වශයෙන්. කරු නිහ~වම අපි සමඟ ආවා.

 ඒ වගේම යාපනයේ බාස්කරන්, ලිනස් ජයතිලක පියතුමා වැනි පුද්ගලයන් පිළිබඳවත් අපි පරීක්ෂණ පැවැත්වූවා. බාස්කරන් ගුරුවරයෙක්. ඔහු එස්.ඩී. බන්ඩාරනායක ගේ මිතුරෙක්. විෙජ්වීර එස්. ඩී. බන්ඩාරනායක හරහා යාපනයේ තරුණයන් ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමේ වෑයමක නිතර වූවා. ඒත් එය සාර්ථක වූයේ නැහැ.

 ලීනස් ජයතිලක දිළිඳු ධීවර පවුලක දරුවෙක්. ලීනස් ු පූජකවරයෙක් බවට පත් වුන නමුත් ඔහු යම් ආකාරයක රැඩිකල් චරිතයක්. ඔහු කැරලිකරුවන්ට යම් හිතවත්කමක් පෑවා.

 71 කැරැල්ල පිලිබඳ විමර්ශනය කණ්ඩායම් වැඩක්. අපි ඉතා සහයෝගයෙන් කැපවී වැඩ කළා. බොහෝ දින වල අපි රැය ගත කලේ කාර්යාලයේ. විමර්ශන කටයුතු වලදි මා සමඟ ඉතා සහයෝගයෙන් යුද හමුදාවේ ඩෙන්සිල් කොබ්බෑකඩුව ක්‍රියා කළා. ඔහු එවකට කපිතාන්වරයෙක්.

 අපි කැරලිකරුවන් සමඟ පෞද්ගලික ආරොAවක් තිබුනේ නැහැ. අපි කලේ අපේ රැකියාව. අපිට නියමිතව තිබුනා රට ආරක්ෂා කරන්න. ප්‍රජාතන්ත්‍රවාදී රජයකට එරෙහිව සන්නද්ධ ප්‍රහාරයක් වැලැක්වීම අපගේ පරම යුතුකමක්. අපි රජය, ජනතාව ආරක්ෂා කලා.

 මම විශ්‍රාම ගියේ 1996 දී නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙසට. 1988 කැරැලAල අවස්ථාවේ දී අපට විශේෂ වැඩ කොටසක් ලැබුනේ නැහැ. එහෙත් වරක් ඉතා උසස් පොලිස් නිලධාරියෙක් මට බැන්නා ඔහේලා 1971 දී මුං (විෙජ්වීර ඇතුළු නායකයන්) මරා දැමුවෙ නැති එකේ ප්‍රතිඵල තමයි අද අපි විඳින්නේ කියලා. මම ඒ කතාවට එකඟ උනේ නැහැ. අපිට බලය තිබුනා කැරැල්ලේ නායකයන් මරා දමන්න. අපි ක්‍රියා කලේ හිතට එකඟවම. වැදගත් තොරතුරු ලබා ගැනීමේදී පහර දීමට බලය පාවිච්චි කරන්න සිදු වෙනවා. එය ස්කොට්ලන්ඩ්යාඩ්, එෆ්.බී.අයි. ආයතනය පවා කරනවා. නමුත් තිරිසන් ක්‍රමයට මිනිසුන්ට වද දීම මා අනුමත කලේ නැහැ.

 විෙජ්වීර නිදහස් වුනු පසු ටවුන් හෝල් එකේ පැවති මුල්ම රැස්වීමේදී මට හා සර්නි විෙජ්සූරියට දොස් පැවරුවා. නමුත් 1988 කැරැල්ලේදී ඔහුට ගනුදෙනු කිරීමට සිදු වූයේ අප වැනි නිලධාරින් සමඟ නොවේ. ඔවුන් අප කලාක් මෙන් විෙජ්වීරට සැලකුවේ නැහැ. ඔහුව මරා දමන්ට පසුබට වූයේ නැහැ. එය විෙජ්වීර තේරුම් ගත්තද යන්න මට සැකයි.

0 comments: