Hot!

අපතේ ගිය සිව් වසරක් සහ අපතේ යන මැතිවරණ වසරක් (2)




ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන 

රුපියල අවප්‍රමාණය වැළැක්වීමට රවී ගත් වැරදි ක්‍රියාමාර්ගයේ ප්‍රතිවිපාක 

අපේ විදේශ විනිමය වෙළඳපොළේ රුපියල අවප‍්‍රමාණ වීමේ ප‍්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නවා වෙනුවට රවි කරුණානායක කෙළේ බෙල්ජියානු ජාතිකයෙකුගේ ගුප්ත මුදලක් ගැන බලාගෙන සිටීමයි. ඒ මුදල ලබාගෙන ලංකාවේ රුපියල ඩොලරයට සාපේක්ෂව රුපියල් 105 ක අගයක් දක්වා වැඩි කර ගැනීමක් ගැන ඔහු කතා කෙළේය. පසුව, මේ ආයෝජන මුදල ඩොලර් බිලියන 3 ක් විය හැකි බවත් ඔහු කියා සිටින්ට විය.

ඒ වනාහී කළු සල්ලියක් සුදු කර ගැනීමේ ආයාසයක් වූවාට සැක නැත. මුදල් ඇමති රවි කරුණානායක දැන හෝ නොදැන ඊට හසු වීමට ඉඩ තිබුණි. එවැනි මුදලක නිස්සාරත්වයත්, එයින් ඇති විය හැකි දීර්ඝ කාලීන අනිටු ඵල විපාකත් ගැන ඒ දිනවල, ‘‘ගුප්ත බෙල්ජියානු ආයෝජකයෙකු හරහා ගුප්ත ආකාරයකින් රුපියල බේරා ගැනීම: යහපාලන ආණ්ඩුව යන්නේ වැරදි පාරක ද ?’’ මැයෙන් මා ලියා ඇත. 

අගය කඩා වැටෙමින් පවතින රුපියල ගොඩ ගැනීම සඳහා කළ යුතුව ඇත්තේ, භාණ්ඩ හා සේවා අපනයනයන්ගෙන් ලබා ගන්නා ආදායම් ප‍්‍රවර්ධනය කර ගැනීමෙන් තිරසාර පිළිතුරක් සොයා ගැනීම මිස, අස්ථිර සහ අවිනිශ්චිත ප‍්‍රතිකර්ම මත යැපීම නොවන බව එම ලිපියෙන් මම පෙන්වා දුනිමි. එසේම, ස්වෛරී රාජ්‍යයකට පාතාල ජාවාරම්කරුවන් සේ ක‍්‍රියා කළ නොහැකි බවත්, බාහිර මාර්ගවලින් ලබා ගන්නා මුදල්වලට අදාල සෑම ක‍්‍රියාවක් සම්බන්ධයෙන්ම ස්වෛරී රාජ්‍යයක් ලෝක ප‍්‍රජාවට වගවීමෙන් බැඳී සිටින බවත් එහිදී මම පෙන්වා දුනිමි. එහෙත් තමන්ගේ මුදල් ඇමතිවරයාගේ කළු සල්ලි සුදු කිරීමේ ඒ ප‍්‍රයත්නය ගැන ආණ්ඩුව කට පියාගෙන සිටියේය. 

කෙසේ වෙතත්, එම සල්ලිය ගැන කතාව ටික දවසකින් වාෂ්ප වී ගිය අතර සතයක්වත් ලංකාවට ආවේ නැත. මේ කාලය තුළ සිදුවුණේ, කළු සල්ලියක් බලාගෙන සිටින අතරතුරේ රුපියල තව තවත් පහළ වැටීමේ පීඩනයට ලක්වීම නිසා ඒ තත්වය වළක්වා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීමටයි. එහෙත් ඒ වන විට පෙරහැර ගොස් තිබුණි. 

කිසි දවසක ක‍්‍රියාත්මක නොකළ රනිල්ගේ ආර්ථික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන 

2015 නොවැම්බර් මාසයේ අගමැති රනිල් වික‍්‍රමසිංහ ආර්ථික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව ඔහුට ගෞරවයක් වශයෙන් කිව යුතුව තිබේ. මගේ අදහස අනුව, එය රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගනිමින් ඉතා මැනවින් සකස් කළ, සාරගර්භ ඉදිරිපත් කිරීමකි. දීර්ඝ කාලීන වශයෙන් රටට අවශ්‍ය යැයි ඔහු නිවැරදිව හඳුනා ගත් කාරණා කිහිපයක් එහි ඇතුළත් විය. පරිභෝජනය අඩු කිරීම, පවතින සම්පත් ආයෝජනය සඳහා යෙදවීම, උසස් තාක්ෂණික නිෂ්පාදන භාණ්ඩවලට වැඩි බරක් තබමින් අපේ භාණ්ඩ සහ සේවා අපනයනය ප‍්‍රවර්ධනය කර ගැනීම, ද්වි-පාර්ශ්වීය වෙළඳ ගිවිසුම් හරහා ශ‍්‍රී ලංකාව ලෝක වෙළඳපොළට බද්ධ කර ගැනීම සහ වක‍්‍ර බදු (ලූනු ගෙඩියේ බද්ද* ප‍්‍රතිශතය අඩු කරගෙන, සෘජු බදු (ආදායම් බදු ආදි) ප‍්‍රතිශතය වැඩි කර ගනිමින් අපේ අයවැයේ ව්‍යුහය වෙනස් කර ගැනීම ඒ අතර විය.

මේ ප‍්‍රකාශනය තුළ ඉදිරිපත් කෙරුණු උපාය මාර්ගය දියත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යන ආණ්ඩුවේ දෙපාර්ශ්වයේ පොදු එකඟත්වයක් අවශ්‍ය කෙරුණි. එය එසේ නොවුණි. එහි ප‍්‍රතිඵලයක් වුණේ, ඉහත කී ආර්ථික උපාය මාර්ගය එක්සත් ජාතික පක්ෂයේ පමණක් අදහසක් බවට පත්වීමයි. රට අනුගමනය කළ යුතු ආර්ථික ප‍්‍රතිපත්තියේ ස්වභාවය අරභයා පසුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ඇති වු ගැටුමට හේතුකාරක වුණේ එයයි.

ආර්ථික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට පටහැනි වන අයවැයක් 

මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ඉදිරිපත් කිරීමෙන් සති දෙකකට පසු රවි කරුණානායක සිය අයවැය ඉදිරිපත් කෙළේය. එහි ස්වභාවය අනුව, ඉහත කී ආර්ථික ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවේ යෙදවීමක් ගැන බලාපොරොත්තු ඇති කර ගැනීමේ තත්වයක් නොවුණි. මන්ද යත්, ඒ ප‍්‍රතිපත්තියට ඉඳුරා පටහැනි හෝ ඒ සමග නොපෑහෙන කරුණු කාරණා මේ අයවැය තුළ අඩංගු වූ බැවිනි. එකී නොපෑහීම ගැනත්, ‘‘2016 අයවැය: යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ක‍්‍රියාවේ යෙදවීම සඳහා අවශ්‍ය පදනම එයින් දැමේ ද ?’’ යනුවෙන් මා ලියා තිබේ. 

මේ අතරේ, අගමැති රනිල් වික‍්‍රමසිංහ තවත් ආර්ථික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේය. එකක්, 2016 ඔක්තෝබර් මාසයේදී ය. අනෙක 2017 නොවැම්බරයේදී ය. ඊට කලින් තමා ඉදිරිපත් කළ ආර්ථික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන තුළ පැවති සහ සාක්ෂාත් කර ගත් දෙයක් වේදැ යි මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන ඉදිරිපත් කිරීමේදී ඔහු සඳහන් කෙළේ නැත. කෙසේ වෙතත්, මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවලින් ස්වාධීනව, ආණ්ඩුව තවත් අලූත් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් 2017 ජුනි මාසයේ නිකුත් කෙළේය. එය, ‘‘2025 දැක්ම’’ යනුවෙන් හැඳින්විණ. 2020 සහ ඉන් අනතුරුව පැවැත්විය හැකි මැතිවරණ ඉලක්ක කරගෙන සකසා ගත් ප‍්‍රතිපත්ති සමුදායක් ඊට ඇතුළත් විය. 

ප‍්‍රතිපත්ති අසමගියට ජනාධිපතිවරයාගේ ලූණු මිරිස් 

ආණ්ඩුවේ එක්සත් ජාතික පෙරමුණු පාර්ශ්වය මගින් සැලසුම් කොට ක‍්‍රියාත්මක කෙරෙන ආර්ථිකයේ ස්වභාවය ගැන අසතුටින් සිටි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන තමාගේ සභාපතිත්වය යටතේ ‘ජාතික ආර්ථික මණ්ඩලය’ නමින් තවත් ආයතනයක් ජනාධිපති කාර්යාලයේ පිහිටුවා ගත්තේය

තමන් විසින් ජාතික ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කරන බව 2018 අප්‍රේල් මාසයේදී ඒ කාර්යාලය ප‍්‍රකාශයට පත්කෙළේය. මේ වන තෙක් එවැන්නක් රටට දැන ගන්නට ලැබී නැත. ඒ තත්වය තුළ, සිව් වසරක යහපාලන එක්සත් ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තිය හැඳින්විය හැක්කේ, ‘ස්පැගති පාත්තරයකට’ වැඩි යමක් නොවන දෙයක් වශයෙනි. ඒ තරමට, පාර්ශ්ව දෙකෙන් එකකටවත් ලිහා ගත නොහැකි තරමට එය පැටලී තිබේ. (ස්පැගති යනු, දිග රැල් සහිත, එකට පැටලී ඇති, කෑමකි- පරිවර්තක). මීට එක අගනා උදාහරණයක් වන්නේ, අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් අත්සන් කරන ලද සිංගප්පූරු-ශී‍්‍ර ලංකා නිදහස් වෙළඳ ගිවිසුමට ජනාධිපතිවරයා දැක්වු විරෝධයයි. 

මේ කියන ගිවිසුම රටේ යහපත සඳහා නොවන බවට තමන් ගත් මතය සනාථ කරනු වස්, ඒ ගැන සොයා බලා තමාට වාර්තා කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා ආර්ථික විද්‍යාඥයන්ගේ කණ්ඩායමක් පත්කෙළේය. ගිවිසුම සමස්තයක් වශයෙන් ප‍්‍රතික්ෂේප නොකළ මේ කණ්ඩායම, අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් එය සකස් කිරීමේදී සිදුවී ඇති ආර්ථික ප‍්‍රතිපත්ති උල්ලංඝණයන් කිහිපයක් පමණක් සිය වාර්තාව තුළ දක්වා තිබුණි.

කෙසේ වෙතත්, මෙකී ප‍්‍රතිපත්තිමය අසමගිය නිසා, ගත වු අවුරුදු හතරක කාලය තුළ රටේ ආර්ථිකයට සිදුව ඇති හානිය අති විශාල ය. 

ජනතාවට නොමිලේ දේවල් ලබා දීමට දැන් තරගයක්

දැන් කවුරුත් මේ වසර භාරගෙන ඇත්තේ මැතිවරණ වසරක් වශයෙනි. ආණ්ඩුවක් මැතිවරණයකට සූදානම් වෙද්දී මුලින්ම කරන්නේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ කල් දැමීමයි. ඒ වෙනුවට ඔවුන් කරන්නේ ඡන්දදායකයා පිනවන දේවල් ය. එවිට, රටේ අනාගත ආර්ථික වර්ධනය පරදුවට තබමින්, විවිධ සන්තෝසම් ජනතාවට සැපයීමට ඔවුහූ පෙළඹෙති. 

2017 ඔක්තෝබරයේදී මහින්ද රාජපක්ෂ අගමැති වශයෙන් දිව්රුම් දුන් සැණින් ඔහුගේ තාවකාලික ආණ්ඩුව කෙළේ, එක්සත් ජාතික පක්ෂයට ඉහළින් එවැනි සන්තෝසම් ජනතාවට දීමට කටයුතු කිරීමයි. ඒ කිසිවක්, ආර්ථික වශයෙන් රටට ඔරොත්තු දෙන දේවල් නොවේ. ‘‘මුදල් අමාත්‍යාංශයේ මොන සහතික වීම් තිබුණත්, මැදියම් ? දෙන නත්තල් සීයාගේ තෑගිබෝගවලින් අයවැය අයාලේ යවනු ඇත’’ යනුවෙන් ඒ ගැන මා ලියා ඇත.

මේ අනුව, මීට වසර දෙකකට කලින් මුදල් අමාත්‍ය පදවියට පත් අවස්ථාවේ මංගල සමරවීර ඉදිරිපත් කළ ශක්තිමත් ආර්ථික ප‍්‍රතිසංස්කරණ, මේ මාර්තුවේ ඔහු ඉදිරිපත් කිරීමට නියමිත අයවැය තුළ අපට දකින්ට නොලැබෙනු ඇත. මන්ද යත්, විපක්ෂයේ බලවේග පරාජය කිරීමට තරම් ජවසම්පන්න තව තවත් සන්තෝසම් ජනතාවට දීමට එහිදී සිදුවන බැවිනි.

නාස්තිකාර මැතිවරණ වසරක්

එක්සත් ආණ්ඩුව වසර හතරක්, අත්‍යාවශ්‍ය ආර්ථික ප‍්‍රතිසංස්කරණ නොතකා හරිමින්, නාස්ති කොට තිබේ. 2019 පැවැත්වීමට නියමිත ඊළඟ මැතිවරණය වෙනුවෙන්, ආර්ථික වශයෙන් ගත් විට, මේ වසරත් නාස්ති කෙරෙනු ඇත. ඒ අනුව, වසර අවසානය වන විට, අපේ ණය කන්දරාව තව ලොකු මහත් වනු ඇත. උද්ධමනය වැඩි වනු ඇත. මූල්‍ය ප‍්‍රතිපත්ති තව තද වෙනු ඇත. රුපියලේ අගය තවත් පහළ වැටෙනු ඇත. ආර්ථික වර්ධන වේගය අඩාල වෙනු ඇත.

මේ වසරේ අදූරදර්ශී ප‍්‍රතිපත්ති නිසා සිදුවන ආර්ථිකය පීලි පැනීමේ ඒ වටය යළි පිළිසකර කිරීම ආරම්භ කිරීමට සිදුවෙනු ඇත්තේ 2020 න් පසුව ය.


2019 ජනවාරි 7 වැනි දා Daily FT පුවත්පතේ පළවූ, ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන ලියූ “Sri Lanka’s Deep Economic Crisis: Wasted Four Years & a Wasting Election Year” නැමැති මේ සමග අමුණා ඇති ලිපියේ පළමු කොටස සිංහලට පරිවර්තනය කෙළේ ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි


සබැඳි පුවත්




0 comments: